පෙරැළිකාර රෝමයේ රදගුරු තුමන් හා ජනතාව වෙනුවෙන් දිවි පිදූ එල් සැල්වදෝර අගරදගුරු හිමි ගේ සාන්තුවරය රදගුරු සිනොඩ් කතිකාව අතරතුර රෝමයේදී -එහි පසුබිම

Canonization of Oscar Romero and Pope Paul VI during the Synod ob Youth in Rome - And why..?

නව සාන්තුවරුන් දෙදෙනා වතිකානයේදී හමු වූ මොහොත 

දෙවන වතිකාන කතිකා නවෝදයේ නියමුවා වූ භා. සවැනි පාවුළු පාප් වහන්සේ සහ සන් සැල්වදෝරයේ පීඩිත ජනතාව වෙනුවෙන් දේව විශ්වාසය තුළ හඬ නැගීම නිසා එම කුරිරු රෙජීමය් වෙනුවෙන් භාතනය කරන ලද භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමියන් සාන්තුවර භාවයට එසැවීම ඔක්තෝබර 14 වනදා සිදු කෙරෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිල වශයෙන් දැනුම් දුන්නේය.

එතුමා  මේ බව ප්‍රකාශයට පත් කලේ මැයි 19 වනදා රෝමයේදී පවත්වන ලද කාදිනල් හිමිවරුන් ගේ සාමාන්‍ය රැස්වීමකදීය.

මෙම භාග්‍යවන්තයන් දෙදෙනා සමග තවත් භාග්‍යවන්තයන් සිව් දෙනෙකු මෙදිනදීම සාන්තුවරයට එසවීමට නියමිතය. ඉතාලි ජාතික පියතුමන්ලා දෙදෙනෙකු සහ ජර්මානු සහ ස්පාඥ්ඥ ජාතික කාන්තා පැවිදි නිකාය දෙකක නිර්මාතෘවරු ඒ අතර වෙති.

 මේ අතරින් විශේෂ අවධානයක් ලබන්නේ භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ සාන්තුවරයයි.  එල් සැල්වදෝරයේ ජන පීඩක රෙජීමය විසින් දුප්පත් ගොවි සහ කම්කරු ජනතාව වෙත මුදා හැර තිබූ දැඩි පීඩනයටත්, සාහසික ප්‍රචන්ඩත්වයටත් එරෙහිව එතුමා හඬ නැගුවේය. ඔවුන් සමග එකට එක්ව වැඩ කළේය. ඔවුන් සමග එකට ජන පීඩක රෙජීමයට මුහුණ දුන්නේ ය. අවසානයේ දී දිව්‍ය පූජාව පවත්වමින් සිටියදී එම රෙජීමයේ ම කුලී තුවක්කු කරුවකුගේ වෙඩි පහරින් එතුමා ස්වර්ගස්ථ විය.

එල් සැල්වදෝරයේම කතෝලික සභාවේ ඇතැම් අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් විසින් රොමෙරෝ හිමිපාණන් ගේ සේවාව අර්ථ දැක්වුයේ "කොමියුනිස්ට් කාරයන්ට" උදව් කිරීමක් ලෙසය. එතුමා විමුක්ති දේවධර්මය අනුයන්නකු ලෙස ද, වාමාංශිකයකු ලෙස ද  ඔව්හු හඳුන්වා දුන්හ. මේ කරුණු රැසක් නිසා කිහිප වතාවක් එතුමන් ගේ සාන්තුවර ක්‍රියාමාර්ගය අත්හිටුවනු ලැබ  තිබිණි. එම ක්‍රියා මාර්ගය යළි පණ ගන්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි.එසේම සවැනි පාවුළු පාප් වහන්සේ ද මේ යුගයේ දැඩිම අවධානයක් යොමු වූ සුදොතුම් පියතුමෙකි.

ඒ අතර, තවත්  වැදගත් කාරණයක් වන්නේ මේ භාග්‍යවන්තයන් දෙදෙනා ජීවත්ව සිටියදී ඔවුන් අතර මනා සම්බන්ධතාවක් තිබීමයි.

මේ කාරණා නිසා මෙම සාන්තුවර භාවයන් මෙම යුගයට ශුද්ධාත්මයානන් විසින් ම දානය කරන ලද සලකුණු සේ සැලැකිය හැකිය.

භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමා 

භාග්‍යවන්ත සවැනි පාවුළු පාප් වහන්සේ සභාව මත සිය නොමැකෙන සලකුණ තබා ඇත්තේ දෙවන වතිකාන කතිකාවට නායකත්වය දී එය  සාර්ථක පරිසමාප්තියට ගෙනා සසුනිසුරාණන් ලෙසය. දෙවන වතිකාන කතිකාව තුළින් ගැඹුරු  දේවධාර්මික අගයෙන් සහ සසුන්වේදී අගයෙන් යුත් ලේඛන රැසක් සම්පාදනය කරනු ලැබිණ. ඒවායින් ඇතැම් ඒවා සවැනි පාවුළු පාප් වහන්සේගේම මැදිහත්කම හා නායකත්වය යටතේ සම්පාදනය වූ ඒවාය. පූර්ව වතිකාන කතිකා යුගයේ දාසයන් සේ සැලැකුණු ගිහියාට සමතැන ලැබුනේද මෙම කතිකාවේ ගිහියා පිළිබඳව  එළි දැක්වුණු ලේඛනයෙනි.

ඒ සියල්ලම වඩා වැදගත් වන්නේ එම කතිකාවේදී සිදු වූ ජනවන්දනා ප්‍රතිසංස්කරණයයි. අද අප ඔප්පු කරන දිව්‍ය පූජා නියමය අපට ලැබුනේ ඒ අනුවය. පුදැදුරු තුමන් විශ්වාසික ජනතාව දෙසට හැරී, කාටත් තේරෙන ස්වභාෂාවෙන් දේව වචනයට සවන් දීමටත් දිව්‍ය පුජාව ඔප්පු කිරීමටත් ලැබීම මේ පූජා ආකෘතියේ විශේෂත්වයයි. මෙම පූජා නියමය සකස් කරන ලද්දේ සවැනි පාවුළු පාප් වහන්සේ විසින් ම බව කියැවේ. මේ නිසා තවමත් ඊට විරෝධය දක්වන වතිකාන කතිකා විරෝධීන් එය හඳුන්වන්නේ "පෝලීන පුජාව" ("Pauline Mass") යනුවෙනි.

එතුමන් ශුද්ධවරයට  එසවෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ වෑයමක් සභාව තුළින්ම මතුවෙමින් පවතින වකවානුවකය. වෙනත් වෑයම් වලට අමතරව,  පූර්ව වතිකාන කතිකා යුගයේ කල සේ පුදැදුරු වරුන් "පෙරදිග දිශාවට" හැරී (එනම් ජනතාවට පසුපස හරවා ) ලතින් බසින් දිව්‍ය පූජාව සිදුකළ යුතු යැයි මතයක් ද වයසින් ජ්‍යෙෂ්ඨතම කාදිනල් හිමිවරුන් විසින් මෑතක දී පතුරුවනු ලැබිණ. (එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ දෙවන වතිකාන කතිකාවෙන් කරන ලද ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බවය. )

මේ නිසා මෙවැනි මත පැතිර යන කාලයකම ශුද්ධවරයට අවශ්‍ය දෙවන ප්‍රාතිහාර්යයත් සම්පූර්ණ කරමින් භා. සවැනි පාවුළු පාප්වහන්සේ ශුද්ධවරයට එසැවීමේ මග හෙළිවීම කාලයේ සලකුණකි. 

භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමි 

ඔස්කා රොමෙරෝ මාහිමිපාණන් රදගුරුවරයටත්, සැන් සැල්වදෝරයේ අගරදගුරු තුමා ලෙසත් පත් කරන ලද්දේ සවැනි පාවුළු පාප් වහන්සේ විසිනි. රොමෙරෝ පියතුමන් මුලින් ප්‍රසිද්ධව සිටියේ ජනතා දුක නොදැනෙන, පොතටම වහවැටී සිටින "පොත් ගුල්ලෙකු" ලෙසය. එහෙත් සිය රටේ ගොවි, කම්කරු ජනයා විඳි අනේක අප්‍රමාන දුක්ඛ දෝමනස්සත් රෙජීමයේ හමුදා අතින් ඔවුනට සිදු වූ අපරාධත් සිය දෑසින් දුටු එතුමා ගේ හදවත තුළ දැවැන්ත පරිවර්තනයක් සිදු විය. එතුමා දුක් විඳින ජනතාව ගේ හඬ බවට පත් වූයේ ඉන් පසුවය.

ජේසු සමිඳුන් කෙරෙහි වූ ප්‍රේමයේ දෑසින්  දුක් විඳින ජනයා තුළ දුක් විඳින ජේසු සමිඳුන් හඳුනාගෙන  උන්වහන්සේට උවැටන් කිරීමේ මෙම මෙහෙවර පහසු එකක් වූයේ නැත. එක අතකින් සිය රට පාලනය කළ අමානුෂික රෙජීමයෙන් එතුමනට ජීවිත තර්ජන එල්ල විය. අනෙක් අතින් එල් සැල්වදෝරයේම සිය සහෝදර රදගුරු හිමිවරු පිරිසකුත් ලෝක කතෝලික සභාවේ බහුතර කොටසත් එතුමා ගේ මෙහෙවර සාවද්‍ය ලෙස තේරුම් ගත්හ. "කොමියුනිස්ට් කාරයා" යන ලේබලය එතුමාට වැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

කවර තර්ජන මැද  වුවත් සිය මෙහෙවර අත්නොහළ එල් සැල්වදෝරයේ අගරදගුරු ඔස්කා රොමෙරෝ හිමි 1978 ජුනි 21 වැනිදා තම එතැනට පත්කළ රෝමයේ රදගුරුතුමන්  (සවැනි  පාවුළු පාප් වහන්සේ) මුණගැසීමට ගියේය. එදා එතුමන් මුණ ගැසීමෙන් පසුව රොමෙරෝ අගරදගුරු තුමන්ට දැනුනේ  ජේසු සමිඳුන් මුණගැසුනා බඳු අස්වැසිල්ලකි. සැනසීමකි. 

"එල් සැල්වදෝර ජනතාවට මහත් ප්‍රේමයෙන් උදව් කරන්න" යැයි පාවුළු පාප්තුමන් තමන් දිරිමත් කල බව ඒ හමුව ගැන සිය දිනපොතේ සටහන් කරමින් රොමෙරෝ අගරදගුරු තුමා පවසා තිබේ.

"ඔබගේ සේවාවේ ඇති දුෂ්කර බව මා දන්නවා. එය පහසුවෙන් වරදවා තේරුම් ගත හැකි සේවයක්. ඔබ තුළ ඉවසීමත්, ධෛර්යය සහ දරා ගැනීමේ ශක්තියත් බහුලව තිබිය යුතුයි. සෑම කෙනෙකුම ඔබ සිතන ආකාරයෙන් නොසිතන බව මම දන්නවා. ඔබේ රටේ තිබෙන තත්වය අනුව  හැමෝටම එක විධියට සිතන්නටත්  අපහසුයි. එහෙත්, ධෛර්යයෙන්, ඉවසීමෙන්, ශක්තියෙන් සහ බලාපොරොත්තුවෙන් ඉදිරියට යන්න" යයි පාවුළු පාප් තුමා රොමෙරෝ අගරදගුරු තුමාට කීවේය.

"මා වෙනුවෙනුත් මගේ පදවියේ ජනතාව වෙනුවෙනුත් යාච්ඥා කරන බවට (සවැනි පාවුළු) සුදොතුම් පියතුමා මට පොරොන්දු විය." යයි එම හමුව ගැන ලියූ සිය සිය දීර්ඝ දින සටහනේ රොමෙරෝ අගරදගුරු තුමා සටහන් කර තිබේ. "මා සමගිය සහ එකමුතුව වෙනුවෙන් සෑම උත්සාහයක්ම ගත යුතු බවට සුදොතුම් පියතුමා මට උපදෙස්  දුන්නේය. එසේම එතුමාට පෞද්ගලිකව කල හැකි යම් උදව්වක් වෙතොත් එතුමා සතුටින් කරන බවටද එතුමා පොරොන්දු වූයේය"

සවැනි පාවුළු සුදොතුම් පියතුමා ගෙන් ලැබුණු මෙම පොරොන්දු සහ සැනසිලි වදන් වලට ප්‍රතිචාර ලෙස තමා දුන් ප්‍රතිඥා ගැන ද රොමෙරෝ අගරදගුරු තුමා එම දින සටහනේ මෙසේ සටහන් කර තිබේ.

"සභාවේ ගුරු බලයට මගේ නොසැලෙන කීකරු කමත් අවනතභාවයත් මම එතුමාට පල කර සිටියෙමි. එසේම මගේ රටේ පවතින ප්‍රචණ්ඩකාරී තත්වය ප්‍රතික්ෂේප කිරීම තුළ මම නිරන්තරයෙන්ම සියල්ලන්ගේ සිත් හැරීමත් දුක් විඳින ජනතාව සහ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වූ පවුල් කෙරෙහි  අනුකම්පාවත්  ඉල්ලා සිටින බවත්  එතුමාට පැවසුවෙමි. එසේම මම පාපය එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත්, පව්කාරයන් ගේ සිත් හැරීමක් ඉල්ලලා සිටින බවත් සුදොතුම් පියතුමාට කියා සිටියෙමි."

"තමා එල්සැල්වදොර ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන බව සුදොතුම් පියතුමා අවසන් වශයෙන් මට කියා සිටියේය. අපට උදව් කළ හැක්කේ කෙසේදැයි එතුමනට පවසන ලෙසද එතුමා මගෙන් ඉල්ලා සිටියේය" යයි එම දින සටහන අවසානයේ සඳහන් වෙයි. (එම වසරේම අගෝස්තු මස 6 වැනිදා සවැනි පාවුළු සුදොතුම් පියතුමා ස්වර්ගස්ථ වූයෙන් රොමෙරෝ අගදගුරු තුමන්ට තමන්ට දිරි දුන් විශ්වාසවන්ත දයාබර පියෙකු අහිමි විය.)

මේ සැබෑ මිනිසුන් දෙදෙනා තුළ වූ මානුෂික හදවතත්, ශුද්ධවන්ත භාවයත් ගැන කතා කිරීමට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. මෙම දිනපොත් සටහන පමණක් ඔවුන් ගේ හදවත් වල කැඩපතක් බඳුය.

සාන්තුවර භාවය රෝමයේ සිදුකරන්නේ ඇයි?

එල් සැල්වදෝර ජනතාවත්  සභාව පිලිබඳ විචාරකයිනුත් සිතා සිටියේ රොමෙරෝ අගදගුරු තුමන් සාන්තුවරයට එසැවීම එල් සැල්වදෝරයේ සිදුකර, ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ඊට සහභාගී වනු ඇති බවයි. එහෙත්  එම සියල්ලන් මවිත කරමින් එය රෝමයේ පැවත්වීමට එතුමන් තීරණය කර තිබේ.

ඊට ප්‍රධාන හේතුවක් තිබේ. භා. රොමෙරෝ අගරදගුරු තුමන් සාන්තුවරයට එසැවීම එල් සැල්වදෝරයේ දී සිදුවන්නේ නම්, එතුමා හුදෙක් එරටට පමණක් සීමාවූ සාන්තුවරයකු බවට පත්වීමේ හැකියාව තිබේ. එහෙත් මේ ආදර්ශවත් සාන්තුවරයා හුදෙක් එක් රටකට පමණක් සීමා නොකර ලෝකයේ ම ආදර්ශවත් සාන්තුවරයකු බවට පත් කිරීම සුදොතුම් පියතුමන් ගේ අරමුණ වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

"මුලින්ම මොන්සිඥ්ඥෝර් රොමෙරෝ අපේ සාන්තුවරයා. ඊළඟට එතුමා ඇමෙරිකාවේ සාන්තුවරයා. දැන් එතුමා විශ්ව සභාවේම සාන්තුවරයා බවට පත්වෙනවා" එල් සැල්වදෝර් ජනතාව කියන්නේ එහෙමය.

තවත් වැදගත් කරුණක් තිබේ. මෙම සාන්තුවර භාවය ප්‍රකාශයට පත්කිරීම සිදුවන්නේ තරුණයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව රෝමයේ පැවැත්වෙමින් තිබෙන අතරතුරය. මේ සඳහා ලොව  පුරා  රදගුරු සමුළුවල නියෝජිත රදගුරු හිමිවරු රෝමයට පැමිණෙති. සවැනි පාවුළු සුදොතුම් පියතුමා සමග රොමෙරෝ රදගුරු තුමන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් සාන්තුවරයට ඔසවනු ලබන්නේ මෙලෙස එහි රැස්වන ලොව පුරා රදගුරු හිමිවරුන් අබියසදීය. මෙහි අරමුණ මෙම නව සාන්තුවර රදගුරු තුමා රදගුරු හිමිවරුන් ගේ ආදර්ශය ලෙස ලෝකයට ලබාදීම යැයි විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. 





Comments