"රෝගීන් හා ආබාධිතයනට අවශ්‍ය ම ඔසුව ආදරය යි": ආබාධිතයන් ගේ ජුබිලියේ ධර්ම දේශනය

The Sick and the Disabled need to be loved: not hidden from society" - The Jubilee for the Disabled 

සුදොතුම් පියතුමා සෙනසුරාදා (ජුනි 11) ආබාධිතදරුවන් වෙනුවෙන් විශේෂ හමුවක් ලබා දුන්නේ ය. මේ එහි චායාරුප කිහිපයකි.

(2016 ජුනි 12)
රෝගී සහ ආබාධිත තැනැත්තන්ට සතුටින් ජීවත්වි නොහැකි  යයි ද එබැවින් ඔවුන් සමාජයේ දෘෂ්ටියෙන් ඉවත්කොට තැබිය යුතු බව ට ද පවතින මතය සාවද්‍ය එකක් බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරති. සැබෑව නම්, පූර්ණ සතුට අත්විඳිය හැක්කේ ආදරය කිරීමට අප සතුව ඇති හැකියාව මත බව උන්වහන්සේ පෙන්වාදෙති. තමා ගේ රූප සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීම දේවත්වයෙහි ලා සලකන සමාජයක් විසින් රෝග හා ආබාධිත තත්වයන් අසාමාන්‍ය තත්වයෙහි ලා සැලකීම එතුමන් ගේ විවේචනයට ලක් වෙයි.

සුදොතුම් පියතුමා මෙම මෙනෙහි කිරීම කලේ අද, ඉරිදා (2016 ජුනි 12) වතිකානයේ පැවැති රෝගීන් හා ආබාධිතයන් ගේ දයාවේ ජයන්ති දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. ජුනි 10 වන සිකුරාදා ආරම්භ වූ මෙම ජුබිලිය ආබාධිතයන් ඉලක්ක  කරගත්  වැඩසටහන් රැසකින් සමන්විත විය. ජුබිලි දිව්‍ය පූජාව ද පවත්වන ලද්දේ ආබාධිත ජනතාව එහි ජනවන්දනා කටයුතු වලට  ක්‍රියාකාරීව  සහභාගී කර ගනිමිනි.

"යම් කෙනෙකු ගේ ශරීරය රක බලා ගැනීම බලවත් මානසික ආශාවක් බවටත් ව්‍යාපාරයක් බවටත් පත් වී ඇති යුගයක, අසම්පූර්ණ කෙනෙක් හෝ දෙයක් සඟවා තැබිය යුතු බව විශවාස කෙරේ. මන්ද අසම්පූර්ණ පුද්ගලයන් වරප්‍රසාද ලත් අතලොස්ස ගේ සතුටට සහ ශාන්තියට තර්ජනයක් බවටත් එය යුගයේ අධිපති මොඩලය අනතුරේ හෙලන බවටත් පවතින විශ්වාසයයි. ....එවැනි පුද්ගලයන්ට (ආබාධිතයන් හා දරුනු රෝගීන්ට) විනෝදාස්වාදය හා සුඛල්ලිකානු යෝගය ප්‍රවර්ධනය කරන සංස්කෘතිය විසින් පරිභෝජනය කරන වින්දනය අත්විඳිය නොහැකි නිසා ඔවුනට ප්‍රීතියෙන් ජීවත් විය නොහැකි බවට ද මතයක් පවතියි. මේ නිසා ඔවුන් සඟවා තැබීමට දිරිමත් කෙරේ. ඇතැම් අවස්ථාවල, ඔවුන් හැකි ඉක්මනින් ඔවුන් ලොවින් තුරන් කල යුතු බවට ද ඉල්ලා සිටිනු ලැබේ. ඊට හේතුව ලෙස පවසනු ලබන්නේ අර්බුද අවස්ථාවක ආබාධිත පුද්ගලයන් ආර්ථිකයට බරක් බවයි. මෙම මානසිකත්වය අපට යෝජනා කරන්නේ රෝගීන් සහ ආබාධිතයන් සමාජයෙන් ඉවත් කොට භාක්තිවාදයේ හෝ සමාජ සුබසාදනයේ 'ප්‍රාකාර' හෝ 'දූපත්' තුළ ඔවුන් කොටු කර තබන ලෙසයි" යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

එහෙත් කොටුකර තැබීමෙන් නොව, ආදරය, ප්‍රේමය හා පිළිගැනීම අත්දකින්නට සැලැස්වීමෙන් මෙම පුද්ගලයන් ප්‍රීතියේ ජීවනය අත්දකින බවත් නව ජීවිතයක් අත්දකින බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය: "එහෙත් ඇති සැටියෙන් බලන කළ සැබෑ ප්‍රීතිය ලඟා කරගත හැක්කේ ආදරය කිරීමට අපට හැකි වන්නේ නම් පමණකි. තමන්ට ආදරය ලැබෙන බව අවබෝධ වූ වහාම ආබාධිත සහ රෝගී පුද්ගලයන් කී දෙනෙක් නව ජීවිතයක් සඳහා සිය හද දොරටු විවර කරනවා ද? හුදෙක් පුංචි හසරැල්ලකින්  පමණක් වුවත් කෙතරම් ආදරකින්  හදවතක් පිරවිය හැකි වන්නේ ද? හසරැලි ප්‍රතිකාරය; හසරැලි චිකිත්සාව."

මෙදින ධර්මදේශනය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රධාන කොටම  පාදක කොට ගත්තේ ඉරිදා දෙවන දේව ප්‍රකාශනය වූ ශු.පාවුළු තුමන් විසින් ගලාති වරුනට ලියන ලද ලිපියෙන් උපුටා ගත් කියවීමයි. එයින් කියැවෙන්නේ බෞතීස්ම ස්නාපනයේ දී අප ලබන ක්‍රියාකාරී පාස්කු මරණය හා උත්ථානය මගින් සම්පිණ්ඩනය වන කිතුනු ජීවිතයේ අබිරහස බව එතුමා පෙන්වා දුන්නේ ය: "බෞතීස්මය තුළ අප සෑම කෙනෙක් ම ක්‍රිස්තුන් වහන්සේ සමග මියගොස් උත්ථාන කරනු ලබමු. උත්ථානය පෙන්නුම් කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන් තුළ ලබන නව ජීවනය මගිනි. මෙම නව ජීවිතය අපගේ ජීවිතයේ සෑම අංශයක් ම වැළඳගනියි: රෝග, ආබාධ, දුක්පීඩා සහ මරණය යන සියල්ල පවා, ක්‍රිස්තුන් වහන්සේ තුළ සම්පූර්ණ තේරුම ලබයි."

දුක් වේදනා සහ රෝග පීඩා යන යථාර්ථයට අප සෑම කෙනෙකුට ම දිනෙක මුහුණ දීමට සිදු වන බව රෝග, ආබාධ හා දුක් කරදර වලින් පෙලෙන සියල්ලන් අමතමින් සුදොතුම් පියතුමා කීවේය. එතුමා පෙන්වා දුන්නේ අප ඊට පිළිතරු සෙවිය යුත්තේ අපගේ ම ශක්තිය හා හුදෙක් විද්‍යාව තුළින්  නොව  දේව වචනයේ ශකිතිය තුළ බවයි: "අප සෑම කෙනෙකුටම දිනෙක - බොහෝ විට වේදනා බරව - අපගේ හෝ වෙනත් කෙනෙකු ගේ දුක් වේදනා, දුර්වල වීම් හා රෝග පීඩා වලට මුහුන දීමට සිදුවේ. මෙම පොදු එහෙත් අර්බුදකාරී මානව අත්දැකීම් කෙතරම් විවිධ ස්වරූප ගන්නේ ද!  එහෙත් ඒවා සියල්ල අප ඉදිරියේ නිරන්තරයෙන් නගන්නේ ජීවිතයේ අර්ථය කුමක් ද යන ප්‍රශ්නයයි. මේවාට පිළිතරු වශයෙන් අප තුළ බොහෝ විට ඇති වන්නේ නුරුස්නා ස්වභාවයයි. නැතහොත් ඒවා අමිහිරි වූවත් අප විසින් දරා ගත යුතු ය යන හැඟීමයි. එසත් නැතහොත් මෙම රෝගයට කොහේ හෝ වෛද්‍ය විසඳුමක් ඇත යන සිතිවිල්ලෙන් විද්‍යාව කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමයි. එහෙත් කනගාටුදායක ලෙස මෙය සාම විටම සත්‍ය නොවේ."

රෝග පීඩාදියෙන් දුක් විඳින්නන්ට පිළිසරණක්  සෙවීමේ දී ඉරිදා ලූක් සුබ අස්නෙන් තෝරා ගත් සුබාරංචිය සහය වන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. මෙහි එන්නේ, රෝගීන් හා ආබාධිතයන් සේ ම සමාජයෙන් ඉවත් කොට සිටි පව්කාර ගැහැනියක් ගැන කතාවයි. ජේසු සමිඳුන් පරිසිවරයකු ගේ නිවසේ රාත්‍රී භෝජනයකට ආරාධනා ලැබ එහි ගොස් සිටිය දී එම පව්කාර තරුණිය එම නිවසට එයි. ඈ ජේසු සමිඳුන් ගේ පා ළඟ දනින් වැටී සිය කඳුලින් උන්වහන්සේ ගේ පා දෝවනය කරන්නටත් සිය කෙස් වැටියෙන් එය පිස දමන්නටත් පටන් ගනියි. ඉන් පසු තමා සතු මුදල් සියල්ලෙන් මිල දී ගත් සුවඳ පැනින් සමිඳුන් ගේ පාද ආලේප කරයි. මෙහිදී නොසන්සුන් වන පරිසිවරුන් ගේ අභියෝගයට  සන්සුන්ව මුහුණ දෙන සමිඳාණෝ , පව්කාර තරුණිය වෙනුවෙන් පෙනී සිටිති. ඇයගේ පව් සමා කරති.

"ජේසු සමිඳාණෝ ඇය පිළිගෙන ඇය වෙනුවෙන් පෙනී සිටිති. උන්වහන්සේ ඇයගේ වේදනාවට හා ආයාචනයට සංවේදී වී ඊට  සිය අවධානය යොමු කරති" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 'ඇය බොහෝ ආදරය කළා ය.' ඈ පිළිබඳව ජේසු සමිඳුන් ගේ නිගමනය එයයි.  මෙම මෘදුබව  දුක්වින්දින්නන් සහ සමාජයෙන් බැහැර කරන ලද්දන් වෙනුවෙන් දෙවියන් වහන්සේ දක්වන ආදරයේ සලකුණකි."

දුක්වේදනා හුදෙක් ශාරීරික පමණක් නොවන බව එතුමා පැහැදිලි කලේ ය. "අද දුක් වේදනා ආධ්‍යාත්මික ද වේ. එය හදවතින් දුක් විඳීමය. මෙය ඇති වන්නේ ආදරය, ප්‍රේමය නොමැති වීමෙන් ඇති වන ශෝකය නිසාවෙනි. අපට් වැදගත් සම්බන්ධතාවල පාවාදීම්, වෙන්වීම් සිදු වූ විට මෙම තත්වය ඇති වෙයි. අප කෙතරම් දුර්වල ද. ආරක්ෂා රහිත ද යන සිතිවිල්ල ඇති වූ විට ද මෙම ශෝකී හැඟීම් අප වෙලා ගනියි. එවන් මොහොතවල අප තුළ වඩ  වඩාත් ගිලෙන අපි, ජීවිතයේ දැවැන්ත ම අවස්ථාව - එනම් සියල්ල නොතකා නොකඩවා ආදරය කිරීමට ඇති අවස්ථාව - අත්හැර දැමීමේ අනතුරට මුහුණ දෙමු."


ජේසු සමිඳුන් සිය දුක්ප්‍රාප්තිය මගින් අපට අවසානය දක්වා ප්‍රේම කල බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය. මෙලෙස තමන්වහන්සේ ම දුක වේදනාව අත්දැක ඇති නිසා, අපගේ වේදනාවල දරුණු බව උන්වහන්සේ දන්නා බව එතුමා පෙන්වා දුන්නේ ය: " ප්‍රේමයේ ඔසුවෙන් සුවය දානය කරන වෛද්‍යවරයාණෝ ජේසු සමිඳාණෝ ය. මන්ද උන්වහන්සේ අපගේ වේදනාව තමන් වෙතට පවරාගෙන අප මුදාලන නිසා ය. අපගේ ආබාධිත බව දෙවියන්වහන්සේට තේරුම් ගත හැකිය. මන්ද උන්වහ්සේ ම ඒවා විඳ  ඇති නිසා ය.... අපගේ දුර්වලතාව තුළ අපි ශක්තිය ලබමු. මන්ද  ක්‍රිස්තුන් වහන්සේ හා අප බද්ධ වී සිටින නිසා ය."





Comments