"රදගුරු කතිකාව සාර්ථක කරගැනිමට කානාවේ බඳු ප්‍රාතිහාර්යයක් අවශ්‍යයි; දැඩිව යාච්ඥා කරන්න"- ඉක්වදෝරයේ දී පාප් වහන්සේ ඉල්ලති (video)

A Cana-like miracle needed for the success of the Synod; Intensify your prayers - Pope tells in Guayaquil



(2015 ජූලි 7)
"පවුල දරුවන් ගේ පාසලයි. පවුල ළඟම රෝහලයි. පවුල වැඩිහිටි දෙමාපියන් ජීවත් වීමට වැඩියෙන්ම ආශා කරන ස්ථානයයි. පවුලේ (විවාහ මංගල්‍යයට මිදි යුෂ) අඩුපාඩු වූ විට ඒ ගැටලුව මරිය මෑණියන් ගේ දෑතින් ජේසු සමිඳුන්ට බාර දෙන්න."

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ඉක්වදෝරයේ සිය ප්‍රථම දිව්‍ය පුජා මෙහෙයේ කල දේශනාවේ සාරාංශය එසේ ය.

උන්වහන්සේ ඉක්වදෝරයේ ගත කල සිය ප්‍රථම සම්පුර්ණ දිනය ආරම්භ කලේ ඊයේ (ජූලි 6 සඳුදා) , ගුවායාකිල් නුවර ලොස් සමානොස් උද්‍යානයේ පැවැත්වූ දිව්‍ය පූජා යාගයකිනි. ගුවායාකිල්, එරට විශාලතම නගරයයි. මෙම සුවිශාල උද්‍යානයේ පැවති දිව්‍ය පූජාවට දස ලක්ෂයක ජනතාවක් සහභාගී වූ බව එරටින් ලැබෙන නිල වාර්තා සඳහන් කරයි.

සුදොතුම් පියතුමා සිය දේශනාවේ තේමාව කර ගත්තේ මෙහෙයේ සුබ අස්න වූ කානා නුවර විවාහ මංගල්‍යය අවස්ථාවේ ජේසු සමිඳුන් විසින් සිදුකල ප්‍රථම ප්‍රාතිහාර්යයේ සිද්ධියයි.

පවුල කුඩා 'ගෘහාශ්‍රිත සභාවක්' බව ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. "අපි අපගේ දෙමාපියන් ගේ ආදරය අත්දකින විට, දෙවියන් වහන්සේ ගේ ආදරයේ සමිපබව අපට දැනෙනවා."

කානා ගමේ විවාහ මංගල්‍ය සිද්ධියේ මරිය මෑණියන් සිය පුතනුවන්ට කල කන්නලවුවෙන් ප්‍රදර්ශනය වන්නේ එතුමිය ගේ මාතෘක ප්‍රේමය හා සැලකිල්ල බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. "ශක්තිමත්, ඵලදායි සහ ප්‍රීතිමත් ප්‍රේමයක් තුළ ඉස්පාසුවක් ලැබීමට අප ගන්නා උත්සාහයන්හිදී, ඉතිහාසයේ සෑම පරපුරක් තුළම , සෑම පවුලක් තුළම, අප සෑම කෙනෙකු තුළම  කානාවේ සිද්ධිය පුන පුනා සිදුවෙයි."

මෙම සිද්ධියේ දී මරියාවන් ක්‍රියා කල ආකාරය ආදර්ශයට ගෙන, ඕ තුමිය  සමග කානාවට යමුයි පාප් වහන්සේ ජනතාවට ඇරැයුම් කළහ.

ප්‍රථමයෙන්ම අන් අයගේ අවශ්‍යතාවලට ඇය තුළ තිබූ අවධානය ආදර්ශයට ගන්නැයි එතුමා ඉල්ලා සිටියේ ය. විවාහ මංගල්‍යයට ඇයට ආරාධනා කළ අයගේ මිදී රස  අවසන් වී ඇතැයි ඇය දුටුවාය. මෙය එතුමිය තුල වූ ආනන්දයේ, ආදරයේ හා පිරුණු බවේ ලක්ෂණයකි. නූතන පවුල් තුළ ද ඇතැම් විට මෙලෙස "මිදී රස" අවසන් වූ අවස්ථා අප දැකිය යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. "පවුල් තුළ තමන්ට ආදරය නොලැබෙන බවත්, තමන් නොසලකා හරින බවත්  දැනෙන අය, එසේම රැකියාවක් නැති කමින් හෝ රෝග පිඩා වලින් හෝ දුක් විඳින අය මෙසේ 'මිදී රස' අවසන් වූවන් සේ හැඳින්විය හැකියි. වැඩිහිටියන් කි දෙනෙක් පවුලේ උත්සව වලින් තමන් ඉවත් කිරීම නිසා දුක් විඳිනවා ද? සෑම දිනකම ටිකක් හෝ ආදරය ලබන්නට ආශාවෙන් ඔවුන් දින ගත කරනවා ද?"

ඇදහිල්ල

මරිය වහන්සේ තුළ සිය පුතනුවන් වූ ජේසු සමිඳුන් කෙරෙහි වූ නොසැලෙන විශ්වාසය ඇයගෙන් ආදර්ශයට ගත යුතු දෙවැනි ලක්ෂණය බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "ඇය යාච්ඥා කරයි. සිය පුතනුවන් වෙත යන ඕ තුමිය නිවැසියන්  මුහුණ දී ඇති ගැටලුව එතුමන්ට පැහැදිලි කරයි.ජේසු සමිඳුන් ගෙන් ඇයට ලැබෙන්නේ සිත අධෛර්යමත් කරන පිළිතුරකි: 'මේ ගැන ඔබටත් මටත් ඇති ගැටලුව කුමක් ද? ඇරත් 'මගේ පැය' තවමත් පැමිණ නැත.'

"එහෙත් එයින් මරිය වහන්සේ කලබල වන්නේ නැත. එතුමිය මඟුල් ගෙදර සේවකයනට උපදෙස් දෙන්නේ ඒ අනුවය. මේ මගින් ප්‍රදර්ශනය වන්නේ එතුමිය එම ගැටලුව දෙවියන් වහන්සේ ගේ හස්තවල තැබූ බවය. අන් අයගේ අවශ්‍යතා පිරිමසාලීමට ඇය ඇතුව තිබූ සැලකිල්ල නිසා ක්‍රිස්තුන් වහන්සේ ගේ 'පැය' ඉක්මන් විය. මරිය වහන්සේ තොටිල්ලේ සිට කුරුසිය දක්වා ඒ පැයේ කොටස්කාරියක් වුවා" යැයි  පාප්වහන්සේ පෙන්වා දුන්හ.

එසේම අපගේ පවුල් වල ගැටළු ද  මරිය මෑණියන් මගින් දෙවියන් වහන්සේ ගේ හස්ත වලට විශ්වාසයෙන් භාර කරන්නැයි පාප් වහන්සේ ඉල්ලා සිටියහ.

පවුල පිලිබඳ රදගුරු කතිකාව ගැන 

මේ ඔක්තෝබර මාසයේ පවුල පිලිබඳ ජගත් රදගුරු මහ කතිකාව පැවැත්වෙන්නේ නූතන ලෝක සමාජ ආර්ථික වටපිටාව තුළ පවුල අභියෝග හා අර්බුද රැසකට මැදිව තිබෙන අවස්ථාවක බව ප්‍රැන්සිස් පාප් වහන්සේ සිහිපත් කළහ. "එබැවින් එම සමුළුව වෙනුවෙන් ඔබගේ යාච්ඥා දැඩි කරන්නැ"යි එතුමා සියල්ලන්ගෙන් ඉල්ලා සිටියේය.

පවුල පිලිබඳ රදගුරු කතිකාව සාර්ථක කර ගැනීමට කානාවේ බඳු ප්‍රාතිහාර්යයක් අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළහ.

"මෙම රදගුරු මහ කතිකාවේ අරමුණ වන්නේ අපගේ යුගයේ පවුල මුහුණ දෙන අතිශය දුෂ්කර වූත් අතිශය වැදගත් වූත් අභියෝග අභියෝග වලට ගැඹුරු ආධ්‍යාත්මික විනිශ්චයකින් යුතුව ප්‍රායෝගික විසඳුම්වලට එළඹීමයි. මෙම කාර්යයේ දී, අපට දැන් අපිරිසිදු සහ අපචාර ලෙස පෙනෙන දේත්  අප බිය ගන්වන දේත් ...දෙවියන් වහන්සේ විසින් ප්‍රාතිහාර්යයක් බවට පරිවර්තනය කරන ලෙස ඉල්ලා ඔබේ යාච්ඥා දැඩි කරන්න" යි පාප්වහන්සේ ඉල්ලා සිටියහ.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය