තෙරේසා මව්තුමියගේ ජීවිතය පෙලූ දැඩි "ආධ්‍යාත්මික අන්ධකාරය........"

What was Mother Theresa's greatest "Heroic Virtue"? May be not what you think



(2016 අප්‍රේල්  4)
භාග්‍යවන්ත කල්කටාවේ තෙරේසා මව් තුමිය සාන්තුවරියක ලෙස පිලිගන්නට හේතු වූ ඇය ගේ ජීවිතය තුළ වූ 'වික්‍රමාන්විත ධර්මගුණය' (Heroic Virtue) කුමක්ද? ඒ පිළිබඳව ඔබ බොහෝ දේ පවසනු ඇත. ලෝකයේ බොහෝ සේ ප්‍රතික්ෂේප කරන ලද, අතිශයින් දුර්වල, ඇතැම් විට 'කාලකන්නි' ලෙස සලකනු ලැබූ දුක්ඛිත, මරණාසන්න මනුෂ්‍යයන් වෙත එතුමිය විසින් වෙහෙස නොතකා කරන ලද සේවාව; සුබ අස්න ජීවත් කරන්නේ කෙසේදැයි නිර්භයව, එඩිතරව හා ධෛර්යසම්පන්නව ඇය ජීවිතයෙන් දැරූ ක්‍රිස්තියානි සාක්ෂිය ඒ අතරින් දෙකකි. ඔබ සිතු දේ නිවැරැදිය.

එහෙත් ඇත්ත වශයෙන් ම තෙරේසා මව් තුමිය සාන්තුවරයට එසවීමට හේතු සාධක වූයේ ඊටත් වඩා ප්‍රබල - එහෙත් කිසිවකුත් අනුමාන නොකරන -  'වික්‍රමාන්විත ධර්මගුනයක්' බව එතුමියගේ සාන්තුවර ක්‍රියාවලිය  භාරව කටයුතු කල ප්‍රධාන නිලධාරි පියතුමා කියයි. එතුමා පවසන්නේ, තෙරේසා මව්තුමියගේ වික්‍රමාන්විත ධර්මගුණ අතර වඩාත් කැපී පෙනෙන්නේ ඇයගේ  ජීවිතයේ ඇය අත්දුටු "ආධ්‍යාත්මික අන්ධකාරය"බවයි. එනම් එතුමිය විසින්ම ප්‍රකාශ කල අන්දමට ජීවිත කාලයෙන් වැඩිම කාලසීමාවක් එතුමියට දැනුණු "දෙවියන් වහන්සේ විසින් තමා මුළුමනින්ම අත්හැර දමා ඇතැයි යන හැඟීමයි."

කතෝලික පුවත් ඒජන්සිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව කියා සිටියේ තෙරේසා මව් තුමියගේ සාන්තුවර ක්‍රියාවලියේ උපග්‍රාහක නිලධාරී (Postulator) බ්‍රයන් කොලොඩියෙචුක් පියතුමායි. එතුමා තෙරේසා මව්තුමිය විසින් 1989 දී පිහිටුවන ලද දයාවේ ධර්මදුතික (පූජකවරුන් ගේ) නිකායේ පියනමකි.

"තෙරේසා මව් තුමිය ගේ එකම ශ්‍රේෂ්ඨතම වික්‍රමාන්විත ක්‍රියාව නිශ්චිත වශයෙන් ම එතුමිය ගේ අන්ධකාරයයි. එම අන්ධකාරය නොතකා ඇය ගත කළ පිවිතුරු ජීවිතයයි. එම පිවිතුරු, පියෙවි ඇදහිල්ලයි" එම පියතුමා කියයි. "බොහෝ කාලයක් පැවැතුණු ඉතා  ගැඹුරු වූ එම පාළුව, හුදෙකලා වීම නොතකායි, එතුමිය මේ සියලු දේ කළේ. එයයි ඇයගේ වීර ක්‍රියාව. එය සැබවින්ම, අතිශයින් ම වික්‍රමාන්විතයි" එතුමා විස්තර කරයි.

ආදර්ශවත් හා යහපත් කිතුනු ජීවිතයක් ගත කර සදාතනික ජීවිතය සඳහා අපෙන් වෙන්ව  ගිය කතෝලිකයකු සාන්තුවරයට පත්කිරීමට තීරණය කිරීමට පෙර, ප්‍රථමයෙන් ම ඔහුගේ හෝ ඇයගේ 'වික්‍රමාන්විත ධර්මගුණය' (Heroic Virtue) නිශ්චය කල යුතු ය. තෙරේසා මව්තුමිය ගේ සමස්ත ජීවිතයම වික්‍රමාන්විතව ගත කර ඇති බව උපග්‍රාහක නිලධාරී කොලොඩියෙචුක් පියතුමා කියයි. එය තමන් විසින්ම දැක අත්දක ඇති අතර වෙනත් අයගේ සාක්ෂිවලින් ද තහවුරු වන බව එතුමා සඳහන් කරයි. තමාට  මෙම නිකායේ සාමාජිකයකු ලෙස අත්දැකීම ඇත්තේ 20 වසරක් පමණක් නමුදු වෙනත් අයගේ සාක්ෂි බලවත් බව එතුමා පෙන්වා දෙයි.

"තෙරේසා මව්තුමියට කල්කටාවේ අන්ත දුප්පතුන් වෙත සේවා කිරීමේ දේව කැඳවීම ලැබෙන්නේ ලොරෙට්ටෝ නිකායේ කන්‍යා සොහොයුරියක ලෙස සිටියදීයි. එතුමිය මෙය හඳුන්වන්නේ 'කැඳවීම තුළ කැඳවීම' කියලයි.  එම දේව කැඳවීම එතුමියට ලැබීමෙන් පසු වසර 50 කට අධික කාලයක් මෙම අඳුරත් සහ අත්හැර දමනු ලැබීමත් එතුමියට දැනුනා. සෑම  විටම අප ඇයව දකින්නේ සිනහවෙන් පිරි මුහුණින් ප්‍රීතියෙන් පිරී සිටින ආකාරයයි. අප බොහෝ සේයාරූවල දකින්නෙත් ප්‍රීතියෙන් සිටින එතුමියයි. එහෙත් බොහෝ විට ගැඹුරු අභ්‍යන්තර පාළුවක් හෙදෙකලාවක් ඇයට දැනුණා. එතුමියට  දැනුනේ ඇතුලාන්ත නිහඬතාවක්; දෙවියන් වහන්සේ බොහෝ ඈතට ගොස් ඇති බවක්; උන්වහන්සේ විසින් තමා ප්‍රතික්ෂේප කර ඇති බවක්. " පියතුමා විස්තර කරයි.


ආධ්‍යාත්මික උපදේශකට යැවූ ලියුම

1957 එක් දිනෙක සිය ආත්මික උපදේශක පියතුමාට ලියුමක් ලියූ තෙරේසා මව් තුමිය මෙසේ කීවාය: "මම කතා කරමි. මම එල්ලෙමි. මම හඬ නගමි. මට අවශ්‍යව  තිබේ. එහෙත් මට පිළිතුරු දීමට කිසිවෙකුත් නැත. මා ස්වර්ගයේ මාගේ සිතිවිලි යොමු කරන ස්ථානයේ මා වරදරුවකු කරන බඳු හිස් බවක් තිබේ. එය කෙතරම් දැයි කියන්නේ නම් මාගේ සිතිවිලි මුවහත් පිහි ලෙස ආපසු මා වෙත පැමිණ මගේ ආත්මය රිදවයි.  .......ප්‍රේමය නමැති වචනය- එය කිසිත් රැගෙන එන්නේ නැත. දෙවියන් වහන්සේ මා තුළ ජීවත් එන බව මට කියනු ලැබ තිබේ. එහෙත් අන්ධකාරය, සීතල සහ හිස්බව  යන යථාවන් කෙතරම් බලවත් ද කියන්නේ නම් කිසිවක් මගේ ආත්මය ස්පර්ශ කරන්නේ නැත."


තමා ජේසු සමිඳුන් ගේ දුක් ගාවිනාවේ පංගුකාරයකු කරන ලෙස තෙරේසා මව් තුමිය උද්යෝගිමත්ව යාච්ඥා කර තිබේ. එබැවින් ඇයගේ අත්හැර දමනු ලැබීමේ හා ප්‍රතික්ෂේප කරනු ලැබීමේ අත්දැකීම, ජේසු සමිඳුන් ස්වකීය දුක්ප්‍රාප්තිය  සහ මරණය තුළ අත්දුටු තනිකමේ  සහ පාළුවේ ප්‍රතිබිම්බයක් බව එතුමියගේ ආත්මික උපදේශක පියතුමා ඇතුළු බොහෝ දෙනෙක් විශ්වාස කරති.  තෙරේසා  මව්තුමිය අත්දුටු මෙම ආත්මික කාන්තාරය නිසා එතුමිය කතෝලික 'භාවයෝගියකු' යැයි ප්‍රශංසාත්මකව පිළිගන්නා පිරිසක් ද වෙති.

"දෙවියන් වහන්සේ ගේ අබිරහස්‍යමය නිශ්ශබ්දතාව"

 දෙවියන් වහන්සේ අපගෙන් ඈත් වී ඇති බවට  හෝ අපගේ යැදුම් හා සිතිවිලිවලට පිළිතුරු නොලැබෙන බවට  ජීවිතයේ ඇතැම් විට අපට දැනෙන හැඟීම සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ හඳුන්වන්නේ "දෙවියන් වහන්සේ  ගේ අබිරහස්‍යමය නිශ්ශබ්දතාව" යනුවෙනි. මෙම හැඟීම සාන්තුවරුන් කිහිප දෙනෙකුටම ඉතා දැඩි  "ආත්මික අන්ධකාරයක්" ලෙස දැනී  තිබේ. ජේසු ගේ කුඩා මල වූ තෙරේසා තුමිය ඊට තවත්  උදාහරණයකි. එහෙත් කොලොඩියෙචුක් පියතුමා  ඇතුළු බොහෝ දෙනෙකු පවසන්නේ තෙරේසා මව්තුමියට  ජීවිත කාලයෙන් බාගයකට වඩා දිග කාලයකට එය ඉතා ගැඹුරින් දැනී  ඇති බවයි. 

ඇය වික්‍රමාන්විත කිතුනුවකු වන්නේ එය නොතකා, ඒ මොහොතේ දෙවියන් වහන්සේ තමාට වඩා සමීපව සිටින බව විශ්වාස කරමින්, යාච්ඥා හා සක්‍රමේන්තු ජීවිතය තුළ වඩාත් ස්ථිර වෙමින්, තම දයා සේවාව පාස්කු ප්‍රීතියෙන් හා සිනහවෙන් යුතුව ඉටු කිරීම නිසාය.










Comments