පාස්කු අනුස්මරණ ගීය ගැන විමර්ශනයක් - සෑම කතෝලික පල්ලියකම වාදනය වන තේමා ගීතය විය යුතුයි: "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් -අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්"



(2021 අප්‍රේල් 27)

"නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන් කොහිද යුක්තිය කොහිද ධර්මය කොහිද නීතිය විමසමු"

අප කිලෝ මීටර 12,880ක්  ලංකාවට  ඈතින් ජීවත් වුවද, මේ විපතට පත් වූ එකදු කතෝලික -කිතුනු කිසිම කෙනෙකු අපේ නෑදෑ කෙනෙකු නොවූව ද,  2019 අප්‍රේල් 21 වැනිදා මේ පළාතේ ජීවත් වූ අපේ හදවත් ද ඒ බෝම්බයෙන් පුපුරා ගියේ ය. අපි දු හැඬුවෙමු. නිදි නැතිව විස්තර සෙව්වෙමු. යාච්ඥා පුද පූජා ඔප්පු කළෙමු. කල හැකි අයුරින් එකතු වීත් තනි තනිවත් උදව් උපකාර කළෙමු. 


පුපුරා ගිය හදවතින් යුත් අපි එක ප්‍රශ්නයක් ඇසුවෙමු. 


ලංකාව තුළ කිතුනු-මුස්ලිම් ගැටුමක් තිබුනේ නැත. අප බොහෝ ආදරය කරන අපට ආදරය කරන  මුස්ලිම් සහෝදර සහෝදරියෝ සිටිති. එසේ තිබියදීත් අපේ දින දර්ශනයේ අතිශය උතුම්  ම මංගල්‍යය දිනය, මරණය පරාජය කර  ජීවිතය තහවුරු කල දිනය, මරණයේ දිනයක් කරන්නට තරම් මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු සාහසික වූයේ ඇයි? ඇත්තෙන් ම මෙය ඔවුන් ගේ 'අන්තවාදී' ක්‍රියාවක් ද? නැතිනම්, කතෝලික සහ කිතුනු සමූහ ඝාතනයක් ඔස්සේ සිය දේශපාලන හෝ වෙනත්  අරමුණක් සපුරා ගැනීමට අර අඳිමින් සිටි 'අදිසි' දේශීය හෝ විදේශීය දේශපාලන හස්තයක් විසින් සිය පහත්  අරමුණ වෙනුවෙන් ඔවුන් යොදා ගත්තා ද? යන්නයි.  


සිද්ධියට පසු ගත වූ දින  731 තුළ මේ බෝම්බ ප්‍රහාරය එල්ල කල  'අන්තවාදී' තරුණයන් ගැන පමණක් නොව ඔවුන් ගේ පසුබිමේ  සිටි පුද්ගලයන් ගැනත්, ඔවුන් මුදලින් සහ වෙනත් ආකාරයෙන් දිරිමත් කල "අධම නොමිනිස් කැල" ගැනත් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. දිනෙන් දින ලොමු දැහැගන්වන අලුත් තොරතුරු  හෙළිවෙමින් තිබේ. ඒ අතරම ඒ සැබෑ තොරතුරු වලට මුකවාඩම් දමා, හෙළිදරව් වන ඒ සත්‍යය මර්දනය කර නිශ්ශබ්ද කිරීමේ “අධම සාහසික" වෑයමක්  ද ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දක්නට ලැබේ. 


පාස්කු ඉරිදා කාටවත් කියාගන්නටවත් ඉඩක් නැතිව අවසන් ගමන් ගිය අපේ සියලුම සහෝදර සහෝදරියන් ගේ දෙවැනි අනුස්මරණය පැමිණියේ ඒ අතරය. ඒ වෙනුවෙන් ඉකුත් 21 වැනිදා කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් සංවිධාන කල අනුස්මරණ උත්සවයේ දී මෙහි  ඉහත සඳහන් කල පද ඇතුලත් ඒ සොඳුරු ගීය ගායනා කෙරිණි. 


මම මේ ගීය කිහිප වතාවක් රස වින්දෙමි. දෑස් වසාගෙන දැහැන් ගත වෙමින් එහි පණිවිඩය තරයේ වැළඳ ගතිමි.  ඒ ගීයෙන් ඉදිරිපත් කරන අභියෝගයත්, යුක්තිය සහ සත්‍යයේ අරගලය  වෙනුවෙන් වූ කැඳවීමත්  උකහා ගතිමි. 


එහෙත් "නිහඬ නිද්‍රා සිහිනයේ " සිටින කතෝලිකයන් කී දෙනෙකුට ඒ අභියෝගය සහ කැඳවීම ඇසුනේ ද යන්න මට ප්‍රශ්නයකි. මේ භාවනාත්මක ගීයේ රස වින්දනය සහ විචාරයත් යෝජනාවත් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. 


මේ ගීතය ලියන්නේ දශක කිහිපයකට පෙර "පවන" ගී සමුච්චය ලියමින් පාදඩ, ජනපීඩක පාලන තන්ත්‍රයකට අභියෝග කල සුනිල් ආරියරත්නයන් ය. එය හැඟුම් බරව ගයන්නී එම සටන්කාමී ගී සමුච්චයට හඬ දුන් නන්දා මාලිනියම   ය. දශක කිහිපයකට පෙර "ජේසු ස්වාමිදරුවනේ ..." ලියමින්, ගයමින්, නත්තල් කලාප, ගවලෙන් තරග, කැරොල් තරග, පල්ලි විදිලි බුබුලින් ආලෝක කිරීම වැනි විසූප දස්සන වලින් දුෂ්‍ය කරන ලද නූතන 'බජව් නත්තලේ'  හෙළුවත් සැබෑ නත්තලත් අතර වෙනස  අපට පෙන්වා දුන්නේ මේ නිර්මාපකයන් දෙපොලය. එම සටන්කාමී අභියෝගය මේ නිර්මාණය තුළ ද අනූනව අන්තර්ගත වී තිබීම පෙළහරකි. එසේ ම රෝහණ වීරසිංහයන් ගේ අර්ථාන්විත මධුර තනුවත් සංගීතයත් මේ ගීතයට පණ පොවා, ශ්‍රාවකයා නින්දෙන් අවදි කිරීමට සමත් වෙයි. එහි දිසි රූ පෙළ (visuals) නිර්මාපකයා ද සිතට වදින අයුරින් විශිෂ්ට කාර්යයක් කර තිබේ. 



එසේ වුවද, මගේ කිතුනු විශ්වාසය තුළ මම එක් දෙයක් දකිමි. එනම්, මේ ගීය නිර්මාණය කරන මොහොතේ දී මේ නිර්මාපකයන් තිදෙනා තුළ අප විශ්වාස කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ ආනුභාවය අඩුවක් නැතිව ක්‍රියාත්මක වී ඇති  බවය. මේ නිසා මේ ගේය පද, තනුව සේ ම ගායනය ද  ප්‍රාතිහාර්යයක්  සේ මම දකිමි. මම එසේ කියන්නේ ඇයි ? 


මේ ගීයට සම්බන්ධ නිර්මාපකයන් තිදෙනා කලක් ජනතා ගෞරවයට පාත්‍ර ව සිටියහ. එහෙත්  යුද්ධයේ අවසන් සමයේදීත් ඊට පසුව ගත වූ දශකයකට අධික කාලය තුළත් රාජ්‍යය විසින්  මුදාහරින ලද දරුණු අමානුෂිකත්වය තුළ, ධර්මය ප්‍රදර්ශනය කරමින් සිදු කෙරුණු දරුණු අධාර්මික ක්‍රියා තුළ, ඔවුන් සිට ගත්තේ අමානුෂිකත්වයේ සහ අධර්මයේ කඳවුර සමගය.  ඔවුන් පෙනී සිටියේ වාර්ගික සමගිය හෝ යුක්තිය, සාධාරණත්වය, මානව හිමිකම් යන මූලික මානුෂික ගරුත්වය පිලිබඳ කාරනා  වෙනුවෙන් නොවේ. ජන පීඩකයන් වෙනුවෙනි. නීතියට පරිබාහිරව ඝාතනය කරනු ලැබූවන් වෙනුවෙන් නොවේ. ඒ අවනීතික ක්‍රියා යුක්ති සහගත  කරන්නන් වෙනුවෙනි. මේ නිසා පාස්කු ප්‍රහාරයට ලක්වුවන් ගේ අනුස්මරණ ගීතය ඔවුන් විසින්  නිර්මාණය කරනු ලබන බව අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරන විට මානුෂ වාදීහු බොහෝ දෙනෙක් විමතියට පත් වූහ. ඒ කඳවුරේ සිටි නිර්මාපකයන් විසින් වින්දිතයනට යුක්තියක් ඉටු වනු ඇත්දැයි සැකයක් ඇති වීම ඊට හේතුවය.  


එහෙත් මගේ විශ්වාසයේ ඇසින් බලන  විට ඔවුන්  අත තැබූයේ දෙවියන් වහන්සේ ගේ යුක්තිය අබියස ඇති කර්තව්‍යකට ය. “God can use crooked lines to  write straight” ”  යයි කියමනක් තිබේ. එනම්  “වක ගැසුණු රේඛා මත පවා ඍජුව ලියන්නට දෙවියන් වහන්සේට හැකි ” බව ය. මේ නිසා මේ කර්තව්‍යයට තෝරා ගනු ලැබූයේ කවරකු වුව ද කවර අරමුණක් සහිතව ඔවුන් තෝරා ගනු ලැබුව ද  එහි අවසන් ප්‍රතිඵලයට ප්‍රාතිහාර්ය ජනක ලෙස දෙවියන් වහන්සේ මැදිහත්වී  තිබේ. මන්ද, මම යළිත් කියමි.   කවරකු යුක්තිය ඉටු කලත් නොකලත් දැනටමත් මේ සාහසික අපරාධය උන්වහන්සේ ගේ යුක්තියේ නෙත් අබියස පවතින බැවිනි. 


ඒ නිසා  මේ ගීය අප්‍රේල් 21 දා අසා, ඉන් පසුව එය අමතක කර දැමීමට කිසිදු කතෝලිකයකුට නොහැකිය. "දඬුවමක් විඳ ඇත්ද කිසිවෙක් අපගෙන්?" මේ මිය ගිය සහෝදර සහෝදරියන්ගේ  ගේ හඬ ස්වර්ගයේ සිට සෑම කතෝලික හර්දය සාක්ෂියකට ම ප්‍රතිරාව නංවමින් කතා කරයි. එසේ ම "ඔබ ගේ සහෝදරයා කොහිද?" යි පළමු මනුෂ්‍ය ඝාතකයා වූ කායින් ගෙන් ඇසූ යුක්තියේ දෙවියන් වහන්සේ සෑම කතෝලිකයෙකු  ගෙන් ම ප්‍රශ්න කරයි. "ඒ කට්ටියව මං දන්නෙ නෑ. මං ඒ කට්ටියගෙ මුරකාරය යැ. ඇරත් මට කොච්චර වැඩ තියෙනවද කරන්න ?" යි කියා දෙවියන් වහන්සේගෙන් ගැලවිය නොහැකිය. ඒ බව කායින්ට උන්වහන්සේ ක්‍රියාවෙන් ම උගැන්වූ සේක.  මේ නිසා මේ ගීයෙන් කියැවෙන පද පේලි වල අනුහස ලබමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන් වෙනුවෙන් සත්‍යය මත පාදක වූ යුක්තිය ඉටු කර ගැනීම සෑම කතෝලිකයකු ගේ ම වගකීම ය. මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔවුන් වෙනුවෙන්  ක්‍රියා කිරීම සෑම මනුෂ්‍යයකු ගේ ම වගකීමකි. එය හුදෙක් කාදිනල් හිමිපාණන් වහන්සේ ගේ වගකීමක් හෝ කාර්යභාරයක් පමණක් නොවේ. 



මේ ගීය අසන කිසිවකු, ඔහු කතෝලිකයකු වූවත් නැතත්, ඔහු/ඇය  ශ්‍රී ලාංකිකකයකු නම්, ඔහු/ඇය  මිනිස් සිතක් ඇති මනුෂ්‍යයකු නම්, එම තැනැත්තා එහි පණිවිඩය අසා සිය  "නිහඬ නිද්‍රාවෙන් අවදි විය" යුතුය. නැතහොත් එය කිසිවකුටත් වරදක් නොකර, සාහසික බෝම්බ ප්‍රහාරයකින් කැබලි කරන ලද මේ මිනිස් දූ පුතුනට කරන අසාධාරණයකි .


දැන් අපි මේ අර්ථාන්විත ගේය පද පෙළ දෙස හැරෙමු.


දිව්‍ය  පූජා යාගයට ආ බැතිමතුනට සිදු වූ ඛේදවාචකය මෙම ගීය ප්‍රබල  චිත්ත රූප වලින් ඉදිරිපත් කරයි. 


"කැටුව ආ මව් පියන් දරුවන් අහිමි වී 

සදා  සෝ ගිණි කඳක  දැවෙමින් වැලපෙමින්"  


එක අම්මා කෙනෙකුට සිය පෙම්බර සැමියා සහ සමනලියන් දෙදෙනෙකු බඳු දියණියන් දෙදෙනා සදහටම අහිමි විය. තවත් පෙම්බර තාත්තා කෙනෙකුට සිය බිරිඳ සහ සෙනෙහෙබර දරුවන් අහිමි විය. එදා සිට ඒ තාත්තා ගේ ගෙදර, සිය පවුල සදා නින්දේ සිටින මිනී පිට්ටනිය ය. මෙවැනි හද පුපුරා යන වේදනා බර  කතා රැසෙකි. ඔව්හු මේ   'සදා සෝ ගිණි කඳෙක  දැවෙමින්  වැලපෙමින්' සිටිති. 

එහෙත් මේ දුක් කන්දට එහා යන ඛේදවාචකයකින් රටේ ආත්මය හිරි වැටී ඇති ආකාරය  මේ ගීය පෙන්වා දෙයි. 


"රට ම අන්ධය ගොළුය බිහිරිය මන්ද ඒ?" යයි මේ ගීය සමස්ත ජාතියෙන් ම ඇහැට ඇන, හදවතට තට්ටු කර ප්‍රශ්න කරයි.


අපි මනුෂ්‍ය ජාතියක් ලෙස සහෝදර ජනයාට සිදුවන අයුක්තිය සහ අසාධාරණය ඉදිරියේ අන්ධව ගොළුව බිහිරිව සිටිමු. අපේ දේශපාලන ගැති  බව සහ වහල් බව විසින් අප හිරිවට්ටා අසංවේදී කරනු ලැබ  තිබේ. දේශපාලන කඳවුරු විසින් සිය බලය උදෙසා අප  ජාති ආගම් පක්ෂ ලෙස භේද භින්න කර ඇතත් අප ඒ පිළිබඳව අන්ධව ගොළුව බිහිරිව අන්ධව අසංවේදීව සිටින්නේ එම වහල් බව හා ගැති  බව නිසාය . රට ඇද වැටී ඇති දැවැන්ත ඛේදවාචකය එයයි. 

ඉතින්, 

"කොහිද යුක්තිය 

කොහිද ධර්මය 

කොහිද නීතිය 

විමසනු" ගීතය අපට අභියෝග කරයි. 


මෙහි දී "කොහිද ධර්මය" යන්න ගැන කතෝලිකයන් ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු ය. 


ලෝකය පුරා පවතින අයුක්තිය, අසාධාරණය, දුප්පත් කම, යුද ගිණි වැනි මිනිසුන් විසින් ඇති කරනු ලබන නපුරු කම්, මිනිසුන්ට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙකු ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා දෙවියන්  ප්‍රතික්ෂේප කරන්නන් යොදා ගන්නා  ප්‍රබල තර්කයකි. "දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම්, ඔහු  යුක්ති සහගත නම්, මේ සහෝදර සහෝදරියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ මහ මොළකාරයින්, ඊට මුදල් සහ විවිධ අනුග්‍රහය දැක්වූවන්  නිදැල්ලේ ඉන්නේ කොහොමද ?" මෙය ඉතා සාධාරණ ප්‍රශ්නයකි. “කොහිද ධර්මය ?” යනුවෙන් නැගෙන්නේ ඒ ප්‍රශ්නයම ය. 


The Case For Faith, The Case for Christ, The Case for  God ඇතුළු  පොත් කිහිපයක කර්තෘවරයා වූ ඇමෙරිකානු ප්‍රවෘත්ති කලාවේදී  ලී ස්ට්‍රෝබෙල්  ඒ ගැන මෙසේ කියයි. 


"අපි මිහිමත දෙවියන් වහන්සේ ගේ දෙනෙත්, දෙසවන්, හදවත්,  දෑත්, දෙපා, සහ එතුමන් ම  (self) වන්නෙමු. .... අයුක්තියට සහ නපුරට පිළිතුර අප සෑම කෙනෙකුම ජේසුන් වීමයි. එතුමන් සේ (නපුරට අයහපතට ලක්වූවන්ට) ආදරය කිරීමයි. ඔවුන් සමග වැලපීමයි. ඔවුන්  සැනසීමයි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමයි.නපුර, අයහපත, අයුක්තිය පිටු දැකිය හැක්කේ එහෙමයි.”(ලී ස්ට්‍රොබෙල් පසුව දේව ධර්ම වේදියකු  සහ කිතුනු දේවගැති තුමකු විය.) 


මේ නිසා සෑම කතෝලිකයකු ම දෙවියන් වහන්සේ ගේ දෙනෙත්, දෑත්, දෙපා මෙන්ම හඬ  ද විය යුතු ය. මේ අබිරහස ගැන සත්‍යය හෙළිදරව් කර ගැනීමට තමන්ට කළ හැකි ශක්තියෙන් සියල්ල කල යුතු ය. සත්‍යය හෙළිදරව් වීම වලක්වන, මැති සබයේ දී හෙළිවන සත්‍යයට බාධා කරන  මහජන නියෝජිතයන්ට, විශේෂයෙන් ම කතෝලික දේශපාලකයන්ට, අභියෝග කල යුතුය. සත්‍යය වෙනුවෙන් හඬ නැගිය යුතුය. යුක්තිසහගත, දුප්පතුන් සහ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින දෙවියන් වහන්සේ ගේ පැවැත්මට, සිය ජීවිතයෙන් සාක්ෂි කරුවන් විය යුතුය. නිවට, කුසීත, අලස, නිහඬ ජනතාවකට තමන් කිතුනුවෙකු යයි කිව හැකි නොවේ. ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වූයේ නිවට සාන්ත දාන්ත තීන්ත කූඩුවක් ලෙස නොවේ. සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන සටන් කාමියකු ලෙස ය. 

කතෝලික ජනතාව “කොහිද ධර්මය -  විමසනු “ යන මේ අභියෝගය භාර ගත යුතු ය. 


අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා පල්ලි ගිය අහිංසක ජනතාව මේ කුරිරු ඉරණමට ලක්කල නොමිනිසුන් ගැන දෙවැනි ගී පදයෙන් චිත්‍රනය කෙරේ. 


“අන්තවාදී අධම නොමිනිස් කැලක ගේ 

මානසික බල වියරුවේ දී ගොදුරු වූ 

අහිංසකයන් නාමයෙන් ඇස් හැර බලවු” ගීය අපට බල කරයි. 


දැනට හෙළිදරව් වෙමින්  ඇති කාරනා අනුව මෙහි එන “අන්තවාදී” යන විශේෂණ පදය  අර්ධ සත්‍යයකටත් වඩා අර්ධ සත්‍යයකි. මා එය දකින්නේ මේ කිරි කළයට දැමූ ගොම බින්දුව ලෙස ය. උතුරේ අරගලයේ මුල් සමයේ දී ඒ  දෙස සහෝදරාත්මකව සහ වර්ගවාදයෙන් තොරව  බැලූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ප්‍රහාරය එල්ල කරන ලද්දේ “අන්තවාදීන්”  ලෙස වහාම නිගමනය කලේ කෙසේදැයි අපට  වටහා ගත නොහැක.  


මෙහි මුලින් කී අන්දමට ප්‍රහාරය එල්ල කරන ලද්දේ අන්තවාදය කර පින්නා ගත්  තරුණයන් විසිනි. එහි සැකයක් නැත. එහෙත් එය වූ කලී අයිස් කන්දේ පුංචි මුදුන පමණි.( Tip of  the Iceberg) අයිස් කන්දේ දැවැන්ත යටි කොටස සාගරය විසින් වසා ගෙන ඇත්තේ  යම් සේ ද මේ ප්‍රහාරකයන් පිලිබඳ අබිරහස, එනම් එහි මහ මොලකරු/කරුවන්, ප්‍රහාරය එල්ල කිරීමේ සැබෑ අරමුණ  ඇතුළු දැවැන්ත ප්‍රදේශයක් අදිසි එහෙත් බලවත්  හස්තයක් විසින් වසා දමාගෙන තිබේ.  (ටයිටැනික් නෞකාව දෙකට  කඩා ගිල්වා දමන ලද්දේ අයිස් කන්දේ ඇසට නොපෙනෙන මේ දැවැන්ත කොටස විසිනි.) එය ඉතා භයානකය. මන්ද මෙහි සැබෑ සතුරා හදුනා නොගතහොත් එය අප රටේ මුස්ලිම් -ක්‍රිස්තියානි, මුස්ලිම්- බෞද්ධ අනවබෝධයකින් පටන් ගෙන ලේ වැගිරෙන යුද්ධයක් දක්වා වර්ධන විය හැකිය. උතුරේ දී සිදුවුයේ ද එයමය. දකුණේ මෙන් ම උතුරේ දේශපාලකයෝ සිය බලය වෙනුවෙන් සිංහල සහ දෙමළ  ජනයා අතර බිය, සැක, භේදය ඇති කලහ. අපි අපේ සතුරා නිසි ලෙස හඳුනා නොගෙන එම  ජාතිය අපේ සතුරන් කොට සලකන්නට පටන් ගත්තෙමු. එය අවසන් වූ ආකාරය අපි දනිමු. අපේ රටට තවත් ලේ වැගිරීම් අවශ්‍ය නොවේ. එබැවින් සිය බලලෝභය වෙනුවෙන් අප භේද කරන, ගිණි අවුලන, බලය වෙනුවෙන්  ජීවිත රාශියක්  වුවත් විනාශ කිරීමට පසුබට නොවන සැබෑ සතුරන් හඳුනා ගැනීමට අපේ මනස්  නිරවුල් විය යුතු ය. මේ නිසා “අන්තවාදී” නම් වචනය මේ ප්‍රහාරය එල්ල කල “අධම නොමිනිස් කැළ” වෙනුවෙන් යොදා ගත හැකි නිවැරැදි  විශේෂණයක් නොවේ. 


මේ වචනය  මා කිතුනු විශ්වාසයේ ඇසින් දකින්නේ, දෙවියන් ගේ ඕනෑම  යහපත් වැඩකට නිතර අකුල් හෙලන සාතන් ගේ හෙවත් යක්ෂයා ගේ අතපෙවීමක් ලෙස ය.  ක්‍රිස්තු ධර්මය පැහැදිලිව උගන්වන ආකාරයට සාතන් ගේ නිරන්තර උත්සාහය වන්නේ භේද කිරීම සහ ගිණි තැබීම මගින් දේව කාර්යය අවුල් කිරීම ය. ඒ නිසා මේ ගීතයේ පණිවිඩය අඳුරු කරන මේ වචනය ඊට යෝග්‍ය නොවේ.  කෙසේ නමුදු ඒ වචනය වෙනස් කරන ලෙස අපි මහාචාර්ය ආරියරත්නයන්ගෙන් ඉල්ලා නොසිටිමු. අවුල සහ සාතන් ගේ හස්තය තේරුම් ගන්නට එය එසේ තිබියේවා! 


ඒ වෙනුවට ගීයට සවන් දෙන සෑම  මොහොතකම අපේ මනසේ ඇඳිය යුතු චිත්‍රය අයිස් කන්දේ මතුපිට පෙනෙන චූටි මුදුනට යටින් ඇති දැවැන්ත භයානක කොටසයි. මෙතෙක් හෙළි නොවූ, අදිසි හස්තය නමැති අඳුරු සයුරෙන්  මුවා කරගෙන සිටින මහ මොළ කරුවන් සහ සහායකයන් පිරිසයි. එබැවින්  එම මහ මොළකරුවන් ගේ  “මානසික බල වියරුවේ දී ගොදුරු වූ - අහිංසකයන් නාමයෙන් ඇස් හැර බලවු” මිනිසුනි, විශේෂයෙන් සත්‍යය තවමත් නොදකින කතෝලිකයිනි. 


අපට නොපෙනී, සිය මුදල් සහ දේශපාලන බලයට, ආරක්ෂාවට  මුවා වී සිටින අයිස් කන්ද යට සිටින “අධම නොමිනිස්” මහ මොළකරුවන් සහ ඔවුන් ගේ සහායකයන් දැන් කරමින් සිටින්නේ කුමක්දැයි මේ ගීය ඊළඟ පදයෙන් අපට පෙන්වා දෙයි. 


මේ පදයේ චිත්‍රණය කරන ආකාරයට ම “ස්වාමිවරු සිය බිරිඳ දරුවන්  අහිමි වූ - සුසානය මැද සොහොන් කඳු මත වැළපෙමින්” සුසුම් හෙලන ආකාරය, දුක් ගින්නෙන් දැවී දැවී ජීවත් වන ආකාරය අපි මේ සටහනේ මුලින් විස්තර කෙළෙමු. 


ඒ අතර සිදුවෙමින්  පවතින්නේ කුමක්ද? 


“කුරිරු ඝාතක රැලම නිදහස් සුව විඳී

නොලැබ දඬුවම් රටට  පිටු පා සිනාසී .”


කෙතරම් අයුක්ති සහගත ද? කෙතරම් අධාර්මික ද ? කෙතරම් බරපතල අසාධාරණයක් ද? 

ඉතින් 

“කොහිද යුක්තිය 

කොහිද ධර්මය 

කොහිද නීතිය 

විමසමු”


මෙවන් බරපතල අසාධාරණයක් හමුවේ නිහඬව, නිවටව, බයාදුව, තමන්  ගේ වැඩක් කරෙගෙන සිටීම මනුස්සකම නොවේ. ක්‍රිස්තියානිකම හෝ කතෝලිකකම ද  නොවේ. 


එසේ නම් අපට කල හැක්කේ, අප කල යුත්තේ කුමක් ද? 


මේ ගීයේ අවසන් පදය අප ඉදිරියේ ඇති අභියෝගය සහ ඒ වෙනුවෙන් අප නැගිට එඩිතරව ක්‍රියා කල යුතු ආකාරය වෙත අප අවදි කරයි:


නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් 

ඇවිද යමු අපි නැගෙන බාධක බිඳ ලමින් 

පිබිද එමු අපි දෙව්මැදුරු වල  අළු මතින් 

අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන් 


මේ වන විට අප වට කරගෙන ඇත්තේ වංචනික රස මුසු බස් ය. මෙවැන්නක් යළිත් ඇති නොවන බවට ආණ්ඩුවේ ප්‍රධානීහු සහතික වෙති. ඔවුන් එසේ කියන්නේ කෙසේ ද? කවර පදනමක් මත ද? මෙහි මහ මොළ කරුවන් කව්ද? ඔවුන් ගේ අරමුණ කුමක්ද? ඔවුනටත් සාහසිකයනටත් රැකවරණ සහ අරමුදල් සැපයුවේ කවුද? මෙතෙක් හෙළි වෙමින් ඇති තොරතුරු වල තිත් යා කරන  තීරණාත්මක පිළිතුරු කවරේ ද? මීට අදාළ සාක්ෂිකරුවන්, මහා මොළකරුවන් නිදැල්ලේ ය. එසේ නම් තවත් මේ සා අපරාධයක් සිදු නොවිය හැකියි සහතික විය හැක්කේ කෙසේ ද? මේ නිසා මෙවන් වංචනික රස මුසු බසින් ජනතාව නොරැවටිය යුතු ය. 


සත්‍යය හෙළි කර  ගැනීමට බාධා රාශියක් ඇති බව ඉතා පැහැදිලිය. කාදිනල් හිමිපාණන් වහන්සේට පවා මේ සඳහා බාධා පැමිණෙමින් තිබේද? එතුමා විටින් විට සිය ස්ථාවරය සහ ප්‍රකාශ තමන් විසින් ම වෙනස් කරමින්, ඇතැම් විට තමන් ම පරස්පරයක් කරගනිමින් සිටින්නේ එතුමාට එල්ල වන එවැනි බාධා සහ තර්ජන නිසා ද?  


මෙය හුදෙක් කාදිනල් තුමා ගේ ම හෝ කතෝලික ජනතාව ගේම ප්‍රශ්නයක් නොවන බැවින් බොහෝ සුසිත් ඇති සිවිල් සංවිධාන ද යුක්තිය උදෙසා  එක්  වී සිටිති. එසේ ම  කතෝලික සහ කතෝලික නොවන මහජන  නියෝජිතයන් ද අභීත මාධ්‍ය කරුවන් ද යම්  යම් තොරතුරු  ඔස්සේ  දිවයමින් තමනට ලැබෙන විශ්වසනීය තොරතුරු මැති සබයේ දී සහ මාධ්‍යවලින්  හෙළිදරව් කරමින් සිටිති. එහෙත් මේ සියලු දෙනාට ද මේ වන විට ජීවිත සහ සිරගත  කිරීමේ තර්ජන එල්ල වී තිබේ. මේ බාධා ඉදිරියේ අපි උකටලීව ඉඳිමු ද? මරා දමන ලද අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය සොයා ගැනීමට  ඉදිරිපත් වී සිටින මේ සහෝදර සහෝදරියනට අසාධාරණයක් වීමට ඉඩ දී අපට හොඳට කා බී නිදා ගත හැකිද? 


මෙතැනදී කතෝලික ජනතාවට මග පෙන්වන අලුත්ම සභා ඉගැන්වීමේ ලියවිල්ලක් තිබේ. එනම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ 2020 දී නිකුත් කල Fratelli Tutti හෙවත් “අපි ඔක්කොම සහෝදරයෝ” විශ්ව ලේඛනයයි. 


අපගේ සහෝදරයකුට හෝ සහෝදරියකට හෝ විපතක්, අයුක්තියක්, අසාධාරණයක්, පහර දීමක්  සිදුකර ඇති විටෙක එම තැනැත්තා වෙනුවෙන් ක්‍රියා නොකර “පාරේ අනෙක් පැත්තෙන් මාරු වී යාම” පාපයක් බව ශුද්ධෝත්තම පියතුමා එම ලේඛනයෙන් උගන්වයි. එතුමා ක්‍රිස්තුන් වහන්සේ වදාළ යහපත් සමරිතානයා ගේ උපමාව ඇසුරින් මේ පාඩම කියා දෙයි. ක්‍රිස්තුන් වහන්සේ ම කියා දුන්  ඒ කතාව  මෙසේ ය. 


ජෙරුසලෙමේ සිට ජෙරිකෝවට යමින් සිටි මගියකුට  පහර දෙන  සොර මුලක්, ඔහු සතු සියල්ල පැහැර  ගෙන, බාගෙට මැරී සිටි ඔහු පාර අයිනේ දමා පලා යති. ඒ මග ම ගමන් කරමින් සිටි පූජකයෙක් (ඔව්. පූජකයෙක්) සහ ලේවීතයක් මේ අයුක්තියට, පහර දීමට ලක්ව බාගෙට මැරී සිටි මගියා දකිති. එහෙත් ඔව්හු  තුවාල කරුවා නො දැක්කා සේ පාරේ අනෙක් පැත්තට මාරු වී, “මාරු වී” යති. ජුදෙව්වන් විසින් මිථ්‍යා දෘෂ්ඨිකයන්  ලෙස පහත් කොට සලකනු ලැබූ  සමරිතාන ජාතිකයෙක්  ඒ පාරේ යයි. ඔහු මේ තුවාල කරු දැක, ඔහු අසල නතර වී, තම කොටළුවා මත ඔහු නංවාගෙන ගොස් ඔහු සුවපත් කිරීමට අවශ්‍ය දේ කරයි. 


මේ උපමාව ගැන දීර්ඝ භාවනාවක යෙදෙන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දෙන්නේ තුවාල කරු, හෙවත් සොර මුලේ පහර දීමට, අයුක්තියට, අසාධාරනයට ලක්වන්නන් දැක, නොදැක්කා සේ, නිවට කම නිසා හෝ, බිය නිසා හෝ, තමන් ගේ පෞද්ගලික කටයුතු නිසා හෝ “මාරු වී” යන තැනැත්තා ද “සහායක සොරෙකු” බවයි. එනම්  අයුක්තියට, අසාධාරණයට, පහර දීමට, ඝාතනයට  සහය දක්වන්නකු බවයි. කිතුනුවකු ගේ ඇසින් බැලූ විට එය දේව ප්‍රේමයට පටහැනි පාපයකි. සැබෑ අසල්වැසියකු වන්නේ එඩිතරව අයුක්තියට, අසාධාරණයට, පහරදීමට, ඝාතනයට එරෙහිව සිය සහෝදරයා වෙනුවෙන් නැගී සිටින තැනැත්තා ය. 


පාස්කු ඉරිදා සිද්ධිය ද එසේ ම ය. 


අප දෙව්මැදුරු තුනේ දී සහ හෝටල වලදී සාහසික ලෙස මරා දමන ලද අපගේ සොහොයුරන් ගේ සැබෑ අසල්වැසියන් වන්නේ ඔවුන් වෙනුවන්  යුක්තිය ඉටුකරදීමට ඇප  කැපවීමෙනි. එය හුදෙක් කාදිනල් හිමිපාණන් වහන්සේ ගේ හෝ පූජක වරුන් ගේ වගකීමක් පමණක් නොවන්නේ ඒ නිසා ය. එය සෑම කතෝලිකයකු ගේම සෑම මනුෂ්‍යයකු ගේම වගකීම ය. 


එපමණක් නොවේ. මේ සිද්ධියේ තොරතුරු හෙළිදරව් කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍ය කරුවන්, ජනතා නියෝජිතයන්, පූජ්‍ය, පූජක, පැවිදි උතුමන්ට පවා කිසියම් ආකාරයක හෝ පහර දීම් හෝ අයුක්ති සහගත දේ  සිදුවීමට දැන් පටන් ගෙන තිබේ. එසේ  නම් ඔවුන් සමග සිටීමේත්  ඔවුන්  වෙනුවෙන් පෙනී සිටීමේත්  ශක්තිය ද ජනතාවට තිබිය යුතුය. ජනතාව ඔවුන් ගේ අසල්වැසියන්  විය යුතු ය. 


පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු කරවා ගත හැක්කේ එසේ අප දැන් කුසීතව සිටින “නිහඬ නිද්‍රා සිහිනයෙන්  අවදිව”  එඩිතරව ක්‍රියා කිරීමෙන් පමණි. 


මේ නිසා මේ සමස්ත කතෝලික ජනතාව “නිහඬ නිද්‍රා සිහිනයෙන්” අවදි කිරීම සඳහා මේ ගීය හුදෙක් අනුස්මරණ දිනයට සීමා නොකර සෑම දේවස්ථානයකම පැවැත්වෙන සෑම ඉරිදා දිව්‍ය පුජාවකටම පසුව වාදනය කිරීමට සලස්වන ලෙස කාදිනල් හිමිපාණන් වහන්සේ ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 


එය නිරන්තරයෙන් අසා “අධම නොමිනිස් කැලක ගේ මානසික බල වියරුවේ දී” මරා දමන ලද අපගේ දයාබර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට සමස්ත ජනතාව නැගී සිටිය යුතුය. පෙළ ගැසිය යුතුය. “නැගෙන බාධක බිඳ ලමින්” යුක්තිය ඉටුවන තෙක් ඉදිරියට යා යුතු ය. 



- සමන් කපිල විජේසූරිය 

 




 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

සභාවේ පූජක අධිපතීත්වය ගැන පාප් වහන්සේ ගෙන් තද දෙහි කැපිල්ලක්: "ආත්මයාණෝ පුජකවරුන් ගේ 'බුදලයක්' නොවේ. ගිහියාට නියෝග දීම ඔවුන් ගේ භූමිකාව අවතක්සේරු කිරීමක්"