"ශුද්ධවන්ත වෙන්න ලොකු දේවල් කරන්න ඕනැ නැහැ. සාමාන්‍ය දේ අසාමාන්‍ය ලෙස කරන්න" - නව අපෝස්තලික අනුශාසනා පත්‍රයෙන් සුදොතුම් පියතුමා කියයි.

"All are called by the Lord - each in his or her own way - to Holiness" Pope says in the new Apostolic Exhortation “Gaudete et Exsultate

"ශුද්ධවන්ත වෙන්න ලොකු දේවල් කරන්න ඕනැ නැහැ. පුංචි පුංචි දේ හොඳටෝම ඇති."

(2018 මැයි 3)
ජේසු සමිඳාණන් අප සෑම කෙනෙකුම ශුද්ධවන්තභාවයට කැඳවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "අප සෑම කෙනෙකුම ශුද්ධවන්තයකු වීම උන්වහන්සේට අවශ්‍යය. ඊට වඩා සෞම්‍ය හෝ දෙවැනි කිසිදු පැවැත්මක නතර නොවන්නැයි" එතුමා සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. "අප සෑම කෙනෙකුම උන්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව සහ නිදොස්ව සිටින පිණිස ස්වාමීන්වහන්සේ විසින් අපි  කැඳවනු ලැබ සිටිමු. ..බයිබලයේ ප්‍රථම පිටුවල සිට ශුද්ධවන්ත වීමට ඇති කැඳවීම ගැන විවිධ ආකාර වලින් ඉදිරිපත් කර තිබේ" යි එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම උපදේශ ලබා දෙන්නේ සිය තෙවැනි අපෝස්තලික අනුශාසනා පත්‍රය ප්‍රකාශය පත්කරමිනි.

"ප්‍රීති වන්න! සන්තෝෂ වන්න!"   (“Gaudete et Exsultate” -“Rejoice and Be Glad”) යන සිරසින්  ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ තුන්වැනි අපෝස්තලික අනුශාසනා පත්‍රය අප්‍රේල්  10 වැනිදින ප්‍රකාශයට පත්කෙරිණි. එහි උප ප්‍රධාන සිරස "අද ලෝකය තුළ ශුද්ධවන්ත භාවයට කැඳවනු ලැබීම ගැන" යන්නයි. මෙම අනුශාසනා පත්‍රයේ තේමාව එයින් පැහැදිලි වේ. එතුමා මෙම ලේඛනයෙන් පෙන්වා දෙන්නේ පැවිදි, පූජක, ගිහි, දුර්වල, ශක්තිමත්, පාපයට වැටෙන සුළු වැනි විවිධ තරාතිරම් නොතකා ජේසු සමිඳාණන් සියලු ජනතාව ශුද්ධවන්තභාවයට කැඳවනු ලබන බවයි. නූතන ලෝකය තුළ අප මුහුණ දෙන විවිධ අභියෝග පරයා ශුද්ධවන්ත භාවයේ කැඳවීමට 'ප්‍රායෝගිකව' ප්‍රතිචාර දක්වන ආකාරය මෙම අපෝස්තලික අනුශාසනා පත්‍රය මගින් සුදොතුම් පියතුමා පැහැදිලි කරයි.

"ප්‍රායෝගික" යන්න මෙහි වැදගත් වචනයකි. මෙම අනුශාසනා පත්‍රය ශුද්ධවන්තභාවය ගැන නිබන්ධනයක් නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. මේ නිසා ශුද්ධවන්ත භාවය ගැන නිර්වචන, ශුද්ධවන්ත භාවය ලබාගැනීමේ විවිධ මාර්ග ගැන සාකච්ඡා වැනි දේ මෙහි අන්තර්ගත නොවේ. "මගේ බැහැපත් අරමුණ වන්නේ අප ජීවත්වන කාලයට ප්‍රායෝගිකව ගැලපෙන ආකාරයෙන්  ශුද්ධවන්තභාවයට ඇති  කැඳවීම, ඒ සඳහා ඇති අනතුරු, අභියෝග සහ අවස්ථා ද ඇතුළත් වන අයුරින් යළි යෝජනා කිරීමයි. මන්ද 'උන්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව සහ නිදොස්ව සිටින පිණිස' ස්වාමීන් වහන්සේ අප සෑම කෙනෙකුම තෝරාගෙන ඇති නිසාය'" (එපේසි 1:4) යැයි මෙම අනුශාසනා පත්‍රය ආරම්භයේ එහි  අරමුණ පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා කියයි. ශුද්ධවන්තභාවය යනු බුද්ධිමය ගවේෂණයක් හෝ බුද්ධිමය අභ්‍යාසයක් හෝ නොව කිතුනු "ජීවිත මාර්ගයම" බව එතුමා මම අනුශාසනා පත්‍රයෙන් මතක් කරදෙයි. එපමණක් නොව එය සමස්ත සභාවේම සොඳුරු මුහුණුවර බව එතුමා පවසන්නේ "ශුද්ධවන්ත භාවය යනු සභාවේ අතිශයින්ම ආකර්ශනීය මුහුණුවර" බව පෙන්වා දෙමිනි.

"ප්‍රීති වන්න! සන්තෝෂ වන්න!" යන ශීර්ෂය උපුටාගෙන ඇත්තේ මතෙව් සුබ අස්නේ 5:12 පාඨයෙනි. "භාග්‍ය දේශනය "  අවසානයේ ජේසු සමිඳුන් එහි රැස්ව සිටි මහා සෙනගට දුන් උපදේශය එයයි: "ප්‍රීති වන්න! සන්තෝෂ වන්න! මන්ද  ස්වර්ගයේ ඔබගේ විපාකය මහත්ය".

මෙම අනුශාසනා පත්‍රයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කිතුනු ජනතාව වෙත ගෙන එන පණිවිඩය මාතෘකා කිහිපයක් යටතේ මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

ශුද්ධවන්තභාවයට සෑම කෙනෙකුම  කැඳවනු ලැබ ඇති බව - "තමාගේ ජීවිතය" එදිනෙදා පූර්ණ ලෙස ජීවත් වීම මගින් සෑම කෙනෙකුටම ශුද්ධවන්තයකු විය හැකි බව

දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුම - එක් එක් කෙනා  පෞද්ගලිකවම - ශුද්ධවන්ත භාවයට කැඳවා ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි. "මා ශුද්ධව සිටින බැවින් ඔබ ද ශුද්ධව සිටිය යුතුය" යි ලෙවී ව්‍යවස්ථාවේ 11:44 සහ පේදුරු තුමන් ගේ පළමු හසුනේ 1:16 පාඨ ගෙනහැර දක්වමින් එතුමා පෙන්වා දෙයි.

එහෙත් මේ ශුද්ධවන්ත ජීවිතය ජීවත් වන්නේ කෙසේද?

එය විස්තර කිරීම සඳහා සුදොතුම් පියතුමා පාදක කරගන්නේ දෙවන වතිකාන කතිකාවේ වටිනාම ඵලයක් වූ "Lumen Gentium" නමැති සභා ව්‍යවස්ථාවේ විශ්වාසකයන් ගේ ජීවිතය ගැන කර තිබෙන ප්‍රකාශයයි. "තමන් ගේ තත්වය හෝ ජීවිත තත්වය කවරක් වුවද අති මහත් වූ ද අති විශිෂ්ට වූ ද ගැලවීමේ මාර්ග වලින් ශක්තිය ලබමින් පියාණන් වහන්සේ පූර්ණව සිටින ආකාරයේ පූර්ණ ශුද්ධවන්තභාවය වෙත  - තමන් ගේ ම මාර්ගය ඔස්සේ - ගමන් කිරීමට සෑම විශ්වාසිකයෙක් ම කැඳවනු ලැබ සිටියි" යන්න එම ඉගැන්වීමයි.

මෙහි එන "එකිනෙකා තමන් ගේ ම මාර්ගය ඔස්සේ" (“Each in his or her own way") යන්න මෙම අනුශාසනා පත්‍රයේ 'යතුර' ලෙස සැලකිය හැකිය.

සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ සභාව විසින් ශුද්ධවරයන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තන් ගේ ජීවිතාදර්ශ දෙස බලා අපට ශුද්ධවන්ත භාවය දිනාගත නොහැකි යයි කිසිවෙකු අධෛර්යවත් නොවිය යුතු බවයි. මෙම ශුද්ධවරයන් ගේ ජීවිත අනුකරණය කිරීමට අපට නොහැකි වනු ඇත. එසේ කිරීමද අවශ්‍ය නොවේ. වඩා වැදගත් වන්නේ සිය ශුද්ධවර භාවයේ මාර්ගය නිශ්චය කිරීමට සෑම කිතුනුවෙකුටම හැකිය යන සාධකයයි. මේ සඳහා දෙවියන් වහන්සේ අප එකිනෙකාගේ හදවතට හා ජීවිතයට ලබා දී ඇති තිළිණ ප්‍රයෝජනයට ගත යුතුය. එසේ කොට තමා ගේ ම හැකියාවන්, තිළිණ සහ ජීවිත තත්වයන් ඔස්සේ ශුද්ධවන්ත භාවයට පා නැගීමට සැම කෙනෙකුටම හැකියාව තිබේ. මේ සඳහා ශා.බින්ගන්හි හිල්ඩර්ගාර්ඩ්,  ශා.බ්‍රිජට් වැනි සභාව තුළ ප්‍රතිසංස්කරණ වලට මං හෙලිකල ශුද්ධවරයන් කිහිප දෙනෙකු උදාහරණ ලෙස ගත හැකි බව සුදොතුම් පියතුමා කියයි.

එහෙත්, ඊටත් වඩා, සිය ජීවිත සාක්ෂ්‍ය තුළින් සිය පවුල් සහ සමාජය පරිවර්තනය කිරීම නිසා ශුද්ධවන්තයන් වූ අප්‍රසිද්ධ, අප නොදන්නා, අපට අමතක වූ විශාල පිරිසක් ද සිටින බව එතුමා පෙන්වා දෙයි. ඔවුන් අපට හමුවනු ඇත්තේ ස්වර්ගයේදී ය. ඔවුන් ගේ ජීවිත සාක්ෂ්‍ය අප දිරිමත් කොට ශුද්ධවන්ත භාවය සඳහා අප තුළ පෙළඹවීමක් ඇති කළ යුතුයැයි එතුමා කියා සිටියි.

කැපවුණු ජීවිත හෝ පූජක ජීවිත ගත කරන්නන්ට පමණක් නොවේ

ශුද්ධවන්ත භාවය ලබා ගත හැක්කේ "රදගුරු හිම්වරුනට, පුදැදුරුවරුනට හෝ කැපවුණු ජීවිත ගතකරන්නට පමණක් ය" යන ප්‍රසිද්ධ මතය ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනා පත්‍රයේ තරයේ ප්‍රතික්ෂේප කරයි. එය සෑම විශ්වාසිකයෙකුටම විවෘතය.

සැමියකු හෝ බිරිඳක, රැකියාවක් කරන්නෙකු, කම්කරුවෙකු, ගුරුවරයෙකු හෝ ගුරුවරියක, දෙමාපියකු හෝ  විවිධ අවස්ථාවල පසුවන සෑම  කෙනෙකුටම ශුද්ධවන්ත ජීවිතයක් ගත කල හැකිය. එය කල හැකි මාර්ග පිලිබඳ නිදර්ශන කිහිපයක් ද සුදොතුම් පියතුමා සඳහන් කර තිබේ. "ඔබගේ ප්‍රසාද ස්නාපනයේ වරප්‍රසාය ශුද්ධවන්තභාවයේ මාර්ගය තුළ ඵල දරන්නට ඉඩ හරින්න" යි එතුමා ඇරැයුම් කරයි.

අපගේ දුර්වලතා ශුද්ධවන්ත භාවයට බාධාවක් නොව, යැදුම තුළ  ජයගත හැකි අභියෝගයක් බවට හරවා ගත හැකි බව එතුමා පෙන්වා දෙයි. "ඔබගේ දුර්වලතා තුළ කල්ගත කිරීමට දුර්පරීක්ෂාවක් පැමිණි විට 'සමිඳුනි, මම අසරණ පව්කාරයෙක්. එහෙත් මා මීට වඩා ටිකක් යහපත් කිරීමේ ප්‍රාතිහාර්යය ඔබට කළ හැකියි' කියා කියන්න....ශුද්ධවන්තභාවය කරා ඔබ වර්ධනය කල හැකි සියලු දේ සහාව තුළ, එනම්,  ශුද්ධ වූ එහෙත් පව්කාරයන් ගෙන් සැදුනු   සභාව තුළ  ඔබට සොයා ගත හැකියැ"යි එතුමා අවධාරණය කරයි.

අභියෝග සහ ප්‍රායෝගික මාර්ග

"ප්‍රීති වන්න! සන්තෝෂ වන්න!" අපෝස්තලික අනුශාසනා පත්‍රය යහපත්, දෙවිඳුන්ට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීම සඳහා අත් පොතක් වැන්න. ශුද්ධවන්ත ජීවිතයකට ඇති අභියෝග, බාධක සේ ම ඒ සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර රැසක් නිදර්ශන සහිතව මෙහි පෙන්වා දී තිබේ.

නිතර කරුණාවන්ත වන්න, දයාවන්ත වන්න,  ඕපාදුප වලින් හා අන් අය විනිශ්චය කිරීමෙන් වලකින්න, කුරිරු නොවන්න යන අනුශාසනා මෙහි නිදසුන් සහිතව දක්වා තිබේ.

සාමාන්‍ය දේ අසාමාන්‍ය ආකාරයෙන් යහපත්ව කිරීම මගින් ශුද්ධත්ව මාර්ගයේ පියමං කළහැකි බව සුදොතුම් පියතුමා කියයි. එතුමා ඒ සඳහා ඉදිරිපත් කරන නිදසුන මෙසේය:
"වියට්නාමයේ  ප්‍රන්ශුවා ශාවියේ උයෙන් වාන් තුවාන් කාදිනල් තුමන් සිරගත කරනු ලැබූ විට තමා නිදහස් කරන දිනය ගැන සිතමින් එතුමා කාලය නාස්ති කලේ නැත. ඒ වෙනුවට එතුමා කළේ 'වර්තමාන මොහොත ප්‍රේමයේ කට මට්ටමට පුරවා ජීවත් වීමට ' තෝරාගැනීමය. එතුමා මෙසේ තීරණය කළේය: 'සෑම දිනකම ලැබෙන අවස්ථා මම ග්‍රහණය කරගනිමි. සාමාන්‍ය දේ අසාමාන්‍ය ලෙස ඉටු කිරීමට මම උත්සාහ කරමි.' "

දුර්මතවලින් මිදීම 

ශුද්ධවන්ත භාවයට බාධාවක් වන  පෙලේජියානුවාදය සහ ඥානවාදය යන දුර්මතවල වර්තමාන ස්වරූප වලින් මිදීම අත්‍යවශ්‍ය බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනා පත්‍රයේ පැහැදිලි  කරයි.

මේ අතරින් ඥානවාදය (Gnosticism) යනු සභා ඉතිහාසයේ පරාජය කරන ලද දුර්මතයකි. ගැලවීම ලබාගැනීමට අවශ්‍ය එකම දේ දැනගැනීම පමණක් බව එම මතය මගින් පෙන්වා දෙනු ලබයි. යහපත් ක්‍රියා හෝ දයා කරුණාවේ ක්‍රියා  අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ කිසියම් ක්‍රියාවක් උදෙසා වන බුද්ධිමය ප්‍රවේශය පමණක් බව මෙයින් කියවේ. "විශ්වාසය සම්පූර්ණයෙන් තේරුම් ගත හැකි" යයි වර්තමාන ඥානවාදීන්  සිතන  බව සුදොතුම් පියතුමා කියයි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ස්වකීය චින්තනය සෙසු ජනතාව මත ද බලහත්කාරයෙන් පැටවීමට ඔවුන් පෙළඹීමයි. "සෑම ප්‍රශ්නයකටම  පිළිතුර තමන් සතුව ඇතැයි යම් කෙනෙකු සිතන්නේ නම්, එය එම තැනැත්තා නිසි මාර්ගයේ නොවන බවට සලකුණකි." යි එතුමා පෙන්වා දෙයි. මේ නිසා 'සියල්ල දත් බව' කෙනකුගේ ගැලවීමට හේතු නොවන බව එතුමා සඳහන් කරයි.

පැලේජියානුවාදය ඉදිරිපත් කරන ලද්දේ 5 වන සියවසේ ජීවත් වූ පැලේජියස් නමැති දේවධර්ම විශාරදයාය. තම උත්සාහයන් මගින් ගැලවීම ලබාගත හැකි බව මෙම මතය දරන්නෝ ප්‍රකාශ කරති. දේව වරප්‍රසාදය අවශ්‍ය නොවන බව සිතන මේ මතය දරන්නෝ තමන් නිශ්චිත නීති පද්ධතියක් අනුගමනය කරන බැවින් සෙසු සියල්ලන්නට වඩා තමන් ශ්‍රේෂ්ඨ බව සිතති.

නූතන පැලේජියානුවාදය යනු "නීතියෙන් ආවේශ වීමක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "එය සමාජයීය සහ දේශපාලන වරප්‍රසාද සමහ අන්තර්ග්‍රහණය වීමයි; සභාවේ ජනවන්දනාව, සභා ඉගැන්වීම  සහ කීර්තිය වැනි කරුණු ගැන අතිශය සියුම් ලෙස සැලකිල්ල දැක්වීමයි. මෙය ශුද්ධවන්තභාවයට සැබෑ අනතුරකි. මන්ද ඒ මගින් බැහැපත්කම සොරාගනු ලබන නිසාය; තමන් අන් අයට වඩා ඉහලින් තබා ගැනීමට පොළඹවනු ලබන නිසාය; දේව වරප්‍රසාදයට ඉඩ අහුරන නිසාය" යි එතුමා පෙන්වා දෙයි.

ශුද්ධවන්තබවට මාර්ගය: භාග්‍ය ජීවිතය ජීවත්වීම 

ජේසු සමිඳුන් කන්ද උඩ දේශනාව හෙවත් "භාග්‍ය දේශනය"මගින් කලේ ශුද්ධවන්ත භාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි සරල බසින් ඉගැන්වීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනා පත්‍රයේ පවසයි. (මතෙව් 5:3-12; ලූක් 6:20-23). මේ නිසා ශුද්ධවන්ත බවට මාර්ගය ජේසු සමිඳුන් උගැන්වූ මෙම භාග්‍ය මාර්ගය බව එතුමා පහදා දෙයි.

"භාග්‍ය යනු කිතුනුවකු ගේ හැඳුනුම් පත බඳුය. එබැවින් යහපත් කිතුනුවකු වීමට මා කුමක් කළ යුතුදැයි කෙනෙකු විමසුවොත් පිළිතුර පැහැදිලිය. එනම්, අප එකිනෙකා තමාගේ හැකියාව අනුව කන්ද උ දේශනාවේ ඉගැන්වීම් ජීවත් වීමයි. ... මේ නිසා 'භාග්‍යවන්ත' නොහොත් 'අශීර්වාදලත්' යන පද 'ශුද්ධවන්ත' යන පදයට සමාන පද වේ" යයි එතුමා පෙන්වා දෙයි. මේ හේතුවෙන් "අප සසල කිරීමට සහ අපට අභියෝග කිරීමට ජේසු සමිඳුන්ගේ මෙම භාග්‍ය දේශනයට ඉඩ දෙන්නැයි" එතුමා කිතුනුවනට ඇරයුම් කරයි.

කන්ද උඩ දේශනාවේ එන භාග්‍ය  මාර්ගය ඔස්සේ ශුද්ධවන්ත වන්නේ කෙසේ දැයි සුදොතුම් පියතුමා මෙහි දීර්ඝ ලෙස විස්තර කරයි. එය සාරාංශ ගත කළහොත් මෙසේය:

සිතින් දිළිඳු වීම; එය ශුද්ධවන්ත භාවයය.
මෘදු සිතැති වීම; එය ශුද්ධවන්ත භාවයය.
විනෝදය, වින්දනය, හැරවීම, සහ පලායාම කීර්තියට පත්කරන ලෝකය තුළ    සෙසු අය සමග වැළපීමට හැකිවීම; එය ශුද්ධවන්ත භාවය ය.
යහපත්කම සහ ධර්මිෂ්ට කමට සාගින්නෙන් සහ පිපාසයෙන් පෙලීම; එය ශුද්ධවන්ත භාවයය.
දයා කරුණා නෙතින් බලා දයා කරුණාවෙන් ක්‍රියා කිරීම; එය ශුද්ධවන්ත භාවයය.
ප්‍රේමය කෙලෙසන දේවලින් හදවත පිවිතුරුව තබා ගැනීම: එය ශුද්ධවන්ත භාවයය.
අප අවට සෑම තැනම සාමය වැපිරීම; එය ශුද්ධවන්ත භාවය ය.
අපට දැඩි දුෂ්කරතා හෝ දුක් පීඩා විඳීමට සිදු වුනත්  සුවිශේෂයේ මාර්ගයේ දිනපතා ගමන් කිරීම; එය ශුද්ධවන්ත භාවය ය.

සාරාංශය 

සමස්ත අපෝස්තලික අනුශාසනා පත්‍රයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ලබා දෙන පණිවිඩයේ සාරාංශය මෙසේ දැක්විය හැකිය.

ශුද්ධවන්ත භාවය හුදෙක් රදගුරු වරුනට, පුදැදුරු වරුනට හෝ කැපවූ ජීවිත ගත කරන්නන්ට සීමා වූ එකක් නොවේ. ශුද්ධවන්ත භාවය සඳහා ජේසු සමිඳුන් සෑම කිතුනුවකුම කැඳවා ඇත. ශුද්ධවන්තවීම සඳහා අති විශාල  දේ  කිරීම අවශ්‍ය වන්නේ නැත. තම ජීවිත කැඳවීම සහ ජීවිත තත්වය අනුව, තමන්ට පැවරී ඇති වගකීම් හෝ රැකියාව අනුව  තමාට කල හැකි ඉතා සාමාන්‍ය ඉතා සුළු දේ අවංකව, සිතට එකඟව, ප්‍රේමයෙන් හා අසාමාන්‍ය අයුරින් ඉටු කිරීම මගින් ශුද්ධවන්ත භාවයට පංගුකාරයන් විය හැකිය. බිරිඳක හා මවක ලෙස, පියකු හා සැමියකු ලෙස, දරු දැරියන් හා සහෝදර සහෝදරියන් ලෙස, ගුරුවරයකු, නීතීඥයකු, වෛද්‍යවරයකු, කම්කරුවකු, කළාකරුවකු හෝ දේශපාලකයකු ලෙස සිය භූමිකාව භාග්‍ය දේශනයට අනුකූලව ඉටු කිරීම මගින් මෙම කැඳවීම අනුව ජීවත්වීමට සෑම කෙනෙකුටම හැකිය.

ශුද්ධවන්ත බව යනු ඇත්තෙන්ම සභාවේ ආකර්ශනීයම මුහුණ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එය කිතුනුවාගේ හැඳුනුම් පත බව එතුමා කියන්නේ ඒ නිසාය. මේ නිසා ශුද්ධවන්තබව  කිතුනු ජීවිතයේ අතිරේක දෙයක් හෝ අතිරේක ලක්ෂණයක් නොවේ. ශුද්ධවන්ත බව කිතුනු ජීවිතයමය. සභාවේ ජීවිතයමය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනා පත්‍රයෙන් උගන්වන්නේ එම සත්‍යය ය.

"ප්‍රීති වන්න! සන්තෝෂ වන්න!" අනුශාසනා පත්‍රය පූර්ණ කිතුනු ජීවිතයක් ගත කිරීමේ අරමුණින් සිටින සෑම කතෝලිකයකුටම අත්  පොතක් ද උපදේශ සංග්‍රහයක් ද වන්නේ ඒ නිසාය.


Comments