රතු ඉන්දියානුවන්ට දහම් එලිය ගෙනා "හිරු අඳුරු කල " වනිතාව: "ගුවාඩලුපේ අපේ අම්මා" ගේ වත

 The Story of  the "Virgin of  Guadalupe"




(2016 පෙබරවාරි 14)

 මරිය වහන්සේ ගේ චරිතයේ ප්‍රබලම අංගය ඈ "දෙවියන් වහන්සේ ට දුන් 'එසේ වේවා' යන පිළිතුර" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

එතුමා මසේ කියා සිටියේ මැක්සිකෝවේ  ප්‍රධානතම වන්දනා ස්ථානය වන ගුවාඩලුපේ අපගේ මෑණියන් ගේ බැසිලිකා දෙව් විමනේ දිව්‍ය  පුජාව පවත්වමිනි. එරට දින 6ක් ගත කරන එතුමාගේ අපෝස්තලික සංචාරයේ කේන්ද්‍රීය ස්ථානය මෙම ප්‍රාතිහාර්යාත්මක සිද්ධස්තානයයි.

දෙවියන් වහන්සේට "ඔව් " කියා පිළිතුරු දුන් එතුමිය තමාගේ යහපත් සියල්ල උන්වහසේට දුන් අතර, එයින් ලැබුණු ශක්තියෙන් සෙසු අයට  පිළිසරණ වීමට ඈත දුර බැහැර නොබලා ගියා. ඇය එලිසබෙත් තුමිය බහ දැකීමට ගියේ ඒ නිසයි" යයි එදින සුබ අසන ගෙනහැර පාමින් පාප් වහන්සේ විස්තර කළහ.

"එතුමිය මෙක්සිකානු දේශයේ මේ ස්ථානයේ දර්ශනය වුයේ ද දුකින් පීඩිත වූ අසරණ වූ අයට පිළිසරණ වීම සඳහායි" එතුමා සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ අප එතරම් අසා නැති ගුවාඩලුපේ  මෑණියන් ගැන මෙම තොරතුරු ගෙන එන්නේ මෙම මැදිහත්වීමේ ඇති සුවිශේෂී බව පෙන්වා දීම සඳහාය. මෙම තොරතුරු ගොනු කරගන්නා ලද්දේ කැනඩාවේ Sault + Light කතෝලික රුපවාහිනියේ ප්‍රචාරය වූ වැඩසටහනක් හා වෙනත් මුලාශ්‍ර ඇසුරිනි.

ගුවාඩලූපේ කන්‍ය මරිය වහන්සේ කවුද?

මහා හිරු දෙවියන් හා ඔහු වටා සිටි දෙවි දේවතා පිරිසක් අදහමින් ඔවුන් වෙනුවෙන් මිනිස් පූජා පුදමින් සිටි මැක්සිකෝවේ ඇස්ටෙක් රතු ඉන්දියානුවන්ට සැබෑවූ එකම දෙවියන් වහන්සේ හඳුන්වා දෙමින්, එම ජනතාව සිය මව් සෙනෙහසින් සනසා, එම රටත් සමස්ත ලතින් ඇමෙරිකාව පුරාත් ජේසු සමිඳුන් ගේ සුබ අස්න ගෙන යාමේ ධර්මදූතවරිය වූයේ ඇය යි. ලතින් ඇමෙරිකාව පුරා ඇය හැඳින්වෙන්නේ La Morenita හෙවත් "ගුවාඩලූපේ කන්‍යාව" යනුවෙනි. ඇය පිලිබඳ  කතාව අත්‍යවශ්‍ය  විස්තර අඩුවක් නොවන පරිදි ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙහෙමය:

පසුබිම:
ක්‍රි. ව. 1500 ගණන් වන විට "මෙසෝඇමෙරිකාව" නම් වූ ලතින් ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ පාලනය කරමින් සිටියේ ඇස්ටෙක්වරුය. ඔවුන්ට සංවිධිත භාෂාවක් හා සංස්කෘතියක් තිබුනේ ය. හිරු මහා දෙවියන් ලෙසද තවත් දේව පන්තියක් ද ඇදහූ ඔවුහු එම දෙවිවරුන් සතුටු කිරීම සඳහා මිනිස් පූජා පැවැත්වූහ.

ක්‍රිස්ටෝපර් කොලම්බස් 'නව ලෝකය' සොයා ගැනීමෙන් පසු යුරෝපීයයන් ඇමෙරිකාවේ නව රටවල් සොයමින් ගියේ ඒ කාලයේ ය. මේ අතර 1519 දී ප්‍රථම ස්පාඥ්ඥ නාවික දේශාටකයන් පිරිස මැක්සිකෝවට ගොඩබටහ. ඔවුන් සමග ආ ප්‍රන්සිස්කාන ධර්ම දූත පියවරුන්  අසොටෙක්වරුන් ප්‍රමුඛ එරට රතු ඉන්දියානු ගෝත්‍ර අතර ධර්මය ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබිණි. කිතු දහම වැළඳගත් ජනයා වෙනුවෙන් රදගුරු පදවියක් ඇතිකොට රදගුරුතුමෙක්  ද පත් කරනු ලැබ  සිටියේ ය.

1530 ගණන් වන විට මැක්සිකෝ පුර පදවියේ රදගුරු තුමා ප්‍රන්සිස්කාන නිකායික හුවාන් ද සුමරාගා හිමිපාණෝ ය. ඉතා දුප්පත් ජීවිතයක් ගත  කළ එතුමා ජනතාවගේ ආදරයත් භක්තියක් දිනාගෙන සිටියේය.

"හිරු දෙවි දෙවොල" කඳු මුදුනේ හමු වූ හිරු මෙන් බැබැළුණු වනිතාව

1474 දී උපන් කුවෞට්ලටෝට්සින් (Cuauhtlatoatzin:  නමේ අරුත "රාජාලියකු ලෙස කතා කරන්නා") නමැති තරුණයා මලින්ට්සින් නමැති තරුණිය හා විවා පත්  වූයේය. ඔවුන් දෙදෙනා ජීවත් වූයේ ටෙක්ස්කොකෝ විල අසල ජීවත් වූ සිය මාමා කෙනකු ගේ නිවසේය. මෙම තිදෙනා එම ගමේ ප්‍රසාද ස්නාපනය ලබා කිතු දහම වැළඳගෙන සිටි පවුල් කිහිපයට අයත් විය. කුවෞට්ලටෝට්සින් හුවාන් දියෝගෝ ලෙසත්, මලින්ට්සින් මරිය ලුසියා ලෙසත් ඔවුන් ගේ මාමා හුවාන් බර්නදිනෝ ලෙසත් බෞතීස්මය ලබා සිටියහ. දරු ඵල නොලැබූ මලින්ට්සින්  1529 දී මිය  ගියාය.

බිරිඳ වියෝ වූ පසුව හුවාන් දියේගෝ සිය ජීවිතය දෙවිඳුන්ට කැප කළේය. හේ හැකි සෑම  දිනෙකම දිව්‍ය පූජාවටත් ධර්මොපදේශ පන්තිවලටත් සහභාගී විය.

ඒ 1531 දෙසැම්බර 9 වනදා සෙනසුරාදා උදාසනයි. ඔහු සුපුරුදු පරිදි දිව්‍ය පූජාවට යමින් සිටියේ ය. කලක් හිරු  දෙවියන්ට කැපවූ ප්‍රධාන දෙවොල පිහිටා තිබු ටෙපෙයැක් කන්ද පසු කර විට ඔහුට හදිසියේම අමුත්තක් දැනිණි. හදිසියේම කුරුල්ලෝ ගී ගයන්නට පටන් ගත්හ. ඔවුන්ගේ ගායනය සුමධුර සංධ්වනියක් බවට පත් වී හදිසියේම නතර විය. ඒ සමගම හිරු මෙන් දීප්තියෙන් බබලන කාන්තාවක් කඳු මුදුනේ දර්ශනය වුවාය. ඕ දියෝගෝ ගේ නම කියා ඔහු ඇමතුවාය:

"හුවාන් දියේගෝ...!"  

ඉන්  පසුව මව් බස වන රතු ඉන්දියානු නහුආතල් බසින් ඕ ඔහු ඇමතුවාය. අගේ පණිවිඩයේ සාරාංශය මෙයයි:

"හුවාන් මගේ පුතේ. මා කවුද කියා මම ඔබට කියන්නම්. මම කන්‍ය මරියාවයි. සත්‍යවූ එකම දෙවියන් වහන්සේ ගේ අම්මායි. උනවහන්සේව හඳුන්වා දී මෙම ප්‍රදේශයම උන්වහන්සේ වෙත ගෙන ඒම සඳහා මෙම ස්ථානයේ දේව මන්දිරයක් ගොඩ නැගීමට මට අවශ්‍යයි. මගේ ආදරයෙන් හා කරුණාවෙන් ජනයා උන්වහන්සේ වෙත ගෙන එන්නටත්, ඔවුන්ට මගේ උදව් උපකාර සහ ආරක්ෂාව ලබා දෙන්නටත් අවශ්‍යයි.මම ඔබේ අම්මායි. මගේ උපකාර පතන සියල්ලන් ගේ, අඬන වැලපෙන සියල්ලන් ගේ අම්මා යි. ........ඉතින්, දැන්මම යන්න. ගිහින් ඔබ ඇසූ දුටු සියලුම දේ රදගුරුතුමාට කියන්න."

මඳක් වික්ෂිප්ත වුවත් හුවාන් දියේගෝ වහාම රදගුරු මැදුරට ගියේය. මුලින් මේ රතු ඉන්දියානු මිනිසාට  රදගුරු තුමාගේ සේවකයන්ගෙන් කුරිරු සැලකුම් විඳින්නට සිදු වුවද අවසානයේ රදගුරු තුමා හමු වීමට ඔවුහු ඔහුට ඉඩ දුන්හ. දැහැමියකු වූ ප්‍රන්සිස්කාන නිකායික හුවාන් ද සුමරාගා රදගුරු තුමා දියේගෝ ගේ කතාවට සුහදව සාවධානව සවන් දුන්නේ ය. එහෙත් ඔහු කියන දේ එක වර විශ්වාස කරන්නට එතුමා පසුබට විය. ඔහු සැනසූ රදගුරු තුමා "ආයෙත් ඇවිත් මාව මුණ ගැහෙන්නකෝ" කියමින් ඔහු පිටත් කළේය.

මෙයින් නොසතුටට පත් දියේගෝ ආපසු කන්ද ලඟට පැමිණියේය. ඔහු දුටුවේ තමා එහි පැමිණෙන තෙක් බලා සිටින මරිය තුමිය යි.
"අනේ මෑණියනි, මාව නොවෙයි. වෙනත් කෙනෙක් ඔය වැඩේට යවන්න. මම නිකම්ම නිකම් මිනිහෙක් විතරයි..." ඔහු දුකෙන් පැවසුවේය.

" මේ අහන්න පුතේ. මට යවන්න පුළුවන් හුඟ දෙනෙක් ඉන්නවා. එත් මේ කාර්යයට මා තෝරා ගත්තේ ඔබවයි. හෙට උදේට ආයෙත් යන්න. ගිහින් රදගුරු තුමාට කියන්න මම දේව මාතාවන් වන කන්‍ය මරිය වහන්සේ  බව. මේ ස්ථානයේ දෙව්මැදුරක් ඉදිකිරීමේ උවමනාව යලි මතක් කරන්න" යයි ඊට පිළිතුරු ලෙස මරිය තුමිය කීවාය.

දෙසැම්බර 10 වන ඉරිදා දියෙගෝ යලිත් රදගුරු මැදුරට ගියේය. සුපුරුදු පරිදි යලිත් දැඩි දුෂ්කරතාවකින් පසු රදගුරු තුමා හමුවීමට ඔහුට ලැබිණි. මෙවර ඔහු දකිද්දී රදගුරුතුමා මවිත විය. ඔහුගේ කතාවට සවන් දුන් රදගුරු තුමා "යලිත් ඔබ එතුමිය හමුවූ විට, එතුමියගෙන් සලකුණක් ඉල්ලන්න" යැයි ඔහුට උපදෙස් දුන්නේ ය.




කන්ද අසලට පැමිණි දියෙගෝ මේ බව මරිය තුමියට කිවේය. සලකුණක් දීම සඳහා ඊළඟ දවසේ (සඳුදා) යලි මෙහි පැමිණෙන ලෙස මරිය තුමිය ඔහුට  උපදෙස් දුන්නාය.

එහෙත් ආපසු ගෙදර ආ ඔහුට දක්නට ලැබුනේ දැඩි සේ රෝගාතුරව පසුවන සිය මාමා ය. මාමා  රෝගී වීම නිසා සඳුදා ඔහුට නිවසින් පිට වීමට ඉඩ ලැබුනේ නැත. මාමාගේ තත්වය දරුණු අතට හැරෙනු දුටු ඔහු ඊළඟ දවසේ උදෑසන පල්ලියට යාමට තීරණය කළේය. ඒ, මාමාට අන්තිම ආශීර්වාදය දානය කිරීමට පියතුමා කැඳවාගෙන එම සඳහාය.

ඒ දෙසැම්බර 12 වනදා අඟහරුවදායි. එදා පල්ලියට යන විට ඔහු මරිය තුමිය මුණගැසෙන කන්දේ බටහිර ප්‍රදේශය මගහැර නැගෙනහිර පැත්තෙන් යන්නට හැරුනේ ය. පුදුමයකි! ඔහු දුටුවේ තමන් එනතෙක් එම පැත්තේ බලාපොරොත්තුවෙන් සිටින මරිය මෑණියෝ යි.

"මගේ පුතුන් ගෙන් කුඩා ම පුතේ! මොකක් ද ප්‍රශ්නය? " ඇය විමසුවාය.

මෙයින් දැඩි වේදනාවට පත් දියෙගෝ, මෑණියන්ගෙන් සමාව ඉල්ලා, සියල්ල විස්තර කළේය. සඳුදා පැමිණීමට නොහැකිවූයේ මාමාමා ගේ රෝගය නිසා බවත් දැන් යන කාරණයත් ඔහු විස්තර කළේය.

"මගේ පුතේ! බිය නොවන්න! දුක් නොවන්න!" ඈ ඔහුට කීවාය.

"ඔබේ මාමාට මේ මොහොතේ සුවය ලැබෙනවා. ඔබ දැන් මා ඔබට කී පණිවිඩය ඉටු කරන්න. කන්ද මුදුනට ගොස් එහි පිපී තිබෙන මල් නෙලාගෙන එන්න. එය මා ඔබේ අතේ යවන සලකුණයි" ඈ උපදෙස්  දුන්නාය.

"මොකක්? මේ දෙසැම්බරේ - මේ සීත කාලේ  - මල් පිපිලා ?" ඔහුට සිතිනි. එහෙත් කන්ද මුදුනට ගිය ඔහුට දක්නට ලැබුනේ ගල් අතරේ පිපී තිබු කැස්ටීලියන් රෝස මල් යායකි.

දියේගෝ තමන් පොරවාගෙන සිටි ටිල්මාව (එනම් කස්ටෙක් වරුන් සීතට අඳින කාප්යක් බඳු දිග සළුව) පිරෙන තෙක් රෝසමල් එකතු කරගත්තේය. වහාම  මරිය වහන්සේ සිටින තැනට යලිත් ගියේය. මරිය තුමිය මල් ඉහිරීම වැලැක්වීම  සඳහා සලුවේ එක පැත්තක්  දියෙගෝ ගේ  කරේ  එතුවා ය.

"දැන් මෙයත් රැගෙන රදගුරුතුමා හමුවන්න. මම ඔබ අතේ යවන සලකුණ මෙයයි. මෙය ඔබ පෙන්විය යුත්තේ රදගුරු තුමාට පමණයි. එතුමා ඉදිරියට යන තෙක් ඔබේ දෑත් මෙම සළුවෙන් ඉවත් කරන්න එපා. අද සිදු වූ සියලු දේ එතුමාට පවසන්න." ඕ උපදෙස් දුන්නාය.

රදගුරු තුමා අබියසට ගිය දියේගෝ මෑණියන්ගේ සලකුණු යැයි තමා සිතා සිටි රෝස මල් සහිත සළුව එතුමා ඉදිරියේ දිග හැරියේය.

සළුව නෙත ගැටුණු රදගුරු තුමා හුනස්නෙන් නැගී එය ඉදිරියේ දනින් වැටුනේ ය. එතුමා සමග කාමරයේ සිටි කිහිප දෙනාටත් දන ගැසුනේය. එතුමා දණින් වැටුනේ සළුවේ සිත්තම් වී තිබූ දේවමෑණියන් ගේ  ප්‍රාතිහාර්යාත්මක රුව අබියස ය.

( මේ අතර මරිය  මෑණියන් බර්නදිනෝට ද දර්ශනය වී ඔහුට තමා හඳුන්වා දී ඔහු සුවපත් කර තිබිණ.)

වහාම දෙව්මැදුර ගොඩනැගීම ආරම්භ කල රදගුරු තුමා දෙසැම්බර 26 වැනිදා එහි කුඩා දෙව්මැදුරක් ගොඩනගා ගුවාඩලුපේ අප මෑණියන් ගේ රුව සටහන් වූ ටිල්මා සළුව එහි තැන්පත් කළේය.

සිතුවමේ සලකුණු

ඊටත් වඩා වැදගත් වන්නේ මේ සළුවේ සටහන්ව තිබූ සංකේතයි.



මේ රූපයේ සිටින යුවතියගේ (මරිය තුමිය ගේ) මුහුණ සාම්ප්‍රදායික ජුදා තරුණියක ගේ රුව නොවේ. එය ලතින් ඇමෙරිකාවේ ජීවත් වූ රතු ඉන්දියානු වනිතාවක ගේ මුහුණුවරයි. ඒ හැරුණු කොට එහි තිබුණු සෑම සලකුණක් ම රතු ඉන්දියානුවන්ට සුපුරුදු සංකේත ය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටත් ඒ අනුව දේව මෑණියන් හා ගැලවීමේ අබිරහස් අවබෝධ කරගැනීමටත් රතු ඉන්දියානුවන්ට වැඩි වෙලාවක් ගත වුයේ නැත.

රෝස සහ ඇස්ටෙක්වරුන්ට ආවේනික මල් ගැවසුන ඇයගේ ගවුම ඇස්ටෙක් ගෝත්‍රයේ රාජ කුමාරියක ගේ ඇඳුමය. ඇයගේ නිල් පැහැ පිට කබාය අස්ටෙක්වරුන් ගේ දිව්‍ය රාජකීයත්වයේ සංකේතයයි. නිල් පැහැයෙන් අහස, ජීවිතය, සහ එක්සත් කම  සංකේතවත් වේ. පිට කබායේ ඇති තරු නව ශිෂ්ටාචාරයක සලකුණු ය. මරිය තුමිය දර්ශනය වුයේ හිරු දෙවි උපන් දිනයේ ය. මරිය තුමියගේ පිට කබායේ ඇති සලකුණු 1531 සුර්යනිවෘත්තිය (Winter solstice) පෙන්නුම් කරයි. එතුමිය සිටගෙන සිටින්නේ සුර්යයා ඉදිරිපිටය; එනම් සුර්යග්‍රහනයක දී මෙන් හිරු අඳුරු කරමිනි. මේ වනිතාව හිරුදෙවියන්ට වඩා ප්‍රබල බව එයින් පෙන්නුම් කරයි. එතුමිය සිටගෙන සිටින්නේ දේවදූතයකු විසින් දරා ගෙන සිටින චන්ද්‍රයා මතය. මරිය වහන්සේ රාත්‍රියට අධිපති සඳ දෙවියන්ටත් වඩා බලවත් ය. රාජකීයත්වයෙන් පුර්ණය.

එතුමිය කළු පැහැති මාතෘක පටියක් බැඳ සිටින්නී තමන් ගැබ් ගෙන සිටින බව පැවසීමටය. එනම් මවක බව කීමටය. සිතුවමේ මැදට වන්නට ප්‍රිය තුමිය ගේ දරු ගැබ  පෙදෙසින් රතු ඉන්දියානු කුරුසිය හැඩය ගත් පිච්ච මලකි. එතුමියගේ කුසේ සිටින දරුවා අති  මහත් බලැති දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා ය යන්නට එය සලකුණකි. එම පිච්ච මල ඇස්ටෙක් වරුන් ගේ නව විශ්වයේ කේන්ද්‍රය ලෙස ඔවුහු තේරුම් ගත්හ.

මෙම සළුවේ සිටි දේව මාතා වහන්සේගේ සියොළඟ පුරා තිබූ සලකුණු වලින් ප්‍රබෝධවත් වූ මෙක්සිකෝ වාසීහු දහස් සංඛ්‍යාත වශයෙන් කිතු දහම වැළඳ ගන්නට පටන් ගත්හ.

අද

මෙම චිත්‍රය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ රැසක් කර ඇතත් එය කෙසේ නිර්මාණය වුවක් දැයි විද්‍යාත්මකව ඉස්තර කිරීමට කිසිවකු සමත්ව නැත. එය අඳින ලද චිත්‍රයක් නොවේ. පෙනෙන්නට ඇත්තේ එය  මුද්‍රණය කරන ලද්දක් බවයි.

එදා මෙදා තුර වසර 500ක් ගතවීත් සිත්තම සුළුවෙන් හෝ අවර්ණ වී හෝ මැලවී හෝ පාට අඩුවී හෝ නැත. දෙව්මැදුරේ තිබු තෙතමනය, ඉටිපන්දම් දුම, දුහුවිල්ල, සීතල, උෂ්ණය වැනි විවිධ සාධක වලට ඔරොත්තු දෙමින් තවමත් ප්‍රථම දින කාන්තියම පෙන්වමින් සිත්තම  එලෙසම තිබේ. මේ ගැන පරීක්ෂණ කල විද්‍යාඥයන් පවසන්නේ ඊට හේතුව ද විද්‍යාත්මකව විස්තර කල නොහැකි බවයි. වරක් ඒ මත අම්ල (acid) තැවරුණ ද , තවත් වරක් එම දෙව්මැදුරේ (කිතුනු විරෝධීන් විසින්) බෝම්බයක් පුපුරවා හරිනු ලැබුව ද සිතුවමට අබ මල් රේණුවක හෝ අනතුරක් සිදුවූයේ නැත.


























Comments