"රිදුනු, බිඳුණු, තුවාල වූ හදවත් සුවපත් කරන ජේසු සමිඳුන් ගේ කඳුළු....."- 'කඳුළු වියලන්නට' සැඳෑ මෙහෙයේ භාවනාව

"No one is alone in their suffering" - Holy Father's meditation at "To Dry Tears" Vigil 




(2016 මැයි 10)

"කඳුළු වියලන්නට"

ක්‍රිස්තුන් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය යෙදී තිබුණු මැයි 5 වැනි දින (බ්‍රහස්පතින්දා) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වුණු  විශේෂ සන්ධ්‍යා මෙහෙයේ තේමාව එයයි. මෙහෙයේ අරමුණ: විවිධාකාර දුක්වේදනා වලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයා කරුණාවේ උනුසුම් ආලිංගනයත් උන්වහන්සේ තුළ සැනසීමත් ලබා දීමයි. මෙම සන්ධ්‍යා මෙහෙය දයාවේ ජයන්ති වසරේ තවත් වැඩසටහනක් විය.

මෙහෙය ආරම්භයේ විවධ  දුක් වේදනා වලින් දුක්විඳි පවුලක් සහ තවත් දෙදෙනෙක් තමන් අත්දුටු දුක් වේදනාවලට සාක්ෂි දැරුහ. තම වේදනාබර අත්දැකීම් විස්තර කල ඔවුහු එයින් මිදීම සඳහා තමන්ට "ඉහලින්" ආධාර ලැබුණු අයුරු පහදා දුන්හ.

මෙම සන්ධ්‍යා මෙහෙයේ භාවනාව කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ජීවිතයේ දුෂ්කර කාලවලදී අප කෙතරම් කදුළු සැලුවත්, අප කිසිසේත්  තනි වී නොමැති බවයි. දිනපතාම, ලොව පුරා සෑම තැනෙකම, පිරිමින්, කාන්තාවන් සහ දරුවන් ගේ නෙතින් ගලන කඳුළු ගඟ,ඉල්ලා සිටින්නේ දයාව, දයානුකම්පාව සහ සැනසීම බව එතුමා පෙන්වා දුන්නේය.

"අපගේ ලෝකය තුළ දිනපතාම කෙතරම් නම් කඳුළු සැලෙනවා ද? ඒ එකිනෙක කඳුල වෙනස් ය. එහෙත් ඒ සියල්ලෙන් සෑදෙන්නේ, දයාව, අනුකම්පාව සහ සැනසීම ඉල්ලා හඬ නගන දුක්ඛ දෝමනස්ස සාගරයක් ය" යි එතුමා කීවේය.

" මේ අතරින් අමිහිරිම කඳුළු උපත ලබන්නේ මිනිසා විසින් ම සිදු කරන නපුර නිසා යැ"යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "තම ප්‍රීයයෙකු තමන්ගෙන් ප්‍රචණ්ඩකාරීව උදුරාගනු ලැබීම නිසා ගලා හැලෙන කඳුළු; දෙමාපියන්ගෙන්, දරුවන්ගෙන්, සීයලා ආච්චිලාගෙන් වැටෙන කඳුළු; බසින හිරු දෙස හැඟීමකින් තොරව බලා සිටියත් නව දිනෙක හිරු උදාව දකින්නට කැමති නැති දෙනෙත් වලින් වැටෙන කඳුළු මෙවැනි තිත්ත කඳුළු වලට නිදසුන් ය."

"අපගේ වේදනා තුළ අප තනි වී හුදෙකලා වී නැත" එතුමා අවධාරණය කළේය. "අප ප්‍රේම කරන කෙනෙකු ගේ වියෝව ගැන, වේදනාව ගැන අපේ සිතේ ඇති වන වේදනාවේ තරම, නෙතින් ගලන කඳුලේ තරම ජේසු සමිඳාණෝ දන්නා සේක."

තම ලබැඳි මිතුරකු වූ ලාසරස් ගේ මරණය අසා ජේසු සමිඳුන් හැඬු ආකාරය සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "ලාසරස් ගේ මරණයෙන් දුකට පත්වන ඔහුගේ සොයුරිය වූ බෙතනියේ මරියා ගේ වැළපීම දුටු ජේසු සමිඳුන්ට ද සිය කඳුළු සඟවා ගත නොහැකි විය. මහත් දුකට පත්වූ උන්වහන්සේ ද කඳුළු සලා හැඬු සේක. උන්වහන්සේ ගේ මෙම කඳුළු බොහෝ දේව ධර්ම ශාස්ත්‍රඥයන් ද කළඹන්නට හේතු වී තිබේ. එහෙත් ඇත්තෙන් ම ජේසු ගේ කඳුළු බොහෝ ආත්මයන් නහවන්නට සමත් වී තිබේ; බොහෝ රිදුනු, බිඳුණු , තුවාල වූ හදවත්වලට ඔසු තෙලක් වී තිබේ."

"ශෝකවන, වේදනා විඳින , රෝගී වන අවස්ථාවල,  සෑම කෙනෙකුම සැනසිල්ලේ වචනයක් බලාපොරොත්තු වෙයි. යම් කෙනෙකු අපට සමීප වී,  අපට අනුකම්පාව දැක්වීමේ බලවත් අවශ්‍යතාවක් අප තුළ ඇතිවෙයි. මංමුලාවූ බවක්, වික්ෂිප්ත  වූ බවක්, කිසිදාකත් නොසිතු ලෙස හදවතින් රෝගී වූ බවක් අපට හැඟී යයි. අපගේ වේදනාව සැබවින් ම තේරුම ගත හැකි අයෙකු සිටියි දැයි සොයා බැලීමට අපි අවිනිශ්චිතව අවට බලමු."

"අපේ දුක් වේදනා ගැන, ඊට හේතුව කුමක්ද යන්න ගැන අපි ප්‍රශ්න කරන්නට පටන් ගනිමු. එහෙත් ඒවාට පිළිතුරු ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, හේතු දැනගත්  පමණකින් අප අත්විඳින ගැඹුරු දෝමනස්ස ගැන අපට හිත හදා ගත නොහැකිය. එම හේතු අපගේ දුක්ඛ දෝමනස්සවලට  පිළිතුරු සපයන්නේ ද නැත."

"අප හදවත තුළින් හේතු සොයන්නට යොමුවිය යුත්තේ මෙවන් අවස්ථාවල ය. අපගේ හුදෙකලා බව වැළඳගෙන ඇති අබිරහස අපට තේරුම් ගත හැක්කේ එවිට ය."

ජේසු සමිඳුන් ගේ ජීවිතය තුළ එතුමන්ට අත්දකින්නට සිදු වූ වේදනාබර සිදුවීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය.

"අධික දුක නිසා හැඬිමේ අරුත ජේසු සමිඳාණෝ දැන  සිටියහ. ඊට අමතරව,   දුක් විඳීමේ සහ මරණයේ බිය පමණක් නොව ජුදාස් සහ පේදුරු තුමන් විසින් පාවාදෙනු ලැබීමේ සහ ප්‍රතික්ෂේප කරනු ලැබීමේ අසහනය, අපේක්ෂා භංගත්වය සහ අධෛර්යයට පත්වීමේ අත්දැකීම ද උන්වහන්සේ පෞද්ගලිකවම ලබා සිටියහ. දෙවියන් වහන්සේට වැලැපිය හැකි නම්, උන්වහන්සේ මා තේරුම් ගනු ඇති යන දැනීමෙන් මට ද වැලැපිය හැකිය. ක්‍රිස්තුන් වහන්සේ ගේ කඳුළු, මගේ සහෝදර සහෝදරියන් ගේ දුක් විඳීම ඉදිරියේ උදාසීනව සිටින මට ප්‍රතිගරලයක් (විෂ නාශකයක්) විය යුතු ය. උන්වහන්සේ ගේ කඳුල මට උගන්වන්නේ සෙසු අයගේ වේදනාව මා මගේ වේදනාව බවට පත් කර ගත යුතු බවය; දුක් වේදනා වලින් හා අපේක්ෂා භංගත්වයෙන් ද අසහනයෙන් ද පෙලෙන සෙසු අයගේ වේදනාව මා බෙදා ගත යුතු බව ය. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ජනතාව උන්වහන්සේගේ කඳුලට අනිවාර්යයෙන් ම ප්‍රතිචාර දැක්විය යුතු ය. උන්වහන්සේ දු කට පත් වූවන් සනසන්නා සේ අප ද සනසන්නන් විය යුතු ය."

බිය සහ නොසතුට දැනෙන සෑම මොහොතකම ජේසු සමිඳුන් යාච්ඥාව තුළින් සිය පියාණන් වෙත හැරුණු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "යාච්ඥාව සෑම  වේදනාවකට ම ඖෂධයයි. දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යාච්ඥාව තුළ  අපට ද අත්දැකිය හැකි ය. එය අප සනසා අපට ශක්තියත් බලාපොරොත්තුවත් ලබා දෙන්නේ ය."

"පියාණන් වහන්සේ අපට සවන් දී අපගේ ආධාරයට පැමිණෙන්නේය යන නිශ්චිතතාව ද අප සතුව තිබිය යුතුයි. අපගේ හදවත්වලට වැගිරෙන දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය විසින් , අප ප්‍රේම කරන විට අපගේ ප්‍රේමය ලබන්නන්ගෙන් අප වෙන් කිරීමට කවරෙකුටවත් නොහැකිය යන්න කියන්නට අපට ඉඩ සලසයි. ශු පාවුලු තුමා සිය ලිපියේ අවධාරණය කරන්නේ 'ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට කිසිවෙකුටත් කිසිවකටත් නොහැකි බවයි. දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයේ බලය, අපගේ දුක් දොම්නස් ක්‍රිස්තුන් වහන්සේගේ නිශ්චිත ජයග්‍රහණයට හරවයි; එසේ ම අපව උන්වහන්සේ හා ඒකත්වයට පත් කරයි. යාච්ඥාව සදාතනික ප්‍රේමයේ සහ ජීවිතයේ උල්පත වන ශුද්ධවූ ත්‍රිත්වයේ වත මඬල දකිමින් උන්වහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකිවන බවට වන බලාපොරොත්තුවෙන් අපේ හදවත් පුරවාලයි."




Comments