"සමිඳුනි,මේ ඔබගේ විනිශ්චයේ කාලය නොව අපගේ විනිශ්චයේ කාලයයි; ප්‍රමුඛතා තෝරාගැනීමේ කාලය යි." සුදොතුම් පියතුමා ගේ "නගරයට සහ ලෝකයට" භාවනාව

"It is not the time of your judgement, but of our judgement: a time to choose what matters and what passes away" - Extra-ordinary Urbi et Orbi meditation : Full Text 


 (2020 මාර්තු 28)
ලෝකය ම එක්වර රෝගී වීමට හේතු කවරේ දැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා භාවනා කරයි:
"සමිඳුනි, අපට  වඩා ඔබ ආදරය කරන මේ ලෝකයේ, බලවත් හා ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතමින් අපි පවනට බඳු වේගයෙන් ගමන් කරමින් සිටියෙමු. ...රෝගීව  සිටින ලෝකයක අප නිරෝගීව සිටිනු ඇතැයි සිතමින් ඒ සියල්ල නොතකා අපි  ඉදිරියට ගියෙමු..."

මේ  වන විට ලෝකය වෙලාගෙන ඇති අඳුර පහකොට ආලෝකය උදා කරගැනීමේ මාර්ගය එතුමා පහදා දෙයි.
"පුරාණ නාවිකයින්ට ගමන් කරන්නට තාරකා අවශ්‍ය වූවාක් මෙන් අපටද මග පෙන්වන්නට ස්වාමින්වහන්සේ අවශ්‍ය ය. අපි ජේසු සමිඳුන්ට අපේ ජීවිත ඔරු වලට  ආරාධනා කරමු. අපගේ බිය ජය ගැනීමට හැකි වන පරිදි අපගේ බිය අපි උන්වහන්සේ ට භාර දෙමු. "

බිඳ වැටුණු ලෝකය සවිමත්ව ගොඩ නැගීමේ මාර්ගය එතුමා පෙන්වා දෙයි:
"සියල්ල කඩා වැටෙන බව, අපෙන් ගිලිහී යන බව පෙනෙන්නට ඇති මේ කාලයේ දී, එම කාලයට ශක්තියත් ආධාර උපකාරත්  අර්ථයත් දිය හැකි සහෝදරාත්මක සහයෝගීතාව අවදිකොට එය ක්‍රියාවට නංවන  ලෙස මෙම කුණාටුව මධ්‍යයේ සමිඳාණෝ අපට ආරාධනා කොට අපෙන් ඉල්ලා සිටිති."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ මාර්තු 27 වැනි සිකුරාදා සන්ධ්‍යාවේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට කොටසේ පවත්වන ලද සන්ධ්‍යා යැදුම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශීර්වාදය ආරම්භයේ  සිය භාවනාව කරමිනි වර්ෂාව මධ්‍යයේ කුඩයක් ද නොමැතිව බැසිලිකාව ඉදිරිපිට කුඩා වේදිකාවට පැමිණි එතුමා මෙම භාවනාව කළේය. අනතුරුව වැස්ස නිසා බැසිලිකාව ඇතුළත ඉදිකර තිබූ කුඩා පූජාසනය ඉදිරිපිට දී එතුමා ලෝකය වෙනුවෙන් යාච්ඥා කර, "නගරය සහ ලෝකය" වෙනුවෙන් දිව්‍ය සත්ප්‍රසාද ආශීර්වාදය දානය කළේය.

ලෝකයටත් ලංකාවටත් ඉඟි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම භාවනාව ලෝකය මුහුණ දෙන වර්තමාන තත්වය දකින අධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකි.ඊට පදනම්ව ඇති හේතු එතුල විග්‍රහ වේ. එතුමාට ම සුපුරුදු බසින්, ශෛලියෙන් හා උපමා වලින් එය පෝෂනය වී තිබේ.

එපමණක් නොවේ.

ශ්‍රී ලංකාව තුළත් ඉන් බාහිරවත් වෙසෙන ශ්‍රී ලාංකික කතෝලිකයන් ගේ හදවත් පුපුරුවා හරිමින් පසුගිය පාස්කු ඉරිදා ලංකාවේ සිදු වූ පිපිරීම් වලින් පසුව, තැති ගෙන, සලිතව, බලාපොරොත්තු සුන්ව  තිබූ  ශ්‍රී ලාංකික කතෝලික හදවත් බලාපොරොත්තුවෙන් ශක්තිමත් කර ශාන්තියෙන් සන්සුන්  කරන ගැඹුරු ආධ්‍යාත්මික භාවනාවක් සිදු කර තිබුණේ නැත. මේ සිද්ධි වලට හේතු වූ කිසියම් අතපසු කිරීමක් හෝ "අනවශ්‍ය වේගයෙන් දිවීමක්"  හෝ ශ්‍රී ලාංකික කතෝලික සභාව අතින් සිදුව ඇත්තේ ද යන්න ගැන අවංකව තමන් වෙතම හැරී බැලීමක් ද  සිදු වී තිබුණේ නැත.

මේ කනගාටුදායක සිද්ධියට වසරක් සපිරෙන්නට ආසන්න මේ දිනවල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම භාවනාව පාස්කු සිද්ධිය දෙස කිතුනු-කතෝලික නෙතින් දකින්නට ද ආලෝකය සපයන බව පැහැදිලි ය.

නිවෙසට වී ගෙවෙන මේ දින වල සියල්ලන්ට මේ භාවනාව බලාපොරොත්තුවේ ආලෝකයක්, සැනසීමක්, ශක්තියක් සහ අලුතින් සිතන්නට අත්වැලක් වේවා!

මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ එම භාවනාව යි.  


"සැන්දෑව පැමිණි විට ”.
අප දැන් සවන් දුන් සුවිශේෂ පාඨය  ආරම්භ වන්නේ මේ ආකාරයට යි.

සති ගණනාවක් තිස්සේ ලෝකයට  දැන් සැන්දෑව වී තිබේ. අපේ චතුරශ්‍ර, වීදි සහ නගර පුරා අන්ධකාරය පැතිර තිබේ. එය තමන් පසු කරගෙන යන සෑම දෙයක් ම නවත්වමින්, සෑම දෙයක්ම කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවයකින් හා දුක්ඛිත හිස්බවකින් පුරවා  අපගේ ජීවිත අත්පත් කර ගෙන තිබේ. අපට එය වාතයේ දැනේ. මිනිසුන්ගේ ඉරියව් වලින් අපි එය දකිමු, ඔවුන්ගේ බැල්මෙන් පවා ඔවුන් අපට  දෙන්නේ එයයි.

අපි බියටත් ව්‍යාකුල බවටත් පත්ව සිටිමු.  සුපුවතේ එන ජේසු සමිඳුන් ගේ  ගෝලයන් මෙන් අනපේක්ෂිතව පැමිණි කැලඹිලි සහිත කුණාටුවකින් අපි සලිත වී සිටිමු.  අපි, පහසුවෙන් බිඳෙනසුලු හා නොමඟ ගොස් සිටින නමුත් වැදගත් සහ අවශ්‍ය පුද්ගලයන් වන අපි සියල්ලන්,  එකම ඔරුවක  සිටින බව අපි  වටහාගෙන සිටිමු. ඒ අතරම, අප සියලු දෙනාම එකට මේ ඔරුවේ  ගමන් කිරීමට කැඳවනු ලැබ සිටින බව ද අපි අවබෝධ කරගෙන සිටිමු. තවත් කෙනෙකු සැනසීමට අප එකිනෙකාට අවශ්‍යය. මේ  ඔරුවේ … අපි හැමෝම සිටිමු. 

“අපි විනාශ වෙමු”, යැයි එක හඬින් මහත් සිත් තැවුලෙන් කතා කළ එම ගෝලයන් මෙන්, අපටත් එක දෙයක් වැටහී තිබේ. එනම් අපට අප ගැනම පමණක් සිතමින් ඉදිරියට යා නොහැකි බව යි. අපට එය  කළ හැක්කේ සියල්ලන් එකට  එක්ව පමණක් බවයි. 

කුණාටුව මැද නිදා සිටින ජේසු 

මෙම කථාව තුළ අපට අප හඳුනා ගැනීම පහසුය. අපට මෙහි තේරුම් ගැනීමට අපහසු කාරණය නම් ජේසු සමිඳුන් ගේ  ආකල්පයයි. ස්වභාවිකව ම  උන්වහන්සේ ගේ ගෝලයන්  තැතිගෙන හා බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් සිටියත්, උන්වහන්සේ  ඔරුවේ මුලින්ම ගිලෙන කොටසේ දැඩිව  හිඳගෙන සිටිති. 

උන්වහන්සේ කරන්නේ කුමක් ද? උන්වහන්සේ, කුණාටුව මධ්‍යයේ වුවද, සිය පියාණන්  කෙරෙහි විශ්වාසය තබා හොඳින් නිදාගෙන සිටිති. සුවිශේෂවල ජේසු  සමිඳුන් නිදා සිටින එකම අවස්ථාව මෙයයි. උන්වහන්සේ  අවදි වූ විට, සුළඟ හා ජලය සන්සුන් කිරීමෙන් පසු, ගෝලයන් දෙස බලා අවඥා සහගත හඬින් මෙසේ කියති: "ඔබ බිය වන්නේ ඇයි? ඔබට විශ්වාසයක් නැද්ද? ” 

සමිඳුනේ...ඔබට ගාණක් නැද්ද?

අපි මෙය තේරුම් ගැනීමට උත්සාහ කරමු.
ජේසු සමිඳුන් ගේ  විශ්වාසයට පරස්පරව, ගෝලයන්ගේ ඇදහිල්ල තුළ පවතින අඩු පාඩුව කුමක් ද?  ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම නතර කර තිබුණේ නැත.  ඇත්ත වශයෙන් ම ඔවුන් කලේ උන්වහන්සේ ගේ ආධාරය පැතීම යි. එහෙත් ඔවුන් උන්වහන්සේ කැඳවන ආකාරය අපට මෙහි පෙනේ: "ගුරුතුමනි, අප විනාශ වුණොත් ඔබට ප්‍රශ්නයක් නැද්ද?” යනුවෙනි. "ඔබට ගාණක් නැද්ද?": ඔවුන් සිතන්නේ ජේසු සමිඳුන් ඔවුන් ගැන උනන්දුවක් නොදක්වන බවය. ඔවුන් ගැන සැලකිල්ලක් නොදක්වන බවය.  අපගේ පවුල් වල අපගේ හදවත් රිදවන වාක්‍යක් වන්නේ එයයි: “ඔබ මා ගැන සැලකිල්ලක් නොදක්වන්නේද?”. එය අපගේ හදවත් රිදවන සහ හදවත් තුළ කුනාටු ඇති කරන වාක්‍ය ඛණ්ඩයකි.

මෙය ජේසු සමිඳුන්ව ද  කම්පණය  කරවන්නට ඇත. මන්ද උන්වහන්සේ වෙනත් කිසි කෙනෙකුටත් වඩා  අප ගැන සැලකිලිමත් වන බැවිනි. ඇත්ත වශයෙන්ම, ඔවුන් උන්වහන්සේ ගේ ආධාරය පැතූ පසු, උන්වහන්සේ තම ගෝලයන් ඔවුන්ගේ අධෛර්යවත් වීමෙන්  ගලවා ගනිති.

කුණාටුව අපගේ දුර්වලකම අනාවරණය කරන අතර අපගේ දෛනික කාලසටහන්, අපගේ ව්‍යාපෘති, අපගේ පුරුදු සහ ප්‍රමුඛතා ගොඩනඟනු ලැබ ඇති ව්‍යාජ හා පදනම් විරහිත නිශ්චිතතාවයන් නිරාවරණය කරයි. අපගේ ජීවිත සහ අපගේ ප්‍රජාවන් පෝෂණය කරන, පවත්වා ගෙන යන සහ ශක්තිමත් කරන දේවල් ම  අඳුරු හා දුර්වල වීමට අපට ඉඩ දී ඇති ආකාරය ද ඒ මගින් පෙන්වා දෙයි. මේ කුණාටුව අප විශ්වාසය තබා සිටි බොහෝ දෙයින් අප නිරුවත් කරයි: අප කළින් සකස් කරගත් අදහස් සහ අපගේ ජනතාවගේ ආත්ම පෝෂණය කරන දේ අප විසින් අමතක කරනු ලැබීම; අපව “ගලවනු ලබනවා” යැයි සිතන දේ වලට  නිර්වින්දන වී සිටීමට අප කරන උත්සාහයන් සහ අපට  පෙර ගමන් කල අය ඉතිරි කර ගිය  මතකයන් සහ අපගේ මූලයන් වෙත යලි හැරී යාමට ඇති නොහැකියාව ඒ අතර වේ. මේ නිසා උපද්‍රව වලට මුහුණ දීමට අවශ්‍ය  ප්‍රතිදේහ අපෙන් සිඳී ගොස් තිබේ. 

මෙම කුණාටුවේදී, අපගේ ප්‍රතිරූපය ගැන නිතරම කනස්සලු වෙමින්  අපගේ මමංකාරවල  වෙස් මාරු කිරීමට අප භාවිත කරන ආකෘතීන් බිඳ වැටී ඇති අතර අපට අහිමි කළ නොහැකි (ආශීර්වාද ලත්) පොදු බැඳීම  යළිත්  වරක් නිරාවරණය වී තිබේ: එනම්, සහෝදර සහෝදරියන් ලෙස අප සියල්ලන් බැඳී සිටින්නේ ය යන්නයි. 

රෝගීව සිටින ලෝකයක අප නිරෝගීව සිටිනු ඇතැයි සිතමින් ඉදිරියට ගිය අපි 

“ඔබ බිය වන්නේ ඇයි? ඔබට විශ්වාසයක් නැද්ද? ”
ස්වාමීනි, මේ සන්ධ්‍යාවේ ඔබගේ මේ වචනය අපගේ හදවතට තදින්  කා වදින  අතර, අපට, අප සියල්ලන්ට, ඔබ තුළ ඇති සැලකිල්ල තහවුරු කරයි.

අපට  වඩා ඔබ ආදරය කරන මේ ලෝකයේ, බලවත් හා ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතමින් අපි පවනට බඳු වේගයෙන් ගමන් කරමින් සිටියෙමු.  ලාභය සඳහා කෑදර වී, එක් එක් දේ වලට පහසුවෙන් හසු වීමටත් කඩිමුඩියේ එක් එක් දේ වලට ආකර්ශනය වීමටත් ඉඩ දී  සිටියෙමු. ඒවා දැක ඔබ අපට අවඥාවෙන් කතාකරද්දී අප නැවතුනේ නැත. ලොව පුරා සිදු වූ යුද්ධවලින්  හෝ අයුක්ති සහගත දේවලින් අප තිගැස්සී අවදි වූයේ නැත, දුප්පතුන්ගේ හෝ රෝගී වූ අපගේ  ග්‍රහලෝකයේ හැඬුම් විලාපයට අප  ඇහුම්කන් දුන්නේ නැත. රෝගීව  සිටින ලෝකයක අප නිරෝගීව සිටිනු ඇතැයි සිතමින් ඒ සියල්ල නොතකා අපි  ඉදිරියට ගියෙමු. දැන් අපි කුණාටු සහිත මුහුදේ සිටින විට, “ස්වාමීනි, අවදි වන්න” යයි  අපි ඔබට බැගෑපත්ව ආයාචනා කර සිටිමු.

තෝරා ගැනීමේ, ඉගෙන ගැනීමේ කාලයක් 

“ඔබ බිය වන්නේ මන් ද ? ඔබට විශ්වාසයක් නැද්ද? ”
ස්වාමීනි, ඔබ අපව අමතන්නේ, අප කැඳවන්නේ,  ඇදහිල්ලටය. එම ඇදහිල්ල  නම්, ඔබ සිටින බව විශ්වාස කිරීම නොව, ඔබ වෙත පැමිණ ඔබ කෙරෙහි විශ්වාස තැබීම ය. මේ චතාරික සමයේ ඔබගේ කැඳවීම හදිසියෙන් ප්‍රතිරාව වෙයි.  “සිත් හැරීමක් ඇතිකර ගන්න!”, “මුළු හදවතින්ම මා වෙත ආපසු හැරී එන්න.” (ජොයෙල් 2:12) යනුවෙනි.

ස්වාමීනි, මෙම පරීක්ෂාවේ කාලය තෝරා ගැනීමේ කාලයක් ලෙස දැඩිව ග්‍රහණය කර ගන්නා ලෙස ඔබ අපෙන් ඉල්ලා සිටියි. එය ඔබගේ විනිශ්චයේ කාලය නොව අපගේ විනිශ්චයේ කාලයයි: වැදගත් දේ සහ පහව යන දේ තෝරා ගැනීමට කාලය යි; අවශ්‍ය දේ අවශ්‍ය නොවන දේවලින් වෙන් කර ගැනීමට  කාලය යි. ඔබ හා වෙනත් අය සම්බන්ධයෙන් අපගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගත යුතු කාලයකි. 

මේ ගමනේ දී, තමන් බියෙන් සිටියද, සිය  ජීවිත පූජා කිරීමෙන් ප්‍රතිචාර දැක්වූ ආදර්ශවත් ගමන් මගේ සහකරුවන්   බොහෝ දෙනෙකු ගෙන් අපට ඉගෙනගත හැකි ය. මෙය වූ කලී, දිරිමත් සහ ත්‍යාගශීලී ආත්ම පරිත්‍යාගය තුළින් වැගිරී හැඩ ගස්වනු ලබන ආත්මයාණන් ගේ බලය යි.  මෙය වූ කලී, පුවත්පත් සහ සඟරා සිරස්තලවල හෝ නවතම සංදර්ශනයන්හි එන කැට්වෝක්ස් වල නොපෙන්වන, එහෙත්, කිසිදු සැකයකින් තොරව මේ දිනවල අප‍ගේ  යුගයේ සිද්ධීන් ලියන, බොහෝ විට අපට අමතක වන,  සාමාන්‍ය ජනතාව විසින් - එනම් වෛද්‍යවරුන්, හෙදියන්, වෙළෙඳ සල් සේවක සේවිකාවන්, පවිත්‍ර කරන්නන්, දරුවන් හා වැඩිහිටියන් රැකබලා ගන්නන්, මගී සහ භාණ්ඩ ප්‍රවාහකයන්, නීතිය හා සාමය ආරක්ෂා කරන්නන්, ස්වේච්ඡා සේවකයන්, පූජකවරුන්, පිරිමි සහ කාන්තා පැවිද්දන් ඇතුළු බොහෝ සාමාන්‍ය ජනතාව විසින් - පෝෂණය කරනු ලබන ආත්මයාණන් තුළ ජීවිතය යි. මේ ජනතාව නම්  කිසිවෙකු තනිවම ගැලවීම නොලබන බව තේරුම් ගෙන ඇති අය වෙති.

අපගේ ජනතාව ගේ දියුණුවේ අව්‍යාජබව තක්සේරුවට ලක්  කර ඇති මෙතරම් අධික දුක් වේදනා හමුවේ, ජේසු ගේ උත්තම පූජක යැදුම අපට අත්දැකිය හැකිය: එනම්, “ඔවුහු සියල්ලෝ ම ඒකීය වෙත්වා!" යන්නයි. දිනපතා කීදෙනෙක් භීතියෙන් කලබල වීම වෙනුවට පොදු වගකීම පතුරුවමින්, ඉවසීමෙන් සිට බලාපොරොත්තුවේ ආලෝකය  ලබා දෙනවාද; අපගේ එදිනෙදා හැසිරීම් වෙනස් කර ගැනීම මගින් සහ සිය දෑස් ඔසවා යාච්ඥාව වර්ධනය  කිරීමෙන් අර්බුදයකට මුහුණ දී ඒ තුළින් අනතුරක් රහිතව ගමන් කල  හැකි  ආකාරය පියවරුන්, මව්වරුන්, ආච්චිලා සීයලා සහ ගුරුවරුන් කී දෙනෙක්  අපේ දරුවන්ට පෙන්වන්නේද. සියල්ලන් ගේ යහපත උදෙසා කී දෙනෙක් යාච්ඥා කරනවා ද? තමන් පූජා කරගන්නවා ද? මැදිහත් වනවා ද? යාච්ඥාව සහ නිහඬ සේවාව අපගේ ජයග්‍රාහී ආයුධ යි.

ජේසු සමිඳුන් ජීවිත ඔරුවේ සිටින විට .... 

“ඔබ බිය වන්නේ ඇයි? ඔබට විශ්වාසයක් නැද්ද?"
ඇදහිල්ල ආරම්භ වන්නේ අපට ගැලවීම අවශ්‍ය බව වටහා ගත් විටය.
අපි ස්වයංපෝෂිත නොවෙමු; අප තනිව ම අප විසින් ම ක්‍රියා කරන්නට ගියහොත් අපි අමාරුවේ වැටෙමු. පුරාණ නාවිකයින්ට ගමන් කරන්නට තාරකා අවශ්‍ය වූවාක් මෙන් අපටද මග පෙන්වන්නට ස්වාමින්වහන්සේ අවශ්‍ය ය. අපි ජේසු සමිඳුන්ට අපේ ජීවිත ඔරු වලට  ආරාධනා කරමු. අපගේ බිය ජය ගැනීමට හැකි වන පරිදි අපගේ බිය අපි උන්වහන්සේ ට භාර දෙමු. උන්වහන්සේ ඔරුවේ අප සමග සිටින විට ඔරුව විනාශ නොවන බව ශ්‍රාවකයන්  මෙන් අපි දු  අත්දකිමු. මන්ද, අයහපත් දේ ඇතුළුව, අපට සිදු වන සියල්ල,  යහපතට හරවන්නේ දෙවියන්  වහන්සේ ගේ ශක්තිය යි. උන්වහන්සේ අපගේ කුණාටු තුළට ශාන්තිය ගෙන එන සේක. මන්ද, දෙවියන් වහන්සේ සමඟ සිටින විට ජීවිතය කිසිදා මිය නොයන්නේ ය.

ලෝකය යළි ගොඩනැගිය හැකි බලය: සහයෝගිතාව 

සියල්ල කඩා වැටෙන බව, අපෙන් ගිලිහී යන බව පෙනෙන්නට ඇති මේ කාලයේ දී, එම කාලයට ශක්තියත් ආධාර උපකාරත්  අර්ථයත් දිය හැකි සහෝදරාත්මක සහයෝගීතාව අවදිකොට එය ක්‍රියාවට නංවන  ලෙස මෙම කුණාටුව මධ්‍යයේ සමිඳාණෝ අපට ආරාධනා කොට අපෙන් ඉල්ලා සිටිති. 

අපගේ පාස්කු ඇදහිල්ල යළි අවදි කොට යළි නැවත පණ ගැන්වීමට සමිඳාණෝ අප අවදි කරති. අපට  නැංගුරමක් තිබේ: එනම්, උන්වහන්සේ ගේ  කුරුසියෙන් අපි  ගැළවීම ලැබුවෙමු යන්නයි. අපට සුක්කානමක් තිබේ: එනම්, කුරුසියෙන් අපට මිදීම ලැබී ඇත යන්නයි. අපට බලාපොරොත්තුවක් තිබේ: එනම් උන්වහන්සේ ගේ ගැලවීම දායක ප්‍රේමයෙන් කිසිවෙකුටත් අප වෙන් කල නොහැකි වන ලෙස   උන් වහන්සේ සිය කුරුසියෙන් අප සුවපත් කර වැලඳගෙන ඇති බවයි. 

තනිකම තුළ ඇසෙන බලාපොරොත්තුවේ හඬ

මේ දිනවල අප අත්දකින තනිකම, හුදෙකලාව මැද, සෙසු අය මුණගැසෙන්නට අවස්ථාවක් නොමැතිව, මෘදු වචන හා තෙපුල් අඩු වීමෙන්  අප දුකින් සිටින මේ මොහොතේ, අපගේ ගැලවීමේ හඬ ශබ්දයට අපි යළිත් සවන් දෙමු: එනම් උන්වහන්සේ උත්ථාන වූ සේක, අප සමග වැඩ සිටින සේක යන්නයි.  අප බලාපොරොත්තුවෙන් සිටින ජීවිතය යළි අනාවරණය කරගන්නා ලෙසත්, අප වෙතින් ආදර්ශ බලා සිටින ජනතාව වෙත නෙත් යොමන ලෙස හා අප තුළ ජීවත් වන දේව වරප්‍රසාදය හඳුනාගෙන එය ශක්තිමත් කොට ප්‍රවර්ධනය කරණ ලෙසත් සමිඳාණෝ සිය කුරුසියේ සිට අපෙන් ඉල්ලා සිටිති. කිසි විටෙකත් මැඩපැවැත්විය නොහැකිව අප තුළ දැල්වෙන ගිණි සිළුව නිවෙන්නට ඉඩ නොදෙමු. එසේ ම බලාපොරොත්තුවට යළි දැල්වෙන්නට අපි ඉඩ දෙමු.

 කුරුසය වැලඳ ගැනීම

ජේසු ගේ  කුරුසය වැලඳ ගැනීම යනුවෙන් අදහස් කරන්නේ මේ  කාලයේ අප මුහුණ දෙන සියලු දුෂ්කරතා වැලඳ ගැනීමට ධෛර්යය සොයා ගැනීම ය; එසේ ම ආත්මයාණන්ට පමණක් අනුප්‍රාණය දිය හැකි නිර්මාණශීලීත්වයට ඉඩක් ලබා දීම සඳහා  බලය හා වස්තුව කෙරහි අපගේ ඇති උනන්දුව මොහොතකට අත්හැර දැමීම ය. එහි අර්ථය නම්, සෑම කෙනෙකුම තමන් කැඳවා ඇති බව හඳුනාගත හැකි අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය ධෛර්යය  සොයා ගැනීම සහ නව ආකෘතියේ ආගන්තුක සත්කාර, සහෝදරත්වය සහ සහයෝගීතාවයට ඉඩ දීමයි.

උන්වහන්සේ සිය  කුරුසියෙන් අපව ගලවා ගනු ලැබුවේ බලාපොරොත්තුව වැලඳ ගැනීම සඳහා සහ ඒ මගින් අපව සහ අන් අයව ආරක්ෂා කිරීමට උපකාර කළ හැකි සියලු ක්‍රියාමාර්ග මෙන් ම ගමන් කල හැකි සියලු මාවත්  ශක්තිමත් කොට  පවත්වා ගැනීම සඳහා ය. විශ්වාසයේ ශක්තිය වන්නේ බලාපොරොත්තුව වැලඳ ගැනීම සඳහා සමිඳුන්  වැලඳ ගැනීම යි. එය අප බියෙන් නිදහස් කර අපට බලාපොරොත්තුවක් ලබා දෙයි .

භාර කිරීම

“ඔබ බිය වන්නේ ඇයි? ඔබට විශ්වාසයක් නැද්ද?"
 ආදරණීය සහෝදරවරුනි, පේදුරු තමන් ගේ පර්වතයක් බඳු සවිමත්  ඇදහිල්ල ගැන පවසන මෙම ස්ථානයේ සිට, මේ සැන්දෑවේ,  ඔබ සියලු දෙනාව ම ජනතාව ගේ සුවය සහ කුණාටු සහිත මුහුදේ තාරකාව වන වන මරිය වහන්සේ ගේ මැදිහත් කමින් සමිඳුන්ට  භාර දීමට මම කැමැත්තෙමි. 




රෝමය සහ මුළු ලෝකයම වැළඳ ගන්නා මෙම චතුරශ්‍රයේ සිට සැනසිලිදායක වැලඳගැනීමක් ලෙස දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔබ වෙත පැමිණේවා.

ස්වාමීනි, ඔබ ලෝකයට ආශීර්වාද කර, අපගේ ශරීරවලට සුවය ලබා දී අපගේ හදවත් සනසන සේක්වා!

බිය නොවන ලෙස  ඔබ අපෙන් ඉල්ලා සිටිති . එහෙත් අපගේ ඇදහිල්ල දුර්වල ය. අපි බියෙන් සිටිමු.

එහෙත්, ස්වාමීනි, මේ කුණාටුව තුළ  ඔබ අප අත් නොහැරිය  මැනව .

අපට යළිත් මෙසේ පවසනු මැනව:  “බිය නොවන්න”

එසේ ම පේදුරු තුමන් සමඟ අපි මෙසේ කියමු:
“ඔබ අප ගැන සැලකිලිමත් වන නිසා අපගේ සියලු දුක් කරදර ඔබේ අතට භාර දෙමු." 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි