අපේ උදාසීන කමත් නරුම කමත් අත්හැර වාර්ගික, සමාජයීය, භූගෝලීය පවුරු බිඳින්නට අභියෝග කරන "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනය : "එකම මානව පවුලක සිහිනයක්" - විශ්ව ලේඛනය ගැන භාවනාව (පළමු කොටස)

“Fratelli tutti”: A call to abandon indifference and cynicism - "A dream for one Human Family" - A meditation (Part one)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බංගලිදේශයේ දී රෝහින්ග්‍යා සරණාගතයන් සමග 


(2020 නොවැම්බර 2)

"කිතුනු අපට ක්‍රිස්තුන් වහන්සේ ගේ වචන වඩා ගැඹුරු අරුතක් ගෙන එයි. අත්හැර දමන ලද, පිටමං කරන ලද නොහොත් සමාජයෙන් බැහැර කරන ලද හෝ තුවාල කරන ලද අපගේ සහෝදර සහෝදරියන් තුළ උන්වහන්සේව හඳුනා ගැනීමට එම වචන අපට බල කරයි."

"ධර්මෝන්මාදී අන්තවාදයේ ආකෘතීන් ඇතැම් විට, කිතුනුවන් ද ඇතුළු, සියලු ආගමික විශ්වාසකයන් අතර පවතින බව අප පිළිගත යුතු ය."

"ධර්මෝන්මාදී අන්තවාදයේ ආකෘතීන් ඇතැම් විට, කිතුනුවන් ද ඇතුළු, සියලු ආගමික විශ්වාසකයන් අතර පවතින බව අප පිළිගත යුතු ය. මෙය සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකා මත, කතෝලික මාධ්‍ය වල පවා, වෙනත් කණ්ඩායම් අවමානයට, අගෞරවයට පත් වන ආකාරයේ වෛරී වචන වලින් ප්‍රකාශ වන අවස්ථා තිබේ. මෙය අප සියල්ලන් ගේ එකම පියාණන් විසින් අපෙන් ඉල්ලා සිටින සහෝදරත්වයට දායකත්වයක් වන්නේ කෙසේ ද?"

"මානව පුද්ගලයා සතු ගරුත්වයට ගරු කොට ඔහු ගේ හෝ ඇය ගේ අයිතිවාසිකම් පිළිගෙන ඒවා සුරක්ෂිත කළ විට, නිර්මානශීලීත්වයත් අන්තර්යැපීමත් වේගයෙන් වර්ධනය වේ."

"මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම යනු රටක සමාජ සහ ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය මූලික කොන්දේසියකි. මානව පුද්ගලයා සතු ගරුත්වයට ගරු කොට ඔහු ගේ හෝ ඇය ගේ අයිතිවාසිකම් පිළිගෙන ඒවා සුරක්ෂිත කළ විට, නිර්මානශීලීත්වයත් අන්තර්යැපීමත් වේගයෙන් වර්ධනය වේ; මෙහි ප්‍රතිඵලය වන්නේ පොදු යහපත වර්ධනය කිරීමට දායක වන ආකාරයෙන් මානව පෞරුෂයේ නිර්මානශීලීත්වය මුදා හැර එය ක්‍රියා වලට පරිවර්තනය වීම යි."

"වාර්ගික සහ භූගෝලීය සීමා බිඳගෙන පැතිර යන කෝවිඩ් 19 වසංගතය ...නව ජීවිත ශෛලියකට පියවර තබන ලෙස අපට අභියෝග කරයි."

"වාර්ගික සහ භූගෝලීය සීමා බිඳගෙන පැතිර යන කෝවිඩ් 19 වසංගතය ...නව ජීවිත ශෛලියකට පියවර තබන ලෙස අපට අභියෝග කරයි. අපට එකිනෙකා අවශ්‍ය වන බව අපට යළි සොයා ගත හැකි නම්, අප ඉදිකරගෙන ඇති පවුරු වලින් ඔබ්බට යමින්, සෑම මුහුණක්ම, සෑම දෑතක් සහ සෑම හඬක් ම ඇතුළත් වන නව උපතක් අත්දැකීමට අපගේ මානව පවුලට හැකි වනු ඇත."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනා ඉදිපත් කරන්නේ "සියල්ලෝ සොහොයුරෝ" නමැති සිය අලුත් ම විශ්ව ලේඛනයේ ය.

දේශපාලන සහ ආර්ථික වියවුල්, වාර්ගික ගැටුම්, අන්තවාදය පමණක් නොව කරුණා විරහිත වසංගතයකින් ද තුවාල ලබා සිටින ලෝකයකට සුදොතුම් පියතුමා ඉකුත් දා Fratelli tutti හෙවත් "සියල්ලෝ සොහොයුරෝ" නමැති සිය විශ්ව ලේඛනය ප්‍රදානය කළේය. එය ලොව පුරා කතෝලික සමාජ ක්‍රියාකාරීන් විසින් පමණක් නොව ඉස්ලාම් සහ ජුදෙව් වැනි වෙනත් ආගමික විද්වතුන් හා ක්‍රියාකාරීන් ගේ ද සාකච්ඡාවට මේ වන විටත් පාත්‍ර වී තිබේ. එපමණක් නොව කිතුනු දේවධාර්මික පදනම මත ලියන ලද මෙම අනුශාසනය වෙත ලෝක මාක්ස්වාදීන් ගේ ද අවධානය දැන් යොමු වී ඇත. ඒ ගැන මෙතරම් සාකච්ඡා වන්නේ මන්ද?

එම විශ්ව ලේඛනය නිකුත් වූ වහාම ඒ ගැන දක්වන ලද අදහස් දෙකකි මේ :

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ "සියල්ලෝ සොහොයුරෝ" (FRATELLI TUTTI) විශ්ව ලේඛනය කතා කරන්නේ ප්‍රේමය සහ අවධානය ගැනය. කෙබඳු ප්‍රේමයක් සහ අවධානයක් ද?  එය කැඩුණු බිඳුණු සහ ලේ ගලන ලෝකයක් යළිත් සුවපත්  කරන්නේ කෙස්දැ යි පහදා දෙන අවධානයක් සහ ප්‍රේමයකි. 

මෙම විශ්ව ලේඛනය වූ කලී ප්‍රේමය සහ අවධානය වඩාත් උතුම් නීතිය ලෙස තේරුම් ගත් , නිර්මාණශීලී සමාජ මිත්‍රත්වයක ආකෘතියක් අපට පෙන්වා දෙන, යහපත් සමරිතානවරයා  පිලිබඳ මෙනෙහි කිරීමකි.

යහපත් සමරිතානුවා සේ, අපට සමීප, අපට දුරස්ථ සියලු ජනතාවත් සියලු දේත්  ඇතුළත්  ලෝකය දෙස බලන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපට අභියෝග කරයි. "සියල්ලෝ සොහොයුරෝ" අපගේ පාරිසරික, දේශපාලන, සමාජයීය, ආර්ථික සහ ආගමික ජීවිතයට ප්‍රබල අභියෝගයකි.”


මෙම  ප්‍රකාශය කළේ එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව  විද්‍යාලයේ කතෝලික සමාජ චින්තනය සහ භාවිතය පිලිබඳ මහාචාර්ය ඇනා රෝලන්ඩ්ස් ය. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ලියන ලද දෙවන සමාජ විශ්ව ලේඛනය වන Fratelli Tutti හෙවත්"සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනය නිකුත් කිරීම වෙනුවෙන් වතිකානයේ දී  පවත්වන ලද  මාධ්‍ය හමුව අමතමින් ඕ මේ බව කියා සිටියා ය.  


කොන්ස්තන්තිනෝපලයේ පළමුවන බර්තොලොමිව් පේත්‍රියාක් තුමා එම විශ්ව ලේඛනය හඳුන්වන්නේ "ප්‍රධාන වශයෙන්  පාරිසරික, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ජීවිතය තුළ පවතින අපගේ උදාසීනකමත් නරුමකමත්  (cynicism) අත්හැර දමා අපගේ ලෝකය එක්සත් මානව පවුලක් ය යන සිහිනය දැකීමට කරෙන ආරාධනයක්" ලෙස ය. එය "කතෝලික සමාජ ඉගැන්වීමේ කිරුල"  ලෙස හැඳින්විය හැකි බව ද එතුමා සඳහන් කරයි. 


විශ්ව ලේඛන හා එහි වැදගත් කම

විශ්ව ලේඛනයක් යනු සසුනිසුරාණන් වන පාප් වහන්සේ නමක ගේ ගුරු බලයේ ඉගැන්වීම් ඇතුළත්  ඉහළම ලේඛනය ය. 


ඉතිහාසයේ ප්‍රථම විශ්ව ලේඛනය වූයේ පළමුවන සසුනිසුරාණන් වූ පේදුරු තුමා ගේ පළමු වන ලිපියයි. එය නව ගිවිසුමට ඇතුළත් වී තිබේ. 


විශ්ව ලේඛන ගැඹුරින් අධ්‍යයනය කිරීමත්, ඒවා භාවනා කිරීමත්, ඒවායින් දෙන පණිවිඩය ක්‍රියාත්මක කර ජීවත් කිරීමත් කතෝලික ජනතාව සතු වගකීමකි. 


"සියල්ලෝ සහෝදරයෝ" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තෙවැනි විශ්ව ලේඛනය වන අතර එය එතුමන් ගේ දෙවන සමාජ විශ්ව ලේඛනය ය. එතුමා ගේ පළමුවන විශ්ව ලේඛනය "Laudato Si" හෙවත් "වේ ප්‍රශංසා" ය. මේ විශ්ව ලේඛන දෙක එතුමන් ගේ "දෙ-ඈඳුතු සමාජ අනුශාසනා" ලෙස හැඳින්විය හැකිය. මන්ද ඒවා ඒ තරම්ම එකිනෙකට බද්ධව පවතින නිසා ය. ආසන්න වශයෙන් වචන 43,000කින් සහ පරිච්ඡේද 8කින් සමන්විත "සියල්ලෝ සොහොයුරෝ" ඉතා දීර්ඝ විශ්ව ලේඛනයකි.


"සියල්ලෝ සොහොයුරෝ" - යතුර 

එම විශ්ව ලේඛනය තේරුම්  ගත හැකි 'යතුරු' දෙකක් තිබේ. 

ඉන් එකක් වන්නේ, ශා. ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ අභියෝගාත්මක ජීවිතය සහ දූත මෙහෙවරයි. 


විශ්ව ලේඛනයේ සිරස්තලය වන Fratelli Tutti උපුටාගෙන ඇත්තේ ද එතුමන් ගේ උපදේශ සංග්‍රහයකිනි. මේ විශ්ව ලේඛනයට ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ ඇති සම්බන්ධය අවධාරණය කිරීම සඳහා සුදොතුම් පියතුමා ඊට අත්සන් තැබූයේ අසීසියේ සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකාවේ දී ය.එය නිකුත් කරන ලද්දේ එම සාන්තුවරයා ගේ මංගල්‍යය සැමරෙන ඔක්තෝබර 4 වන දා ය.


විශ්ව ලේඛනය ආරම්භයේ ම සුදොතුම් පියතුමා එම 'යතුර' ගැන මෙසේ කියයි:  


"සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා තමන් ගිය සෑම තැනක ම සාමයේ බීජ වැපුරුවේ ය. එතුමා දුප්පතුන්, අත්හැර දමන ලද්දවුන්, තුවාල වූවන් සහ සමාජයෙන් කොන්කරන ලද්දවුන් වැනි සිය අල්ප වූ සහෝදරයන් සමග එකට ගමන් කලේ ය." 

දසවැනි සියවස අග භාගයේ ඉතාලියේ ජීවත් වූ ප්‍රැන්සිස් අසීසි තුමා "Poverello" නමින් ජනතාව ගේ ආදරයට ලක්වුයේ ය. එහි අර්ථය "පුංචි දුප්පතා" යන්න ය. ධනවත් ව්‍යාපාරිකයකුට දාව උපන් ප්‍රැන්සෙස්කෝ ඒ සියලු සැප සම්පත් අත්හැර දමා දුප්පතුන්, කොන්කරන ලද්දන්  තුළ වෙසෙන ක්‍රිස්තුන් වහන්සේ ස්පර්ශ කිරීමට පාරට බැස්සේ ය. දුප්පත් සරල ජීවතයක් ගත කරමින්, මිනිසා සහ සොබා දහම සමග  සම්බන්ධ වෙමින් අසීසිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රිස්තු ජනතාව තුළ නව ප්‍රබෝධයක් ඇති කළ මේ "පුංචි දුප්පතා", ධන  කුවේරයන් බඳු කාම සුඛල්ලිකානු ජීවිත ගත කල එදා කතෝලික සභා නායකයනට දැවැන්ත අභියෝගයක් වුයේ ය. 


අසීසියේ ප්‍රැන්සෙස්කෝ එදා කතෝලික සභාවට තවත් අභියෝගයක් එල්ල කලේ ය. එනම් කුරුස යුද්ධ නැවත්වීම පිණිස සාමයේ මාර්ගයක් සෙවීමය.  කුරුස යුද්ධ සමයේ ඔහු සාමය වෙනුවෙන් මහත් වූ දුෂ්කරතා  මැද ඊජිප්තුවේ මලික්-එල්-කමීල් සුල්තාන්වරයා සොයා ගියේ ය. සුල්තාන්වරයා සමග යුද්ධය නවත්වන අන්‍යොන්‍ය එකඟතාවකට එළඹීමට ප්‍රැන්සෙස්කෝ සමත් වූවත් කතෝලික නායකත්වය ඊට එරෙහි වීම හේතුවෙන් යුද්ධය යුද්ධයෙන් ම අවසන් විය. එම සිද්ධිය ද සුදොතුම් පියතුමා විශ්ව ;ලේඛනයේ සිහිපත් කරයි. "කුරුස යුද්ධ මැද එතුමා එසේ ගිය ගමන සියල්ලන් වැළඳ ගන්නා එතුමන් ගේ ප්‍රේමයේ පෘථුල බව සහ ආශ්චර්යය පෙන්නුම් කරයි," කියයි. 


එපමණක් නොවේ. මධ්‍යස්ථ ඉස්ලාමීය නායකයකු වන ඊජිප්තුවේ අහමඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා ගේ ප්‍රකාශයක් ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්ව ලේඛනයට ඇතුළත් කරමින් අසීසියේ ප්‍රැන්සිස් ගත් මග සහෝදරත්වයේ මාර්ගය ලෙස යළිත් පෙන්නුම් කර තිබේ. ලේ වැගිරෙන යුද්ධ වලිනුත්, ජන වාර්ගික ගැටුම් වලිනුත්, දේශපාලන සහ ආර්ථික පහර දීම් වලින් පමණක් නොව වසංගතයකින් ද තුවාල වී සිටින නූතන ලෝකයට අසීසියේ ප්‍රැන්සෙස්කෝ දැවැන්ත ආදර්ශයකි.  


ඊට සමානවම වැදගත් 'යතුර' වන්නේ ජේසු සමිඳුන් වදාළ 'යහපත් සමරිතානුවා ගේ උපමාව' යි.  

 

එම  උපමාවේ එන එක් එක් චරිතය ගැන සුදොතුම් පියතුමා දීර්ඝ, ගැඹුරු භාවනාවක යෙදෙයි. මේ අතරින් "ඔබ ජීවත් වන්නේ කාගේ චරිතය දැ"යි එතුමා අභියෝගාත්මක්ව අපෙන්  විමසයි.


එම භාවනාවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සම්පූර්ණ පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර, අනෙක් පරිච්ඡේද වල එම උපමාවත් ප්‍රැන්සිස් අසීසි චරිතයත් යළි යළිත් ඉස්මතු කරයි.


'සියල්ලෝ සොහොයුරෝ" තුළින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්වීය අභියෝගයක් කරයි. එම අභියෝගය ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ විමසා බැලෙන "වතිකාන සුළඟ" ලිපි මාලාවක පළමුවැන්නයි මේ.  


"එක ම මිහිතලයේ දරුවෝ" - එකම මානව පවුලක් 

මානව ගරුත්වය සහ සහෝදරත්වය කතෝලික සමාජ චින්තනයේ එන මූලික ඉගැන්වීම් අතර වේ. එම ඉගැන්වීම්  ගලා එන්නේ සමස්ත ශුද්ධ ලියැවිල්ලේ කේන්ද්‍රයෙනි. එනම්, දෙවියන් වහන්සේ සමස්ත විශ්වයේ  මැවුම්කරුවාණන් ය යන්න සහ දෙවියන් වහන්සේ ගේ ශ්‍රී වචනයාණෝ මාංශ ගත වී අප අතර විසූහ යන සත්‍යතාවෙනි. එම ඉගැන්වීම්, දයාව සහ ප්‍රේමය සමග මුසු වී මේ විශ්ව ලේඛනය පුරා සුන්දර වියමනක් සේ ගලා යයි. 


අප සියල්ලන්  මේ ග්‍රහ ලෝකය මත ජීවත් වන "එකම මිහිතලයේ දරුවන්" බව සුදොතුම් පියතුමා සිහිපත් කරයි. මේ නිසා  මානව ගරුත්වය, සහෝදරත්වය සහ ප්‍රේමය මත ගොඩ නැගෙන එකම මානව පවුලක් ගොඩ නැගීම අප ගේ සිහිනය විය යුතු බව සිය හැඳින්වීම අවසානයේ එතුමා  කියා සිටියි:


“අපගේ මේ යුගය තුළ සෑම මනුෂ්‍ය පුද්ගලයෙකු ගේ ම මානව ගරුත්වය පිළිගෙන, සහෝදරත්වයේ විශ්වීය උපතකට අප සෑම කෙනෙකුම දායකත්වය දීම මගේ අභිලාශය ය"


“අපගේ මේ යුගය තුළ සෑම මනුෂ්‍ය පුද්ගලයෙකු ගේ ම මානව ගරුත්වය පිළිගෙන, සහෝදරත්වයේ විශ්වීය උපතකට අප සෑම කෙනෙකුම දායකත්වය දීම මගේ අභිලාශය ය. මෙය සෑම මිනිසකු සහ ගැහැනියක ම අතර ඇති විය යුතු සහෝදරත්වය යි. ...අප තනි වූ විට පෙනෙන්නේ මිරිඟුවයි. සිහින ගොඩ නැගිය හැක්කේ එක්සත් වූ විට ය. මේ නිසා එක ම මානව පවුලක් ලෙස, එකම මාංශය බෙදා ගන්නා සංචාරකයන් ලෙස, අපගේ පොදු නිවහන වන එක ම මිහිතලයේ දරුවන් ලෙස අපි එක්ව සිහිනයක් ගොඩ නගමු.."යි එතුමා සියල්ලනට ආරාධනා කරයි. 


එහෙත් විවිධ කාරණා හේතුවෙන් මානව සිහින බිඳ වැටී තිබේ. සෑම මානව පුද්ගලයකු ම ඇතුළත්වන (සංවර්ධන) සැලසුම් නොමැති වීම, අතිරික්ත නිෂ්පාදන පමණක් නොව වැඩිහිටි වියපත් මිනිසුන් පවා "වීසිකර දැමීමේ" සංස්කෘතිය, මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවීම, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය  නිසා හටගෙන ඇති බිය, පොදු මාර්ග සිතියමක් නොමැතිව සිදුවන ගෝලීය කරණය සහ සංවර්ධනය, වසංගත සහ වෙනත් මානව ආපදා  ඇතුළු පැහැදිලි සාධක ඊට හේතු ලෙස එතුමා පෙන්වා දෙයි.   


එසේ නම්, මේ පොදු මානව සිහිනය ගොඩ නැගිය හැක්කේ  කෙසේ ද? 


ඊට පිළිතුරු සඳහා  ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා පාදක කර ගන්නේ  යහපත් සමරිතානවරයා ගේ උපමාව ය. 


මහ පාරේ යන අමුත්තා

අප ජීවත් වන යුගය තුළ 'මහ පාරේ යමින් සිටින අමුත්තන්' බොහෝ දෙනෙක් විවිධ හේතු මත අකරතැබ්බ වලට, තාඩන පීඩන වලට, පිටමං කිරීම්වලට, බැහැර කිරීම් වලට,  ප්‍රතිෂේප කිරීම් වලට ලක්වෙති. එවැන්නන් ගැන අපට නිතර අසන්නට දකින්නට  ලැබේ.  තම රටවල හටගන්නා යුද ගැටුම් හා ප්‍රචන්ඩ ක්‍රියා නිසා අනාථ, අසරණ, අවතැන් බවට පත්වන ජනතාව, එවැනි ගැටුම් හෝ තම රටවල පවතින  අයුක්තිය හා අසාධාරණත්වය, මානව හිමිකම් පාගා දැමීම්,  ආඥාදායක පාලනය  හෝ ආර්ථික අහේනිය වැනි දේ හෝ නිසා අසරණ වන ජනතාව, සියල්ලන් ඇතුළත් කර නොගන්නා ආර්ථික ප්‍රතිපත්ති නිසා අන්ත දුප්පත්කමට ගොදුරු  වන ජනතාව ඒ අතර වේ. 


පසු ගිය දශක දෙකක පමණ කාලය තුළ අප රටේ අපගේ නෙත් ඉදිරිපිටම අපි "පාරේ යන අමුත්තන්" ගේ මේ යථාව අත්දකිමින් සිටිමු.  


වඩාත් ඛේදජනක කාරණාව වන්නේ මෙවැනි අකරතැබ්බ බලට ලක්වන ජනතාව කෙරෙහි අපගේ අවධානය යොමු  වන්නේ ද?  ඔවුන් අපගේ සහෝදරයන් බව අපට අවබෝධ වන්නේ ද? අප ඔවුන් දුටුවත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන් මග හැර යන්නෙමු ද? නැතිනම් ඔවුන් වෙනුවෙන් වැය වී ඔවුන් ගේ තුවාල සුවපත් කිරීමට නිර්මාණශීලීව, ත්‍යාගශීලීව සහ එඩිතරව අපි ක්‍රියා කරමු ද? 


දෙවැනි පරිච්ඡේදය පුරා දිවෙන යහපත් සමරිතානයා ගේ උපමාව පිළිබඳ භාවනාවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපෙන් එම ප්‍රශ්න ඍජුව විමසයි.


සුදොතුම් පියතුමා එම උපමාවේ චරිත එකින් එක ගෙන විශ්ලේෂණයක යෙදෙයි. 


"සොරුන් "  යනු ස්වකීය ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් අප ජීවත්වන ලෝකයටත් එහි ජීවත් වන මිනිසුනට සහ ගැහැණුන්ට විවිධාකාරයෙන් පහර දෙන, ප්‍රචණ්ඩත්වයේ නිරත වන  කොටස් ය. එය ත්‍රස්තවාදී කණ්ඩායමක් විය හැකිය. වෙළෙඳ හෝ වෙනත් ව්‍යාපාර විය හැකිය. එසේ ම රට පාලනය කරන ආණ්ඩුව විය හැකිය. පහර ලබන්නේ, සොරා ගනු ලැබීම් සහ උදුරා ගැනීම්  වලට ලක්වන්නේ, අපේ වනාන්තර  ඇතුළත් ජීවී-අජීවී පරිසරය  විය හැකිය. අප සමග ජීවත් වන 'සුළුතර' යයි හඳුන්වන ජන කොටසක් විය හැකිය. දුප්පත් කම්කරුවන්, දුගී භාවයට පත් ව අවසානයේ තමන් සතු එකම වස්තුව පූජා කරන කාන්තාවන් විය හැකිය. මෙවැනි අවස්ථා නෙත ගැටුන විට අපි කුමක් කරමුදැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපෙන් ඍජුව විමසයි. "තුවාලකරු අතහැර දමා අපි 'ප්‍රචණ්ඩත්වයෙන්' ගැලවීමට අපගේ ආරක්ෂාව සොයා දුව යමු ද?". නැති නම්, නිහඬව, අලසව, අපි අපේ වැඩක් බලා ගනිමු ද? පාරේ අනිත් පැත්තට ‘මාරු වී’ යමු ද? 


ඊළඟට එතුමා මේ උපමාවේ එන සොරුන් ගේ පහර කෑමට ලක්ව මහමග වැටී සිටි තුවාල කරු දැක, නොදැක්කා සේ පාරේ අනෙක් පැත්තට මාරු වී යන පුද්ගලයන් දෙස අපගේ අවධානය යොමු කරයි. 


තුවාලකරු දුටුවත් නොදැක්කා සේ මාරු වී ගිය දෙදෙනාගෙන් කෙනෙක් පූජකයෙකි. දෙවැන්නා ලෙවීතයෙකි. අපේ කාලයේ ලෙවීතයන්ට සමාන වන්නේ පූජක ශිෂ්‍යයන්ය. මේ දෙදෙනා ම දෙවියන්  වහන්සේට  වන්දනා කිරීමට කැප වූ දැඩි ආගමික භක්තියකින් යුත් පුද්ගලයන් වූ බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ දැඩි ආගම් භක්තියෙන් යුත් තැනැත්තන් හට වරදින්නේ කොතැන දැයි එතුමා ගේ වචනයෙන් ම  විස්තර කරන්නේ මෙසේය:


"ඇදහිලිවන්තයෙකු තමන් දෙවියන් වහන්සේට වඩාත් සමීප බවත් තමන් සෙසු ජනතාවට වඩා යහපත් බවත් සිතා සිටිය හැකිය. එහෙත් එම විශ්වාසය තමන්ගෙන් ඉල්ලා සිටින සියල්ලට ඔහු අවිශ්වාසවන්ත විය හැකිය."


"අප ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ ය යන්න සහතික කිරීමට අප තුළ දෙවියන් කරෙහි ඇති විශ්වාසයත් භක්තියත් පමණක් ප්‍රමාණවත් නොවේ. ඇදහිලිවන්තයෙකු තමන් දෙවියන් වහන්සේට වඩාත් සමීප බවත් තමන් සෙසු ජනතාවට වඩා යහපත් බවත් සිතා සිටිය හැකිය. එහෙත් එම විශ්වාසය තමන්ගෙන් ඉල්ලා සිටින සියල්ලට ඔහු අවිශ්වාසවන්ත විය හැකිය."


මෙම භාවනාව තුළ  එතුමන් පහදා දෙන්නේ හුදෙක් වන්දනාව හෝ ණය යුක්තිය ඉටු කිරීම උදෙසා පමණක් වන ජනවන්දනාව ඇතුළු වත් පිළිවෙත් වලට සහභාගී වීමත් මංගල්ල. පෙරහැර වැනි බාහිර විශ්වාස ප්‍රකාශනයත්  පමණක් සැබෑ දේව ප්‍රේමයේ ලක්ෂණය නොවන බව ය. ජනවන්දනාවෙන් ගලා එන  ප්‍රේමය සහ දයාව මග වැටී සිටින තුවාල කරු දකින්නටත් ඔහුට උවටැන්  කරන්නනටත් අප යොමු නොකරන්නේ නම් එය අර්ථ ශුන්‍ය අභ්‍යාසයක් බවට පත් වෙයි. 


 පූප කැඩීම (වර්තමාන දිව්‍ය පූජාව) එහි කේන්ද්‍රීය පණිවිඩය වූ පූජනීය ප්‍රේමයෙන් හිස් වෙමින් තිබෙන බවත් එය හුදෙක් වත් පිළිවෙතක් බවට පත් වෙමින් තිබෙන බවත් පළමු පූප කැඩීමේ සාක්ෂි කරුවකු වූ සුවිශේෂක ජුවාම් තුමා දැක්කේ ය. ජේසු සමිඳුන් විසින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමේ සිද්ධිය වෙනුවට වෙනත් කිසිවෙකුගේ නෙත නොගැටුණු ශ්‍රාවකයන් ගේ පාද දෝවනය තමා ගේ සුබ අස්නට ඇතුළත් කිරීමට එතුමා තීරණය කලේ එබැවිනි. එහෙත් එයින් වසර දෙදහසකට පසුවත්, ජනවන්දනාව සමග වෙන්කළ නොහැකි ලෙස  බැඳී ඇති ප්‍රේමයේ පණිවිඩය වෙත ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රාවක ජනතාව ගේ අවධානය යොමු වන්නේ නැත. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කරන්නේ ඒ ගැන ය. 


'පූප කඩන නිවෙස' වන අපගේ දෙව්මැදුරු වසරින් වසර ප්‍රතිසංස්කරණය වන විට, පයට පෑගෙන ඒවායේ පොළොව වීදුරු සේ දිස්නය දෙන ටයිල් වලින් අලංකරනය වන විට, ඒ ආශ්‍රිත බිම් වසරෙන් වසර සුන්දර වන විට, අපගේ මීසම් වල සහ අපේ  රටේ කී දහසක් කුස ගින්නේ නින්දට යන්නෝ ද? ඉන්නට ගෙයක් නැතිව කී දෙනෙක් සිටිනවා ද? දරුවන් කී ලක්ෂයක් කුසගින්නේ පාසල් එනවා ද? අමාරු රෝගයකට බෙහෙතක් මිලදී ගන්නට මුදල් නැතිව කී දහසක් සුසුම් හෙලමින් සිටිනවා ද? 


මෙතන දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තවත් වැදගත් කරුණක් අපට සිහිපත් කරයි. එනම්, සොරුන් සහ තුවාලකරු මග හැර යන්නන් අතර රහසිගත සම්බන්ධතාවක් පවතින බවයි.  මග හැර යන්නන් ඇතැම් විට පෙන්වන්නට උත්සාහ කරන්නේ තමන් 'ස්වාධීනව සිටින්නට' ක්‍රියා කරන බවය. නැති නම්, එවැනි අර්බුද හෝ ගැටළු තමන්ට අදාළ නොමැති බවය. එසේත් නැති නම්, "අපට ඕවා වෙනස් කරන්න බැහැ. අපි අපේ වැඩේ කරගෙන ඉඳිමු" යන උදාසීන සිතිවිල්ල ය. මෙය ලෝකයේ අපේක්ෂා භංගත්වයට සහ මුලාවට හේතුවන බව එතුමා පෙන්වා දෙයි. 


ඊළඟට සිටින්නේ තුවාල කරුවා ය. සොරුන් ගෙන් පහර ලබා, තමා සතුව තිබූ 'වත්කම' උදුරා ගනු ලැබ, පාරේ වැටී අසරණව සිටින 'තුවාල කරුවෝ' බොහෝ දෙනෙක් ශ්‍රී ලාංකික සමාජයේ ද සිටිති. ඇතැම් විට අපට ද ඒ අත්දැකීමට මුහුණ දීමට සිදුවන  බව සුදොතුම් පියතුමා කියයි. අපට  අනෙකුත් 'තුවාල කරුවන්' දෙස බැලීමටත් තුවාල වූ  වූ අපගේ සමාජය දෙස බැලීමටත්  "මම තුවාල කරු වූවා නම්..." යන සිතිවිල්ල උපකාරී වන බව ද එතුමා පෙන්වා දෙයි.  


“ඔබේ සහෝදරයා කෝ?” 

උපමාවේ එන ඊළඟ චරිතය වන සමරිතානයා වෙත අවධානය යොමු කිරීමට පෙර ජේසු සමිඳුන් මේ උපමාව වදාළ සන්දර්භය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කරයි.


“ඔබේ සහෝදරයා කොහේ ද?” යි සිය සහෝදර ආබෙල්  මරා දැමූ කායින් ගෙන් දෙවියන් වහන්සේ ඇසූ සේක. මේ ප්‍රශ්නය මගින් දෙවියන් වහන්සේ අපට  පැහැදිලිව පෙන්වා දෙන්නේ අපගේ සහෝදරයාට අන්ධව, බිහිරිව, අසංවේදීව  සිටීමට හෝ උදාසීනව සිටීමට අප දක්වන හේතු කිසිවක් සාධාරණ ඒවා නොවන බව ය. "ඔහුව මවන ලද්දේත් මව ගේ කුසේ මා සාදන ලද තැනැන්වහන්සේ නොවේ ද?" යි ජෝබ් තර්ක කරයි. එයින් සියවස් ගණනකට පසුව ශාන්ත ඉරේනියස් තුමා මනුෂ්‍යයන් ගේ සමානත්වය පෙන්වා දෙන්නට සංගීතය උදාහරණයක් කර ගනියි: "සත්‍යය සොයන තැනැත්තා එක් එක් ස්වරය අතර තිබෙන වෙනස කෙරෙහි අවධානය යොමු නොකළ යුතු ය. ඒ වෙනුවට ඔහු අවබෝධ කරගත යුත්තේ සමස්ත සංධ්වනිය ම රචනා කරන ලද්දේ එක ම තැනැත්තා විසින් බව ය." ජේසු සමිඳුන් මේ උපමාව පටන් ගන්නේ දේව පනත්වල වෙන්කළ නොහැකි ක්‍රියාකාරකම් දෙක සාරාංශ ගත කරමිනි: එනම්, "ඔබට මෙන් ඔබගේ  අසල්වැසියාට ද ප්‍රේම කරන්න." අසල්වැසියා කවු ද?  


මේ උපමාවේ එන සොරුන්ගේ පහර දීමට ලක්ව තුවාල වූ මිනිසා ජුදෙව්වෙකි. ඔහු දැක පාරේ අනෙක් පැත්තට මාරු වී ගිය මිනිස්සු දෙදෙනාත් ජුදෙව්වෝ ය. එහෙත් ඔහුට උපකාර කල තැනැත්තා සමාරීයයෙකි. 


එකල ජුදෙව්වන් විසින් සමරිතාන ජනතාව සලකන ලද්දේ  බොරු  දෙවිවරුන් අදහන, පහත්, අපිරිසිදු ජන කොටසක් ලෙස ය. ජුදයිනට යහපත කියා දීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ භාවිත  කලේ මෙසේ සමාජයෙන් "පිටමං" කර තිබූ සමරිතාන ජන කොටස ය. මේ සමරිතානයා තමන් ගේ ගමනත්, කාලයත්, මුදලුත් ඇතුළු සියලු දේ පරිත්‍යාග කොට නිර්මාණශීලීව "තුවාලකරුගේ" සුවය වෙනුවෙන් ක්‍රියා කළේය.   


මෑත ඉතිහාසයේ අපේ රට 'තුවාලකරුවන්ගෙන්’ බහුල සමාජයක් බවට පත් විය. ශාරීරික, මානසික, ආර්ථික සහ සමාජයීය වශයෙන් බොහෝ දෙනෙක් "සොරුන්ගෙන්" පහර කා තුවාල ලැබූහ. අවාසනාවකට ඒ තුවාල කරුවන් දකින්නටත් ඔවුනට උවටැන් කර සුවපත් කරන්නටත්  සමරිතානයන් රට තුළ දකින්නට සිටියේ නැත. ඇතැම් පිරිස් විසින් "තුවාල කරුවන්" යොදා ගන්නා ලද්දේ  දේශපාලන බලය අල්ලා ගත හැකි උපක්‍රම වශයෙන් පමණි. 


උතුරේ පැවැති ජන අසහනය කුරිරු යුද්ධයකින් අවසන් කෙරිණි. එයින් සිදු කරන ලද තුවාල තවමත් සුව වී නොමැත. ඒ කාලය තුළත් එයින් පසුවත් යුක්තිය වෙනුවෙන් හඬ නැගු ක්‍රියාකාරීන් රාශියකට සිය ජීවිතයෙන්  වන්දි ගෙවීමට සිදු විය. එසේ නැතහොත් තම ජීවිතය වෙනුවෙන් හෝ තම හෘදය සාක්ෂිය වෙනුවෙන් වේදනාවෙන් මව් බිමින් ඉවත්ව යන්නට සිදු විය. එකම මනුෂ්‍යයන් රට තුළ "මහ ජාතිය" සහ "සුළු ජාති" ලෙස වෙන්කර සලකන තත්වය වර්ධනය  වී තිබේ. කනගාටුදායක ලෙස ක්‍රිස්තු ශ්‍රාවකයන් පවා "මහ ජාති - සුළු ජාති" විෂමතාව රිදුම් දෙන තුවාලයක් ලෙස නොව "ඔසුවක්" ලෙස සලකන බවක් පෙනෙන්නට  තිබේ. රටේ ක්‍රියාත්මක වන  අක්‍රමවත් ආර්ථික ක්‍රියාකාරීත්වයත් පාලන රටාවත් නිසා දුප්පත් කම වැඩිවෙමින් ඇත. සමාජයේ පවතින තරගකාරීත්වය නිසාත් වැටුපෙන් සිය පවුලේ අවශ්‍යතා සපුරා ගත නොහැකි  නිසාත් ඉහල සිට පහල දක්වා බලය ඇති සියල්ලෝ අල්ලසට හුරු වී සිටිති. මේ වන විට අල්ලස රටේ සාමාන්‍ය කරන වී තිබේ. දරුවෙකු ගේ මූලික අයිතිවාසිමක් වන අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් කතෝලික පාසලකට ඇතුළත් කිරීම උදෙසා අය  කරනු ලබන දැවැන්ත මුදල අල්ලසක් නොවන්නේ කෙසේද? මේ නිසා සමාජයෙන් කොන්කර තුවාල කර දමන දරුවන් සංඛ්‍යාව සැලකිල්ලට ගත් කල කතෝලික යයි කියන පාසල් වලට මෙය යුක්තිසහගත කල  හැක්කේ කෙසේ ද? "ඔබේ සහෝදරයා කොහේ ද?" ඉකුත් කාලය තුළ සාධාරණ ජනතා අරගල වලදී නිරායුධ කම්කරුවන්, මාධ්‍ය කරුවන් පමණක් නොව කිසිදු සම්බන්ධයක් නොමැති දරුවෝ පවා ඝාතනය කරන ලදහ. කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි සභා වල විශ්වාසිකයන් මෙන් ම රටේ සුළු ආගමිකයන් ලෙස සලකනු ලබන ජන කොටස් ද විවිධ වූ වෙනස් කරනු ලැබීම්, පහත් කරනු ලැබීම් හා පහර දීම් වලට ලක්  වූහ. මෙවැනි කාරණා රාශියක් සඳහන් කල හැකිය. එහෙත් ඒ අතර කතෝලිකයන් ක්‍රියා කලේ "පාරේ අනෙක් පත්තටහ මාරු වී ගිය" පූජකයා සහ ලෙවීතයා සේ නොවේ ද? 


කතෝලික අපගේ හදවත් පුපුරුවා හල පාස්කු ඉරුදින පිපිරීම් මා දකින්නේ මේ සමස්ත අසංවේදීබවින් , උදාසීන බවින් සහ නරුම බවින්  ක්‍රිස්තු ශ්‍රාවකයන්  අවදි කරන්නක් ලෙස ය. උතුරේ දෙමළ හින්දුනට පමණක් නොව දෙමළ  කිතුනුවනට ද පහර දෙනු ලබන විට අපට එය දැනුණේ නැත. මන්ද අප ‘මහ ජාතිය’ නමැති ජන කොටසට ඇතුලත් නිසා ය. මුසොල්මානු සහෝදරයන්ට විවිධ අයුක්ති සහගත දේ සිදුවන, පහර දෙන විට  විට අප තුළ ආත්මාර්ථකාමී ‘ප්‍රීතියක්’ හට ගත්තේ ය. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන්, මාධ්‍ය වේදීන් අසරණ වන විට ද අපි කතා නොකළෙමු. වෙනෙකක් තබා සහෝදර වෙනත් කිතුනු සභා සහ නිකායයන් වලට පහර දෙනු ලබද්දී “ලංකාවේ කිතුනු ජනතාවට කිසිදු වෙනස් කොට සැලකීමක් සිදු නොවන්නේ යයි” පැවසීමට පවා අපි ඉදිරිපත් වූයෙමු. අපගේ පොදු මානව සහෝදරත්වයට වඩා අප තුළ ඉස්මතු වූයේ අපගේ වෙනස්කම් ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පෙන්වා දෙන ආකාරයට “අපි පාරේ අනෙක් පැත්තෙන් මාරු වෙමින් සිටියෙමු.” 


පාස්කු ඉරිදා වේදනාකාරී සිද්ධිය අපගේ ගෙදරම සිදු වූයේ හුදෙක් තනි සිද්ධියක් ලෙස නොවන බව වටහා ගැනීමට “සියල්ලෝ සහෝදරයෝ” විශ්ව ලේඛනය අපට ආරාධනා කරයි. එය අපගේ සමස්ත ජාතියේත් විශේෂයෙන් ම කතෝලික අපගේත් උදාසීන කම හේතුවෙන් “අවධානය යොමු කර සුවපත් කරන්නට වෑයම් නොකළ”  ඛේදජනක සිද්ධි මාලාවක අතිශය වේදනාකාරී අවස්ථාවකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අප යුක්තිය ඉල්ලා සිටිය යුතු ය. එහෙත් ඒ අතර මීට කලින් සිදු වූ සිද්ධි වලදී අප සමරිතානු වරයකු වූයේ ද යන්න ප්‍රශ්න කිරීමට “සියල්ලෝ සොහොයුරෝ” අපට අභියෝග කරයි.


වසංගතයේ "තුවාලකරුවෝ"


කෝවිඩ්-19 වසංගතය සියලු මනුෂ්‍යයන් වෙත අකාරුණික ලෙස පැතිර යමින් තිබේ. එය මෙසේ පැතිර යන්නේ මානව අප විසින් ම ඉදි කරගෙන ඇති වැදගත් ජන වාර්ගික, භූගෝලීය, ආගමික සහ සමාජ තරාතිරම් වැනි සියලු "තාප්ප, බිත්ති සහ පවුරු' බිමට ම සමතලා කරමිනි. මෙලෙස, අප සෑම කෙනෙකුම එකම මානව පවුලේ සහෝදර සහෝදරියන් ය යන සත්‍යය මේ වසංගතය විසින් අපට අවධාරණය කර ඇතැයි "සියල්ලෝ සොහොයුරෝ" පෙන්වා දෙයි.


අපට තනිව මේ ලෝක ව්‍යසනයෙන් ජයගත නොහැකිය. අපට එයින් ජයහත හැක්කේ එකම මානව පවුලක සහෝදර සහෝදරියන් සේ එක්ව අත්වැල් බැඳ ගැනීමෙන් පමණක් බව විශ්ව ලේඛනයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.


"අප උත්පත්තියෙන් ලද සහෝදරත්වයේ හැඟීම් ප්‍රකාශ කරන්නටත්, යහපත් සමරිතානයන් වන්නටත් අද අපට මහඟු අවස්ථාවක් උදා වී තිබේ. යහපත් සමරිතානවරයා වෛරය සහ ක්‍රෝධය තවදුරටත් වපුරුවමින් නොසිට, සෙසු ජනතාව ගේ වේදනාව සහ ප්‍රශ්න තමන් ම ඔසවා ගත්තේ ය. උපමාවේ එන මේ සංචාරකයා සේ අප තුළ තිබිය යුත්තේ එකම ජනතාවක සහ එකම පවුලක සිතිවිල්ලෙන්, වෙහෙස නොබලා කොන් වුනු ජනතාව අන්තර්ග්‍රහණය කරගැනීමටත් වැටුණු සහෝදරයන් ඔසවා ගැනීමටත් ඇති අභිලාශය පමණකි" යි එතුමා විස්තර කරයි.


කෝවිඩ් වසංගතය පිළිබඳව අපගේ මාධ්‍ය වාර්තා කරන ආකාරය නිසා එම වෛරස් ආසාදිතයන් ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වූ සමයේ ලාදුරු රෝගීන් සේ පිළිකුල් කරන තත්වයක් අපගේ සමාජය තුළ ඇති වී තිබේ. ජනමාධ්‍ය කෝවිඩ් ආසාදිතයනට විවිධාකාරයෙන් නිග්‍රහ කරයි. අවමන් කරයි. ආසාදිතයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පැවරී ඇති අංශ විසින් ද සිදු කරනු ලබන්නේ ද මේ පිළිකුල සහ වෛරය වර්ධනය වන ආකාරයෙන් ක්‍රියා කිරීම යි ඒ වෙනුවට " මේ සහෝදරයිනුත් වෙන රෝගීන් වගේ ම රෝගීන්. සමාජයේ ආදරයත් අනුකම්පාව සහ ධෛර්යයත් ලැබිය යුතු රෝගීන්" යන අදහසින් දයාර්ද්‍රව ඔවුන් දෙස බැලීමක් කිසිදු පාර්ශවයකින් නොලැබේ. මේ නිසා රෝගය වැළක්වීමේ අරමුණින් වෛද්‍ය විද්‍යාත්මකව සිදු කල යුතු "භෞතික වෙන් කිරීම" ඔවුන් මුළුමනින් ම සමාජයීය වශයෙන් කොන් කිරීමක්, බැහැර කිරීමක් බවට පරිවර්තනය වී තිබේ.


ලෝකය පුරා මේ වසංගතයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දොළොස් ලක්ෂ හාරදහස ඉක්මවා තිබේ. අපේ කිසිදු නෑයකු හෝ හිත මිතුරකුට මේ රෝගය වැළඳුනු බවක් හෝ මෙයින් මිය ගිය බවක් හෝ කීමට රටේ ජනතාව බොහෝ බිය බියෙන් සිටිති. මේ රෝගය පිළිබඳව ඇති කර තිබෙන පිල්කුල් සහගත තත්වය ඊට හේතුවකි. ආසාදිතයනට හා ඔවුන් ගේ ඥාතීනට එල්ල අවමාන තවත් හේතුවකි. ඊටත් වඩා ලෝකයේ බොහෝ රටවල නොමැති ආකාරයෙන් එයින් මිය යන්නන් ආදාහනය කල යුතු ය යන නීතියක් ද ක්‍රියාත්මක මේ බිය වර්ධනය කර තිබේ.


මේ තත්වය තුළ අපට යහපත් සමරිතානයා විය හැක්කේ කෙසේ දැයි "සියල්ලෝ සොහොයුරෝ" අපට අභියෝග කරයි. (නැතහොත් අප පරිසියා හා ලෙවීතයා සේ 'අනෙක් පැත්තෙන් මාරු වෙමින්' සිටිනවා ද?) අපට යහපත් සමරිතානයකු විය හැක්කේ කෙසේද ?


මේ සම්බන්ධයෙන් අප ක්‍රියා කල යුතු ආකාරය ගැන ජේසු සමිඳුන් සිය උපමාවේ විස්තර නොකරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "සියල්ලෝ සහෝදරයෝ" හි කියයි:


"ජේසු සමිඳාණෝ එය උතුම් මානව ජීවගුණයට භාර දෙති. දුක් විඳින්නන් ගේ ගරුත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සිය නමට ගෞරවයක් වන සමාජයක් ගොඩ නැගීම සඳහා නොපසුබටව ප්‍රේමයෙන් ක්‍රියා කරන ලෙස උන්වහන්සේ අප දිරිමත් කරන සේක" යි එතුමා සඳහන් කරයි.


(මතු සම්බන්ධයි)


 

  

 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි