"යාච්ඥාව අරගලයක්. ශුද්ධාත්මයාණන්ට අප තුළ සටන් කිරීමට ඉඩ හැරීමක්."

"prayer is a struggle": Homily of the Canonization Mass 




"යාච්ඥාව සෑම විටම  සුමුදු මල් මාවතක් නොවේ. එහෙත් සාන්තුවරුන් සේ, යාච්ඥාව දුෂ්කර වූ සෑම විටම, ක්‍රිස්තුන් වහන්සේ අපට සහාය වෙති." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අභිනව සාන්තුවරුන් සත්දෙනෙකු ප්‍රකාශයට පත් කිරීම සඳහා 2015 ඔක්තෝබර 16 වන ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජා යාගයේ දිය.

"සාන්තුවරුන් යනු යාච්ඥාවේ අබිරහස තුළට සම්පූර්ණයෙන් ම ඇතුළුවන ගැහැණුන් හා මිනිසුන් ය. යැදුම සමග අරගල කරන ගැහැනුන් හා මිනිසුන් ය. තමන් තුළට ඇතුළු වී යාච්ඥා කිරීමටත් යාච්ඥාව සමග පොර බැදීමටත් ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩහරින ගැහැණුන් හා පිරිමින් ය. ඔව්හු අවසානය තෙක් සිය සම්පූර්ණ ශක්තියෙන් සටන් කරති. අවසානයේ දී ඔව්හු ජයගනිති. එහෙත් ඔවුන් ජය ගන්නේ තමන් ගේ ශක්තියෙන් නොවේ. සමිඳාණෝ ඔවුන් තුළ සහ ඔවුන් සමග ජය ගනිති. අද ශාන්තුවරයට ඔසවන ලද මේ සාක්ෂිකරුවෝ සත් දෙනා සිය යාච්ඥා මගින් සිය විශ්වාසයේ සහ ප්‍රේමයේ සටන යහපත්ව  සටන් කළහ."

මෙම ශාන්තුවරයට එසැවීමේ දිව්‍ය  පූජාවට ලොව නන්  දෙසින් පැමිණි වන්දනාකරුවෝ 80,000ක් පමණ සහභාගී වී සිටි බව නිල වාර්තා සඳහන් කරයි.

මෙම ඉරිදා දේව ප්‍රකාශනය වූ නික්මයාම පොතේ එන අමලෙක්වරුනට එරෙහි සටනේ දී මෝසස් ගේ යාච්ඥාවට ආරොන් හා හර්ගෙන් ලැබුණු රුකුලත්  එම යාච්ඥාවේ ප්‍රතිඵලයත්, ශු. ලූක් සුබ අස්නේ එන වැන්දඹුව ගේ නිරන්තර යාච්ඥාවේ අරගලයත් යන පණිවිඩ මත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්මදේශනය පදනම් කරගෙන තිබුනේ ය.

දිගින් දිගටම යාච්ඥා කිරීම නිසා මෝසස් තමා මහත් වෙහෙසටත් අධෛර්යයටත් පත්ව සිටි ආකාරය සුදොතුම් පියතුමා විස්තර කළේය. මේ අවස්ථාවේ දී ආරොන් සහ හර් දෙදෙනා ඔහුට රුකුලක් දෙමින් යාච්ඥාවේ ඔහු ශක්තිමත් කළහ. මේ නිසා සටන ජය ගැනීමට ඊශ්‍රායෙල් වරුනට හැකියාව ලැබිණි.

"සභාව අපෙන් ඉල්ලා සිටින ආධ්‍යාත්මික ජීවිතය ද මෙයාකාරය: එනම් යුද්ධයෙන් ජයගැනීම නොව සාමයෙන් ජයග්‍රහණය කිරීමයි. මෝසස් තුමාගේ මෙම කතාවෙන් ඉස්මතුවන වැදගත් පණිවිඩයක් තිබේ. එනම් යාච්ඥාව තුළ අප එකිනෙකාට උදව් කර ගැනීමයි. යාච්ඥාව තුළ අප එකිනෙකාට උදව් කර ගැනීමේ මෙම ගුණාංගය යාච්ඥාව කෙරෙහි කැපවීමේ අත්‍යවශ්‍ය අංගයකි" යි සුදොතුම් පියතුමා කීවේය.

"යාච්ඥා කිරීම යනු කල්පිත ලෝකයක සරණ යාම නොවේ. යාච්ඥා කිරීම යනු නිශ්චලබව පිලිබඳ ව්‍යාජ හා ආත්මාර්ථකාමී හැඟීමක් ඇතිකර ගැනීමක් ද නොවේ. ඊට පරස්පරව, යාච්ඥා කිරීම යනු පොරබැදීමකි; අරගලයකි; සටන් කිරීමකි. එපමණක් නොව ශුද්ධාත්මයාණන් වහන්සේට අප තුළ පොරබැදීමට ඉඩ හැරීමකි" යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

සාන්තුවරුන් යාච්ඥාව තුළ සිය ඉලක්ක ජයගත් අන්දම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

"තනිව නොව, ක්‍රිස්තුන් වහන්සේ මගින්, සාන්තුවරු සිය ඉලක්කය දිනා ගත්හ. යාච්ඥාවට ස්තුතිවන්ත වන්නට ඔවුනට ත්‍යාගශීලි වූත් ස්ථිරසාර වූත් හදවතක් තිබුණේය. ඔවුහු ශක්තිමත්ව යාච්ඥා කළහ. ඔවුහු සටන් කළහ. මේ නිසා ඔවුහු ජය ගත්හ."

බොහෝ විට යාච්ඥාවෙන් වෙහෙසට පත්වීම ද සෑම සාන්තුවරයකු ගේ ම ජීවිතයේ ආධ්‍යාත්මික අත්දැකීමක් වූ බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය: "යාච්ඥාව තුළ වෙහෙසට පත්වීම නොවැලක්විය හැකියි. එහෙත් එවන් අවස්ථාවල මෝසස් තුමා සේ, අපගේ සහෝදර සහෝදරියන් ගේ සහයෝගය සමග  අපට සාර්ථකත්වය ලබා දීමට සමිඳුනට හැකිය. ...යාච්ඥාවෙන් තොරව උත්ඨානවීර්යයේ සටන ජයගත නොහැකිය. ඉඳහිට කරන යාච්ඥාව හෝ දෙගිඩියාවෙන් සැකයෙන් කරන යාච්ඥාව නොවේ; ජේසු සමිඳුන් සුබ අස්නේ අපට උපදෙස් දෙන අන්දමින් යාච්ඥා කල යුතුය: එනම්, 'සෑම විටම, අධෛර්යයට පත් නොවී යාච්ඥා කරන්න' යන උපදේශයයි. කිතුනු ජීවිත මාර්ගය මෙයයි: එනම්, විශ්වාසය හා සාක්ෂිදැරීම තුළ ස්ථිරව සිටීම සඳහා  යාච්ඥාව තුළ අචලව සිටීමයි. යාච්ඥාවේ අබිරහස හඬ නැගීමයි; අධෛර්යයට පත් නොවීමයි. අප අධෛර්යට පත් වන්නේ නම්, අපගේ දෑත් ඉහලට ඔසවා තබන ලෙස අපගේ සහෝදර සහෝදරියන් ගෙන් උදව් ඉල්ලා සිටීමයි."



Comments