ප්‍රැන්සිස් පාප් වහන්සේ 'කදිම' කෙනෙක්ද? 'දැඩි' කෙනෙක් ද?

Pope Francis: 'Nice guy' or a 'tough guy'? 

(2017 අගෝස්තු 26)
බොහෝ දෙනෙකුට, ප්‍රැන්සිස් පාප් වහන්සේ යනු වර්තමාන කතෝලික සභාව්  දයා කරුණාබර මුහුණුවරයි. එතුමා තුළින් ගලා එන්නේ ක්‍රිස්තු ධර්මයේ මූලික හරයාත්මක පණිවිඩය වන දෙවි සමිඳාණන් ගේ මෘදු කරුණා ගුණයයි.

'දුප්පතුන්ට සරණ වන්න' යන්න එතුමා සිය ප්‍රථම අපෝස්තලික ලේඛනයේ කේන්ද්‍රීය පනිවිඩය කරගත්තේය.එයින් නොනැවතී, දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන්නැයි  තමන් හමුවන්නට වතිකානයට පැමිණෙන සෑම රාජ්‍ය නායකයකුගෙන් ම එතුමා ඉල්ලා සිටියි. එතුමා ඉතාලි වෙරළට සේන්දු වූ අසරණ වූ  සරණාගතයන්  බේරා ගත්තේය. ග්‍රීසියේ ලෙස්බොස් දූපතට ගිය එතුමා, එහි සිටි සරනාගතයනට  පිළිසරණ වන්නැයි සංවර්ධිත කිතුනු රටවලට ආයාචනා කිරීමෙන් නොනැවතී එහි සිටි මුස්ලිම් සරණාගත පවුල් කිහිපයක් තම ගුවන් යානයෙන් ම කතෝලික කේන්ද්‍රස්ථානය වන රෝමයට ගෙනාවේය. මීසම් සේවක  පියතුමකු සේ රෝමයෙන් බැහැර දුප්පත් මීසම් වල පවුල් බැහැදැක ගෙවල් ආශීර්වාද කරන්නට ගියේය. ගෙවල් නැති ජනයාට වතිකානයේ දොරටු විවර කළේය. දෙවියන්  වහන්සේ සමාව නොදෙන පාපයක් නැතැයි උන්වහන්සේ ගේ මෘදු කරුණා ගුණයේ අසීමිත බව කතෝලිකයනට පහදා දෙන්නේ ය. මෙවැනි ලේඛනයක් කියවා ගෙන යාහැකිය.

මේ සියල්ල අතර  මෙම ජේසු නිකායික පාප් වහන්සේ ගේ තුළ නිසගයෙන් ම ඇති තවත් ලක්ෂණයක් මෑත කාලයේ දී දැක ගන්නට හැකිවිය. එනම්, අවශ්‍ය වන්නේ නම් 'පාප් වහන්සේ ගේ අධිකාරීත්වය' භාවිත කිරීමට එතුමන්  කිසිසේත් පසුබට නොවන බවය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මුදු මොලොක් බව තුළ දැඩි බවක් ද පවතියි. එහෙත් එතුමා මේ දැඩි බව  ප්‍රදර්ශනය කරන්නේ  දෙවි සමිඳුනට ඇති භක්ත්‍යාදරයෙන් එදිනෙදා පල්ලි යන පේදුරු මාමලා, ජුවන් අයියලා, එලිස  නැන්දලා, වයලට් අක්කලා වැනි සාමාන්‍ය සරල බැතියෙන් යුත් ගිහියන් සම්බන්ධයෙන් නොවේ;  සභාවේ දූත මෙහෙවරට  හානි  කරන්නට, එය පීඩාවට පත්කරන්නට කටයුතු කරන පූජකවරුන්, රදගුරුවරුන් සහ කාදිනල් වරුන් සම්බන්ධයෙනි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙම දැඩි බව ප්‍රදර්ශනය කල අවස්ථා කිහිපයක් මෑත වකවානුව තුළ දක්නට ලැබිණි.

ඉකුත් ජුනි මාසයේ  සිය අභිනව රදගුරු තුමන් පිළිගැනීම ප්‍රතික්ෂේප කල නයිජීරියාවේ අහියාරා රදගුරු පදවියේ පූජක පිරිසට එතුමා දැඩි අවවාදයක් දුන්නේය. 2012 දී එම පදවියේ නව රදගුරු තුමන් පත්කරන ලද්දේ බෙනඩික් පාප් වහන්සේ විසිනි. එහෙත් මේ දක්වාම (2017 ජුනි) එතුමන් පිළිගැනීම එම පදවියේ  පූජකවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඊට හේතුව නව රදගුරු තුමා එම පදවියේ පුජකවරුන්ගේ ගෝත්‍රයට අයත් කෙනෙකු නොවීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම "ගෝත්‍රික මානසික" (අ)කතෝලික පියවරුන්ට දැඩි අවවාදයක් දුන්නේය. "මෙම වරදට සමාව ඉල්ලා  පදවියේ සෑම පියතුමෙකුම මා වෙත ලියුමක් එවිය යුතුයි. පාප්වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වන බවටත් එතුමන් පත් කරන ඕනෑම රදගුරු තුමෙකු පිළිගන්නා බවටත් මෙම ලිපියේ සඳහන් කල යුතුයි. මේ ලියුම දින 30ක් ඇතුලත වතිකානයට ලැබිය  යුතුයි." එතුමා කීවේය. එසේ සමාව නොඉල්ලන පියතුමන්ලාගේ පූජක කටයුතු තහනම් කරන බවට ද එතුමා අවවාද කළේය.

ගෝත්‍රික වෙනස්කම් කතෝලික සභාවේ එකමුතුකම හා දූත මෙහෙවරට වඩා ඉහලින් තබා ගැනීම ගැන සුදොතුම් පියතුමා නොසතුටට පත්ව සිටියේය. සභාව දේශපාලන, වාර්ගික හා ගෝත්‍රික භේද සඳහා අපයෝජනය කිරීම එතුමන් දැඩි සේ නොසතුටට පත්කරන්නකි.

ආජන්ටිනාවේ සිද්ධිය
මේ සිද්ධියට පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් දැඩි පියවරක් ගත්තේය. සුදොතුම් පියතුමා අජන්ටිනාවේ ටුකුමාන් පදවියේ අගරදගුරු ඇල්ෆ්‍රෙඩෝ සෙච්චා හිමියන්  ගේ 'සෞඛ්‍ය හේතු මත' ඉල්ලා අස්වීම භාරගත් බව වතිකානය නිවේදනය කළේය. එහෙත් එම නිවේදනයේ තවදුරටත් කියවුනේ 68 හැවිරිදි එම අගරදගුරු තුමා 'විශ්‍රාම නොලබන' බවයි. ඒ වෙනුවට එතුමා "නාමධාරී අගරදගුරු තුමකු' (Titular Archbishop) ලෙස පත්වන බව එහි සඳහන් විය. මෙයින් අදහස් කෙරෙන්නේ එතුමා තවදුරටත් සේවය කලයුතු බවයි.

මෙය කිසියම් ආකාරයක දඬුවමක්' දැයි විමර්ශකයෝ සොයා බැලූහ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවනට එරෙහිව දැඩි හඬක් නැගූ එම පදවියේ පියතුමෙකු ආරක්ෂා කිරීම අගරදගුරු තුමා විසින් පැහැර හැරීම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොසතුටට පත්ව සිටියේය. ජුවාන් විරෝචේ පියතුමා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ලෙස හඬ නැගුවේය. ඉකුත් වසරේ ඔක්තෝබරයේ දිනෙක මීසම් ගෘහයේ එල්ලෙමින් තිබුණු එතුමන්ගේ සිරුර දැකගන්නට හැකිවිය. ජනතා ආදරය දිනූ මෙම පියතුමා වෙනුවෙන් සිහිවටන ඵලකයක් මීසමේ පිහිටුවන්නැයි ජනතාව කල ඉල්ලීම් සෙච්චා අගරදගුරු තුමා ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට විරෝචේ පියතුමාගේ මරණය ගැන ආණ්ඩුවේ බලධාරීන් දුන් තීන්දුව එතුමා පිළිගත්තේය. එනම් පියතුමා සිය දිවි හානි කරගෙන ඇති බවයි. එහෙත් මත් ජාවාරම්කරුවන් විසින් එතුමන් ඝාතනය කර ඇත්තේය යන්න  බහුතර ජනතාවගේ මතයයි. සියදිවි හානිකරගනීම ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද්දක් බව ඔවුහු  විශ්වාස කරති.

සිද්ධි දෙකෙන්ම ප්‍රදර්ශනය වන්නේ කුහකකම කෙරෙහි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තුළ ඇති දැඩි පිලිකුළයි. "දෙබිඩි ජීවිත" ගතකරන කිතුනුවන්ගේ 'නොකිතුනුකම' ගැන එතුමා කිහිප විටක්ම කතා කර තිබේ.'කුහක කතෝලිකයකු' වීමට වඩා අදේවවාදියකු වීම යහපත් බව එතුමා කියා සිටියේය.

මාළු දැලේ  දැක්ම
එතුමාගේ දැක්ම සමාන වන්නේ ජේසු සමිඳුන් දේශනා කල දේව රාජ්‍යය පිලිබඳ මාළු දැලේ උපමාවටයි. ධීවරයෝ මසුන් අල්ලන්නට මාදැලක් මුහුදට දමති. එම දැල ගොඩට අදින විට සෑම වර්ගයකම මාළු ඊට හසුවී සිටිති. දැල ගොඩට ඇදීමෙන් පසුව පමණක් ඔවුහු හොඳ මාළු නරක මාළුන්ගෙන් වෙන්කර ගනිති. (මතෙව් 13:47-50)  මෙලෙස අවසානයේදී "හොඳ -නරක" මිනිසුන් ගැන විනිශ්චය කිරීම දෙවියන් වහන්සේට පමණක් අයත් කාර්යයක් බව ජේසු සමිඳාණෝ මෙම උපමාවෙන් කියා දුන්හ. සභාවේ දූත මෙහෙවර සියල්ලන් ඊට අන්තර්ග්‍රහණය කරගෙන සිය වන්දනා ගමනේ යෙදීමය.

මෙලෙස කතෝලික සභාව සියල්ලන් අන්තර්ග්‍රහණය කෙරෙන සභාවක් වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ දැක්මයි. වාර්ගිකත්වය, ගෝත්‍රිකත්වය  මතු නොව, ලිංගිකත්ව නැමියාවන් මත හෝ කිසිවකුට වෙනස් කම් නොකොට ඒ සියල්ලන් අන්තර්ග්‍රහණය කරගනිමින් එක්ව ගමන් කල යුතුය යන්න එතුමන්ගේ අදහයි. එසේම කතෝලික නායකයන් සිය සමාජවල විවිධාකාර "තුවාල සුවපත් කිරීමට" පෙරමුණ ගන්නා සාමය ඇති කරන්නන් වනු දැක්ම එතුමා ගේ අපේක්ෂාවය. 2016 කෙන්යාවේ අපෝස්තලික සංචාරයේ දී එතුමා වාර්ගික, ජාතික හා ආගමික භේදය දුටුවේ "නපුරේ ආත්මය " ලෙසය. ගෝත්‍රික වාදයට එරෙහි වීමේ සලකුණක් ලෙස සිය අත්වැල් අල්ලාගෙන පරමණ්ඩල යැදුම කියන්නැයි එතුමා එහි රැස්ව සිටි තරුණ තරුණියන් ගෙන් ඉල්ලා සිටියේය.

මෝල්ටාවේ නයිට්වරු (The Knights of Malta)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෑතකදී ගත තවත් දැඩි තීරණයක් වූයේ ස්වාධීන සංවිධානයක් ලෙස සැලැකෙන පුරාණ කතෝලික සංවිධානයක් වන මොල්ටාවේ නයිට්වරුන් ගේ බලකාය (Nights of Malta)  ප්‍රතිසංස්කරණයට පියවර ගැනීමයි. එහි නායකත්වය තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවේ ඒ පිලිබඳ විමර්ෂණයක් කිරීමට එතුමා පියවර ගත්විට එම සංවිධානයේ   ආධ්‍යාත්මික මග පෙන්වීම පැවරී තිබූ කාදිනල් රේමන්ඩ් බර්ක් හිමි එය සුදොතුම් පියතුමන් සමග ගැටුමක් බවට පත් කර ගැනීමට උත්සාහ ගත්තේය. (කාදිනල්  බර්ක් හිමි පාප් වහන්සේගේ  දැඩි විවේචකයකු වන අතර අමෙරිකා  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිටපු ප්‍රධාන උපායමාර්ගික උපදේශකයා වූ ස්ටීවන්  බ්‍රැනන් හා එක්ව එතුමන් අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට ද ප්‍රවෘත්ති පලවෙමින් තිබිණි.)

අභියෝගයක් එල්ල වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුළ සිටින 'ජේසු නිකායිකයා' අවදිවන බව වතිකාන විචාරකයන් ගේ මතයයි. ජේසු නිකාය ආරම්භ කරන ලද්දේ 15 වැනි සියවසේ දී සභාව දීප්තිමත් කළ පුදැදුරුතුමකු වූ ශා. ඉග්නේෂස් ලොයොලා  තුමන් විසිනි. පැවිදි බව වැළඳගන්නට පෙර එතුමා යුද හමුදා සෙබලෙක් විය. මේ නිසා හමුදාවේ ඇතැම් වටිනාකම් එතුමා සිය නිකායට ද හඳුන්වා දුන්නේ ය. මෙයින් එකක් වන්නේ විනය හා කීකරුකමයි. මෙම පුහුණුවෙන් පන්නරය ලබා තිබූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෝල්ටාවේ නයිට්වරුන් ගේ බලකායට තාවකාලික නායකයකු පත්කළේය. ඔහු යටතේ නව අන්තර්වාර නායකයකු පත්කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීය. ඉන්පසු නව නායකයා යටතේ දැන් එම බලකායේ ප්‍රතිසංස්කරණ සිදුකෙරෙමින් පවතියි.

දෙවන වතිකාන කතිකා දූත මෙහෙවර
 "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් 'කදිම කෙනෙක්' කියා සිතීම වැරැදියි" යැයි වතිකානයේ එතුමාට සමීප කෙනෙක් පැවසූහ. "එතුමා පැහැදිලි දූත මෙහෙවරක් තිබෙන රැඩිකල්කෙනෙක් " ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සතුව එක් පැහැදිලි දූත මෙහෙවරක් ඇති බව පෙනෙන්නට තිබේ. එනම් දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක  කොට තහවුරු කිරීමේ මෙහෙවරයි.

ශු. 23 වන ජුවාම් සුදොතුම් පියතුමන් විසින් ආරම්භ කරන ලද දෙවන වතිකාන කතිකාව පරිසමාප්තියට පත් කරන ලද්දේ එතුමන් ගෙන්  පසු රෝමයේ රදගුරු තුමන් වූ භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමන් විසිනි.

ශුද්ධාත්ම ආලෝකයෙන්  සභාව රැඩිකල් වෙනසකට ලක් කළ දෙවන වතිකාන කතිකාව සභාවේ ඓතිහාසික  සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙම කතිකාව පැවැත්වෙද්දී සේ ම එහි තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී ද භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමන්ට විවිධ බාධක හා විවේචනවලට මුහුණ සිදුවිය. එහෙත් ඒවායින් සැලුනේ එතුමා නොවේ.

දැන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කරමින් සිටින්නේ එම කතිකාව අනුව සභාව ප්‍රතිසංස්කරණයට යොමු කිරීමයි. එනම්, එම කතිකාවෙන්  ඇති වූ රැඩිකල් වෙනස්කම් තහවුරු කිරීමේ දූත මෙහෙවරයි.

එහෙත් මෙම ප්‍රයත්නයේදී එදා භා. සවැනි පාවුළු පාප් වහන්සේට සේම, (ඇත්තෙන් ම එතුමන්ටත් වඩා වැඩියෙන්), ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට දැඩි බාධා හා විවේචන වලට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම විරෝධතා එල්ල වන්නේ සභාවේ අති දක්ෂිනාංශික සහ දැඩි සම්ප්‍රදාය මතවාදී කඳවුරෙනි. එහෙත් ඒවායින් සුදොතුම් පියතුමා සැලෙන බවක් නොපෙනේ. මඳ වේගයෙන් නමුත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගමන් කරමින්  තිබේ. කතෝලික සභාව බඳු අති සාම්ප්‍රදායික ආයතනයක් කඩිමුඩියේ ප්‍රතිසංස්කරණවලට යොමු කිරීමට යාම ප්‍රඥාවන්ත නොවන බව එතුමා නොදන්නවා නොවේ.

දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණවල කැපී පෙනෙන ප්‍රතිසංස්කරණයක් වුයේ ජනවන්දනාව  (දිව්‍ය පූජාව ) ජනතාවට අවබෝධ කරගත හැකි සහ ඔවුනට සහභාගී විය හැකි, ඔවුන් ගේ ආධ්‍යාත්මයට දැනෙන  ආකාරයේ ප්‍රතිසංස්කරණයකට යොමු කිරීමයි. දැන් එයින් වසර 50 කට පසුව එම ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට දැඩි සම්ප්‍රදාය මතවාදී කොටසක් උත්සාහ දරමින් සිටියි. එහි පෙරමුණේ සිටින්නේ ජනවන්දනාව පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සභාපති කාදිනල් හිමිපාණෝය. "ප්‍රතිසංස්කරණවල ප්‍රතිසංසකරණ' සිදුවිය යුතු බවට මතයක් එතුමා ගෙනයමින් සිටියි.

ඉකුත් සතියේ වතිකානයේ පැවති  රෝම ජනවන්දනා කමිටු රැස්වීමකදී  "දෙවන වතිකාන කතිකාවෙන් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ යළිත් ආපසු හැරවිය නොහැකියි" යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.(මේ ගැන තොරතුරු පසුව ගෙන එනු ලැබේ.)

 මේ අතරම සභාව වඩාත් ජනතා කේන්ද්‍රීය ආයතනයක් බවට පත්කිරීම සඳහා සහ මෙතෙක් රෝම කියුරියාවට පමණක් පැවරී තිබූ බලතල එක් එක් රටවල සභාවලට විමධ්‍ය ගත කිරීම සඳහාත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙහෙස දරමින් සිටියි. කාදිනල් වරුන් අට නම ගේ කණ්ඩායමේ විමර්ශන හා උපදෙස් ඔස්සේ එතුමා උත්සාහ කරන්නේ මේ ඉලක්කය වෙත ලඟා වීමටය.

මෙවැනි පුළුල් ප්‍රතිසංස්කරණ වලට අත තබන ඕනෑම නායකයකු සතුව මෘදු ලතෙත් ගුණය සේම අවශ්‍ය වූ විට දැඩි තීරණ ගත හැකි අධිෂ්ඨානශීලී බව ද තිබිය යුතු ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් භාවිත කරන්නේ එම ගුණයන් ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට ඔබගේ යාච්ඥා බලය වඩ  වඩාත්   අවශ්‍ය වන්නේ  මෙම බාධා නොතකා දෙවි සමිඳුන් එතුමනට පැවරූ දූත මෙහෙවර ඉටු කිරීම සඳහාය.



(National Catholic Reporter පුවත් පතට ක්‍රිස්ටෝපර් ලෑම් විසින් ලියන  ලද ලිපියක් ඇසුරිනි).









Comments