'පව් සමාවේ' 800 ජයන්තියට සුදොතුම් පිය ප්‍රැන්සිස් අසීසියට

Pope Francis to visit Assisi for the great Franciscan Jubilee 

Porziuncola යනුවෙන් හැඳින්වෙන ප්‍රැන්සිස් අසීසි තුමා යාච්ඥා කල කුඩා මඩුව

(2016 ජූලි 4)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලබන අගෝස්තු මාසයේ ඉතාලියේ අසීසි නගරයට පැමිණීමට නියමිතයි.  රමණීය කඳු සහ ඓතිහාසික ස්ථාන රැසකින් සමන්විත සුන්දර අම්බ්‍රියා පළාතේ අසීසි නගරයට එතුමා පැමිණෙන්නට නියමිතව ඇත්තේ අගෝස්තු 4 වන දා යි.  සුදොතුම් පියතුමන් මෙම නගරයට පැමිණෙන්නේ  "අසීසියේ පව් සමාව" නමැති ඓතිහාසික ආධ්‍යාත්මික සිද්ධියේ 8 වැනි ශතක සංවත්සරය සැමරීමට බව ප්‍රන්සිස්කාන නිකාය සහ අසීසියේ ඩොමෙනිකෝ සොරෙන්ටිනෝ රදගුරු හිමි නිවේදනය කලේ ය.

ඩොමෙනිකෝ රදගුරු  තුමා සුදොතුම් පියතුමා ගේ මෙම ගමන හැඳින්වූයේ "පෞද්ගලික වන්දනා ගමනක්" ලෙසයි. එහි අරමුණ පාප් වහන්සේගේ එම ධුරයේ නාම සාන්තුවරයා වන ශු. ප්‍රැන්සිස් අසීසි මුනිඳුන් විසින් ගොඩනගන ලද පුංචි පල්ලිය බැහැදැකීම සහ එතුමන් විසින් 13 වන සියවසේ මුල් භාගයේ දී ප්‍රන්සිස්කාන නිකාය ආරම්භ කරන ලද එම ස්ථානයේ සිට යාච්ඥා කිරීමයි.

මෙම ස්ථානය "අසීසියේ පව් සමාව" යන සිද්ධියටත් ප්‍රන්සිස්කාන නිකායේ ආරම්භයටත් එක සේ  සම්බන්ධය.

1216 අගෝස්තු 1 වන දා ප්‍රැන්සිස් අසීසි තුමන් මෙම පුංචි දෙව්මැදුරේ යාච්ඥා කරමින් සිටින විට ජේසු සමිඳුන් හා දේව මෑණියන් සුරදූතයන්ගෙන් අලංකෘත වූ වලාකුලක් මැද සිට එතුමන්ට දර්ශනය වූ බව සභා සම්ප්‍රදාය කියයි. සමිඳුන් හා මෑණියන් ඉදිරියේ ශස්ටාංගයෙන් වැඳ  වැටුණු ප්‍රැන්සිස් තුමාට "ආත්මයන් ගේ ගැලවීම සඳහා මා කුමක් කරනවාට ඔබ කැමතිදැයි " ජේසු සමිඳුන්  විමසනු ඇසිණි. මෙම දේවස්ථානයට පැමිණෙන සියලු වන්දනා කරුවනට පව් සමාව දානය කරන්නයි ප්‍රැන්සිස් තුමා ජේසු සමිඳුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම තමන් දානය කරන බව ජේසු සමිඳාණෝ පැවසූහ. එහෙත් මේ සඳහා එවකට සිටි පාප් වහන්සේගෙන් අනුමැතිය ලබා ගන්නැයි උන්වහන්සේ ප්‍රැන්සිස් තුමන්ට උපදෙස් දුන්හ. පසුදා ම එවකට සිටි තුන්වන හොනෝරියස් පාප් වහන්සේ හමුවූ ප්‍රැන්සිස් තුමා මේ සඳහා අනුමැතිය ලබා ගත්තේය. එම වසරේ සිට අගෝස්තු 1 සහ 2 යන දෙදින  තුළ "අසීසියේ පව් සමාව" යන මෙම මංගල්‍යය සැමරේ.

ගලින් බැඳුනු කුඩා මඩුවක් බඳු මෙම පුංචි දෙව්මැදුර, ගත වූ සියවස් ගණනාව පුරා සිත්තරුන් ගේ තෙලි තුඩින් ඇඳුනු බිතු සිතුවම් වලින් විසිතුරු වී තිබේ. "අසීසියේ දිළින්දා" යන ආදර නාමයෙන් ඉතාලි ජාතිකයන් හඳුන්වන මෙම සාන්තුවරයා ගේ ජීවිතයත්, විශේෂයෙන් "අසීසියේ පව් සමා" සිද්ධියත් මෙම සිතුවම්වලින් විදහා දැක්වේ. මෙය හැඳින්වෙන්නේ "පර්සියුන්කෝලා" (Porziuncola) යනුවෙනි. "අසීසියේ සුරදූත රාජෙශ්වරියගේ බැසිලිකාව" හා "පරලෝක රාජේශ්වරිය ගේ දෙව්මැඳුර" යනුවෙන් ද මෙය හැඳින් වේ.

"පව් සමාවේ" 800 වැනි සංවත්සරයත් , දයා කරුණාවේ  ශුද්ධ වසරත් සමරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දෙව්මැදුරේ (හෙවත් අසීසියේ දිළින්දා ගේ මඩුවේ) දන ගසා යාච්ඥා කිරීමට නියමිත බව නව ධර්මදානය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති රිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමි පවසයි.

දෙවියන් වහන්සේ ගේ අසීමිත වූ සමාව පසසන දේව දයා කරුණාවේ ජුබිලි වසරේ දී ම, "අසීසියේ පව් සමාවේ" 800 වැනි ජුබිලියත් දී තිබීම කෙතරම් මනහර  ද?
සුන්දර අසීසිය

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය