"චීනයේ කතෝලිකයන් වෙනුවෙන් යාච්ඥා කරන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි

Pope Francis appeals: Pray for the Church in China

චීනයේ ආරක්ෂිකාව වන මරිය වහන්සේ ගේ ප්‍රතිමාව වීදි සංචාරය කළ අවස්ථාවක් 

(2020 මැයි 24)
විශ්ව සභාවත් තමාත් චීනයේ කතෝලිකයනට සමීපව සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එතුමා මේ ප්‍රකාශය කළේ  අද මැයි 24 වැනි ඉරිදා පාස්කු සමයේ තුන්කාල ආරාධනා මරිය යැදුම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"දයාබර චීන කතෝලික සහෝදර සහෝදරියනි, ඔබ ද පූර්ණ කොටසක් වන විශ්ව කතෝලික සභාව, ඔබ ගේ බලාපොරොත්තුවල පංගුකාරයන් වන බවත් ඔබ මුහුණ දෙන දුෂ්කරතා වලදී ඔබට සහය සහ ශක්තියක්  වන බවත්  ඔබට සහතික කරන්නට මම කැමැත්තෙමි. සුපුවතේ ආලෝකය සහ සුන්දරත්වය, ඇදැහිලිවන්තයන් ගේ  ගැලැවීම ඇති කරන්නා වූ දෙවියන් වහන්සේ ගේ බලය සේ ඔබ මත බබලන ආකාරයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ නැවුම්ව ඔබ මත උතුරා වැගිරෙනු පිණිස සභා මාතාව යාච්ඥාවෙන් ඔබ කැටුව යන්නීයැ," යි එම යැදුම අවසානයේ චීන ජනතාව අමතමින් සුදොතුම් පියතුමා කීවේ ය.

"චීන විශ්වාසකයන් ඇදැහිල්ලේ ශක්තිමත් වන ලෙස ද, සහෝදර එක්සත් භාවයේ ස්ථිර වෙමින්, ප්‍රීතිමත් සාක්ෂි දරන්නන්, දයාවේ සහ බලාපොරොත්තුවේ ප්‍රවර්ධකයන් සහ යහපත් පුරවැසියන් ද වේවා යි මම යාච්ඥා කරමි," යි එතුමා සඳහන් කළේ ය.

චීන කතෝලිකයන් සඳහා ලෝක යැදුම්  දිනය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙලෙස චීන කතෝලික ජනතාව ඇමැතුවේ එම ජනතාවට වැදගත් වන කාරනා දෙකක් සැමරෙන මැයි මස 24 වන දා ය.

චීන කතෝලිකයන් ක්‍රිස්තියානින් ගේ පිහිට සහ චීනයේ ආරක්ෂිකාව (Mary, Help of Christians and Patroness of China)  වන මරිය වහන්සේ ගේ මංගල්‍යය සමරන්නේ මේ දිනයේ ය. චීන කතෝලිකයන් සිය ජාතියේ ආරක්ෂක සාන්තුවරිය ලෙස මරිය මෑණියන්ට ගෞරව කරන්නේ එම නාමය යට‍තේ  ය.මෙදින  ෂැන්හයිහි ශේශාන් ප්‍රදේශයේ පිහිටා ඇති ක්‍රිස්තියානින් ගේ පිහිට සහ චීනයේ ආරක්ෂිකාව වන මරිය වහන්සේ ගේ සිද්ධස්ථානයට රැස්වන චීන කතෝලිකයෝ  එතුමියට ගෞරව කරති.

මැයි 26 වැනි දා චීන කතෝලිකයන් වෙනුවෙන් යදින ලෝක යැදුම් දිනය ද වේ. වසර 2007 දී මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසිනි.

එම යැදුම් දිනය ප්‍රකාශයට   පත් කරමින් එතුමා චීන කතෝලිකයනට ලියුමක් ලියූ අතර ඔවුන් වෙනුවෙන් යාච්ඥාවක් ද රචනා කළේ ය. එම  යාච්ඥාව ද ආමන්ත්‍රණය  කර තිබුනේ චීනයේ ආරක්ෂිකාව වන මරිය මෑණියන්ට ය.

"සිය දෛනික වෙහෙස මහන්සිය  අතර නොකඩවා විශ්වාස කරන, බලාපොරොත්තු වන සහ ප්‍රේම කරන චීන කතෝලික ජනතාව, ජේසු සමිඳුන් පිළිබඳව ලෝකයටත් ලෝකය පිළිබඳව ජේසු සමිඳුන්ටත් නොබියව  කතා කිරීමට ශක්තික්මත් කිරීම සඳහා ලොව පුරා කතෝලිකයෝ  ඔවුන්ට  කැපවීමෙන් සහාය වෙත්වා" යි එම යැදුමෙන් සොළොස්වන බෙනඩික් පාප්තුමා ඉල්ලා සිටියේ ය.

චීනයේ කතෝලික දහම 

බටහිර රටවල ධර්ම දූතවරු අවධි කිහිපයක දී කතෝලික විශ්වාසය චීනයට රැගෙන ආහ. චීනය ලෝකයේ විශාලත ම සේ ම පැරණිතම ශිෂ්ටාචාරයක් සහිත රටක් වේ. එරටට කිතු දහම රැගෙන ආ ධර්ම දූත වරුනට එක් ගැටළුවක් වූයේ මෙම ශිෂ්ටාචාරයට කිතු දහමේ ගැඹුරු විශ්වාසයන් හඳුන්වා දීමයි.

මෙම අභියෝගයට මුහුණ දී කිතු දහම චීනයේ ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූයේ 16 වන සහ 17 වන සියවස් වල එරටට පැමිණි ජේසු නිකායික ධර්ම දූතයෝ ය. එරට සංස්කෘතියට ගරු කරන ආකාරයෙන් විශ්වාසය එරට තුළ ප්‍රවර්ධනය කිරීමට ඔවුහු ක්‍රියා කළහ.

චීනයේ කතෝලික සභාව ප්‍රබෝධවත්ව වර්ධනය වූයේ 12 වන පියුස් පාප් වහන්සේ  ගේ ධුර සමයේ දී ය. එතුමා  විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා දෙවන ලෝක යුද්ධය අවසන් වන විට චීනයේ කතෝලික ජනගහනය ලක්ෂ හතළිහක් දක්වා වර්ධනය වූ අතර එරට අගරදගුරු පදවි 20ක් ද, රදගුරු පදවි 85ක් ද, අපෝස්තලික පරිපාලන ප්‍රදේශ 39ක් ද දක්වා වර්ධනය වී තිබිණි.

1949 සංස්කෘතික විප්ලවයෙන් පසු මහජන චීනය බිහි වූ අතර කොමියුනිස්ට් පක්ෂය එරට බලයට පැමිණියේ ය.

ඉන් පසුව සෑම ආගමික වන්දනාවක් ම චීන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යට‍තේ සිදු විය යුතු බවට එම ආණ්ඩුව නීති පැනවීය.

චීන කතෝලිකයන්ට පාප් වහන්සේ සමග තිබුණු සම්බන්ධතා බිඳ දමන ලෙස බල කරනු ලැබිණි. ඒ වෙනුවට එරට කතෝලිකයන් ගේ අධීක්ෂණය සහ පාලනය  එරට කොමියුනිස්ට් පක්ෂය යට‍තේ පිහිටුවන ලද "චීන කතෝලික දේශප්‍රේමී සංගමය" (Chinese Catholic Patriotic Association) වෙත පවරන ලදී. ලොව පුරා කතෝලිකයන් විසින් පිළිගනු ලබන "පාප් වහන්සේ ගේ අධිකාරී බලය" දේශප්‍රේමී කතෝලික සංගමය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඒ වෙනුවට  එය ක්‍රියා කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ අභිමතය අනුව ය. සියලු වත් පිළිවෙත් සංවිධාන කරන ලද්දේ එම සංගමයට අවශ්‍ය ආකාරයට ය. එසේම රදගුරු හිමිවරුන් පත් කරන ලද්දේ ද දේශප්‍රේමී කතෝලික සංගමයේ අභිමතය අනුව ය. පාප් වහන්සේ ගේ රදගුරු පත්කිරීම් මුළුමනින් ම ප්‍රතික්ෂේප කෙරිණි. සියලු කතෝලිකයනට එම සංගමයට එක්වන ලෙස බල කරනු ලැබිණි.

මහජන චීන ආණ්ඩුවේ මෙම තීරණයට අවනත නොවූ පූජක වරුනට සහ ගිහි ජනතාවට බොහෝ වදහිංසා සහ පීඩන වලට ලක්වීමට සිදු විය. ඇතැමෙකුට දීර්ඝ සිර දඬුවම් නියම වූ අතර තවත් පිරිසක් ප්‍රාණ පරිත්‍යාගී වුහ. දේශප්‍රේමී සංගමයට කීකරු නොවී පාප් වහන්සේට කීකරු වීමේ තෝරාගත් රදගුරු සහ පූජක වරුන්ට ඉතා පහත කොට සැළකු රැකියාවල නිරත  වීමට ද නියම කෙරිණි.

මේ හේතුව නිසා රෝමයට පක්ෂපාතීත්වය දැක්වූ කතෝලිකයෝ සැඟවී සිය රදගුරු වරුන් සහ පූජක වරුන් සමග මෙහෙයන් පැවැත්වූහ. ඔවුන් හඳුන්වන ලද්දේ "සැඟවුණු සභාව" (Underground Church) ලෙස ය.

මෙම ගැටුම ඉතිහාසය පුරාම පැවතිනි. සැඟවුණු සභාවට පාප් වහන්සේ විසින් පත් කරන ලද රදගුරු හිමිවරුන් චීන් කොමියුනිස්ට් පක්ෂය විසින් පිළිගත්තේ නැත. දේශප්‍රේමී සංගමය විසින් කතෝලික සසුන් නීති වලට පටහැනිව පත්කරන ලද කොමියුනිස්ට් පක්ෂයට පක්ෂපාතී  'රදගුරු  හිමිවරු" රෝමය විසින් ප්‍රතික්ෂේප කරන ලදහ. එයින් සමහරෙක් සභාවෙන් නෙරපා හැරීමට ද ක්‍රියා කෙරිණි.

චීනයේ සැබෑ කතෝලික සභාව  වන "සැඟවුණු සභාවේ" රදගුරු වරුන් තම  ජීවිතයේ වැඩි කාලයක් ගෙවූයේ සිරගෙවල් වලය. නැතිනම් කොමියුනිස්ට් පක්ෂය  විසින් පවත්වාගෙන යන ලද අධිශික්ෂණ කඳවුරු වලය.

චීනය සහ වතිකානය අතර දැඩි ම මත භේද හටගත්තේ රදගුරු හිමිවරුන් පත් කරන්නට යාමේ දී ය. මේ නිසා මෙම මතභේදය විසඳා ගැනීම සමබන්ධයෙන්  වතිකානය  කල්පනා  කරමින් සිටියේ ය. මෙම ගැටුම නිරාකරණය කරගැනීම සඳහා සම්මුතියක් ඇතිකර ගැනීමට   මුල පුරණ ලද්දේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. එතුමා ගේ අනුප්‍රාප්තික සොළොස්වන බෙනඩික් පාප්තුමා චීනයෙන් එල්ල වූ  විවිධ බාධක මධ්‍යයේ එම සාකච්ඡා ඉදිරියට ගෙන ගියේ ය.

චීන කතෝලික සභාවේ තීරණාත්මක කඩ ඉමක් සනිටුහන් කරමින් චීනයේ රදගුරු හිමිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් චීනයත් වතිකානයත් 2018 සැප්තැම්බර් මාසයේ  "අන්තර්වාර සම්මුතියක්" අත්සන්  කළේ ය. මේ යට‍තේ "පාප් වහන්සේ චීනයේ සියලු කතෝලිකයන් ගේ නායකයා  ලෙස" පිළිගනු ලැබිණි. චීනයට  රදගුරු හිමිවරුන්  පත් කෙරෙන්නේ  පාප් වහන්සේ ගේ අනුමැතිය යට‍තේ බව ද එහි සඳහන් ය. ඊට ප්‍රතිචාර ලෙස පාප් වහන්සේ ගේ අනුමැතිය නොලබා දේශප්‍රේමී සභාව විසින් පත් කරන ලද රදගුරු වරු සත් දෙනෙකු පිළිගැනීමට වතිකානය එකඟත්වය පළකර තිබේ.

කෙසේ නමුදු දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ කාලයේ සිට චීනය ආණ්ඩු කළ නායකයන් සමග බලන  විට වත්මන් චීන ජනාධිපති ෂී ජින් පිං ඉතා වෙනස් පාලන රටාවක් පෙන්නුම් කරයි. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි අධිපතිවාදී එකකි. ස්වදේශීය වශයෙන් ආගමික නිදහස ප්‍රතික්ෂේප කරන ඔහු ආගම විෂයයෙහි නුරුස්නාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි

මේ නිසා  චීන කතෝලික සභාව තවමත් දුක් විදින සභාවකි; එරට ආණ්ඩුවේ පීඩනයට ගොදුරු වූ සභාවකි; ප්‍රාණ පරිත්‍යාගී සභාවකි. 

එබැවින් සියලු කතෝලිකයන් එරට කතෝලික ජනතාව සහ රදගුරු-පුදැදුරු තුමන් ලා වෙනුවෙන් යාච්ඥා කල යුතු ය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු