අන්තවාදයේ සහ අන්තවාදී සටන් පාඨ සමග එන බලකාමයේ නැගීම ගැන සුදොතුම් පියතුමා අනතරු අඟවයි - "බලය සඳහා පිපාසය අතීතයේ අමිහිරි මතකයන් සුවපත් කිරීමට අසමත් වීමේ සලකුණකි" (Video)

Holy Father warns against rise of extremism: "Thirst for power and glory is the sign of those who fail to heal the memories of the past"


(2018 සැප්තැම්බර් 25)
ලිතුවේනියාවේ ගත කළ දෙවන දිනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරට දෙවන ප්‍රධාන නගරය වන කෝනාස්හි සාන්තකොස් උද්‍යානයේ දී ඉරිදා දිව්‍ය පූජාව පැවැත්වීය. මීට වසර 25 කට පෙර දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ මෙහි පැමිණ මෙම ස්ථානයේ ම දිව්‍ය පූජාව ඔප්පු කළේ ලිතුවේනියාව සෝවියට් පාලනයෙන් විමුක්තිය ලැබීම සැමරීම සඳහාය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහි පැමිණියේ ලිතුවේනියාව නිදහස ලැබීමේ සියවස සැමරීමටය.

දිව්‍ය පූජාව අවස්ථාවේදී එතුමන් කළ ධර්ම දේශනය ලිතුවේනියාව ඇතුළු සියලු බෝල්ටික් රටවලට මෙන්ම යුරෝපයට ද කළ අවදිකිරීමේ හඬකි. එතුමන් මෙහිදී නමින් සඳහන් නොකර ප්‍රධාන වශයෙන් ම කතා කලේ ඇමරිකාව ගිලගෙන දැන් යුරෝපය හරහා පැතිර යමින් පවතින  "ජනප්‍රියවාදී ජාතිකවාදය" (Populist Nationalism) ගැනය. එකම ජාතියක්, එකම ආගමක් පමණක් උතුම් කොට සලකා වෙනත් සියලු ජාතීන් හා ආගම් මෙන්ම  සංක්‍රමණික ජනතාව වෙනස් කොට සලකන ජනප්‍රියවාදී ජාතිකවාදය යුරෝපයේ බල තුලනය  වෙනස් කරමින් ලෝකයද අවුල් කරන ලකුණු පහල වීම කෙරෙහි අවධානය යොමු කරමින් සුදොතුම් පියතුමා මෙම දේශනය කළේය. ජනප්‍රිය ජාතිකවාදය තුළ මං මුලා වී සිටින ශ්‍රී ලංකාවට ද මෙම ධර්ම දේශනයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කරයි.

සැප්තැම්බර 23 වන ඉරිදා දේව වාක්‍යයේ පිළිවෙතට ඇතුළත් වූ කියවීම් වල පණිවිඩය වන කුරුසිය සෑම කිතුනු ජීවිතයකම කොටසක් බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. ජේසු සමිඳුන් නොකඩවාම සිය ශ්‍රාවකයනට මෙම කුරුසියේ යථාර්ථය පහදා දුන් බව එතුමා කීවේය. ලිතුවේනියා ජාතිකයන් ද සිය ඉතිහාසය පුරා කුරුසියේ වේදනාව අත්විඳි බව එතුමා සිහිපත් කළේය. නාසි සහ සෝවියට් පාලන යටතේ අත්අඩංගුවට ගෙන යළි ආපසු නොපැමිණි නෑසියන්, ඝාතනය කරන ලද්දන්  සහ පිටුවහල් කරන ලද්දන් නිසා අතීත පරම්පරාවල සිත්තුළ ඇති වූ තුවාළ එම කුරුස සමහරකි.

එහෙත් ජේසු සමිඳුන් සිය කුරුසිය ගැන කතා කරද්දී උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් විවාද කරමින් සිටියේ "තමන් අතරේ ශ්‍රේෂ්ඨයා වන්නේ කව්ද?" යන ප්‍රශ්නය ගැන යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.
"සහෝදර සහෝදරියනි, බලය සහ මහිමය සඳහා පිපාසය යනු අතීතයේ අමිහිරි මතකයන් සුවපත් කිරීමට අසමත්වන පුද්ගලයන් ගේ සංකේතයකි. ඇතැම් විට ඒ හේතුව නිසාම වර්තමාන යුතුකම් වල සක්‍රීය කොටස්කරුවන් වීමට අපොහොසත් වන පුද්ගලයන් ගේ ද සංකේතයකි. එම ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමත් බලය සහ මහිමය සෙවීමත් වර්තමානය  ගොඩනැගීමට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන නිරර්ථකවූත් නිෂ්ඵල වූත් ආකල්පයකි" යි එතුමා අවධාරණය කළේය.

සිය ශ්‍රාවකයන් තමන් අතරේ ශ්‍රේෂ්ඨයා කවුරුන් දැයි සාකච්ඡා කරමින් සිටින බව ජේසු සමිඳුන් දැනගත් විට උන්වහන්සේ ඔවුනට කදිම අභියෝගයක් දුන් බව සුදොතුම් පියතුමා කීවේය. " ඔවුන් ගේ බලය පිලිබඳ අරගලය සහ තමන් පූජා වීම ප්‍රතික්ෂේප කිරීමේ මෙම ක්‍රියාවට විෂ නාශකයක් ලෙස උන්වහන්සේ කලේ කුඩා දරුවකු ඔවුන්  මැද තැබීමයි....අද , මේ ඉරිදා උදාසන ජේසු සමිඳුන් කවරකු අප මධ්‍යයේ තබාවිද?" එතුමා ප්‍රශ්න කළේය. ලිතුවේනියාවේ මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ පවතින යථාර්ථයෙන් නිදසුන් ගනිමින් එතුමාම  ඊට පිළිතුර ද දුන්නේය. "ඇතැම් විට අප නගරයේ සිටින වාර්ගික සහ ආගමික සුලුතරයන් උන්වහන්සේ අප ඉදිරියේ තබාවි. එසේ නැතිනම්, රටින් සංක්‍රමණය වීමට බලා සිටින රැකියා විරහිතයන් අප මැද තබාවි. එසේත් නැති නම්, වයස් ගතවූවන්, තනි වී හුදෙකලා වූවන්, සිය මුල් නොමැති  වීම නිසා  ජීවිතයේ අරුතක් නොදකින තරුණ තරුණියන් අප මධ්‍යයේ තබාවි. "

මේ නිසා ශ්‍රේෂ්ඨයා වීම නොව සේවාවේ සභාවක් වන්නැයි එතුමා ඉල්ලා සිටියේය. මේ අරමුණින්  "ගමන් කරන" නොහොත් "ක්‍රියාත්මක වන" සභාවක් වන්නැයි එතුමා ලිතුවේනියාවේ සිට ලොව පුරා සිටින කතෝලික ජනතාවට  අභියෝග කළේය.
"පිටතට ගොස් සම්බන්ධ වීමට හවුල් වීමට  බිය නොවන. ගමන් කරන, ඔබ මොබ යන සභාවක් වන්න. දුර්වල වූවන්, අත්හැර දමන ලද්දන්, සමාජයේ සීමා වල ජීවත් වන පුද්ගලයන් වෙත  යාමේදී  අපට වේදනාවෙන් හැඟුම් බර වන්නට සිදු වුනත්, අප නැති කරගන්නට සිදු වූවත්, හවුල් වීමට  බිය නොවන. ගමන් කරන, ඔබ මොබ යන සභාවක් වන්න. මෙලෙස 'ලෝකය වෙත යාම' යන්නෙන් තවත් දෙයක් අදහස් කෙරේ. එනම් ඇතැම් විට නැවැතී, අපගේ දුක් පීඩා සහ මානසික කරදර අමතක කර පාර අද්දර අත්හැර දමා ගොස් සිටින ජනතාව දැක, ඔවුනට සවන් දී ඔවුන් කැටුව යාම යන්නයි. එහි අර්ථය වන්නේ අපගේ ජීවිත ප්‍රීතිමත් සේවාවෙන් ගතකරමින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපගේ බලාපොරොත්තුව බව සියල්ලනට ප්‍රකාශ කිරීමයි," යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. 

සුදොතුම් පියතුමාගේ මෙම දිව්‍ය පූජාවේ කෙටි දෘශ්‍ය සටහනක් මේ.




Comments