භූගෝලය, ජ්‍යාමිතිය සහ අංක ගණිතය: නව කාදිනල් පත්වීම් වලින් කියැවෙන ප්‍රැන්සිස් සුදොතුම් පිය සභා දැක්ම

 Pope Francis' vision depicted in the choice of new Cardinals


"කතෝලික" යන වචනයේ හෙළ අරුත "සියැළි" යන්නයි. එනම් "විශ්වීය" යන්නයි. එහි අදහස සමස්ත ලෝකයම එකම විශ්වාසය තුළ එකම පවුලක් කොට ගත් ආගමික සමාජය යන්නයි.

"බලන්න, රෝමයේ රදගුරුතුමන් හොයාගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරුන් ගිය දුර. රෝමයට රදගුරු තුමකු සොයන්න උන්වහන්සේලා ලෝකයේ අන්තයටම ගියා." පාප්තුමන් ලෙස තේරී පත්වීමෙන් පසු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ ප්‍රථම වචන එසේ විය.(ආජන්ටිනාව පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ දකුණු කෙළවරේය. එහි සිට ඇන්ටාටිකාව දක්වා ඇත්තේ  මහා සාගරය පමණකි. ඉන් දකුණට මිනිස් වාසයක් හමුවන්නේ නැත.)

එදා සිට එතුමා "අන්තර්ග්‍රහණය කරගන්නා" සභාවක් ගැන නිතර කතා කළේය. එසේම සභාවේ "පර්යන්ත" නව ධර්මදානයේ ප්‍රමුඛ ස්ථානයක් ගත යුතු බව එතුමා ප්‍රකාශ කළේය.එහි අදහස දහම් සේවාව සභාවේ අන්ත නොහොත් පරිධිය වෙත ද යා යුතු අතර එම පරිධිය සභාවේ කේන්ද්‍රීය යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතුය යන්නයි.   එතුමන් ගේ පීතරීය දහම් සේවා (Peterine Ministry) ඇස නිතර යොමු වූයේ සභාවේ කේන්ද්‍රයෙන් ඈත සිටින, ලෝකයේ නෙත් නොගැටෙන, ඇතැම් විට කතෝලික නොවන බහුතරයක් මැද හෝ පීඩාකාරී ආණ්ඩු ඉදිරියේ දුක් විඳින එහෙත් සැබෑ කතෝලික භාවයට සාක්ෂි දරන සභා ය. එතුමා ගේ ප්‍රථම කාදිනල් පත්වීම් වල සිට මෙය දක්නට ලැබේ.

ඇත්තවශයෙන් ම කාදිනල් පර්ෂදය ජාත්‍යන්තරකරණය ආරම්භ කරන ලද්දේ නූතන සභා ප්‍රතිසංස්කරණවල පුරෝගාමියා වූ සය වැනි පාවුළු පාප් වහන්සේ ය. ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක සිටින කතෝලිකයනට ප්‍රථම වරට කාදිනල් හිමි නමක් ලැබුනේ ඒ සමයේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කරන්නේ සයවැනි පාවුළු පාප්තුමන් ඇරඹු එම ගමන වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මක කිරීමය. මේ සංඛ්‍යා දෙස බලන්න. භාග්‍යවන්ත සයවැනි පාවුළු සුදොතුම් පියතුමාගෙන් පසු පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් තෝරාපත් කරගත් පාප් වරණ දැහැනට සහභාගී වූ කාදිනල් හිමිවරු ලෝකයේ රටවල් 49ක් නියෝජනය කළහ. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේගෙන් පසු 16 වැනි බෙනඩික් පාප්තුමන් තෝරාගත් පාප් වරණයේදී එම නියෝජනය රටවල් 51කි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තෝරාගැනීම සඳහා රැස්වූ කාදිනල් හිමිවරු රටවල් 47 කට අයත් වූහ. මේ වසරේ ජුනි මස 28 වැනිදායින් පසුව ජන්දය හිමි කාදිනල්වරුන් ගේ සංඛ්‍යාව 121 දක්වා වැඩිවන අතර ඔවුන් රටවල් 62කට අයත් වෙති.

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය උපදේශක වරුන් වන කාදිනල් වරුන් තෝරා ගනිද්දී එතුමන් ගේ අවධානය යොමු වන්නේ භූගෝලීය පසුබිම හෝ අංක ගණිතය කෙරෙහි නොවේ. සභාවේ සියැළි බව වෙතය. මේ සියැළි බව විසින් විවිධාකාරයෙන් සභාව පෝෂණය කළ හැකි බව එතුමා දනියි. දේවධර්මය, ආධ්‍යාත්මිකත්වය, සංගීතය, චිත්‍රකලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය  වැනි ශාස්ත්‍රයන්හි මහා නිර්මාණ යනු සෙසු අය  සමග බෙදා ගැනීම සඳහා කතෝලිකයන් ලැබූ තිලින වේ. එහෙත් ඊට අමතරව අන්ත දුප්පත්කම, පීඩනය හා අරගල මැද විශ්වාසය ආරක්ෂා කරගැනීම පිලිබඳ අත්දැකීම් ද එවැනි තිලිණ අතර වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්වාස කරයි.  මේ නිසා සාම්ප්‍රදායිකව කාදිනල් හිමිවරුන් නොසිටි, ඇතැම් විට කතෝලිකයන් අතලොස්සක් සිටින සභාවලින් පවා එතුමා කාදිනල් හිමිවරුන් තෝරාගනියි.

නව කාදිනල් හිමිවරුන් කවුද? මෙම සම්බන්ධතාව 'ක්ලික්' කර කියවන්න:
කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 5 නමක්; ඒ අතර සහයක රදගුරු තුමෙකුත්

නව කාදිනල් හිමිවරුන් රැගෙන එන එබඳු තිලිණ  දෙස බලන්න.

ලාඕසය: පක්සේ හි අපෝස්තලික අනුනායක ලුයී-මාරි ලිං මංඛානෙඛෝන් රදගුරු හිමි
සුදොතුම් පියතුමන් ලාඕසය කෙරෙහි දක්වන විශේෂ සැලැකිල්ල මෙම කාදිනල් පත්වීමෙන් පෙන්නුම් කෙරෙන බව විචාරකයෝ පෙන්වා දෙති. ලාඕසයේ පවතින්නේ ඒක පාක්ෂික කොමියුනිස්ට් ආණ්ඩුවකි. එම ආණ්ඩුව කිසිදු ආගමකට නිදහසක් ලබා දී නොමැත. එම රාජ්‍යය මෙතෙක් වතිකානය සමග පූර්ණ තානාපති සබඳතා ඇතිකරගෙන නැත. එහෙත් මෑතක සිට එම ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට වඩා වැඩි විවෘතභාවයක් දැක්වීමට පටන්ගෙන තිබේ. ඒ අතරම එරට බහුතරය වන බෞද්ධ ජනයාට තරමක බුරුලක් ලබා දීමට කටයුතු කරන බවක් දක්නට ලැබේ. 70 ලක්ෂයක් වන ලාඕස ජනගහනයෙන් කතෝලිකයන් සිටින්නේ 45,000ක් පමණි. රදගුරු පදවි නොමැති අතර අපෝස්තලික සසුන්පද තුනක් පමණක් තිබේ. මුළු රටේම සේවාව කරන්නේ පදවි පූජකවරුන් 22දෙනෙකු හා පැවිදි පූජකවරුන්  11 දෙනෙකි. 1960 දී විප්ලවකාරීන් විසින් ඝාතනය කරන ලද ධර්මදූත පුජකවරු දෙනෙක් ඉකුත්වසරේ දී භාග්‍යවරයට ඔසවන ලදහ. ඒ වෙනුවෙන් පැවැත්වුණු ප්‍රසිද්ධ දිව්‍ය පූජාවට  රජය අවසර දුන්නේ ය. මෙම නැවුම් සුහදතාව වර්ධනය කර ගනිමින් එරට කතෝලිකයනට සෙත සලසන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උනන්දුවෙන් සිටියි.

මාලි (බටහිරදිග අප්‍රිකාව): බමාකෝ අගරදගුරු ජීන් සේර්බෝ හිමි
සියයට අනූවක මුස්ලිම් බහුතරයක් හා කිතුනුවන් සියයට පහක් පමණක් වෙසෙන මාලි රාජ්‍යයට සිය ඉතිහාසයේ  ලැබෙන ප්‍රථම කාදිනල් තුමා මෙතුමායි. එතුමාට කාදිනල් ධුරයේ රතු හිස්වැස්ම ලැබීම නිසා දැනටමත් එතුමා දුෂ්කරතා මැද කරගෙන යන සාම සංවාදයට ශක්තියක් ලැබෙනු ඇත. මාලියේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා 2012 දී අල්-කයිඩා සංවිධානය දැරූ ප්‍රයත්නයකින් පසුව එරට දේශපාලනය තවමත් පවතින්නේ අස්ථාවර තත්වයකිනි. එහි පවතින යුද තත්වය නිසා සරණාගත අර්බුදයක් ද පැනනැගී තිබේ. සේර්බෝ අගරදගුරු හිමි එරට සාම සංවාදයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. එතුමනට ලැබෙන කාදිනල් තනතුර මෙම ක්‍රියාවලිය සඳහා එතුමන් ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ස්වීඩනය: ස්ටොක්හෝම් හි ඇන්ඩ්‍රෙස් ආබෝරෙලියස් රදගුරු හිමි


ආබෝරෙලියස් රදගුරු හිමි පාප් වහන්සේ සමග
කතෝලික රටක් වූ ස්වීඩනයේ ජනතාවගෙන් බහුතරයක්  ලුතෙරාන ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ වලින් පසුව ලුතෙරාන සභාවට සම්බන්ධ වූහ. මේ නිසා කතෝලිකයෝ එරට අති  සුළුතරය බවට පත්වූහ. ස්වීඩනයේ පවතින එකම පදවිය ස්ටොක්හෝම් රදගුරු පදවියයි. එය අගරදගුරු පදවියක් නොවේ. මෙහි රදගුරු තුමා ඍජුවම වග කියන්නේ රෝමයටයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ නායකත්වය යටතේ කතෝලික-ලුතෙරාන සම්බන්ධතා ශක්තිමත් වෙමින් තිබේ. පසුගිය වසරේ ස්වීඩනයේ පැවැති ලුතෙරාන ප්‍රතිසංස්කරණයේ 150 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතය ලෙස ද එතුමා ඇරැයුම් ලබා සිටියේ ය. ආබොරෙලියස් රදගුරු තුමන්ට රතු බිරෙට්ටුව්ක් ලබා දීමට තීරණය කරද්දී එරට පවතින මෙම දහම් සේවා ඉඩකඩ සුදොතුම් පියතුමන්ට කල්පනා වන්නට ඇත. ස්වීඩනයේ ප්‍රථම කාදිනල් තුමා ආබොරෙලියස් රදගුරු තුමායි. තවත් කරුණක් තිබේ. ආබොරේලියස් රදගුරු තුමා ලුතෙරාන සභාවේ සිට පසුව කතෝලික දහම වැළඳගත් කෙනෙකි. ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලින් පසුව ස්වීඩනයේ කතෝලික රදගුරු වරයකු වූ එරටේම උපන් ප්‍රථම පූජකවරයා එතුමාය.

එල් සැල්වදෝරය: සන්සල්වදෝර් අගරදගුරු පදවියේ සහායක රදගුරු හොසේ ග්‍රෙගෝරියෝ චාවේස් හිමි
චාවේස් රදගුරු හිමි සාම පා ගමනක 

කතෝලික සභා ඉතිහාසයේ සහායක රදගුරු තුමෙකු කාදිනල් බිරෙට්ටුවක් ලබන ප්‍රථම වතාව මෙයයි. එසේම චාවේස් රදගුරු හිමි මෙම තනතුර ලබන්නේ එතුමා ගේ අගරදගුරු හොසේ ලුවිස් අලස් හිමි රදගුරු තුමන් ලෙසම සිටියදී යි. සන් සැල්වදෝර් යනු දූෂිත රෙජීමයක අයෝමය හස්තයෙන් පීඩාවට පත්ව එම රෙජීමයේ යකඩ සපත්තුවට පාගන ලද දුප්පත් ගොවි කම්කරු ජනයා ගේ හඬ බවට පත්වීම නිසා එම රෙජීමයේ ම වෙඩි පහරට ලක්ව පණ පිදූ භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ පදවියයි. එකල පූජක තුමකු වූ නව කාදිනල් චාවේස් හිමි එම අරගලයේ දී රොමෙරෝ හිමිපාණන් ගේ සමීප සහකරුවකු ලෙස එතුමනට උදව් විය. පසුව 1982 දී සහයක රදගුරු තුමන් වූ එතුමා 1992 සිවිල් යුද්ධය අවසන්ව සාම විසඳුමකට එළඹෙන තෙක්ම දුප්පත් ජනයා සමග කටයුතු කරමින් එම අරගලය ඉදිරියට ගෙන ගියේ ය. එතුමා තවමත් රොමෙරෝ දුත සේවාවෙහි නිරත වෙමින් සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර උපුටා දක්වන ජේසු සමිඳුන් ගේ ඉගැන්වීමක් තිබේ. එනම්, "මම කුසගින්නෙන් සිටියෙමි; ඔබ මට අහර දුන්හ. මම පිපාසව සිටියෙමි; ඔබ මගේ පවස නිවූහ. මම ශෝකයෙන් සිටියෙමි.....ඔබ? ......." යන්නයි. ජේසු සමිඳුන් ගේ මෙම ඉගැන්වීම අනුව දුෂ්ට රෙජීමයක් ඉදිරියේ අසරණ වූ ජනතාවක් යනු දුකට හා පීඩනයට පත් වූ ජේසු සමිඳාණෝය. මර්දනය කරන ලද ඔවුන්ගේ  හඬ බවට පත්වී  ඔවුන්ට සැනසිල්ල ගෙන දී දිරිමත් කිරීම  වූ කලී ජේසු සමිඳුනට කරන උවටැන් කිරීමක් වන්නේය. චාවේස් සහයක රදගුරු හිමි කාදිනල් ධුරයට රැගෙන එන සුබ අස්නේ පණිවිඩය එයයි.

ස්පාඥ්ඥය: බාසිලෝනා හි හුවාන් හොසේ ඔමෙල්ලා අගරදගුරු හිමි
මෙම වසරේ කාදිනල් තේරීම් වලින් සාම්ප්‍රදායික පත්ක්රීමක් ලෙස නම් කල හැක්කේ ඔමෙල්ලා අගරදගුරු හිමියන් ගේ පත්වීමයි. බාසිලෝනා පදවිය සාම්ප්‍රදායික කාදිනල් අසුනක් සහිත පදවියකි.

නූතන සභා ප්‍රතිසංස්කරණ වල පුරෝගාමියා වෙමින් කතෝලික සභාව මත නොමැකෙන සටහනක් තැබූයේ භා. සයවැනි පාවුළු පාප් වහන්සේය. එතුමාට එම ප්‍රතිසංස්කරණ සිදුකරද්දී සභාව තුළින්ම බොහෝ බාධා සහ විවේචන වලට මුහුණ දීමට සිදුවිය. දෙවන වතිකාන කතිකාව තුළින් ආරම්භ  වූ එම ප්‍රතිසංස්කරණ කෙරෙහි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැඩි සේ විශ්වාස කරයි. එතුමා මේ අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ පාවුළු පාප් තුමන් ආරම්භ කර අතරමග කැටිගැසුණු එම ක්‍රියාවලියයි.






Comments