"පුද්ගලයෙකු සමලිංගිකයකු වීම නිසා ජේසු සමිඳුන් ඔහු එලවා දමන්නේ නැහැ" සුදොතුම් පියතුමා ගෙන් යළිත් ඔවදනක්

"Jesus would never tell a person “go away because you are homosexual.”" - Pope Francis 



(2016 ඔක්තෝබර 6)
පාසල් තුළ ලිංගිකත්ව න්‍යායයන් බලහත්කාරයෙන් දරුවනට කවන්නට යාම "නපුරු ක්‍රියාවක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එහෙත් එතුමා පෙන්වා දෙන්නේ ලිංගිකත්ව අනන්‍යතාව සම්බන්ධයෙන් ජීවන හා මානසික අරගලයකට ලක්ව සිටින්නන් වෙත දයා කරුණාවෙන් සැලැකිය යුතු බවයි. මෙම ගැටළු වලට මැදිවුවනට ජේසු සමිඳුන් වුවද එසේ සලකනු ඇතැයි එතුමා සඳහන් කරයි.

අසර්බයිජානයේ කල අපෝස්තලික සංචාරයෙන් පසුව ආපසු වතිකානය බලා එන අතර ගුවන් යානයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියේ ය.

"ලිංගිකත්ව න්‍යාය යනු මේ යුගයේ විවාහයේ ප්‍රමුඛතම සතුරා" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් ඔක්තෝබර 1 වැනිදා පැවැති සම්මේලනයක  දී කියා සිටියේය. ගුවන් යානයේ දී වෙනත් ප්‍රශ්න අතර එක මාධ්‍යවේදියෙක් මීට අදාලවද ප්‍රශ්න කළේය. එසේම "සිය ලිංගික අනන්‍යතාව පිලිබඳ අර්බුදයට ලක්ව සිටින තැනැත්තන් සභාව තුළ කැටුව යන්නේ කෙසේද" යි ද හේ ප්‍රශ්න කලේ ය.

"පියතුමකු ලෙස, රදගුරු තුමෙකු ලෙස, ඒ වගේම, පාප් වහන්සේ ලෙස, මගේ ජීවිතය තුළ සමලිංගික නැමියාවන් සහිත අය මට මුණගැසී තිබෙනවා. මා ඔවුන් පිළිගෙන, ඔවුන් කැටුව ගොස් ස්වාමීන්වහන්සේට ඔවුන් සමීප කර තිබෙනවා. මම කවදාවත් ඔවුන් අතහැරදමා නැහැ. ඔවුන් කැටුව යා  යුත්තේ  ජේසු සමිඳුන් ඔවුන් කැටුව යන ආකාරයට ම යි. කිසියම් පුද්ගලයෙකු සමලිංගිකයකු වීමේ හේතුව  මත  ජේසු සමිඳුන් එම පුද්ගලයා එලවා දමන්නේ නැහැ" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

එහෙත් මේ මානුෂවාදී හා කිතුනු දෘෂ්ටි කෝණයත් නූතන ලෝකයේ ඇතැම් ක්‍රියා කලාප අතරත් වෙනසක් තිබෙනබව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"මෙවැනි නැමියාවන් ඇති පුද්ගලයනට අප ආදරය දැක්විය යුතු නමුදු නූතන ලෝකය විසින් 'ලිංගිකත්ව න්‍යාය' (Gender theory) බලහත්කාරයෙන් ළමයින් හා යොවුන් පරපුරට කා වැද්දීමට උත්සාහ කිරීම අදමිටු  ක්‍රියාවක්" එතුමා කීවේය.

ලිංගිකත්ව න්‍යාය යනු "යමෙකුගේ  ලිංගිකත්වය ජීව විද්‍යාත්මකව තීරණය වන්නක් නොව තමාට තෝරාගත හැකිය" යන අදහසයි.

"අද මුළු ලෝකයම විවාහය විනාශ කිරීමේ යුද්ධයකට අවතීර්ණ වී තිබෙනවා. මෙම යුද්ධය කරන්නේ ආයුධ වලින් නොව අදහස්වලින්. විවාහය විනාශකළ හැකි න්‍යායන් රැසක් තිබෙනවා. මේ නිසා අප මෙම 'න්‍යායාත්මක යටත් විජිත කරණයෙන්' ආරක්ෂා විය යුතුයි" සුදොතුම් පියතුමා වාර්තා කරුවනට පිළිතුරු දෙමින් කියා සිටියේය.

තම ලිංගිකත්ව අනන්‍යතාව ගැන ගැටලුවලට මැදිව සිටින පුද්ගලයකු කැටුව යාම (accompanying)  සම්බන්ධයෙන් තමන් දන්නා සත්‍ය කතාවක් සුදොතුම් පියතුමා වාර්තාකරුවන් හා බෙදා ගත්තේ ය.

එක් ස්ත්‍රියක  ලෙස උපත  ලැබූ තරුණියකට නිතර දැනුනේ තමා පුරුෂයකු  බවය. මේ ගැන මහත් සාංකාවෙන් හා වේදනාවෙන් සිටි මේ යෞවනිය පසුව ලිංගිකත්ව මාරු ශල්‍යකර්මයකින් පුරුෂයකු බවට පත් වූවාය. පසුව මේ තරුණයා (පෙර කාලයේ 'ඇය')  රදගුරු තුමකු හමුවන්නට ගොස් තම කතාව කීවේ සිය ජීවිතයට පිළිසරණක් ලබා ගැනීමේ අටියෙනි. එම රදගුරු තුමා තරුණයා  ගේ හදවත හා ජීවිතය සුවපත් කරමින් ඔහු  දෙවිඳුන් හා ඉදිරියට කටුව ගියේය. පසු කාලයේ ඔහු (පෙර කල ඇය ) තරුනියක  හා විවාපත් වූයේය.  සිය මානාලිය කැටුව  පැමිණි මේ තරුණයා දැකීම රදගුරු තුමාට මහත් ප්‍රීතියක් වූයේය. මේ යුවල පසුව සුන්දර පවුලක් බවට පත් වූ බව සුදොතුම් පියතුමා කීවේය.

"ජීවිතය යනු ජීවිතයයි. මේ නිසා යම් යම් අවස්ථා පැමිණෙන ආකාරයට ඒවාට මුහුණ දිය යුතු වේ. එසේම පාපය පාපයම ය. ජීවිතයේ යම් යම් ප්‍රවණතා සහ හෝමෝන අසමතුළිතතාවන් නිසා බොහෝ ප්‍රශ්න ඇති වේ. එහෙත් සෑම දෙයක් ම එකසමාන බව පැවසීමෙන් වැළකී සිටීමට අප පරෙස්සම් විය යුතු ය."

"මා ඔබට පවසන්නේ මෙබඳු ජීවිත හෝ මානසික අරගලයකට මැදිව සිටින තැනැත්තන් සමග සාද පවත්වන ලෙස නොවේ. සියල්ල පොදු නොකර, සෑම  සිද්ධියක් ම තනි තනිව ගෙන, ඒවා පිළිගෙන, අධ්‍යයනය කර, ජීවිත ගමනේ ඔවුන් කැටුව යන ලෙසය. ඔවුන් තේරුම් ගෙන ඔවුන් අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසය. ජේසු සමිඳුන් අද කරනු ඇත්තේත් එයම යි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

මේ බව පැහැදිලිව කී  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, මාධ්‍යවේදීන් ගේ 'තරම' දන්නා බැවින්, ඔවුන්ට සරදම් කරමින්,  මෙසේ ද එක් කළේය:

"දැන් ඉතින් 'පාප් වහන්සේ බහුවිධ ලිංගික ප්‍රවණතා වලට ආශීර්වාද කරති' කියා ලියන්න එපා! නේද? මම කියවනවනෙ පුවත් පත්වල මුල් පිටු..."

"කෙනෙකු ගේ ලිංගිකත්වය පිලිබඳ ගැටුම මානුෂික ප්‍රශ්නයකි. එය නිරන්තරයෙන් ම විසඳිය යුත්තේ, විසඳිය හැක්කේ දේව දයා කරුණාව තුළිනි" යයි එතුමා අවසන් වශයෙන් කීවේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය