මානව හිමිකම් සහ කතෝලික සභාව: ශු. ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ මානුෂවාදී ජීවිත සාක්ෂිය

Catholic Church and Human Rights: The witness of St. Archbishop Oscar Romero 

ජෝන් දුල්ගාන් ගේ "රොමෙරෝ" චිත්‍රපටයේ රූප රාමුවක් 

(2018 ඔක්තෝබර 13)
මානව හිමිකම් පිළිබඳව කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද යන්න ගැන මේ දිනවල ශ්‍රී  ලංකාව තුළ කතිකාවක් ගොඩ නැගී තිබේ. කතෝලික සභාව මානව හිමිකම් පිලිගන්නවා ද? මානව හිමිකම්  පිළිබඳව කතෝලික සභාවේ ඉගැන්වීම කුමක්ද? මානව හිමිකම් ගැන කතා කිරීමෙන් හා ක්‍රියා කිරීමෙන්  තොරව කතෝලික සභාවට සිය ‘ඇඟ බේරාගෙන’ සිටිය හැකිද?  කතෝලිකයකු මානව හිමිකම් ගැන කතා කිරීම වරදක්ද? මානව හිමිකම් “අනාගමික’ හෙවත් “secular” ලෝකය පමණක් කතාකරන, ආගමික වැදගැම්මකට නොමැති මාතෘකාවක් ද? වැනි ප්‍රශ්න මෙම කතිකාව තුළ සාකාච්ඡා කෙරෙනු  අසන්නට ලැබේ.

මේ නිසා මේ ලිපියේ  අරමුණ කතෝලික රදගුරුතුමෙකු ගේම ජීවිත සාක්ෂ්‍ය ඇසුරින් කතෝලික සභාව සහ මානව හිමිකම් අතර ඇති සම්බන්ධතාවත් ඒ අනුව මානව හිමිකම් වෙනුවෙන් කැපවීමට කතෝලිකයන්  සතුව ඇති වගකීමත් විමසා බැලීමයි.

මෙම විමර්ශනයට පාදක කරගන්නා  ජීවිත සාක්ෂිය වෙනත් කිසිවෙකුත් නොව මේ ඔක්තෝබර 14 වනදා කතෝලික සභාව විසින් සාන්තුවරයකු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන එල්සැල්වදෝරයේ සන්සැල්වදෝර් පදවියේ අගරදගුරුතුමන් ලෙස සේවාව කරමින් පීඩිත ජනතාව වෙනුවෙන් සේවය කරමින් සිටියදී එරට කුරිරු රෙජීමය විසින් ඝාතතනය කරන ලද ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා ය. එල්සල්වදෝරයේ එදා තිබූ කුරිරු රෙජීමයේ බරපතල මානව හිමිකම් කඩ කිරීම් ඉදිරියේ මුනිවත රකිමින්, රෙජීමයට සහය දෙමින් සිටි ඇතැම් සහෝදර රදගුරුවරුන් විසින් ‘කොමියුනිස්ට් කාරයකු’ ලෙස හඳුන්වන ලද රොමෙරෝ අගරදගුරු තුමා සාන්තුවරයට එසවීම ම මානව හිමිකම් ක්‍රියාකාරීත්වය කතෝලික සභාවේ මෙහෙවරට කෙතරම් අදාළ ද යන්න ඔප්පු කරන්නකි.

මුලින්ම, එතුමන් ගේ ජීවිත සාක්ෂ්‍ය අවබෝධ කරගැනීම සඳහා මානව හිමිකම් සහ ඒ පිලිබඳ කතෝලික ඉගැන්වීම ගැන ඉතා කෙටි  හැඳින්වීමක්  කල යුතුය.

මානව හිමිකම් සහ කතෝලික  සභාව 

මානව හිමිකම් කතෝලික සභාවේ අනිවාර්ය  ඉගැන්වීමකි. එය ඇතුළත් වන්නේ “කතෝලික සමාජ ධර්මය” (Catholic Social Doctrine) යන විෂයටයි. කතෝලික සමාජ ධර්මය යනු ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් අපගේ  සමාජයීය සහ ප්‍රජා ජීවිතයට ආදාළ වන ආකාරය පෙන්වා දෙන කතෝලික සභාවේ ධාර්මික සිද්ධාන්ත මාලාවකි. අප ලෝකයේ සමාජ, ආර්ථික, සහ දේශපාලන ජීවිතය තුළත් වඩා පුළුල් ලෙස සමස්ත මානව ප්‍රජාව තුළත් පැන නගින ශීල ධාර්මික හා මානව ගැටළුවලට  ක්‍රිස්තු ඉගැන්වීමේ ආලෝකයෙන් විසඳුම් සොයන්නේ කෙසේද යන්න, දිනෙන් දින විකාශනය වෙමින්, පුළුල් වෙමින් පවතින  කතෝලික සමාජ ධර්මය විෂය මගින් අධ්‍යයනය කරනු ලැබේ. උගන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ සභාව තුළ එය එතරම් ප්‍රචලිත කොට නැති නමුදු, යුරෝපය, උතුරු සහ දකුණු ඇමෙරිකාව, ආසියාවේ රටවල් රැසක මෙන්ම අප්‍රිකාවේද කතෝලික විශ්ව විද්‍යාල වල හා දෙව්සත්හල් වල මෙය අනිවාර්ය විෂයයක් වී තිබේ.

ක්‍රිස්තුන් වහන්සේ ගේ ම ඉගැන්වීම් සහ ශුද්ධ ලියැවිල්ල (බයිබලීය ඉගැන්වීම්) මත පදනම්ව ගොඩ නැගුනු කතෝලික සමාජ ධර්මයේ මූලික බිජුවට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්, මිලානෝවේ අම්බ්‍රෝසි සහ ජෝන් ක්‍රිසොස්ටම් වැනි මුල් කාලීන දේව ධර්ම ශාස්ත්‍ර පඬි වරුන්ගේ ඉගැන්වීම්  තුළ දක්නට ලැබේ. කතෝලිකයන් යුගයෙන් යුගය ජීවත් කළ  මෙම සමාජ දර්ශනය සභා ඉගැන්වීම තුළ තදින්ම මුල් බැස  ගන්නේ 1891 මැයි 15 වනදා  13 වන ලියෝ පාප් වහන්සේ විසින් නිකුත් කෙරුණු “Rerum novarum” හෙවත් “වෙහෙසෙන මිනිස්සු” නමැති විශ්ව ලේඛනයෙනි. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධය, සහ එම සාධක දෙක අතර අන්‍යොන්‍ය යුතුකම් සහ වගකීම් විශ්ලේෂණය කල එම ලේඛනය කම්කරු අයිතීන් සහ වෘත්තීය අයිතිවාසිකම් පිළිගත්තේය. සමාජවාදය මෙන්ම සීමා රහිත ධනවාදයද ප්‍රතික්ෂේප කළේය. වර්තමාන කතෝලික සමාජ ධර්මයේ පදනම ලෙස සැලකෙන්නේ මෙම විශ්ව ලේඛනයයි.

ක්‍රිස්තු ඉගැන්වීම්  අතරින් කතෝලික සමාජ දර්ශනයට ශක්තිමත්ම පදනම සපයන්නේ ලාසරස් සහ ධනවතා පිලිබඳ  උපමාව සහ අන්තිම විනිශ්චය පිලිබඳ උන්වහන්සේගේ දේශනයයි. ලෝක අවසානයේ  දී මනුෂ්‍යයා විනිශ්චය කෙරෙන්නේ කෙසේදැයි මෙම දේශනයේ දේ උන්වහන්සේ විස්තර කරති. “මම පිපාසිතව සිටියෙමි, කුසගිනිව සිටියෙමි, නිරුවත්ව සිටියෙමි, සිරගතව හෝ තනිව සිටියෙමි …..ඔබ මට කුමක් කලේද?” යැයි කියමින් උන්වහන්සේ දුක් විඳින සියල්ලන් තමන් සමග අනන්‍ය කරගත්හ. එම අනන්‍ය කරගැනීම  “මම විරැකියාවෙන් සිටියෙමි, පැහැරගනු ලැබ සිටියෙමි, පැහැරගෙන පහර දී වදහිංසා කරනු ලැබ සිටියෙමි, සැමියා/බිරිඳ පැහැරගනු ලැබ හෝ අතුරුදන් කරනු ලැබ හදවත දවන දුක් ගින්නෙන් දැවෙමින් සිටියෙමි, කම්කරු ඉල්ලීම් වෙනුවෙන් හඬ නැගු සැමියා/පියා/තරුණ දරුවා  ඝාතනයට ලක්වීම නිසා තනිව වේදනාවෙන් සිටියෙමි, සරණාගතව සිටියෙමි …” වැනි නූතන සංසිද්ධීන් කරා ද ගලා යයි.“ඔවුන් තුළ අසරණව සිටි මට ඔබ සැලකුවේ කෙසේද?” යන ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රශ්නය වා තලය තුළ තවමත් ගිගුම් දෙමින් තිබේ.  මානව හිමිකම් යන වචන භාවිත නොකලත් ක්‍රිස්තුන් වහන්සේ ගේ මෙම ප්‍රශ්නයෙන් ගැලවීමට ක්‍රිස්තු භක්තිකයනට නොහැකිය.

මානව ගරුත්වය (Dignity of the Human Person), පොදු යහපත සහ ඒ අරමුණින් පවුල සහ සමාජය සහභාගීත්වයට කැඳවීම, (Common Good), මානව අයිතිවාසිකම් සහ වගකීම්, දුප්පතුන් සහ සමාජයේ දුර්වල කොටස් වෙනුවෙන් ජීවිතය කැපකිරීම (Preferential Option for the Poor), වැඩකිරීමේ  (රැකියාවේ) ගරුත්වය සහ කම්කරු අයිතිවාසිකම් , මානව සහෝදරත්වය (Solidarity), සොබා දහම  රැකබලා ගෙන සුරක්ෂිත කිරීම යන සිද්ධාන්ත කතෝලික සමාජ දර්ශනයට ගලා එන්නේ ක්‍රිස්තු ඉගැන්වීම්  සහ ශුද්ධ ලියවිල්ල යන මෙම උල්පත් දෙකෙනි.

මේ ඇසුරින්  ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ ජීවිතය විශ්ලේෂණය කරමු.

ඔස්කා රොමෙරෝ - මූලික අධ්‍යාපනය 

ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා
ඔස්කා ආනුල්ෆෝ රොමෙරෝ උපන්නේ එල් සැල්වදෝරයේ ඈත පිටිසර චියුඩාඩ් නමැති කඳුකර ගම්මානයේය. මූලික අධ්‍යාපනයෙන් පසුව ඔහුගේ තාත්තා වඩු කාර්මික ශිල්පය ඉගෙන ගැනීම සඳහා ඔහු ආධුනික පුහුණවකට යැව්වේය. එහෙත් වඩුකම වෙනුවට ‘නාසරෙත් හි වඩුවාට’ උදව් වීමට සිතක් පහලවීම නිසා ඔහු සන් මිගෙල්හි දෙව්සත්හලට ඇතුළත් විය.  

ඔස්කා දීප්තිමත් ශිෂ්‍යයකු බව දෙව්සත්හලේ පුහුණුව භාර පියවරුන්ට අවබෝධ විය. මේ නිසා වැඩිදුර අධ්‍යාපනය සහ පුහුණුව සඳහා යොවුන්  ඔස්කා රොමෙරෝ රෝමයේ ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයට යවන ලද්දේය. එයින් දේව ධර්ම ශාස්ත්‍රය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලැබූ ඔහු රෝමයේදීම පූජකවරය ලබා ගත්තේය. ඉන්පසුව එහිදීම ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටියදී  මව් බිමට ඔහු අවශ්‍ය බැවින් පෙරළා සිය රටට එන්නැයි  එල්සැල්වදෝර කතෝලික නායකත්වයෙන් ඔහුට කැඳවීමක් ලැබිණි.

මව් බිමේදී මුලින්ම මීසමක සේවාව සඳහා පත් කරන ලද තරුණ ඔස්කා රොමෙරෝ පියතුමා පසුව එරට ජාතික දෙව්සත්හලේ අධ්‍යක්ෂ, සැන් සැල්වදෝර් අගරදගුරු පදවි පුවත්පතේ කර්තෘ, එල් සැල්වදෝර් රදගුරු සමුළුවේ ලේකම් වැනි පරිපාලන මට්ටමේ තනතුරු වලට ද පත්කෙරිණි.

1970 දී රොමෙරෝ පියතුමා සන් සැල්වදෝර් අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන් ලෙස  පත්කෙරිණි. මෙම තනතුරේ දී ද පෙර සේම කඩදාසි කන්දකටත්, පොත් පත්වලටත්, පරිපාලන රෙගුලාසි වලටත් යටවී ජීවත් වීමට ඔහුට සිදුවිය.

රොමෙරෝ ගේ ක්‍රිස්තු කේන්ද්‍රීය මානුෂවාදී අභීත සේවාව විශ්ලේෂනය කිරීමේ දී මෙම පසුබිම වැදගත්ය. ඔහු ඉගෙනීමෙහි රුසියෙකි. ශිෂ්‍ය සමයේ මෙන්ම තරුණ පූජකවරයෙකු ලෙස හා නවක රදගුරු වරයකු ලෙසද ඔහු ප්‍රසිද්ධව සිටියේ ‘පොත් ගුල්ලකු’ ලෙසය. එසේම ඔහු සම්ප්‍රදාය මතධාරියෙක් විය. සභාවේ “පොතට වැඩ කරන” පූජක වරයෙකු ලෙස හේ ප්‍රසිද්ධ විය. මේ නිසා  එම සියල්ල හිස මත පටවාගෙන, රාජ රාජ මහාමාත්‍යාදීන් අතර බැබලෙමින් සුඛෝපභෝගී ‘රාජකීය’ ජීවිතයක් ගත කිරීමේ ඉඩකඩ හා අවස්ථාව ඔහුට තිබිණි. 

එහෙත් තමන් ඉගෙණගත්  ශුද්ධ ලියැවිල්ල සහ දේව ධර්ම ශාස්ත්‍රයත් ඔහුගේ ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයත්  එසේ කිරීමට ඔහුට ඉඩ දුන්නේ නැත. ඔහුගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ඔහුගේ ආත්මය තුළ සිරවී තිබු එම සුන්දර සහ ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයේ ක්‍රමික විකාශනයකි.

සන්තියාගෝ ද මරියා පදවිය - ක්‍රිස්තු කේන්ද්‍රීය මානුෂවාදී සේවාවේ ආරම්භය 

1974 දී ඔස්කා රොමෙරෝ එල් සැල්වදෝරයේ ඈත පිටිසර සන්තියාගෝ ද මරියා පදවියේ රදගුරු තුමා ලෙස පත්කෙරිණි.

මේ පදවිය තමන්ට ‘බිම් අඟලක් වත් හිමි නැති’ දුප්පත් ගොවීන් ගේ ප්‍රදේශයක් විය.මුළු රටේම ඉඩම් හිමිකරගත් සියයට දෙකක්  වූ පාලක ධනපතීන් විසින් මෙම දුප්පත් ජනයා දැඩි ලෙස පීඩනයට පත්කරනු ලැබ සිටියහ.  මේ නිසා ජනතාව තුළ දැවෙමින් තිබූ කෝපය වර්ධනය වෙමින් ඉවසීමේ සීමාව කෙටි වෙද්දී  තරුණ තරුණියෝ රෙජීමයට එරෙහිව නැගී සිටින්නට පටන් ගත්හ.එම තරුණ කැරලිවලට පාලක රෙජීමයේ ප්‍රතිචාරය වූයේ ජනතාව මත පීඩනය දෙගුණ තෙගුණ කිරීමයි. මේ නිසා අහිංසක ජනයා  තව තවත් අසරණ වූහ. රොමෙරෝ රදගුරු හිමි සන්තියාගෝ ද මරියා පදවියට එද්දී එහි තිබුනේ එම බියකරු වාතාවරණයයි.

ගොවීන් ඝාතනය 

එතුමා ගේ පළමු වසර තුළ දීම එල් සැල්වදෝර හමුදාව විසින් ත්‍රෙස් චල්ලෙස් ගමේ ගොවි බිමක සිටි කම්කරුවෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය කරන ලදහ. පදවියේ රදගුරු  තුමා ලෙස ඔවුන් බලන්නට රොමෙරෝ රදගුරු තුමා ගියේය. එය දුටු එතුමා ගේ සිත කම්පා විය. “මම කුසගිනිව, පිපාසව, තනිව, අනාථව, වේදනාවෙන් සිටිමි ….” යි කියන සිය ස්වාමියා ගේ හඬ ඔහුට ඇසුණේය. 

රොමෙරෝ රදගුරු තුමා යුද හමුදාවේ මෙම ප්‍රහාරය “මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” ලෙස හඳුන්වා දෙමින් ඊට  සිය දැඩි විරෝධය පළකර එවකට ජනාධිපති කර්නල් ආර්තුරෝ මොලිනාට ලියුමක් ලියුවේය. එහි මෙසේ ද තිබිණි:

ජනතාවට නපුරු ලෙස සලකන්නටත් ඔවුන් මරා දමන්නටත් තමන්ට අයිතිවාසිකමක් ඇති සේ සලකමින් ආරක්ෂක බලකාය ක්‍රියා කල වැරදි ආකාරය ගැන මගේ ස්ථිරසාර විරෝධය පලකරමි. ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් පහර දෙන ලද පවුල් හමුවී ඔවුන් සැනසීමට මම එහි ගියෙමි. ඔවුන් ගේ ගෙවල් වලට යන අතරතුර හිසට වෙඩි තැබීමෙන් මියගිය කෙනෙකුගේ මළ සිරුර අසල සිට යාච්ඥා කරන්නට මම නැවතුනෙමි. ඔහුගේ මවත් බිරිඳත් එම සිරුර අසල වේදනාවෙන් වැලපෙමින් සිටියහ. සන්නද්ධ හමුදා විසින් ආක්‍රමණය කරන ලද නිවෙසකට ඇතුළුවෙද්දී එහි තිබුණේ මගේ සිත වේදනාවෙන් බිඳ දැමු දර්ශනයකි. එහි සිටි වැන්දඹුවන් සහ අනාථ වූවෝ සිය වේදනාව අතරින් සිදු වූ සිද්ධිය මට විස්තර කළහ…” 

මේ ලියුම ලියා ජනාධිපති වෙත යවා රොමෙරෝ රදගුරු තුමා නිහඬ වූයේ නැත. එතුමා ‘ජාතික ආරක්ෂක බලකාය’ නමැති එම විශේෂ රෙජමේන්තුවේ අණදෙන නිලධාරියා හමුවන්නට ගියේය. ජනතාවගේ වේදනාව ගැන ඔහුට ද විස්තර කල එතුමා ප්‍රහාරය ගැන සිය විරෝධය ප්‍රකාශ කළේය. එවිට සිය දබරැඟිල්ලෙන් රදගුරු තුමාට තරවටු කළ හමුදා නිලධාරියා එම කෝපාවිෂ්ට දබරැඟිල්ලෙන්ම  රදගුරු තුමාගේ ලෝගුව පෙන්වමින් මෙසේ කීවේය:
“මේ ලෝගු ‘බුලට් ප්රූෆ්’ නෙමෙයි. තේරුනාද ..?”

රොමෙරෝ රදගුරු තුමාට පින්තුරය තේරුම් ගැනීමට වැඩි වෙලා ගියේ නැත. එහෙත් එයින් එතුමා සැලුනේ නැත. කෝපි වතුවල වැඩකරන කම්කරු-ගොවීන් ගේ වේදනාව හා ඔවුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කරමින් 1976 දී එතුමා රදගුරු ලිපියක් නිකුත් කළේය. 

‘කොමියුනිස්ට්කාර පියතුමා’

සිය පදවියේ සේවාව කල ඇතැම් පියතුමන්ලා ගැන ද ධනපති ඉඩම් හිමියන්ගෙන් රදගුරු තුමාට විවිධ චෝදනා ගලා එන්නට විය. විශේෂයෙන් ම පදවියේ දහම් සේවා මධ්‍යස්ථානය වසා දමන්නැයි ද එහි පවත්වනු ලබන අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන නවත්වන්නැයි ද ඔව්හු එතුමාට බල කළහ. වැඩසටහන් භාර පියතුමා “කොමියුනිස්ට් කාරයෙකු” බැවින් ඔහු ඉවත් කරන ලෙස ද ඉඩම් හිමියෝ ඉල්ලා සිටියහ.

ඒ කාලය දෙවන වතිකාන කතිකාවේ ප්‍රබෝධවත් සුළං රැළි ලෝකය පුරා හමා යමින් තිබූ කාලයයි. එම දහම්  සේවා මධ්‍යස්ථානයේ එවකට පැවැත්වෙමින් තිබුනේ දෙවන වතිකාන කතිකාව පිළිබඳව පදවියේ ජනතාවට අධ්‍යාපනයක් ලබා දෙන වැඩසටහනකි.

එක රාත්‍රියක දේශනයක් පවැත්වෙන වෙලාවේදී එම පියතුමාට නොදන්වා රොමෙරෝ රදගුරු තුමා මධ්‍යථානයට ගියේය. කාටවත් නොපෙනෙන්නට පිටත සිටගත් එතුමා දේශනයට හා සාකච්ඡාවට සවන් දුන්නේය. එම දේශනයේ සභාවට විරුද්ධ කිසිවක් අඩංගු නොවූ බව එතුමා අවබෝධ කරගත්තේය. “ඒ පියතුමා කොමියුනිස්ට් කාරයෙක් නම් මම අඟහරු ලෝකෙන් ආව කෙනෙක්” එතුමා පසුව  පවසා තිබිණි.

ඉඩම් හිමි ධනපතීන් ගේ විරෝධය නොතකා දහම් සේවා මධ්‍යස්ථානය විවෘතව තැබිණි. 

කම්කරු පවුල් වල රාත්‍රී නවාතැන වූ  දෙව්මැදුරු 

කෝපි වතුවල වැඩකිරීම සඳහා ඈත ප්‍රදේශ වල සිට පවුල් පිටින් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වූ ගොවි කම්කරුවන් ගේ වේදනාවන් ගැන ඔස්කා රොමෙරෝ රදගුරු තුමා කනස්සල්ලටත්   ශෝකයටත් පත්ව සිටියේය. ඉන්නට ගෙයක් තබා වාඩියක් හෝ වහලක්වත් ඔවුන්ට ලැබුනේ නැත. මේ නිසා ඔවුන් අධික සීතලෙන් මිරිකෙමින් රාත්‍රිය ගත කලේ එළිමහනේය. මේ හේතුවෙන් බොහෝ දෙනෙක් ඉක්මනින් රෝගී වූහ. ඔවුන් ගේ දුක දුටු රොමෙරෝ රදගුරු තුමා 13 වැනි ලියෝ පාප්තුමන් ගේ “වෙහෙසෙන මිනිස්සු” විශ්ව ලේඛනයේ  ( ප්‍රථම සමාජ විශ්ව ලේඛනය) එන ප්‍රකාශයක් උපුටා දැක්වීය. එනම්, “ආරක්ෂාවක් නොමැති හුදෙකලා කම්කරුවන් හිමිකරුවන් ගේ අමානුෂිකත්වයට පාවා දෙනු ලැබීම” යන්නයි.



රොමෙරෝ රදගුරු තුමා එම ප්‍රදේශයේ සියලුම දෙව්මැදුරු රාත්‍රියේදී  මෙම කම්කරුවන් හා ඔවුන් ගේ දරු පවුල් වෙනුවෙන් විවෘත කළේය. ඒවායේ රාත්‍රිය ගත කිරීමට ඔවුනට ඉඩ දෙනු ලැබිණි. එපමණක් නොව රදගුරු පදවියේ වියදමින් එම දෙව්මැදුරු වලදී ඔවුනට රාත්‍රී ආහාර වේල ද සපයනු ලැබිණි. හැන්දෑ වරුවේ එම කම්කරු පවුල් සමග ගත කල රදගුරු තුමා ඔවුන් ගේ වේදනාබර කතා  වලට සවන් දුන්නේය. ඔවුන් ගේ දූ  දරුවන් සමග කෙලි දෙලෙන් ගත කළේය. 

ගොවිජන ප්‍රතිසංස්කරණ 

ඉඩම් අහිමි, ගේ දොර නැති, වහලුන් ගේ තත්වයට පත් කරන ලද කම්කරු ජනතාවක් වූ එල් සැල්වදෝර ගොවීන්ට සහනයක් ලබා දීමට නම් සමාජය උඩු යටිකුරු කළ හැකි ආකාරයේ ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඔස්කා රොමෙරෝ රදගුරුතුමාට තේරුම් ගියේය. මෙහි අවසන් ඉලක්කය විය යුත්තේ බලය හිමි  ධනපතියන් විසින් ගොවීන්ගෙන් පැහැරගන්නා ලද ඉඩම් ඔවුන් වෙත ආපසු පවරා දීම බව එතුමා කියා සිටියේය.



රදගුරු තුමාගේ මෙම සිතිවිල්ලෙන් ප්‍රයෝජන ගෙන නැගී එන ගොවි කම්කරු රැල්ල දුර්වල කිරීම සඳහා ජනාධිපති කර්නල් මොලිනා උපායක් යෙදුවේය. එනම් ඉතා සුළු ඉඩම් ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කිරීමයි. එහෙත් එබඳු ජවනිකාවක් ගැන සිතන්නටවත් අකැමැති වූ ධනපති ඉඩම් හිමියෝ එම ප්‍රතිසංස්කරණය ඉවත් කරගන්නැයි ඔහුට බල කළහ.

එහෙත් රොමෙරෝ රදගුරු තුමා එයින් පසුබෑවේ නැත.

ඉඩම් ප්‍රතිසංස්කරණ ගැන ජනතාව වඩාත් දැනුම්වත් කිරීමට සිතූ එතුමා සන් සැල්වදෝර් අගනුවරින් ඒ පිලිබඳ විශේෂඥයන් ගෙන්වා ගෙන සිය පදවියේ පූජකවරුනට හා ගිහියනට දින තුනක සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය. එම දුප්පත් පදවියට රැස්වීම් ශාලාවක් තිබුණේ නැත. මේ නිසා සම්මන්ත්‍රණය පැවැත්වුනේ  පාසලකය. මෙම සෑම සැසියකටම රදගුරුතුමා සහභාගී විය. ඉස්සරහම පේළියේ පාසල් ළමයකු ගේ බංකුවක ඉඳගෙන සියලුම කතා සහ සාකච්ඡාවලට සවන් දෙමින් පුංචි නෝට් පොතක එම අදහස් සටහන් කරගන්නා ‘මොන්සින්ඥෝර්’ ඊට සහභාගී වූ සෑම කෙනෙකුගේම මතකයේ රැඳී තිබේ. (එල් සැල්වදෝර ජාතිකයන් රොමෙරෝ රදගුරු තුමා හැඳින්වූයේ ‘මොන්සින්ඥෝර්’ යන සුහද වචනයෙනි.)

සැන්  සැල්වදෝර අගරදගුරු

1977 පෙබරවාරි මාසයේ රොමෙරෝ රදගුරු තුමා සන් සල්වදෝර්හි අගරදගුරු තුමන් ලෙස පත්කරනු ලැබීය.

ඒ අවස්ථාවේ රෝමය මෙන්ම එරට කුරිරු පාලක රෙජීමයත්, සම්ප්‍රදාය මතවාදී පූජකවරුත් සතුටට පත්ව සිටියහ. ඔවුන්  සිතුවේ එතුමා පාලක රෙජීමයට නතුව  පාලනය ගෙන යනු ඇති බවයි. මන්ද සන්තියාගෝ ද මරියා පදවියේ එතුමා කුමක් කලත් එතුමා ගැන ප්‍රචලිතව තිබූ චිත්‍රය එය නොවීය. ඒ අතරම ජනතාව සමග මුසුවෙමින් සභාවේ සමාජ දර්ශනය ජීවත් කල පූජක, පැවිදි ගිහි ජනතාව නොසතුටට පත්ව සිටියහ.

එම පෙබරවාරි 23 වනදා එතුමා පදවි ප්‍රාප්තිය ලබන  අවස්ථාව වන විට එල් සැල්වදෝරය තිබුනේ සිවිල් යුද්ධයක මුවදොරය. ගොවි කම්කරු ජනයා ගේ අතුරුදන් වීම්, ඝාතන සහ හමුදාව විසින් තරුණියන් දුෂ්‍ය කිරීම් සුලබ දර්ශන විය.  ඒ අතර පවත්වන ලද මැතිවරණය භීෂණයෙන් සහ දුෂණයෙන් කිලිටි වූයේය. තමා එයින් ජයග්‍රහණය කල බව යුද හමුදා ජෙනරාල් කාලෝස් හම්බර්ටෝ රොමෙරෝ ප්‍රකාශයට පත් කළේය. (ඔහු රදගුරු තුමා ගේ නෑයෙක් නොවේ.) මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව භීෂණය වර්ධනය විය. තරුණියන් පමණක් නොව කන්‍යා සොයුරියන් පවා දුෂ්‍ය කොට ඝාතනය කරන ලදහ. විදේශීය පූජකවරු තිදෙනෙකුට මරණාසන්න වනතෙක්  පහර දී මීසම් ගෙදර දොරකඩ ඇද දමා ගොස් තිබිණි. ඒ අතර තවත් විශාල සංඛ්‍යාවක් දිනපතා අබිරහස් ලෙස ඝාතනය කරන ලදහ.

මේ අතර 1977 මාර්තු 12 වනදා තවත් සිදුවීමක් සිදුවිය. එනම් තරුණයනට සහ ගොවීනට ස්වයං රැකියා පුහුණු කිරීමේ සේවාවක නිරත වී සිටි ජේසු නිකායික රැටිලියෝ ග්‍රන්ඩි පියතුමා හමුදාවේ කල්ලියක් විසින් ඝාතනය කරනු ලැබීමයි. එතුමා ඝාතනය කරනු ලැබුවේ ගම්බද පල්ලියක දිව්‍ය පුජාව පැවැත්වීමට යමින්  සිටියදීය. මෝටර රථයකින් එතුමා රැගෙන යමින් සිටි වැඩිහිටි මිනිසකු සහ ළමයෙක් ද මෙම සිද්ධියෙන් මිය ගියේය.

රොමෙරෝ රදගුරු තුමා වහාම එම ප්‍රදේශයට ගොස් මියගිය පියතුමා ඇතුළු තිදෙනා ගේ දේහ රැගෙන ගොස් තිබු නිවසේ දිව්‍ය පූජාවක් ඔප්පු කළේය. ග්‍රන්ඩි පියතුමා රදගුරු තුමා ගේ සමීප යහළුවෙක් විය. මෙම කුරිරු ඝාතනය එතුමා කම්පා කළේය.මෙම සිද්ධිය රොමෙරෝ රදගුරු තුමා ගේ  විකාශනය වෙමින් තිබූ ක්‍රිස්තු කේන්ද්‍රීය මානුෂවාදී ජීවිතයේ ප්‍රබල කඩඉමක් ලෙස සඳහන් කල හැකිය. 

සන්තියාගෝ ද මරියාවේ දී තමා කැඳවූ ජේසු සමිඳුන් දැන් යළිත් දුක් විඳින ජනතාව තුළ සිට තමාට කැඳවීමක් දෙන බව මෙම සිද්ධියේදී තමාට වැටහුණු බව රොමෙරෝ රදගුරු තුමා සිය දිනපොතේ ලියා තිබිණි.

එතුමා තීරණයක් ගත්තේය. ඊළඟ ඉරිදා මුළු පදවියේම දිව්‍ය පූජාව පවත්වන්නේ ආසන දෙව්මැදුරේ පමණක් බව රොමෙරෝ අගරදගුරු තුමා සමස්ත පදවියටම දැනුම් දුන්නේය. සියලුම පූජකවරුන්ට  ද ගිහියන්ට ද  එම පූජාවට  සහභාගි වන ලෙස උපදෙස් දෙනු ලැබිණි. පැමිණිය නොහැකි ජනතාව වෙනුවෙන් අගරදගුරු පදවියට අයත් රේඩියෝ නාලිකාව ඔස්සේ පූජාව සජීවීව විකාශය කෙරිණි.

මෙම පූජාවට 100කට වැඩි පූජක පිරිසක් සහ ලක්ෂකට අධික ජනතාවක් සහභාගී වුහ.

පුජක වරයකු සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතා කිරීම කතෝලික ඉගැන්වීමේ කොටසක් බව එතුමා මෙම දිව්‍ය පූජාවේ දේ පෙන්වා දුන්නේය.
“පියතුමකු සමාජ සාධාරණත්වය සඳහා ක්‍රියා කරන විට ඔහු දේශපාලකයකු හෝ කැරලිකරුවකු ලෙස ආණ්ඩුව නොසිතිය යුතුය. ඇත්තෙන්ම එවැනි පියවරුන් කරන්නේ දේශපාලනය තුළ පොදු යහපත ඇති කිරීමට ක්‍රියා කරමින් සිය දූත මෙහෙවර ඉටු කිරීම බව තේරුම් ගත යුතුය” යැයි එතුමා අවධාරණය කළේය. රට තුළ සිදුවන  සියලු භීෂණ සහ මානව හිමිකම් කඩ කිරීම් එතුමා දැඩි ලෙස දුටුවේය. මෙම සියලු ඝාතන ගැන ස්වාධීන විමර්ශනයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන්නැයි එතුමා රෙජීමයට බල කළේය.

එල් සැල්වදෝරයේ වාමාංශික ආණ්ඩුවක් ඇති වෙතැයි බියෙන් එවකට ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර් එරට කුරිරු ආඥාදායක රෙජීමයට මුදලින් සහ යුද අවිවලින් ආධාර කළේය. මෙම සහාය දීමන් සිදුවන්නේ අහිංසක ජනතාව තව තවත් හිංසාවට ලක්වීම බව පහදා දෙමින් රොමෙරෝ අගරදගුරු තුමා ජිමී කාටර්ට ලියුමක් යැව්වේය. කාටර් ගේ ආණ්ඩුව සිතුවේ ‘රෝමෙරෝත් කොමියුනිස්ට් කාරයෙක්’ කියලාය. රොමෙරෝ රදගුරු තුමන් ගේ හදවත  පමණක් නොව කතෝලික සභාව් ඉගැන්වීම් - විශේෂයෙන් දෙවන වතිකාන කතිකාවේ ලේඛන සහ කතෝලික සමාජ ධර්මය තේරුම් ගෙන සිටි එක් රදගුරු තුමෙකු හැර එල් සැල්වදෝරයේ සෙසු සියලු රදගුරුවරුන් එතුමා විවේචනය කලේ ද වාමාංශිකයකු ලෙස හංවඩු ගසමිනි. 

එහෙත් වැරදී තිබුනේ ඔවුන්ටය. මන්ද එතුමා කොමියුනිස්ට් හෝ වාමාංශික ව්‍යාපාරයක නිරත වී සිටියා නොවේ. එතුමා කලේ ක්‍රිස්තු ධර්මය ජීවත් කිරීමය. මේ බව එතුමා කල දේශනා වල අන්තර්ගත වේ තිබේ.

රොමෙරෝ ගේ මානුෂවාදයේ සහ මානව හිමිකම් අරගලයේ ක්‍රිස්තු ධාර්මික පදනම 

කතෝලික සමාජ ධර්මයේ එන එතුමන්  අනුගමනය කරන “දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීම” (Preferential Option for the Poor) යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි වරක් එතුමාගෙන් ප්‍රශ්න  කෙරින. එතුමා මෙසේ පිළිතුරු දුන්නේය.

මම ඒක උදාහරණයකින් කියන්නම්. ගොඩනැගිල්ලක් ගිණිගෙන දැවෙනවා. ඔබ ඒ අසල සිට මේ ගින්නෙන් එය පිච්චෙන ආකාරය බලා ඉන්නවා. සමහර විට ඔබට සිතෙනවා ඒ වන විට ගොඩනැගිල්ල තුළ හිටපු හැමෝම දැන් සුරක්ෂිත තැනක ඇති කියා. ඒ අතර කෙනෙක් ඇවිත් ඔබට කියනවා ඔබේ අම්මාත් නංගීත් ඒ ගොඩනැගිල්ල තුළ සිරවී ඉන්නවා කියල. මොකද වෙන්නෙ?  ඔබේ ආකල්පය සැනෙකින් වෙනස් වෙනවා. ඔබේ අම්මා සහ නංගි ගොඩ නැගිල්ල ඇතුළේ දැවෙනවා..? එහෙමනම් ඔබ කවර හෝ පරිත්‍යාගයක් කර - ඇතැම් විට ඔබ දැවී අඟුරු වුනත් - ඒ දෙන්නාව බේරගන්නට වහාම ක්‍රියාත්මක වෙනවා. සත්‍ය වශයෙන්ම සම්පූර්ණයෙන් කැපවෙනවා යනුවෙන් අදහස් කරන්නේ එයයි. අපි දුප්පත් කම දෙස, පීඩිතයන් දෙස පිටත සිට බලා ඉන්නවා නම්, අප කෙතරම් සැලකිල්ලක් දැක්වුවත්, එය  හරියට අපි ඇවිළෙන ගින්න දිහා බලා ඉන්නවා වගෙයි. එය දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීමක් නොවෙයි. අපි ඇතුළට යා යුතුයි, හරියට අපේ අම්මයි නංගියි ඉන්නව වගේ. ඇත්තෙන්ම එතන ඉන්නේ ක්‍රිස්තුන් වහන්සේයි, කුසගින්නෙන්, වේදනාවෙන් ….” 


මේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ රොමෙරෝ රදගුරු තුමා ක්‍රිස්තු ඉගැන්වීම - සුපුවත - විවර කරන ‘යතුර’ අතැඹුලක් සේ දැන සිටි බවයි. “කුසගින්නෙන් සිටින්නේ මම ය. වේදනාවෙන් සිටින්නේ මමය. සරනාගතව අවතැන්ව සිටින්නේ මමය. ….” වේදනා විඳින සියල්ලන් තුළ වේදනා විඳින ක්‍රිස්තුන් වහන්සේ හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් කැපවීමට හැකිවීම සැබෑ කිතුනුකමේ ලක්ෂණයයි. “ආගමෙන් ඕක වෙනවා ….” කියා ඔහේ බලා සිටිය නොහැකිය. 

කතෝලික සමාජ ධර්මයේ සජීවී ග්‍රන්ථයක් බඳු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ඉගැන්වීම විස්තර කරන්නේ මෙසේය: “දුප්පතුන්, වැඩිහිටියන්, මානව හිමිකම් අහිමිවීමන් වේදනා විඳින්නන්, සරණාගතයන්, අවතැන් වූවන් තුළ ජීවත් වන්නේ ක්‍රිස්තු සමිඳුන් මයි. ඔවුන් තුළ තනිවී උන්වහන්සේ අප දෙස බලා සිටිනවා. අපට උන්වහන්සේට උදව් කල හැක්කේ එම ජනතාවට උදව් කිරීමෙන්. අපට උන්වහන්සේ ස්පර්ශ කල හැක්කේ එම ජනතාව ස්පර්ශ කිරීමෙන්.”



එක් දේවධර්ම විශාරදයෙකු ඔස්කා රොමෙරෝ හඳුන්වා දෙන්නේ “සභාවේ ගුරු බලය වෙනුවෙන් ජීවිතය පූජා කල” පූජක වරයකු ලෙසයි. මන්ද මිනිසුන් පෙලන ඕනෑම පීඩනයකින් මිනිසුන් ගලවා ගැනීම සභාවේ දූත මෙහෙවරට අයිතිබව සභාව පැහැදිලිව උගන්වන නිසාය. 1971 පැවැත්වුණු අන්තර් ජාතික රදගුරු සිනොඩ් සමුළුවේ අවසන් ප්‍රකාශනයේ මෙසේ සඳහන් වී තිබේ.
“යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කිරීම සහ ලෝකයේ පූර්ණ පරිවර්තනයක් වෙනුවෙන් සහභාගී වීම අපට පෙනෙන්නේ සුබාරංචිය දේශනා කිරීමේ සංස්ථාපිත මානයක් ලෙසය. වෙනත් වචනවලින් කියනවා නම්, මානව වර්ගයාට  සෑම ආකාරයකම පීඩන වලින් විමුක්තිය ලබා දීම සහාවේ ගැලවීමේ මෙහෙවරේ කොටසක්ය යන්නයි

ඔස්කා රොමෙරෝ රදගුරු තුමන් මානව හිමිකම් පිලිබඳ සිය අරගලයට පෝෂණය ලබා ගත් තවත් පුද්ගලයෙක් විය. එනම් දෙවන වතිකාන කතිකාව ඔස්සේ කතෝලික සභාව නව ප්‍රතිසංස්කරණයකට යොමු කළ සවැනි පාවුළු පාප්තුමාය.



රොමෙරෝ රදගුරු තුමා  1978 ජුනි 21 වැනිදා රෝමයේ දී සවැනි  පාවුළු පාප්තුමන්  මුණගැසුණේය. ඒ වන විට පාප්තුමා රොමෙරෝ ගේ සේවාව ගැන දැනගෙන සිටියේය. එම සමීප හමුව ගැන රොමෙරෝ රදගුරු තුමා තම දිනපොතේ තැබූ සටහනේ මෙසේ සඳහන් වී තිබේ.

“එල් සැල්වදෝර ජනතාවට මහත් ප්‍රේමයෙන් උදව් කරන්නැයි පාප්තුමා මට කීවා. ‘ඔබගේ සේවාවේ ඇති දුෂ්කර බව මා දන්නවා. එය පහසුවෙන් වරදවා තේරුම් ගත හැකි සේවයක්. ඔබ තුළ ඉවසීමත්, ධෛර්යය සහ දරා ගැනීමේ ශක්තියත් බහුලව තිබිය යුතුයි. සෑම කෙනෙකුම ඔබ සිතන ආකාරයෙන් නොසිතන බව මම දන්නවා. ඔබේ රටේ තිබෙන තත්වය අනුව  හැමෝටම එක විධියට සිතන්නටත්  අපහසුයි. එහෙත්, ධෛර්යයෙන්, ඉවසීමෙන්, ශක්තියෙන් සහ බලාපොරොත්තුවෙන් ඉදිරියට යන්න’ " යයි ද  පාවුළු පාප් තුමා තමාට පැවසු බව රොමෙරෝ අගරදගුරු තුමා සඳහන් කර තිබේ.

දෛවෝපගතව මෙන් සවැනි පාවුළු පාප්තුමා ද රොමෙරෝ රදගුරු තුමන් සමග අද සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

“දෙවියන් ගේ නාමයෙන් ජනතා මර්දනය නවත්වන්න!”

මේ සියල්ලෙන් ආලෝකයත් පෝෂණයත් ලද රොමෙරෝ අගරදගුරු තුමා මර්දනයට ලක් වූ ජනයා  වෙනුවෙන් වූ සේවාව නොකඩවා කරගෙන ගියේය. පදවියට අයත් රේඩියෝ නාලිකාවෙන් සහ පුවත් පතින් රටේ සිදුවන සියලු භීෂණ ක්‍රියා සංඛ්‍යා ලේඛන  සහිතව හෙළිදරව් කළේය. ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය අදාළ දිනයේ සුපුවත තුළින් ගලා එන කතෝලික සමාජ ධර්මය විස්තර කරදීමක් විය. කුරිරු පාලක රෙජීමයේ භීෂණ සහ ඝාතන සේම වාමාංශික කැරලි කරුවන් ගේ භීෂණය ද එතුමා  එක සමානව හෙළිදරව් කළේය. ඒ දෙපාර්ශවයම එක සේ විවේචනය කළේය. (රොමෙරෝ අගරදගුරු තුමා ගේ ‘ජනමාධ්‍ය භූමිකාව’ වෙනත් ලිපයකින් ගෙන එමු.)

කෙසේ වුවද  රෙජීමයේ හමුදා කල්ලිවල ඝාතන වැඩිවනවා මිස අඩු වුනේ නැත. 1979 වන විට මාසයකට  මරාදමන  ලබන සංඛ්‍යාව 3000 දක්වා වැඩිවිය. අතුරුදන් කරන ලද, මරා දමන ලද සහ දුෂණය කරන  ලද අය අතර දහම් ගුරුවර ගුරුවරියන්, කන්‍යා සොහොයුරියන්, සහ පූජකවරු ද වූහ.

අවසානයේ දී එතුමා තීරණයක් ගත්තේය. එනම් දුප්පත් පවුල් වලින්ම යුද හමුදාවට ගොස් රෙජීමයේ දුප්පතුන් මර්දනය කිරීමේ යකඩ හස්තය බවට පත්ව ඇති යුද හමුදා සෙබළුන් කෙලින්ම ඇමතීමයි.

1980 මාර්තු 23 වනදා සිය දේශනාවේ දී එතුමා මෙසේ කීවේය.:
“සහෝදර වරුනි, ඔබ එකම ජනතාවගේ දු දරුවෝය. ඔබ මරා දමන්නේ ඔබගේම ගොවි සහෝදර සහෝදරියන් ය …”පසුව එතුමා ඔවුනට  මෙසේ ආරාධනා කළේය; අභියෝග කළේය. එම අභියෝගය ද ක්‍රිස්තියානි ඉගැන්වීම ආත්ම කොටගත් අභියෝගයකි.

කෙනෙකු මරා දැමීමට මිනිසෙකු දෙන නියෝගයට පෙර දෙවියන් වහන්සේ ගේ නීතිය බල පැවැත්විය  යුතුය. දේව කැමැත්තට සහ දේව නීතියට පටහැනි නියෝගයක් පිළිගැනීමට කිසිදු සෙබලෙකු බැඳී නැත. ..පව් කිරීමට දෙන නියෝග පිළිපදිනවා වෙනුවට ඔබගේ හර්ද සාක්ෂියට කීකරු වීමට කාලය පැමිණ තිබේ. මේ නිසා දෙවියන් වහන්සේ ගේ නාමයෙන්, දුක් විඳින ජනතාව ගේ නාමයෙන්, දිනෙන් දින වර්ධනය වන මහ හඬින්  ස්වර්ගයට නැගෙන එම ජනතාවගේ වේදනාවේ විලාපයේ නාමයෙන්, මම ඔබට ආයාචනා කරමි. ඔබගෙන් අයදිමි. ඔබට අණ කරමි. දෙවියන් වහන්සේ ගේ නාමයෙන් ජනතා මර්දනය නවත්වන්න!” 

එය රොමෙරෝ අගරදගුරු  තුමා ගේ අවසන් දේශනය විය.

ප්‍රාණ පරිත්‍යාගය. 

සඳුදා සන්ධ්‍යාවේ සුපුරුදු ලෙස එතුමා රෝහලක පුංචි පල්ලියේ දිව්‍ය  පූජාව ඔප්පු කරන්නට ගියේය.   

සුවිශේෂය කියවීමෙන් පසුව එතුමා ඒ ගැන කෙටි මෙනෙහි කිරීමක් කළේය. ස්තෝත්‍ර යාගික පිළිවෙත ආරම්භ කිරීම සඳහා එතුමා පුදසුන වෙත ගියේය. පුදසුනට පැමිණි විට පල්ලියේ ප්‍රධාන දොරකඩ වෙත එතුමා ගේ නෙත යොමු වූවා ද? තමා වෙත යොමු වූ  තුවක්කුව සහ එය අතට සිර කරගෙන් සිටි කුලී මිනීමරුවා දුටුවා ද?

වෙඩි හඬක් නික්මිණි.

අසම සම සාන්තුවරය 

ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා ඔක්තොබර 14 වනදා  රෝමයේ පවත්වනු ලබන දිව්‍ය පූජාවක දී කතෝලික සභාව් සාන්තුවරයට ඔසවනු ලබයි. දෛවෝපගතව මෙන් එතුමා සාන්තුවරයට  එසැවෙන්නේ ලොව පුරා සෑම රටකම රදගුරුවරුන්, පුදැදුරු, ගිහි නියෝජිතයන් සේ ම තරුණ තරුණියන් සියක් සංඛ්‍යාත පිරිසක් රෝමයට එක්රැස් වුනු අවස්ථාවක වීමයි. මෙම අසම සම සිද්ධියෙන් ලැබෙන පණිවිඩය කුමක්ද?

මානව ගරුත්වය බිඳ දමා මානව හිමිකම් පාගා දමන, පොදු යහපත වෙනුවට පවුල් කිහිපයක මන දොළ පුරවන, ජනතාවගේ සම්පත් සහ පරිසරය පාලක සුළුතරය විසින් කොල්ල කණු ලබන, නීතියේ ආධිපත්‍යයට ඉඩ නොදෙන, විනයක් නොමැති අශිෂ්ට මාධ්‍ය ගොන්නකට සමාජය නතු වූ මේ යුගයේ “මෙන්න කතෝලිකයකු ගේ සැබෑ නිදර්ශනය; මෙන්න පූජක වරයකු ගේ රදගුරු වරයකුගේ සැබෑ නිදර්ශනය.” 

මේ අසම සම සිද්ධියත් සමග ජනතාව වෙනුවෙන් සහ ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  කැපවී සේවාව කරන පූජකවරුන්, පැවිද්දන්, රදගුරුවරුන් සහ ගිහියන් “කොමියුනිස්ට්” කාරයන් යයි කී යුගය සම්පූර්ණයෙන් අවසන් වේ. මානව හිමිකම් ගැන කතා කරන්නේ අනාගමිකයන් හෝ විප්ලවකාරයන් යයි කියන්නට ද කිසිදු කතෝලිකයකුට දැන් කිසිසේත්ම නොහැකිය. මන්ද රොමෙරෝ සාන්තුවර භාවයත් සමග යුක්තිය සහ සාධාරණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම කතෝලිකයකු ගේ ජීවිතයේ අනිවාර්ය කොටසක් බව තහවුරු වන නිසාය.

 මානව හිමිකම් සහ කතෝලික සභාව 

මේ අනුව කතෝලික පූජක, පැවිදි, ගිහි කිසිවකුට “මානව හිමිකම් අපට අයිති නැත” කියා හෝ ඒවා “ආගම් තුළ තිබෙන නිසා විශේෂයෙන් කතා කල යුතු නැත” කියා හෝ ඇඟ  බේරාගෙන සිටිය නොහැකිය. රට වැටී ඇති දේශපාලන, ආර්ථික, සමාජ හා නෛතික  විපරීතයෙන් මුදාගෙන විමුක්තිය උදා කර දිය හැක්කේ  කතෝලිකයන්  සහ කතෝලික නායකත්වය සිය කැඳවීම නිසි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කිරීමෙනි. 

Comments