"අපේක්ෂාවේ භංගත්වය සහ බලාපොරොත්තුවේ ස්ථිර බව" - ගොබ් ඉරිදා ධර්ම දේශනාව: "ක්‍රිස්තු සමිඳුන් ගේ චෛතසිකය ඇතිව ජීවත් වීමේ අභියෝගය"

"Shattering expectations and solid hope- The challenge of Living with the mind of Christ" - Homily on Palm Sunday  


 (2020 අප්‍රේල් 05)
කෝවිඩ්-19න් වියවුල් වූ ලෝකය කාංසාව තුළ බලාපොරොත්තුව සොයමින් සිටින බව කැනඩාවේ එඩ්මන්ටන්හි අගරදගුරු රිචඩ් ස්මිත් හිමි පවසයි. එතුමා පෙන්වා දෙන්නේ,මානව සමාජය විසින් සැබෑ සහ විශ්වසනීය යයි සිතූ සියලු  ස්ව කේන්ද්‍රීය වූ අපේක්ෂා කෝවිඩ්-19 වසංගතය විසින් බිඳ දමා ඇති බවයි. ඒ වෙනුවට ජේසු  සමිඳුන් ගේ චෛතසිකය ඇතිව සිය ප්‍රේමයෙන් මිනිසා  මවිතයට පත් කරන දෙවියන් වහන්සේ තුළ තබන බලාපොරොත්තුව කිසිදා බිඳ නොවැටෙන් බව තුමී පහදා දෙයි.

එඩ්මන්ටන් අගරදගුරු රිචඩ් ස්මිත් හිමි මේ බව කියා සිටියේ ගොබ් ඉරිදා දිව්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි.

බිඳ වැටෙන, ස්ව කේන්ද්‍රීය  අපේක්ෂා සහ ස්ථිර වූ බලාපොරොත්තුව යන්න පහදා දීමට එතුමා යොදා ගත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෑතක දී රෝමයේ පූජක වරුනට දුන් දේශනයකි.

එම ධර්ම දේශනය සම්පූර්ණයෙන් මෙසේය:  (මෙතැන 'ක්ලික්' කිරීමෙන් ඉංග්‍රීසි පිටපත කියවිය හැකිය.)

(වීඩියෝව: වෛද්‍ය උපදේශ වලට ගරුකරමින් පවත්වන ලද සම්පූර්ණ දිවය පූජාව) 



"මේ දිනවල හුඟ දෙනෙක් බලාපොරොත්තුව සොයාගෙන යනවා, අගරදගුරු තුමනි," යයි බොහෝ දෙනෙකු මේ දිනවල  පවසනවා මට ඇසෙනවා. එය පුදුමයක් නොවේ. කෝවිඩ්-19 ජන ජීවිතය මත නොකඩවා බරපතල බලපෑම් ඇතිකරමින් තිබීමයි, ඊට හේතුව.  මේ කාංසාව ප්‍රධාන වශයෙන් ම පැමිණෙන්නේ අපගේ ජීවිතයේ ආරක්‍ෂිත පදනම ලෙස අප විශ්වාස කළ සියලුම දේ ඇත්ත වශයෙන් ම එතරම් විශ්වාසවන්ත නොවේය යන සත්‍යය මේ වන විට ඔප්පු වී තිබෙන නිසයි.

මේ නිසා, අප වහාම පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයක් පැණ නගිනවා: අප බලාපොරොත්තුව සොයන්නේ කොහෙන්ද? ඒ බලාපොරොත්තුව කිසියම් ස්ථිර දෙයක් මත පදනම් වී තිබෙනවා ද?

ඇත්තෙන් ම, බලාපොරොත්තුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ පදනම් වී තිබෙන බව කිතුනුවන් ලෙස අප දන්නවා.උන්වහන්සේ ගේ ප්‍රේමයට වඩා ස්ථිර වූ, විශ්වසනීය වූ වෙනත් කිසිවක් ඇත්තේ නැහැ. උන්වහන්සේ තුළ අපට සැබෑ බලාපොරොත්තුවක් තිබෙනවා. එහෙත් ඇදහිලිවන්තයන් අතර පවා තවමත්  කාන්සාව තිබෙනවා. ක්‍රිස්තුන් වහන්සේ තුළින් අප ලැබූ බලාපොරොත්තුව අප වෙතින් පලා යමින් තිබෙනවා. මේ නිසා අප මේ කාරණාව වඩා පරෙස්සමින් පරීක්ෂා කළ යුතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපේ ම හෘදය සාක්ෂිය පරීක්ෂා කරන්නට අද අප සවන් දුන් ශුද්ධ ලියැවිලි පාඨ අප යොමු කරනවා. ඒවා අපට උගන්වන දේ ගැන සිත් යොමු කරන්නට සූදානම් වීමක් වශයෙන් අපි අපෙන් ම මේ ප්‍රශ්නය අසමු:

කිසියම් හෝ ආකාරයකින් - කිසියම් ම  හෝ ආකාරයකින්- අප ජේසු සමිඳුන් හැර වෙනත් දෙයක් මත අපගේ විශ්වාසය තබා තිබුනා ද? දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට, අප අප කරෙහි, අපගේ ම වූ ව්‍යාපෘති කෙරෙහි විශ්වාසය තබා තිබුණා ද? 

මෑතක දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ප්‍රශ්නය මේ  ආකාරයෙන් ඉදිරිපත් කර තිබුණා: දෙවියන් වහන්සේ-කේන්ද්‍ර කොටගත් බලාපොරොත්තුව වෙනුවට, ස්ව-කේන්ද්‍රීය වූ අපේක්ෂා පදනම් කරගනිමින් අප ජීවත් වෙමින් සිටියා ද? අප බොහෝ දෙනෙකු මේ මොහොතේ බලාපොරොත්තුව සොයමින් සිටින බව සත්‍යයක්. එහෙත් අප බලාපොරොත්තුව අපේක්ෂා සමග පටලවා ගෙන සිටින තාක් අපට එය මුණගැසෙන්නේ නැහැ.

අපේක්ෂා සහ බලාපොරොත්තුව: මේ වචන දෙකේ වෙනස හඳුනා ගැනීම අපට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පසුගිය පෙබරවාරි 17 වැනිදා රෝම පදවියේ පුදැදුරු වරුනට දුන් දේශනයක දී මේ දෙකේ වෙනස පැහැදිලි කර දී තිබුණා. එතුමා මෙසේ කීවා: "අපේක්ෂා යනු ස්ව-යොමුවක් ඇති අභිලාෂයන් ය. ඒවා මට ඕනෑ කරන දේ ලබා ගැනීමේ අභිලාෂය විසින් නිර්මාණය වී ඇති අතර මා විසින් නිශ්චය කෙරෙන පරිමිතීන් විසින් හැඩගැස්වී තිබේ. අපේක්ෂාවලට පදනම් වී ඇත්තේ ස්වයං-පෝෂණය යන මායාව සහ  ස්වායත්තබව යන උපකල්පනය යි. එවැනි අපේක්ෂා අනිවාර්යයෙන් ම බිඳ වැටෙන අතර අවසානයේ අපට ඉතිරි වන්නේ අපේක්ෂා භංගත්වය සහ තිත්ත බව පමණි. අනෙක් අතින්, බලාපොරොත්තුව කේන්ද්‍ර  වන්නේ  මා මත නොව දෙවියන් වහන්සේ මත ය; මගේ අභිලාෂයන් මත නොව දෙවියන් වහන්සේ ගේ කැමැත්ත මත ය. මගේ ව්‍යාපෘති මත නොව පියාණන් ගේ සැලැස්ම මත ය. එය පදනම් වී තිබෙන්නේ මාගේ දුර්වල කමත් මා දෙවියන් වහන්සේ මත යැපෙන බවත් පිළිගෙන, දිව්‍ය සංරක්ෂණය කෙරෙහි චිත්ත සාමයෙන් යුතුව විශ්වාසය තැබීම මත ය. මෙය බලාපොරොත්තුව ය. එය කිසි දිනෙකත් බිඳ වැටෙන්නේ නැත".

මේ දිව්‍ය පූජාවේ ශුද්ධ ලියැවිලි පාඨ වෙත යොමු වීමට අප දැන් සූදානම්.

බලාපොරොත්තුව වෙනුවට අපේක්ෂා කෙරෙහි විශ්වාසය තැබූ විට සිදු වන දේ ගැන චිත්‍රයක් ඒවා මගින් අපට ලබා දෙනවා.

ප්‍රථම සුවිශේෂ පාඨය අපට මතක් කරන්නේ තමන්ට ජය ඝෝෂා නගන ජනකාය මැදින් ජේසු සමිඳුන් විජයග්‍රාහීව ජෙරුසලෙමට ඇතුළු වීමේ සිද්ධිය යි. අදට ගැලපෙන අනුරූපයකින් මෙය විස්තර කරනවා නම්, ජේසු සමිඳුන්ට දැකගන්නට හැකි වුණේ නැගෙමින් පවතින අපේක්ෂා වක්‍රයක් සමග තමා වටකරගෙන සිටින ජන සමූහය යි. ඔවුන් කාලයක් තිස්සේ බලා සිටි රජු සහ ගැලවුම් කාරයා ලෙස ජනතාව උන්වහන්සේට ජය ඝෝෂා කරනවා. උන්වහන්සේ සමග ජෙරුසලෙමට පැමිණි බොහෝ දෙනෙක් උන්වහන්සේ ගේ පුදුම සහගත ප්‍රාතිහාර්යයන් ඇසින් දුටු ජනතාව යි. මේ නිසා ඒ ආරංචිය බෝවෙන රෝගයක් සේ අවට ප්‍රදේශයේ පැතිර යනවා. ජේසු සමිඳුන් ජෙරුසලෙමේ නගර දොරකඩට පැමිණෙන විට, එම අපේක්ෂා වක්‍රය සමතලා වනු වෙනුවට අහස උසට ඉහළ යන්නට පටන් ගන්නවා. මේ අනුව  එම ජනතාව, ගොක් අතු පමණක් නොව සිය ඇඳුම් පැළඳුම් පවා එතුමන් යන ගමන් මග අතුරමින් "දාවිත් රජ තුමන් ගේ පුත්‍රයාට ජය ශ්‍රී වේවා!" කියා හඬ නගනවා.

එහෙත් මෙය එතරම් කාලයක් පැවතුනේ නැහැ. එහි තිබුණු ගැටළුව එය අපේක්ෂාවක් වීමයි. ඔවුන් ජේසු  සමිඳුන් දැක්කේත් උන්වහන්සේව නිර්වචනය කළේත් ඔවුන් ගේ ම වූ ලෞකික පදනම මතයි. ගැළවුම්කරුවාණන් තමන් දේශපාලන පීඩනයෙන් නිදහස් කර ලෞකික රාජ්‍යයක් ගොඩ නගනු ඇති බවට ඔවුන් අපේක්ෂා කළා. දෙවියන් වහන්සේ ඔවුන් ගේ ජීවිතය තුළ ක්‍රියා කළ යුත්තේ කෙසේද යන ආත්ම-යොමුවෙන් යුතු අපේක්ෂාව ඔවුන් ජේසු සමිඳුන් වෙත එල්ල කළා. එහෙත් ජේසු සමිඳුන් අත්අඩංගුවට ගෙන කුරුසියේ ඇණ ගැසූ පසුව එම අපේක්ෂා බිඳ වැටුණා. එය කෙසේ විය හැකි ද? ඔවුන් අපේක්ෂා භංගත්වයෙන් සහ අමිහිරි සිතින් ඉවත්ව ගියා.

අද මේ වසංගතයේ ආදීනව සමග පොරබදන අපට, බොහෝ කාලයකට පෙර සෙනඟ ගේ එම අත්දැකීම කැඩපතක් කරගත හැකියි. එම කැඩපත තුළින් අපට අපවම පිළිබිඹු වන ආකාරය දැකිය හැකියි. බටහිර සමාජය ආරක්ෂාව, ස්වායත්තබව සහ ජීවිතයේ ඉදිරියෙන් ගමන් කිරීම වැනි විවිධ කාරණා වලදී දීර්ඝ කාලයක් පුරා උස් කන්දක් ලෙස  ඉතා වේගයෙන් ඉහළ යන වක්‍රයක ගමන් කරමින් සිටියා. එවැනි අපේක්ෂා විශ්වාස කළ නොහැකි ඒවා බව කෝවිඩ්-19 අර්බුදය විසින් හෙළිදරව් කර තිබෙනවා. මේ නිසා අපේ වක්‍රය වේගයෙන් පහළට කඩා වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය, අපේක්ෂා භංගත්වය, තිත්ත සහ කටුක බව සහ කාංසාව යි.

පැහැදිලි ලෙස ම මේ මොහොතේ අවශ්‍ය වන්නේ - එසේ ම අනාගතය සඳහා අත්‍යවශ්‍ය වන්නේ - සිතීමේ නවෝදයක්, නව දැක්මක්. ඒ අනුව සැබෑ බලාපොරොත්තුව ඇත්තේ කොහේදැයි  තේරුම් ගෙන එයින් ජීවත් වීමට අපට හැකියාව ලැබෙනවා. අප විසින් සිදු කළ යුතු දේ ශු. පාවුළු තුමා කියා දෙනවා: ක්‍රිස්තුන් ජේසුන් වහන්සේ ගේ චෛතසිකය ඔබ තුළ ද වේවා" (පිලිප්පි 2:5).  අප අද සවන් දුන් පිලිප්පි වරුන්ට ලියූ හසුනෙන් ගත් පාඨයට පෙර එන වගන්තිය එයයි. තව දුරටත් ක්ෂණික අපේක්ෂා වල අතරමං නොවී ස්ථිර බලාපොරොත්තුවෙන් ජීවත් වීම සඳහා ජේසු සමිඳුන් සිතූ ආකාරය අප සිතන ආකාරය ද විය යුතු යි.

මෙහි අර්ථය කුමක් ද? එය මෙසේයි: අපගේ දුර්වල මිනිස් ස්වභාව ගැනීම සඳහා ජේසු සමිඳුන් ස්වභාවයෙන් ම තමන් සතු වූ දිව්‍ය මහිමයෙන් ස්ව කැමැත්තෙන් ම  තමන් හිස් කර ගත් බව ශු. පාවුළු තුමා කියනවා.  එම මිනිස් ස්වභාව තුළ, ජේසු සමිඳුන් නිරන්තරයෙන් ම සිය පියාණන්ට කීකරු වුණා; කොතෙක් දුරට ද ? අප වෙනුවෙන්  කුරුසිය මත සිය ජීවිතය පූජා කරන තෙක් ම උන්වහන්සේ කීකරු වුණා. මෙයින් අදහස් කෙරෙන්නේ ජේසු සමිඳුන් ජීවත් වූයේ තමන් ගේ ව්‍යාපෘති වලින් නොව සිය ස්වර්ගීය පියාණන් ගේ සැලැස්මට අනුව යි. උන්වහන්සේ දෙවියන් වහන්සේ මත කිසිදු අපේක්ෂාවක් තැබුවේ නැහැ. එහෙත් උන්වහන්සේ දැන සිටියා තමන් රැකබලා ගනු ඇති බව; තමන්ට අවශ්‍ය සියල්ල ලැබෙනු ඇති බව; මේ නිසා උන්වහන්සේ පූර්ණ විශ්වාසයෙන් යුතුව පියාණන් ගේ සංරක්ෂණයට සම්පුර්ණයෙන් ම, බැහැපත්ව තමා පවරා දුන්නා. ජේසු සමිඳුන් ජීවත් වූයේ අපේක්ෂා වලින් නොවේ. බලාපොරොත්තුවෙන්. පියාණන් විසින් උන්වහන්සේ මරණයෙන් උත්ථාන කරනු ලැබීමෙන් එම බලාපොරොත්තුව සියලු මනුෂ්‍ය අපේක්ෂා ඉක්මවා යමින් සාධාරනීකරණය කරනු ලැබුවා. ජේසු සමිඳුන් ගේ චෛතසිකය ඇතිව ජීවත් වීම යන්නෙන් අදහස් කෙරෙන්නී මෙයයි.

නිරන්තරයෙන් ම විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ මත කේන්ද්‍ර වූ විට බලාපොරොත්තුව සැබෑයි; විශ්වසනීය යි. දෙවියන් වහන්සේ අපගේ ජීවිතය තුළ ක්‍රියා කළ යුත්තේ කෙසේද යන ප්‍රශ්නය ඇතුළත් අපේක්ෂා වලින් අප දෙවියන් වහන්සේ දෙස බැලීමෙන් ඉවත් විය යුතු බවට එය අපට බල කරනවා. ඒ වෙනුවට උන්වහන්සේ ගේ විශ්මයන්ට සූදානම් වන ලෙස එය අපට ආරාධනා කරනවා. අද පළමුවැනි කියවීම අනුව ඉසයියස් දිවස්ප්‍රසාදී තුමා  ඉගෙන ගත් කාරණාව එයයි. තමන් ප්‍රකාශ කල  දුක් විඳින සේවකයා ගේ අනාගත වාක්‍යය කවරාකාරයෙන් ඉෂ්ට වන්නේ කෙසේදැයි ඔහු අපේක්ෂා කලේ ද යන්න පැහැදිලි නැහැ. එහෙත් දෙවියන් වහන්සේ එය ඉටු කල ආකාරය ගැන ඔහු මවිතයට පත්වන්නට ඇති. දෙවියන් වහන්සේ අපවත් මවිතයට පත් කරනවා. උන්වහන්සේ එසේ කරන්නේ අප අපගේ අපේක්ෂා අත්හැර දමා අපගේ සම්පූර්ණ බලාපොරොත්තුව උන්වහන්සේ මත  තබන්නේ නම් පමණයි. වෙනත් වචන වලින් කියන්නේ නම් ක්‍රිස්තුන් වහන්සේ ගේ චෛතසිකය අපගේ ද චෛතසිකය වන්නේ නම් පමණයි.

අප මේ ගෙවමින් සිටින්නේ ඉතා වැදගත් දින කිහිපයක්. වසංගතය පාලනය කරන්නට යොදා ගත් රෝග වැළක්වීමේ පියවර එම රෝග වර්ධන වක්‍රය සමතල කිරීමට කෙතරම් උපකාර වුයේ ද කියා මේ දින කිහිපය තුල සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් සිටිනවා.

ශුද්ධ වු සතිය ද අපගේ විශ්වාසයේ ජීවිතයේ වැදගත් කාල සීමාවක්. එය අප තුළ පැනනැගුනු ස්ව කේන්ද්‍රීය අපේක්ෂා වක්‍රය පසුතැවිල්ල මගින් පහලට ගෙන ඒමට කිතුනු අප උත්සාහ කරන සමය යි. මේ කාලයේ ඉහල යන එකම වක්‍රයක් වේ නම් එය සැබෑ බලාපොරොත්තුව පමණක් විය යුතු යි. එය අපට ලැබෙන්නේ අප නිරන්තරයෙන් ම අපගේ ජීවිතය දෙවියන් වහන්සේ ගේ මවිත කරන සුළු ප්‍රේමය තුළ පමණක් තැබුවොත් පමණයි."







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු