"ආර්මේනියා ඝාතන 'ජනසංහාරයක්'": රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වුව පරදුවට තබමින් සුදොතුම් පියතුමා ආර්මෙනියාවේ දී කල කතාව

In Armenia, Holy Father risks a diplomatic rift with Turkey; Calls historic killings "Genocide" 

ආර්මේනියා ජනපති සමග 
(2016 ජුනි 26)
වතිකානය සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල දෙදරීමක් සිදුවීම පවා පරදුවට තබමින්, පළමුවැනි  යුද්ධ සමයේ තුර්කිය විසින් ආර්මේනියානු ජාතිකයන් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය කරනු ලැබීම "ජන සංහාරයක්" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ ඉකුත් සති අන්තයේ ආර්මේනියාවේ සිදු කල අපෝස්තලික සංචාරයේ දී ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආර්මේනියා සංචාරය ආරම්භ කලේ ජුනි 24 වැනිදායි. එතුමා ගේ මෙම චාරිකාවේ ප්‍රමුඛතම අරමුණ ආර්මේනියාන ඕතඩොක්ස් සභාව හා කතෝලික සභාව  අතර සංවාදය තහවුරු කොට එක්සත් බවට යොමු කිරීමයි. .

කලින් සෝවියට් සමුහාණ්ඩුවට  අයත් ජනරජයක් වූ ආර්මේනියාව පිහිටා ඇත්තේ නැගෙනහිරින් අසර්බයිජානයට හා බටහිරින් තුර්කියට මායිම්වයි. මේ රටවල් තුනම ඉපැරැණි ඔට්ටෝමාන් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ විය. තුන් මිලියනයක් වන ආර්මේනියා ජනගහනයෙන් සියයට 95ක් කිතුනුවෝය. මෙම කිතුනුවන්ගෙන් සියයට 92ක් ම අයත් වන්නේ ආර්මේනියාන අපෝස්තලික (ඕතඩොක්ස් ) සභාවටයි.

"ආර්මේනියාන ජනසංහාරය" යනු? 

විසිවන සියවසේ මුල් කාර්තුවේදී ඔටෝමාන් ආණ්ඩුව විසින්  (වර්තමාන තුර්කිය පිහිටා ඇති ප්‍රදේශය) එරට සිය මව්බිම කොටගෙන  ජීවත් වූ ආර්මේනියාන ජාතිකයන් මිලියන 15 ක් දෙනා, එම මව්බිම තුළ දීම සැලසුම් සහගතව මරා දැමීම "ආර්මේනියාන ජන සංහාරය" ලෙස ඉතිහාසඥයෝ හඳුන්වති. එය ආරම්භ වූ දිනය ලෙස සැලකෙන 1915 අප්‍රේල් 24 වනදා කොනස්තන්තිනෝපලයේ ජීවත්වූ වාර්ගික ආර්මේනියාන බුද්ධිමතුන් හා ජන සංවිධාන නායකයන් 270 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් ඔටෝමාන් බලධාරීහු ඔවුන් ඇන්කාරා නුවරට රැගෙනවිත් මරා දැමුහ. පළමුවැනි  ලෝක යුද  සමයේ සහ ඉන්පසුව  සිදු කෙරුණු මෙම සංහාරයේ දී, සවි බල ඇති පිරිමින් රැගෙනවිත් ඝාතනය කෙරුණු අතර ළමයින් හා කාන්තාවෝ පිටුවහල් කරනු ලැබූහ.  බොහෝ විට සිදුවූයේ ඔවුන් නිරාහාරව හා පිපාසයෙන් තැබීමත් දුෂණය කර මැරෙන්නට සැලැස්වීමත් ය. තවත් පිරිස් සිරියාවේ කාන්තාර ඔස්සේ  "මාරක පෙළපාලි"වල යොදවනු ලැබූහ. බුරුතු පිටින් ජනතාව කුරුසිවල ඇනගසනු ලැබූහ
ජනසංහාරයේ  මතකය .....


එහෙත් ඔට්ටෝමාන් ආධිරාජ්යයේ අනුප්‍රාප්තික රාජ්‍යය වන තුර්කිය මෙම ඝාතනවලට "ජන සංහාරය " යන වචනය යොදා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරයි. ගිය වසරේ අප්‍රේල් මාසයේ වතිකානයේ පැවැති මෙම සංහාරයේ සියවස් සමරුවේ දී සුදොතුම් පියතුමා මෙම ඛේදාන්තය හැඳින්වීම සඳහා "ජන සංහාරය" යන වචනය ම යොදා ගැනීම නිසා තුර්කිය කෝපයට පත් විය. ඊට විරෝධය පලකිරීම සඳහා වතිකානයේ සිටි තුර්කි තානාපති වරයා ආපසු සිය රටට කැඳවා ගනු ලැබිණි.

මේ නිසා ශුද්ධෝතම පියතුමා ආර්මේනියාවේ දී මෙම ඝාතනවලට කවර වචනයක් යොදා ගනු ඇත්ද  යන්න ගැන ලෝකයේ අවධානය් දැඩි ලෙස යොමු වී තිබිණි.

සුදොතුම් පියතුමාගේ සංචාරයට යලිත්...  


ජුනි 24 වැනි සිකුරාදා ආර්මෙනියාවට සැපත් වූ සුදොතුම් පියතුමාගේ පළමු දින කාලසටහනේ දෙවන අංගය වී තුබුණේ යෙරෙවාන් අගනුවර ජනාධිපති මාලිගයේ දී එරට ජනාධිපති සෙරේෂ් සරග්ෂියාන් මහතා ප්‍රමුඛ දේශපාලන හා සිවිල් නායකයන් විසින් එතුමා පිළිගනු ලැබීමයි.

දැනට  වසර සියයකට ඉහත සිදු වූ මෙම ශෝකාන්තය සුදොතුම් පියතුමා එහිදී කල කතාවේ දී සිහිපත් කලේ ය. එහෙත් එතුමාගේ කතාවේ ලිඛිත පිටපතේ එම සිද්ධිය සඳහන් කර තිබුනේ ප්‍රවේසමෙන් හා සැහැල්ලු වචන යොදාගනිමිනි. ඒ සඳහා ලිඛිත පිටපතේ යොදා තිබුනේ  "එම දැවැන්ත නපුර" (Metz Yeghérn, or "Great Evil")  යන වචනයි.

එහෙත් මෙතැනදී තමාට හුරු පුරුදු ලෙස සිය කතා පිටපතින් ඉවත් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කීවේ ය: "කනගාටුදායක ලෙස, එම ඛෙදාන්තය - එම ජන සංහාරය - පසුගිය සියවසේ අපගේ ලෝකය තුළ සිදු වූ නින්දිත හා ඛේදනීය ව්‍යසන මාලාවේ පළමුවැන්නයි. එම ජනසංහාරයට මඟ පාදන ලද්දේ,  සමස්ත ජනතාවක් සමූලඝාතනය කරන තත්වය තෙක් එය සිදු කල වධකයන් ගේ හදවත් අන්ධකාරයට පත් කරන ලද විකෘති වූ වාර්ගික, ආගමික හා න්‍යායික අරමුණු සමුහයයි."

මෙම ඛේදාන්තයෙන් වර්තමාන ලෝකයේ ජීවත්වන්නන් වන අපට දැවැන්ත පාඩමක් ඉගෙන ගැනීමට ඇති බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "ගත වූ සියවසේ මෙවැනි අනර්ථකාරී හා විනාශකාරී සිදුවීම්  කරා ලෝකය මෙහෙයවන ලද වෛරය, පූර්ව විනිශ්චයන් හා  ආධිපත්‍යය සඳහා වූ තෘෂ්ණාවේ ප්‍රතිඵල අපි අත්විඳ ඇත්තෙමු. එබැවින්, එම අනර්ථකාරී ප්‍රතිඵල අත්විඳි මානව ප්‍රජාව, ඒවායින් පාඩම් ඉගෙනගෙන, එවැනි භීෂණකාරී තත්වයන් යලි ඇති වීමේ අනතුර වලක්වාලීම  සඳහා වගකීමෙන් හා ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි."

ආගමක, විශ්වාසයක හෝ දෙවියන් ගේ නාමයෙන් සිදුකෙරෙන ඝාතන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහි දී දෝෂ දර්ශනයට ලක් කළේය. මෙවැනි යුද්ධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා සමස්ත මානව ප්‍රජාව එක්සත් විය යුතු බව එතුමා අවධාරණය කලේ ය: "දෙවියන් වහන්සේ ගේ පරිශුද්ධ වූ නාමය අයුතු ලෙස පරිහරණ කරමින් හා විකෘති කරමින්, යුද්ධය, පීඩනය  හා ප්‍රචණ්ඩකාරී හිංසනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආගම යොදා ගන්නා කණ්ඩායම් හුදෙකලා කිරීම සඳහා සියලු ආගම් අනුගමනය කරන්නන් අත්වැල් බැඳගත යුතු ය."

මේ වන විට ලොව විවධ ප්‍රදේශ වල හිංසාවටත් පීඩාවටත් පත් කරනු ලබන කිතුනු සහෝදර සහෝදරියන් සමග යාච්ඥාවෙන් හා සිතින් එකමුතු වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආර්මේනියාන කිතුනු ජනතාවට ආයාචනයා කළේය: |ආමෙනියා ජනතාව හිංසාව තමන් විසින්ම අත්දැක තිබෙනවා. දුක වේදනාව කුමක් දැයි ඔබ දන්නවා; වදහිංසා හා පීඩා කෙබඳු දැයි ඔබ දන්නවා. ඔබ ආරක්ෂා කරගෙන සිටින්නේ අතීත රිදීම් වල ස්මරණ පමණක් නොවේ; සියල්ල අලුතින් පටන් ගෙන යලි නැගී සිටීමේ ආධ්‍යාත්මික ගුණය ද ඔබ ආරක්ෂා කරගෙන සිටිනවා. ...එබැවින් මෙම වාතාවරණය තුළ ලෝක ප්‍රජාවට ඔබගෙන් ලැබිය යුතු වටිනා දායකත්වය ලබා දීමට ඉදිරියට එන්නැයි  මා ඔබ දිරිමත් කරනවා."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය