"ජේසු ගේ ප්‍රේමයෙන් සිදුරු වූ පූජකවරයකු ගේ හදවත": සුදොතුම් පියතුමා සිදුකරන "හදවත් දෙකක විශ්ලේෂණය"

Holy Father analyses the "Two Hearts" at the Jubilee of Priests 


(2016 ජුනි 3)
"ස්වකීය ප්‍රේමය සීමා රහිත බව යහපත් එඬේරා ගේ ශ්‍රී හෘදය අපට කියයි. එය කිසිදාකත් වෙහෙසට පත් නොවේ; උත්සාහය අත් නොහරියි. එහි අප දකින්නේ උන්වහන්සේ ගේ අනන්ත වූත් අප්‍රමාණ වූත් ස්ව ත්‍යාජයයි........එහි උන්වහන්සේ ගේ ප්‍රේමයේ 'දුර්වලකමක්' අපි දකිමු: එනම් සියල්ලන් වැළඳ ගැනීමටත් කිසිවෙකුත් අහිමි කර නොගැනීමටත් ඇති බලවත් අභිලාෂයයි."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ජේසු සමිඳුන් ගේ ශ්‍රී හෘදයේ මංගල්‍ය දිනය වූ අද (2016 ජුනි 3 සිකුරාදා) දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී දිව්‍ය හෘදයේ දයා ගුණ ප්‍රශංසාත්මකව පහදමින් මේ බව පෙන්වා දුන්හ. "යහපත් එඬේරා ගේ හෘදය හුදෙක් අපට දයාව පෙන්වන හදවත පමණක් නොවේ; එය ම දයා කරුණාවයි. එම හෘදය තුළ දැල්වෙන්නේ පියාණන් ගේ  ප්‍රේමය යි. එම හදවත මා උණුසුමින් පිළිගන්නා බවත්, මාගේ ඉන්නා ආකාරයටම  එම හදවත මා තේරුම් ගන්නා බවත් මම දනිමි" යයි ද එතුමා කීවේ ය.

මෙම මංගල්‍ය දිනය අද තවත් අතකින් වැදගත් කමක් දැරුවේ ය. එනම් දයාවේ ශුද්ධ වසරේ පූජකවරුන් ගේ ජයන්තිය ද අද දිනටම දී තිබීම ය. දිව්‍ය සත්ප්‍රසාද වන්දනා, පශ්චාත්තාපයේ ප්‍රසාද නිධානය ලබා ගැනීම්, ධර්ම විවේකය හා ශුද්ධ ද්වාරයෙන් ඇතුළු වීම වැනි වැඩසටහන් රැසකින් සමන්විත වූ ඊට සහභාගී වීම සඳහා ලොව වටා පියතුමන්ලා 6000කට අධික පිරිසක් වතිකානයට පැමිණ සිටියහ. එම පූජක ජුබිලියේ අවසන් අංගය වුයේ ද මෙම දිවය පුජා යාගයයි. මේ නිසා සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනයේ දී යහපත් එඬේරා වන ජේසු සමිඳුන් ගේ හෘදය පූජකවරුන් ගේ හෘදයට සම්බන්ධ කරමින් කතා කළේය.

ක්‍රිස්තුන් වහන්සේ ගේ හදවත  ගැන මෙසේ භාවනා කරන විට අපගේ පූජක ජීවිතය පිලිබඳ මූලික ප්‍රශ්නයක් අප අබියසට පැමිණෙයි: එනම්, මාගේ හදවත යොමු වී ඇත්තේ කොහේට ද? යන්නයි. අපගේ මෙහෙවර නිතරම සැලසුම්, ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම්වලින් පිරී තිබේ. දහම් පාසල් වල සිට ජන වන්දනාව දක්වා, දයාවේ ක්‍රියාවල සිට දහම් සේවා සහ පරිපාලන කටයුතු දක්වා ඒවා විහිදී තිබේ. ඒ සියල්ල මධ්‍යයේ අප අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඉතිරිව තිබේ: මගේ හදවත තිබෙන්නේ කොතැනක ද, එය යොමු වී ඇත්තේ කොතැනකට ද,  මගේ හදවත සොයන වස්තුව කුමක් ද? මන්ද ජේසු සමිඳාණෝ මෙසේ පවසන සේක: "ඔබගේ වස්තුව ඇත්තේ කොහේ ද, ඔබගේ හදවත ඇත්තේ එතැන ය." (මතෙව් 6: 21)

සිය හදවත ජේසු ගේ බැහැපත් වූ, මෘදු වූ සිරි හද සේ දයාවෙන් හා ප්‍රේමයෙන් දැල්වී සියල්ලන්ට විවෘත වූ ස්ථානයක් කර ගන්නැයි සුදොතුම් පියතුමා පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියේ ය.

කවියක් සේ රසවත් හා අරුත්බර වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම පුජාවේදී සිදුකල ධර්ම දේශනය සම්පුර්ණයෙන් සටහන් කරන්නේ එහි රසය හා අරුත මුළුමනින්ම උකහා ගනු සඳහා ය.


සම්පූර්ණ ධර්ම දේශනය


"පුජාප්‍රසාදීන් තුමන්ලාගේ දයාවේ ජයන්තිය සමරන ජේසු සමිඳුන් ගේ ශ්‍රී හෘදයේ අති ගාම්භීර මංගල්‍යය යෙදී ඇති මේ දිනයේ, අතිශයින් මූලික වූ කරුණක් ගැන සිතන්නට අපට ආරාධනා කෙරේ. එනම් සෑම පුද්ගලයකු ගේ ම ගැඹුරුම පත්ල  සහ පදනම ද,  ක්‍රියාකාරී ජීවිතයේ කේන්ද්‍රය ද, වචනයකින් කියන්නේ නම්, පුද්ගල ජීවිතයේ මධ්‍ය ලක්ෂ්‍යය ද වන, හදවත වෙත යොමු වීමට අපට අද ආරාධනා කෙරේ. එබැවින් අපි අද හදවත් දෙකක් ගැන භාවනා කරමු: එනම් යහපත් එඬේරා ගේ හදවත සහ පූජකවරුන් ලෙස අපගේ ම හදවත ගැනයි.

යහපත් එඬේරා ගේ හෘදය හුදෙක් අපට දයාව පෙන්වන හදවත පමණක් නොවේ; එය ම දයා කරුණාවයි. එම හෘදය තුළ දැල්වෙන්නේ පියාණන් ගේ ප්‍රේමය යි. එම හදවත මා උණුසුමින් පිළිගන්නා බවත්, මා ඉන්නා ආකාරයටම  එම හදවත මා තේරුම් ගන්නා බවත් මම දනිමි. මගේ පාප සහ දුර්වලකම් තිබිය දී එම හදවත විසින් මා තෝරාගනු ලබන බවත් එහි ප්‍රේමය මා ලබන බවත් මම නිශ්චිතව ම දනිමි. එම හදවත ගැන මෙනෙහි කරමින් මගේ ප්‍රථම ප්‍රේමය මම අලුත් කර ගනිමි: එනම් සමිඳාණන් මාගේ ආත්මය ස්පර්ශ කර උන්වහන්සේ අනුගමනය කරන්නැයි මට කතා කල දිනය පිලිබඳ මතකය යි; එසේ ම, අපගේ ජීවිතයේ දැල් උන්වහන්සේ ගේ ශ්‍රී වචනයේ මුහුදේ හෙලීමෙන් ලද මහත් ආනන්දය පිලිබඳ ප්‍රීතිමත් මතකය යි. (ලූක් 5:5)

ස්වකීය ප්‍රේමය සීමා රහිත බව යහපත් එඬේරා ගේ ශ්‍රී හෘදය අපට කියයි. එය කිසිදාකත් වෙහෙසට පත් නොවේ; උත්සාහය අත් නොහරියි. එහි අප දකින්නේ උන්වහන්සේ ගේ අනන්ත වූත් අප්‍රමාණ වූත් ස්ව ත්‍යාජයයි. එහි අපට හමුවන්නේ නිදහස දෙන්නා වූ ද නිදහස් කරන්නා වූ ද විශ්වාසවන්ත, මෘදු ප්‍රේමයේ උල්පතයි. එහි අපට නිරන්තරයෙන් අලුත්වෙමින් හමුවන පණිවිඩය වන්නේ ජේසු සමිඳුන් අපට කිසිදු බලපෑමක් නොකර "අවසානය තෙක්" අපට ප්‍රේම කරන බවයි.

ස්වකීය  ප්‍රේමය අපට සන්නිවේදනය කිරීම සඳහාත් අපට උදව් කිරීම සඳහාත් යහපත් එඬේරා ගේ හදවත අප වෙතත් විශේෂයෙන් බොහෝ ඈතින් සිටින්නන් වෙතත් ලඟා වෙයි. එතුළ උන්වහන්සේ ගේ මා ලිමාවේ කටු නොවැලක්විය හැකි ලෙස (අප වෙත) යොමු වී තිබේ; එහි උන්වහන්සේ ගේ ප්‍රේමයේ 'දුර්වලකමක්' අපි දකිමු: එනම් සියල්ලන් වැළඳ ගැනීමටත් කිසිවෙකුත් අහිමි කර නොගැනීමටත් ඇති බලවත් අභිලාෂයයි.


ක්‍රිස්තුන් වහන්සේ ගේ හදවත  ගැන මෙසේ භාවනා කරන විට අපගේ පූජක ජීවිතය පිලිබඳ මූලික ප්‍රශ්නයක් අප අබියසට පැමිණෙයි: එනම්, මාගේ හදවත යොමු වී ඇත්තේ කොහේට ද? යන්නයි. අපගේ මෙහෙවර නිතරම සැලසුම්, ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම්වලින් පිරී තිබේ. දහම් පාසල් වල සිට ජන වන්දනාව දක්වා, දයාවේ ක්‍රියාවල සිට දහම් සේවා සහ පරිපාලන කටයුතු දක්වා ඒවා විහිදී තිබේ. ඒ සියල්ල මධ්‍යයේ අප අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඉතිරිව තිබේ: මගේ හදවත තිබෙන්නේ කොතැනක ද, එය යොමු වී ඇත්තේ කොතැනකට ද,  මගේ හදවත සොයන වස්තුව කුමක් ද? මන්ද ජේසු සමිඳාණෝ මෙසේ පවසන සේක: "ඔබගේ වස්තුව ඇත්තේ කොහේ ද, ඔබගේ හදවත ඇත්තේ එතැන ය." (මතෙව් 6: 21)

ජේසු සමිඳුන් ගේ හදවතේ තිබුණේ අති මහත් වස්තු දෙකක් පමණයි: එනම් සිය පියාණන් සහ අප පමණයි. මේ අනුව උන්වහන්සේ ගේ දවස් බෙදී තිබුණේ සිය පියාණන්ට යාච්ඥා කිරීමත් ජනතාව මුණගැසීමත් යන කාරනා දෙකට යි. එසේ ම ක්‍රිස්තුන් වහන්සේ ගේ පූජකවරුන් ගේ හදවත දන්නේ දිශා දෙකක් පමණයි: එනම් ස්වාමීන් වහන්සේ සහ සිය ජනතාව යන දෙදිශාවයි. පූජකවරයකු ගේ හදවත යනු ජේසු සමිඳුන් ගේ ප්‍රේමයෙන් සිදුරු වූ හදවතකි. මේ හේතුව නිසා ඔහු තවදුරටත් තමා දෙස නොබලා, දෙවියන් වහන්සේ සහ සිය සහෝදර සහෝදරියන් වෙත පමණක් හැරේ. පූජක හදවත තව දුරටත් තාවකාලික ආශාවලට වසඟ වන, ලාබ තෘප්තීන් සොයා යන "සැලෙන මායාවක්" ("a fluttering heart") නොවේ. ඒ වෙනුවට එය, සමිඳුන් තුළ ගැඹුරට දැඩිව මුල් බැසගෙන, ශුද්ධාත්මයාණන් ගේ උණුසුම ලබා සිය සහෝදර සහෝදරියන් වෙනුවෙන් නිතර විවෘතව පවතින  හදවතකි. 

යහපත් එඬේරා වන ජේසු සමිඳුන් ගේ දයාවෙන් අපගේ හදවත් ද දැවීමට පුහුණු කර ගැනීම සඳහා අද දිව්‍ය පූජාවේ කියවීම් අපට යෝජනා තුනක් ඉදිරිපත් කරයි: එනම්, සොයා යන්න, අන්තර්ග්‍රහණය කර ගන්න, ප්‍රීතිවන්න. 

සොයා යන්න: දෙවියන් වහන්සේ ද තමන් වහන්සේ ම සිය බැටළුවන් සොයා යන බව එසකියෙල් දිවස්ප්‍රසාදිතුමා අද අපට මතක් කර දෙයි (එසකි 34:11, 16).  සුබ අස්න මෙම පණිවිඩය ප්‍රතිරාව නංවයි: "ඔහු සිය නැති වූ බැටළුවන් සොයා යන්නේ ය"((ලූක්  15:4). අනතුරු ගැන බියක් නොමැතිව, ප්‍රමාද නොකර සිය තණබිමෙන් නික්ම ඔහු පියමං කරයි. ඔහු (නැති වූ බැටළුවා) සෙවීම කල් දමන්නේ නැත. "අදට මේ වැඩ කළා ඇති; මේ ගැන මම හෙට බලනවා" යි ඔහු කියන්නේ නැත. ඒ වෙනුවට ඔහු වහාම පිටත්ව යයි. නැති වූ එක බැටළුවා හමුවන තෙක් ඔහු ගේ හදවත කරදර වෙයි. බැටළුවා හමු වූ විට ඔහුට මහන්සිය අමතක වෙයි. මහත් තෘප්තියෙන් බැටළුවා කර මත තබා ගනියි. 

සොයා යන හදවතක් එබඳු ය. එම හදවත් පෞද්ගලික යයි කියා කාල වේලාවන් හා අවකාශයන් වෙන්කර ගන්නේ නැත; තමාට හිමිකම් ඇති නිසල වේලාව ගැන ඊර්ෂ්‍යා වන්නේ වත් එම වෙලාවේ තමාට විවේකීව සිටීමට අවශ්‍ය බවට දැඩිව ඉල්ලා සිටින්නේවත් නැත. දෙවියන් වහන්සේ ගේ හදවත බඳු එඬේරෙකු සිය 'සැප පහසු  කලාපය' (comfort zone)  වෙන්කර ගන්නේ නැත. තම හොඳ නම ආරක්ෂා කර ගැනීම ගැන ඔහු කරදර වන්නේ නැත. එහෙත්, ඒ වෙනුවට, විවේචන වලට බිය නොවී, සිය සමිඳුන් අනුකරණය කිරීම සඳහා අවදානමකට වුව ද මුහුණ දීමට  ඔහු සුදානමින් සිටින්නේ ය.



දෙවියන් වහන්සේ ගේ හදවතට අනුරූප එඬේරකු, තමාගේ අපේක්ෂාවන් හා තමා උනන්දු වන දේ පසෙක තැබීමට තරම් ප්‍රමාණවත් නිදහසක් ඇති හදවතක් සතු ය. ඔහු ජීවත් වන්නේ තමන් ගේ ජයග්‍රහණයන් හා තමා වැඩකළ වේලාවන් ගණන් කරමින් නොවේ. ඔහු ආත්මික ගණකාධිකාරිවරයකු නොව, අවශ්‍යතාවයෙන් සිටින්නන් සොයා යන යහපත් සමරිතානවරයෙකි. සිය රැලට ඔහු එඬේරෙකු මිස පරීක්ෂකවරයෙක්  නොවේ. සිය දූත මෙහෙවර සඳහා ඔහු සියයට පනහක් හෝ හැටක් හෝ නොව තමන් සතු සියල්ල කැප කරයි. සොයා යාමේදී ඔහුට හමුවෙයි; එසේ හමුවන්නේ ඔහු අවදානමක් වුවද නොබියව ගන්නා නිසා ය. අධෛර්යයට පත්වූ විට ඔහු නතර නොවේ. ඔහු වෙහෙසට ඉඩ නොදෙයි. ඇත්ත වශයෙන් ම, කිසිවකු වෙතින් අවධානය ඉවත් නොකරන දිව්‍ය හිතුවක්කාරකමෙන් ආලේපය ලබා සිටින ඔහු, යහපත කිරීමට මුරණ්ඩු වෙයි.  ඔහු සිය දොර විවෘතව තබා ගන්නවා පමණක් නොවේ; එම දොරෙන් ඇතුළුවීම තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නන් ද සොයා යයි. සෑම යහපත් කිතුනුවකු වාගේ ම, එසේ ම, සෑම කිතුනුවකුට ම ආදර්ශයක් වනු සඳහා, ඔහු නිතර තම ස්වාර්ථයෙන් ඉවත්වෙයි. ඔහු ගේ හදවතේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ ඔහුට පිටතිනි. ඔහු ආකර්ෂණය වන්නේ ස්වකීය "මම" යන්නෙන් නොව, දෙවියන් වහන්සේ වෙත යොමු වූ "ඔබ වහන්සේ" සහ සිය සහෝදර සහෝදරියන් කේන්ද්‍ර වූ "අපි" යන්නෙනි.

ඇතුළත් කර ගන්න: ක්‍රිස්තුන් වහන්සේ සිය බැටළුවන් දන්නා සේක; ඔවුන්ට ප්‍රේම කරන සේක. උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් සිය ජීවිතය දෙන සේක. උන්වහන්සේට කිසිවෙකුත් අමුත්තෙකු නොවේ ( ජුවාම් 10:11-14). උන්වහන්සේ ගේ   රැල උන්වහන්සේ ගේ පවුල හා උන්වහන්සේ ගේ ජීවිතය යි. උන්වහන්සේ සිය රැල විසින් බිය විය යුතු ප්‍රධානියෙක් නොවේ;  ඒ වෙනුවට උන්වහන්සේ ඔවුන් සමග එකට පා නගමින් එකිනෙකා ගේ නමින් ඔවුන් අමතන එඬේරෙකි (ජුවාම් 10:3-4). තවමත් තමා ගේ රැලට ඇතුළත් නොවූ බැටළුවන් ද එක්රැස් කරගැනීමට උන්වහන්සේ ට අවශ්‍ය ය (ජුවාම් 10:16)

ක්‍රිස්තුන් වහන්සේ ගේ පූජකවරයා ද එසේ ම ය. සිය ජනතාව වෙනුවෙන් ඔහු ආලේප කරනු ලබන්නේ තමන් ගේ ම ව්‍යාපෘති තෝරා ගැනීමට නොව දෙවියන් වහන්සේ ඔහුට භාර දෙන සැබෑ මිනිසුන් හා කාන්තාවන්ට සමීපව සිටීමට ය. ඔහුගේ හදවතින් හෝ ඔහුගේ යාච්ඥාවලින් හෝ ඔහු ගේ සිනහවෙන් කිසිවෙකුත් බැහැර කරනු නොලැබේ. පියෙකු ගේ බැල්මෙන් සහ   හදවතින් ඔහු සාම කෙනෙකුම උණුසුමින් පිළිගෙන ඇතුළත් කරගන්නා අතර, විටෙක නිවැරදි කිරීමට අවශ්‍ය වන්නේ නම් එසේ කරන්නේ  ජනතාව වඩාත් සමීප කරගැනීම  සඳහා පමණි. ඔහු කිසිවෙකුගෙන් හෝ වෙන්වී සිටින්නේ නැත; එහෙත් ඕනෑම විටෙක තම දෑත් කිලිටි කර ගැනීමට සූදානමින් සිටියි. තමන් සමරණ හා ජීවත්වන දිව්‍ය සත්ප්‍රසාදයේ සේවකයකු ලෙස, ඔහු කිසිවිටෙකත් සෙසු අයගෙන් සුබ පැතුම් හෝ ප්‍රශංසා බලාපොරොත්තු නොවේ; එහෙත් ඕපාදූප, විනිශ්චයයන් හා ද්වේශයන් ප්‍රතික්ෂේප කරමින් නිතරම ජනතාවට ප්‍රථමයෙන් සමීප වන්නේ ඔහු ය. ස්වකීය ජනතාවගේ ප්‍රශ්නවලට ඉවසීමෙන් සවන් දෙන ඔහු, ත්‍යාගශීලි අනුකම්පාවෙන් දෙවියන් වහන්සේ ගේ සමාව වපුරමින්, ඔවුන් කැටුව යන්නේ ය. රැලෙන් ඉවත්ව ඉබාගාතේ යන්නන්ට හෝ මඳක් එහා මෙහා වෙන්නන්ට ඔහු බන වදින්නේ නැත; එහෙත් ඒ වෙනුවට ඔවුන් ආපසු කැඳවා ගෙනැවිත්, ගැටළු සහ එකඟ නොවීම් නිරාකරණය කර ගන්නේ ය.

ප්‍රීති වන්න: දෙවියන් වහන්සේ ආනන්දයෙන් පූර්ණ වන සේක (ලූක් 15:5). උන්වහන්සේ ගේ ආනන්දය උපත ලබන්නේ සමාව දීමෙනි; ජීවිතය උත්ථාන වීමෙන් සහ යළි අලුත් වීමෙනි; නාස්තිකාර පුත්‍රයන් ආපසු පැමිණ ගෙදර මිහිරි සුළඟ  යළි ආශ්වාස කිරීමෙනි. යහපත් එඬේරාන් වන ජේසු සමිඳුන් ගේ ප්‍රීතිය උන්වහන්සේ සඳහා පමණක් වූ ප්‍රීතියක් නොවේ; එය අන් අය  වෙනුවෙන් සහ අන් අය  සමග වන ප්‍රීතියකි. පූජකවරයා ගේ ප්‍රීතිය ද එසේම ය. ඔහු නොමිලේ දානය කරන දයා කරුණාවෙන් ඔහු වෙනසකට පරිවර්තනය වෙයි. යාච්ඥාවේ දී දෙවියන් වහන්සේ ගේ සැනසිල්ල සොයා ගන්නා ඔහු උන්වහන්සේ ගේ ප්‍රේමයට වඩා බලවත් වූ දෙයක් නොමැති බව අවබෝධ කර ගනියි. මෙලෙස ඇතුළාන්ත සාමයක් අත්දකින ඔහු දයා කරුණාවේ නාලිකාවක් වෙමින් ජනතාව දෙවියන් වහන්සේ ගේ හදවතට වඩාත් සමීප කිරීමට සතුටු වෙයි. ශෝකය ඔහුට මිම්මක් නොව ගමනේ හමුවන එක පියවරක් පමණි. කර්කශ හෝ දෘඪ බව ඔහුට ආගන්තුක ය. මන්ද ඔහු දෙවියන් වහන්සේ ගේ මෘදු හදවතට අනුරූප එඬේරෙක් බැවිනි.

දයාබර පූජකවරුනි, සෑම දිනෙකම දිව්‍ය සත්ප්‍රසාදීය සැමැරුම තුළ එඬේරුන් ලෙස අපි අපගේ අනන්‍යතාව යළි සොයා ගනිමු. සෑම දිව්‍ය පුජාවක දීම ක්‍රිස්තුන් වහන්සේ ගේ වචන අපි අපගේ කර ගනිමු: "මේ ඔබ උදෙසා පාවා දෙනු ලබන මාගේ ශරීරය යි."
මෙය අපගේ ජීවිතයේ අරුතයි; මේ වචනත් සමග, අපගේ පූජාත්වර මෙහෙයේ දී අප දුන් පොරොන්දු  සැබෑ ආකාරයකින් දිනපතා අලුත් කිරීමට අපට හැකිය.

ජේසු සමිඳුන් සමග එකාබද්ධව ජීවිතය දානය කිරීමට "කැමතියි" කීම ගැන ඔබ සියලු දෙනාට මම ස්තුති වන්ත වෙමි: මන්ද ප්‍රීතියේ සුපිරිසුදු උල්පත ඇත්තේ මෙහි ය." 





Comments