"අධ්‍යාපනය මගින් වඩාත් කාරුණික වූත් මානව හිතවාදී වූත් පරපුරක් බිහිකළ හැක්කේ කෙසේ ද?" සුදොතුම් පියතුමා සරසවි ඇදුරන්ගෙන් විමසයි

"How can we create a more humane world through education" Holy Father asks academics  



(2015 ජූලි 8)
"මා ජීවත්වන රෝමයේ ශිශිර ඍතුව අධික සීතලයි. එසේ අධික සීත ඇති ඇතැම් දිනක වතිකානය අසල වයසක කෙනෙක් සීතලෙන් මිය යනවා. එම මරණය ගැන පුවත්පත්වල පලවන්නේ නැහැ. එය ප්‍රවෘත්තියක් වන්නේ නැහැ. ඒ අතර කොටස් වෙළෙඳපොළ දශම දෙකකින් පහල වැටෙනවා. එය ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත් වෙනවා. .......'ඔබේ සහෝදරයා කොහිද?' දෙවියන් වහන්සේ කායින් ගෙන් එසේ ඇසුවා.  මම (කතෝලික) විශ්ව විද්‍යාලයක ආචාර්යවරුන් හා සිසුන් වන ඔබට ඒ ප්‍රශ්නය යොමු කරනවා. 'ඔබේ සහෝදරයා කොහිද?' කායින් ඊට පිළිතරු දුන්නේ 'මා මගේ සහෝදරයාගේ ආරක්ෂකයා ද?' කියායි. ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද?"

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කලේ එතුමන් දැන් අපෝස්තලික ගමනක දී සිටින ඉක්වදෝරයේ අධ්‍යාපනඥයන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව ඉදිරියේ යි. එතුමා ඊයේ (ජූලි 7)  කිටෝ අගනුවර පිහිටි කතෝලික විශ්ව විද්‍යාලයට පැමිණියේය. කිටෝ රදගුරු පදවියට අයත් මෙම සරසවිය පාලනය කරනු ලබන්නේ ජේසු නිකායික පියවරුන් විසිනි. සරසවි බිමේ එළිමහන් පිටියක දී  පාප්වහන්සේ එහි ආචාර්යවරුන් හා සිසුන් මුණගැසුණහ. අධ්‍යාපනය සැලසුම් කිරීමේ දී  නූතන අධ්‍යාපනඥයන් හා සරසවි ප්‍රජාව අවධානය හා සැලකිල්ල යොමු කල යුතු වැදගත් කරුණු කවරේ දැයි සුදොතුම් පියතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු රටක අධ්‍යාපනඥයන් අබියස කල මෙම කතාවේ ශ්‍රී ලංකාවට ද වැදගත් වන කරුණු රැසක් තිබේ. හීනෙන් හෝ අඳුරේ අතපත ගාන්නා සේ හෝ අන්තවාදී දේශපාලකයන් ගේ උවමනාවලට අනුව නිතරම වෙනස් කෙරෙන අධ්‍යාපනයක් වෙනුවට ජාතිය ඉදිරියේ ඇති ගැටළු හඳුනා ගෙන ඊට මානව හදවතකින් හා දුර දක්නා ප්‍රඥාවෙන් යුතුව විසඳුම් සෙවිය හැකි යහපත් පුරවැසියන් බිහිකෙරෙන අධ්‍යාපනයක් ලක්දිව තුළ ඇති කිරීමට කවරකුට හෝ,  අවම වශයෙන් කතෝලික පාසල් වලටවත් උවමනාවක් ඇත්තේ නම්, පාප් වහන්සේට සවන් දෙන්න.

"ස්වර්ගයට මොරගසන අපේ මේ මිහිතලය පිළිබඳවත් එහි වෙසෙන දුර්වල ජනකොටස් පිළිබඳවත් අප,අපේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නේ දැයි මේ සරසවි බිමේ සිට මොහොතක් කල්පනා කරමු. නූතන ලෝකය ආදරයෙන් රැක  බලා ගතහැකි විවෘත මනසක් සහ ගැටළු විශ්ලේෂණය කිරීමේ කුසලතා ඔබගේ සිසුන්  තුළ  ප්‍රවර්ධනය  කිරීමටත් එහිලා ඔවුනට සහාය වීමටත් ඔබ කෙතරම් උත්සාහ දරනවාද?  අපගේ නූතන සමාජය අප ඉදිරියේ තබන විවිධාකාර වූ ගැටළු හා අභියෝගවලට නව විසඳුම් සෙවීමේ හැකියාවක් ඇති බුද්ධියක් ඔවුන් තුළ වර්ධනය කිරීමට කටයතු කරනවා ද? තමන් අවට ඇති ලෝකය නොසලකා නොසිටීමට ඔබ ඔබේ සිසු දරු දැරියන් දිරිමත් කරනාවාදැ" යි  පාප් වහන්සේ සරසවි ආචාර්යවරුන් ගෙන් විමසුහ.

"අපේ ජීවිතයත්, ජීවිතය තුළ ඇති අවිනිශ්චිතතා, අබිරහස්, සහ ප්‍රශ්නත්  විශ්ව විද්‍යාල විෂයමාලා තුළ හෝ වෙනත් අධ්‍යයන ක්‍රියාකාරකම් තුළට ඇතුළත් කොට  තිබෙනවා ද? වඩාත් කාරුණික වුත් මානව හිතවාදී වූත් ලෝකයක් ගොඩනැගීම අරමුණු කරගත් සංවාද හා යහපත් විවාද දිරිමත් කර ඒවාට සහාය දීමට සරසවිය කටයුතු කරන්නේ දැයි" එතුමා තව දුරටත් විමසා සිටියේ ය.


විශ්ව විද්‍යාල උපාධියක් යනු අනුන් පාගා තලා පෙලා දමන අහන්කාරයේ ඔටුන්නක් නොව සියල්ලන් වැළඳ ගන්නා සේවයේ සංකේතයක් බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. "අද අප කරන මේ මෙනෙහි කිරීමට අපගේ පවුල්, ගුරුවරුන් සහ අපගේ පාසල් යන සියල්ල අදාලයි. විශ්ව විද්‍යාල උපාධියක් යනු ඉහල පන්තියක්, තරාතිරමක්, මුදල් හෝ සමාජ ගරුත්වයක් යන ඒවාට  සමානාර්ථ පදයක් නොවන බව අපේ දරුවනට අප පහදා දෙන්නේ කෙසේ ද? ඔවුන් ලබන මෙම අධ්‍යාපනය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රශ්න හමුවේ - විශේෂයෙන් දුප්පතුන් ගේ අවශ්‍යතා, පරිසරය රැක බලා ගැනීම හා සාමය වැනි ප්‍රශ්න හමුවේ - වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට ඔවුන් තුළ පෙළඹවීමක් ඇති වන ආකාරයේ එකක් බවට අප පරිවර්තනය කරන්නේ කෙසේ ද?"

සිසුන්ටත් අභියෝගයක් 

ඇදුරන්ට සේම සිසු සිසුවියනට කතා කල පාප්වහන්සේ කියා සිටියේ, උසස් අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය නමුත් එසේ කිරීමට වත්කමක් නොමැතිව ළතැවෙන සම වයසේ සොයුරු සොයුරියන් ගැන ද සිතන ලෙසයි.

"තරුණ තරුණියනි, ඔබ ඉගෙනගන්නා මේ කාලය හුදෙක් ඔබගේ අයිතිවාසිකමක් පමණක් නොව වරප්‍රසාදයක් බව ද සිතන්න. ඔබේ මිතුරු මිතුරියන්, දන්නා හඳුනන අය සේ ම ඔබ නොදන්නා බොහෝ දෙනෙකු ද ඔබ සේම මේ නිවසේ මේ භුමියේ සිටින්නට ආශාව තිබුනත්, විවිධ හේතූන් නිසා ඔවුනට ඒ අවස්තාව අහිමිව ගොස් ඇති බව සිතන්න. ඒ අතරම නිතරම මේ ප්‍රශ්නය ඔබෙන් අසන්න. 'අපගේ මෙම අධ්‍යාපනය එය ලැබීමට වරම් නොමැතිවූ සහෝදර සහෝදරියන් සමග සහයෝගිතාව පුළුල් කර ශක්තිමත් කිරීමට කෙතරම් දුරට ඉවහල් වන්නේද?' " යි සුදොතුම් පියතුමා සිසුනට උපදෙස් දුන්නේ ය.

අධ්‍යයන ප්‍රජාවන් සිය සමාජයේ ප්‍රජා සහ සංස්කෘතික පෝෂණය කිරීමෙහි ලා අතිශය වැදගත් හා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකරන බව එතුමා අවධාරණය කළේය. "ඒ නිසා යතාර්ථය විශ්ලේෂණය හෝ විස්තර කරමින් හෝ සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඊටත් වඩා අද දවසේ අධ්‍යාපන ආයතන වලින් සිදු විය යුත්තේ  නිර්මානාත්මක චින්තනයෙන් හා සංවාදයෙන් නූතන ගැටළු හා ප්‍රශ්න වලට විකල්ප සෙවීමයි" යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය