සභාවේ පූජක අධිපතීත්වය ගැන පාප් වහන්සේ ගෙන් තද දෙහි කැපිල්ලක්: "ආත්මයාණෝ පුජකවරුන් ගේ 'බුදලයක්' නොවේ. ගිහියාට නියෝග දීම ඔවුන් ගේ භූමිකාව අවතක්සේරු කිරීමක්"

 Holy Father blasts Clericalism in the Church



(2016 අප්‍රේල්  27)
පූජක අධිපති වාදය සභාව තුළ විශාල විකෘතීන් ඇති කරන බවට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ යලිත් අනතුරු අඟවති. මේ හේතුවෙන් ගිහි ජනතාවගේ දායකත්වය අවතක්සේරුවටත්  හීන කිරීමටත් ලක්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති. ලොව පුරා සිටින විශ්වාසයේ ජනතාව ඊට අභියෝග කළ යුතු  බව උන්වහන්සේ අවධාරණය කරති.

ප්‍රැන්සිස් පාප් වහන්සේ  සභාවේ පවතින 'පූජක අධිපති වාදය' (Clericalism) ගැන ඉතා දැඩි ස්වරයෙන් මෙවර කතා කර ඇත්තේ ලතින් ඇමෙරිකානු සභාවට ලියුමක් ලියමිනි. අප්‍රේල් 26 වන දා දාතමින් යුත් මෙම ලියුම එතුමන් විසින් ලතින් ඇමෙරිකාව පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සභාපති අති උතුම් මාක් ඖලේ කාදිනල් හිමියන් වෙත  යවනු ලැබ  තිබේ.

සිය ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට ගිහියනට අයිතිවාසිකමක් ඇතැයි සුදොතුම් පියතුමා මෙම ලියුමේ ඉතා දැඩි ස්වරයෙන් පවසා තිබේ. "ශුද්ධාත්මයාණන් වහන්සේ ගිහියන් තුළ  ද ක්‍රියා කරන බව පූජකවරුන් විශ්වාස කල යුතු ය. උන්වහන්සේ හුදෙක් පූජක වරුන්ට පමණක් අයිති දේපලක් නොවේ."

"සභාව යනු පූජකවරුන්, කැපවූ ජීවිත ගත කරන පැවිද්දන් සහ රදගුරු වරුන් ගෙන් පමණක් සමන්විත ප්‍රභූ සමාජයක් නොවන බව අප සිහිපත් කල යුතු ය.ඇදහිලිවන්තයන් සහ දෙවියන් වහන්සේ ගේ ශුද්ධ ජනතාව සෑදෙන්නේ අප සෑම කෙනෙකුගෙන් ම බව මතක තබා ගත යුතු" බව එතුමා අවධාරණය කලේ ය.

"සභාවේ පවතින පූජක අධිපතීත්වයෙන් පෙනෙන්නට ඇත්තේ, දෙවන වතිකාන කතිකාවෙන් යෝජනා කරන ලද සසුන් වේදය සාවද්‍ය ලෙස ජීවත් කරවනආකාරයකි.   මෙය සභාවේ පවතින විකෘතියකි. පූජක අධිපතීත්වය සභාව මත පුළුල් බලපෑමක් ඇති කරන බවට සාක්ෂි තිබේ. විශේෂයෙන් ම ප්‍රසාද ස්නාපනය මගින් සෑම කිතුනුවකුටම ලැබෙන ශුද්ධාත්ම වරප්‍රසාදය පූජක අධිපතීත්වය විසින් නොසලකා හරින බව දක්නට ලැබේ. සභාවේ දෘශ්‍යතාව හා වරප්‍රසාදීය  භාවය අයිති වන්නේ,  තෝරාගන්නා ලද ප්‍රදීප්ත වූ කිහිප දෙනෙකුට පමණක් නොව සියලු දේව ජනතාවටය යන්න මේ මගින් අමතක කරනු ලබයි."

දේව ජනතාව වන ගිහි ජනතාව පිබිදවීමේ  වැදගත්කම සුදොතුම් පියතුමා මෙම ලියුමෙන් අවධාරණය කර සිටියි:

"දෙවියන් වහන්සේ ගේ ශුද්ධවූ ජනතාව පිබිදවීම යනු අප විසින් දැක, භාවනා කරනු ලැබීමට අප කැඳවනු ලැබ ඇති සිතිජය පිබිදවීමකි. පූජකවරුන් ලෙස අප නිරන්තරයෙන් කැඳවනු ලැබ  සිටින්නේ දෙවියන් වහන්සේ ගේ ඇදහිලිවන්ත ශුද්ධවූ ජනතාව දෙස බලා, ඔවුන් රක්ෂා කොට, ඔවුන් කැටුවයමින්, ඔවුන් පෝෂණය කොට ඔවුනට සේවය කිරීමට ය."

මෙහි දී 'දේව ජනතාව දෙස බැලීම' යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් දැයි සුදොතුම් පියතුමා පැහැදිලි කර දෙයි. උන්වහන්සේ පවසන්නේ, මෙම තත්වයට තෝරාගනු ලැබීමට පෙර තමන් ද ගිහියකු ලෙස සිටි බව පූජකවරුන් ගිහියන් දෙස බලා සිහිපත් කල යුතු බවයි. 

"දේව ජනතාව දෙස බැලීම යනු අප සෑම කෙනෙකුම සභාවට ඇතුළුවූයේ ගිහියකු ලෙස බව මතක් කර ගැනීමයි. ප්‍රසාද ස්නාපනය:එය අපගේ ප්‍රථම සක්‍රමේන්තුවයි. ප්‍රථම සහ මුලික අභිෂේකය අපගේ මුල් බෞතිස්මය තුල ගිල්වා තිබේ. අප අතරින් කිසිවෙකු හෝ පූජකවරයකු ලෙස හෝ රදගුරුතුමකු ලෙස හෝ  බෞතීස්මය ලබා නැත. අප බෞතීස්ම ස්නාපනය ලැබුවේ ගිහි ජනතාවක් ලෙසයි. එය කිසිවෙකුටත් කිසිදාකත් මකා දැමිය නොහැකි නොමැකෙන සලකුණකි."

 ඉන් අනතුරුව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සවැනි පාවුළු පාප් වහන්සේ Evangelii Nuntiandi නමැති අපෝස්තලික හසුනේ කල ප්‍රකාශයක් උපුටා දක්වයි: "මා මූලික සිද්ධාන්තයක් කොට සලකන කරුණක් සවැනි පාවුළු සුදොතුම් පියතුමා විසින් උගන්වා තිබේ: අපේ ජනතාවගේ විශ්වාසය - ඔවුන් ගේ දිශානතීන්, ඔවුන් ගේ අභිලාෂයන්, ඔවුන් ගේ ප්‍රාර්ථනා සහ වැඩ කටයුතු වලට සවන් දී ඒවා නිසි මගට යොමු කල විට,ඒවා නිමාවට පත් වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ සැබෑ වැඩසිටීම පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කරමිනි. අපි අපගේ ජනතාව විශ්වාස කරමු. ඔවුන්ගේ මතක ශක්තිය සහ ඔවුන්ගේ 'සුවඳ' විශ්වාස කරමු. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් තුළත් ඔවුන් සමගත් ක්‍රියා කරන බව විශ්වාස කරමු. එසේම මෙම ආත්මයාණන් වහන්සේ සභාවේ පූජක ධුරාවලියට පමණක් අයිති 'බූදලයක්' පමණක් නොවන බව ද විශ්වාස කරමු."

පූජක වරුන් ගේ මෙහෙවර වන්නේ ගිහියන්ගෙන් සේවාව ලබා ගැනීම නොව ඔවුන්ට නිරන්තරයෙන් සේවා කිරීම බව ද සුදොතුම් පියතුමා සිය ලියුමෙන් අවධාරණය කර තිබේ. එතුමා එය අවධාරණය කරන්නේ එඬේරා සහ බැටළු රැල පිලිබඳ කිතුනු පරමාදර්ශය සහිපත් කරමිනි: " දරුවන් නොමැතිව පියෙකුගේ පිතෘත්වය ගැන කතා කල නොහැකි බව අපි දනිමු. එසේම, අපි එඬේරු ය. එඬේරෙකුට තමා සේවය කිරීමට කැඳවනු ලැබ සිටින තමාගේ  රැල නොමැතිව තමා ගැන සිතා ගත නොහැකිය. පූජකවරයා ජනතාව ගේ එඬේරෙකි. ඔහු ජනතාව අතර සිට ඔවුනට සේවය කරයි."

 ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික පාරිභාෂිත  වචන මාලාවට  නව වචන දෙකක් එක් කර තිබේ. එකක් මෙහි කියවෙන "පූජක අධිපතිවාදයයි" (Clericalism). දෙවැන්න පූජකවරය ලැබූ දා සිට ඇතැම් පූජකවරුන් තුළ දක්නට ලැබෙන තරගකාරී "වෘත්තීයවාදයයි" (Careerism);  එනම් මොන ආකාරයෙන් හෝ 'ඉහල නගින්නට' දරන වෑයමයි. මේ දෙකම සභාවට අතිශයින් හානිකර බව ප්‍රැන්සිස් පාප් වහන්සේ කිහිප වතාවක් ම ප්‍රකාශ කළහ. "ඔබ කඳු නගින්නෙක් නම් කන්දක් හොයා ගන්න. සභාව ඔබට තැන නොවෙයි,"   සභාවේ 'වෘත්තීය්වාදය' ගැන කතා කරමින් එතුමා වරක් පූජකවරුන් කණ්ඩායමකට ප්‍රකාශ කලේ ය.

ශුද්ධවූ පාවුළු තුමා සිය සංදේශ ලිව්වේ රෝම, පිලිප්පි, තෙසලෝනික වැනි එතුමන් සුබ අස්න දේශනා කල සභා වලටය. විශ්වාසය ගැන සේ ම එතුමා ගේ සමයේ එම සභාවල දක්නට ලැබුණු දුර්වලතා ගැන ද පාවුළු තුමා මෙම ලිපිවලින් එම සභා වලට උපදෙස් දුන්නේ ය. එහෙත් එම සංදේශවල පණිවිඩ සමස්ත සභාවටම සෑම කාලයකටම වලංගුය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ සභාවේ 'පූජක අධිපති මානසිකත්වය' ගැන මෙම ලියුම ලියා ඇත්තේ ලතින් ඇමෙරිකාවේ සභාවටය. එහෙත් එය අද ලෝකයේ සියලු රටවල සමස්ත සභාවටම වලංගුය. කල යුත්තේ, පාප් වහන්සේ ගේ මෙම ලියුම කැඩපතක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ සභාව එය ඉදිරියට ගොස් සිටගෙන තමන් දෙස බැලීමය.


Comments