"අනුකම්පාව දෙවියන් වහන්සේ ගේ භාෂාව යි" - සාන්තා මාර්තා දිව්‍ය පූජාවේ මෙනෙහි කිරීම- "දයානුකම්පාව දෙවියන් වහන්සේ ගේ දුර්වලකමයි"

"Compassion is the language of God" - meditation at Casa Santa Martha 


(2019 සැප්තැම්බර් 21)
දෙවියන් වහන්සේ ගේ භාෂාව දයානුකම්පාව වන අතර මිනිසා ගේ භාෂාව උදාසීනත්වය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එබැවින් සිය හදවත් උදාසීනත්වයෙන් වසා තබා නොගෙන ඒවා දයානුකම්පාවට විවෘත කරන්නැයි එතුමා අනුශාසනා කරයි.

සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කලේ සැප්තැම්බර් 17 අඟහරුවාදා සාන්ත මාර්තා තානායම් දෙව්මැදුරේ පැවැති උදාසන දිව්‍ය පූජාවේ මෙනෙහි කිරීම කරමිනි. එතුමා මෙම මෙනෙහි කිරීමට පාදක කර ගත්තේ එදින දිව්‍ය පූජාවේ සුපුවතේ එන නායින්  නුවර වැන්දඹුව ගේ තරුණ පුත්‍රයා මරණයෙන් නගිටවීමේ සිද්ධිය අඟහරුවාදා සුපුවතට ඇතුළත් වී තිබිණි.

ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් ද සමග නායින් නුවර දොරටුවට අසළට ලඟා වන විට තරුණයකු ගේ අවමඟුල් පෙරහරක් මුණගැසුනේය. එම තරුණයා සිය මවගේ එකම දරුවා බැවින් ඔහු ගේ වියෝවෙන් වේදනාවට පත් මව හඬමින් සිරුර පසු පස යමින් සිටියේය. ඇය දැක "දයානුකම්පාවෙන් සලිත වන" ජේසු සමිඳුන් එම තරුණයා මරණයෙන් නැගිටුවන ආකාරය සුවිශේෂක ලූක් තුමා මෙම කොටසේ විස්තර කරයි. (ලූක් 7:11-17)

"සුවිශේෂක වරයා මේ පාඨයේ කියන්නේ ජේසු සමිඳුන් හුදෙක් මෙම මවට 'අනුකම්පා කල බව' නොවෙයි. ලූක් තුමා සඳහන් කරන්නේ ජේසු සමිඳුන් 'දයානුකම්පාවෙන් සලිත වූ'  බවයි (moved with compassion). එහි අදහස උන්වහන්සේ එම එම හැඟීමෙන් සම්පූර්ණයෙන්  පිරී ඉතිරී ගිය බවයි" යයි මෙම සිද්ධිය ගෙනහැර පාමින් සුදොතුම් පියතුමා කීවේය.

හදවතේ කාචය

ජේසු සමිඳුන් එම වැන්දඹු ස්ත්‍රිය දෙස බැලුවේ "දයානුකම්පාවේ කාචයෙන්" යැයි සුදොතුම් පියතුමා කීවේය.
"දයානුකම්පාව සත්‍යය දකින්නට ඔබට ඉඩ සලසනවා. දයානුකම්පාව හදවතේ කාචය බඳුයි. එය අපට  සැබෑ මානයන් දැක තේරුම් ගන්නට අප යොමු කරයි. ජේසු සමිඳුන් දයානුකම්පාවෙන් සලිත වූ ආකාරය සුපුවත පුරා දිගින් දිගටම සඳහන් වෙයි. එසේම දයානුකම්පාව දෙවියන් වහන්සේ ගේ භාෂාව යි" යි එතුමා කියා සිටියේය.

ක්‍රිස්තුන් වහන්සේ ගේ ආගමනයට පෙර ද ශුද්ධ වූ බයිබලය තුළ දයානුකම්පාව දක්නට ලැබෙන බව එතුමා පෙන්වා දුන්නේය. "මගේ ජනතාව ගේ දුක්වේදනා මම දුටුවෙමි" යි දෙවියන් වහන්සේ මෝසස්තුමාට පැවසු සේක. මෙහි අරුත උන්වහන්සේ දයානුකම්පාවෙන් සලිත වූ බවයි. සිය සෙනගට විමුක්තිය ලබා දීමට දෙවියන් වහන්සේ මෝසස් තුමන් යවන්නේ එම දයානුකම්පාව නිසා ය.

"අපගේ දෙවියන් වහන්සේ අනුකම්පාවේ  දෙවියන් වහන්සේ ය. අපට මෙසේ කියන්නට පුළුවන්: දයානුකම්පාව දෙවියන් වහන්සේ ගේ දුර්වලකමයි; එසේම උන්වහන්සේ ගේ ශක්තිය වන්නේ ද දයානුකම්පාව යි," යි එතුමා අවධාරණය කළේය.

දයානුකම්පාව යනු සිත තුළ හුදෙක් අනුකම්පා සහගත හැඟීමක් ඇති වීම නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. දයානුකම්පාවෙන් හද සලිත වූ විට එය සෙසු අයගේ ගැටළු සහ ප්‍රශ්න විසඳීමට අප යොමු කළ යුතු ය. එනම් දයානුකම්පාව දයා කරුණාවේ ක්‍රියා වෙතට අප  ක්‍රියාකාරී කරයි.

දයානුකම්පාවෙන් සලිත වූ සමිඳුන් ගේ සිත 

මේ පිලිබඳ උදාහරණයක් පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්ය තුළ අපට හමුවන බව සුදොතුම් පියතුමා විස්තර කළේය. තමන් ගේ  දේශනාවලට සවන් දීමට පැමිණි සෙනග ගේ කුසගිනි නිවන්නට ජේසු සමිඳුන්ට අවශ්‍ය වුව ද ශ්‍රාවකයනට අවශ්‍ය වූයේ ආහාර මිල දී ගැනීම සඳහා ඔවුන් නගරයට යැවීමට ය. "ශ්‍රාවකයන් බුද්ධිමත්" සුදොතුම් පියතුමා කීවේය. "ඒ අවස්ථාවේ සමිඳුන් කෝපයට පත්වන්නට ඇතිය කියා මා විශ්වාස කරනවා. ශ්‍රාවකයන් ගේ ප්‍රතිචාරය ඇසුණු විගස 'ඔබ ඔවුනට කන්නට දෙන්න' කියා එතුමා කීවේ ඒ නිසයි."

"සමිඳුන් ගේ සිත දයානුකම්පාවෙන් සලිත වුනා. මන්ද එතුමා එම ජනතාව දුටුවේ එඬේරෙකු  නැති බැටළු රැලක් ලෙසයි. ජේසු සමිඳුන් ගේ දයානුකම්පාවේ ක්‍රියාව සුවිශේෂය එක අතකින් අපට විස්තර කරනවා. අනෙක් අතින් සුවිශේෂය අපට පෙන්වා දෙන්නේ උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් ගේ ආත්මාර්ථකාමී ආකල්පය යි. ඔවුන්   සමගි සම්මුතියකින් තොරව විසඳුමක් සොයනවා. ඔවුන් සිය දෑත් කිළිටි කරගැනීමට අකමැති නිසා එම ජනතාවට සිය ගැටලුවත් සමග සිටින්නට ඉඩ හරිනවා."

දෙවියන් වහන්සේ ගේ දයානුකම්පාවට එරෙහිව නිරන්තරයෙන් ම නැගී සිටින්නේ මිනිසා ගේ මෙම අලස කම සහ උදාසීනකම බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"දෙවියන් වහන්සේ ගේ භාෂාව දයානුකම්පාව නම්, නිරතුරුවම මිනිසා ගේ භාෂාව උදාසීනකම යි."

"අපි අපෙන් ම මේ ප්‍රශ්නය අසමු. 'සෙසු තැනැත්තන් ගේ දුක් අමාරුකමක්, ගැටළුවක් දුටු විට කෙතරම් වාරයක් අප ඉවත බලා ගන්නවා ද?' එසේ කිරීමෙන් අප කරන්නේ දයානුකම්පාවට දොරගුළු දමා වසා දැමීමයි. ඔබගේ හෘදය සාක්ෂිය පරීක්ෂා කර මේ ප්‍රශ්නය ඔබෙන් අසන්න. මා දයානුකම්පාවේ මාවතේ ගෙනයන්නට ශුද්ධාත්මයාණන්ට මා ඉඩ හරිනවා ද?'"

යුක්තිය ක්‍රියාවට නැංවීම 

සිය තුරුණු දරුවා වියෝ වූ සොවින් හඬමින් සිටි මවට 'ස්ත්‍රිය, නොහඬන්න' යි ජේසු සමිඳුන් වදාළ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

"ජේසු සමිඳුන් සිය දයානුකම්පාවේ වැළඳගැනීමෙන් මේ තරුණයා ඔහු ගේ  අම්මාට ආපසු  ලබා දුන්නා. සුවිශේෂකවරයා මෙහි යොදා ගන්නේ 'ආපසු දුන්නා' (“to return”) යන පදය යි. මෙන් අදහස් කෙරෙන්නේ යුක්තියේ ක්‍රියාවක් ය යන්නයි."

"දයානුකම්පාව අපව සැබෑ යුක්තියේ මාර්ගයේ රැගෙන යනවා. අප නිතරම යමක් එහි නියම අයිතිකරු වෙත ආපසු දිය යුතු යි. මේ ක්‍රියාව ආත්මාර්ථකාමයෙන්, උදාසීනත්වයෙන් සහ අපවම වසා ගැනීමෙන් අපව ගලවනවා," යි එතුමා අවධාරණය කළේය.



Comments