"සිරියාවේ අමානුෂික ගැටුම නිමා කිරීමට නොපමාව ක්‍රියා කරන්න": සුදොතුම් පියතුමා ලෝකයට ආයාචනා කරයි

Pope pleads:"Declare a ceasefire to end 'inhuman conflict' in Syria" 

ලොව හදවත් සසල කළ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ සිරියාවේ ආයියා නම් දැරියගේ සේයාරුව 

(2016 ඔක්තෝබර 12)
සිරියාවේ පවතින අතිශය දරුණු අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී පියවර නොපමාව ගන්නයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි. එතුමන් මෙම අර්බුදය හඳුන්වා ඇත්තේ "අමානුෂික ගැටුම" ලෙසයි. බිහිසුණු යුද ගැටුම් පවතින අලෙපෝ ප්‍රදේශයෙන් සිවිල් වැසියන් - විශේෂයෙන් ළමයින්- ඉවත් කරගැනීම සඳහා වහාම සටන් විරාමයක් ඇති කරන්නැයි අදාළ සියලු පාර්ශව වලින් එතුමා ඉල්ලා සිටියි.

2016 ඔක්තෝබර 16 වන බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවේ ධර්මෝපදේශ කතාවෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් සුදොතුම් පියතුමා මෙම ආයාචනය කළේය.

"සිරියාවේ පවතින අමානුෂික ගැටුමෙන් විපතට පත්ව සිටින සෑම සියලු දෙනාටම  මා  හදවතින් සමීප වන බව මම යලිත් වරක් අවධාරණය කරන්නට කැමැත්තෙමි. මගේ මුළු ශක්තියෙන් ම මා මීට කළින් කර ඇති ආයාචනය යළිත් ආයාචනාත්මකව ඉදිරිපත් කරන්නේ ඉතා කඩිනමින්, වහාම කල යුතු දෙයක් ඉල්ලා සිටීම සඳහා ය. එනම්, වහාම  ක්‍රියාත්මක වන පරිදි  සටන් විරාමයක් ඇති කිරීමට වගකිව යුතු සියලු පාර්ශව පියවර ගනිත්වා යන ඉල්ලීමය. මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කොට, මෙම යුද්ධයේ දැඩි පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්, විශේෂයෙන් බෝම්බ ප්‍රහාර වලට ලක්වී සිටින ළමයින් , ගැටුම් පවතින ප්‍රදේශයෙන් බැහැර කරගන්නා තෙක් වත් ඊට ගරු කොට එය පවත්වාගත යුතු යැ"යි  සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

සුදොතුම් පියතුමා ගේ කම්පනය 


සුදොතුම් පියතුමා මෙම ආයාචනය කලේ විවිධ මත භේද මත ඇති කරගන්නා ලද සිරියා සටන් විරාමය බිඳ වැටී යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ වීමේ පසුබිම තුළ ය. ගුවන් ප්‍රහාර වලින් මියයන හා දරුණු ලෙස තුවාල ලබන සිරියානු ළමයින් ගේ සංඛ්‍යාව ශෝචනීය ලෙස වර්ධනය වෙමින් තිබේ. මෑතක සිට මෙම යුද්ධයට යොදා ගන්නා 'බංකර් නාශක බෝම්බ' (Bunker-busting bombs)  මෙම තත්වය දරුණු කිරීමට හේතු වී ඇත. ටොන් එකකට වඩා බරැති මෙම බෝම්බ කොන්ක්‍රීට් බිඳ හෙලමින් මීටර කිහිපයක් පොළොව කඩා වැදී පුපුරා යයි. 2011 මාර්තු මාසයේ ආරම්භ වූ මෙම යුද්ධයෙන් මෙතෙක් මිය ගොස් ඇති සංඛ්‍යාව 240,000ත් 470,000ත් අතර වන බව විශ්වාස කෙරේ. මිලියන 4.8 ක ජනතාවක් මෙම යුද්ධය නිසා සරනාගතයන්ව සිටිති. කනගාටුදායක ලෙස මේ අතරින් අඩක් ම ළමයින් ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය