"බිය නොවන්න; අපේ ගෙවල් වලට ඇතුළු වූ අඳුර පහව යනු ඇති; හදවත්වල තුවාල ඇතිව එක්සත් මනුෂ්‍ය ප්‍රජාවක් යළි නැගිටිනු ඇති.": සුදොතුම් පියතුමා බලාපොරොත්තුවේ පහන් වැටියක් දල්වයි

"Don't be afraid: The darkness that entered our homes will disappear, with wounds in the heart a united humanity will rise again” Pope lights a candle of Hope 


(2020 මාර්තු 21)
කෝවිඩ්-19 වසංගතයේ වේදනාවත්, භීතියත්, ඒ පිළිබඳව කෙරෙන ඍනාත්මක ප්‍රචාරත්, ඒවායින් මානව හදවත් වල හටගෙන ඇති අඳුරත් අතරට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තුවේ පහනක් දල්වමින් සිටියි.
එතුමා ජන හදවත් තුළ මේ බලාපොරොත්තුව දල්වන්නේ ඉතාලියේ පළවන "La Stampa" පුවත් පතට දුන් අලුත්ම සාකච්ඡාවෙනි.

මේ මොහොතේ සමස්ත මානව ප්‍රජාවම එකට, එක ම වෙලාවේ, වේදනාවටත් බියටත් පත්ව සිටින බව එතුමා මේ සාකච්ඡාවෙන් පෙන්වා දෙයි. "එය තවදුරටත් 'ඔවුන්' විඳින වේදනාවක් නොවේ. එය 'අපේ' අපි හැමෝගෙම වේදනාවකි.  'අපි ඔක්කොම' එකට අඬනවා", යයි එතුමා පෙන්වා දෙයි. කෝවිඩ්-19 දේශ සීමා, ජනවර්ග සීමා කඩා දමමින් සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම පීඩාවට  පත්කරමින් යන ආකාරය එතුමා පහදා දෙයි. මේ නිසා එතුමා ඉල්ලා සිටින්නේ "එකිනෙකා දෙස සහයෝගිතාවයෙන් බලා" එක්සත්ව ක්‍රියා කරන" ලෙසයි.  කෙසේ වුවත්, "සෑම කෙනෙකු ගේ ම ගෙදරට ඇතුළු වී සිටින මේ අන්ධකාරය පහව යන  දිනය උදාවේවි. එහෙත් එය තරමක් පශ්චාත්-යුද සමය මෙන් වේවි. තුවාල වූ හදවත් වලින් යුතුව නව එක්සත් මානව ප්‍රජාවක් නැගිට සිටිනු ඇති. අපට ප්‍රධාන කුළුණු සතරක් මත අලුතින් ගොඩනගන්නට හැකි වේවි," යි එතුමා බලාපොරොත්තු සහිතව කියා සිටියි.

La Stampa වාර්තාකරු ඩොමෙනිකෝ අගස්සෝ විසින් දුරකතනය ඔස්සේ කරන ලද මෙම සාකච්ඡාව මාර්තු 20 වැනිදා එම පුවත් පතේ පළකර තිබිණි. මේ රෝග බිය පදනම් කර ගනිමින් විවිධ  බිල්ලන් මවා පෙන්වා තවදුරටත් වෛරය, බිය සහ සැකය පතුරුවනවා වෙනුවට ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කරන්නේ හැකිතරම් තුවාල සුවපත් කිරීමට උත්සාහ දැරීමයි. අන්ධකාරය තුළ පුංචි හෝ ඉටිපන්දම් එළියක් වීමයි. දයාව පැතිර වීමයි.

මේ එම දුරකථන සාකාච්ඡාවයි.


ලෝකය පුරා මෙවර පාස්කුව ගත කිරීමට සිදු වී ඇත්තේ සිය ගෙදරට වෙලාය.  මෙම වසංගත තත්වය තුළ අප චතාරිකය සහ පාස්කුව ගෙවිය යුත්තේ කෙසේදැයි වාර්තාකරු ප්‍රශ්න කළේය.

"අප මෙවර පාස්කුව ගත කල යුත්තේ පශ්චාත්තාපික ක්‍රියා වල යෙදෙමින්, අනුකම්පාවෙන්, බැහැපත්කමින්  සහ බලාපොරොත්තුවෙන් යුතුවයි. මන්ද ජීවිතය තුළ බොහෝ අවස්ථාවල "අන්ධකාර කලාප" තිබෙන බව, අඳුරු මොහොතවල් හමුවෙන බව අපට අමතක වෙනවා. අප  හිතන්නේ ඒ දේවල් වෙන්නේ අනෙක් තැනැත්තන්ට කියලයි. එහෙත් මේ අඳුරු මොහොත උදාවී තිබෙන්නේ, කවරෙකුවත් ඉවත් කරන්නේ නැතිව,  හැමෝටමයි."

ප්‍රශ්නය: අද සිදුවන දේවලට චතාරිකය තුළින් අරුතක් ලබාගත හැකි බව ඔබ තුන්කාල ආරාධනාව වෙලාවේදී කීවා. ඒ කෙසේද?

"පාස්කුවට සූදානම් වීමේ කාලය තුළ අප කරන්නේ යාච්ඥා සහ උපවාසය මගින්  ඊට සූදානම් වීමයි. මෙය  අනෙක් තැනැත්තන් දෙස, විශේෂයෙන් දුක් විඳින්නන් දෙස සහයෝගීතාවෙන් යුතුව බැලීමට අපට පුහුණු කරනවා. (පාස්කුවේදී) සෑම  දෙයක්ම සහ සෑම කෙනෙකුම ආලෝකවත් කරන දීප්තිය උදාවන තෙක් අප කරන්නේ එයයි."

ප්‍රශ්නය: මේ කාලයේ දී විශේෂයෙන් යාච්ඥා කිරීම වැදගත් ද?

"මා සිතන්නේ කුණාටුවට හසු වූ අපෝස්තුලුවරු ජේසු සමිඳුන් ගේ උදව් ඉල්ලූ ආකාරය යි. 'ස්වාමීනි, අප ගිලෙන්නේට යනවා'.  යාච්ඥාව, අපට  අපගේ දුර්වල බව තේරුම් කර දෙනවා. එය දුප්පතුන් ගේ, ගිලෙන්නට යන තැනැත්තන් ගේ, තනි වූවන් ගේ සහ තර්ජනයට ලක්වූ බව හැඟෙන්නන් ගේ  කෑගැසීම යි.  සියලු බලාපොරොත්තු බිඳ වැටුණු, දුෂ්කර අවස්ථාවකදී,  තදින් අත අල්ලාගෙන සිටීමට සමිඳුන් සිටින බව දැනගෙන සිටීම වැදගත්.

ප්‍රශ්නය: දෙවියන් වහන්සේට අපට උදව් කල හැක්කේ කෙසේද?

"දෙවියන් වහන්සේ අපට විවිධාකාරයෙන් උදව් කරනවා.  කුනාටුවේදී සිය උදව් ඉල්ලා සිටි අපොස්තුලුවරුනට කළා සේ, නැති නම් ගිලෙන්නට ගිය පේදුරු තුමන්ට සිය අත දුන්නා සේ  උන්වහන්සේ  අපට සිය සමීපත්වයත්   ශක්තියත්  දෙනවා."

දෙවියන් වහන්සේ විශ්වාස නොකරන්නන් සිය සහනය සහ ධෛර්යය සොයා ගන්නේ කොහෙන්ද?

"විශ්වාසිකයන් සහ විශ්වාස නොකරන්නන් වශයෙන් වෙනසක් ඇති කරන්නට මට අවශ්‍ය නැහැ. අපි සියල්ලෝම මනුෂ්‍යයන්. මනුෂ්‍යයන්  ලෙස අපි සියල්ලන් ම ඉන්නේ එකම බෝට්ටුවේ. මේ නිසා කිතුනුවකුට  කිසිම මනුෂ්‍යයෙක් පිටස්තරයෙක් නොවේ. අප මෙහි අඬා වැටෙන්නේ අප දුක් විඳින නිසා. අප සියලු දෙනාම. අපට උදව් වෙන්නේ සහජීවනය,  අන්‍යෝන්‍ය සහයෝගීතාව, වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම සහ පරිත්‍යාගශීලී බවයි. විශ්වාසිකයන් සහ විශ්වාස නොකරන්නන් වශයෙන් වෙනසක් ඇති කරගන්නට අපට අවශ්‍ය වන්නේ නැහැ. අපි මුලට යමු: මනුෂ්‍යත්වය. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සියල්ලෝම උන්වහන්සේ ගේ දරුවෝ. "

ප්‍රශ්නය: තනිව හුදෙකලාව මියයන තැනැත්තන් කෝවිඩ්-19 ගොදුරු බවට පත් වන්නන් අතර සිටිනවා. රෝගය වැළඳීමේ බිය නිසා සිය නෑසියන්ට ඔවුන්  අසලට යන්නට නොහැකි වීම නිසා ඔවුන් හුදෙකලාව ම මිය යනවා. බර්ගාමෝ, බ්‍රෙසියා වැනි ප්‍රදේශ වල මේ හද කකියන සිද්ධි වාර්තා වෙනවා. මේ ගැන ඔබේ හදවතේ පැනනගින සිතිවිලි මොනවා ද?

"මගේ සිතට තදින් කා වැදුණු, මා තද ශෝකයට පත්කළ සිද්ධියක් පසු ගිය දා කෙනෙක් මට කීවා. එය අද රෝහල්වල සිදුවෙන සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැඩිහිටි  කාන්තාවකට තේරුණා ඈ මිය යන්නට යන බව. මේ නිසා ගෙදර ඉන්න තමා ආදරය කරන අයගෙන්  සමු ගන්න  ඇයට අවශ්‍ය වුණා. මේ ගැන ඈ තමාට උදව් වුනු හෙදියට කීවා. එම හෙදිය සිය දුරකතනයෙන් කාන්තාවගේ මිනිබිරියට  වීඩියෝ ඇමතුමක්  ගත්තා. මේ නිසා සිය මිනිබිරිය ගේ මුහුණ අවසන් වතාවට දැකගෙන සැනසීමෙන් දෑස් පියාගන්නට ඇයට හැකි වුනා. මෙය සිය අතින් තවත් අතක් අල්ලාගැනීමේ අවසන් අවශ්‍යතාවය යි. ආදරයේ, මිත්‍රත්වයේ අවසන් ඉඟිය පල කිරීමේ අවසන් අවශ්‍යතාවයි. බොහෝ හෙද-හෙදියන්  රෝගීන් ගේ  වේදනාවටත් තනිකමටත් සවන් දෙමින්, ඔවුන් ගේ අත් අල්ලා ගනිම්න්,  ඔවුන් ගේ මෙම පැතුම  සිය සවන් වලින්  කැටුව යනවා. සමු ගැනීමේ වචනයක් වත් නොකියා වෙන්ව ගිය අයගේ වේදනාව ජීවත් වන අයගේ හදවත් තුළ තුවාලයක් බවට පත් වෙනවා. 
සිය රෝගීන් ගේ පවුල් වලට රෝහලට පැමිණීමට නොහැකි වීම නිසා එම අඩුව පුරවන්නට සිය අධික වෙහෙස නොතකා වැය වන හෙද-හෙදි නිලධාරීන්ට, වෛද්‍ය වරුන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට මම මගේ හදවතින් ම ස්තුති කරනවා."

ප්‍රශ්නය: මේ ලෝක ව්‍යාප්ත හදිසි තත්වය තුළ සහයෝගිතාවකුත් බිහි වෙමින් පවතිනවා. මේ සහයෝගීතාවෙන් වැදගත් යමක් අනාගතයේ දී ඇති වෙයිද? 

"ඔව්. මානව වර්ගයා එක ප්‍රජාවක් බව, අවසන් වතාවටත් මනුෂ්‍යයන්ට සිහිපත් කිරීම. විශ්වීය සහෝදරත්වය කෙතරම් වැදගත් සහ තීරණාත්මක කරුණක් ද! මේ බිහිවන කාලය තරමක් පශ්චාත් යුද සමයක් ලෙස අපට පෙනී යාවි. තව දුරටත් "අනෙක් කෙනා" කෙනෙක් නැති වේවි. ඒ වෙනුවට "අපි" යන නව තත්වය උදා වේවි. මන්ද අපට මේ තත්වයෙන් ගොඩ යා හැක්කේ සියලු දෙනා එකට එක්සත් වීමෙන් පමණක් නිසයි. "



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු