"ජේසු සමිඳුන් සමග සම්බන්ධතාව අපේ පෞද්ගලික පෙම් කතාවයි" - දේව දයාවේ ඉරිදා ප්‍රේම භාවනාව- "දයා කරුණාව දෙවියන් වහන්සේ ගේ එක් ගති ලක්ෂණයක් නොව උන්වහන්සේ ගේ හද ගැස්මයි"

"Relationship with Jesus is our own personal love story": Mercy Sunday Homily- "Mercy is not simply one of his qualities among others, but the very beating of his heart." 


(2018 අප්‍රේල් 8)
ජේසු සමිඳුන් සමග ඇති සම්බන්ධය උන්වහන්සේ ගේ ප්‍රේමයෙන් හා දයා කරුණාවෙන් පිරුණු  අපගේ පෞද්ගලික පෙම් කතාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මෙය ශා. තෝමස් අපෝස්තුළු තුමා කී සේ "මාගේ සමිඳුනි, මාගේ දෙවියනි" යි ප්‍රකාශ කරන්නට   අප යොමු කරයි.

"ජේසු සමිඳුන් ගේ ශ්‍රී තුවාල තුළට ඇතුළුවීම යනු උන්වහන්සේ ගේ හදවතින් ගලා එන අසීමිත ප්‍රේමය ගැන මෙනෙහි කිරීමයි; මා වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, අප සියල්ලන් වෙනුවෙන් වන උන්වහන්සේ ගේ හර්ද ස්ඵන්දනය අවබෝධ කරගැනීමයි."
"එවිට ආදර කතාවක සේ  දෙවියන් වහන්සේට මෙසේ පැවසීමට අපට හැකිවනු ඇත: 'ඔබ මා වෙනුවෙන් මිනිසත් බව ගත්තා. ඔබ මා වෙනුවෙන් ජීවිතය  පුදා උත්ථාන වුනා. මේ නිසා ඔබ දෙවියන් වහන්සේ පමණක් නොවේ. ඔබ මගේ දෙවියෝයි; ඔබ මගේ ජීවිතයයි. ඔබ තුළ මට මා සොයන ආදරය හමුවී තිබේ. ඇත්තෙන්ම ඔබ තුළ  මා සොයන ආදරයත්, මට කිසිදා සිතාගත නොහැකි තරම් බොහෝ දේත් මට හමුවී තිබේ."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙම භාවනාව කලේ අප්‍රේල් 8, දේව දයාවේ ඉරිදා දිව්‍ය පූජා යාගයේ ධර්ම දේශනය පවත්වමිනි. මෙදිනට නියමිත ජුවාම් සුබ අස්නේ එන උත්ථාන වූ ජේසු සමිඳුන් සේනාකුළු ශාලාවේදී  අපොස්තුලුවරුනට දර්ශනය වීම  හා එහිදී  තෝමස් තුමන් කළ "මාගේ ස්වාමීනි, මාගේ දෙවියනි" ප්‍රකාශය පදනම් කරගනිමින් සුදොතුම් පියතුමා මෙම 'ප්‍රේම භාවනාව' සිදු කළේය.

තවත් සිද්ධියක්  නිසා මෙම ඉරිදාව වැදගත් විය. එනම්  "දයා කරුණාවේ ධර්මදුතික" පියවරුන්ගේ හමුවක් මෙදින වතිකානයේ දී ආරම්භ වීමයි.  අප්‍රේල් 11 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට දයා කරුණාවේ ධර්මදූත පියවරු 600 දෙනක් පමණ සහභාගී වෙති. 2016 දයා කරුණාවේ ජුබිලි වසර වෙනුවෙන් මෙම පියවරුන් බලගන්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. එම වසර අවසානයේ දී එතුමන් විසින් ඔවුන්ගේ නිල කාලය දීර්ඝ කරන ලදී. ඔවුන් මෙම දයාවේ ඉරිදා ආරම්භ කරන්නේ ආධ්‍යාත්මිකත්වය  සහ සහෝදරත්වය වර්ධනය කිරීමේ හමුවකි. මෙම පියවරු ද මේ දිව්‍ය පූජාවට සහභාගී වෙමින් සිටියහ.

"අප අද ජේසු සමිඳුන් ගේ ශ්‍රී තුවාල තුළින් දෙවියන් වහන්සේ ගේ අබිරහස වෙත ඇතුළුවන විට අපට අවබෝධ වන එක් වැදගත් කරුණක් තිබේ. එනම්, දයා කරුණාව යනු හුදෙක්  උන්වහන්සේ තුළ ඇති  ගතිගුණ රාශියකින් එකක් පමණක් නොව, එය ඇත්තෙන්ම උන්වහන්සේ ගේ හෘදය ස්ඵන්දනය වන රිද්මය බවයි. මෙය අවබෝධ වන විට  අප තෝමස් මෙන් තවදුරටත් සැකයෙන් පිරුණු, අඩමාන, බැතිමත් එහෙත් දෙගිඩියාවෙන් සිටින ශ්‍රාවකයන් සේ ජීවත් වීමෙන් අත්මිදෙමු. ඒ වෙනුවට අපි ද සමිඳුන් සමග පෙමින් බැඳෙමු. මේ වචනයට බිය වනු එපා! සමිඳුන් සමග පෙමින් බැඳෙමු."

ජේසු ගේ ප්‍රේමය රස බැලීම: පාපොච්චාරණය 

"ජේසු සමිඳුන් අපට ප්‍රදානය කරන මෙම ප්‍රේමය අපට රස බැලිය හැක්කේ කෙසේද? ප්‍රථමයෙන්ම, පාපොච්චාරණයේ දේව ප්‍රසාද නිධානය මගිනි. අප අපට සමාව දීමට දෙවියන් වහන්සේට ඉඩ හරින්නේ මෙම සක්‍රමේන්තුව මගිනි."

පශ්චාත්තාපයේ දේව ප්‍රසාද නිධානය හෙවත් පාපොච්චාරණයට අපට බාධා කරන 'මාර්ග බාධක' තුනක් ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. ලැජ්ජාව, අධෛර්යයට පත්වීම සහ අප සමාව ලැබිය නොහැකි පුද්ගලයන් ලෙස විශ්වාස කිරීම එම බාධක තුනයි. එම 'මාර්ග බාධක' හා ඒවාට ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේදැයි එතුමා පහදා දුන්නේය.

ලැජ්ජාව

"පළමු බාධකය ලැජ්ජාවයි. මෙම සුවිශේෂ පාඨයේ ශ්‍රාවකයන් කල ආකාරයට දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්වීමට ඇතැම් විට අපත් යොමු විය හැකියි. එනම්, දොරවල් වසාගෙන  සැඟවී සිටීමයි. වැසුණු දොරටු බාධක තුළ අප සිරකර ගැනීමයි. ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටියේ බිය නිසාය. එහෙත් අප අපගේ පාප ප්‍රකාශ කිරීම ඇති බිය නිසා හෝ ලැජ්ජාව නිසා අපගේ හද දොර පියන්  වසාගෙන සිටිය හැකිය."

"අප අපගේ පාප ගැන ලජ්ජා වීම තිළිණයක් විය හැකියි. මන්ද එය අපගේ ජීවිත තුළ ඇති අයහපත්කම් ජයගැනීම සඳහා අපගේ ආත්මයට ඇතුළුවීමට දෙවියන් වහන්සේට කෙරෙන ආරාධනයක් වන බැවිනි. මේ නිසා ලැජ්ජාව අත්දැකීමට අප බිය නොවිය යුතුය. එහෙත් අප ලජ්ජාවෙන් සමාව වෙත එතෙර විය යුතු" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

පසුබැසීම

"අප තුළ ඇතිවිය හැකි තවත් ගැටුමක් වන්නේ පසුබැසීමයි; අධෛර්යයට පත්වීමයි. 'මා මේ තරම් දීර්ඝ කාලයක් කිතුනුවෙකුව සිටියා. ඒත් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. මා තවමත් එකම පව්වලට වැටෙනවා. එකම පව් යලි යලිත් කරනවා' යි අපට සිතෙන්නට ඉඩ හැරීමයි."

"මේ අධෛර්යවත් වීම තුළ අප දේව දයාව ගැන බලාපොරොත්තු අත්හැර දමමු. එහෙත් සමිඳාණෝ අපට අභියෝග කරති: 'මාගේ දයා කරුණාව ඔබගේ දුක්ඛිතකමට වඩා විශාල බව ඔබ විශ්වාස නොකරන්නේද? ඔබ පසුපසට යන්නෙක්ද? එසේ නම්, දයාව ඉල්ලා  පසු පසට යන්නෙක් වන්න. එවිට ඉහලට එන්නේ කවුදැයි අපි බලමු.' යනුවෙන් අපට අභියෝග කරති."

"අප යළි යළිත් එකම පාපයට වැටෙන විට අප තුළ විශාල දොම්නසක් ඇති විය හැකිය. එහෙත් මෙම දොම්නස පවා අපගේ යහපතට හේතු වෙයි. මන්ද, එය සෙමින් අපව පාපයෙන් ඉවත් කරන නිසා"යයි සුදොතුම් පියතුමා කීවේය.

සමාව දීමට අපට ඇති නොහැකියාව

"පාපොච්චාරණයට යාමෙන් අප වලක්වන තවත් 'වසන ලද  දොරටුවක්' වන්නේ අපට සමාව දීමට අපට ඇති නොහැකියාවයි. 'මට සමාව දීමට මට නොහැකි නම් දෙවියන් වහන්සේ මට සමාව දෙන්නේ කෙසේදැයි' මෙවැනි ය විමසනු ඇත. එහෙත් මේ දොර වැසී තිබෙන්නේ එක පැත්තකින් පමණයි. එනම් අපගේ පැත්තෙන් පමණි. එහෙත් දෙවියන් වහන්සේගේ පැත්තෙන් කිසිදු දොරක් කිසිදාකවත් සම්පුර්ණයෙන් වසා දමා නැත" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

" මෙම සුබ පුවත් පාඨය අපට පෙන්වා දෙන්නේ, සියලු ප්‍රවේශවලට බාධා තිබෙන විට  දෙවියන් වහන්සේ නිශ්චිතවම වැසුණු දොරවල් වලින් ඇතුළුවීමට ප්‍රිය කරන බවයි. එසේ ඇතුළුවන උන්වහන්සේ විශ්මයන් සිදු කරන සේක. උන්වහන්සේව  පිටතට දමා දොර වසන්නේ අපය. උන්වහන්සේ කිසිදා අප අත්නොහරින සේක."

"අපගේ දෙවියන් වහන්සේ පිළිගැනීමට අපට වරම් දානය කරන ලෙස තෝමසුවන් ලෙස අපි අද කන්නලව් කරමු. උන්වහන්සේගේ සමාව තුළ අපගේ ප්‍රීතිය සෙවීමට, උන්වහන්සේගේ දයා කරුණාව තුළ අපගේ බලාපොරොත්තුව සෙවීමට වරම් ඉල්ලා තෝමසුවන් ලෙස අපි යාච්ඥා කරමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය 'ප්‍රේම භාවනාව' අවසන් කරමින් කියා සිටියේය.






Comments