"නැතිවූවන් හා පීඩිත වූවන් වෙනුවෙන් කැපවූ සභාවක්; සමගි සන්ධානය ආත්මීය වූ සභාවක්": ශු. ජුසේ වාස් පියතුමන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතර විශ්ලේෂනාත්මක සංසන්දනයක්

"A Church for the Lost and the Least; A Church for Reconciliation"- An analytical comparison of the Ministries of St. Joseph Vaz and Pope Francis


(කර්තෘ සටහන: මෙය "2017 ජුසේ වාස් වසර" පරිසමාප්තියට පත් කරමින් 2017 ඔක්තෝබර අවසන පවත්වන ලද "ජාතික ජුසේ වාස් දිනය" නිමිත්තෙන් 2017 ඔක්තෝබර 29 දින "වතිකාන සුලඟේ" පළවුණු ලිපියයි. 2019 ජනවාරි 16ශු. ජුසේ වාස් පිය මංගල්‍යය නිමිත්තෙන් මෙය යළිත් පළ කෙරේ.

(2019 අප්‍රේල් 15)
ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ ශු. ජුසේ වාස් පිය වසර ලෙසය. නොවැම්බර 4 වැනිදා ජාතික ජුසේ වාස් පිය දිනය ලෙස ද නම් කර තිබේ.

කතෝලික පාරිභාෂිත වදන් භාවිතය අනුව "ශ්‍රී ලංකාවේ අපොස්තුළුවරයා" යන විරුදය අනිවාර්යයෙන් ම ලැබිය යුතු මෙම ගෝවාන පියතුමාට ලක්දිව කතෝලිකයෝ සම්පූර්ණයෙන් ම ණය  ගැතිය.  දැඩි ඕලන්ද පීඩනය හේතුවෙන් ලක්දිව කතෝලිකයන් නිදහසේ සිය විශ්වාසය ජීවත් කිරීමට නොහැකිව, සැඟවී බියෙන් සිටින බව දැනගත් මෙම පියතුමා  ඔවුනට සරණ වීම සිය ජීවිත අභිලාෂයත් දේව මෙහෙවරත් කරගත්තේය.  මහත් පරිශ්‍රමයකින් සහ කැපකිරීමකින් පසුව කුලී කරුවකු ගේ වෙස්ගෙන ලක්දිවට පැමිණි එතුමා මන්නාරම, මහනුවර සහ කොළඹ අතර ගමින් ගම සැඟවී සිටි කතෝලිකයන්  සොයා යමින්, ඔවුන් පුබුදුවා, දිරිමත් කොට, ආගමික වත් පිළිවෙත් පවත්වා ලක්දිව කතෝලික සභාවට සවිමත් පදනමක් දමමින් සභා පුනර්ජීවනයක් ඇති කළේය.

මේ සියල්ල එතුමනට කල හැකි වූයේ එතුමා තුල වූ  ශුද්ධවන්ත භාවය නිසා බව ජුසේ වාස් ජීවිත කතාව හදාරන විට පැහැදිලි  වේ.

එහෙත් එතරම් ශුද්ධවන්ත භාවයකින් පිරිපුන් තැනැත්තෙකු කතෝලික සභාවේ ශුද්ධවන්ත නාමාවලියට ඇතුළු කිරීමට මෙතරම් පමා වූයේ මන්දැයි කෙනෙකුට සිතෙන වාර අනන්තය. එතුමා මහනුවර දී සවර්ගස්ථ වූයේ 1711 ජනවාරි 16 වනදා ය. එතුමා ශුද්ධවරයකු ලෙස ප්‍රකාශය පත් කිරීමට වසර 300කට වැඩි කාලයක්  ගත  වී තිබේ.

කතෝලික සභාවේ ශාන්තුවරයන් පිලිබඳ සසුන් නීති සහ සම්ප්‍රදායන් අනුව එතුමා ශුද්ධවරයට පත්කිරීම ආසන්නයට ම පැමිණ තිබිය දී හුදෙක් එක් කාදිනල් තුමෙකු ගේ පමණක් ඡන්දය විරුද්ධව ප්‍රකාශ වීම නිසා එය අසාර්ථක වූ අවස්ථා තිබූ බව ඒ පිළිබඳව පවතින වාර්තා කියයි. සාන්තුවරයකු පත්කිරීමේ දී පාප් වහන්සේ සතුව පවතින අභිමතානුසාරී බලය භාවිත කරමින් ජුසේ වාස් පියතුමා ශුද්ධවරයට එසවීමට ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ වරක් සුදානමින් සිටියත්, ශුද්ධවර කෘත්‍යයන් පිලිබඳ වතිකාන පර්ෂදයේ  එක් කාදිනල් හිමි නමක ගේ විරුද්ධත්වය නිසා ඊට බාධා විය.

අවසානයේ ශුධවරකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය දෙවැනි ප්‍රාතිහාර්යයක අවශ්‍යතාව මගහැර,  සිය අභිමතානුසාරී සුදොතුම් පිය බලය භාවිත කරමින් එතුමන් ශුද්ධවරයට පත් කිරීමේ අනුමැතිය දානය කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි.

ජුසේ වාස් පියතුමන් ශුද්ධවරයට පත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පිය යුගය තෙක් කල් ගියේ ඇයි ? එය නොසැලකිය යුතු තරම් වන කාරණයක් ද? නැතහොත් කතෝලික විශ්වාසය අනුව මෙම පියවර දේව අභිමතය අනුව නිසි කාලයේ දී සිදුවූවක් ලෙස ඇදහිල්ලේ නෙතින් දකින්නේ නම්, ඒ මගින්  ශ්‍රී ලාංකික කතෝලික සභාවට - ගිහි,පැවිදි, පූජක,රදගුරු වරුගෙන් සමන් විත සමස්ත සභාවට- දෙන පණිවිඩයක් තිබේ ද?

ජුසේ වාස් පියතුමා ගේත් එතුමන් ශුද්ධවරයකු ලෙස ප්‍රකාශයට පත් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේත් ජීවිත ඉතා සුපරීක්ෂාකාරීව විශ්ලේෂණය කරමින් සංසන්දනය කල විට ඉතා පැහැදිලිව පෙනෙන කාරණක්  තිබේ. එනම්  මේ පුදැදුරු පුතුන් දෙදෙනාගේම ජීවිත දැක්ම, මෙහෙවර, ජීවිත වටිනාකම් සහ ජීවිත ආදර්ශ සමාන බවයි.

මේ නිසා මෙම ශු. ජුසේ වාස් පිය වසරේ දී  මෙම සමානතාත් ඒවායේ ගැබ්ව ඇති පණිවිඩයත් අධ්‍යයනය කර ශ්‍රී ලාංකේය කතෝලික දිවි පෙවෙතට ඒවා අනුගත කරගැනීමට  ලාකේය කතෝලිකයනට අභියෝග කෙරේ.

වරක් සිය ජීවිතය මගින් ලක්දිවට අභියෝග කල ජුසේ වාස් පියතුමා දැන් තමන් ශුද්ධවරයට පත් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ම තෝරාගනිමින් ශ්‍රී ලාංකේය කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණයක්, පුනර්ජීවනයක් ඇති කරන ලෙස සභාවට අභියෝග කරයි.

ජුසේ වාස් පියතුමන් සහ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමන් අතර ඇති මෙම සමාන ලක්ෂණ කවරේද?

කාරණා හතරක් ගැන පමණක් මෙහි දී සාකච්ඡා කරමු.

'දුප්පත්' (අල්පේච්ඡ)  සභාවක් (A Poor Church)

'දුප්පත්' හෙවත් 'අල්පේච්ඡ' සභාවක්  ඇති කල යුතුයි, එය ඇති කල හැකියි යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බොහෝ රටවල කතෝලිකයන් හා රදගුරු මණ්ඩල හමුවන අවස්ථාවල ප්‍රකාශ කරන්නකි. මෙය වූ කලී පාරිභෝගිකවාදී, නාස්තිකාර නූතන සමාජ ආර්ථික ජීවන ධාරාව තුළ ගඟ උඩහට පිහිනන්නට කරන ආරාධනයක් පමණක් නොව අභියෝගයකි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආජන්ටිනාවේ බුවනෝස් අයරෙස් හි කාදිනල් අගරදගුරු තුමන් ලෙස සිටියදීත්, දැන් පාප් වහන්සේ ලෙසත් මෙම අල්පේච්ඡ ජීවිතයට සාක්ෂි දරයි. ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, යාන වාහන  වලින්  පටන් ගෙනඑතුමන් ගේ සමස්ත ජීවිත රටාව තුළින්ම ප්‍රදර්ශනය වන්නේ මෙම දුප්පත් කමයි. "පේදුරු තුමාට බැංකු ගිණුමක් තිබුනේ නැහැ" යි වරක් එතුමා කියා සිටියේ සභාව ලෞකික වස්තුවලට ඇති ආලයෙන් ඉවත් ව මුළුමනින් ම දිව්‍ය සංරක්ෂණය මත යැපීම වෙත යොමු විය යුතු බව පහදා දෙමිනි.

අනෙක් අතින්, ජුසේ වාස්  පියතුමා නව යොවුන් වියේ දී ජේසු සමිඳුනට "බැඳුම්කර ලියුමක්" ලියුවේය. මේ මගින් එතුමා කියා සිටියේ සිය ජීවිතය ජේසු සමිඳුන්ට "පවරා දෙන" බවය.එතුමා "සිය අවසන් හුස්ම තෙක් එම බැඳුම්කරයට විශ්වාස පක්ෂව ජීවත් වූ" බව ගෝවේ "Herald" නමැති ප්‍රකාශනයට 2015 ජනවාරි 16 වනදා ලිපියක්  ලියමින් ගෝවේ රචෝල් හි පේත්‍රියාකිය දෙව්සත්හලේ කථිකාචාර්ය වික්ටර් ෆෙරාරෝ පියතුමා කියයි. ජුසේ වාස් පියතුමා මෙලෙස  ලෞකික වස්තු සම්පත් හා සුඛ විහරණ වලින් වියුක්ත වීම නොහොත් අබද්ධ වීම ලෝකයෙන් පලා යාමක් නොවන බව ෆෙරාරෝ පියතුමා පෙන්වා දෙයි.  ඊට ප්‍රතිවිද්ධව එය දෙවියන් වහන්සේ ගේ සංරක්ෂණය කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා තමන් සේවාව කරන්නට පැමිණි ජනතාවගේ දුක් වේදනා සහ ජීවිත අරගලය තුළ තමන් මුළුමනින් ම ගිල්වා ගැනීමක් බව ෆෙරාරෝ පියතුමා පැහැදිලි කරයි. . මෙය ජුසේ වාස් පියතුමා ගේ ජීවිතයෙන් ප්‍රදර්ශනය වන්නේ කෙසේද?



"හිස් දෙපතුල්". කේ. ප්‍රැන්සිස් ශුරීන් ජුසේ  වාස් චරිතය අලලා ලියූ නවකතාව නම් කලේ එසේය. එම වචන දෙක ජුසේ වාස් චරිතයේ තිබූ මෙම සාධු ගුණය මොනවට පැහැදිලි කරයි. ජුසේ වාස් පියතුමාට තිබුනේ එක ලෝගුවක් පමණි. එය ද ජීවිතය පුරා අන්ඩ දමා මැසූ එකක් විය. එතුමාට ලෝගුවක් අවශ්‍ය වුනේ දිව්‍ය පූජාව අවස්ථාවේ පමණි. මන්ද එතුමා බොහෝ විට ඔබ මොබ ගියේ කම්කරුවකු, ඩෝබි කෙනෙකු, බක්කරේ කෙනෙකු, කුලී කාරයකු, ව්‍යාපාරිකයකු පමණක් නොව විටෙක ධීවර කාන්තාවක ලෙස ද වෙස්වලාගෙනය. එතුමා සතුව කිසිවිටෙකත් මුදල් තිබුනේ නැත.  සිය ජනතාව තුළ මුණගැසෙන දේව සංරක්ෂණය තුළ එතුමා නිරන්තරයෙන් යැපුණේය. පාවහන් පැළඳුවේ නැත. මන්නාරමේ සිට නුවරටත්, එතැන් සිට කොළඹටත් යලි හලාවත පුත්තලම හරහා යාපනය හා මන්නාරමටත් ගියේ හිස් දෙපතුල් වලින්, පා ගමනිනි.

"මනුෂ්‍ය පුත්‍රයාට හිස තබා ගැනීමට ගලක් වත් නැත"යැයි තමා අනුගාමී වන්නට ඉල්ලා සිටි පුද්ගලයෙකුට සිය 'පොහොසත්කම'  ගැන කියා දෙමින් ජේසු සමිඳාණෝ පැවසූහ. ජුසේ වාස පියතුමා එම ජේසු පරපුරේ සැබෑ පුදැදුරු හිමි නමකි.

තමන් වෙනුවෙන් වසරක් නම් කර තමන් ගැන සිහිපත් කරන ශ්‍රී ලාංකේය කතෝලික සභාවට ජුසේ වාස් පියතුමා තම ජීවිතයෙනුත් තමා ශුද්ධවරයකු ලෙස ප්‍රකාශයට පත් කල ප්‍රැන්සිස් සුදොතුම් පිය ජීවිතාදර්ශයෙනුත් දෙන අභියෝගය මෙයයි: "සුඛ විහරණ සොයන, පාරිභෝගිකවාදී, නාස්තිකාර, තන්හාවෙන් අන්ධ වූ නූතන ලෝකයට අභියෝග කරමින්, උඩහට පිහිනන්න." එකිනෙකා පරයමින් ලෞකිකත්වය  හා පාරිභෝගිකවාදය තරගකාරීව වැළඳගන්නන්ට පොරබදන ලෝකය තුළ එම  ප්‍රවාහයටම නතු වෙමින් තමන් ද තරගකාරීව සුඛ විහරණ ම සොයන තරුණ පුදැදුරු වරුනට මේ ශුද්ධවන්ත පියතුමා අභියෝග කරයි.

ජුසේ වාස් සහ ප්‍රැන්සිස් මොඩලයේ පූජක පුතුන් ලක්දිව ජීවත් නොවූවා නොවේ. හලාවත ප්‍රථම රදගුරු එඩ්මන්ඩ් පීරිස් හිමිපාණෝ ඊට එක නිදසුනකි. එතුමන් සිය ජීවිතයේ  සැඳෑ සමය ගත කල ගම්පහ සිරිකුරුස විදුහලේ පුංචි කුටියේ දී  ජාතික දෙව්සත්හලේ සඟරාවක් වෙනුවෙන් එතුමන් සමග සම්මුඛ සාකච්ඡාවක  යෙදීමේ දුර්ලභ භාග්‍යය මෙම ලියුම්කරුට ලැබුනේය. රදගුරු තුමා ලෙස හලාවත පදවියේ මීසම් බැහැදුටු හැටි එතුමා මට මතක් කළේය. මීසම් වල කටුමැටි පොළොවේ පැදුරක් එලාගෙන නිදාගෙන සිටියදී එක වැලට මාපිලුන් එහි බාල්ක හා පරාල දිගේ බඩගාමින් යන අයුරු තමා බලා සිටි  ආකාරය එතුමා විස්තර කලේ මගේ සිරුරේ ද ලොමු දැහැ  ගන්වමිනි. ශ්‍රී ලංකාවේ කිසිදු කිතුනු පුදැදුරු වරයකුට සර්ප දෂ්ට කිරීමක් සිදු නොවන ලෙස ජුසේ වාස් පියතුමා යාච්ඥා කර තිබූ බව එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමා දැන සිටි බැවින් එතුමා තුළ බියක් තිබුනේ නැත.

ආදර්ශවත් සහ අභියෝගාත්මක ලෙස දුප්පත් හෙවත්  අල්පේච්ඡ සභාවක් වීම ගැන කතා නොකර  ශු. ජුසේ වාස් පියතුමන් සැමරීම අර්ථ ශුන්‍ය ක්‍රියාවකි. එබැවින් ශ්‍රී ලංකාවේ නුතන කතෝලික සභාව කෙතරම් දුරට ශු ජුසේ වාස් පියතුමා ගේ "දුප්පත් සභාවක්" යන ජීවිතාදර්ශය තුළ ජීවත් වන්නේ ද යන්න මෙනෙහි කර ආපසු හැරීමට මේ වසරේ ඉතිරි කාලය හෝ ප්‍රයෝජනයට ගත යුතුව තිබේ.

දුප්පතුන් සඳහා වන සභාවක් (A Church for the Poor)

මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තවත් ඉලක්කයකි; ප්‍රයත්නයකි. මෙය ශු. ජුසේ වාස් පියතුමාට අදාළ වන්නේ කෙසේද?

කථිකාචාර්ය වික්ටර් ෆෙරාරෝ පියතුමා ශු. ජුසේ වාස් පියතුමා හඳුන්වන්නේ "අතිශයින්ම සුළු වූවන්, අන්තිමයන් සහ නැති වූවන් නොහොත් මුලා වූවන් ගේ සාන්තුවරයා" ලෙසය. (A Saint for the Least, Last and the Lost).

ගෝවේ සිට සිය සේවකයාත් එකම මිතුරාත් වූ ජෝන් ද සමග දුර කතර ගෙවාගෙන එතුමා ලක්දිවට පැමිණියේ මෙම තුන් කොට්ඨාසය සොයා ගෙනය. ඕලන්ද පාලනයේ වදහිංසා වලින් බියටත් පීඩනයටත් පත්ව, සැඟවී එහෙත් විශ්වාසයේ පහන නොනිවී තබාගත් මේ කතෝලික ජන කොටස සමාජයේ  අතිශයින් ම සුළු වුවෝ වූහ. සැඟවී සිටීම  නිසා ඔවුහු සභා මාතාවට අහිමි පිරිසක් වූහ. ලක්දිවට පැමිණි එතුමාට සේවය කරන්නට සිදු වූයේ  සමාජයේ ප්‍රත්‍යන්තයේ නොහොත් පරිධියේ සිටි ජනයාටය. එතුමාට "සුව පහසු කලාපයක්" (Comfort Zone) තිබුනේ නැත. එතුමා මහ පාරට බැස සමිඳුන් ගේ බැටළුවන් සොයා දොරින් දොර, ගමින් ගම පා ගමනින් ගියේය.

ජුසේ වාස් පියතුමාට ලක්දිව උතුරත්, කන්ද උඩ  රටත්,  කොළඹත් යන ත්‍රිකෝණයට ඇතුලත් වූ ප්‍රදේශය "යුද බිමේ රෝහලක්" (A Field Hospital) විය. එතුමන් කලේ මේ ප්‍රදේශවල සිටි කතෝලික ජනයාගේ දහම් පවස නිවීම පමණක් නොවේ; එම ජනතාවගේ දුක සැප සොයා බැලුවේය. සිත සනහන වදනින් ඔවුන් ගේ දුක් ගින්දර නිවාලූයේය. සිය ගෙදර තිබුණු කිසිදා හිස් නොවූ සහල් මල්ලෙන් දුප්පතුන් ගේ කුසගින්දර  නිවාලූයේය. එතුමා විටෙක හෙද සහෝදරයකුද වෛද්‍යවරයෙකු ද සාත්තුකාරයෙකු ද මිනීවල් හාරන්නකුද විය. 1697 -1698 සමයේ කන්ද උඩරට රාජධානිය පුරා පැතිර ගිය වසූරිය වසංගතයේදී එතුමා ගෙයින් ගෙට යමින් රෝගීනට සියතින්ම සාත්තු කළ ආකාරයත් එයින් මිය ගිය පුද්ගලයන් ගේ සිරුරු සියතින්ම වල් හාරා භූමදාන කල ආකාරයත් ඊට නිදසුන් වේ. මෙවැනි දයාවේ ක්‍රියා වලින් එතුමා සිය දෑත් "අපවිත්‍ර" කරගත්තේ ය. කතෝලික ඉගැන්වීම අනුව එතුමා සිය බැටළුවන් වෙනුවෙන් කැප වූ සැබෑ එඬේරෙක්  විය. මෙම 'එඬේරා තුළින් හැමුවේ බැටළුවන් ගේ සුවඳ ය". (A Shepherd with the Smell of the Sheep).

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී 

ප්‍රත්‍යන්ත, සුව පහසු කලාප, දෑත් අපවිත්‍ර කරගන්න, සුව පහසු කලාප වලින් ඉවත්ව මහ පාරට බැස නැතිවූ බැටළුවන් සොයා යන්න, සභාව යුද බිමේ රෝහලක්, එඬේරුන් වෙතින් හැමිය යුත්තේ බැටළුවන් ගේ සුවඳ ය......මේ ප්‍රකාශ ඔබේ දෙසවනට සුපුරුදු ද?

ඔබ නිවැරදිය. මේ ජුසේ වාස් පියතුමා ගේ ස්වර්ගස්ථ වීමෙන් වසර 304 කට පසු එතුමන් ශුද්ධවරයට එසවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වචනය. දැක්මය. මෙහෙවරය. ජීවිත ගමනය. එතුමා ද  සමීප වන්නේ දුප්පතුන්, පීඩිතයන්, මානව හිමිකම් අහිමිවූවන් හා පර්යන්තවල වෙසෙන්නන් ඇතුළු "අතිශයින්ම සුළු වූවන්, අන්තිමයන් සහ නැති වූවන් නොහොත් මුලා වූවන්" වෙතය. සභාවේ ප්‍රත්‍යන්ත වෙත යොමු වී සියලු  කොටස්  අන්තර්ග්‍රහණය කරගත් සභාවක් ගොඩනැගීම එතුමා ගේ ප්‍රයත්නය වී තිබේ. "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අතිශයින්ම සුළු වූවන්, අන්තිමයන් සහ නැති වූවන් නොහොත් මුලා වූවන් ගේ සාන්තුවරයා  (A Saint for the Least, Last and the Lost) යැයි" අනාගතයේ සභා ඉතිහාසඥයකු පැවසුවහොත් එය නියත ලෙසම නිවැරදි වනු ඇත. 

එබැවින්  ශු. ජුසේ වාස් පිය වසර එතුමනට ගෞරවයක් වන්නේ සභාව  අල්පේච්ඡ බව තුළ  දුප්පතුන් හා පර්යන්ත වෙත යොමුවන සභාවක් බවට පත්වීමෙනි. සභාව 'යුද බිමේ රෝහලක්' බවට පත් කිරීමෙනි. ජුසේ වාස් පියතුමන් වෙතින් ප්‍රකට වූ මෙම ගුණ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද යලිත් ජීව ගන්වමින් සිටියි.  එම පණිවිඩය ලක්දිව කතෝලික සභාව කෙතරම් දුරට ජීවත් කරන්නේ ද?


දෙවන වතිකාන  කතිකා නිගමන ක්‍රියාත්මක කිරීමට කැපවීම 

ජුසේ වාස් පියතුමා 'දෙවන වතිකාන කතිකාව' ලක්දිව තුළ ක්‍රියාත්මක කළ මහා එඬේරා බව ආඩම්බරයෙන් ප්‍රකාශ කල යුතුය.

දෙවන වතිකාන කතිකාවට වසර 250කට පෙර ජීවත් වූ ජුසේ වාස් පියතුමා ගැන කරන මෙම ප්‍රකාශය ගැන ඇතැමෙකු මෙම ලේඛකයාට සරදම්  කරනු ඇත. එහෙත් සත්‍යය එයය. දෙවන වතිකාන කතිකාවෙන් ඉස්මතු වූ සභා නවෝදය ගැන විශ්ව සභාව  සිතන්නට වසර 250 කට පෙර වාස් පියතුමා නිර්මාණශීලීව එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර තුබුනේය. පැහැදිලි උදාහරණ දෙකක් පමණක් ඉදිරිපත් කරමි.

දෙවන වතිකාන කතිකාවේදී සාකච්ඡා කර අවධාරණය කළ එක් ප්‍රධාන කාරණයක් වන්නේ සභාව තුළ ගිහියාගේ කාර්යභාරයයි. ගිහියා නරඹන්නකු හෝ දාසයකු හෝ වහලකු නොව රදගුරු, පූජක ,පැවිදි කොටස් වලට සමාන ක්‍රියාකාරිකයකු බව එම කතිකාවේ ගිහියා පිලිබඳ ලේඛනය අවධාරණය කරයි.

ලක්දිව කතෝලික පුබුදුවක් ඇතිකළ ජුසේ වාස් පුදැදුරු නම මෙරට ගිහියා සභාවේ ක්‍රියාකාරී නායකයෙකු බවට පත් කෙළේය. පියතුමා ඇති විටත් නැති විටත් ගමේ  හෝ කොට්ඨාසයේ දහම් සේවා කටයුතුවලට නායකත්වය දීම සඳහා එතුමා අන්නාවි වරුන් හා මුහුප්පු වරුන් වැනි නායකයන් පත් කෙළේය. සක්‍රිස්තිවරුනට දෙව්මැදුරේ කටයුතු භාර විය. මේ නායකයෝ  ආදර්ශවත් ජීවිත ගත කරමින් ද ඇතැම් විට ගමේ කිතුනුවන් ගේ දුක් කරදර වලදී ඔවුන් සනසා දිරිමත් කරමින් ද යහපත් දහම් සේවා නායකත්වයක් දුන්හ. වර්තමානය වන විට ඇතැම් පදවි හෝ මීසම් වල ගිහියා 'පෙරමුණට' ගන්නේ එක්කෝ   අවමංගල මෙහෙය වලට (මිය  ගිය අය භූමදාන කිරීමේ මෙහෙය වලට) සහභාගී වීමෙන් 'කර ඇර' සිටීමට  පූජකවරුනට අවශ්‍ය වූ විටය. නැති නම් "මුදල් හොයන්නට" අවශ්‍ය වූ විටය. මීසම් දහම් සේවා සභාව නොහොත් එඬේරික සේවා සභාව (Parish Pastoral Council)  මේ වන විට "දායක සභාව" ලෙස කිතුනු නොවන නමක් ගෙන ඇත්තේ එවැනි මීසම් වලය. සෙසු අවස්ථාවල මීසමේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය සම්පූර්ණයෙන් ම භාවිත කරන්නේ පියතුමාය. ශු. ජුසේ වාස් පියතුමා ගෙන් වසර 300කට පසුව සභාව ඇත්තේ එතනය.

ජුසේ වාස් පියතුමා ගේ තවත් කැපී පෙනෙන "දෙවන වතිකාන කතිකා" මෙහෙවරක් වන්නේ දේශීය ලක්ෂණ වලින් යුත් සභාවක් ගොඩනැගීමයි. විශ්ව  සභාව 'කුලවැද්දීම' යන වදන භාවිත කරන්නට පෙර එතුමා සුබ අස්න ලක්දිව තුළ කුලවැද්දුවේය. ජාකෝම් ගොන්සාල්වෙස් සාහිත්‍යධර පියතුමා ගේ ද සහයෙන් සිංහල හා දෙමළ යැදුම්, ගීතිකා, සාහිත්‍ය කෘති බිහිකෙරින. සුබ අස්න පාදක කරගත් නාට්‍ය (පාස්කු) රඟ  දැක්විණ. ලතින් බසින් නොව ජාතික භාෂා වන සිංහලෙන් සහ දෙමළෙන් දෙවිඳුන් ගැන සිතන දෙවිඳුන් යදින සහ ඔවුන් වහන්සේ පසසන සභාවක් ගොඩ නැගුනේ එසේය.

සුදොතුම් පියතුමා ගේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්යයක් වී ඇත්තේ ද දෙවන වතිකාන කතිකා දැක්ම ක්‍රියාත්මක කිරීමයි. එතුමා ගේ කතිකා දැක්ම තුළ ගිහියා ප්‍රමුඛස්ථානය ගනියි. සභාවේ ධුරාවලිය යටිකුරු ත්‍රිකෝණයක් බවත් එහි මුදුනින් ම සිටින්නේ ගිහියා බවත් සිනොඩ් සභාවට වසර 50 ක් පිරීමේ දේශනයේ දී එතුමා කීවේය. ඊළඟට පිලිවෙලින් පුදදුරු වරුන් හා රදගුරු වරුන් සිටින අතර පාප් වහන්සේ සිටින්නේ "සේවකයන් ගේ සේවකයා ලෙස" යටින් ම බව එතුමා පෙන්වා දුන්නේය.

 දෙවන වතිකාන කතිකාවේ දී ජනහදවතට සමීප වන ලෙසත් ස්වකීය බසින් සහභාගී විය හැකි පරිදි කාටත් වැටහෙන ලෙසත් සකස් කරන ලද ජනවන්දනා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය. මෙය සුබ අස්න හා ජනවන්දනාව කුලවැද්දීම ගැන පාප් වහන්සේ නමක් කර ඇති ප්‍රබල ම ප්‍රකාශය ය.

ජාතික සහජීවනය (National Reconciliation)

ශු. ජුසේ වාස් පියතුමා ගේ දහම් සේවාවෙන් මේ යුගයට ගත හැකි ප්‍රබල ම සහ උද්දීප්තම පාඩම ජාතික සංහිඳියාවෙන් හා ප්‍රේමයෙන් යුත් සභාවක් ගොඩ නැගීමයි.

මේ ශුද්ධවර පුදැදුරු තුමා ලක්දිව දහම් සේවාව ආරම්භ කලේ දෙමළ කතෝලිකයන් සැඟවී සිටි මන්නාරමෙනි. ඊළඟට එතුමා රජරට හරහා සිංහල  ජනයාගෙන් පිරුණු කන්ද උඩරටටත් එතැන් සිට හංවැල්ල ඔස්සේ ශ්‍රී ජයවර්ධන පුර  කෝට්ටේ සහ කොළඹටත් සිය සේවාව රැගෙන ගියේය. එතැන් සිට මීගමුව, හලාවත සහ පුත්තලම හරහා යළිත් දෙමළ ප්‍රදේශවලට ගියේය.

එතුමාටවත් එතුමාට සහය වීමට පසුව ගෙන්වා ගන්නා ලද පියවරුනටවත් සිංහල-දෙමළ භේදයක් තිබුනේ නැත. කිතුනු -නොකිතුනු නොවන  වෙනසක් තිබුනේ ද නැත. ඔවුන් සිය සේවාව ලබා දුන්නේ සෑම ජනතාවක් ම දේව ජනතාවක් ලෙස සලකාගෙනය. සිංහල සේ ම දෙමළ ජනතාව අතරත් සමාන්තරව සුබ අස්න වර්ධනය වූයේ මේ නිසා ය.

එහෙත් එතුමන් ශාන්තුවරයට පත් කරන කාලය වන විට දකුණේ "සිංහල කතෝලික" සභාවකුත් උතුරේ "දෙමල කතෝලික සභාවකුත්" තිබෙන බව පෙනෙන්නට තිබේ.

මෙය 'ජාත්‍යාල ගින්න' විසින් ලක්දිව අහස කළු කළ 1983 සිට අද දක්වාත් දක්නට ලැබීම ශෝචනීයය. 1980 ගණන් වල  භේදයේ හා වෛරයේ ගිනිදළු ලියලන සමයේ  එය නිවීමෙහි ලා "ජුසේ වාස්" වරුන් වීමේ අවකාශය කතෝලික සභා නායකත්වයට තිබිණ. එහෙත් "පාලම ඉදිකිරීමේ බැහැපත් කම" වෙනුවට උතුරේත් දකුණේත් කතෝලික නායකත්වය  තුළ තිබුණේ "තාප්ප ඉදිකිරීමේ අහංකාරය" ය. "තාප්ප ඉදිකරන්නන් කිතුනුවන් නොවේ" යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "තාප්ප": කතාවට ප්‍රතිචාර ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "සැබෑ කිතුනුවා පාලම් හදන්නෙක්" යයි එතුමා අවධාරණය කළේය.

අද මේ වනතෙක් උතුර දකුණ යා කරන පාලමක් වන්නට කතෝලිකයනට හැකිවී නොමැත.

එක පැත්තකින් දෙමළ ජනයා ගේ දුක්ගැනවිලි වලට හා යුද්ධය අවසානයේ ඔවුනට සිදු වූ දැවැන්ත අසාධාරණයට  'සිංහල කතෝලික' සභාව අසංවේදීය. මේ දක්වා  සිදුවන දෙමල ජනතාවගේ  මානව ගරුත්වය කෙලෙසීම් වලට  හා ඒ  තුළින් පැනනගින මානව හිමිකම් කඩකිරීම් වලට 'සිංහල කතෝලික' සභාව අසංවේදීය. දෙමළ රදගුරු තුමකු තම ජනයාගේ වේදනාව ගැන කතා කල විට 'සිංහල කතෝලික' නායකයන් කිව්වේ "ඒක අපේ අදහස නොවේ. එතුමා ගේ පෞද්ගලික අදහස"  කියාය.  අනෙක් අතින් උතුරේ විවධ සිද්ධස්ථාන වලට යැදුම් සඳහා යන සිංහල වන්දනා කරුවනට "දෙමල කතෝලික' සභාවෙන් කුඩම්මා  ගේ සැලකිලි ලැබෙන බවට ද වාර්තා වී තිබේ.

මෙය ජුසේ වාස් දැක්ම නොවේ. ශු. ජුසේ වාස් පියතුමා මන්නාරම හා යාපනයත්, කන්ද උඩරටත්, කොළඹත් යා කළ අභිෂේක නොළත් එකම "රදගුරු හිමිපාණෝ" වූහ. එතුමන් ගේ පින්තුරයේ එතුමා ගේ රුවට දෙපසින් පෙනෙන්නට තිබෙන  රදගුරු එඬේරික යෂ්ටියෙන් හා මකුටයෙන් කියවෙන කතාව එයය.

මෙය ප්‍රැන්සිස් දැක්ම ද නොවේ. 2015 ජනවාරි 14 වනදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආශ්චර්යවත් මඩු සිද්ධස්ථානයේ දී "තාප්ප  බිඳ දමා පාලම් ඉදිකරන්නට" මාවතක් පෙන්වා දුන්නේය. 

ශු. ජුසේ වාස් පියතුමන් ගේ ජීවිතාදර්ශයේත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම මග පෙන්වීමේත් ගිණි දළු  නොවැම්බර 4 වැනිදා රාත්‍රියේ අපගේ සිත් ආලෝකවත් කල යුතුය.

"ගිණි දල්වන්න" ("Set Fire")

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා තරුණ තරුණියනට නිතර දෙන අවවාදටක් තිබේ. එනම්, "ඔබ ඔබේ රට, ඔබේ සමාජය ගිනි දල්වන්න" යන්නයි.

පුදුමයකට මෙන් ජාතික ජුසේ වාස් දිනය නිමිත්තෙන් සිනමාවේදී සුනිල් කොස්තා විසින් නිර්මාණය කර ඇති ප්‍රචාරක ටෙලි පටයේ තේමාව ද මෙයය: "ගිනි දල්වන්න".

ඇත්ත වශයෙන් ම එය පුදුමයක් නොවේ. මන්ද මේ පුදැදුරු වරුන් දෙදෙනා ගේ ම -එනම්  ශු. ජුසේ වාස් පියතුමන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ- මෙහෙවර සමාන වන නිසාය.

එහෙත් ඔවුන්ට "ගිනි දල්වන්නට " හැකි වූයේ ඔවුන් තුළ "උණුසුම් හදවත්" තිබුණු නිසාය. ඔවුන් ගේ හදවත් ජේසු සමිඳුන් ගේ ප්‍රේමයේ ගින්නෙන් ගිනිගෙන තිබුණ/ තිබෙන නිසාය. 'සීතල හදවත්' වලින් 'ගිණි දැල්විය" නොහැකිය.

ශු. ජුසේ වාස් පිය දින සර්ව රාත්‍රික ධ්‍යානය සියලු හදවත් වල 'සීතල' මැකී "ගිණි ඇවිලෙන" රාත්‍රියක් වන්නේ නම්, මේ ජුසේ වාස් වසරත් ජුසේ වාස්  දිනයත් සාර්ථක ය.  

Comments