"පූජක සහෝදර වරුනි, දෙබිඩි ජීවිතයක් ගත නොකරන්න!" -සුදොතුම් පියතුමා උපදෙස් දෙයි: "පුදැදුරුවරය රැකියාවක් නොවේ; එය ආත්ම පරිත්‍යාගයේ ජීවිත සාක්ෂියක්"

"Priests that they are a man of God 24 hours a day",  Pope Francis tells priests in Sicily 


(2018 සැප්තැම්බර් 16)
සිය දුසිරිත් හා පාප වලට එරෙහිව සටන් කරමින් යහගුණ සහ සදාචාරය වෙනුවෙන් ජීවිත සාක්ෂියක් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා පුදැදුරුවරුනට අභියෝග කරයි.

"දේව ජනතාව  ඉදිරියේ එක් ජීවිතයකුත් පෞද්ගලිකව තවත් ජීවිතයකුත් ලෙස ජීවිත දෙකක් ගත කිරීමට පූජකවරයකුට නොහැකියි. එසේයි. ජීවිත සාක්ෂිය එකම එකක් පමණයි. ජේසු සමිඳුන් ගේ සාක්ෂිය හිමි වන්නේ උන්වහන්සේට පමණයි. මේ නිසා පූජකවරයා උන්වහන්සේට (ජේසු සමිඳුන්ට) ඇති ප්‍රේමය නිසා තමන්ගේ ම දුර්ගුණ සහ පාප වලටත් ලෞකිකත්වයටත් එරෙහි  සටන භාරගනියි" යැයි එතුමා පූජකවරුනට  උපදෙස් දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ  ඉකුත් සෙනසුරාදා ඉතාලියේ සිසිලි ප්‍රදේශයේ කල අපෝස්තලික සංචාරයේ දී ය. එතුමා එහි පැලර්මෝ නගරයේ ආසන දෙව්මැදුරේදී  පදවියට අයත් රදගුරු හිමිවරුන්, පුදැදුරුවරුන්, කැපවුණු ජීවිත ගත කරන පැවිදි වරුන්-පැවිදිවරියන් සහ දෙව්සත්හල් සිසුන් ඇමතූවේය. නූතන පුදැදුරුවරයා  ගේ භූමිකාව විස්තර කරමින් එතුමා මෙම උපදෙස් දුන්නේ එහිදීය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය කතාවට නිදර්ශනය කර ගත්තේ සිසිලි ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින භාග්‍යවන්ත ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි පියතුමන් ගේ ජීවිතයයි.(**පුග්ලිසි පියතුමන් ගේ කතාව සැකෙවින් මෙම ලිපිය අවසානයේ සඳහන් වේ.)

එම පියතුමන් ගේ ජීවිතය තුළ ප්‍රකට වූ 'සරල ක්‍රියා පද තුනකින්' පියතුමකු ගේ ජීවිතය විස්තර කළ හැකි බව සුදොතුම් පියතුමා කීවේය. එනම් 'උත්සවාකාරයෙන් සමරයි' (to celebrate), 'කැඳවාගෙන යයි' (“to accompany”) සහ 'සාක්ෂි දරයි' (“to bear witness”) යන ක්‍රියා පද ත්‍රිත්වයයි.

'ජයෝත්සවයෙන් සමරයි'

පුදැදුරුවරයා දිනපතා ජයෝත්සවයෙන් සමරන්නේ දිව්‍ය යාගයයි." 'මෙය රැගෙන අනුභව කරන්න. මේ ඔබ උදෙසා පාවා දෙනු ලබන මාගේ ශරීරරයි.' වෙනත් දිනවල මෙන් අදත් ඔබ පවසන මේ වදන් හුදෙක් පුදසුන මතට සීමා නොවිය යුතුයි" යැයි සුදොතුම් පියතුමා කීවේය. "එම වදන් ඔබගේ ජීවිතයට රැගෙන ආ යුතුය. මන්ද පුදැදුරුතුමා සිය ජීවිතය අන් අය  වෙනුවෙන් පිරිණමන මිනිසකු බව මේ වදන් අපට සිහිපත් කරන නිසාය."

පුදැදුරුතුමකු ගේ මෙම පූජාවීමේ ජීවිතයට බාධා වන චර්යා දෙකක් ගැන එතුමා මෙහිදී අනතුරු ඇඟවීය. එනම් පූජක අධිපතිවාදය (clericalism) සහ වෘත්තිකාභිවෘද්ධිය (careerism) යන ආකල්ප හා චර්යා දෙකයි.

පූජකාධිපතිවාදය යනු සභාව "ලෝකයට වඩා ඉහළින්" පිහිටා ඇති බව සිතීම බව සුදොතුම් පියතුමා කීවේය. "එහෙත් ඇත්ත වශයෙන්ම ඇනූ පිටිවලට මුහුන් සේ ලෝකයේ  'පිපීම'   සඳහා සභාව ලෝකය තුළ සිටිය යුතු" යැයි එතුමා කීවේය
"මේ නිසා ප්‍රිය සහෝදරවරුනි, සහෝදරියනි, සෑම ආකාරයකම පූජකාධිපති ස්වරූපයන් තහනම් කළ යුතුය. පූජකාධිපතිවාදය යනු එය අද අපට  ඉවත් කිරීමට අතිශයින් දුෂ්කර වී ඇති විපරීතයකි," යි එතුමා අවධාරණය කළේය.

වෘත්තිකාභිවෘද්ධි ආකල්පයෙන් පිරුණු පූජකවරුන් නිරන්තරයෙන් බලය හඹා යන බව සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. පූජකවරුන් සහ පැවිද්දන් බලය වෙනුවෙන් ජීවත් වන්නන් නොව සේවයේ මිනිසුන් විය යුතු බව එතුමා අවධාරණය කළේය. "එබැවින් යහපත් සාක්ෂිකරුවන් වීම යනු පූජකාධිපතිවාදය සමග ඉතා සමීපව සම්බන්ධ වී ඇති  කුහකකම වන සෑම දෙබිඩි ජීවිත පිළිවෙතකින් ම මිදීමයි: දෙව්සත්හලේදී, පැවිදි ජීවිතයේදී  සහ පූජක ජීවිතයේ දී ..." එතුමා පෙන්වා දුන්නේය.

පූජකවරුන් යනු හුදෙක් පූජා ඇඳුමින් සැරසී සිටින විට පමණක් නොව "පැය 24 මිනිසකු" යැයි සුදොතුම් පියතුමා කීවේය. "ජනවන්දනාව යනු පුදැදුරුවරුන් ගේ ජීවිතයයි. එය වත් පිළිවෙතක් නොවේ.  අපගේ  කතාවට මාතෘකා වී සිටින  කරන තැනැන්වහන්සේට කතා( යාච්ඥා) කිරීමත්, අප දේශනා කරන දිව්‍ය වචනයෙන් අප පෝෂ්‍ය කරගැනීමත් , අප කැප කරන පූපයට වන්දනා කිරීමත්, මේ දේවල් සෑම දිනකම කිරීමත් අවශ්‍ය වන්නේ ඒ නිසාය."

"සභාව ගැළවීමේ සක්‍රමේන්තුවක් බව මෙය ප්‍රදර්ශනය කරයි. එය  ලෝකයට ගැලවීම පිරිනමණ උපකරණයක් ද සලකුණක් ද වේ."

"කැටුව යයි" 

දෙවන ක්‍රියා පදය 'කැටුව යයි' යන්නයි. "වර්තමානයේ පුදැදුරුවරයකු වීමේ මුදුන් ගල නම් කැටුව යාමයි," යයි සුදොතුම් පියතුමා කියා සිටියේය. භාග්‍යවන්ත පයිනෝ පියතුමා සිය ජනතාව කැටුව ගිය පියතුමකු බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "එතුමා තරුණ ජනතාව ගැන කතා කරනවාට වඩා තරුණ තරුණියන් සමග කතා කළා. එතුමා  ඔවුන් ගෙන් සැබෑ ප්‍රශ්නත් සැබෑ පිළිතුරුත් උකහාගත හැකි ආකාරයෙන් ඔවුන්ට කතා කළා. මෙය ඉවසීම, සවන්දීම සහ තාත්තා කෙනෙකුගේ හදවත සහිතව කටයුතු කිරීම මගින් පැණනගින දූත මෙහෙවරක්'" එතුමා පෙන්වා දුන්නේය.

"සාක්ෂි දරයි" 

පූජකවරුන් සහ පැවිදිවරුන් හා පැවිදිවරියන් සිය ජීවිතයෙන් සාක්ෂි දැරීම සියල්ලන් ගේ සැලකිල්ලට ලක්වන දෙයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

මීට 25 වසරකට පෙර ඉතාලි මාෆියාව විසින් ඝාතනය කරන කරන ලද භාග්‍යවන්ත ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි පියතුමන් ගේ ජීවිතය ජීවිත සාක්ෂියට  හොඳම උදාහරණයක් බව එතුමා කීවේය. භාග්‍යවන්ත පයිනෝ තුමන්  ජීවත් වූ කාමරය පවා එතුමාගේ සරල දේව සේවක ජීවිතයට සාක්ෂි දරන බව සුදොතුම් පියතුමා කීවේය. "එය තවමත් අව්‍යාජ සරල බවට සාක්ෂි දරමින් නැගී සිටිනවා. එය ලෝකයේ කීර්තිය හෝ සැනසිල්ල නොසෙවූ, මුළුමනින්  ස්වාමීන් වහන්සේට කැපවූ ජීවිතයක ව්‍යක්ත සංකේතයක්" එතුමා කීවේය. 

ජනතාව පූජකවරුන් ගෙන් සහ පැවිදිවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ සරල බව යයි එතුමා පෙන්වා දුන්නේය. "සිය පියතුමා 'ලිස්සා වැටෙන විට' , පව්කාරයෙක් වන විට, එහෙත් ඊට පසුතැවිලි වී යළි ගමන ආරම්භ කරන විට ජනතාව කම්පනයට පත්වෙනවා. ..එහෙත් ජනතාවට  අපචාරයක් සහ අපකීර්තියක් වන්නේ ඔවුන් ලෞකික පියතුමන්ලා දකින විටයි...ලෞකික ආත්මයකින් යුත් පූජකවරුන් දකින විටයි. ජනතාව කළකිරීමටත් සිත් වේදනාවටත් පවත්වන්නේ එඬේරෙකු වෙනුවට  'විධායකයකු' බඳු පියතුමකු දකින විටයි. ඒ නිසා මෙය ඔබගේ සිතේ නිවරැදිව තබා ගන්න: විධායකයන් නොවේ. එඬේරුන්, ඔව්. එඬේරුන් පමණයි," සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

"දහම් සේවා ව්‍යාපෘති" යනුවෙන් හඳුන්වන දැවැන්ත සැලසුම් ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විවේචනාත්මකව කතා කළේය. "දහම් සේවා ව්‍යාපෘති" සීමාව හා පමණ ඉක්මවා යන ප්‍රදර්ශනාත්මක දේ බව එතුමා පෙන්වා දුන්නේය. "ඒවා සරල, අව්‍යාජ දේ නොවේ. අප ජනතාව හමුවන්නට යන්නේ, කාලයේ විලාසිතා  ප්‍රතික්ෂේප කර, ජේසු ගේ හදවතින් ඔවුනට ප්‍රේම කිරීමට උවමනාවෙන් සිටින පුද්ගලයන් ගේ අව්‍යාජ සරල බවිනි," යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"දහම් සේවා ව්‍යාපෘති කර ඇත්තේ කුමක්ද? කිසිවක් නැත. දහම් සේවා සැලසුම් අවශ්‍ය වන්නේ මාර්ගයක් ලෙස පමණයි. අප අසල සිටින ජනතාවට උදව් කිරීමට, ඔවුනට සුපුවත  දේශනා කිරීමට අවශ්‍ය මාර්ගයක් ලෙස පමණයි. ඒ හැර හුදෙක් ඒවා තුළ එම ව්‍යාපෘති කිසිදු ප්‍රයෝජනයකින් තොරයි. සභාවේ මාර්ගය මුණගැසීමේ, සවන් දීමේ, බෙදාගැනීමේ මාර්ගයයි." යි එතුමා එහි සිටි පූජක, පැවිදිවරුන් සහ දෙව්සත්හල් සිසුන් අමතමින් කියා සිටියේය.

**භාග්‍යවන්ත ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි පියතුමා 

1937 දී දොන් ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි උපත ලැබුවේ සිසිලියේ, පැලර්මෝහි බ්‍රැන්කච්චියෝ ගමේය. ඔහුගේ දෙමාපියෝ කම්කරුවෝ වූහ. සිය ගම්මානය භීතියට පත්කරමින් පැතිර ගොස් තිබූ මාෆියා අපරාධකරුවන්ගේ සංවිධිත අපරාධ රැල්ල කුඩා කාලයේ සිටම ඔහුගේ නෙත ගැටින. ඔහුට ද ඒවාට එක්වන ලෙස ඉල්ලීම් ලැබුනත් ඔහු අපරාධ ප්‍රතික්ෂේප කළේය.

යෞවනයේම දෙව්සත්හල් අධ්‍යාපනය ලැබූ පයිනෝ වයස අවුරු 23 දී පූජාත්වරය ලැබුවේය. ඔහු තමන් ගිය සෑම මීසමකම ඉතාලියේ මාෆියාවට විරුද්ධව ක්‍රියා කළේය. තරුණ තරුණියන් ඉන් මුදා ගැනීමට කටයුතු කළේය. එසේ මාෆියාවට විරුද්ධ් වන්නැයි පයිනෝ තරුණ පියතුමා සිය පදවියේ අගරදගුරු තුමන් වූ අර්නස්තෝ රුෆිනි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් කාදිනල් රුෆිනි හිමි මාෆියා ක්‍රියාකාරකම් ගැන උදාසීනව සිටි සභා නායකයෙක් විය. එතුමා කියා සිටියේ මාෆියාව පිලිබන කතා හුදෙක් ප්‍රබන්ධ බවයි. කොමියුනිස්ට්වාදීන් ගෙන් එල්ල වූ තර්ජනය මාෆියාවට වඩා භයානක බව කාදිනල් රුෆිනි හිමියන ගේ අදහස විය.

මෘදු  හදවතකින්, සවන් දෙන මනසකින් මෙන්ම   තමන් සමග සිටින්නන් හාස්‍යයෙන් සිනා සාගරයේ ගිල්වන්නට සමත් කමක් දැක්වූ පයිනෝ පියතුමා මාෆියා සාමාජිකයන්ට නම් කිසිම බුරුලක් පෙන්වූයේ නැත. ඔවුන්ගෙන් මුදල් හෝ සම්මාදම් පිළිගැනීම එතුමා ප්‍රතික්ෂේප කළේය. සිය දෙව්මැදුර පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව මාෆියාව විසින් නිර්දේශ කරන ලද කොන්ත්‍රාත්කරුවකුට දීම එතුමා ප්‍රතික්ෂේප කළේය. මහත්වරුන් සේ  ඇඳුම් ඇඳ ආගමික පෙරහැරවල ගමන් කිරීම මාෆියාවේ සම්ප්‍රදායක් විය. එහෙත් තමා සිටි මීසම් වල මාෆියාවට එම 'වරප්‍රසාදය' දීම පියතුමා ප්‍රතික්ෂේප කළේය. මාෆියාවට් එරෙහිව එවැන්නක් ප්‍රථම වතාවට කල පියතුමා පයිනෝ පියතුමාය.  මාෆියාවට එරෙහි වන්නැයි එතුමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ප්‍රසිද්ධියේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කළේය.

මේ නිසා තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කල නොහැකි වූ මෙම පියතුමා තම ඊළඟ ඉලක්කය කරගැනීමට මාෆියාව තීරණය කළේය.

1993 සැප්තැම්බර 15 වැනිදා මාෆියා ඝාතකයෝ දෙදෙනෙක් පයිනෝ පියතුමා ගේ මීසම් ගෘහය වෙත ගියහ. ඔවුන් දුටු එතුමා ඔවුන් සමග සිනාසුනේය. ඔවුන් ගේ අදහස දැනගත් එතුමා මෙසේ කීවේය: "මා ඔබව බලාපොරොත්තුවෙන් සිටියා." ඒ සමගම ඉන් එකෙක් එතුමාට වෙඩි තැබුවේය. මේ වෙඩි පහරින් එතුමා මිය ගියේ එතුමා ගේ උපන් දිනය දාමය.

එතුමා ගේ මරණය නිසා සියලු මීසම් ජනතාව මාෆියාවට එරෙහිව නැගී සිටියේය. මෙම සංවිධිත අපරාධ කල්ලියට එරෙහිව ක්‍රියා කිරීම කතෝලික සභා නායකත්වය  තුළ ද එඩිතර කමක් උපන්නේ එම මරණයෙන් පසුවය.

ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි පියතුමාගේ සාන්තුවර භාවයේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ 1999දීය. 2013 මැයි 23 වැනිදා එතුමා භාග්‍යවරයට ඔසවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වා තලය  විවිධ දුර්ගුණ සහ අපරාධවලින් දුෂ්‍ය වී ඇති මේ යුගයේ  භාග්‍යවන්ත ජිසෙප්පේ "පයිනෝ" පුග්ලිසි පියතුමා ශ්‍රී ලංකාවේ පූජක වරුනට ද අභියෝගයකි; ආදර්ශයකි. කෝටි පති  මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කතෝලිකයන් ගේ මුදල්වලින් යැපෙන, ඔවුනට සභාවේ මුල් පුටු දෙන ශ්‍රී ලංකාවේ සභා නායකයනගේ කතෝලික කම මෙම භාග්‍යවර  පියතුමා ඉදිරියේ ශුන්‍ය වෙයි.







Comments