දයාවේ වසර කාටද? කුමක් සඳහා ද? අපි කුමක් කරමුද?

 Target Audiences of the Year of Mercy: What is expected of us ....


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ ද්වාරය විවෘත කරමින් දයාවේ ශුද්ධ වසර ආරම්භ කල මොහොත
(2016 පෙබරවාරි 21)

මහා කුළුණුබර සමිඳාණන් ගේ නිම් හිම් නැති ප්‍රේමයේ වරප්‍රසාද රැගෙන දයාවේ ජයන්ති වසර උදා වී තිබේ.

 අප මේ ගත කරන්නේ එම ජුබිලි වසරේ ගැඹුර වැඩි කරන චතාරික කාලයේ ය.

සිය පාප් ධුර කාලය ආරම්භ වූ අවස්ථාවේ සිට ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දයාව යන වචනය නිතර භාවිත කළහ. මෙම 'දයාව' යන්නෙන් අදහස් කෙරෙන්නේ අප සාමාන්‍යයෙන් එම පදය තේරුම් ගන්නා 'පුණ්‍ය ක්‍රියා' යන්න නොවේ. 'අප වෙනුවෙන් තමන් පූජා කිරීමට තරම් ප්‍රේමයෙන් ද, අකීකරු, සල්ලාල , නාස්තිකාර පුත්‍රයාට සමාව දී පෙරමගට ගොස් ඔහු සිප වැළඳ ගත් ප්‍රේමවන්ත තාත්තා සේ සමා+දාන ගුණයෙන් පිරුනා වූ ද 'දයා කරුණාව' යන්නයි.

කතෝලික සභාව වරප්‍රසාදලත් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් නාගරික සමාජ ශාලාවක් නොව "ක්ෂේත්‍ර රෝහලක්' යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළහ. "ක්ෂේත්‍ර රෝහලක්' යනු යුද බිමේදී තුවාල ලබන්නන් ඔසවා ගෙනැවිත් ප්‍රතිකාර කිරීමට යුද බිමේ පිහිටුවා ඇති රෝහලකි. ජීවිත යුදබිමේ ගැටුම් වලින් ද 'මේ කඳුළු විලේ' විවිධ වූ මානසික දුක්ඛ දෝමනස්ස , ගැටළු හා ආධ්‍යාත්මික අරගල හා අන්ධකාර කාල පරිච්ඡේද වලින් ද තුවාල ලබන ජන ජීවිත සුවපත් කිරීමේ මෙහෙවර භාර ගත හැක්කේ, ගත යුත්තේ  සභාවය. එසේ කිරීමට  නම් සභාව සතුව තම සමිඳාණන් ගේ මහාර්ඝ ඖෂධය තිබිය යුතු ය. එනම් දයාව යි.  සුදොතුම් පියතුමා නිතර පෙන්වා දුන් කාරණය එයයි.

එනයින් බැලූ කල ප්‍රැන්සිස් පාප් වහන්සේ දයාවේ ශුද්ධ වසර ප්‍රකාශයට පත් කිරීම එතුමන් ගේ දැක්මට අනුකූලය . එහෙත් මේ දයාවේ ජයන්ති වසරෙන් උපරිම ඵල ලබා ගත හැකි වන්නේ එහි අරුත හදාරා නිසි ලෙස ඊට ඒකාබද්ධ වුවහොත් පමණි.

දයාවේ ශුද්ධ වසර ඉලක්ක කර ඇති ග්‍රාහකයන් (Target Audiences) කොට්ඨාස තුනක් සිටින බව ප්‍රමුඛ පෙලේ වතිකාන නිරීක්ෂකයකු, විශ්ලේෂකයකු හා වියත් ලේඛකයකු වන ජේසු නිකායික ජේම්ස් රීස් පියතුමා පවසයි. එම ග්‍රාහක කොට්ඨාස තුන වන්නේ: (1) ඔබ හා මා වැනි එක් එක් තනි පුද්ගලයන් (2) පූජක, පැවිදි පක්ෂය (3) ලෝකය යන කණ්ඩායම් ය.

මේ එක් එක් ග්‍රාහක කොට්ඨාසය දයාවේ ජයන්ති වසරේ පණිවිඩය විකේත කොටගෙන එයින් තම ජීවිතයත්, සභා ජීවිතයත් පෝෂණය කොටගෙන ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කල යුත්තේ කෙසේ ද?

දයාවේ වසරේ පළමු ඉලක්ක ග්‍රාහක කණ්ඩායම සභාවේ ඔබ හා මා වැනි  එක් එක් තනි පුද්ගලයන් ය. අප දයාවේ වසර වැළඳ ගත යුත්තේ කෙසේ ද?

2013 ප්‍රැන්සිස් පාප් වහන්සේ එම ධුරයට තේරී පත් වූ මුල් දිනවලම ඇමෙරිකාවේ ජේසු නිකායික සඟරාව විසින් එතුමන් සම්මුඛ සාකච්ඡාවට භාජනය කෙරිණ. එතුමා ගෙන් මුලින්ම අසන ලද ප්‍රශ්නය "හොර්හේ මාරියෝ බොර්ගෝලියෝ කවුද?" යන්නයි. නොපැකිලවම සුදොතුම් පියතුමා මෙසේ කීවේය: " මම පව්කාරයෙක්. මේක තමයි අතිශයින්ම නිවරැදි නිර්වචනය. ඒක භාෂාලංකාරයක් හෝ සාහිත්‍ය අලංකාරයක් හෝ නොවෙයි. මම පව්කාරයෙක්."  තමා "තරමක්  තීක්ෂණ, තරමක් බොළඳ , තරමක් අනුවර්තනය විය හැකි පුද්ගලයකු " බව ද එතුමා පිළිගත්තේ ය. "එහෙත් සාරාංශයක් වශයෙන්, මගේ හදවතින් ම පැනනගින, මට මා ගැන සිතෙන අවංකම දේ මෙයයි. මම පව්කාරයෙක්. මගේ රදගුරුවරයේ ආදර්ශ පාඨය, "Miserando atque Eligendo" එනම් "දයාව ලබා උන්වහන්සේ තෝරාගැනීම" යන්න මට නිතරම දැනුණා. එය මා සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ම සත්‍යයි" එතුමා එය විස්තර කලේ ය.


අප බොහෝ දෙනෙකුට අප පව්කාරයන් යයි පිළිගැනීම උගහටය. එපමනක් නොව ඇතැම් විට පාපය නිසා නරකාදියේ ගින්දරේ පිළිස්සීම වැනි සංකල්ප පිළිගැනීම දේවධර්මය පුළුල්ව හදාරන  ඇතැම් අය ප්‍රශ්න කිරීමට ද පෙළඹෙති. තමන්ට ද පාපය පිළිගැනීම දුෂ්කර වූ බව ජේම්ස් රීස් පියතුමා පවසයි. එතුමා පෙන්වා දෙන්නේ තමන් කලක් මරිය මග්දලේනාටත්, අකීකරු පුත්‍රයාටත් වෛර කල බවයි. ඊට හේතුව ඔවුන් අයහපත් ජීවිතයත් ගතකළත්  ජේසු සමිඳුන් ගේ ආදරය  වැඩියෙන් ලබා  ගැනීමයි. අප බොහෝ විට කැමති වන්නේ කරුණාවන්ත පියාණන් (අකීකරු පුත්‍රයා) උපමාවේ එන වැඩිමහල් පුත්‍රයා හා අනන්‍ය වීමට බව රීස් පියතුමා පෙන්වා. දෙයි.

පාපය අපගේ මනුෂ්‍ය ස්වරුපය නිසා ඇතිවන්නක් ලෙස ද  අපට හැඟී යා හැකිය. "එය අපට උරුමයෙන් ලැබෙන දෙයක්.මේ නිසා වෙනස් කරන්න බැහැ" යයි අප සිතා සිටිනවා විය හැකියි. එසේ ම අප ජීවත් වන නුතන ලෝකය බොහෝ දේ වර්ගීකරණය කරන්නේ "මානව අයිතිවාසිකම්" ලෙස ය . ඇතැම් පාපී ක්‍රියා ද  යන වර්ගීකරණය කරන ඇතුළත් කෙරෙන් මෙම ලෝකය තුළ පාපය කුමක් දැයි හඳුනා ගැනීම ගැටළුවක් වන්නා සේ ම එහි  බරක් පතලක් ද නොපෙනිය හැකිය.  අපට අප අකීකරු පුත්‍රයාගේ 'වැඩිමහල් සහෝදරයා' සේ පෙනෙන්නේ මෙවැනි වෙලාවලය.

එහෙත් නූතන ලෝකය පුරා ඇවිලෙමින් පැතිරෙමින් ඇති විවිධාකාර ගිනි  ජාලා පැන නගින්නේ   පාපය නිසාය යන්න අවබෝධ වීමට වැඩි කලක් ගත නොවේ. ධන තන්හාව, බල තන්හාව, කෑදරකම, වර්ගවාදය, අන්තවාදය ආදී කවර වචනයෙන් විස්තර කල ද අවසාන විග්‍රහයේ දී එය අයහපත ය. අකුසල ය. නපුර ය. පාපය ය. මේ අයහපත පැන නගින්නේ තනි තනිව අප එකිනෙකා ගේ හදවතේ ය.

මේ නිසා දයාවේ වසර පිලිබඳවත් වය විශේෂ ශුද්ධ වසරක් කිරීම පිළිබඳවත්  අදහස ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ  සිතේ පිළිසිඳුනේ දිව්‍ය සංරක්ෂණය නිසාම බව පෙනෙන්නට තිබේ.

එබැවින් දයාවේ ජුබිලි වසර අපට අප වෙත නෙත් යොමන්නට, පරිශුද්ධයාණන් වන ජේසු සමිඳුන් - එනම් දේව වචනයානන්-  නමැති කැඩපත  ඉදිරියේ සිට අප  දෙස බලන්නට අභියෝග කරයි. ආරාධනා කරයි. අපට අපගේ පව්කාර බව වැටහුණු විට දේව දයාවේ අවශ්‍යතාව අපට අවබෝධ වනු ඇත. කෙසේ නමුත් අප මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් ඇති බව ජේම්ස් රීස් පියතුමා පෙන්වා දෙයි.  එනම්, මෙය අපගේ පාප පිලිබඳ සිතමින් හඬා වැලපෙන වසරක් නොවන බවයි. මේ ජයන්ති වසරකි. එබැවින් මේ  වූ කලී දෙවිසමිඳාණන්ගෙන්   නොමිලයේ ලැබෙන්නාවූත්, අති ප්‍රබල වූත්  දයා කරුණාව ගැන ප්‍රීති සන්තෝෂ වන, ඒ සඳහා ප්‍රශංසා කරන වසරකි.

දෙවිඳුන්ගෙන් දයාව ලද විට කිතුනුවකුට ආත්මාර්ථකාමීව තම ලෝකය තුළ පමණක් ජීවත් විය නොහැකිය. දෙවි සමිඳාණන් දයාව දානය කරන්නේ බෙදා ගන්නටය. එබැවින් මේ දයාවේ වසරින් ආරම්භ වී නිරන්තරයෙන් කිතුනුවා දයාවේ පුද්ගලයකු විය යුතුය. මෙහි අදහස කිතුනුවාට පල්ලියට පමණක් සීමා වී ජීවත් විය නොහැකි බවයි. දයාව ජීවිතය තුළ ක්‍රියාත්මක විය යුතුය. එසේ කල හැක්කේ දයාව පිපාසයෙන් පෙලෙන්නන්ට එය දීමෙනි. සුදොතුම් පියතුමා පවසන්නේ ශුද්ධ වූ සභාව උගන්වන ආත්මික හා ශාරීරික පුණ්‍ය  ක්‍රියා වලත් ජේසු සමිඳුන් ගේ අවසාන විනිශ්චය පිලිබඳ දේශනයේත් මෙලෙස දයාව ලැබිය යුත්තන් කවුරුන්දැයි පෙන්වා දී ඇති බවයි. "මම කුසගිනිව් සිටියෙමි.......පිපාසව සිටියෙමි....." වැනි සමිඳුන් ගේ එදා වචන අද යුගයේ ඇසෙන, "මම විරැකියාවෙන් සිටියෙමි...සරනාගතව.....අවතැන්ව සිටියෙමි......අයුක්තියට අසාධාරණයට ලක්ව සිටියෙමි......නීතියෙන් පිළිසරණක් නොමැතිව සිටියෙමි..." වැනි අවස්තාවලදීද අපගේ දයා හදවත් යොමුවිය යුතුව තිබේ.

දයාවේ වසරේ දෙවැනි ඉලක්ක ග්‍රාහක කණ්ඩායම  පූජක-පැවිදි සමාජයයි.

බොහෝ  පාප් වහන්සේලාට වෙනස් මගක් ගනිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ නිතරම සහ තමන් සංචාරය කරන සෑම රටකදීම පූජක තුමන්ලාට විශේෂයෙන් දේශනා කරති. බැටළුවන් සිය රැල අතහැර  යාමට හෙවත් ගිහි කතෝලිකයන් සභාව හැර යාමට එක ප්‍රධාන හේතුවක් වන්නේ පුජකවරුන් ගේ ජීවිත ශෛලිය ය යන්න පාප් වහන්සේගේ විශ්වාසය යි. දයා කරුණාව වෙනුවට දැඩි නීති රීති මත විශ්වාසය තබමින්, සේවකයකු වෙනුවට පාලකයකු හෝ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකු සේ පෙනෙන්නට ඇති මෙම හැසිරීම ප්‍රැන්සිස් පාප් වහන්සේ හඳුන්වන්නේ "පූජකාධිපත්‍යය" යනුවෙනි.

එහෙත් ධර්මදානයේ ප්‍රථම වචන විය යුත්තේ නීති රෙගුලාසි ලේඛනයක් නොව දෙවියන් වහන්සේ ගේ දයාව හා කරුණාව බව සුදොතුම් පියතුමා අවධාරණය කරයි. දයාවේ වසරේ දී පමණක් නොව ඉන් පසුවත්, නිරතුරුවමත් විශ්වාසික ජනතාවට  සිය පියතුමන්ලා වෙතින් ශ්‍රවනය විය  යුත්තේ ප්‍රේමයේ සහ දයාවේ වචන බව රීස් පියතුමා පෙන්වා දෙයි.

සභාව හැර දා ගිය යුරෝපයේ සහ ඇමෙරිකාවේ බොහෝ කිතුනුවෝ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිත සාක්ෂිය නිසා යළිත් සභාව වෙත පැමිණෙමින් සිටිති. එහෙත් මීසම් තුළ තවමත් සිටින්නේ උදාසීන නැතහොත් අත්තනෝමතික, සිනහවක් හෝ දයාබර වචනයක් කිසිදාකත් මුවෙන් පිට නොවන, තම සුඛ විහරණ තුළ ජීවිතය ගත කරන පියවරුන් මය.

කතෝලිකයන් දේව දයාව අත්දකින ප්‍රධානම ස්ථානය පාපොච්චාරණ (සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධාන) ආසනය යි. "ජනතාව එම ආසනයේ සිට ආපසු යා යුත්තේ කනගාටුවෙන් හෝ කලකිරීමෙන් නොව ප්‍රීතියෙන් ය යන්න පූජකවරයකු ලෙස මගේ අත්දැකීමයි. ඔවුන් ගේ දෙනෙතේ කඳුළු තිබෙනවා නම් ඒ සතුටු කඳුළු පමණක් ම විය යුතුයි" යයි තෝමස් රීස් පියතුමා සඳහන් කරයි. "පාපොච්චාරණ ආසනය වධකාගාරයක් නොවේ; එය දෙවි සමිඳාණන් ගේ අපරිමිත වූ ප්‍රේමය අත්දකින ස්ථානයක්" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර උපදෙස් දෙයි.

කලක් තිස්සේ පාපොච්චාරණය නොකළ තරුණ විවාහක යුවතියක් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශනා හා ජීවිතයෙන් යළිත් ප්‍රබෝධවත් වී පාපොච්චාරණයට කරගෙන සක්‍රමේන්තු ජීවිතයට යළි අවතීර්ණ වීමට ඉටා ගත්තා ය.   ඇය නොසිතු ලෙස කොමිසම් පුටුවේ දී පියතුමා ගෙන් ඇයට කන පුරා දෝස් මුරයක් ලැබිණි. ඒ, "මම අවුරුදු 10කින් පාපොච්චාරණය කරලා නැහැ"යැයි ඇය පැවසීම නිසාය. "ඔබ ආයෙත් ගෙදර ඇවිත්. ජේසු ඔබව ආදරෙන් පිලිගන්නවා". පියතුමා පැවසිය යුතුව තිබුනේ එවැන්නක් බව රීස් පියතුමා සිය අත්දැකීම් ඇසුරින් විස්තර කරයි. "බොහෝ තුවාල සිදුවූ, දුර්වල, 'බිඳෙන සුළු' තැනැත්තන්  පාපොච්චාරණයට එන්නේ දයා කරුණාබර ජේසු හමුවීමේ බලාපොරොත්තුවෙන්" ප්‍රැන්සිස් පාප් වහන්සේ ඒ ගැන උපදෙස් දෙන්නේ එසේ ය.

දයාවේ ජුබිලි වසර  පූජක ජීවිත තුළ දයාවේ වසන්තයක් ලෙස නවෝදයක් ඇති කිරීමේ සමයක් ද වේ. දේව ජනතාවට පියතුමකු මුණගැසී කතා කිරීමට අවශ්‍යතාවක් ඇති වන්නේ කලින් දන්වා දිනපොතේ සලකුණු කරගැනීමෙන් පසුව නොවේ. ඇතැම් විට වසර ගණනක් කොමිසම් කිරීමෙන් ඉවත් ව පාපයෙන් බරව සිටින්නෙකුට පාපොච්චාරණය කිරීමේ  අවශ්‍යතාව ඇතිවන්නේ ද කලින් දනවා නොවේ. එසේ පියතුමකු මුණගැසීමේ දැඩි අවශ්‍යතාවෙන් පසුවන්නකු මීසම් ගෘහට පැමිණි විට "පියතුමා මුණගැසීම බදාදා පමණයි" යනුවෙන් පුවරුවක් දුටු විට, සිය පවසට සමිඳු දයා දිය  පතා ආ තැනැත්තාට ඇතිවන තත්වය කුමක් දැයි කාර්යාල වෙලා වෙන්කරගෙන ඇති පුජකතුමන්ලා වටහා ගත යුතුය. "පුජකවරු කාර්යාල නිලධාරීන් නොවෙති " යි ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. පුජකවරුන් සතුව තිබිය යුත්තේ ජනතාව පල්ලියෙන් ඈත් කරන නීති රීති නොව ඔවුන් පල්ලියට ගෙන්වා ගන්නා දයාවේ, ප්‍රේමයේ දිරිමත් කිරීමේ වදන් ය.

දයාවේ වසරේ තෙවන ඉලක්ක ග්‍රාහකයා ලෝකයයි.

දයාවේ වසර නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ජුබිලි වසරේ ප්‍රථම ශුද්ධ ද්වාරය විවෘත කලේ මධ්‍යම අප්‍රිකානු ජනරජ රාජ්‍යයේ බංගී අගනුවර පිහිටි ආසන දෙව් මැදුරේ දීය. මධ්‍යම අප්‍රිකානු ජනරජය ආගමික හා වාර්ගික අන්තවාදී යුද ගැටුම් නිසා නිරන්තරයෙන් ලෙයින් අහ කඳුලින් තෙමෙන රටකි. එහි ප්‍රථම ශුද්ධ දොරටුව විවෘත කිරීම මගින් සුදොතුම් පියතුමන් අවධාරණය කරන්නේ සාමයට එකම මග දයා කරුණාව, අන්‍යෝන්‍ය වශයෙන් සමාව දීම, සහ සමගි සන්ධානය ය යන්නයි. අපගේ පවුල් හෝ අසල්වාසිය තුළ, අපගේ දේශය හෝ ජාතිය තුළ හෝ ලෝකය තුළ සමාව දීම හා සමගි සන්ධානයෙන් තොරව සාමය උදා කරගත නොහැකි බව මානව ඉතිහාසයේ අතීත අත්දැකීම් තුළින් අප අවබෝධ කරගත යුතු ය. 'සෑම අපරාධයකටම පළිගත යුතුය, සෑම ගැටුමකටම යුද (හමුදා) විසඳුමක් ඇත' යන දැඩි මතයේ සිටින්නන්ට මෙය බොළඳ කියමනක් සේ පෙනී යා හැකිය. එහෙත් දහස් වසර ගණනාවක මානව අත්දැකීම් තහවුරු කරන්නේ එවැනි විසඳුම්වල ප්‍රතිඵලය අවසන් නොවන යුද ගැටුම් හා අරගල බවයි. 

බංගී ආසන දෙව්මැදුරේ ශුද්ධ ද්වාරය වීවෘත කිරීමට සූදානමින්

දයාවේ වසර අපට මතක් කර දෙන්නේ දයාව දෙවිඳුන් ගෙන් ලැබෙන්නක් පමණක් නොවන බවයි. අප ද අපට දයාව ලැබෙන්නා සේ අප අවට සමාජයට දයාව දැක්විය යුතුය. ජේසු සමිඳුන් මෙය  පැහැදිලි කලේ  'ලයක් නැති'  සේවකයා ගේ උපමාවෙනි. (මතෙව් 18:21-35)

කෙසේ නමුදු, දයා කරුණාව, අව්‍යාජ දයා කරුණාව කිසිසේත් යුක්තිය ප්‍රතික්ෂේප කරන්නේ නැත. "සැබෑ දයාව, දෙවියන් වහන්සේ අපට දානය කරන දයාව, අපෙන් යුක්තිය ඉල්ලා සිටියි" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ 2013 සැප්තැම්බර 10 වන දා ජේසු නිකායික සරණාගත සේවාව අමතා කියා සිටියේ ය.

එසේම 2015 ශ්‍රී ලංකාවේ අපෝස්තලික සංචාරයේ දී ශ්‍රී ලංකාවේ සාම මාවත වැටී ඇත්තේ දයාව හා යුක්තිය  ඔස්සේ බව එතුමා අවධාරණය කලේ ය. මඩු සිද්ධස්ථානයේ දී එතුමා අවධාරණය කලේ සාමය  උදෙසා සමාව දීම හා සමගි සන්ධානයේ ඇති අවශ්‍යතාවයි: 
"මරිය මෑණියන්  එදා කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දී, ඉන් පසුව ,එම පුතනුවන් ගේ ප්‍රාණය නිරුද්ධ  වූ දේහය සිය දෑතින් වැළඳ ගත්තා සේ, දැන් ශ්‍රී ලාංකිකයන්ට  මේ උතුම් සමගි සන්ධාන ක්‍රියාවලිය තුළ මග පෙන්වීමටත් ඒ අනුව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ හා සමාවේ ඔසු තෙලෙන් සෑම හදවතක්ම සුවපත් කිරීමටත්  එතුමිය සුදානම්ව සිටියි."

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී එවකට නව ජනාධිපතිතුමන් විසින්  පිළිගනු ලැබීමෙන්  පසුව පිළිතුරු කතාව කළ  පාප් වහන්සේ, සාමය ඇති කිරීම සඳහා සමාව දීම සහ සමගි සන්ධානයේත් යුක්තියෙත් කාර්යභාරය අවධාරණය කළේය: " මෙම අර්බුදයේ අමිහිරි දායාදයන්  වන අයුක්තීන් හා අසාධාරණයන්, එදිරිවාදිකම් හා සැක සංකා පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය ජයගත හැක්කේ නපුර යහපතෙන් පරාජය කිරීමෙනි. එසේම සමගි සන්ධානය, සහෝදරත්වය සහ සාමය ප්‍රවර්ධනය කෙරෙන ධර්මගුණ අප තුළ වගා කර ගැනීමෙනි. සිත් සුවපත් කිරීමේ ක්‍රියාවලියට සත්‍යය සෙවීමේ පියවර ද ඇතුළත් විය යුතු ය. මෙලෙස සත්‍යය සෙවිය යුත්තේ පැරණි තුවාල විවෘත කිරීමේ අරමුණින් නොව, යුක්තිය, (සිත්) සුවය  හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ය."

දයාවත් සමගි සන්ධානයත් දුෂ්කර වී ඇත්තේ "උදාසීනත්වය ගෝලීයකරණ වී ඇති  නිසා" යැයි ද පාප් වහන්සේ පෙන්වා දෙති. මෙම චතාරික සමයේදීත් සමස්ත වසර පුරාත් කතෝලිකයන් සිය උදාසීනත්වයෙන් හා ඇල්මැරුණු ගතියෙන් මිදී තම ගමේත්, අප රටේත් දයාව හා සමගි සන්ධානය වෙනුවෙන් තමන්ට කල හැකි වැඩ කොටස ඉටුකළහොත්, අපගේ දේශය  මීට වඩා යහපත් තැනක් වනු ඇත.  

දයාවේ වසර ආරම්භ වී  තිබේ. "දයාව කිතුනුවන් ලෙස අපගේ ජානයේ කොටසක් බවට පත්වී පැය 24 පුරා අපගේ ජීවිතයේ ක්‍රියාත්මක විය යුත්තක්ව තිබේ" යයි ජේම්ස් රීස් පියතුමා පෙන්වා දෙයි. මෙම දයාවේ වසරේදී පාප් වහන්සේ  එම කරුණ ඉස්මතු කරන්නේ එය සුබ අස්නේ කේන්ද්‍රීය කරුණක් බව අවබෝධ කිරීම සඳහා ය.

එබැවින් මේ වසරේ තනි තනිව අප එකිනෙකාත්, පූජක සමාජයත්, ලෝකයත් එක ආදර්ශ පාඨයක් ඔස්සේ ගමන් කිරීම ප්‍රතිඵල දායකය. එනම්, "ලොව තුළ දයාව ඇති වේවා! එය මා තුළින් ආරම්භ වේවා! " ("Let there be Mercy on earth, and let it begin from me") යන්නයි.
(ආශ්‍රිත මුලාශ්‍ර: National Catholic Reporter, වතිකාන ගුවන් විදුලිය, වතිකාන ප්‍රවෘත්ති සේවය (VIS), CNA )





Comments