"වෛද්‍ය සේවාවේ ගරුත්වය අනතුරේ ... ඔබේ රෝගීනට දයාව දක්වන්න": සුදොතුම් පියතුමා වෛද්‍යවරුනට කියයි.

 "The dignity of human life and the dignity of the medical vocation are at stake.": Pope tells Doctors 


(2016 ජුනි 13)
අසාධ්‍ය රෝගීන්, ආබාධිතයන් හා දුබලවුවන් පිළිබඳව විවිධ මත පවතින නූතන ලෝකය තුළ වෛද්‍ය වරයකු ගේ හදවත හා ක්‍රියා කලාපය "ක්‍රිස්තු වෙදාණන්" හා සම විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත්දා අවධාරණය කෙළේය. බටහිර රටවල් කිහිපයක් විසින් අනුමත කර ඇති, ඇමෙරිකානු රටවල් කිහිපයක් විසින් අනුමත කරගන්නට වෙහෙසෙන "වෛද්‍ය සහය ලද ආත්මඝාතන" යනු 'විසිකිරීමේ සංස්කෘතියේම' කොටසක් බව එතුමා පෙන්වා දුන්නේ ය.(කර්තෘ සටහන: "වෛද්‍ය සහය ලද ආත්මඝාතන" (Assisted suicide) හෙවත් 'කරුණා ඝාතන' (Euthanasia) යනුවෙන්  හැඳින්වෙන්නේ, තමන් පෙලෙන රෝගයෙන් සුවයක් නොලැබෙන බව හෝ මේ රෝගයෙන් දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදුවන බව යම්  තැනැත්තෙකුට හැඟී ගිය විට, වෛද්‍යවරයකු ගේ ආධාරය සහිතව සිය දිවි හානිකර ගැනීමට එම තැනැත්තාට ඇති බව කියන 'අයිතිය' යි. මේ වන විට කැනඩාව මෙම ක්‍රමය නීතිගත කිරීමේ විවාදයක පැටලී සිටියි.) වෛද්‍ය සහය ලද ආත්ම ඝාතනය වූ කලී දයාබර හදවතකින් කෙරෙන්නක් නොව "ව්‍යාජ අනුකම්පාවේ" ප්‍රතිඵලයකියි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සම්භාවනීය වෛද්‍ය සංගමයක නායකයන්  පිරිසක් ඉකුත්දා එතුමා මුණගැසුණු අවස්ථාවේ දී ය. ස්පාඥ්ඥ සහ ලතින් ඇමෙරිකා වෛද්‍ය සංගමයේ කළමනාකාරවරු ජුනි 9 වැනිදා වතිකානයේ අපෝස්තලික මාලිගාවේ දී සුදොතුම් පියතුමා හමුවූහ.

මෙම හමුවේ දී  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා  සිටියේ වෛද්‍යවරුන් සිය රෝගීනට දයාවෙන් හා අනුකම්පාවෙන්  සැලකිය යුතු බවයි. අනුකම්පාවේ ගුණ හා ලක්ෂණ ද එතුමා පෙන්වා දුන්නේ ය: "සැබෑ අනුකම්පාව කිසිවකු හෝ කොන් කරන්නේ නැත; කිසිවකුට අවමන් කරන්නේ හෝ කිසිවකු පහත්කොට සලකන්නේ හෝ කිසිවකු  බැහැර කරන්නේ නැත; කිසිවකු ලොවින් අතුරුදන් වීම යහපත් දෙයක් කොට සලකන්නේ නැත. එබැවින් පුද්ගලයකු ගේ මරණය අනුමත කර එය යුක්තිසහගත කිරීම සඳහා අනුකම්පාව තුළ සැඟවීම අනුමත කල නොහැකිය. ...අද්‍යතන  'විසිකිරීමේ සංස්කෘතියේ' ප්‍රධාන ලක්ෂණයක් වන ආත්මාර්ථකාමයේ ජයග්‍රහණය යනු කුමක්දැයි ඔබ දන්නවා ඇත. මනා සෞඛ්‍යය, රූප සුන්දරත්වය සහ උපයෝගිතාව වැනි උපමානවලට නොගැලපෙන පුද්ගලයන් මෙම සංස්කෘතිය විසින් පිටුදකිනු ලැබේ" යැයි එතුමා වෛද්‍ය ප්‍රධානීන්ට කියා සිටියේ ය.

'අනුකම්පාව' යනු කුමක් ද? සැබෑ අනුකම්පාව යනු " රෝගී තැනැත්තකු ගේ ඇති අපරිමිත වටිනාකමට දක්වන යුක්තිසහගත ප්‍රතිචාරයයි" යනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අර්ථ දැක්වූයේය. "මෙම ප්‍රතිචාරය, ගෞරවය, තේරුම් ගැනීම සහ මෘදුබව යන ගුණාංගවලින් සමන්විත වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාගේ ජීවිතයේ ඇති පූජනීය වූ ද අනුල්ලංඝනිය වූ ද වටිනාකම නැතිව යන්නේ හෝ සැඟවෙන්නේ හෝ නැත. ඒ වෙනුවට නිශ්චිතව ම දුක්වේදනාව  සහ අසරණ වීම තුළ ජීවිතයේ වටිනාකම වඩාත් දීප්තියෙන් බබළන්නේ යැ"යි  එතුමා පැහැදිලි කළේය.

දයාව සහ අනුකම්පාව වෛද්‍ය වෘත්තියේ අත්‍යවශ්‍යම කොටසක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය: "වෛද්‍යවරයා ගේ අනන්‍යතාව හා කැපවීම රඳා පවතින්නේ හුදෙක් විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික නිපුණත්වය මත පමණක් නොවේ. එය ප්‍රධාන වශයෙන් ම රඳා පවතින්නේ ශාරීරිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව වේදනා විඳින්නන් කෙරෙහි දක්වන අනුකම්පාවේ, කරුණාවේ සහ දයාවේ ආකල්ප මත ය. අනුකම්පාව යන්නෙහි අරුත 'අනේ! අපොයි!' කියා ශෝක වීම නොවේ.  එහි අරුත (යම් කෙනෙකු) 'සමග දුක් විඳීම' යන්නයි" යැයි එතුමා පැහැදිලි කලේ ය.


තාක්ෂණික සහ තනිපුද්ගලවාදී සංස්කෘතිය විසින් අනුකම්පාව සැලකිල්ලට නොගන්නා බව සොදොතුම් පියතුමා කියා සිටියේ ය. අනුකම්පාව අවඥාවෙන් බැහැර කරන තාක්ෂණික සංස්කෘතිය බොහෝ විට එය සලකන්නේ තම සංස්කෘතියට අවමානයක් ලෙස බව එතුමා කිවේය: "දුර්වලකම, වේදනාව සහ ආබාධිත බව වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සැමටම දරා ගත නොහැකි දුෂ්කර අවස්ථාවකි.එහෙත් ඇත්ත වශයෙන්ම තවත් කෙනෙකු ගේ වේදනාව අපට ආරාධනා කරන්නේ ඉවසිලිමත් වී (එම තැනැත්තා) 'සමග දුක් විඳීමටයි'. මේ නිසා අප ව්‍යාජ අනුකම්පාවෙන් පිරී, නැතහොත් කාර්යක්ෂමතාව හා  ඵලදායීතාව මත පදනම් වී හදිසි දැඩි තීරණ ගැනීමේ කෘත්‍යවාදී දුර්පරීක්ෂාවලට හසු වීමෙන් වැලකි සිටිය යුතු ය."

"මානව ජීවිතයේ ගරුත්වය පරදුවට තබා තිබේ; වෛද්‍ය සේවාවේ ගරුත්වය අනතුරට ලක්ව තිබේ" යි සුදොතුම් පියතුමා අවධාරණයෙන් කියා සිටියේ ය."වෛද්‍යවරුනි, ඔබගේ 'හදවත වඩ වඩාත් ඔබගේ දෑතට ගැනීමෙන්' වැලැක්වීමට කිසිවෙකුට හෝ කිසිවකට ඉඩ නොදිය යුතු ය. (“Nothing must prevent you from ‘putting more heart into your hands.")

මානව සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාවේ දේව ධාර්මික අංශය ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෛද්‍ය ප්‍රධානීන්ට කතා කලේ ය. බයිබලීය සම්ප්‍රදාය තුළ සෞඛ්‍ය හා ගැලවීම අතර සමීප සම්බන්ධතාවක් තිබේ.

"සභා පියවරුන් ක්‍රිස්තුන් වහන්සේ සහ උන්වහන්සේ ගේ ගැලවීමේ කෘත්‍යයන් ගැන කතා කලේ "ක්‍රිස්තු වෛද්‍යවරයාණෝ" (ලතින්:‘Christus Medicus’ ; 'Christ the Doctor') යන විරුදය උන්වහන්සේට ලබා දෙමිනි. උන්වහන්සේ තුවාල වූ බැටළුවන්ට සාත්තු කොට රැක බලා ගන්නා වූ ද, රෝගී වූ බැටළුවන් සනසන්නා වූ ද යහපත් එඬේරාණෝය. උන්වහන්සේ පාරේ වැටී සිටින තුවාල ලද පුද්ගලයා නොදැක්කා සේ පසු කර නොගොස්, අනුකම්පාවෙන් වෙලී, ඔහුට සාත්තු කර ඔහු සුවපත් කරන යහපත් සමරිතානවරයා ය."

"එබැවින් වෛද්‍යවරුනි, මේ අනුකම්පාව සුව සහනයේ වැළඳගැනීමක් බව සංකේතවත් කරනු සඳහා ඔබගේ අත් ආශීර්වාද කිරීමට මා කැමතියි" යැයි ඔවුනට කල අනුශාසනය අවසන් කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය