ප්‍රේමයට සහ සේවක-නායකත්වය ට කෙරෙන අභියෝගාත්මක කැඳවීම: “Paul, Apostle of Christ” සිනමා නිර්මාණය (වීඩියෝ )

The movie "Paul, Apostle of Christ"- A Challenging Call to Love and Servant-Leadership

පාවුළු සහ ලූක් සිර කුටිය තුළ 

(2018 අප්‍රේල් 19)
සෑම වසරකම පාස්කු මංගල්‍ය සමයට ශුද්ධ ලියැවිල්ල හෝ ක්‍රිස්තු ධර්මය පදනම් කරගත් සිනමා කෘතියක්  ලෝක සිනමාවට එක්වෙයි. ක්‍රිස්තු චරිතය, ශුද්ධ බයිබලයේ චරිත සහ කතා මෙන්ම ක්‍රිස්තු ධර්මයේ අභියෝගාත්මක ඉගැන්වීම්,  සාර්ථක සිනමා නිර්මාණ වලට අවශ්‍ය මූල බීජ  නොකඩවා සපයන බවට මෙය සාක්ෂියකි. ලෞකිකකරණය වී ඇති බටහිර හා උතුරු ඇමෙරිකානු සිනමා රසිකයන් අතර ද මෙම සිනමා නිර්මාණ ජනප්‍රිය වීමට ගතවන්නේ ක්ෂණයකි.

2018 පාස්කු මංගල්‍ය සමයේ බටහිර රිදී තිරවල දිගහැරුණු අලුත්ම සිනමා නිර්මාණය ඇන්ඩෘ හයට් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “Paul, Apostle of Christ” (“ක්‍රිස්තු අපෝස්තුළු- පාවුළු”) චිත්‍රපටයයි.

සෑම කිතුණුවකුම නැරඹිය යුතු ඉහළ නිර්මාණශීලි අගයෙන් යුත් චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම කෘතියට පදනම් වී ඇත්තේ නීරෝ අධිරාජයාගේ පාලන සමයේ රෝමයේ ජීවත් වූ ක්‍රිස්තියානින් ගේ ජීවිත අරගලයයි. ශු. පාවුළු තුමන් සහ එතුමන් ගේ සහායක සුවිශේෂක ශු. ලූක් තුමන් එම දුක් විඳින සභාවට ජීවය කවමින් අනුප්‍රාණය  දුන් ආකාරය මෙම කතාවෙන් ගෙනහැර දැක්වේ. “Paul, Apostle of Christ” යනුවෙන් නම් කර තිබුනත් මෙහි කතානායකයා ලූක් තුමාය. නීරෝ ගේ කෝපයෙන් සැඟවී සිටි මුල් කිතුනු සභාවත් පාවුළු තුමාත් අතර දුව යමින් පණිවිඩය ජීවත් කරන්නේ ඔහුය. මෙහි  පාවුළු තුමන් ගේ චරිතයට පන පොවන්නේ ඉංග්‍රීසි ජාතික චරිතාංග නළු  ජේම්ස් ෆෝක්නර්ය. ලූක් (සුවිශේෂක ලූක් තුමා )ගේ චරිතයට පණපොවන ජිම් කැවියසල් ගේ රංගන කුසලතාව විසින් එය අතිශය ප්‍රබල චරිතයක් බවට පත්කර තිබේ. ඔහු සිනමා රසිකයාට නවකයෙක් නොවේ. “The Passion of the Christ” චිත්‍රපටයේ ක්‍රිස්තු චරිතයට පණ  පොවමින් නිර්මානාත්මක ප්‍රබල රංගනයක යෙදුනේ  ජිම් කැවියසල්ය.

කතාසාරය 

“Paul, Apostle of Christ” චිත්‍රපටයට පදනම් වන්නේ ක්‍රි. ව. 64 අවට කාලයේ  රෝමයයි. මේ සමයේ රෝම අධිරාජයා වූයේ කුප්‍රකට නීරෝ යි. ඔහු ගේ පාලන සමයේ රෝමයට ගිණි ඇවිලිණි. ගින්න නිසා උත්සන්න වූ  ජනතා කෝපයෙන් ගැලවීම සඳහා නීරෝ කියා සිටියේ මෙම ගින්න අවුලන ලද්දේ ජේසුස් ක්‍රිස්තුස් ගේ (ක්‍රිස්තුන් වහන්සේ ගේ) අනුගාමිකයන් විසින් බවයි මෙය හේතුවක් කරගත් ඔහු එවකටත් ක්‍රිස්තු අනුගාමිකයන් මත මුදා හැර තිබූ  පීඩනය අතිශයින් දැඩි කළ බව රෝම ඉතිහාසඥ ටැක්ටිකස් ලියා තිබේ. කුසගින්නෙන් පෙළුණු සිංහයන් කොලෝසියම් ක්‍රීඩාංගනයට මුදාහැර  ක්‍රිස්තු අනුගාමිකයන් ඔවුන් සමග ‘ක්‍රීඩා කිරීමට’ යොදවා සිංහයන්  විසින් ඔවුන් ඉරා දමනු බලා නීරෝ ඇතුළු රෝම ප්‍රභූහු මහත් ‘වින්දනයක්’ ලැබූහ. ක්‍රිස්තු අනුගාමිකයන් රෝමයේ පහන් කණුවල ගැටගසා ඔවුන් ගේ සිරුරේ පාන්කඩ ඔතා ඒවාට ගිණි දල්වා, රෝමයේ රැය එලිය කරන ජීවී පන්දම් බවට ඔවුහු පත්කරන ලදහ. රෝම සොල්දාදුවකුට හසුවන ඕනෑම ක්‍රිස්තු අනුගාමිකයකුට කවර අන්දමේ මරණයක් හෝ හිංසාවක් සිදුවේද යන්න සිතා ගත නොහැකි තරම් බියකරු අඳුරු පරිසරයකින් රෝමය තැතිගෙන තිබුනේය.

සිනමා නිර්මාණයට පදනම් වන කාලය  වන විට පාවුළු තුමා  නීරෝ අධිරාජයාගේ  නියෝග මත පොළොව යට සිර මැදිරියක සිර ගත කරනු ලැබ  සිටියි.ඔහුගේ දේශනා අසා ක්‍රිස්තු ධර්මය වැලඳගත් ග්‍රීක ජාතික වෛද්‍යවරයකු වූ ලූක් (සුවිශේෂක ලුක්තුමා),  ඔහු  බැලීමට රහසිගතව එහි යයි. රෝමයේ ක්‍රිස්තියානීන්ට සිදුවන අප්‍රමාණ  වූ කුරිරු වද  හිංසා දකින ලූක් තුමා දැඩි වේදනාවට පත්වෙයි. ඔහු සිය ගුරුතුමන් ද ලබැඳි සහෝදරයා ද වූ පාවුළු තුමන් මුණ ගැසෙන්නට යන්නේ මෙම දුක් විඳින සභාව දිරිමත් කිරීමට අවශ්‍ය අනුශාසනා ලබා ගැනීමටයි. ඒ අතර සිය සුබ අස්නේ දෙවැනි කොටස ලෙස සැලකිය හැකි ‘අපොස්තුළුවරුන් ගේ ක්‍රියා’ පොතට අවශ්‍ය තොරතුරු පාවුළු තුමන්ගෙන් ලබා ගැනීම ද ඔහු ගේ තවත් අපේක්ෂාවකි. එතැන් සිට පාවුළු තුමා සහ ලූක් තුමාත් එවකට රෝමයේ කොටසක රහසිගතව වර්ධනය වෙමින් තිබූ  “මාර්ගය” (The Way”) නමැති කිතුනු සංඝයත් මුහුණ දෙන අභියෝග, දුක්ඛ දෝමනස්ස, සහ අර්බුදත්  මෙම ඇදහිල්ලේ සංඝය ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරයත්  මෙම කතාව පුරා දිග හැරේ.

තාසසයේ සාවුල් නමැති ජුදෙව් භක්ති උන්මත්තකයා (fanatic) විසින් දේව අපහාසකරුවන් (blasphemers) ලෙස සලකන ලද  ක්‍රිස්තියානීන්ට හිංසා කරන ලද ආකාරයත් ඔහු ගේ සිත් හැරීමත් ඉදිරිපත් කරනු ලබන්නේ  ලූක් සමග ඇතිවන කතා බහ සහ අතීතානුස්මරණ ආකාරයෙනි.  එය ඉතා සාර්ථක තාක්ෂණික හා සිනමාරූපී ප්‍රයත්නයක් බවට පත්ව තිබේ.

ප්‍රිසිලා (දකුණේ), ලූක් (මැද) සහ අඛිලා 


බයිබලීය පදනම

සිනමා කෘතියනිර්මානය කර තිබෙන්නේ ඓතිහාසික තොරතුරු පදනම්ව නිර්මාණය කරගත්  කතාවක්  විලසිනි. මේ නිසා ඇතැම් විට ශුද්ධ ලියැවිල්ල පිලිබඳ විශාරදයන් මෙහි බයිබලීය පදනම ගැන ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ.

එහෙත් එවැනි විශාරදයන් ගේ අවධානය යොමුවිය යුත්තේ සමස්ත කතාවට සහ චිත්‍රපටයේ පණිවිඩය වෙතටය යන්න පෙන්වා  දිය යුතුව තිබේ. මන්ද මෙම කතාවෙන් වැදගත් කරුණු දෙකක් ඉස්මතු  කර ඇති නිසාය. එකක් ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ දෙවන භාගයේ රෝමයේ පැවැති පරිසරය තුළ තමන්ට එල්ලවූ අභියෝග වලට පළමු  ක්‍රිස්තු අනුගාමිකයන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි.   අනෙක එතෙක් කට වචනයෙන් පැවැති ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ක්‍රියාත් ප්‍රථම ක්‍රිස්තියානීන් ගේ ජීවිතයත් ලිඛිත සම්ප්‍රදායට පරිවර්තනය වූ ආකාරයයි. 

සුබ අස්නේ අප මඳක් දන්නා චරිත ද අප නොදන්නා නමුත් උත්ථාන වූ කිස්තු සමිඳුන් වෙනුවෙන් සාක්ෂි දරා ප්‍රාණපරිතයාගී වූ චරිත ද රැසක් වෙති. ඔවුහු සෑම කාලයකම ජීවත් වන කිතුනුවන් ගේ ජීවිතයට ආලෝකයකි; ධෛර්යයයකි; අනුප්‍රාණයකි. එලෙස ශු. පාවුළු තුමන් ගේ සභාව තුළ ජීවත් වූ කිතුනු නායක යුවලකට මෙම සිනමාකරුවා පණ දී තිබේ. ඒ මෙම සැඟවුණු කිතුනු ජන පවුලේ නායක යුවල වූ අඛීලා සහ ප්‍රිසිලායි.

සිය පණිවිඩය තීව්ර කිරීම සඳහා සිනමාකරු ශුද්ධ ලියැවිල්ලේ හමු නොවන චරිත දෙකක් ද නිර්මාණය කර තිබේ. එනම් ක්‍රිස්තියානින් සිර  ගත කොට සිටි සිරගෙදර  ප්‍රධානියා වන මොරිසියස් සහ ඔහුගේ බිරිඳ ගේ චරිතයි. මොරිසියස් අපට සහිපත් කරන්නේ පොන්සියු පිලාත්තු ආණ්ඩුකාරයා ගේ පුද්ගල භාවයයි. මොරිසියස් සිය අධිරාජයාගේ නියෝග අකුරට පිළිපදියි. එහෙත් කිසිදු වරදක් නොමැති බව තමන්ට පෙනෙන පාවුළු සහ ලූක් යන ක්‍රිස්තු අනුගාමික නායකයන් වෙත ඔහු තුළ ඇත්තේ ලිහිලකි; මෘදු බවකි. නිර්මාණශීලිව ඇතුළත් කර ඇති  අඛීලා, ප්‍රිසිලා සහ මොරීසියස් ගේ චරිත වලින් “Paul, Apostle of Christ” වෘත්තාන්තයට මහත් ආලෝකයක් ලැබී තිබේ. 

සිනමා තාක්ෂණය  

මෙම කෘතිය සරල, සුන්දර, සීනි බෝල ධර්මෝපදේශ කතන්දරයක් නොකරන්නට සිනමා කරුවා මෙන්ම එම චරිතවලට පණ  පොවන සියලු රංගන ශිල්පීන් ද වග බලාගෙන තිබේ. කතාව ඉදිරිපත් කිරීමේ දී  අද්‍යතන සිනමා තාක්ෂණය ද සාර්ථක ලෙස  යොදාගනු ලැබ ඇත.

එහෙත් සාවුල් ගේ සිත් හැරීමේ දර්ශනය මීට වඩා ප්‍රබල වූවා නම් හොඳය යන සිතිවිල්ල පහල වේ. ක්‍රිස්තු අනුගාමිකයන් කරන්නේ දේව අපහාසයක් බව තදින් විශ්වාස කල තාසසයේ සාවුල් ක්‍රිස්තියානින් හඹා ගොස් මරා දැමූ ආකාරය ප්‍රබලව සිත්තම් කර තිබේ.  එලෙස සිය ජුදා ඉගැන්වීම් වෙනුවෙන් පෙනී සිටි සාවුල්ගේ සිත හැරීමට පාදක වූ දමස්කයට යන පාරේ සිදු වූ සිද්ධිය ඔහු අතිශයින් ප්‍රකම්පනය කල එකක් වූ බව ඉතා පැහැදිලිය. එහෙත් මෙම කෘතියේ අතිශය වැදගත් සිද්ධියක් බවට පත්කරගත යුතුව තිබු එම අවස්ථාවට එතරම් ප්‍රබලත්වයක් ලැබී තිබුනේ දැයි සැක සිතේ.

ප්‍රථම කිතුනුවන්ගේ ජීවිත අරගලය හා පණිවිඩය

ඉහත කී සියල්ලට වඩා වැදගත් වන්නේ මෙම චිත්‍රපටයෙන් ගලා එන අභියෝගාත්මක සදාකාලීන - එමෙන්ම අතිශයින් කාලෝචිත - පණිවිඩයයි. මෙය මුල් කිතුනුවන් ගේ සේ ම අද්‍යතන කතෝලිකයන් ගේ ද විශ්වාසයේ අරගලය හා ආත්මිකව බැඳුනු පණිවිඩයයි.

ප්‍රථම කිතුනු ජන පවුල (Christian  community) ප්‍රේමය තුළ බැඳුනු, අවිහිංසාවාදී  ජන පවුලකි. ඔවුනට එරෙහිව එල්ල වූ කුරිරු හිංසනයට සහ පීඩනයට ඔවුන් පිළිතුරු දුන්නේ ප්‍රේමයෙනි; අවිහිංසාවෙනි. එහෙත් නීරෝ අධිරාජයාගේ නියෝග මත ක්‍රියාත්මක වූ රෝම හේවායන් හා ආණ්ඩුකාරයා සිය ප්‍රචණ්ඩත්වය අඩුවකින් තොරව දිගින් දිගටම කිතුනුවන් මත මුදා හරිමින් තිබුණේය. විශ්වාසය වැළඳගත් දොළොස් වියේ පමණ වන ග්‍රීක ජාතික පිරිමි ළමයකු රෝම හේවායන් විසින් ඝාතනය කෙරෙන්නේ මේ අතරතුරය. කිතුනු ජන පවුලේ ආදරය නොමඳව ලබා සිටි මේ දරුවාගේ ඝාතනයෙන් ලුක් ගේ පවා සිත සසල විය. කම්පා විය. “තවත් ඉවසනවා ද? මේ ප්‍රචණ්ඩත්වයට පිළිතුර කුමක්ද?” යන සිතිවිල්ල ඔහු තුළ ද පැනනගින්නේය. පාවුළු තුමාගේ පොළොව යට අන්ධකාර සිර මැදිරියේ දී ඔහු වේදනාවෙන් මේ ප්‍රශ්නය පාවුළු තුමාට ඉදිරිපත් කරන්නේ ඒ නිසාය.

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිය සමිඳාණන් ගේ ඉගැන්වීම කවර බලවේගයක් ඉදිරියේ හෝ මඳක් හෝ ලිහිල් කරන්නට හෝ  ඒ ගැන හෙට්ටු කරන්නට හෝ කිසිසේත් නොහැකි බව පාවුළු තුමා ඒ මොහොතේ ලූක්ට අවධාරණය  කරයි.

“ප්‍රේමය පමණයි. අපේ පිළිතුර ප්‍රේමයම  පමණයි. එය වෙනස් කල නොහැකියි,” වදහිංසා නිසා කායිකව  දුර්වල වුවද ආත්මයෙන් තවමත් ශක්තිමත්ව සිටින පාවුළු තුමා දැඩි සේ කියයි. එදා  සිට මේ දක්වා කිතුනුවනට ප්‍රේම කවියක් වූ “ප්‍රේම පාරමිතාව’ ඔහු ලූක් ඉදිරියේ ප්‍රකාශ කරන්නේ මෙහිදීය.

නීරෝ ගේ සමයේ පමණක් නොව අද මේ දක්වාත් ලෝකය පුරා රටවල් ගණනාවක කිතුනුවෝ විවිධ වදහිංසා වලට ලක්කරනු ලබති; ඝාතනය කරනු ලබති; විශ්වාසයේ අයිතිවාසිකම් උදුරාගැනීමට හෝ සීමා කිරීමට ලක් කරනු ලබති. මෙය සිදුවන්නේ හුදෙක් කිතුනු සුලුතරයන් සහිත අප්‍රිකානු හෝ ආසියානු රටවල පමණක් නොවේ. කිතුනු දේශපාලන නායකයන් සිටින බටහිර හා ඇමෙරිකානු රටවල ද කිතුනුවන් ගේ ඇදැහිල්ලේ සහ ශිලධාර්මික අයිතිවාසිකම් උදුරා ගැනීම් සිදුවෙයි. එම රටවල කිතුනු අයිතිවාසිකම් පැහැර  ගනු ලබන්නේ මානව අයිතිවාසිකම්වල නාමයෙනි.  ගිය වසරේ මැදභාගයේ කරන ලද ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ලොව පුරා වැඩිම හිංසාවට භාජනය වන ආගමික ජනකොටස කිතුනුවෝය. සිරියාව සහ ඉරාකය වැනි මුල් කිතුනුවන් ජීවත් වූ රටවලින් ඔවුන් පලවාහැර අවසන්ය. ISIS ඇතුළු අන්තවාදී කණ්ඩායම් වල ප්‍රහාර හා ඝාතනවලට ගොදුරු වන්නෝ කිතුනුවෝය. එසේම, අපේ ගමක, මීසමක ඇතැම් විට කෙනෙකු හෝ පවුලක්  යහපත් කිතුනු ජීවිතයක් ගත කරන විට  ඔවුනට එල්ල විය හැකි අභියෝග අපමණය. අසල්වාසියෙන් පමණක් නොව ඇතැම් විට ‘පල්ලි කණු’ බව ප්‍රදර්ශනය කරන ඇතැම් කතෝලිකයන් ගෙන් ද සිය අසල්වැසියන් හා රට වෙත මුදාහැරෙන නපුර අපි දකිමු.

 ඒ සියල්ල වෙනුවෙන් දිය හැකි පිළිතුර, එකම මාර්ගය ප්‍රේමයම බව පාවුළු තුමා සහ ලූක් තුමාගේ ජීවිත සාක්ෂිය ඇසුරින්  මෙම සිනමා කෘතිය පෙන්වා දෙයි.

2015 ශුද්ධවූ සතිය සමරන ලද්දේ කිතුනුවනට (කතෝලිකයන්ට පමණක්  නොවේ; කිතුනුවන්ට) එරෙහිව ආගමික අන්තවාදී කල්ලි  විසින් එල්ල කෙරුණු මෙවැනි ප්‍රහාර මධ්‍යයේය.  ඒ වසරේ මහ සිකුරාදා උදාසන කෙන්යාවේ සරසවියකට කඩා වැදුණු ජෙහාඩි  ත්‍රස්තවාදීන්  විසින් කිතුනු සිසුහු 147 දෙනෙක් වෙන්කොට ඝාතනය කරන ලදහ. ඊට සති කිහිපයකට කලින් සිරියාවේ කොප්ටික් කිතුනුවෝ 21 දෙනෙක් ගෙල සිඳ මරා දමන ලදහ. එම මහ සිකුරාදා සමිඳුන් ගේ දුක්ප්‍රාප්ති සමරු මෙහෙයේ ධර්ම දේශනාව කළ සුදොතුම් පිය නිවසේ ධර්මදේශක රැනේයිරෝ කැන්ටලමෙස්සා පියතුමා සිය භාවනාව සඳහා යොදා ගත්තේ ද මෙම තේමාවයි. කවර තරමේ පීඩනයක දී වුවද කිතුනුවා ගේ ප්‍රතිචාරය -එකම මාර්ගය - ප්‍රේමය සහ දයා කරුණාවම බව එතුමා අවධාරණය කළේ මේ චිත්‍රපටයේ ලූක් සිරගතව සිටින පාවුළු ගෙන් අසන ප්‍රශ්නයම අසමිනි:

“යම් කෙනෙකුට මෙසේ අසන්නට පුළුවන්:  ‘එසේ නම්, ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම යනු සෑම විටම යමකුට  අක්‍රීයව පරාජයටත් මරණයටත්  යටත් වීමට සිදු වීම ද?" නැහැ. ඊට ප්‍රති විරුද්ධව දෙයයි නිවැරදි. ‘ ප්‍රීතියෙන් සිටින්න. ලෝකය ජයගැනීම පිණිස  මම ආවෙමි’ යැයි සිය දුක්ප්‍රාප්තියට පෙර උන්වහන්සේ  තම ශ්‍රාවකයනට කීවා. ක්‍රිස්තුන් වහන්සේ ලෝකය ජය ගත්තේ ලෝකයේ නපුර පරාජය කරමින්. යුගාන්තයේ දී ප්‍රකාශිත වන නපුර පරදා යහපත ලබන නිශ්චිත ජයග්‍රහණය ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය තුල ස්ථිර ලෙස විද්‍යමාන වී තිබෙනවා. ‘මෙය ලෝකය විනිශ්චය කිරීමේ මොහොතයි’ යයි (ජුවාම් 12:31) උන්වහන්සේ කීවා. ඒ දවසේ සිට නපුර පරාජය වෙමින් තිබෙනවා. නපුර, අයහපත ජයග්‍රහණය කරන බව පෙනෙන ප්‍රමාණයට වඩා එය පරාජය වන ප්‍රමාණය වැඩි වෙමින්  තිබෙනවා. එය යලිත් අභියාචනයකට ලක් කල නොහැකි තීන්දුවකින් දණ්ඩනයට ලක් ව තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ නැවුම් ආකාරයක ජයග්‍රහණයක් හඳුන්වා දුන්නා. සාන්ත අගෝස්තීනු තුමා එය වචන තුනකින් සාරාංශ කරනවා: එනම් "Victor quia victima” යන්නයි: එනම් ජයග්‍රාහකයා ගොදුර බවට පත්වීමයි.

ක්‍රිස්තුන් වහන්සේ ගේ සැබෑ ප්‍රාණ පරිත්‍යාගීවරුන්  මිය යන්නේ අත් මිට මොළොවා ගෙන නොවේ.යාච්ඥාවෙන් දෑත් වැඳගෙනයි. මෑතක දී අපට මේ පිලිබඳ ආදර්ශ රැසක් ලැබුනා.ඉකුත් පෙබරවාරි 21 වන දා සිරියාවේ දී ISIS  විසින් බෙල්ල කපා මරා දමන ලද කොප්ටික්  කිතුනුවන් 21 දෙනාට ජේසු ගේ නම මුමුනමින් දිවි   පිදීමට ශක්තිය දුන්නේ ක්‍රිස්තුන් වහන්සේ යි.”



““Paul, Apostle of Christ”  චිත්‍රපටය පුරා දිව යන තේමාව මෙයයි. එය අවසන් වන්නේද ප්‍රේමයේ සහ දයා කරුණාවේ ඵල වලිනි.මැමර්ටයින් සිරගෙදර ප්‍රධානියා වූ මොරිසියස් ගේ දුව සුව කල නොහැකි රෝගයක් නිසා මරණාසන්නයට පැමිණෙයි. රෝම දේව පූජාවලින් හා රෝම වෛද්‍ය ප්‍රතිකාරවලින් ඇය සුවපත් කළ නොහැකි වූ මොරිසියස්, හෙට දින උදාසන මරණයට තීන්දු වී සිටින ග්‍රීක ජාතික වෛද්‍ය ලූක් ගේ පිහිට පතයි. ලුක්  මොරිසියස් ගේ දුවට ප්‍රතිකාර කරන අවස්ථාවේ සුන්දර දෙයක් සිදුවෙයි. එනම් එම සිරගෙදර හෙට දවසේ මරණයට තීන්දු  වී සිටින කිතුනුවන්, සිය අඳුරු සිර කුටියේ සිරව සිටින පාවුළු තුමා සහ  සැඟවී සිටින කිතුනුවන් යන සියලු ක්‍රිස්තු අනුගාමිකයන්  එකම පොදු යාච්ඥාව තුළ වෛද්‍ය ලූක් සමග ආධ්‍යාත්මිකව එකමුතු වීමයි.


සේවක නායකත්වය

මුල් කිතුනු නායකයන් සිය ජන පවුලට නියෝග දුන් විධායකයන් නොව ඇත්ත වශයෙන් ම ඔවුන් ගේ සේවකයන් වූ ආකාරය  මෙම සිනමා කෘතියේ සිත්තම් වන අනෙක් පණිවිඩයයි. අඛිලා, ප්‍රිසිලා සහ ලූක් යන නායකයෝ සිය කිතුනු සහෝදර කැල  ගේ සේවකයෝ ම වෙති.

එක් මොහොතක් හොඳින් හදවතට වදියි: “ලූක්, ඔබට හොඳටම වෙහෙසයි. ඔබට විවේකයක් අවශ්‍ය බව මම දන්නවා. ඒත්, මේ කඳවුරේ ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් කිහිප දෙනෙක් ම ඉන්නවා…” ප්‍රිසිලා වරක් ලූක්ට කියයි.”මාව ඔවුන් වෙත ගෙන යන්න ….” වහා නැගිටින ලූක් ගේ ප්‍රතිචාරය එයයි.

මෙම “සේවක නායකත්වය” ප්‍රැන්සිස් සසුන් පිය සමය පුරාම ප්‍රතිරාව දෙන තේමාවකි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු රටවල රදගුරු හිමි නියෝජිතයන් සිටි අවස්ථාවක ඒ ගැන කීවේ මෙසේය:  “කතෝලික සභාවේ ධූරාවලි  සේවාවට ආලෝකය ලබා දෙන්නේ ක්‍රිස්තු සමිඳුන් වදාළ අනුශාසනයයි. එනම් 'ඔබ අතරේ ශ්‍රෙෂ්ඨයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වේවා. සියල්ලන් අතර ප්‍රථමයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ වහලා වේවා.' යන්නයි. උන්වහන්සේ ගේ මෙම ප්‍රකාශය තුළ කතෝලික සභා අබිරහසේ හදවතට  අපි පිවිසෙමු….මේ අනුව රදගුරුවරුන් තමනට භාර වූ බැටළු රැලේ සැබෑ "ක්‍රිස්තු නියෝජිතයන්" (vicarius Christi) බවට පත්වන්නේ ඔවුන් එම දේව ජනතාව ගේ සේවකයන් වන තරමට ය; එනම් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිය අපෝස්තුළුවරුන් අබියස නැවතී, පහත් වී පා දෝවනය කල ජේසු සමිඳුන්  ගේ නියෝජිතයන් ය. ඊට සමාන දැක්ම තුළ, පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා (පාප් වහන්සේ) සමිඳුන් ගේ සේවකයන් ගේ සේවකයා පමණි. අපි මෙය කිසිදා අමතක නොකරමු: එනම්, ඊයේ, අද සහ නිරන්තරයෙන් ම, අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයයි; අපගේ බලය කුරුසියේ බලයයි"

“Paul, Apostle of  Christ” සිනමා නිර්මාණය සර්ව කාලීන මෙන්ම කාලෝචිත පණිවිඩයක් ගෙන එන බව මෙම විචාරය ආරම්භයේ කියා සිටියේ මේ නිසාය.

“Paul, Apostle of  Christ” සියලු කිතුනුවන් විසින් නැරඹිය යුතු චිත්‍රපටයකි. (එය අවුරුදු 13න් ඉහළ  ප්‍රේක්ෂකයන් සඳහා වෙන් කර ඇත්තේ ඇතැම් ප්‍රචණ්ඩකාරී දර්ශන නිසා මිස වෙනත් කරුණක් නිසා  නොවේ. දෙමාපියන් සමග දරුවන් එය රස විඳින්නේ නම් වරදක් ඇති නොවන බව හැඟේ.) මෙම සිනමා නිර්මාණයේ සම්පූර්ණ අත්දැකීම විඳ  ගත හැකි වන්නේ සිනමා තිරය මත නැරඹීමෙන් මිස පුංචි රුපවාහිනි තිරයේ නැරඹීමෙන් නොවන බවද සඳහන් කල යුතුය. මුල් දෙබස් වලට හානි නොවන ලෙස සිංහල හා දෙමළ උප සිරැසි යොදා ගැනීමෙන් සියලු ප්‍රේක්ෂකයිනට මෙහි සන්දර්භය තේරුම් ගත හැකි වනු ඇත.

නීතිය සහ ප්‍රේමය 

පුංචි එහෙත් වැදගත් අදහසකින් මෙම විචාරය නිමා කරමි.

ක්‍රිස්තු අනුගාමිකයන් ගේ සංහාරකයා  වූ තාසසයේ සාවුල් මෝසස් ගේ නීතිය ඇදහූ තැනැත්තෙකි. ඔහුට සිය ජීවිතයේ අංක එක වූයේ නීතිය බව පාවුළු චරිතය අධ්‍යයනය කල මෙම නිර්මාණයේ අධ්‍යක්ෂ සහ තිර කතා රචක ඇන්ඩෘ හයාට් පවසයි.

“සාවුල් නීතිය සහ සම්ප්‍රදාය තුළ ගිලී සිටි කෙනෙක්. ඔහුගේ ලෝකය තුළ තිබුනේ ඇසට ඇස, දතට දත යන්න පමණි. ඔබ පාපයක් කලේ නම්, ඔබට සමාවක් නැත යන්න ඔහු ජීවත් වූ දර්ශනය තුළ තිබූ කාරණාවයි. එය මුළුමනින් උඩු යටිකුරු වෙමින් ප්‍රේමය  ගැන, දයා කරුණාව ගැන, සමාව ගැන කතා කරන  දැවැන්ත සිත් හැරීමක් සිදු වූ ඔහු ගැනයි අප මේ කතා කරන්නේ. ඊළඟ අවුරුදු 30 ක පමණ කාලය තුළ ඔහු ජීවත් වූයේත් දේශනා කලෙත් ඒ ගැනයි : එනම් ප්‍රේමය, දයා කරුණාව (Mercy)සහ දේව වරප්‍රසාදය (Grace) ගැනයි” හයාට් සඳහන් කරයි.

මේ චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙන්නේ නීතිය සහ ප්‍රේමය අතර  විවාදයක් සභාවේ ශිලධර්ම හා දේව ධර්ම විශාරදයන් අතර ඇතිවී තිබෙන මොහොතකය. වඩා වැදගත් වන්නේ නීතිය සහ සම්ප්‍රදාය ද ? ප්‍රේමය මගින් නීතිය  වෙත අවතීර්ණ වීමට දොරක් හැර දිය හැකිද? යන්න එම විවාදය වී තිබේ. කරුණු නොසඟවා ප්‍රකාශ කරන්නේ නම්, මේ විවාදය  හටගෙන තිබෙන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ “ප්‍රේමයේ ආනන්දය” අපෝස්තලික අනුශාසනා පත්‍රය පාදක කරගනිමිනි.

එවැනි මොහොතක මෙම තිර කතා රචකයා විසින් සභාවේ දැවැන්තම කුළුණු දෙකින් එකක් වන පාවුළු අපෝස්තුලු තුමන් ගේ මුවට මේ දෙබස ඇතුළු කර තිබේ:
“ප්‍රේමය පමණයි එකම මාර්ගය.” “Love is the only way.”
මෙම චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙකු පවසන ආකාරයට එහි අතිශයින් ම සිතට කාවදින දෙබස මෙය වන අතර, වඩාත් මතකයේ සිටින ජවනිකාව ද එයයි.

“ප්‍රේමය පමණයි එකම මාර්ගය. ඒක  ලියාගන්න .” “Love is the only way. Write it down."

මේ දෙබස අහඹුවකින් සිදු වූවක්  යැයි සිතිය හැකිද?













Comments