"ආදරය ඇත්තේ කොතැනද, ත්‍රිත්ව-එක දෙවිඳුන් එතැනය"

"Where there is love there is God": Holy Father explains the Mystery of the Holy Trinity


(2016 මැයි 22)
"ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය යනු සහභාගිත්වය, සැනසිල්ල සහ දයා කරුණාව ප්‍රවර්ධනය කිරීම මගින් අපගේ එදිනෙදා ජීවිතය පිරිපුන් කරගැනීමට කෙරෙන ආරාධනයකි. දෙවියන් වහන්සේ ගේ සහභාගිකමට සමානව හා එම ස්වරූපයට අනුව අප මවනු ලැබීම මගින් අප කැඳවීම් ලබා සිටින්නේ, අප සම්බන්ධතාවලින් යුත් සත්තාවන් බව අවබෝධ කර ගැනීමටයි; එසේම අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා, සහෝදරත්වයෙන් සහ අන්‍යොන්‍ය ප්‍රේමයෙන් ජීවත් කරවීමටයි. මෙම දූත මෙහෙවරේ දී ශුද්ධාත්මයානන් වහන්සේ විසින් දානය කරනු ලබන ශක්තියෙන් අපි පෝෂණය කරනු ලබමු. එම ශුද්ධාත්ම ශක්තිය, අයුක්තිය, අසාධාරණය, පීඩාකිරීම , වෛරය සහ තෘෂ්ණාව නිසා තුවාල ලබා ඇති මානව දේහය සුවපත් කරයි."

ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය සැමරුණු ඊයේ (2016 මැයි 22) දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට එක්රැස් වූ දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් හමුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. සාම්ප්‍රදායික ලෙස සුදොතුම් පිය මාළිගයේ අධ්‍යයන කාමරයේ කවුළුව අසල  පෙනී සිටිමින් එතුමා තුන්කාල ආරාධනා යැදුම මෙහෙය වූයේය. තුන්කාල ආරාධනා යැදුමට කලින් කෙරෙන භාවනාවට එතුමා කේන්ද්‍ර කරගත්තේ ශුද්ධවූ ත්‍රිත්වයේ සහභාගිත්වයයි.



මෙහිදී පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන් යන ශුද්ධවූ ත්‍රිත්වයේ ඒකාබද්ධතාව සුදොතුම් පියතුමා හැඳින්වූයේ "ශුද්ධවූ "ත්‍රිත්වයේ පවුල" ලෙසයි. එම 'පවුල' නොහොත් 'හවුලේ' ස්වරූපයත්, එම 'පවුලේ' මැවිල්ල වන මානව අපට එමගින් ලැබෙන ආදර්ශය හා අභියෝගයත් එතුමා පැහැදිලි කළේය.

"දිව්‍ය පවුල තමන් තුළ සංවෘත වී නොමැත. උන්වහන්සේ විවෘතය. සිය මැවිල්ල තුළ සහ මානව ඉතිහාසය තුළ තම මහිමය හා ප්‍රේමය සන්නිවේදනය කරන උන්වහන්සේ ඊට සහභාගිවීමට සෑම මනුෂ්‍යයකුටම ආරාධනය කරනු සඳහා මානව ලෝකයට ඇතුළු වූ සේක. ...මේ නිසා, සහභාගිත්වයේ, සැනසීම දානය කිරීමේ සහ දයා කරුණාවේ මුහුන් වීම සඳහා එදිනෙදා ජීවිතයේ අපට මුණගැසෙන අවස්ථා භාවිත කිරීමට කැපවන්නැයි අති පරිශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය අපට ආරාධනා කරයි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

කතෝලික සභාවේ හවුල් තුළ, අපගේ පවුල් තුළ, මිතුරන් හා රැකියා කරන ස්ථානවල මෙම 'ත්‍රිත්ව සහභාගිකම' ජීවත් කරන්නේ කෙසේදැයි එතුමා පැහැදිලි කළේය. "මේවා අන්‍යොන්‍ය ගරුත්වය සහ පරාර්ථකාමී ප්‍රේමය ජීවත්කල හැකි මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සම්බන්ධතා ගොඩනගා ගැනීමට අප යොමු  කරන  ප්‍රත්‍යක්ෂ අවස්ථා යි."

මෙදින දිව්‍ය පූජාවේ සුබ අස්නේ දී ප්‍රකාශ කරන ලද ජුවාම් සුබ අස්නේ කොටස සුදොතුම් පියතුමා පහදා දුන්නේය.

මෙහි කියවුනේ තමන් වහන්සේගේ දුක්ප්‍රාප්තියට සුළු මොහොතකට පෙර ජේසු සමිඳුන් සිය සමීපතම මිතුරන් වූ අපොස්තුලුවරුනට කල දේශනයේ කොටසකි. තමන් වහන්සේත්, පියාණන් හා ශුද්ධාත්මයානන් වහන්සේත් අතර ඇති සම්බන්ධතාව උන්වහන්සේ මෙහිදී විස්තර කරති. තම මරණය මගින් දේව පියාණන් ගේ සැලැස්ම ඉටුකළ යුතු බව පහදා දුන් උන්වහන්සේ කියා සිටියේ, කෙසේනමුත්, තමන් සිය ශ්‍රාවකයන් අත්හැර නොදමන බවයි. ඔවුන් තනි නොවන බවයි. මන්ද "ශුද්ධාත්මයානන් වහන්සේ මගේ මෙහෙවර ඉදිරියට ගෙනයන නිසා"යැයි උන්වහන්සේ පවසති.

"මේ නිසා ජේසු සමිඳුන්ට තව දුරටත් මේ යුගයේත් අපට පහදා දිය යුතු දේ තේරුම් ගැනීමට ශුද්ධාත්මයාණන් අපට දැනුත් මග පෙන්වන" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "වර්තමාන සිද්ධීන්ට සහ අනාගතයට  විවෘත වන අතර, අපගේ නෙත් ජේසු සමිඳුන් වෙත යොමුකරගෙන, ජීවිතයේ නව අවස්ථාවලට මුහුණ දීමට ශුද්ධාත්මයාණෝ අපට මග පෙත්වති. සුබ අස්න තුළ ගැඹුරට මුල් බැසගනිමින් සහ අපගේ සම්ප්‍රදාය හා චාරිත්‍ර වලට ක්‍රියාශීලිව විශ්වාසවන්ත වෙමින් ඉතිහාසය තුළ ගමන් කිරීමට උන්වහන්සේ අපට සහය වන සේක."

උතුම් ම දේව මැවිල්ල වන  මානව අපට ශුද්ධවූ ත්‍රිත්වයෙන් ලැබෙන වඩාත් ප්‍රබල අභියෝගය වන්නේ 'ත්‍රිත්වයික පවුලේ ජීවිතය' හෙවත් ප්‍රේමයේ සහ සහභාගිකමේ ජීවිතය බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "ශුද්ධවූ ත්‍රිත්වයේ ජීවිතය අපට ද කතා කරයි. ඉන් එකක් වන්නේ අප හා පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන් අතර ඇති සම්බන්ධය යි.  ප්‍රේමයේ සහභාගිත්වය වන දෙවියන් වහන්සේ ගේ හදවතත් දේව ජීවිතයත් බෞතීස්ම ස්නාපනය මගින් ශුද්ධාත්මයාණන් විසින් අප තුළ තැන්පත් කර තිබේ. දෙවියන් වහන්සේ වූ කලී තමන් ඒකීයත්වයට පත්වන තරමට අන්‍යොන්‍ය ප්‍රේමයෙන් බැඳී සිටින ත්‍රිපුද්ගල 'පවුල'කි " එබැවින් එබඳු ප්‍රේමයක් ඇති තැන දෙවිඳාණෝ වැඩසිටින බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ශුද්ධ වූ ත්‍රිත්වයට මරිය මෑණියන් ගේ ඇති සම්බන්ධය ද සුදොතුම් පියතුමා විස්තර කළේය. "භාග්‍යවත් මරිය වහන්සේ ශුද්ධවූ ත්‍රිත්වයේ කැඩපතයි" යයි එතුමා කීවේය. "ත්‍රිත්වයික අභිරහස පිලිබඳ අපගේ ඇදහිල්ල යළි තහවුරු කොට ප්‍රේමයේ සහ එකමුතුකමේ ජීවිත තෝරාගැනීම්  හා ආකල්ප තුළ එය මූර්තිමත් කිරීමට අපට සහය වන්නැයි" එතුමා මරිය තුමියට යාච්ඥා කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය