ශු. අන්තෝනි මුනි 8 වැනි සියවස" - මේ පෙම්බර සාන්තුවරයාට ලක්දිව වෙනුවෙන් යදින්නට අවස්ථාවක්?

"Eighth Centenary of St. Anthony of Padua: A great opportunity to Pray for Sri Lankan Catholics? 


(2020 ජුනි 07)
පාරට බැස දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය වචනයෙන් සහ ක්‍රියාවෙන් බෙදා ගැනීමට ලොව පුරා සිටින ප්‍රැන්සිස්කාන නිකායිකයන්, ශු. අන්තෝනි මුනිඳුන් ගේ බැතිමතුන් සේ ම තරුණ තරුණියන් ද "නොසන්සුන්ව " ක්‍රියා කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

දහතුන් වන සියවසේ ජීවත් වූ ශු. අන්තෝනි මුනිඳුන් "පුරාණ" සාන්තුවරයකු නමුත් තාරුණ්‍යය තුළ සිය ජීවිතයෙන් විස්කම් පෑ එම සාන්තුවරයා ගේ ජීවිතය අද ජීවත් වන අපට ද ඉතා "නූතන" පණිවිඩයක් බව එතුමා පවසයි.  මේ නිසා එතුමා වෙත විශේෂ භක්තියක් දක්වන ජනතාව සේ ම තරුණ තරුණියන් ද එතුමා ගේ ආදර්ශය අභියෝගයක් කර ගත  යුතු  බව එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව ප්‍රකාශ කරන්නේ ප්‍රැන්සිස්කාන කුඩා තාපස වරුන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨ සේවක කාලෝස් ට්‍රොවරෙල්ලි  (Minister General of the Order of Friars Minor Conventual) තාපස තුමන් වෙත ලියුමක් යවමිනි.

සාන්ත අන්තෝනි මුනිඳුන් ප්‍රැන්සිස්කාන නිකායේ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ අට වැනි සියවස මේ වසරේ සැමරේ. වසර 800කට පෙර, 1220 දී,  එතුමා ප්‍රැන්සිස්කාන තාපස ජීවිතය වැළඳ ගන්නට තීරණය කිරීම නිසා අද අප දන්නා අන්තෝනි මුනිඳුන්ට ගෞරව කිරීමටත් එතුමා ගේ පිහිට උපකාර පැතීමටත් ලොව පුරා ජනතාවට හැකි වී තිබේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රැන්සිස්කාන කුඩා තාපස වරුන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨ සේවක තාපස තුමන්ට මෙම ලියුම යැව්වේ මේ ඓතිහාසික අවස්ථාව සිහිපත් කරමිනි.

ඉතිහාසය කෙටියෙන්


සාන්ත අන්තෝනි මුනිඳුන් ප්‍රන්සිස්කාන නිකායට ඇතුළු වීමට තීරණය කළේ  මොරොක්කෝවේ සේවය කළ ප්‍රන්සිස්කාන තාපස වරුන් සිව් දෙනෙකු ප්‍රාණපරිත්‍යාගී වරයට පත් වූ බව දැන ගැනීමෙන් පසුවය .

සාන්ත අන්තෝනි මුනිඳුන් ගේ උපන් නම ෆර්නැන්ඩෝ ය. එතුමා උපත  ලැබූයේ පෘතුගාලයේ ලිස්බන්  නුවර ය. යෞවනයේ දී අගෝස්තීනියාන සේවාවට එක්වීම සඳහා එතුමා කොයිම්බ්‍රා නගරයට ගියේ ය. එහි රෝහලක සේවාව කරමින් සිටියදී එතුමාට ප්‍රැන්සිස්කාන තාපස වරුන් රැසක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබිණි.

ඒ අතරින් එතුමාට බොහෝ ලබැඳි වූ තාපසවරු සිව් දෙනෙක්  ධර්ම ප්‍රචාරය සඳහා මොරොක්කෝවට ගියහ. එම සිව් දෙනා එහි දී ප්‍රාණ පරිත්‍යාගී වූ බව (විශ්වාසය වෙනුවෙන් ජීවිත පූජා කළ බව)  වර්ෂ 1220 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. මෙය ඇසීමෙන් ධර්ම ප්‍රචාරයට මහත් උද්‍යෝගී සිතක් පහළ වූ යොවුන් ෆර්නැන්ඩෝ, ප්‍රැන්සිස්කාන නිකායට බැඳෙන්නට තීරණය කළේය. එම නිකායට ඇතුළු වූ  ෆර්නැන්ඩෝ සිය නම "අන්තෝනි" ලෙස වෙනස් කලේ ය. එසේ කළේ වනගත ශා. අන්තෝනි නම් සාන්තුවරයාට ගෞරවයක් වශයෙනි.  එතුමා ගේ දැඩි අභිලාශය වූයේ මොරොක්කෝවේ සුබ අස්න ප්‍රකාශ  කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ය.

එහෙත් දේව සැලැස්ම වුයේ එය නොවේ.

අප්‍රිකාවේ සිට පෙරළා ලිස්බන් නුවරට එන්නට එතුමා නැව් නැංගේ ය. එසේ යාත්‍රා කරද්දී  එතුමා සිටි නැව දරුණු කුනාටුවකට හසු විය. එම නැව පාවී ආවේ ඉතාලියේ සිසිලි දූපතට ය.  එතැන් සිට එතුමා අසීසි නුවරට  ගියේ ය. එහිදී අසීසියේ (සාන්ත) ප්‍රැන්සිස් යොවුන් තාපසවරයා හමු වූ තරුණ අන්තෝනි තාපස තුමා ගේ දහම් සේවාව වෙනස් මුහුණු වරක් ගත්තේ ය. "පාදුවාවේ සාන්ත අන්තෝනි මුනි තුමා" ලෙස ලෝකය අද ගරු බුහුමන් දක්වන්නේ එතුමාට ය.

දේව ප්‍රේමය පතල කිරීමේ  "නොසන්සුන්කම" 

සාන්ත අන්තෝනි මුනිඳුන් ගේ මෙම ජීවිතය ප්‍රන්සිස්කාන නිකාය නායකයාට යැවූ ලිපියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කෙටියෙන් සිහිපත් කරයි. 

"මොරොක්කෝවේ සිට පෘතුගාලයට එන අතර සාන්ත අන්තෝනි මුනිඳුන් රැගත් නෞකාව  සිසිලියට ගසාගෙන  ඒමේ සිද්ධිය  අද අපගේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට සිදුවන සිද්ධියට සමාන" බව එතුමා එම ලිපියේ කියයි. ජන සිත් ගත්  මෙම සාන්තුවරයා ගේ ගමන සුදොතුම්  පියතුමා හඳුන්වා දෙන්නේ එතුමන් ගේ "සිත් හැරීමේ ආධ්‍යාත්මික ගමන" ලෙස ය. 



"මෙම වැදගත් සංවත්සරය, ලෝකයේ වීදි සහ මාවත් ඔස්සේ යමින් දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයට සිය වචනයෙන් සහ ක්‍රියාවෙන් සාක්ෂි දැරීමට සාන්ත අන්තෝනි මුනිඳුන් පෙළඹවූ ශුද්ධ වූ නොසන්සුන්කම  අත්දැකීමේ අභිලාශය, විශේෂයෙන් ම ප්‍රන්සිස්කාන පැවිදිවරුන් තුළත් ලොව පුරා සිටින සියලු ම සාන්ත අන්තෝනි බැතිමතුන් තුළත් ප්‍රබෝධවත් කෙරෙන  අවස්ථාවක් වේවා!" යි සුදොතුම් පියතුමා ප්‍රාර්ථනා කරයි. 
"පවුල් වල,  දුප්පතුන් ගේ සහ වරප්‍රසාද නොලත් ජනයාගේ  දුෂ්කරතා බෙදා ගැනීමට සේ ම, සත්‍යය සහ සාධාරණත්වය ඉටු කිරීමට ද   එතුමන් තුළ වූ මහත් අභිලාෂය, සහෝදරත්වයේ සලකුණක් ලෙස අපව ම දානය කිරීමට අවශ්‍ය ත්‍යාගශීලී කැපවීමක් අප තුළ අවදි කරත්වා!"

නූතන තරුණයන්ට අභියෝගයක් 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ සාන්ත අන්තෝනි මුනිඳුන් 13 වැනි සියවසේ ජීවත් වූ "පුරාණ" මිනිසකු නමුදු එතුමන් ගේ දෘෂ්ටිය සහ ජීවිතය "නූතන"  බවයි. තාරුණ්‍යය තුළ විවිධ කැපකිරීම්, සේවාවන් මෙන් ම විස්කම් ද පෑ එතුමා නූතන තාරුණ්‍යයට අභියෝගයක් හා ආදර්ශයක් බව ද එතුමා පෙන්වා දෙයි. 

"මම සියල්ලටම වැඩියෙන් තරුණ තරුණියන් ගැන සිතමි. ඉතා පුරාතන වූ එහෙත් සිය දෘෂ්ටියෙන් ඉතා නවීන සහ ඉතා දීප්තිමත් වූ මෙම සාන්තුවරයා නව පරපුරට අනුගමනය කිරීමට ආදර්ශයකි. එතුමන් අනුගමනය කිරීමෙන් සිය ජීවිත සඵල කර ගැනීමට තරුණ පරපුරට හැකි වන්නේ ය."

"දෙවියන් වහන්සේ දකිමු"

සාන්ත අන්තෝනි මුනි 800 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රැන්සිස්කාන ශ්‍රේෂ්ඨ නායක තාපස තුමාට ලියූ ලියුම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවසන් කරන්නේ එම  සාන්තුවරයා ගේ ඉගැන්වීමක් සිහිපත් කරමිනි. 

"මම මගේ ස්වාමීන් වහන්සේ දකිමි" යි කියන්නට සාන්ත අන්තෝනි මුනිදුන් පුරුදුව සිටියේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පවසන්නේ මෙම සාන්තුවරයාට ගරු බුහුමන් කරන සියල්ලන්, ජනතාව  තුළ, විශේෂයෙන් ම දුක් විඳින ජනතාව තුළ "ස්වාමීන් වහන්සේ දැකිය  යුතු" බවයි.  

"යාච්ඥාවේ ක්‍රියා සහ දයාවේ ක්‍රියා මගින් සාන්ත අන්තෝනි අටවැනි සිය වස සමරන  සියල්ලන් සමග මම ආධ්‍යාත්මිකව ඒකාබද්ධ වෙමි. 'මම මගේ ස්වාමීන් වහන්සේ දකිමි' යි සාන්ත අන්තෝනි මුනිඳුන් සමග එක්ව කියන්නට ඔබ සියලු දෙනාට ම හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපගේ සියලුම සහෝදර සහෝදරියන් තුළ "ස්වාමීන් වහන්සේ දකින්නට අපට හැකිවිය යුතු ය; එසේ සියල්ලන් තුළ "අපගේ ස්වාමීන් වහන්සේ දැක" , ඔවුන් සැනසීමට, ඔවුනට බලාපොරොත්තුව සහ දේව වචනය මුණගැසීමට අවස්ථාවක් ලබා දීමට අපට හැකි විය යුතුය. ඔවුනට සිය ජීවිත සවිමත් කර ගත හැක්කේ ඒ මත ය" යි සුදොතුම් පියතුමා සඳහන් කරයි. 

නැති වූ දේ සොයා දෙන, මළ සිරුරට කතා කර අපරාධකරුවා දැනගන්නා: සාන්ත අන්තෝනි මුනිඳුන් 

සාන්ත අන්තෝනි මුනි බැතිය ලක්දිව කතෝලික මෙන්ම ලක්ෂ සංඛ්‍යාත නොකිතුනු ජනතාව ජනතාව අතර ද පැතිර තිබේ. ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අවශ්‍යතා උදෙසා එතුමෙන් ගේ පිහිට පතා යන අසරණ වූවන් ගේ බලාපොරොත්තු කිසි දා කඩ නොවේ.

නැති වූ දේ සොයා ගැනීම  සඳහා නිතර කතෝලිකයන් හැරෙන්නේ එතුමන් වෙතටයි. නැති වූ, සොරා ගත්  හෝ අස්ථාන ගත වූ දෙයක් සොයා ගැනීම ඉතා දුෂ්කර වූ විට එතුමන්ට යාච්ඥා කළ සැනින් සියල්ලන්  මවිතයට පත් කරමින් නැති වූ දෙය අපට හමුවන්නේ කිසිවෙකුත් නොසිතන තැනක තිබීය.

සාන්ත අන්තෝනි මුනිඳාණෝ දුප්පතුන් ගේ  හිතවතාය. අගහිඟ කම් ඇත්තන් ගේ කුසගිණි නිවන පියා ය. ගමනා ගමනයේ දී ආරක්ෂකයා ය.

මීට අමතරව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් ද තිබේ. එනම් එතුමා අසාධාරණයක් ඉටුවෙමින් තිබියදී ඊට එරෙහිව යුක්තිය ඉටු කිරීමට ඉදිරිපත් වන්නා ය. මිනීමැරුමක් පිළිබඳ නඩු විභාගයකදී එම මිනීමැරුමට කිසිසේත් සම්බන්ධ නොමැති නිර්දෝෂී තැනැත්තෙක් වරදකරු වීමට ආසන්නව තිබුනේ ය. එම අවස්ථාවේ සාන්ත අන්තෝනි මුනිඳුන් අධිකරණයට පැමිණ ඝාතනය කරන ලද මළ සිරුරට කතා කොට සැබෑ මිනීමරුවා කව්දැයි හෙළිකරගත්  අවස්ථාව එතුමන් ගේ ජීවිත කතාවේ එන වැදගත් සිද්ධියකි.

එම සිද්ධිය  මෙසේ ය. 

සාන්ත අන්තෝනි මුනිඳුන් ගේ උපන් ගම වූ පෘතුගාලයේ ලිස්බන් නගරයේ එකිනෙකාට වෛර කළ දෙදෙනක් වූහ. ඔවුහු නිතර කෝලහාල කර ගත්හ. ඔවුන් ජීවත් වූයේ සාන්ත අන්තෝනි මුනිඳුන් ගේ දෙමාපියන් ගේ නිවස අසල ය. 

දිනක් මේ දෙදෙනා වෛරයෙන් සටන් කරන අතර කෙනෙක් අනෙකාට පිහියෙන් ඇන්නේ ය. එම පුද්ගලයා මිය ගියේය. බියට පත් අනෙක් තැනැත්තා මිය ගිය තැනැත්තා ගේ සිරුර අන්තෝනි මුනිදුන් ගේ දෙමාපියන් ගේ ඉඩමේ වළ දැම්මේ ය

අධිකරණ විසින් මළ සිරුර සොයන විට එය එම ඉඩමේ තිබී හමු විය. මේ නිසා මෙම මිනීමැරුම එතුමා ගේ පියා වූ මාටින් විසින් සිදු කල බවට ඔප්පු වන්නට ආසන්නව තිබුනේය. එම මිනීමැරුමට තමන් නිර්දෝෂී බව ඔප්පු කරන්නට පියා ගත්  සියලු උත්සාහයන් නිරර්ථක වූයේය. මළ සිරුර ඉඩමේ තිබීම පමණක් මේ දිළිඳු මිනිසා මිනීමරුවා ලෙස ඔප්පු කරන්නට සාක්ෂියක් බවට පත්වෙමින් තිබුනේ ය

තත්වය දරුණු අතට හැරෙන විට සිය පියාට අත්වන්නට යන ඉරණම සමිඳුන් විසින් ම තරුණ අන්තෝනි තාපස තුමාට දැනගන්නට සලස්වනු ලැබිණි. අන්තෝනි තාපස  තුමා මෙම තත්වය  ගැන සිය ශ්‍රේෂ්ඨ පියතුමන්ට දැන්වූ යේ ය . සිය පියා සමග මොහොතක් සිටින්නට අවසර ඉල්ලු තාපස තුමා මේ සඳහා එක දිනක නිවාඩුවක් ඉල්ලුවේය. ඒම අවසරය එතුමාට ලැබිණි. 

පාදුවාවේ සිට ලිස්බන් නගරයට දුර සැතැපුම් 1,200කි. එහෙත් තමාට ලැබුණු දේව වරම තුළ පැය කිහිපයකින් සාන්ත අන්තෝනි මුනිඳුන්  ලිස්බන් නගරයේට ගියේ ය.  .  

අධිකරණයේ  පෙනී සිටියේ සාන්තුවරයා මරා දමන ලද මිනිසා ගේ සිරුර ගෙන එන ලෙස උසාවියෙන් ඉල්ලීමක් කළේය. සිරුර එහි ගෙනෙන ලද විට සාන්තුවරයා සිරුර ළඟ ගියේය. ඊට දැඩි ස්වරයෙන්  කතා කළ එතුමා "ඔබ මරා දැමුවේ කවුරුන්දැයි ප්‍රකාශ කරන්න" යි ඊට නියෝග කළේය. 

සියල්ලන් මවිත කරමින් මළ සිරුර කෙළින් වී හිඳ ගත්තේ ය. ඉන් පසු තමන් මරා දැමූයේ කවුරුන් දැයි එම මල මිනිසා පැහැදිලි හඬින්  ප්‍රකාශ කළේය. එසේ ම සාන්ත අන්තෝනි මුනිදුන් ගේ පියා වූ මාටින් ඊට නිදොස් බවත් ඔහු තහවුරු කළේය. සාන්තු වරයා ගේ පියා වහාම නිදහස් කෙරිණි. 

යළි පණ ලැබූ සිරුර තමා විසින් කරන ලද පාප වලට සමාව දෙන්නැයි සාන්ත අන්තෝනි මුනිදුන් ගෙන් ඉල්ලුවේය. පියතුමකු ලෙස අන්තෝනි මුනිඳුන්  ඔහුට සමාව දුන් පසු ඔහු යළිත් මිය ගිය බව එතුමා ගේ ජීවිත කතාවේ සඳහන්   වේ. 

මෙය ඉටු කළ වහාම අන්තෝනි තාපස තුමා යළි පාදුවාවට ආවේය. එතුමාට අවසර ලැබී තිබුණේ එක දිනක් සඳහා පමණි. (මේ සිද්ධිය  පාදුවාවේ සාන්ත අන්තෝනි මුනි බැසිලිකාවේ සේවය කරන ප්‍රන්සිස්කාන පියතුමෙකුගෙන් අහන්න මෙම වීඩියෝව බලන්න):



ශ්‍රී ලංකාවට  අත්‍යවශ්‍ය වන ශු. අන්තෝනි මුනි මැදිහත්කම

ශ්‍රී ලංකාව ද අද සිටින්නේ සාන්ත අන්තෝනි මුනිදුන් ගේ ප්‍රාතිහාර්යාත්මක මැදිහත්වීම අවශ්‍ය මොහොතක ය.

අප ගේ පෞද්ගලික අවශ්‍යතා ඉක්මවා යන අවශ්‍යතා අද ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ සිත්වල තිබේ. ඒවා භෞතික  අවශ්‍යතා නොවේ. ආධ්‍යාත්මික, සමාජයීය සහ සාධාරණත්වය පිලිබඳ අවශ්‍යතා ය. සාන්ත අන්තෝනි මුනිඳුන් ගේ පැවිදිවරයේ  800 වැනි සංවත්සරය සමරන මේ මාසයේ එම අවශ්‍යතා වෙනුවෙන් එතුමන්ට යාච්ඥා කළ හැකිය.

නැති වූ දේ සොයා දීමටත් මළවුන් අවදිකොට  සැබෑ මිනීමරුවා හෙළිදරව් කරමින් අසාධාරණව චෝදනා ලද්දන් නිදහස්  කර යුක්තිය ඉටු කිරීමටත්  දෙවි සමිඳුන් වෙතින්  එතුමන් ලද විශේෂ වරප්‍රසාදයෙන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව සඳහා මැදිහත් වන්නැයි අපි එතුමන්ට යාච්ඥා කරමු.

ශ්‍රී ලංකාවේ සමාජයට මේ වන නැති වී ඇති ප්‍රධාන දෙයක් වන්නේ සත්‍යයයි. රට පුරා පැතිර යන මිථ්‍යාව තුළ සත්‍යය නැති වී තිබේ. නැතහොත් විවිධ අරමුණු මත පතුරුවන මිථ්‍යාවන් විසින් සත්‍යය සඟවා තිබේ. සිය හිමිකරුවන් ගේ උවමනා එපා කම් මත තොරතුරු වාර්තාකරණයේ යෙදෙන සහ විශ්ලේෂණයේ යෙදෙන සාම්ප්‍රදායික මාධ්‍ය විසින් සත්‍යය සහ යථාව සඟවනු ලබමින් තිබේ.  එසේ ම සමාජ මාධ්‍ය වල ඝෝෂාව තුළ ද සත්‍යය නැති වී ගොස් තිබේ. නැතහොත් සත්‍යය හෝ බොරුව සොයා ගැනීමට නොහැකි ආකාරයෙන් මේ ඝෝෂාව විසින් මනස අවුල් කර තිබේ.

මේ නිසා "පෙම්බර ශු. අන්තෝනි මුනිඳුනි ඔබගේ පෙළහර ජනක අත  පා, බොරුවෙන්, රැවටිල්ලෙන් අන්ධ වී ඇති, අන්ධ කොට ඇති  අපගේ නෙත් විවර කොට අප සමාජයට සත්‍යය සොයා දෙනු මැනවි" යි අපි යාච්ඥා කරමු.

අපට මනුෂ්‍යත්වය නැති වී තිබේ. 
ඉතාලියේ, මැද පෙරදිග, ආසියාවේ රටවල දහදුක් විඳ යමක් හම්බ කරගෙන, සිය දූ දරුවන් දෙමාපියන් රැක බලාගත්, හදිසි ආපදා අවස්ථාවල අපේ රටට ද ත්‍යාගශීලීව උදව් උපකාර කළ අපගේ සහෝදර සහෝදරියන් අද අප දකින්නේ "වෛරස්" ලෙස ය. නැති නම් "බෝම්බ" ලෙස ය.
අපේ රටේ අපට වඩා අඩු ජනගහනයක් ඇති ජාතික සහ ආගමික සහෝදර ජනකොටස් අප දකින්නේ අයිතිවාසිකම් අහිමි, එසේ නැති  නම්, අපට වඩා අඩු අයිතිවාසිකම් තිබෙන  "සුළු ජාතීන්, සුළු ආගමිකයන්" ලෙස ය. දෙවියන් වහන්සේ විසින් එකම මනුෂ්‍යත්වයෙන් මවන ලද මේ සියලු ජන කොටස් තුළ ඇති සමාන  මානව ගරුත්වය, සමාන උතුම් බව දකින මනුෂ්‍යත්වය අප තුළින් නැති කරගෙන තිබේ.
මේ නිසා "සාන්ත අන්තෝනි මුනිඳුනි, මේ ජයන්ති වසරේ දී අපට නැති වී ඇති මනුෂ්‍යත්වය සොයා දුන මැනව" යි යාච්ඥා කරමු.

අනෙක් අතින්, පාස්කු ඉරිදා  ඛේදවාචකයේ වේදනාවෙන් පෙළෙන කතෝලික ජනතාව ද සැඟවී ඇති නොහොත් සඟවනු ලැබ ඇති  එක් සත්‍යයක් සොයා ගැනීමේ අභිලාෂයෙන්  සිටිති.

එනම්, මේ  සුන්දර ප්‍රීතිජනක දිනයේ ජීවිත පමණක් නොව ජීවත් වන්නන් ගේ හදවත් ද පුපුරුවා හල එම ඛේදවාචකය සිදු කළ සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සත්‍යයයි.

සාන්ත අන්තෝනි මුනිඳුන් මළ සිරුරට කතා කොට එම තැනැත්තා අවදිකොට අධිකරණය ඉදිරියේ අපරාධකරුවා හෙළිදරව් කළ සාන්තුවරයා ය. එපමණක් නොව චෝදනා ලද නමුත් නිදොස් තැනැත්තන් නිදහස් කොට යුක්තිය ඉටු කළ සාන්තුවරයා ය. මේ නිසා පාස්කු ප්‍රහාරයේ නැති වී ඇති සත්‍යය සොයා දී එම සිද්ධියෙන්  විපතටත් වේදනාවටත් පත් සියල්ලන් වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන ලෙස ද එතුමා ගේ ජීවිතයට සම්බන්ධ මේ වැදගත් මාසය තුළ  අපට යාච්ඥා කල හැකිය.

"පාස්කු ප්‍රහාරයේ සැඟවී ඇති අපට නොපෙනෙන සත්‍යය අපට සොයා දුන මැනව.  පාස්කු ප්‍රහාරයට වගකිව යුතු, ඊට විවිධාකාරයෙන් සම්බන්ධ වූ දේශීය වූ ද ජාත්‍යන්තර වූ ද පුද්ගලයන් හෝ කණ්ඩායම්,  කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයෙන් හෙළිදරව් කල මැනව," යි පිහිට ඉල්ලා සිටින සියල්ලන්ට සරණය වන ශු. අන්තෝනි මුනිඳුන්ගෙන් ස්ථිර සිතින් හා විශ්වාසයෙන් යුතුව ඉල්ලා සිටීමට මේ සංවත්සර මංගල්‍යය අවස්ථාවක් කර ගනිමු.

මේ අඳුර පහ වී ගොස් සාමය උදා වී යළිත් සියල්ල විවෘත වූ විට සුපුරුදු පරිදි එතුමන් වෙත පැමිණ එතුමන්ට ද එතුමන්ට මේ වරප්‍රසාද ලබා දුන් දෙවියන් වහන්සේට ද  ස්තුති කිරීමට අපට හැකි වනු ඇත. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු