"වනාන්තර විනාශ කිරීම පාපයක්. පරිසර විනාශය හමුවේ නිහඬව සිටීම ඊටත් වඩා බරපතල පාපයක්. නිවට කමක්." - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා

"Destruction of forests is a sin - cowardice in defending nature is a graver sin” - Pope Francis 

ලංකාවේ වැනැසෙන වනබිම් 


(2021 මාර්තු 17)

වනාන්තර විනාශ කිරීම "පාපයක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලිව කියා සිටියේ ය. එතුමා මේ බව කියා සිටියේ 2014 ජූලි 14 වන දා ඉතාලියේ කැම්පොබස්සෝ හි මොලීස් විශ්ව විද්‍යාලයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාව සහ  ලෝක කම්කරු සහ කර්මාන්ත නියෝජිතයන් සමග පැවතී හමුවක දී ය.  එතුමා එහි දී මෙසේ කීවේ ය. 

"භුමිය ආරක්ෂා කිරීම සම්බන්ධයන් දැක්වූ අදහස් සමග මම එකඟ වෙමි. භූමිය සුරාකෑමෙන් තොරව ඵල දරනු සඳහා එය සුරක්ෂිත කළ යුතු ය. අපගේ  යුගයේ අප ඉදිරියේ තිබෙන එක් අභියෝගයක් නම් මෙයයි: එනම් මැවිල්ලට ගරු කරන සංවර්ධන ක්‍රම වේදයක් වෙත යොමු වීමයි. එහෙත් කනගාටුදායක ලෙස මගේ මව් බිම වන ඇමෙරිකාවේ පවා, වනාන්තර කපා දමමින් තිබේ. එයින් පසු ඉතිරි වන භුමිය වගා කළ නොහැකි, ජීවිතය හට නොගන්නා බිමක්  බවට පත් වේ. මෙය පාපයකි. භුමිය සූරා කෑම පාපයකි."

වනාන්තර කපා දැමීම එක් පාපයකි. එසේ ම සංවර්ධනයේ නාමයෙන් වනාන්තර හෙළි කරමින් ඒවායේ පරිසර විද්‍යාත්මක තුලනය සහ ජෛව විවිධත්වය වනසනු ලැබීම ඉදිරියේ දෑත් දෙපා හකුලාගෙන, මුව පියාගෙන නිශ්ශබ්දව සිටීම ද ඊටත් වඩා බරපතල පාපයක්  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය. එතුමා මෙසේ කියා සිටියේ 2014  ඔක්තෝබර 28 වන දා වතිකානයේ සිනොඩ් ශාලාවේදී ලෝක ජනප්‍රිය ව්‍යාපාර වල හමුවක් අමතමිනි. එපමණක් නොව එසේ උකටලීව සිටීම එතුමා හැඳින්වූයේ "නිවට" කමක් ලෙස ය.

"සොබා දහම ආරක්ෂා කිරීමට  අභියෝගයක් පැන නැගෙන විට ඒ වෙනුවෙන් ක්‍රියා නොකර සිටීම නිවට කමකි," යි එතුමා කීවේ ය. 

සාමාන්‍ය ජන වහරේ සොබා දහම ලෙසත් විද්‍යාත්මක ව්‍යවහාරයේ පරිසරය ලෙසත් නම් කෙරෙන්නේ ක්‍රිස්තු ධර්මයේ ඉගැන්වෙන මැවිල්ල ය. එනම් දෙවියන් වහන්සේ ගේ අභිමතය අනුව උන්වහන්සේ විසින් මවන ලද දේ ය. මවා අවසානයේ "සියල්ල යහපත්ය" යි උන්වහන්සේ දුටු මැවිල්ලය. එබැවින් එම මැවිල්ල ආරක්ෂා කිරීම මැවිල්ලේ කිරුල වන මනුෂ්‍යයා ගේ වගකීම ය. 

පරිසරයේ, මනුෂ්‍යත්වයේ සහ සාමයේ සාන්තුවරයා වන අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගේ නම ගත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සෑම අපෝස්තලික අනුශාසනා පත්‍රයක් ම සෑම විශ්ව ලේඛනයක් ම තුළින් මේ තෙවදෑරුම් සාධක - එනම් පරිසරය (සොබා දහම , මැවිල්ල), මානව ගරුත්වය සහ සහෝදරත්වය, යුක්තිය සහ සාමය - අතර ඇති වෙනස් කළ   කල නොහෙන සම්බන්ධතාව පැහැදිලි කරමින් සිටියි.ලෝක ජන සමාජයට තිරසර, සාමකාමී ලෝකයක් ගොඩ නැගිය හැක්කේ මෙම සාධක තුන තුලනය වන "පූර්ණ මානව-පාරිසරික තුලනයක්" (Integral Ecology)ඇති කල විට පමණක් බව එතුමා  අවධාරණය කරයි. 

මේ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශේෂයෙන් ම පරිසර සංරක්ෂණය පිලිබඳ කතෝලික දැක්ම සහ ඒ සම්බන්ධයෙන් කිතුනු ජනතාව පමණක් නොව සියලු ලෝක ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පැහැදිලි කෙරෙන ලේඛන දෙකක් නිකුත් කර තිබේ. පළමුවැන්න,  2015 දී නිකුත් කරන ලද "ප්‍රශංසා වේ" නමැති විශ්ව ලේඛනය යි. දෙවැන්න 2019 පවත්වන ලද ඇමසෝනියානු කලාපීය රදගුරු සිනොඩ් කතිකාවෙන්  පසුව නිකුත් කරන ලද "දයාබර ඇමසෝනියා" නමැති අපෝස්තලික අනුශාසනා පත්‍රයයි. 

වනාන්තර හරණයේ විපාක දරුණුයි 

වනාන්තර හරණය හෙවත් ඉවක් බවක් නොමැතිව සංවර්ධනයේ නාමයෙන් වනාන්තර හෙළි කිරීම ගෝලීය උණුසුම් වීම, සාගරය අම්ලීය කරන වීම ඇතුළු සියලු ආපදා වලට හේතුවක් බව "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"ආර්ථිකය, වානිජ්‍යය සහ නිෂ්පාදනය වෙනුවෙන් ගන්නා අදූරදර්ශී ප්‍රවේශයන් මගින්  පොළොවේ ඇති සම්පත් කොල්ලකනු ලැබේ. වනාන්තර සහ වන ලැහැබ් අහිමි වීම නිසා ආනාගතයට අතිශයින් වැදගත් වන  වන ජීවී විශේෂ රාශියක් මුළුමනින්ම නැතිව යාමේ අවදානමට ලෝකය මුහුණ දී සිටියි. ආහාර ලෙස පමණක් නොව, රෝග සුවපත් කිරීම වැනි විවිධ ප්‍රයෝජන සහිත ජීවීන් මෙම විනාශයේ අනතුරට ලක්ව සිටියි. වෙනස් ජීවී විශේෂ රැසක් මානව අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වන්නා වූ ද පාරිසරික ගැටළු නියාමනය කිරීමට භාවිත කල හැකි වූ ද ජාන තමන්  තුළ දරාගෙන සිටියි." (32)

"වනාන්තර හරණය නිසා අප කවදාවත් නොදැන සිටි සහ අපගේ  දරුවන්ට  කවදාවත් දැකිය නොහැකි වන ශාක සහ සත්ව විශේෂ රැසක් සදහට ම ලෝකයෙන් තුරන් වී යයි." (33)

"ක්ෂීරපායීන් සහ පක්ෂීන් වැනි ඇසට හොඳින් පෙනෙන ජීවීන් ගේ වඳ වීම අපට දැකගත හැකි වනු ඇත. එහෙත් පරිසර පද්ධති වල යහ පැවැත්ම සඳහා ඇල්ගේ, දිලීර (හතු) පනුවන්, කෘමීන්, උරගයන් ඇතුළු ගණන් කල නොහැකි තරම් ජීවීන් ගේ පැවැත්ම අත්‍යවශ්‍ය ය. " (34)

"කිසියම් ව්‍යාපෘතියක පාරිසරික බලපෑම ගැන තක්සේරු කිරීමට කෙරෙන පරීක්ෂන වලදී සලකා  බැලෙන්නේ එයින් පසට, ජලයට සහ වාතයට යම් බලපෑමක් ඇති වන්නේ ද යන්න ගැන පමණකි. එහෙත් එවැනි ව්‍යාපෘති  වලින් ජෛව විවිධත්වයට සිදුවන බලපෑම ගැන නිසි ඇගයීමක් කෙරෙන්නේ නැත." (35)

වනාන්තර හරණය සහ එයින් අප ජීවත් වන පොදු නිවහන වන මිහිතලයට සිදුවිය හැකිබලපෑම ගැනත් එයින් අනාගත දරු පරපුරට මුහුණ දීමට සිදුවන අහිතකර ප්‍රතිඵල ගැනත් සුදොතුම් පියතුමා "ප්‍රශංසා වේ" විශ්ව  ලේඛනයේ ඉතා පැහැදිලි ලෙස විස්තර කරයි. 

වනාන්තර  - මිහිතලයේ පෙනහැලි 

සංවර්ධනයේ නාමයෙන් අමසොනියා කලාපයේ සිදුවන වන විනාශය නිසා මිහිතලය රෝගී වෙමින් සිටින ආකාරය ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා "දයාබර ඇමසෝනියා" අපෝස්තලික අනුශාසනා පත්‍රයේ විස්තර කරයි. 

මෙම වන විනාශය සිදු වන්නේ ලංකාවේ මෙන්ම නීති විරෝධී දැව ජාවාරම්, ආකර සහ දැවැන්ත  කෘෂි ව්‍යාපාර වෙනුවෙනි. 

මෙම වනාන්තර "ලෝකයේ පෙනහැලි" බව සුදොතුම් පියතුමා මෙම අනුශාසනා පත්‍රයේ විස්තර කරයි. ඒවායේ විනාශය ලෝකයේ වායු ගෝලය මිනිස් පැවැත්මට අහිතකර වායුන්ගෙන් පුරවා, වර්ෂාව අඩු කොට, දීර්ඝ නියං සමයන් ඇතිකොට අනාගත පරපුරේ ජීවිත අතිශයන් කාලකන්නි කිරීමට ඇති හැකියාව මේ මගින් පැහැදිලි කෙරේ. 

සිංහරාජය - ලක්දිව ඇමේසන් 


ජෛව විවිධත්වයෙන් අනූනව, සුන්දරව, ලක්දිව සිසිල් කල සිංහරාජය ලංකාවේ ඇමේසන් වන පියස ය. එපමණක් නොවේ. යාල, විල්පත්තුව ඇතුළු තවත් සංරක්ෂිත වන ගැබ් රැසෙකි. මීගමුව ආශ්‍රිත කඩොලාන හෙවත් කඩොල් කැලේ තවත් සුවිශේෂී පරිසර පද්ධතියකි. මුතුරාජ වෙල විශේෂ ජෛව විව්ධත්වයක් සහිත පෙදෙසකි. 

මේවා විනාශයෙන් ආරක්ෂා කරගත යුතුය. සුදොතුම් පියතුමන් ගේ වචනයන් කියන්නේ නම් මේවා සිය පටු දේශපාලන, වාණිජ, අරමුණුවලින් කොල්ලකෑමට ඉඩ නොදිය යුතු ය. 

අයුක්තිය ඉදිරියේ කතෝලිකයන් ගේ නිවට කම 

පරිසරය විනාශ කිරීම පාපයකි. පරිසර විනාශය  ඉදිරියේ නිහඬව සිටීම ඊටත් වඩා බරපතල පාපයකි. නිවට කමකි. 

අයුක්තිය ඉදිරියේ නිහඬව, උකටලීව සිටීම ශුද්ධවන්ත කම නොවේ. නිවට කමය. එය පාපයකි. එසේම පාපයට උදව් වීමකි. 

සාන්තු වරු සාන්ත දාන්ත තීන්ත කූඩු නොවුහ. ඔවුහු අයුක්තියට  එරෙහිව යුක්තිය වෙනුවෙන් පෙනී සිටියහ. වෙනස තිබුනේ ඔවුන් යුක්තිය වෙනුවෙන් ක්‍රියා කල ආකාරයේ පමණකි. අසීසියේ සාන්ත ප්‍රැන්සිස්, එල් සැල්වදෝරයේ ඔස්කා රොමෙරෝ, කල්කටාවේ තෙරේසා, ලංකාවේ මයිකල් රුද්‍රිගු, ආජන්ටිනාවේ හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ ඊට නිදසුන් කිහිපයක් පමණි. 

සැලසුම් සහගත ලෙස කරන ලද පුපුරුවා හැරීමකින් ඝාතනය කරන ලද අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට මෙන් ම, සාපරාධි ලෙස ඝාතනය කරනු ලබමින් පවතින අපගේ පරිසරය වෙනුවෙන් යුක්තිය ඉටු කරවා  ගැනීමට ද ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව 'නිවටව' නොසිට පෙරමුණ ගත යුතුය. 

මන්ද මේ දෙක දෙකක් නොවේ.  මේ තෙවදෑරුම් සාධක - එනම් පරිසරය (සොබා දහම , මැවිල්ල), මානව ගරුත්වය සහ සහෝදරත්වය, යුක්තිය සහ සාමය - ශුද්ධ ලියැවිල්ල තුළ එකට එකාබද්ධව තිබේ.  



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි