"දෙවියන් වහන්සේ ගේ නම දයා කරුණාවයි": පූජකතුමන් ලා ගේ ධර්ම විවේකය

"God's Name is Mercy": Priests' pre-jubilee retreat 


 (2016 ජුනි 2)
ජුනි 3 වන දා, ජේසු සමිඳුන් ගේ අති පාරිශුද්ධ වූ දිව්‍ය හෘදයේ මංගල්‍යය දා, පැවැත්වෙන පූජකවරුන් ගේ දයාවේ ජුබිලියට සූදානම් වීමේ ධර්ම විවේකය රෝමයේ දී අද (බ්‍රහස්පතින්දා) පැවැත්විණ. මම ධර්ම විවේකයේ ප්‍රධාන අංගය වූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පූජකවරුන් සඳහා මෙහෙයවන ලද භාවනා ත්‍රිත්වයයි.

දේව වචනය සුන්දරව කැටිකොට ප්‍රායෝගිකත්වයට එක්  කොට, සභාවේ ගෞරවාදරයට පත්, පාපය සමග සටන් කොට ජයගත් ආදර්ශවත් සාන්තුවරුන් ගේ ද ජීවිත කතා ද එක්කොට  සිදුකරන ලද මෙම භාවනා ආධ්‍යාත්මික ගුණයෙන් පරිපූර්ණ විය. සුදොතුම් පියතුමා මේ භාවනා මගින් ලොවපුරා පියවරුන්ට දෙන්නට අදහස් කල පණිවිඩය කුමක්ද? එක් ප්‍රමුඛ පෙලේ විචාරක පියනමක් එම භාවනා ත්‍රිත්වයේ පණිවිඩය මෙසේ සාරාංශ ගත කරයි: "පුජකවරුන් වන අප පව් කාරයෝ ය; එබැවින් සෙසු සෑම කෙනෙකුට මෙන් ම අපට ද දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව අවශ්‍ය ය."

"එකම අවස්ථාවේ අපි සමාව ලැබු පව්කාරයෝ ද යළිත් ගරුත්වයෙහි පිහිටුවනු ලැබු පව්කාරයෝ ද වෙමු" යැයි සුදොතුම් පියතුමා කීවේ ය. එතුමා සිය දෙවන දේශනාවේ දී කියාසිටියේ "දයා කරුණාවේ භාජන වන්නේ අපගේ පව්කාරකම ම" බවයි.

මේ සොඳුරු ධර්ම විවේක දේශනාවල ඉලක්ක කණ්ඩායම වූයේ පුජකවරුන් වූවත්, මේ දයාවේ වසරේ දෙවි හිමියන් ගේ දයා කරුණාව සොයන සෑම අයකුටම ඒවා තමන් පිළිබඳව භාවනා කිරීමට මග පෙන්වයි.

පළමුවන  භාවනාව: "දෙවියන් වහන්සේ ගේ නම දයා කරුණාවයි"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පූජකවරුන් සඳහා ප්‍රථම භාවනාව පැවැත්වූයේ රෝමයේ සාන්ත ජෝන් ලැතෙරන් බැසිලිකාවේ දී ය. "දෙවියන් වහන්සේ ගේ නම දයා කරුණාව යි" එම දේශනාවේ දී එතුමා අවධාරණය කලේ ය.

"'දයාව' යන්න ස්ත්‍රී වාචිකව විග්‍රහ කළහොත්, එය අම්මා ගේ ප්‍රේමයයි: සිය අලුත උපන් ළදරුවාගේ  මොළකැටි බව, දුර්වල බව  දැක ඒම දරුවා සිය අතට තුරුළු කරගෙන ඔහුට/ඇයට ජීවත්වීමටත් වර්ධනය වීමටත් අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන අම්මාගේ ප්‍රේමයයි. (rehanim). 'දයාව' පුරුෂවාචීව ගත්  කල එය තාත්තා ගේ ප්‍රේමයයි: සිය දරුවන් ගේ වර්ධනයට නිරන්තරයෙන් උපකාර කරමින්, ඔවුන්ට සමාව දෙමින් හා ඔවුන් ධෛර්යවත් කරමින් අචල විශ්වාසනීයත්වයෙන් ඔවුන් සමග සිටින තාත්තා ගේ ප්‍රේමය යි(hesed). එසේ ම දයා කරුණාව අපගේ භාවත්වයේ ගැඹුරින් පැන  නැගී, දයාවේ ප්‍රකාශනයක් සේ එලි දකින දයාවේ සහ යහපත්කමේ නිදහස් ක්‍රියාවකි. .....අප  දයාවේ මේ ස්වාභාවික හැඟීම පිළබඳව මෙනෙහි කළහොත්, ජේසු සමිඳුන් දෙවියන්  වහන්සේව හෙළිදරව් කළ මෙම සුවිශේෂී ගුණය ඔස්සේ උන් වහන්සේව අවබෝධ කරගන්නේ කෙසේ ද යන්න අපට පෙනී යනු ඇති,"යයි සුදොතුම් පියතුමා සිය හැඳින්වීමෙන් කියා සිටියේ ය.

කෙසේ නමුත් මෙම ධර්ම විවේකයේ දී දයා කරුණාව ගැන කතා කරන්නේ "නාම පදයක්" ලෙස නොව "ක්‍රියා පදයක්" ලෙස බව එතුමා අවධාරණය කළේය. ස්පාඥ්ඥ භාෂාවේ මෙම පදය "ක්‍රියාවක්" ලෙස ගැනෙන අයුරු එතුමා විස්තර කලේ ය. එසේ ම "දයා කරුණාව ලැබීම" සහ "දයා කරුණාව දැක්වීම" ගැන මෙහි දී සාකච්ඡා කෙරෙන බව එතුමා සඳහන් කලේ ය.

අතිරික්ත, අසීමිත කරුණාව

දෙවියන් වහන්සේ ගේ දයාව "අතිරික්ත, අසීමිත, උතුරා ගලා යන " කරුණාවක් වබ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "දේව දයාව, දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයේ අතිරික්තයක් ලෙස සුබ අස්න අපට පෙන්වා දෙන්නේ නම්, අප මුලින් ම කල යුත්තේ අද ලෝකයත්  එහි වෙසෙන සෑම කෙනෙකුත් අතරින් මෙම උතුරා ගලා යන ප්‍රේමය වඩාත් අවශ්‍ය වන්නේ කොතැනකට ද යන්නයි. එම දයා කරුණාව පිළිගත යුත්තේ කෙසේ ද? මෙම ජීවන ජලය, ජල ගැල්මක්  සේ ගලා යා යුත්තේ කවර නිසරු, වියලි බිම් වලට ද? මෙම අමිල වූ ඖෂධීය තෛලය  අවශ්‍ය වන්නේ කවර තුවාලයට ද? ....මෙම හමුවීම හා වැළඳ ගැනීමට පිපාසයෙන් පෙළෙන්නේ කවර වූ භේද භින්න වීම ද? යන්න අප සිතා බැලිය යුතුයි."

මේ ගැන භාවනා කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉදිරිපත් කල ආධ්‍යාත්මික නාට්‍යමය ජවනිකාව ජේසු සමිඳුන් දේශනා කල "කරුණාවන්ත පියාණන්ගේ උපමාව"යි (ලූක් 15: 11-31) "මෙමෙ උපමාවේ ජේසු සමිඳුන් අපව තබන්නේ පියාණන් ගේ අබිරහස ඉදිරිපිටයි" එතුමා කීවේය. මෙහිදී පළමුවෙන් නාස්තිකාර බාල පුතා සිටි ස්ථානයෙන් පටන් ගන්නැයි එතුමා පුජකවරුනට ආරාධනා කලේ ය.

"නාස්තිකාර පුත්‍රයා ඌරු කොටුව තුළ සිටගෙන සිටිනවා. ඔහු සිටින්නේ තමන් ගේ ම ආත්මාර්ථකාමයේ ගිනි ජාලාව තුළයි. නිදහස් වීම සඳහා තමන්ට අවශ්‍ය සියල්ල කිරීමෙන් පසු නිදහස් වීම වෙනුවට ඔහුට දැනෙන්නේ තමා වහලකු බවට පත් වී ඇති බවයි. ඌරන් ගේ කෑම කන අතර  ඌරන් පොතු සහ ලෙලි කන අයුරු බලා සිටින ඔහු ඔවුන්ට වෛර කරන්නට පටන් ගන්නවා. ඔහුට ගෙදර මතක් වෙනවා. තමා ගේ ගෙදර, තමා ගේ තාත්තා ගේ ගෙදර සේවකයන් උදේ කෑමට ගන්නා අලුත පුළුස්සන ලද පාන් වල සුවඳයි රසයි ඔහුට මතක් වෙනවා. ගෙදර යාමට ආශාවත් (homesick), අතීත ස්මරණයත් ඔහුගේ සිත වෙලා ගන්නවා. අතීත ස්මරණය (nostalgia) ප්‍රබල හැඟීමක්. දයා කරුණාව වගේම  එය ආත්මය විශාල කරනවා. යහපතේ ප්‍රථම අත්දැකීම ගැන සිතන්නට - අප පටන් ගත් අපගේ ගෙදර ගැන සිතන්නට - එය අප යොමු කරනවා.  ආපසු පිය නිවහන කරා යන්නට එය අප අවදි කරනවා. මෙම අතීත ස්මරණයේ පසුබිම තුළ, සුබ අස්න අපට කියන හැටියට, මේ තරුණයා පියෙවි සිහියට පැමිණ, තම දුක්ඛිත බව ගැන අවබෝධයට පැමිණෙනවා" යැයි එම ජවනිකාව සුදොතුම් පියතුමා සිතුවම් කළේය.

ඉන් පසුව සුදොතුම් පියතුමා පූජකවරුන් යොමු කළේ මේ සිද්ධියේ ඊළඟ උණුසුම්  ජවනිකාව වෙත ය. එනම් "තාත්තා මෙම තරුණ නාස්තිකාර පුතා වැළඳගෙන පිළිගත් මොහොත" ය. "තමා තවමත් කිලිටි වුණත් භෝජන සංග්‍රහයකට සහභාගී වීමට තමන් ඇඳුම් පැළඳුම් වලින් සූදානම්ව සිටින බව පුතාට දැනෙනවා" එතුමා කීවේය. "ඔහු තමාට දුන් මුදුව පැළඳ ගන්නවා.. එය තාත්තා ගේ මුද්ද වාගේ ම ය. අලුත් පාවහන් වලින් ඔහුගේ පාද සැරසී තිබෙනවා ඔහු දකිනවා. ප්‍රීති සාදයක් මැද, සෙනගක් මැද තමන් සිටිනු ඔහු දකිනවා. අපටත් මෙහෙම දැනෙන අවස්ථා තිබෙනවා. දිව්‍ය පූජාවට පෙර අප පශ්චාත්තාපයේ ප්‍රසාද නිධානය ලබා ගත්තා නම්, හිටි හැටියේ අපට දැනෙනවා, අප විසිතුරු ඇඳුමින් සැරසී සාදයක සිටින බව."

ප්‍රේමයෙන් ස්ඵන්දනය වන පියාණන් ගේ හදවත


ප්‍රේමයෙන් ස්ඵන්දනය වන පියාණන් ගේ හදවත ගැන සිතන්නැයි සුදොතුම් පියතුමා පුජකවරුනට ආරාධනා කළේය. "එතුළ රුධිරය සේ දයා කරුණාව පිරී යයි. උන්වහන්සේ පව්කාර අප සෙවීම සඳහා පිටත් වෙති. උන්වහන්සේ අප තමන් වෙතට ඇදගෙන, පිවිතුරු කොට, අලුත් වූ යළි ප්‍රාණය ලැබූවන් ලෙස, සියල්ලනට දයා කරුණාව රැගෙන පර්යන්ත  කරා අප යවති.මේ රුධිරය නම් ක්‍රිස්තුන් වහන්සේ ගේ රුධිරයයි. පව් සමාව සඳහා අප උදෙසා ද සියලු මනුෂ්‍යයන් උදෙසා ද වගුරුවනු ලැබූ අභිනව් වූ ද අනන්ත සු ද ගිවිසුමේ රුධිරයයි. උන්වහන්සේ ගේත් පියාණන්ගේත් හදවත තුළට ඇතුළුවෙමින් හා හදවතින් පිටවෙමින් ඒ රුධිරය ගැන අපි භාවනා කරමු. එය අපගේ එකම නිධානය යි.ලෝකයට දීමට අප සතුව ඇති එකම වස්තුවයි: සෑම ජනතාවක්ම හා සෑම යතාර්ථයක් ම පිවිතුරු කරන්නා වූ ද සාමය ගෙනෙනා වූ ද රුධිරය යි. පව් සමා කරන්නා වූ සමිඳුන් ගේ රුධිරයයි."

පාපයට වැටුනත් සමිඳුන් අපට සමාව දුන් විට අපට දැනෙන අවිනිශ්චිත  හැඟීම සුදොතුම් පියතුමා විස්තර කලේ "අපහසුතාවට පත්වීම හා ගරුත්වය ලැබීම" අතර ආතතිමය හැඟීම ලෙස ය. පේදුරු අපෝස්තුලු තුමා ගේ ජීවිතය ඇසුරින් එතුමා එම තත්වය විග්‍රහ කළේය. එතුමා ගේ ජීවිතය පුරාම එකවර සයිමන් සහ  පේදුරු වීමට සමිඳුන් එතුමන් පුහුණු කල බව සුදොතුම් පියතුමා කීවේය. සයිමන් යනු සිය වැරදීම්, අස්ථිරතා සහ වෙනස්වීම් සියල්ල සමග සිටි සාමාන්‍ය මිනිසා ය. පේදුරු යනු යතුරු කැරැල්ල සමග සියල්ලනට නායකත්වය දෙන්නා ය. මුහුදෙන් ගොඩට ආ සැනින් අන්ද්‍රේ සයිමන් ක්‍රිස්තුන් වහන්සේ වෙත ගෙන ආ විට උන්වහන්සේ ඔහුට පේදුරු හෙවත් "පර්වතය"  ලෙස නම් කරයි.  එහෙත් දෙවියන් වහන්සේගෙන් ලැබුණු අනුප්‍රාණය අනුව සිය විශ්වාසයේ මහා ප්‍රකාශනය කරන පේදුරු මොහොතකින් කුරුසියේ ගමනින් පලා යන ලෙස  ජේසු සමිඳුනට උපදෙස් දෙයි. මේ නිසා ඔහුට තදින් අවවාද කිරීමට සමිඳුනට සිදුවෙයි. මුහුදේ දිය මත ඇවිදින්නට සමිඳුන් ඔහුට ආරාධනා කරයි. එහෙත් තමා ගේම බිය නිසා ඔහුට දියේ ගිලීමට ඉඩ හරින සමිඳුන් ඔහුට යලි නැගිටින්නට අතදෙයි.

"අප අප දෙස බැලිය යුත්තේ ද  මේ  ආකාරයටයි" සුදොතුම් පියතුමා පූජක තුමන්ලාට කීවේය. "එනම්,  අත්‍යන්ත ලැජ්ජාව සහ උත්කෘෂ්ට ගෞරවය අතර තැන්පත්ව සිටින්නන් ලෙසයි: කිලිටි, අපවිත්‍ර,පහත් සහ ආත්මාර්ථකාමී, එහෙත්,එම අවස්ථාවේම පාද දෝවනය කර, සමිඳුන් විසින් වැඩිකරන ලද පූප බෙදා දෙන්නට කැඳවනු ලැබ සිටින්නන් ලෙසයි. මෙම තත්වය අපට දරා ගත හැකි වන්නේ (සමිඳුන් ගේ ) දයා කරුණාව නිසයි. එය නැතිව එක්කෝ පරිසිවරුන් ලෙස අපි අපගේ ම ධර්මිෂ්ට කම ගැන විස්වාස කරමින් සිටිමු;  නැතහොත් අප සුදුස්සන් නොවේය යන විශ්වාසය ඇත්තන් සේ හැකිලී යන්නෙමු. මේ අවස්ථා දෙකේදීම වන්නේ අපගේ හදවත් දැඩි වීමයි"

දයා කරුණාව පිළිගැනීමට හා වර්ධනය කර ගැනීමටත්, නැතහොත් එය ප්‍රතික්ෂේප කිරීමටත් අපට නිදහස තිබෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප එය පිළිගතහොත්, එය එක පියවරකින් තව පියවරකට අප රැගෙන යයි. නොසලකා හැරියහොත් අපගේ හදවත් සීතල වෙයි. දයා කරුණාව අපට අපගේ නිදහස අත්දකින්නටත් එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ ගේ නිදහස අත්දකින්නටත් අවස්තාව ලබා දෙයි. ...ස්වකීය දයා කරුණාව මගින් සමිඳාණෝ සිය නිදහස ප්‍රකාශ කරති; අපි අපේ නිදහස ප්‍රකාශ කරමු."

උතුරා යන කරුණාව ලබා ගැනීමට උතුරා යන උනන්දුවක් අවශ්‍යයි. 

සමිඳුන් ගේ අතිරික්ත කරුණාව ලබා ගැනීමට උතුරා යන උනන්දුවක් අපසතුව තිබිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. ඒ ගැන එතුමා නිදසුන් ගණනාවක් දුන්නේ ය:  "සුවය ලබා ගැනීමට උනන්දු වූ අංශ භාග රෝගියා ගේ මිතුරෝ, සමිඳුන් දේශනා කරමින් සිටි ශාලාවට  වහලයෙන් ඔහු බැස්සවූහ. ...සෙනග එපා කියද්දී හඬ නැගු අන්ධ බාර්තිමේයස් ඉදිරියේ සමිඳානෝ  නතර වූහ. ලේ මාල රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාව බියෙන් සැඟවී උන්වහන්සේ ගේ සළුව රහසින් ස්පර්ශ කළා ය. වහාම තමන් වෙතින් බලය 'නික්ම ගිය' බව සමිඳුන්ට දැනුනේ ය. පව්කාර ගැහැණිය සිය කඳුලින් සමිඳුන් ගේ දෙපා දොවා තම කෙස් වලින් දෙපා පිස දැම්මා ය. ජේසු සමිඳුන් ඇයගේ මෙම උතුරා යන ප්‍රේමය දුටුවේ, ඇය දයා කරුණාව අතිරික්තව ලැබීමේ සලකුණක් ලෙස ය......මෙලෙස අප තුළ ඇති අතිරික්ත උනන්දුව මගින් සමිඳාණෝ අප බැහැරකරනු ලැබීමෙන් අන්තර් ග්‍රහණයට කැඳවන සේක' භේද භින්න වීමෙන්  වැළඳ ගැනීමට කැඳවන සේක. එයයි ප්‍රකාශනය: දයා කරුණාව අප භේද භින්න වීමෙන් ප්‍රීති සන්තෝෂ වීම වෙත ගෙන යන්නේ ය."

සුදොතුම් පියතුමා මෙම භාවනාව අවසන් කලේ දාවිත් රජතුමා ගැයූ ගීතාවලියේ 50 (51) වැනි ගීතයෙනි. එය එතුමන් හැඳින්වුයේ "දයා කරුණාවේ පසස ගීය" ලෙසයි. එය වූ කලි, දෙවියන් වහන්සේ ඉදිරියේ තම පාපය පිළිගැනීමට තරම්  "බැහැපත්, පශ්චාත්තාපී හදවතකින්" පන නගින පසස ගීය බව එතුමා පෙන්වා දුන්නේ ය. නාස්තිකාර පුත්‍රයා සිය පියාට කතා කළා සේ ඔහුගේ හදවතින් එය ගයන්නැයි සුදොතුම් පියතුමා පූජක වරුනට ආරාධනා කලේ ය.




Comments