"මෙය ඇත්තෙන් ම ප්‍රාතිහාර්යයක්!" ISIS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් ගැලැවී පලා ආ සිරියානු ජාතික පියතුමාගේ කතාව

"It's truly a miracle!" Kidnapped Syrian priest escapes from ISIS

ISIS වෙතින් ගැලවීමට හැකි වූ මවුරාඩ් පියතුමා
(2015 ඔක්තෝබර 15)
ඉස්ලාමීය රාජ්‍ය හෙවත් ISIS (අයිසිස්) ත්‍රස්තවාදීන් ගේ අත්අඩංගුවේ  පසු වූ සිරියානු පියතුමෙක් එම ග්‍රහණයෙන් ගැලවී පලා ඒමට ඉකුත් දා සමත් විය. එතුමා පවසන්නේ මෙය ප්‍රාතිහාර්යයක් බවයි. දේවමාතාවන් වන මරිය වහන්සේ ගේ මැදිහත්කමින් මෙය සිදු වූ බව පවසන එතුමා ඊට උදව් වූ මුස්ලිම් මිතුරෙකුට ද සිය කෘතවේදීත්වය පල කරයි.

මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ සිරියාක් කතෝලික පියතුමකු වන ගරු ජාක්  මවුරාඩ් පියතුමා ය. එතුමා සිරියාවේ අල කර්යාටේන් නගරයේ තිබුණු මාර් එලියාන් තාපසාරාමයේ නායක පියතුමා විය. මේ වසරේ මැයි 21 වැනි දා ISIS සටන්කරුවෝ තාපසාරාමයට පැමිණියහ. එහිදී ඔව්හු මවුරාඩ් පියතුමා සමග තවත් තරුණයකු අත්අඩංගුවට ගත්හ.

"පළමු දින හතරේ අප සිටියේ කඳුකරයේ යි. තාපසාරාමයේ සිට අපව ගෙන ආ මෝටර රථයේ දමා අපව සිර කර තිබුනා" යි පියතුමා ඉතාලියේ TV 2000 සේවාවට පවසා තිබිණි. "අගෝස්තු 11 වනදා අපව පැල්මයිරා ප්‍රදේශයට රැගෙන ගියා. අල් කර්යාටේන් නගරයෙන් පැහැරගත් තවත් කිතුනුවන් 250 දෙනකු පමණ එහි සිරකොට සිටියා."

ISIS ත්‍රස්තවාදීන් අල් කර්යාටේන් නගරය සම්පුර්ණයෙන් අල්ලාගත්තේ අගෝස්තු 6 වන දා ය. එහි සිටි කිතුනුවන්  30 දෙනෙක් පමණ ඊට සැතපුම් 30ක් පමණ වයඹදිගින් පිහිටි හොම්ස් නගරයට පලාගොස් ජීවිතය ගලවා ගැනීමට සමත්වූහ.

ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටිය දී සිදු වූ සිදුවීම්, මවුරාඩ් පියතුමා එම රුපවාහිනි නාලිකාවට විස්තර කලේ ය. එතුමා කියා සිටියේ ඔවුන් නිතරම තමා මරණ බයට පත් කොට තම ආගමික විශ්වාසය වෙනස් කරන්නට උත්සාහ කල බවයි.

"ඔවුන්ගෙන් කෙනෙක් සෑම දිනකම මා සිරකර තිබූ තැනට ඇවිත් මගෙන් ඇහැව්වා 'තමා කවුද? තමාගේ ආගම මොකක් ද?' කියලා.මම ඔවුන්ට පිළිතුරු දුන්නා 'මම නසරීනයෙක්' කියා. එහි අදහස මම කිතුණුවෙක් කියන එකයි" පියතුමා කියයි. "එවිට ඔවුන් මට කෑ ගසා තර්ජනය කළා, 'එහෙම නම් උඹ මිථ්‍යාදෘෂ්ටිකයෙක්. උඹ ක්‍රිස්තියානි කාරයෙක් නිසා, උඹ ඒක අත ඇරලා අපේ ආගමට හැරෙන්නේ නැති නම්, අපි උඹේ උගුරු දණ්ඩ කපල මරනවා..' කියා"

දිනෙන් දින තර්ජන දරුණු වූවත් පියතුමා තම විශ්වාසය අත්හැරීම ප්‍රතික්ෂේප කළේය.

එතුමා කියා සිටියේ මෙම තත්වය සැලකිල්ලට ගත්කල තම ජීවීතය ගලවා ගැනීමට හැකිවීම විශ්මය ජනක බවයි.

"මෙය යහපත් සමිඳාණන් මා වෙනුවෙන් කල ප්‍රාතිහාර්යයක්. සිරකරුවෙකු ලෙස සිටියදී මා දින ගත කලේ මා මරා දමන දිනය පැමිණෙන තෙක්. එහෙත් එක වැදගත් දෙයක් තිබුණා. එනම් මා තුළ වචනයෙන් විස්තර කල නොහැකි ඇතුළාන්ත සාමයක්, ශාන්තියක් තිබුනා. අප සමිඳුන් ගේ නාමයෙන් මියයන්නට මා තුළ බියක් හෝ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මම අප සමිඳුන් වන ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් මියයන පළමුවැනියා හෝ අන්තිමයා හෝ නොවේ. උන්වහන්සේ ගේ ප්‍රාණපරිත්‍යාගීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් එක්  කෙනකු පමණයි" ජාක් මවුරාඩ් පියතුමා සිය සිතිවිලි ඉතාලි ජනමාධ්‍යවේදියාට කියා සිටියේ ය.

"මගේ ගැලවීම වෙනුවෙන් යාච්ඥා කල හැමෝටම මම ස්තුති කරනවා. පූජකතුමකුට  ISIS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන්  මිදී පලා ඒමට හැකිවීම සැබවින් ම ප්‍රාතිහාර්යයක්. එය කන්‍ය මරිය මෑණියන් මා වෙනුවෙන් කල ප්‍රාතිහාර්යයක්"

ISIS ත්‍රස්තවාදීන් ගෙන් මිදී ඒම සඳහා තමාට වෙස් වලා  ගැනීමට සිදු වූ බව පියතුමා කීවේ ය. එතුමා පලා ආවේ යතුරු පැදියක ය. "තවත් වැදහත් දෙයක්. මේ විදියට එන්නට මට උදව් වුනේ මුස්ලිම් යහළුවෙක්". තම ජීවිතය ගලවා ගැනීමේ දී තමන්ට "යහපත් සමරිතානුවා" වූ ඒ මුස්ලිම් යහළුවා ගැන පියතුමා සිහිපත් කරන්නේ මහත් සෙනෙහසිනි. එතුමා සමග එදිනම තවත් කිතුනුවෝ 40 දෙනෙක් ත්‍රස්තවාදීන් ගෙන් මිදී පලා ආහ. .

මවුරාඩ් පියතුමා නිදහස ලැබීමෙන් පසු ඉකුත් ඔක්තෝබර 10 වන දා සිය ප්‍රථම දිව්‍ය පුජාව ඔප්පු කලේ ය. එතුමා ඕතඩොක්ස් පියතුමකු හා බෙඩුවින් මිතුරන් ද මුස්ලිම් මිතුරකු ද සමග එක්ව, තවමත් ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ සිටින 250 ක් පමණ වන කිතුනුවන් මුදා ගැනීමට දැන් කටයුතු කරමින් සිටියි.

අල් කර්යාටේන් හි මීසම් භාර පියතුමා ද වූ මවුරාඩ් පියතුමා, සිරියානු ආණ්ඩුවේ හමුදා සහ කැරලිකරුවන් අතර සාමය ඇති කිරීමට ද මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් සිටියේ ය. එතුමන් ජීවත් වූ තාපසාරාමය වසර 1600 කට පමණ පෙර ගොඩනගන ලද සංස්කෘතික උරුමයකි. එහෙත් එම ප්‍රදේශය අල්ලා ගත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීහු අගෝස්තු මාසයේ එම තාපසාරාමය බිමට සමතලා කළහ.

(CNA)




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය