"සභාව තුළ වූ වර්ගවාදයේ පාපයට අපට සමා වන්න!" - දකුණු අප්‍රිකා රදගුරු හිමිවරු ජනතාවගෙන් ඉල්ලති

South African Bishops ask for forgiveness for "historic complicity with racism in the Church"



(2016 මාර්තු 13)
දයාවේ ජයන්ති වසර සිය රටවල වර්ගවාදයේ තුවාල සුවපත් කොට සමගි සන්ධානයට කැපවන වසරක් කර ගැනීමට දකුණු දිග අප්‍රිකානු රදගුරු  හිමිවරු තීරණය  කරති. එයින් තවත් ඔබ්බට යමින් "සිය රටවල කතෝලික සභාව තුල වූ වර්ගවාදය පිළිගනිමින් එම වරද වෙනුවෙන් " එම රදගුරු හිමිවරු දෙවියන් වහන්සේ ගෙන් හා ජනතාව ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිති.

දකුණු අප්‍රිකාව, බොස්ට්වානාව සහ ස්වාසිලන්තය යන රටවල කතෝලික රදගුරු හිමිවරුන්ගෙන් සමන්විත දකුණුදිග අප්‍රිකානු කතෝලික රදගුරු සම්මේලනය දයාවේ ජයන්තිය අරභයා විශේෂ ධර්ම සේවා ලිපියක් නිකුත් කරමින්  2016 මාර්තු 7 වනදා මේ බව කියා සිටියේය.

"රටක් ලෙස සුවපත් වීමටත්,සමානාත්මතාවයේ, ගරුත්වයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්  ශුද්ධාත්මයානන් වහන්සේ අප කැඳවන සේක. දෙවියන් වහන්සේ ගේ සුවය ලබා ගැනීම සඳහා තර්කාන්විත වූත් ගෞරව සම්ප්‍රයුක්ත වූත් සංවාදයක් අත්‍යවශ්‍ය වෙයි" යැයි රදගුරු හිමිවරු එම නිවේදනයේ පෙන්වා දෙති.

මෙම එඬේරික ලිපිය (ධර්ම සේවා ලිපිය-Pasoral Letter) නිකුත් කර ඇත්තේ "වර්ගවාදය පැරදවීමට කැඳවීමක්" යන සිරසිනි. කතෝලික සභාව තුළ, විශේෂයෙන් පූජක පක්ෂය  තුළ තිබෙන හා තිබූ  වර්ගවාදී හැඟීම් ගැන මෙම ලේඛනය මගින් රදගුරු හිමිවරු අවංක අන්තරාවලෝකනයක යෙදෙති. එසේම වර්ගවාදයෙන් තම ජන හදවත් තුළ හටගත් තුවාල සුවපත් කිරීම සඳහා මේ වසරේදී ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔවුහු ඉදිරිපත් කරති. 

මෙම ලේඛනය මුළුමණින්ම පාහේ ශ්‍රී ලංකාවේ සන්දර්භය හා සැසඳේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනු "දයා කරුණාවේ ජයන්තිය" ආලෝකයක් කරගනිමින් එම රටවල කතෝලික සභාව ඉදිරිපත් කරන මෙම අදහස් ඉදිරිපත් කරන්නේ, ලංකාවට ද ආදර්ශයක් කරගනු පිණිසය.

"මේ දයා  කරුණාවේ ජයන්ති වසරේ දී දකුණුදිග අප්‍රිකාවේ සභාව ලෙස අපි වර්ගවාදයෙන් ඉවත්වන විශ්වසනීය වූත් සම්පුර්ණ වූත් සිත් හැරීමකට කැපවෙමු. අපෙන් බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ මෙවැනි සිත් හැරීමකින් වැළකී සිටීමටය. මේ නිසා මෙය පහසු සිත් හැරීමක් නොවන බව අපි අවබෝධ කරගෙන සිටිමු" යයි එම රදගුරු හිමිවරු එක්වන්ව කියති. "මෙවැනි සිත් හැරීම්  මගින් ආත්ම සාධාරිණිකරණය, ආත්ම දමිටුබව, වරදකාරී බව සහ ප්‍රතික්ෂේප කිරීම හෝ කෝපය හා වේදනාව වැනි හැඟීම් ජනිත කල හැකිය.මෙහි අරුත වන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී යුගයට පෙර, එම කාලය තුළ හා එම කාලයෙන් පසුවත් සභාව තුළ වර්ගවාදය තිබූ බව පිළිගැනීම යි."

මෙම ප්‍රකාශයෙන් පසු දකුණු දිග අප්‍රිකානු  කතෝලික රදගුරු  හිමිවරු පශ්චාත්තාපී ස්වරයෙන් කතා කරති. "ශුද්ධ වූ පේදුරු අපෝස්තුලු තුමා සිය වරදට පසුතැවුනා සේ, ඔබගේ එඬේරුන් වන අපි ඉතා බැහැපත්කමින්, දෙවියන් වහන්සේ ඉදිරියේත්, සිත් වේදනාවෙන් සිටින සියල්ලන් ඉදිරියේත් ෂස්ටාංගයෙන් වැඳ වැටී, සභාව තුළ වූ වර්ගවාදයේ පාපයට සහාය  දීම වෙනුවෙන් සමාව අයැද  සිටින්නෙමු. එසේම අපගේ සමාජයේත් අප සභාව තුළත් පවතින වර්ගවාදී ගැටළුව විසඳීම සඳහා අපට කළ හැකි සියල්ල කරන්නැයි සියලු විශ්වාසිකයන්ගෙන් ද යහපත් සිත් ඇති සියලු ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු."

 වර්ගවාදය හා බැඳුනු පාප

දකුණු දිග අප්‍රිකානු රදගුරුවරු ඊළඟට වර්ගවාදය පිලිබඳ විශ්ලේෂනයක යෙදෙති. එය හුදෙක් තනිව පිහිටන සමාජ පාපයක් නොවන බව ඔව්හු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ සන්ර්භයේ දෙස බලද්දී ද මේ කරුණු සතය් නොවන්නේ දැයි විමසා බලනු වටියි.

"වාර්ගිකත්වය, බලය හා වරප්‍රසාද එකිනෙකට බැඳී ඇති බව අපි පිළිගත යුත්තෙමු. අතීතයේ දී සම්මත කරන ලද වාර්ගික වශයෙන් වෙනස් කම් සිදුකෙරෙන නීති හා පිළිවෙත්වල ප්‍රතිඵල වශයෙන් මේ වන විට අපගේ සමාජයේ දක්නට ලැබෙන ආර්ථික විෂමතාවලට ඉතා කඩිනමින් පිළියම් යෙදිය යුතුය. පදනම් විරහිත බිය සහ සැක සංකා සමහන් කිරීමටත් යුක්තිය ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන්නේ එවිටය."

 දේව වචනය වර්ගවාදය පිටු දකියි

ශු. පේදුරු තුමා සහ මුල්කාලීන සභාව ශුද්ධාමයාණන් ගේ ආලෝකයෙන් වාර්ගික උසස් බව පිලිබඳ විශ්වාසයන් පැරද වූ බව රදගුරු හිමිවරු කියති.  පේදුරු තුමා අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ දෙන ඔවදනක් ඔවුහු ගෙනහැර දක්වති. "සැබවින් ම දෙවියන් වහන්සේ කිසිදු පක්ෂග්‍රාහීත්වයක් නොදක්වන බව මම දනිමි. ඕනෑම ජාතියක උන්වහන්සේට ප්‍රේමකරණ හෝ නිවැරදි දේ කරන ඕනෑම කෙනෙකු උන්වහන්සේ පිළිගන්නා සේක."

එසේම දිව්‍ය සත්ප්‍රසාදීය යාගය තුළ සියලු ජනතාව -වාර්ගික හෝ වෙනත් විෂමතා පරදා - එක්සත් වන ආකාරය ඔව්හු පෙන්වා දෙති.

විවිධත්වයේ සුන්දරත්වය

විවෘත සහ අවංක සංවාදයෙන් වෙනත් වාර්ගික කොටස් වෙත සමීප වන්නැයි අප්‍රිකානු රදගුරු හිමිවරු  සිය ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙහි දී තමන් ගේ ජනකොටසට පමණක් අයිති ජනයා සමග පමණ නොව වෙනත් වාර්ගික කොටස් සමග සම්බන්ධතා ගොනගා ගැනීම වැදගත් වේ. "සමගි සන්ධානයේ සක්‍රමේන්තුව (පාපොච්චාරණය) මෙම ක්‍රියාවලියේ දී මහත් ආලෝකයක් හා පිටුවහලක් වනු ඇත. මන්ද පියාණන්ගෙන්  ලබා ගන්නා සමාව සැබෑ සුවපත් වීමකට මඟ පාදන බැවිනි."

"විවිධත්වයේ සුන්දරත්වය තුළ ප්‍රීති සන්තෝෂ වන්නැයි සුබ අස්න පිළබඳ අපගේ අත්දැකීම් අපට ආරාධනා කරයි. එසේම සංස්කෘතික වශයෙන් වඩාත් අන්තර්ග්‍රහනීය (inclusive)  ලෙස ක්‍රියා කිරීමට ද වාර්ගික විවීධත්වය නම් වූ දේව තිළිණය අගය කිරීමෙහි ලා උද්යෝගිමත් වීමට ද සුබ අස්න අප කැඳවයි."

මෙම කාර්යයෙහි ලා මීසම්, පදවි හා ජාතික මට්ටම් වලින් ගත හැකි ක්‍රියාමාර්ග අප්‍රිකානු රදගුරු හිමිවරු ඊළඟට විස්තර කරති.

(CNA)
සටහන: ශ්‍රී ලංකාවේ වර්ගවාදයට මෙරට කතෝලික ජනයා කෙතරම් වග කිව යුතු දැයි අවංක සිත් සෝදිසියක් කර ගැනීමට කාලය පැමිණ ඇති බව දකුණු අප්‍රිකානු රදගුරු වරුන් ගේ මෙම ප්‍රකාශය ඉඟි කරයි. සිංහල සහ දෙමළ ජනවර්ග දෙකේම කතෝලිකයන්  සිටිය දී දෙපාර්ශවය සමගි කිරීමේ සහ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට කතෝලිකයනට අවකාශ තිබිණි.
කතෝලිකයන්ගේ දැඩි නිහඬ බව මෙම ගැටලුව මෝරා මහා ගිනි කන්දක් කිරීමට එක හේතුවක් වූයේය  යන්න ප්‍රතික්ෂේප කල හැකිද?
යුද්ධයේ  අවසාන කාලයේදීත් යුද්ධයට පසුව උතුරේ ජනයාත් මන්නාරමේ කතෝලික ජනයාත් යුක්තිය ඉල්ලද්දීත් සිංහල අපි "ඒ අපේ අදහස  නොවේ" යැයි කියමින් ඔවුන් තනි නොකලෙමුද?
මේ වන විට දෙපාර්ශවයේ ම යුද වාදීහු  යළිත් ප්‍රචණ්ඩත්වයම ඉල්ලා විවිධ ගිනි පත්තු කිරීමට වෑයම් කරමින් සිටිති.
කතෝලිකයන් ලෙස අපගේ ජීවිත සාක්ෂිය කුමක්ද?
දකුණු අප්‍රිකාන කිතුනුවන් ගෙන් අපි යමක් ඉගෙන ගනිමුද?
නැතහොත් තව දුරටත් අර අතීතයේදී මෙන් නිවට බියගුළු නිහඬ බව රකිමු ද?
නිවටකම, බියගුළු කම කතෝලික ලක්ෂණ නොවේ.

Comments