යුද්ධයට, ලේ වැගිරීම්වලට හේතුව සහෝදරත්වය මැඩගෙන වැඩෙන ඊර්ෂ්‍යාව හා අයිති කර ගැනීමේ ආශාවයි..."

The lack of brotherhood leads to war and bloodshed



(2017 පෙබරවාරි 14)
සහෝදර ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් යටපත් වූ තැන එය උතුරා ගොස් ලේ වැගිරවීම් සහ ජීවිත විනාශ කිරීම් ඇති වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. ආදරය වෙනුවට බිම් කඩක් හෝ දේශයක් වැනි වස්තුවකට ලොබ බැඳුනු විට විශාල මානව් ඛේදවාචක සහිත යුද්ධ ඇති වන බව එතුමා පෙන්වා දෙයි. පෙබරවාරි 13 වන සඳුදා උදාසන වතිකානයේ සාන්තා මාර්තා තානායම් ගෙදර පුංචි පල්ලියේ දිව්‍ය පූජා යාගයේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මෙම පණිවිඩය ලබා දුන්නේය.

මෙදින දිව්‍ය  පූජාවේ  පළමුවන දේව ප්‍රකාශනයෙන් කියැවුනේ කායින් සහ ආබෙල් යන ප්‍රථම සහෝදරයන් දෙදෙනා ගේ කතා පුවතයි. කායින් ධාන්‍ය ගොවිතැනේ යෙදුනු ගොවියකු වූ අතර ආබෙල් බැටළුවන් ඇති කලේ ය. ආබෙල් තමන් සතු යහපත් ම දේ දෙවියන් වහන්සේට ඔප්පු කල බැවින් ඔහුගේ පඬුර උන්වහන්සේට ප්‍රසන්න විය. එහෙත් කායින් ගේ පඬුර දෙවියන් වහන්සේට ප්‍රසන්න වූයේ නැත. මේ නිසා සිය සොහොයුරා සමග කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් සිටි කායින් ඔහු පාලු තනකාට් රැගෙන ගොස් මරා දැමීම හා ඉන් පසුව දෙවියන් වහන්සේ හා කායින් අතර වූ සංවාදය මෙම පළමු දේව ප්‍රකාශනයට ඇතුලත් විය.

උත්පත්ති පොතේ මුල භාගයේ එන මෙම කතාව තුළ "සහෝදරයා" යන වචනය අපට ප්‍රථම වතාවට මුණගැසෙන බව සුදොතුම් පියතුමා කීවේය. "අප මෙහි දකින්නේ හැදී වැදී සුන්දර විය යුතු සහෝදරත්වය ගැන කතන්දරයක්. එහෙත් එය අවසන් වන්නේ විනාශයකින්"

"කතාව ආරම්භ වන්නේ 'සුළු ඊර්ෂ්‍යාවකින්'. සිය පඬුර දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවීම නිසා කායින් තුළ නොරිස්සුම් සහගත බවක් ඇති වෙනවා. මේ නිසා ඔහු තමන් තුළ කෝපයක්,අමනාපයක් වර්ධනය කරගන්නවා. එම ක්‍රෝධය පාලනය කිරීමට ඔහුට හැකියාව තිබුණා . එහෙත් ඔහු එසේ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු එම ක්‍රෝධය ඊර්ෂ්‍යාව සිත තුළ තබාගෙන ඊට වර්ධනය වීමට ඉඩහරිනවා. ඔහු මෙතන කළ පාපය නම් සිය ක්‍රෝධ සිතිවිල්ල තුළ තව තවත් එල්බ ගැනීමයි. ඊර්ෂ්‍යාවේ සහ වෛරයේ පුංචි ගිණි පුලිඟුවකින් අප අතර සතුරු කම් උපදින්නේ මෙහෙමයි. මෙම හැඟීම කෙතරම් අප තුළ වර්ධනය වන්නේ ද යත් අප ලෝකය සහ ජීවිතය දකින්නේ එම 'කණ්නාඩිය තුළිනුයි. මෙසේ වූ විට පුංචි දූවිලි කුඩක් අපේ ඇස් වලට පරාලයක් තරම් විශාල වෙනවා.අපේ ජීවිතය ඒ වටා  භ්‍රමණය වීමට පටන් ගන්නවා.එය අවසන් වන්නේ සහෝදරත්වයේ බැම්ම බිඳ වැටී විනාශ වීමෙන්," යැයි සුදොතුම් පියතුමා කීවේය.

"කෙනෙකු තමන් තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති මෙම නපුරු හැඟීම්වලින් ආවේශ වෙනවා. එයින් තමාම හිංසාවට පත්වෙනවා. මෙය වර්ධනය වෙද්දී එම තැනැත්තා සිය සහෝදරයා සමග ඇති සම්බන්ධයෙන්  වෙන් වෙනවා. ක්‍රමයෙන් තමන් ගේ සහෝදරයා විනාශ කල යුතු සතුරකු ලෙස ඔහුට හැඟී යනවා. මෙම සතුරුකම අවසන් වන්නේ පවුල්, ජනතාව, ජාතීන් යන සියල්ල විනාශ කරමින්. අවසානයේ දී සිය සහෝදරයා මරා දැමූ කායින්ට සිදුවූයේ මෙයයි" යැයි සුදොතුම් පියතුමා විස්තර කළේය.
"සිතේ කහට, තිත්තබව, නොරිස්සුම් සහගත බව දැනුනු විගසම එය නැවැත්විය යුතුයි. සිතේ කහට කිතුනු ගුණයක් නොවෙයි. වේදනාව කිතුනු ගුණයක්. කහට, නොරිස්සීම කිතුනු ගුණ නොවේ. "

ශුද්ධ ලියවිලි කතාවේ ඉතිරි කොටස  සුදොතුම් පියතුමා යලි ආවර්ජනා කළේය:
"මේ සිද්ධිය දුටු දෙවියන් වහන්සේ කායින් ගෙන් විමසනවා, 'කායින් ඔබේ සහෝදරයා කොහිද?' කියා. ඊට ඔහු දෙන්නේ උපහාසාත්මක පිළිතුරක්. 'මම දන්නේ නැහැ. මගේ සහෝදරයා ගේ ආරක්ෂකයා මම ද?" ඔහු ව්මසනවා. ඔව්. ඔබයි ඔබේ සහෝදරයා. දෙවි සමිඳාණන් ඔහුට දෙන පිළිතුර තුළ ප්‍රබල පණිවිඩයක් තිබෙනවා. උන්වහන්සේ කියනවා, 'ඔබගේ සහෝදරයා ගේ ලේ පොළොවේ සිට මට මොරගසයි' කියා."

ලොව පුරා විවිධ තැන්වල බෝම්බවලට, යුද්ධවලට බියෙන් පලා යන මිනිසුන්, ගැහැනුන් හා අහිංසක දරුවන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "ඔවුන් සිය වාසස්ථාන වලින් පලවා හරිනු ලබන්නේ 'ඔවුන් සහෝදරයන්' නොවන අය ලෙස සලකමිනුයි. ලෝකයේ බලවත් මිනිසුන් කී දෙනෙක් අද මෙසේ කියනවා ද? ' මම මේ ප්‍රදේශය ගැන උනන්දුයි. මම මේ භුමිය නැතිනම් දේශය ගැන උනන්දුයි. බෝම්බයක් වැටිලා ළමයින් 200 දෙනෙකු ලිය ගියාට මම කුමක් කරන්නට ද? එක මගේ වරද නොවෙයි. එකට වග කිව යුත්තේ බෝම්බයයි. මට ඕනෑ භුමිය පමණයි...' මෙසේ එය පටන් ගන්නේ සුළු දෙයකින්. සුළු වෛරයකින්. වෙන් වීමේ ආශාවකින්. එය අවසන් වන්නේ විනාශකාරී යුද්ධයකින්."

"ලෝකයේ සිදුවන මහා ලේ වැගිරවීම්වල ක්‍රියාවලිය මෙයයි. අද ලොව පුරා විවිධ ස්ථාන වල ගලා යන ලේ මහ පොළොවේ සිට දෙවියන් වහන්සේට මොර ගසනවා." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

"අපි නිතරම මේ වචන මතක් කර ගනිමු. පුනරුච්චාරණය කරමු. 'ඔබගේ සහෝදරයා කොහේද?' මේ ලෝකයේ බෝ දෙනෙකු අද සලකනු ලබන්නේ පුද්ගලයකු ලෙස නොවේ. 'දේවල්' ලෙසයි මන්ද මනුෂ්‍යත්වයට වඩා බිම් කොටසක් අද වැදගත් වී ඇති නිසයි."

Comments