"ප්‍රථම කිතුනු පූජාසනය කුරුසියයි" - බදාදා පොදු හමුව

"Cross was the the first Christian altar": Pope says at the General Audience 


(2018 මාර්තු 1)
දිව්‍ය පූජා යාගය පවත්වනු ලබන්නේ පූජාසනය හෙවත් අල්තාරය කේන්ද්‍ර කරගනිමින් එය වටා රැස්වෙමිනි. මෙහි අරුත නම් ප්‍රථම කිතුනු පුදසුන වූයේ කුරුසිය බවත් ඒ මත ජේසු සමිඳුන් සිය ජීවිත පූජාව සිදුකළ බවත් සිහිපත් කිරීම යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 28 වන බදාදා වතිකානයේ දී පැවැති සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. මේ වසරේ එතුමන් ගේ සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශය සඳහා තෝරාගෙන තිබෙන මාතෘකාව දිව්‍ය පූජාවයි. ඉකුත් සතිවල එහි විවිධ කොටස් හා සංකේත ගැන කතා කල එතුමා මෙවර ජනතාවගේ අවධානය යොමු කලේ පඬුරු ඔප්පු කිරීමේ සිට දිවරහස් කිරීම තෙක් දිවෙන කොටස කෙරෙහිය.

මේ දිනවල රෝමයේ පවතින අධික සීතලත් සඳුදා රෝමයට වැටුණු හිමපතනයත් නිසා මෙවර පොදු හමුවට  පැමිණි වන්දනා කරුවනට ස්ථාන දෙකක පහසුකම් සපයා තිබිණ. ප්‍රධාන කණ්ඩායම සිටියේ සුදොතුම් පියතුමා සිය පොදු හමුව පැවැත්වූ සවැනි පාවුළු ශාලාව තුළයි. අති  විශාල ජනතාවක් ඊට පැමිණ සිටි බැවින් ඉතිරි ජනතාවට  සාන්ත පීතර බැසිලිකාව තුළ සිට පොදු හමුවට එක්වීමේ පහසුකම් සපයා තිබිණි.

"ජනවන්දනාවේ දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙතේ දී සභාව විවිධ සලකුණු මගින් ජේසු සමිඳුන් කුරුසිය මත අත්සන් තබන ලද නව ගිවිසුමේ යාගය අඛණ්ඩව වර්තමානය තුළ ජීව ගන්වයි. සමිඳුන් ගේ කුරුසිය ප්‍රථම කිතුනු පුජාසනයයි. දිව්‍ය පූජාව අවස්ථාවේ අප පුදසුන වටා රොක්වන විට අපගේ මතකය ප්‍රථම යාගය පවත්වන ලද පුදසුන වෙත දිව යයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්මෝපදේශ දේශනය ආරම්භ කරමින් කියා සිටියේය.

දිව්‍ය පූජාවේ දී පුදැදුරු තුමන් ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිදු කල අභිනයන් කිහිපයක් අනුකරණය කරන බව එතුමා පෙන්වා දුන්නේය. එනම්, පඬුරු ඔප්පු  කිරීම, දිව්‍ය සත්ප්‍රසාදීය යැදුම, පූපය කැඩීම සහ දිව්‍ය භෝජනය ලබාගැනීමයි.

 ජේසු ගේ පූර්ණ පඬුර හා එක්වන "අපෙ දුක සැප - සතුට කඳුළු"

"පඬුරු ඔප්පු කිරීමේ දී, පුදැදුරුතුමන් වෙත පූප සහ මිදිරස ගෙන  ආ යුත්තේ දිව්‍ය පූජාවට සහභාගී වන සෙනග අතර සිටින සාමාජිකයන් විසිනි. මන්ද ඔවුන් විසින් සංකේතවත් කරනු  ලබන්නේ දිව්‍ය භෝජනයට රැස්වී සිටින සභාවේ ආධ්‍යාත්මික පඬුර වන බැවිනි." සභාවේ මුල් කාලයේ දී කිතුනුවන් පූජාවට ඔප්පු කෙරෙන පූප සහ මිදිරස සිය නිවෙස් වල සාදා ගෙන ආ බව සුදොතුම් පියතුමා සිහිපත් කලේය. එදා සේ අද විශ්වාසිකයන් පූප සහ මිදිරස සිය නිවෙස්වල සිට රැගෙන නොපැමිණියත් මෙම පඬුරුවල එම ආධ්‍යාත්මික අගය හා  අර්ථය  අනූනව සංරක්ෂිතව පවතින බව එතුමා පෙන්වා දුන්නේ ය.

"පුදැදුරුවරය දානය කිරීමේ මෙහෙයේ දී රදගුරුහිමිවරුන් නවක පුදැදුරුවරුනට මිදිරස සහ පූප පිළිගන්වමින් කියන වදන් වල මේ සලකුණේ අරුත ගැබ්වී තිබේ. 'දිව්‍ය සත්ප්‍රසාදීය පූජාව සඳහා ශුද්ධ වූ ජනතාව ගේ පඬුරු පිළිගන්න' යයි ඒවා පිළිගන්වමින් රදගුරු තුමා පවසයි. මෙය හොඳින් මතක තබා ගත යුතු වදන් පෙළකි. මන්ද, පූප සහ මිදිරස තුළ ඔප්පු කරනු ලබන්නේ දිව්‍ය වචනයට කීකරුවෙමින්, සියලු බලැති පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසාව හා මහිමයත්   උන්වහන්සේගේ ශුද්ධ වූ සභාවට යහපතත් වනු සඳහා තමන් ප්‍රසන්න යාගයක්  බවට පත්වීමට දේව ජනතාව තුළ ඇති කැපවීමය. මේ අන්දමින්, විශ්වාසිකයන් ගේ ජීවිත, ඔවුන් ගේ දුක් කඳුළු, ඔවුන් ගේ යාච්ඥා සහ ඔවුන් ගේ වැඩපළ ක්‍රිස්තුන් වහන්සේ සහ උන්වහන්සේ ගේ පූර්ණ පඬුර සමග එකමුතු වෙමින් ඒවා  නව අගයක්  ගනියි.

සමිඳුන් බවට පත්වන අපේ "පුංචි" තිළිණය 

පූප වැඩිකිරීමේ මහා ප්‍රාතිහාර්යයක් කිරීම සඳහා ජේසු සමිඳුනට අවශ්‍ය වන්නේ අපගේ ඉතා කුඩා පඬුර බව සුදොතුම් පියතුමා කීවේය: "අපේ පඬුර පුංචි වුණත්, - හරියට පූප වැඩිකිරීමේ ප්‍රාතිහාර්යයේ දී සේ - සෑම  කෙනෙකුම පෝෂණය කර ස්වකීය දේහය වන සභාව සමග සම්බන්ධ කරන  දිව්‍ය භෝජන පඬුර  බවට පරිවර්තනය කරනු සඳහා, සමිඳුනට අවශ්‍ය  වන්නේ මේ ඇබිත්තයි" එතුමා විශ්වාසිකයන් ගේ පූර්ණ සහභාගීත්වයේ ඵලය විදහා දක්වමින් පැහැදිලි කළේය.

මෙහිදී සිය පිටපතින් ඉවත් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කීවේය: "දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ ටිකයි. එහෙත් උන්වහන්සේ අපට හුඟක් දානය කරනවා. එදිනෙදා ජීවිතයේදී උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ අපගේ හොඳ හිතයි; අපගේ විවෘත හදවතයි. වඩා යහපත් වීමට අප තුළ ඇති කැමැත්තයි. අපගේ  මේ සංකේතාත්මක පඬුරු රැගෙන උන්වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය මගින් තමන්වම අපට පිරිනමනවා".

දිව්‍ය පූජාව තුළ ඔප්පු වන යාච්ඥා සහ පඬුරු  වල එක් ප්‍රබල පිළිබිඹුවක් වන්නේ සුවඳ දුම් ඇල්ලීම බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. පුදසුන අසල සිට ඉහලට නැගෙන මෙම සුවඳ දුම වූ කලී ස්වර්ගය වෙත එසැවෙන පඬුරුවල සංකේතයකි.
"දිව්‍ය පූජාවේ දී පුදැදුරුතුමා පඬුරු, කුරුසිය, පුදසුන, පුදැදුරු තුමන් සහ විශ්වාසිකයන් වෙත සුගන්ධ ධූප දුම් පුදදෙයි. මෙයින් විද්‍යමාන වන්නේ මේ සියලු යථාර්ථයන් ක්‍රිස්තුන් වහන්සේ ගේ යාගය සමග එක්සත් කෙරෙන පඬුරුමය බන්ධනයයි. ...මෙහිදී අප යලිත් මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා...එනම්, පළමු  පුදසුන කුරුසියයි. අපි අපගේ කුඩා තිළිණ මේ පුදසුන වෙතට ගෙන එනවා..."

අපේ දුප්පත් කමේ - පියාණන් ගේ පොහොසත් කමේ හුවමාරුව 

"පුදසුන මත පූප සහ මිදිරස තැබීමෙන් පසුව පුදදුරු තුමන් ඒ මත යාච්ඥා කරයි. එතුමන් මෙහිදී ඉල්ලා සිටින්නේ සභාව ඔප්පුකරන තිලිණ පිළිගන්නා ලෙසයි.  අපගේ දුප්පත් කමත් දෙවියන් වහන්සේ ගේ පොහොසත්කමත් අතර සිදුවන විශ්මිත හුවමාරුව මෙයින් සංකේතවත් වෙයි." 

මේ පඬුරු  තුළින් අප අපගේ ජීවිත ඔප්පු කල විට ජේසු සමිඳුන්  පියාණන් වහන්සේට ප්‍රසන්න පඬුරක්  බවට එය පත් කරන ආකාරය සුදොතුම් පියතුමා විස්තර කළේය: "පූප සහ මිදිරස තුළ අපි අපගේ ජීවිත උන්වහන්සේට පඬුරක් ලෙස පිරිනමමු. එය ශුද්ධාත්මයාණන් විසින් ක්‍රිස්තුන් වහන්සේ ගේ යාගය බවට පරිවර්තනය කරනු ලැබ, පියාණන් වහන්සේට ප්‍රසන්න ඒකීය පඬුරක් බවට පත්වෙයි."

"දිව්‍ය පූජාව තුළ තමන්වම තිළිණ කිරීම මගින් කෙනෙකුට සිය ජීවිතයටත් සිය සම්බන්ධතාවලටත් ආලෝකයක් ලබා ගත හැකිය. එසේම ජීවිතයේ හමුවන දුක් කරදර සේම ප්‍රීති සන්තෝෂ වලටත් එයින් ආලෝකයක් ලැබෙන්නේය. මේ මගින්  සුබ අස්නේ ආලෝකයෙන් මිහිමත ශුද්ධ නගරයක් ගොඩනැගීමට කිතුනුවනට හැකියාව ලැබෙයි" යයි එතුමා වැඩිදුරටත් කියා සිටියේය.

Comments