ම්‍යන්මාවෙදී 'රෝහින්ග්‍යා' වචනය පාවිච්චි නොකළේ ඇයි? සුදොතුම් පියතුමා පිළිතුරු දෙයි

Why Pope did not use the word "Rohingya" in Myanmar... 

ගුවන් යානයේ මාධ්‍ය හමුව. වතිකාන මාධ්‍ය අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් ද සුදොතුම් පියතුමා අසල සිටියි. 

(2017 දෙසැම්බර 3)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය බංගලි දේශ අපෝස්තලික සංචාරය නිමා කරමින් දෙසැම්බර 2 වැනි සෙනසුරාදා පස්වරුවේ ඪකා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් රෝමය බලා පිටත්විය. ම්‍යන්මාවට සහ බංගලි දේශයට එතුමන් කල මෙම සංචාරය එතුමා ඉතාලියෙන් පිටත කල 21 වැනි චාරිකාවයි.

ගුවන් යානයේ දී එතුමා සුපුරුදු පරිදි මාධ්‍ය හමුවක් පැවැත්වීය. රෝහින්ග්‍යා ජනතාව ගේ අනාගතය සහ සුදොතුම් පියතුමා ගේ මීළඟ අපෝස්තලික චාරිකා ඔවුන් විමසු ප්‍රශ්න අතර විය.

ලබන වසරේ ඉන්දියාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයි සුදොතුම් පියතුමා බලාපොරොත්තු පල කළේය. එහෙත් චීනයේ චාරිකාවක යෙදීමට සැලැස්මක් මෙතෙක් නැතැයි ද එය කනගාටුවට කරුණක් බවද එතුමා කීවේය. එතුමා මේ වසරේ බලාපොරොත්තුව සිටියේ ඉන්දියාවේ සහ බංගලි දේශයේ චාරිකා කිරීමටයි. ඉන්දියාවේ කතෝලික සභාව එතුමාට ආරාධනා කර ඇති අතර එරට කතෝලිකයෝ එතුමන් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් අගමැති මෝදී ගේ ආණ්ඩුව එතුමන්ට නිල ආරාධනයක් කර නොමැති තත්වයක් තුළ එතුමනට එරටට යන්නට නොහැකි විය. අගමැති මෝදී ගේ හින්දු අන්තවාදී භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව සුළුතරයක් වන ඉන්දියාවේ කතෝලික ජනතාව මහත් හින්සාවට ලක් කරමින් සිටියි.

වාර්තා කරුවන් ගේ පුළුල් ප්‍රශ්න කිරීම් වලට ලක් වූයේ රෝහින්ග්‍යා සරණාගතයන ගේ ගැටලුවයි.

සිකුරාදා ඪකා අගනුවර දී  රෝහින්ග්‍යා සරණාගතයන් ගේ ශෝකාන්තවලට සවන් දෙද්දී තමා ද ඔවුන් සමග හැඬු බව සුදොතුම් පියතුමා මෙහි දී හෙළි කළේය. එක්සත් ජාතීන් ගේ වාර්තාවට අනුව වර්තමාන ලෝකයේ වැඩිම හිංසාවට ලක්ව සිටින වාර්ගික හා ආගමික සුළුතරය ඔවුන්  බව ද එතුමා පෙන්වා දුන්නේය.

ම්‍යන්මාවේ ජනාධිපති හමුවීමට පෙර එරට හමුදාපතිවරයා මුණ ගැසුනේ මන්දැයි වාර්තාකරුවෙක් ප්‍රශ්න කළේය. "මා හමුවී කතා කරන්නට අවශ්‍ය බව ජෙනරාල් වරයා මට දන්වා තිබුණා. ඉතින් මා ඔහු පිළිගත්තා" එතුමා පිළිතුරු දෙමින් කියා සිටියේය."මම කිසිවෙකුටත් දොර වහන්නේ නැහැ. කතාකරන්නට ඉල්ලා සිටින කෙනෙකු පිලිගන්නවා. කතා කිරීමෙන් කිසිවක් නැති වන්නේ නැහැ."

එම සාකච්ඡාවේ දී ඉස්මතු වූ කරුණු හෙළි නොකලත් ඒ පිලිබඳ ඉඟි කිහිපයක් ද එතුමා ලබා දුන්නේය. "එය ඉතා හොඳ අදහස් හුවමාරුවක්. එය පෞද්ගලික සාකච්ඡාවක් නිසා මට ඒ ගැන කතා කරන්නට බැහැ. නමුත් එය ඉතා හොඳ හමුවක්. එහෙත් එහිදී මම සත්‍යය හෙට්ටු කලේ නැහැ. පැරණි ක්‍රම මේ යුගයට නොගැලපෙන බව මම ඔහුට පහදා දුන්නා. ජෙනරාල් වරයා සමග හමුව යොදා තිබුනේ නොවැම්බර 30 වනදාට වුනත් එය දින තුනක් ඉදිරියට ගෙන ඒමටත් හේතුවක් තිබුනා. තමාට චීනයේ සංචාරයක යෙදීමට තිබෙන බව ඔහු දැනුම් දී තිබුණා. මෙවැනි තත්වයන් මතු වූ විට මගේ කාල සටහනේ ඉඩ තිබේ නම් මම ඉඩ ලබා දෙනවා" යි එතුමා විස්තර කළේය.

හමුදාපතිවරයා රටේ ජනාධිපති හමුවීමට පෙර මෙම හමුව යොදා ගත්තේ රටේ බලය තමා සතුව ඇති බව ඒත්තු ගැන්වීමට  නොවේදැයි වාර්තා කරුවෙක් ප්‍රශ්න කළේය. "මෙම කාල සටහන වෙනස් කිරීම තුල එවැනි අදහසක් තිබුනා දැයි මා දන්නේ නැහැ." සුදොතුම් පියතුමා පිළිතුරු දෙමින් කියා සිටියේය. "එත් මා හිතන්නේ ඔබ යෝජනා කරන සැකයට වඩා වැදගත් වන්නේ සංවාදය කියලයි."

බංගලි දේශයේදී රෝහින්ග්‍යා සරණාගතයන් හමුවන් තෙක් 'රෝහින්ග්‍යා" යන වචනය භාවිත නොකළේ මන්දැයි තවත් වාර්තා කරුවෙක් විමසුවේය. ඊට හේතුව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා මෙසේ විස්තර කළේය:
"මම උත්සාහ කරන්නේ යම් දෙයක් පියවරෙන් පියවර කියමින්, පණිවිඩය ලැබෙන තෙක් පිළිතුරු වලට සවන් දීමටයි. බලන්න. ගැටවර වියේ සිටින යෞවනයකුට හෝ යෞවනියකට නම් ඕනෑම දෙක කියන්නට පුළුවන්. එහෙත් අපට බැහැ තවත් කෙනෙකුගේ මුහුණට ගසනවා සේ දොර වසා දමන්න. එසේ වුවොත් පණිවිඩය ලැබෙන්නේ නැහැ. එය වැසෙනවා. ම්‍යන්මාවේ අගනුවර වන නායි පී තාව්හි පැවැත්වුණු රාජ්‍ය උත්සවයේදී මා 'රෝහින්ග්‍යා' යන වචනය භාවිත කළා නම්, මා කරන්නේ දොර තදින් ගසා  වසා දැමීමයි. එහෙත් මට කරන්නට හැකිවූ සාකච්ඡා ගැන මා බොහෝ සෑහීමට පත්වී සිටියා. අනෙක් තැනැත්තාට කතා කරන්නට ඉඩ දීම තුළ, සංවාදය තුළ, මා සෑහීමට පත් වී සිටියා. පණිවිඩය ලැබුණු බව මට දැනුණා. ඉතින් මා දොර වසා දමන්නේ ඇයි?" එතුමා පිළිතුරු දෙමින් ප්‍රශ්න කළේය.   

රෝහින්ග්‍යා සරණාගතයන් තමාට කතා කිරීමෙන් පසුව ඔවුන්ට එම වේදිකාවෙන් ඉවකිරීමට සංවිධායකයන්  කටයතු යොදා තිබූ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "ඔවුන් මා ඉදිරියේ ඇඬුවා. නොපෙන්නුවට මමත් ඇඬුවා. ඔවුන්ට වචනයක් නොකියා මා ඔවුන්ට යන්නට ඉඩ දෙන්නේ කොහොමද? ඉතින් ඔවුන්ට  වේදිකාවේ සිටින්නට කියා මා ඔවුනට කතා කළා. එපමණක් නොවේ. ඔවුනට කතා කරන ලෙස මම අනෙකුත් ආගමික නායකයනටත් ආරාධනා කළා. අවසානයේ දී යාච්ඥාවක් කියන ලෙස මම රෝහින්ග්‍යා කෙකෙනෙකුට ආරාධනා කළා" යි එතුමා සඳහන් කළේය.  

ලෝකයට ආදර්ශයක් වෙමින් රෝහින්ග්‍යා සරණාගතයන් පිළිගැනීම ගැන එතුමා බංගලි දේශයට යලිත් ස්තුති කළේය. 
"අපි එරටට කෘතවේදී විය යුතුයි. මන්ද බංගලි දේශය කුඩා දුප්පත් රටක් නමුත් ඔවුන් සරණාගතයන් 700,000ක් පිළිගත්තා. තමන්ගේ දොරවල් වසා ගන්නා රටවල් ගැන මට කල්පනා වෙනවා" එතුමා කීවේය. 

Comments