"ලාසරස් සහ කොරෝනා" - "ජේසු සමිඳුන් සිය මිතුරාට ප්‍රේම කළා නම්, ආපසු එන්නට ප්‍රමාද කළේ ඇයි ?" එඩ්මන්ටන්හි අගරදගුරු හිමියන් ගේ චතාරික කාලයේ 5 වන ඉරිදා සුපුවත් භාවනාව

"If Jesus really did love his friend Lazarus, why didn’t he run to him right away to save him ? Why did he delay?" Archbishop Richard Smith's Homely on he 5th Sunday of Lent  


(2020 මාර්තු 30)
කොරෝනා වසංගතයෙන් බියටත් ව්‍යාකුල බවටත් පත්ව සිටින ලෝකය - කතෝලික ලෝකය පවා - ඒ ගැන විවිධ මත ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ. ඇතැමෙකු පවසන්නේ මෙය දේව දඬුවමක් හෝ ශාපයක් ලෙසයි. තව කෙනෙක් එය කුමන්ත්‍රණයන් ලෙස විස්තර කරති.

මෙම  අතිශය අවිනිශ්චිත තත්වය විසින් ලෝකය කවර දෙසකට රැගෙන යන්නේ දැයි සිතාගත නොහැකි තරම් ය. මුලින් ම චීනයේත් මේ වන විට ඉතාලිය, සපාඥ්ඥය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලත්  බොහෝ දෙනෙකු පවසන්නේ "මරණය දොරකඩට ම ඇවිදින්" කියා ය. මේ නිසා, ශ්‍රී ලංකාවට මෙතෙක් නොදැනුනත්, ලොව බොහෝ රටවල ජනතාව සිටින්නේ රෝගයත් මරණයත් කොයි මොහොතේ තමා සොයා ඒවි ද යන සැකයෙන් සහ බියෙනි. විදේශ රටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ට පවා මේ හැඟීම දැනේ. තත්වය තවත් බිහිසුණු කරමින්  රෝගීන්ට උපස්ථාන කරන වෛද්‍ය සේවකයන්ට පවා සිය සේවාව කරන්නට සිදු වී ඇත්තේ මරණය පෙනී පෙනී ය.

මේ තත්වය තුළ "දෙවියන් කොහේ ද?" උන්වහන්සේත් පැන   ගොසින් ද ? නැති නම්, ඇත්තටම මෙය ම දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම අභියෝගයට ලක් කරන අවස්ථාවක්  ද? යන ප්‍රශ්න ද පැන නැගී තිබේ. එසේ ම, කිතුනු ඇදහිල්ල ව්‍යාකුල කරමින්, "කොපමණ යාච්ඥා කළත් දෙවියන් වහන්සේ ගේ ප්‍රතිචාරය මෙතක් ප්‍රමාද වන්නේ මන්ද?" යන ප්‍රශ්නය ද විටින් විට නැගේ.

කතෝලියකයන් අවධානයෙන් සිටියා නම්, මේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු පසුගිය සති කිහිපය පුරා - චතාරික කාලයේ දිනවල- දේව වචනය තුළ මුණගැසිණි. එහෙත් මේ අවසන් ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් පසුගිය ඉරිදා ජනවන්දනාවේ කියවීම් වල මුණගැසිණ.

ඒ අතරින් ඉරිදා සුපුවතේ චරිත දෙකක් මුණ ගැසේ. පළමු චරිතය  තමන් ප්‍රේම කළ මිතුරා වන ලාසරස් රෝගී බව දැනගෙනත් සිතා මතාම එහි යන්නට පමා කරන ජේසු සමිඳුන් ය. දෙවැනි චරිතය ජේසු සමිඳුන් දේව පුත්‍රයාණන්  බව ඇදැහුවත් "එතුමාට යමක් වෙනස් කල හැකිදැයි" සැක කල ලාසරස් ගේ සොයුරිය මාර්තා ය.

මේ සුපුවත් පණිවිඩය කොරෝනා වසංගතයෙන් තැති ගෙන සිටින ලෝකය ආමන්ත්‍රණය කරන ආකාරය ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී කැනඩාවේ, එඩ්මන්ටන්හි අගරදගුරු අති උතුම් රිචර්ඩ් ස්මිත් හිමිපාණෝ විස්තර කළහ. 

මේ සමයේ අපේ රට හා සිත් පුරා පැතිර ඇති බියේ අඳුර පහ කරන ආලෝක කිරණක් බඳු රිචඩ් ස්මිත් අගරදගුරු හිමියන් ගේ එම ධර්ම දේශනය සම්පූර්ණයෙන් මෙහි පල කරමු: 

චතාරික සමයේ තුන් වන ඉරිදා
ජුවාම්: 11:1-45 


"මෑතකදී මා රේඩියෝවට සවන් දෙන විට මට සාකච්ඡාවක් අසන්නට ලැබුනා. එය ඇල්බටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය වරයකු සමග කල සම්මුඛ සාකච්ඡාවක්. මේ දිනවල කෙරෙන අනෙක් සාකච්ඡා වගේ ම මේ සාකච්ඡාවේ මාතෘකාව වී තිබුනේ කෝවිඩ්-19 වසංගතයයි. 

ඒ මහාචාර්යවරයා මේ කාලයේ අප වටා නිරන්තරයෙන් තිබෙන "විද්‍යාවෙන්-තොර ඝෝෂාව"(science-free noise) ගැන කතා කළා.මේ යෙදුමෙන් ඔහු අදහස් කළේ  මේ වසංගතය සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන විද්‍යාත්මක නොවන හඬවල්. නිදසුන් ලෙස, අප ඉන්නේ වසංගත අර්බුදයක නොවේ,  මේ ඔක්කොම බොරුවක්, ඒ වගේම මේ වෛරස විනාශ කළ හැකි යම්  යම්  ප්‍රතිකාර සොයාගෙන තිබෙනවා වැනි දේ  මේ විද්‍යාවෙන්-තොර ඝෝෂාව ලෙස ඔහු විස්තර කළා. මේ අවස්ථාවේ මෙවැනි විද්‍යාවෙන්-තොර ඝෝෂාවලට අවධානය යොමු නොකර, ඒ වෙනුවට අපට සත්‍යය පවසන බව විශ්වාස කළ හැකි විද්‍යාත්මක සහ වෛද්‍ය හඬවල් වලට පමණක් සවන් දීමේ වැදගත්කම මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

අද දිව්‍ය පූජාවේ සුපුවතේ අපට මුණගැසෙන්නේත්, මේ මොහොතේ අප වාද විවාද කරමින් සිටින වෙනත් ආකාරයක ඝෝෂාවක් ගැනයි. ඒ, විද්‍යාවෙන්-තොර ඝෝෂාව නොව, විශ්වාසයෙන්-තොර ඝෝෂාව (faith-free noise) යි. මේ සම්පප්‍රලාපය එන්නේ අපට බාහිරින් නොවේ. අපේ අභ්‍යන්තරයෙන්. එය බියවීම, කනස්සල්ල, අවුල් සහගත බව, ත්‍රාසය වැනි විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තරයෙන් එන විශ්වාසයෙන්-තොර ජාවාරමක්. මේ අභ්‍යන්තර හඬ ශබ්ද මේ මොහොත වන විට මහා ශබ්දයකින් ඇසෙමින් තිබෙනවා. වෛරස් රෝගීන් සංඛ්‍යාව වැඩි වන තරමට, ආර්ථිකය දුර්වල වන තරමට, වසංගතය නිසා රැකියා විරහිතයන් වැඩි වන තරමට මේ ඝෝෂාවේ ශබ්දයත් වැඩි වෙමින් තිබෙනවා. ඒ ඝෝෂාවට සවන් නොදී නොසිටීම එන්න එන්නම අමාරු වෙමින් තිබෙනවා. මේ නිසා මෙය ඇදහිල්ලට සැබෑ අභියෝගයක් යැයි බොහෝ අය සිතනවා.

හොඳයි, මහාචාර්යවරයා දුන් උපදේශය අනුව යමින්, මේ විශ්වාසයෙන්-තොර ඝෝෂාවෙන් මොහොතකට ඉවත් වන්නැයි මා ඔබට ආරාධනා කරනවා. ඒ වෙනුවට අපට විශ්වාස කළ හැකි හඬක් බව අප දන්නා, අද සුපුවතින් අපට කතා කරන, ජේසු සමිඳුන් ගේ හඬට අපි සවන් දෙමු.

අමාරු, දුෂ්කර, කටුක  සමයන් ජේසු සමිඳුන් කෙරෙහි අපගේ විශ්වාසය දුර්වල කරනවා නම්, අපට පුළුවන් අපව මේ සිද්ධියේ එන මාර්තා ගේ චරිතය තුළින් දකින්නට.

ඇය සිටින්නේ  ඉතා දුෂ්කර ජීවිත අවස්ථාවක. ඇයගේ සොහොයුරා මිය ගිහින්, මිහිදන් කරලා. ඈ ජේසු සමිඳුන්ට කන්නලව් කරනවා. ජේසු සමිඳුන් වහාම ඇයගෙන් ඉල්ලනවා, ජීවිතය ලබා දීමට තමන් සතු බලය ගැන විශ්වාස කරන ලෙස: "උත්ථානය ද ජීවනය ද මම වෙමි". ඊලඟට උන්වහන්සේ ඇයගෙන් විමසනවා: "ඔබ මෙය  විශ්වාස කරනවා ද?". ඇය ඊට ස්ථිරව පිළිතුරු දෙනවා, ඔව් කියා:

"එසේය, ස්වාමීනි, ඔබවහන්සේ ක්‍රිස්තුන් බවත්, දේව පුත්‍රයාණන් බවත්, ලෝකයට වඩින්නට සිටින තැනැන්වහන්සේ බවත් මව විශ්වාස කරනවා."

එහෙත්, ඊට සුළු මොහොතාකට පසුව, ඇය සිය සැකය, සංකාව ප්‍රකාශ කරනවා. 

ඇයගේ සොහොයුරු ලාසරස් වළදමා ඇති ගල්ලෙනෙහි දොර ඉවත් කරන්නැයි ජේසු සමිඳුන් උපදෙස් දුන් අවස්ථාවේ ඇය කියනවා, "ස්වාමීනි, ඔහු වළදමා දැනට දින හතරක්. මේ වන විටත් එහි දුගඳ තිබෙන්නට පුළුවන්."

මෙය පෙන්වන්නේ කුමක් ද? මෙයින් පෙන්නුම් කරන්නේ මාර්තා ජේසු සමිඳුන් ගේ බලය කෙරෙහි විශ්වාසය තැබුවත්, උන්වහන්සේට යමක් වෙනස් කළ හැකිදැයි ඈ තුළ සැකයක් පවතින බවයි.

අපගේත්  දුෂ්කර, කටුක අවස්ථාවල අප ඉතා පහසුවෙන් මාර්තා සේ ක්‍රියා කරනවා
අප විශ්වාස කරනවා; එහෙත් අප විශ්වාස කරන්නට අරගලයක යෙදෙනවා.

කෝවිඩ්-19 වසංගතයේ ආදීනව නිසා අපගේ පූර්වාකල්පන, නිශ්චිතතාවන් සහ බලාපොරොත්තු මියයාමට සලස්වා මිහිදන් කර තිබෙනවා. ලාසරස් සේ, අපගේ බලරහිතභාවයේ රෙදි පටි වලින් අපව බැඳ දමා, කනස්සල්ලේ බර යට අපව වල දමා ඇති බවක් අපට හැඟී යනවා. ඔව්. මේ ගල්ලෙනෙන් පිටතට අපට කතා කරන්නට දෙවියන් වහන්සේ ට බලය තිබෙන බව අප දන්නවා. ඇත්ත වශයෙන් ම, එසකියෙල් දිවස්ප්‍රසාදී තුමා විසින් දී තිබුණු පොරොන්දුවත් ශු. පාවුළු තුමා විසින් දී තිබූ සහතිකයත් එයම යි. එහෙත්, අප විශ්වාස කරන නමුත්, ඒ අවස්ථාවේ ම, අප සැක කරන්නට පෙළඹෙනවා. ජේසු ඇත්තට ම මා ගලවා ගනීවි ද? උන්වහන්සේට යම් යම් දේ වෙනස් කල හැකි ද? අප තුළ පවතින විශ්වාසයෙන්-තොර ඝෝෂාව දෝංකාර දෙන්නට පටන් ගන්නවා.

එහෙත් අප මේ සුවිශේෂ කොටස සමග නතර වන විට, මේ ඝෝෂාවේ ශබ්දය අඩුවෙනවා.

ලාසරස් බරපතල ලෙස රෝගී වී ඇති බව ජේසුට දැන්වීම සඳහා මාර්තා සහ මරියා පණිවිඩය යැවූ ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔවුන් කියන්නේ මෙසේයි: "ස්වාමීනි, ඔබ ප්‍රේම කළ තැනැත්තා රෝගීව සිටියි." ලාසරසුත්, ඔහු ගේ සහෝදරියන් වන මරියා සහා මාර්තාත් ජේසු ගේ සමීප යහළුවන් ව සිටියා. මේ නිසා මේ කාන්තාවන් දෙදෙනා සිය සහෝදරයා හඳුන්වන්නේ "ජේසු ආදරය කරන තැනැත්තා" කියා යි.
මේ හැඳින්වීම අප සෑම කෙනෙකුට ම යොදන්නට පුළුවන්. අපි ජේසු සමිඳුන් ප්‍රේම කරන ජනතාව යි. විශ්වාසය ආරම්භ වන්නේ මෙය සත්‍ය බව පිළිගන්නා අවස්ථාවේ දී යි. එක්කෝ උන්වහන්සේ අපට ප්‍රේම කරන බව අප විශ්වාස කරනවා, නැති නම් විශ්වාස කරන්නේ නැහැ. අප මෙය විශ්වාස කරනවා නම්, උන්වහන්සේ කිසිදාකත් අපව අත්නොහරින බව, නිරන්තරයෙන් අපව ඔසවා ගෙන යන බව, අපට උන්වහන්සේගෙන් වෙන් වන්නට ඉඩ නොදෙන බව අප දන්නවා.

තමන්ට ලැබුණු මේ පණිවිඩයට ජේසු සමිඳුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේ දැයි ඊලඟට අවධානය යොමු කරන්න. උන්වහන්සේ ලාසරස් බලන්නට යාම ප්‍රමාද කරනවා. සිතා මතා ම ප්‍රමාද කරනවා. තනිකර ම මිනිස් මට්ටමින් සිතා බැලූ කල අපට මේ හැසිරීම ඉතා අමුතුයි.

ජේසු සිය යහළුවාට ඇත්තෙන් ම ප්‍රේම කළා නම්, ඔහු ගලවා ගන්නට උන්වහන්සේ වහාම දිව නොගියේ ඇයි? එහෙත් මෙහි ඊට වඩා වැඩි . යමක් තිබෙනවා. එනම් අපගේ ඇදහිල්ල අභියෝගයට ලක් වූ අවස්ථාවල අපට අප විසින් පිළිගත යුතුව පවතින අබිරහසයි. මෙය මම පැහැදිලි කරන්නම්.

මේ දිනවල අප පොර බදමින් සිටින දේවල් ගැන මොහොතක් සිතන්න. අප ජීවත් වන්නේ අනපේක්ෂිත තත්වයක බව බොහෝ දෙනෙකු පවසනවා අපට ඇසෙනවා. අප බොහෝ දෙනෙකු ගේ ජීවිත කාලය දෙස බැලූ විට එය ඇත්තයි. අපට තීරණ ගන්නට ආරම්භක ස්ථානයක්, උදාහරණයක් නැහැ. අපගේ දිශාව තීරණය කරන්නට හැකියවක් නැහැ. මෙහි පාලනය අපෙන් ගිලිහී ගොස් තිබෙනවා. මේ අර්බුදය කොතැනකට යන්නේ ද කියා අපට පෙනෙන්නේ නැහැ. එය හිතට මහා වදයක්. අපගේ අවශ්‍යතාවලට ක්ෂණික පිළිතුරු අප බලාපොරොත්තු වන නිසා ප්‍රමාදය අපේ සිතේ කාංසාව, නොසන්සුන්කම වැඩි කරනවා. අප අපගේ විශ්වාසය පවත්වාගෙන යන්නට උත්සාහ දරද්දී මේ සියල්ල අප මත මහා බරක් බවට පත් වෙනවා.

ජේසු ගේ ප්‍රමාදය මෙතැනදී අපගේ උදව්වට එන්නේ කෙසේ ද?

කෙටියෙන් කියන්නේ නම්, උන්වහන්සේ සිතා මතාම ප්‍රමාද වීම මතක් කරන්නේ  පාලනය පාලනය තිබෙන්නේ කවුරුන්  අතේ ද යන කාරණය යි (who is in control). මාර්තා සහ මරියා ගේ කැඳවීමට තමන් වහාම ප්‍රතිචාර නොදැක්වූයේ මන්දැයි ජේසු සමිඳුන් කල පැහැදිලි කිරීම වෙත යළිත් අවධානය යොමු කරන්න. "මේ රෝගය මරණයට හේතු නොවේ. ඒ වෙනුවට එය මනුෂ්‍ය පුත්‍රයා ඒ මගින් මහිමයට පමුණුවමින්  දෙවියන් වහන්සේ ගේ මහිමයට හේතු වේ."

ජේසු සමිඳුන් අපගේ ජීවිතය තුළ ක්‍රියා කරන විට,  එය සිදුවන්නේ සෑම විටම අපගේ යහපතට යි; එය නිශ්චිත යි. එපමණක් නොවේ. එය සිදුවන්නේ අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ගේ ගැලවීමේ සැලැස්මට අනුකූලව, ඒ මගින් දෙවියන් වහන්සේට මහිමය දීම සඳහා යි.

මෙහි අරුත නම්, ජේසු සමිඳුන් අපගේ ජීවිතයට ප්‍රේමයෙන් මැදිහත් වීම බොහෝ විට අපගේ බලාපොරොත්තු වලට අනුකූල නොවිය හැකියි. ඇත්ත වශයෙන් ම, සාමාන්‍යයෙන් එය එසේ නොවේ. උන්වහන්සේ අප මවිතයට පත් කරන දෙවියන් වහන්සේ යි. මේ නිසා ජේසු සමිඳුන් අපට අවශ්‍ය ආකාරයට සහ අපට අවශ්‍ය කාල පරාසය තුළ ක්‍රියා නොකරන්නේ නම්, එහි තේරුම උන්වහන්සේ අප වෙත අවධානය යොමු නොකරන බව හෝ අප ගැන උනන්දු නොවන බව හෝ නොවේ.
එහි අර්ථය අප නොව උන්වහන්සේ එහි පාලනය සියතට ගෙන ඇති බවයි  (he is in control). එහි අර්ථය, අප කරන්නේ කුමක් දැයි අප නොදන්නා නමුත් උන්වහන්සේ සහතික ලෙස ම දන්නා බවයි. අපට ඉතාම හොඳම දේ උන්වහන්සේ දන්නවා. ඒ අනුව, අප ගේ ස්වර්ගීය පියාණන් විසින් නිශ්චය කරන ආකාරයට සහ වෙලාවට උන්වහන්සේ ක්‍රියා කරනවා. 

ඉතින්, මේ සුපුවත් පණිවිඩය අප අපගේ ජීවිත යට යොදා ගන්නා  විට, ජේසු සමිඳුන් මාර්තාගෙන් විමසුවා සේ අපගෙනුත් ප්‍රශ්න  කිහිපයක් අසනවා. එතුමා ඒවා අසන්නේ පරීක්ෂණයක්, විභාගයක් මෙන් නොව වඩා ගැඹුරු විශ්වාසයකට අපට ආරාධනා කිරීම සඳහායි.

මේ අනුව, "ඔබ මෙය විශ්වාස කරනවා දැ"යි මාර්තාගෙන් ඇසූ ප්‍රශ්නය අපට යොමු වන්නේ, "මා ඔබට ප්‍රේම කරන බව, පාලනය මා අතේ තිබෙන බව, මේ දේවල් ගමන් කරන දිශාව මට පෙනෙන බව ඔබ විශ්වාස කරනවා ද;  ඔබ දැන්  මුහුණ දෙන තත්වයේ දී   ඔබව ආරක්ෂා කිරීමටත්, බලාපොරොත්තුවෙන් පිරි අනාගතයකට ඔබට මග පෙන්වීමටත් මා ක්‍රියා කරනවා. ඔබ මෙය විශ්වාස කරනවා ද?" 

අප දිව්‍ය සත්ප්‍රසාදය වෙත අපේ නෙත් යොමු කරන විට,මෙහි  සැබැවින්ම, ජීවමානවම වැඩසිටින, ලාසරස්ට මිනී වළෙන් පිටතට කතා කොට ඔහු ජීවිතයට යළි නැගිට වූ තැනැන්වහන්සේ අපට මුණගැසෙනවා. බිය නොවන  ලෙසත්, උන්වහන්සේ ගේ ප්‍රේමය සහ පියාණන් ගේ ප්‍රේමය කෙරෙහි පූර්ණ විශ්වාසයත්  නිසැක බලාපොරොත්තුවත් තබන්නට නිරන්තරෙන් අප කැඳවන  ජේසු සමිඳාණන්ව අපට මෙහි හමුවෙනවා. කිසිදු ලෝක තත්වයක් හෝ වාතාවරණයක්, කිසිදු කටුක හෝ දුෂ්කරකමක්, කිසිදු නපුරක් හෝ අයහපතක් සිය ප්‍රේමයට වඩා බලවත් නොවන බවත් වෙනස් කළ හැකි සිය බලයට ඉහලින් නොයන බවත් ස්වකීය උත්ථානයෙන් පැහැදිලිව පෙන්වා දෙන කුරුසිපත් වූ සහ යළි උත්ථාන වූ අපගේ ගැළවුම් කරුවාණන් වෙතටයි අප මෙහි පැමිණෙන්නේ.

භීතියේ සොහොන් ගෙයින් පිටතට අපට කතා කරන ලෙසත්,කාන්සාවේ සහ නොසන්සුන්කමේ බැමි ලිහා දමා ඇදැහිල්ලේ ජීවයෙන් අප පුරවන ලෙසත්  අපි ජේසු සමිඳුන්ගෙන් ඉල්ලමු. එසේ වූ විට විශ්වාසයෙන්-තොර ඝෝෂාව වෙතින් අපේ කන් ඉවත් කොට උන්වහන්සේ ගේ ප්‍රේමයටත් කිසිදා වෙනස් නොවන සංරක්ෂණයටත් අප  මුළුමනින්ම අප පවරා දීමට අපට හැකි වනු ඇති. ඒ අනුව  අප වෙනුවෙන්  උන්වහන්සේ අභිමතය වන සාමය සහ ආනන්දය දැනගැනීමට අපට හැකි වනු ඇති. "   




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු