"වසංගතයේ දරුණු ම තර්ජනය 'ආර්ථික අවපාතය' නොව 'මානුෂික අවපාතයයි'" - සුදොතුම් පියතුමා ගේ මහ සිකුරාදා මෙහෙයේ ධර්ම දේශනාව - "මුදලින් සහ භාණ්ඩ වලින් දුප්පත් නමුත් මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලෝකයක් ගොඩනගමු."

 "Human, not economic, ‘recession’ is the biggest virus threat" Papal preacher says at Good Friday Service 


(2020 අප්‍රේල් 10)
"වසංගතයේ දරුණු ම තර්ජනය 'ආර්ථික අවපාතය' නොව 'මානුෂික අවපාතය" බව ශුද්ධෝත්තම පිය ගෘහයේ ධර්ම දේශක      රැනියෙරෝ කැන්ටලමෙස්සා (කැපුචින්) පියතුමා කියයි. වසංගතයේ අර්බුදය විසින් ඇති කරන ලද 'මරණයෙන්' පසු අප යළි නැගිටින විට ජේසු සමිඳුන් සේ ; වඩාත් සහෝදරාත්මක වූ, වඩාත් මානුෂික වූ,  වඩාත් කිතුනු වූ නව ජීවිතයකට නැගී සිටිමු යි එතුමා ආරාධනා කරයි.  මුදලින් සහ භාණ්ඩ වලින් දුප්පත් නමුත් මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලෝකයක් ගොඩනගන්නට එතුමා සියල්ලන්ට ඇරැයුම් කරයි.

රැනියෙරෝ කැන්ටලමෙස්සා පියතුමා මේ අනුශාසනය කළේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ සිදු කරන ලද මහ සිකුරාදා දේව මෙහෙයේ ධර්ම දේශනය කරමිනි. සාම්ප්‍රදායික ලෙස මහ සිකුරාදා සුදොතුම් පියතුමා පවත්වන දේව මෙහෙයේ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ එතුමන් ගේ ගෘහයේ ධර්ම දේශක පියතුමා විසිනි. සාමාන්‍ය ලෙස එය සිදුකරමින් කැන්ටලමෙස්සා පියතුමා ධර්ම දේශනය පැවැත්වූ අතර වෙනත් සියලු දේ අසාමාන්‍ය විය. මහ බ්‍රහස්පතින්දා සේ ම අසාමාන්‍ය ලෙස මහ සිකුරාදා ද බැසිලිකාව ජනතාවගෙන් හිස්ව තිබිණි. මහ සිකුරාදා දේව මෙහෙයේ ප්‍රධානම අංගයක් වන කුරුසිය සිපාචාර කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට පමණක් සීමා කර තිබුණේ ය. මෙදින යාච්ඥා වලට වසංගතයේ බලපෑමට ලක් වූ ලෝකය වෙනුවෙන් යැදුම් ඇතුළත් කර තිබිණි.

මහ සිකුරාදා සුපුවත පදනම් කරගනිමින් රැනියෙරෝ කැන්ටලමෙස්සා (කැපුචින්) පියතුමා කළ ධර්ම දේශනය කොරෝනා  වසංගතයෙන්  භීතියටත්, කාන්සාවටත්, ව්‍යාකුල භාවයටත්  පත් ජනතාව තුළ නැගෙන ප්‍රශ්න කිහිපයකට ම ශුද්ධ ලියැවිල්ල පදනම් කරගත් පිළිතුරු වලින් සමන්විත ය. එසේම ඊට අදාළ ක්‍රිස්තු ධාර්මික පණිවිඩ සහ අභියෝග කිහිපයක් ද එමගින් ඉදිරිපත් කෙරේ.

මේ නිසා එම දේශනය සම්පූර්ණයෙන් පහත පළ කෙරේ.



" "ශුද්ධ ලියැවිල්ල එය කියන්වන්නන් සමග වැඩෙන්නේ" යයි  ශු. මහා ග්‍රෙගරි පාප්තුමා කීවේ ය. මෙහි අදහස නම් ශුද්ධ ලියැවිල්ල එය කියවන්නන් ගේ හදවත් තුළ එම අවස්ථාවේ නැගෙන ප්‍රශ්න අනුව නිතරම නව අරුත් හෙළිදරව් කරන බවයි. මේ වසරේ අප ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තිය කියවන්නේ සමස්ත ලෝකය පුරා ම පැනනගිමින් ඇති   ප්‍රශ්නයක් - වේදනාත්මක හඬක් නොව ප්‍රශ්නයක් - අප හදවත් තුළ දරාගෙන ය. එම ප්‍රශ්නයට දේව වචනය අපට දෙන පිළිතුර කුමක්දැයි අප සොයා බැලිය යුතු ය.

අප දැන් සවන් දුන් සුවිශේෂ කියවීම දෙස විෂය මූලිකව බලන විට එය මිහිමත සිදු කරන ලද විශාලතම නපුරයි.

අපට ඒ දෙස වෙනස්  කෝණ දෙකකින් බැලිය හැකි ය. එනම් ඉදිරියේ සිට හෝ පසුපස සිට ය. එනම් එක්කෝ ඊට හේතු හෝ එයින් ඇති වූ ඵල යන කෝණ දෙකින් එකක සිට ය ක්‍රිස්තුන් වහන්සේ ගේ මරණයේ ඓතිහාසික හේතු සමග අප නතර වන්නේ නම්, අපි අවුලට පත් වන්නෙමු. මන්ද, පිලාත්තු කීවාක් මෙන් "මේ මිනිසා ගේ ලේ වලටා මා වගකිව යුතු නැතැ"යි  පැවසීමට අප පෙළඹෙන නිසා ය. ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය වඩා හොඳින් තේරුම් ගත හැක්කේ එහි හේතු වලට වඩා එහි ඵල වලිනි. එසේ නම්, උන්වහන්සේ ගේ මරණයේ ඵල මොනවා ද? ඒවා නම්: උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම මගින් පව් සමාව ලැබීම, දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය කරනු ලැබීම හා  සාමය ඇති කරනු ලැබීම සහ සදාතන  ජීවිතය පිලිබඳ බලාපොරොත්තුවෙන් අප පිරී යාම යි. (රෝම 53:1-5)

එහෙත්, විශේෂයෙන් ම වත්මන් තත්වය අපට ග්‍රහණය කර ගැනීමට උදව් කරන කුරුසියේ ඵලයක් ද තිබේ.

ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය විසින් වේදනාවේ සහ මානව දුක්විඳීම් වල අර්ථය වෙනස් කර තිබේ. ඒ මගින් සෑම වේදනාවක ම - එනම් ශාරීරික මෙන් ම ශීලධාර්මික  වේදනා යන සියල්ලෙහි - අරුත වෙනස් කර ඇත. දුක වේදනාව තව දුරටත් දඬුවමක්, ශාපයක් නොවේ. දේව පුත්‍රයාණන් එය තමන් මත පවරා ගත් පසුව  එය එහි මුලින්ම ගලවාගනු ලැබිණි. කෙනෙකු ඔබ වෙත පිරිනමන පානයක් විෂ රහිත බව ඔබ සහතික ලෙසම දැනගන්නේ කෙසේ ද? එම පානය ඔබට පිරිනැමීමට පෙර එය පිරිනමන කෝප්පයෙන් ම එම තැනැත්තා මුලින්  පානය කරන්නේ නම් එය විෂ රහිත බව සහතික වේ. දෙවියන් වහන්සේ කළේ එයයි. කුරුසිය මත දී, මුළු ලෝකය ම ඉදිරියේ උන්වහන්සේ එය මන්ඩියට යන තෙක් ම පානය කළ සේක. එය විෂ සහිත නොවන බවත්, ඒ වෙනුවට එය පතුලේ මුතු කැටයක් ඇති බවත් උන්වහන්සේ පෙන්වූයේ එසේ ය.

ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය විසින් අරුත වෙනස් කරන ලද්දේ උන්වහන්සේ කෙරෙහි  විශ්වාස කරන්නන්ගේ  වේදනාවෙහි පමණක් නොවේ. සෑම මානව වේදනාවක ම ය. උන්වහන්සේ මිය ගියේ සෑම මනුෂ්‍යයකු ම වෙනුවෙනි. උන්වහන්සේ ඒ ගැන කීවේ මෙසේ ය: "මා පොළොවෙන් ඔසවනු ලැබූ කළ සෑම කෙනෙකු ම මා වෙත ඇද ගනිමි". (ජුවාම් 12:32). එනම්, සෑම කෙනෙකු ම; එක් කෙනෙකු පමණක් නොවේ! ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමා වෙඩි තැබීමට ලක්වී රෝහලේ පසුවන අවස්ථාවේ මෙසේ ලීවේ ය: "දුක් වේදනා විඳීම යනුවෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ  මනුෂ්‍යත්වයට පිරිනැමෙන දෙවියන් වහන්සේ ගේ ගැලැවීමේ බලයට විශේෂාකාරයෙන් අවනත වීමය; ඊට විවෘත වීම ය." ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසියට ස්තුතිවන්ත වන්නට, දුක් වේදනා මානව වර්ගයා  සඳහා වන එක්තරා ආකාරයක "ගැලැවීමේ විශ්වීය සක්‍රමේන්තුවක්" බවට ද පත් වී තිබේ.



සර්ව බලධාරීත්වයේ මුළාව 


මානව වර්ගයා දැනට පසුකරමින් තිබෙන ඛේදනීය තත්වය අවබෝධ කර ගැනීමට මේ සියල්ලෙන් ලැබෙන ආලෝකය කුමක් ද? 

මෙහිදීත් අප අවධානය යොමු කල යුත්තේ හේතු වලට වඩා ඵල වෙත යි: එනම්, සෑම දිනෙක ම අපට අසන්නට ලැබෙන හද කකියන ඍනාත්මක ඵල කෙරහි පමණක් නොව, ඉතා පරෙස්සමින් නිරීක්ෂණය කල විට පමණක් අපේ ග්‍රහණයට හසු වන ධනාත්මක ඵල ද වෙතයි 

එක් එක් මිනිසුන් මෙන් ම සමස්ත මානවයාම  නැඹුරු වී  සිටින  අනතුර වෙත  කොරෝනා වසංගතය විසින් හදිසියේ ම අප අවදි කර තිබේ: එම අනතුර නම්, සර්වබලධාරීත්වයේ මුළාව යි. "විශේෂ පාස්කු එතෙර වීමක් සමරන්නට මේ වසරේ දී අපට අවස්ථාවක් ලැබී තිබේ. එනම්, 'සවිඥානිකත්වයේ විප්‍රවාසයෙන්' එතෙර වීම යි" යැයි එක් ජුදෙව් රබ්බයි තුමෙකු ලියා තිබිණි. අප මරණයට පත් වන බවත්, අප ගලවා ගන්නට යුද ශක්තිය හෝ තාක්ෂනය සමත් නොවන බවත් අපට පෙන්නුම් කර දෙන්නේ සොබා දහමේ ඉතා ක්ෂුද්‍ර වූ, ආකෘතියක් රහිත වූ ජීවී වස්තුවක් වන වෛරස විසිනි. බයිබලයේ එන තෙහිලි ගීයක සඳහන් වන ආකාරයට, "සිය විශිෂ්ට අවධියේ මිනිසා තේරුම් නොගනියි. ඔහු තිරිසනුන්ට සමානය - ඔවුහු විනාශ වෙති." (ගීතාවලිය 49: 21). මෙය කෙතරම් සත්‍ය ද? 

එක සිද්ධියක් සිහිපත් වේ.

ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පී ජේම්ස් තෝන්හිල්  එංගලන්තයේ ලන්ඩන් නුවර ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ බිතුසිතුවම් අඳිමින් සිටියේ ය. පලන්චියක සිට දෙව්මැදුරේ වහලය ආසන්නයේ චිත්‍ර අඳිමින් සිටි ඔහු, දිනක් තමන් විසින් අඳිමින් සිටින බිතු සිතුවමින් මෝහනය වී, එහි සෞන්දර්යය විඳිමින් පලංචිය මත තම පියවර පසු පසට තබන්නට පටන් ගත්තේය. මොහොතකින් පලංචිය කෙලවරට ම පැමිණි තෝන්හිල්, තමන් තවත් පියවරක් හෝ පසුපසට තැබුවා නම් පලංචියෙන් බිමට ඇදවැටෙන බව නොදැන සිටියේ ය. එහෙත් ඔහු ගේ සහායකයා එය දැක්කේ ය. ඔහු දැඩි සේ  බියට පත් විය. එහෙත් තමා කෑ ගැසුවොත් චිත්‍ර ශිල්පියා කලබල වී ඛේදවාචකය ඉක්මන් වනු ඇති බව සැනෙකින්  ඔහුට අවබෝධ විය. දෙවරක් නොසිතූ ඔහු පින්සලක් තීන්ත බඳුනක ඔබා බිතු සිතුවම වෙත දමා ගැසුවේ ය. මෙයින් තැති ගැන්මට පත් චිත්‍ර ශිල්පියා වහා ඉදිරියට පැන්නේ ය. ඔහු ගේ කෘතියට හානි සිදු විය; එහෙත් ජීවිතය ගැලවුණේ ය. 
   
දෙවියන් වහන්සේ ඇතැම් විට මෙය අප වෙනුවෙන් ද කරති. අප නොදකින පාතාලයෙන් අප බේරා ගන්නට උන්වහන්සේ  අපගේ ව්‍යාපෘති සහ අපගේ නිසසල බව කඩා කප්පල් කරති. එහෙත් නොරැවටෙන්නට අප පරෙස්සම් විය යුතු ය. අපගේ තාක්ෂණ සමාජයේ බිතු සිතුවමට පින්සලෙන් දමා ගැසුවේ දෙවියන් වහන්සේ නොවේ. දෙවියන් වහන්සේ අපගේ පාර්ශව කරුවා ය;  වෛරසේ පාර්ශව කරුවා නොවේ. බයිබලයේ උන්වහන්සේ ම මෙසේ පවසන සේක: "මා සතුව සැලැසුම් ඇත්තේ ඔබගේ සුබ සෙත සඳහා මිස ඔබගේ විනාශය සඳහා නොවේ." (ජෙර 29:11). මේ මහත් පීඩනයන් උන්වහන්සේ ගේ දඬුවම් වූවා නම්, යහපත් සහ අයහපත් සියල්ලන්ට එයින් පහර වදින්නේ මන්දැයි ඒ මගින්  පැහැදලි කළ නොහැකි ය. එසේ ම එම පීඩා වලින් දුප්පතුනට දැඩි ලෙස ම පහර වදින්නේ මන්දැයි එයින් විස්තර කල නොහැකි ය. ඔවුන් අනෙක් අයට වඩා වැඩි පවුකාරයන් ද?

දිනක් ලාසරස් ගේ මරණය නිසා හැඬු තැනැන්වහන්සේ, අද මානව වර්ගයා මත පතිත වී ඇති වසංගතය වෙනුවෙන් හඬන සේක. ඇත්ත වශයෙන් ම, සෑම තාත්තා කෙනෙකු ම සෑම අම්මා කෙනෙකු ම සේ දෙවියන් වහන්සේ ද 'දුක් විඳින' සේක. මේ සත්‍යය අප සොයා ගන්නා දාට අපගේ ජීවිතයේ උන්වහන්සේට විරුද්ධව නැගූ සියලු චෝදනා සම්බන්ධයෙන් අප ලජ්ජා වනු ඇත. අපගේ වේදනාවෙන් අප ගලවා ගැනීම සඳහා දෙවියන් වහන්සේ අපගේ වේදනාවේ කොටස් කාරයකු වන සේක. සභා පඬි වරයකු වන ශා. අගුස්තීනු තුමා මෙසේ කීවේ ය: "පරම යහපතාණන් වන දෙවියන් වහන්සේ, ස්වකීය යහපත්කමින් සහ සර්ව බලධාරී බවින් කිසියම් අයහපතක් තුළින් යහපතක් උදා කළ හැක්කේ නම් මිස, තමන් අතින් නිමවන ලද දේ වලට අයහපතක් වන්නට ඉඩ නොහරින සේක."  

දෙවියන් වහන්සේ යහපතක් උදා කර ගැනීමේ අපේක්ෂාවෙන් සිය පුත්‍රයාණන් ගේ මරණය අභිප්‍රාය කල සේක් ද? කිසිසේත් ම නැත. උවහන්සේ කලේ මිනිස් නිදහසට සිය මාවත තෝරා ගැනීමට ඉඩ හැරීම පමණි. එහෙත් අවසානයේ දී එය ඉටු කළේ මනුෂ්‍යයන් ගේ අරමුණ නොව උන්වහන්සේ ගේ අරමුණ ය. භූමිකම්පා සහ වසංගත වැනි ස්වාභාවික ආපදාවලට අදාලව ද කිව හැක්කේ එය ම ය. ඒවා ඇති කරන්නේ උන්වහන්සේ නොවේ. උන්වහන්සේ සොබා දහමට ද නිදහසක් දී තිබේ. ගුණාත්මකව එය මනුෂ්‍යයාට ලබා දී ඇති නිදහස වැන්නක් නොවේ. එහෙත් එය එක්තරා ආකාරයක නිදහසකි. එය තමන් ගේ ම විකාශනයේ නීති වලට අනුකුලව පරිනාමය වීමට ලබා දී ඇති නිදහසකි. උන්වහන්සේ ලෝකය මවා වදාළේ සෑම කුඩා චලනයක් ම පූර්වාපේක්ෂණය කළ හැකි ක්‍රම සම්පාදිත ඔරලෝසුවක් මෙන් නොවේ. සමහරු එය  "අහඹුව" ලෙස නම් කරති. එහෙත් බයිබලය එය හඳුන්වන්නේ "දෙවියන් වහන්සේ ගේ ප්‍රඥාව" ලෙස ය.

ජනවර්ගය, දේශය, ජාතිය, ආගම වැනි පවුරු බිඳ හෙලූ වෛරස 

වර්තමාන සෞඛ්‍ය අර්බුදයේ තවත් ධනාත්මක ඵලයක් වන්නේ සහයෝගිතාවයේ හැඟීම යි. මානව ප්‍රජාවේ  මතකය තුළ සියලු ජාතීන් ගේ ජනතාව අතර මේ තරම් සමගි වූ, මේ තරම් සමානාත්මතාවක් පිලිබඳ වූ, මේ තරම් ම ගැටුම් අඩු වූ හැඟීම් සහිත තවත් කාල වකවානුවක් ගැන සිහිපත් කල හැකි ද?  අපේ විශිෂ්ට කවියකු ගේ කියමනක් මේ තරම් සැබෑ කල තවත් කාලයක් පිළිබඳව අපට අත්දැකීමක් නැත. "සාමයෙන් ඉඳිව්, මිනිසුනේ! මුණින් වැටුණු මිහිතලයේ අබිරහස ඉතා ගැඹුරු ය," යි ඔහු කීවේ ය. තාප්ප ගොඩනැගීම අපට අමතක වී තිබේ. වෛරස දේශ සීමා නොහඳුනයි. ඇසි පිය හෙළන සැනෙකින් එය සියලු බාධා මෙන් ම  ජනවර්ගය, දේශය, ජාතිය, ආගම, ධනවත්කම, බලය ආදී සියලු වෙනස්කම්  බිඳ හෙලා තිබේ. මේ මොහොත ගෙවී ගිය පසු අප නැවතත් මීට කළින් පැවති තත්වයට ආපසු හැරී නොයා යුතු ය.  සුදොතුම් පියතුමා අපට අනුශාසනා කර ඇති පරිදි අප මේ අවස්ථාව අපතේ නොහැරිය යුතු ය.  ඉතා දැඩි වේදනාවෙන්, විශාල මරණ සංඛ්‍යාවකින් සහ වීරවර කැපවීමකින් අපගේ සුව සේවක සේවිකාවන් විසින් ඉටු කරනු ලබන සේවාව නිෂ්ඵල දෙයක් වන්නට අප ඉඩ නොදිය යුතු ය. මීට කලින් තිබුණු තත්වය වෙත ආපසු ගමන් කිරීම අප විසින් බිය විය යුතු "අවපාතය" යි.

"ඔව්හු තමන් ගේ කඩු වලින් නගුල් ද ,
තමන් ගේ හෙල්ල වලින් දෑකැති ද, සාදා ගන්නෝ ය. 
ජාතියක් ජාතිකයට  විරුද්ධව කඩු  ගන්නේ නැත. 
ඔවුන් යළිත් යුද්ධයකට පුහුණු වන්නේ ද නැත." (ඉසයියස් 2: 4) 

මේ, ඉසයියස් දිවැසි වරයා ගේ දිවස්වැකිය ක්‍රියාවට නංවන්නට කාලයයි. යුද අවි නිෂ්පාදන කිරීමේ තරගය "දැන් ඇති" කියා අපි කියමු. යොවුන් ජනතාවෙනි, මෙය ඔබේ මුළු ශක්තියෙන් ම කියන්න. මන්ද අවි තරගය නිසා අනතුරේ වැටී තිබෙන්නේ ඔබේ අනාගතයයි. යුද අවි වලට වැය කරන සීමා රහිත සම්පත් ඊට වඩා අපට අත්‍යවශ්‍ය වන බව අපට දැන් අවබෝධ වී ඇති දේ වලට - එනම්, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, ආහාර, දුප්පත්කමට එරෙහි යුද්ධය, මැවිල්ල රැකබලා ගැනීමට - යොදවමු.  අවශ්‍ය වන්නේ නම්, මුදලින් සහ භාණ්ඩ වලින් දුප්පත් නමුත් මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලෝකයක් අපි මීළඟ  පරම්පරාවට ඉතුරු කරමු. 

දෙවිඳුන්ට හඬ නගන්න 

මෙවැනි කාල වල අප කල යුත්තේ දෙවියන් වහන්සේට හඬ නැගීම බව දේව වචනය අපට කියයි. උන්වහන්සේට හඬ නැගිය යුතු වචනය මිනිසා ගේ දෙතොල් වල තබන්නේ උන්වහන්සේ ම ය. ඇතැම් විට  මේවා වේදනාවේ කටුක වචනය; ඇතැම් විට ඒවා චෝදනා ය: " අවදිවනු මැනව.ස්වාමිනි, ඔබ නිදා සිටින්නේ මන්ද? /නැගිටිනු මැනව. සදහට ම අප ප්‍රතික්ෂේප නොකළ මැනව.  ... නැගිටිනු මැනව. අපට සහය වුව මැනව" (ගීතාවලිය 44, 24, 27) "ගුරුතුමනි, ඔබට ගාණක් නැති ද? අප විනාශ වන්නට යයි."  (මාර්කු $:28) 

සමහර විට, තමන් වහන්සේ ගේ ආධාර උපකාර ප්‍රදාන කිරීම පිණිස අප උන්වහන්සේට ආයාචනා කරනු ඇසීමට දෙවියන් වහන්සේ කැමැති ඇති ද?  සමහර විට, දෙවියන් වහන්සේ ගේ සැලසුම් වෙනස් කිරීමට අපගේ යාච්ඥා වලට පුලුවන් ද? එසේ නොවේ. එහෙත් තමන් වහන්සේ ගේ වරප්‍රසාදය මෙන් ම  අපගේ යාච්ඥාවලත් ඵලයක් ලෙස අපට දානය කරන්නට දෙවියන් වහන්සේ තීරණය කරන දේ තිබේ. ඊට හේතුව තමන් ලබා ගන්නා උපකාර වල ස්තුතිය අප සමග ද බෙදා ගැනීමට උන්වහන්සේ අභිමත වනවා වැනිය. අනෙක් අතින් එසේ කිරීමට අපට ඉගැන්නුවේ ද උන්වහන්සේ ම ය. "සොයන්න, ඔබට සම්බ වන්නේ ය. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබෙන්නේ ය" යෝ ජේසු සමිඳාණෝ ම වදාළ සේක. 

පොළොවෙන් ඔසවනු ලැබූ තැනැන්වහන්සේ දෙස බලන්න; ඔබ නොමැරේ 


කාන්තාරයේ දී ඊශ්‍රායෙල් වරුනට විෂ සහිත සර්පයන් දෂ්ට කරන්නටත් එයින් ඔවුන් මිය යන්නටත් පටන් ගත්  විට, ලෝකඩින් සර්පයකු සාදා යෂ්ටියක් මත තබන ලෙස දෙවියන් වහන්සේ  මෝසස්ට උපදෙස් දුන් සේක. දෂ්ට කරනු ලැබු පුද්ගලයන් එම  සර්පයා දෙස නෙත් ඔසවා බැලූ  විට  නොමැරෙන  බව උන්වහන්සේ කී සේක. ජේසුන් වහන්සේ නිකදේමුස් සමග කතා කරමින් සිටි අවස්ථාවේ මෙම සංකේතය තමා වෙත යොමු කර ගත්තේ ය. "කාන්තාර යේ දී මෝසස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණෝ   ද, උන්වහන්සේ  කෙරෙහි අදහාගන්නා සෑම දෙනාම සදාතන ජීවනය ලබන පිණිස,  ඔසවනු ලබන්නාහ." (ජුවාම් 3:14-15) අප ද මේ මොහොතේ අදෘශ්‍යමාන, විෂ සහිත  'සර්පයකු' විසින් දෂ්ට කරනු ලැබ  සිටිමු.  අප වෙනුවෙන් කුරුසිය මත ඔසවනු ලැබූ  තැනැන්වහන්සේ දෙස අපි නෙත් යොමු කරමු. අප වෙනුවෙනුත් සමස්ත මානව වර්ගයා වෙනුවෙනුත්අපි   උන්වහන්සේට වන්දනා කරමු. උන්වහන්සේ දෙස විශ්වාසයෙන් බලන තැනැත්තා නොමැරෙන්නේ ය. එම තැනැත්තා මැරෙන්නේ නම්, ඒ සදාතන ජීවිතයට ඇතුළු වීම සඳහා ය. 

"තුන් දිනකින් මම යළි උත්ථාන වෙමි" යි ජේසු සමිඳුන් කල්මත්තෙන් ප්‍රකාශ කර තිබිණි. අපි දු තුන් දිනකින් - ඇතැම් විට අප ඉතා කෙටි යයි සිතිය හැකි කාලයකින්- යළි නැගී සිට අපගේ සොහොන් ගැබ් වන අපගේ ගෙවල් වලින් පිටතට එන්නෙමු. එහෙත් අප නැගිට පිටතට පැමිණිය යුත්තේ ලාසරස් සේ පැරැණි ජීවිතයට නොවේ. ජේසු සමිඳුන් සේ නව ජීවිතයකට ය; වඩාත් සහෝදරාත්මක වූ, වඩාත් මානුෂික වූ,  වඩාත් කිතුනු වූ ජීවිතයකට ය, 







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු