කතෝලික සභාවේ නායකයන් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණ ධර්ම සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

"Return to Essentials" - Holy Father instructs Church Leadership 

පාප් වහන්සේ ක්‍යුරියා නිලධාරීන් ඇමැතූ අවස්ථාව 
(2016 ජනවාරි 19)

වඩාත් ගෞරවයෙන්, අවංකකමින් සහ පරිණතබවින් (මුහුකුරාගිය බවින්) යුතුව සිය කාර්යයන් ඉටු කරන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝම ක්‍යුරියාවේ කාදිනල් හිමිවරුන්ගෙන් හා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති. එල්සැල්වදෝරයේ හිටපු අගරදගුරු භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ තුමන් පැවසු අයුරු "දෙවියන්වහන්සේ ගේ දැවැන්ත ගැලවීමේ කාර්යය හා සසඳන කල තමන්ගේ කටයුතු කෙතරම් සුළු දැයි" නිතර සිතන ලෙස ද උන්වහන්සේ සභා පරිපාලන තන්ත්‍රයට උපදෙස් දෙති. සභාවේ මධ්‍යම පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම, "අධිෂ්ඨානපුර්වකව, පැහැදිලිබවින්, ධෛර්යයෙන් හා ස්ථිර අරමුණකින් යුතුව ක්‍රියාත්මක කරන" බව ද උන්වහන්සේ අවධාරණය කරති.

පාප් වහන්සේ මේ බව කියා සිටියේ  රෝම කියුරියාවේ නිලධාරීන් සමග පසුගිය නත්තල ආසන්නයේ (2015 දෙසැම්බර 21 වන දා) පැවැති නත්තල් හමුවේ දිය. රෝම කියුරියාව යනු වතිකානයේ සිට කතෝලික සභාවට නායකත්වය දෙන  සභාවේ ඉහළම පාලන තන්ත්‍රයයි.  ඊට අයත් කාදිනල් හා රදගුරු හිමිවරුන් නත්තල වෙනුවෙන් සාම්ප්‍රදායිකව පාප් වහන්සේ හමුවූ අවස්ථාවේ උන්වහන්සේ මෙම අවවාද දුන්හ.

කියුරියාවේ නිලධාරීන් ඉකුත් වසරේ (2014) නත්තලට තමන් මුණ ගැසුණු අවස්ථාවේ සභා පරිපාලන තන්ත්‍රයට වැළඳී  ඇති "රෝග" 15 ක් ගැන තමන් කතා කල බව ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී සිහිපත් කළහ.පරිපාලනය පෙලෙන එම රෝග නිසා 2015 වසර තුළ දී පවා "ආත්ම ගණනාවකට තුවාල සිදු කරමින් සමස්ත සභා දේහය දැඩි වේදනාවට පත් වූ" බව එතුමා පෙන්වා දුන්නේ ය.

"නිරතුරු අවංකව සභාව සිත් යොමුකරන එසේම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට එළඹෙන  කරුණ ස්ථිර වශයෙන් ප්‍රකාශ කල යුතු" යයි සුදොතුම් පියතුමා කීවේය. "එනම් කියුරියා ප්‍රතිසංස්කරණය , අධිෂ්ඨානපුර්වකව, පැහැදිලිබවින්, ධෛර්යයෙන් හා ස්ථිර අරමුණකින් යුතුව ක්‍රියාත්මක කරන බවයි. මන්ද සභාව නිරන්තරයෙන්  ප්‍රතිසංස්කරණය වන්නක් බැවිනි. Ecclesia semper reformanda"

කෙසේ නමුදු , කියුරියාව තුළ කැපවීමෙන්, භක්තියෙන්, වෘත්තීයභාවයෙන් සහ විශ්වාසවන්තව සේවාව කරන පිරිමින් සහ කාන්තාවන් තමන් මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරන බව සුදොතුම් පියතුමා කීවේය. ඔවුන් සභාවටත් පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයාටත් යදුමෙන් හා ක්‍රියාවෙන් සහයෝගය හා කීකරුකම දක්වන බව එතුමා පෙන්වා දුන්නේය.

"ජනතාවගේ සහ පූජකවරුන් ගේ ප්‍රතිරෝධයන්, වෙහෙසීම් හා අසාර්ථකවීම් යනු අභිවෘද්ධිය සඳහා අවස්ථා සහ පාඩම් මිස කිසිවිටෙකත් අධෛර්යයට පත්වීමට හේතු නොවේ. ඒවා අත්‍යවශ්‍ය දේ වෙත යලි හැරී ඒමට අපට උදාවන අවස්ථාවන්ය." එබැවින් අත්‍යවශ්‍ය අංග වෙත යළි හැරී එන්නැයි එතුමා කියුරියා නිලධාරී කාදිනල්-රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙහිලා කියුරියා නිලධාරීන් ගේ වැඩ කටයුතුවලට සහාය විය හැකි "ප්‍රායෝගික ආධාරක" ("practical aid")කිහිපයක් ඉදිරිපත් කල හැකි බව එතුමා කීවේය. මෙම ආධාරක ලේඛනය තමන් සකස් කලේ   Mercy  (දයා කරුණාව)යන ඉංග්‍රීසි වචනයේ ලතින් පදය වන  misericordia යන පදයට දී ඇති අක්ෂර බන්ධන විශ්ලේෂණ වලින් බවද පාප් වහන්සේ පැවැසුහ. මේවා උන්වහන්සේ හැඳින්වුයේ " අත්‍යවශ්‍ය ගුණධර්ම" හෙවත් Necessary Virtues" යනුවෙනි.මෙම ලේඛනය අධ්‍යයනය කොට තවදුරටත් ඒවා පුළුල් කිරීමට වතිකාන දෙපාර්තමේන්තු (Decasteries) වලට හැකියාව ඇති බව ද එතුමා පෙන්වා දුන්නේ ය.

පාප්වහන්සේ මෙම අත්‍යවශ්‍ය ගුණධර්ම 12ක් පෙන්වා දුන්නේ ය. එම අත්‍යවශ්‍ය ධර්ම ගුණ අතර එඬේරික -සේවකත්වය Pastorality, සූක්ෂ්ම බුද්ධිය, මනුෂ්‍යත්වය, විශ්වාසවන්ත බව, අවංකබව, පරිනතභාවය, ගෞරවය, බැහැපත්කම, නිර්භීතකම හා සන්සුන්කම ද වේ. ඒවාට වඩා ගැඹුරු අර්ථයක් ලැබීම සඳහා පාප් වහන්සේ එම ධර්ම ගුණ ඒවාට සමීප ක්‍රියාකාරකම් සමග සම්බන්ධ කර "යුගල ගුණධර්ම" බවට පත් කර තිබේ. සභා පරිපාලනයේ හා නායකත්වයේ සිටින්නන් මේවා වැඩි වර්ධනය කර ගත යුතු බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.

වතිකාන විශ්ලේෂකයන් පවසන්නේ ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම දේශනය  කියුරියාව ඉදිරිපිට ඉදිරිපත්  කළා වුවද, ඇත්තවශයෙන් ම එතුමාගේ මෙම  කතාවේ ඉලක්ක ග්‍රාහක කණ්ඩායම ලෝකය පුරා කතෝලික සභා නායකත්වයේ සිටින පූජක, පැවිදි, ගිහි සියල්ලන්ම බවයි. මේ නිසා මෙම දයාවේ වසරේ සැබෑ සභා ප්‍රතිසංස්කරණයක් පතන සියල්ලන් මෙම කතාවට සවන් දිය යුතු බවත්, ඒ අනුව තම තමන් ගේ නායකත්ව කාර්ය භාරය ගැන මෙනෙහි කල යුතු බවත්  ඔවුන් ගේ මතයයි. පාප් වහන්සේ සිය 'නත්තල් සුබපැතුම්' කතාවේ දී පෙන්වා දුන් කතෝලික සභා නායකත්වය තුළ තිබිය යුතු ධර්මගුණ සංස්කරණයකින් තොරව පල කරන්නේ මේ නිසාය.

එම අත්‍යවශ්‍ය ධර්ම ගුණ මෙසේය:
1. ධර්ම දූතික සහ එඬේරික මානසිකත්වය (Missionary and pastoral spirit): 
ක්‍යුරියාව"පැහැදිලිවම සාරවත් සහ ඵලදායි ස්ථානයක් බවට පත්වන්නේ ධර්ම දූතික ජීව ගුණය නිසා" බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. "අපගේ ක්‍රියාකාරකම්වල ඵලදායිතාව, කාර්යක්ෂම බව සහ විශ්වසනීයත්වයේ සහතිකය එයයි." එඬේරික මානසිකත්වය, ධර්ම දූතික ජීවගුණය පෝෂණය කිරීමසඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. "විශේෂයෙන් ම, එඬේරික මානසිකත්වය පූජකතුමකුට ,අත්‍යවශ්‍යයික අත්හල නොහැකි ධර්ම ගුණයකි. එය ප්‍රදර්ශනය වන්නේ පූජකතුමකු සිය එදිනෙදා ජීවිතයේ දී, බැටළු රැල රැකබලා ගැනීමට කැපවුණු යහපත් එඬේරාණන්  අනුගමනය කරමින්, එම රැල වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමට දරනා උත්සාහය තුළය.කියුරියා ජීවිතයේ හා පජක ජීවිතයේ මිනුම් දණ්ඩ එඬේරික ජීවිතයයි.මෙම පියාපත් යුගල නොමැතිව අපට පියෑඹිය නොහැකිය. එසේ ම 'විශ්වාසවන්ත සේවකයා ගේ' ප්‍රීතිය භුක්ති විඳිය නොහැකිය. (මතෙව්:25:14-30)

2. ඖචිත්‍යය සහ  විචක්ෂණය (Idoneity and sagacity): 
ඖචිත්‍යය හෙවත් යෝග්‍යතාව යනුවෙන් අදහස් කෙරෙන්නේ අපට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරයන් බුද්ධියෙනුත් හා විදර්ශනාවෙනුත් යුතුව හැකිතරම් ඉහල මට්ටමින්  කරගැනීම සඳහා, අවශ්‍ය වන දේ අත්පත් කර ගැනීමට අප පෞද්ගලිකව දරන වෑයමයි. විචක්ෂණය යනු ප්‍රඥාවෙන් හා නිර්මාණශීලිත්වයෙන් යුතුව අවස්ථාවන් අවබෝධකොටගෙන  ඒවාට මුහුණ දීමට ඇති සුදානමය. ඖචිත්‍යය සහ  විචක්ෂණය යන යුගල ගුණ, දේව වරප්‍රසාදයට අපගේ මිනිස් ප්‍රතිචාරය නියෝජනය කරන්නේ ය. එය, "දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ නැතැයි සිතා සියල්ල කරන්න, ඊළඟට , ඔබ යැයි කියා කෙනෙක් නැති බව සිතා ඒ සියල්ල දෙවියන් වහන්සේ අත තබන්නැ"  යන ආප්තෝපදේශය අනුගමනය කිරීමට අප යොමු කරන්නේය. එය ශුද්ධෝත්තම 11 වැනි ක්ලෙමන්ට් පාප් වහන්සේ ගේ යැදුම දිනපතා යදින බැතිමත් ශ්‍රාවකයකු ගේ ප්‍රවේශයට සමානය. එම යැදුම මෙසේය: "ස්වාමීනි, ඔබගේ ප්‍රඥාවෙන් මට මඟ පෙන්වීමටත්, ඔබගේ යුක්තියෙන් මා හික්මවීමටත්, ඔබගේ දයා කරුණාවෙන් මා සැනසීමටත්, ඔබගේ බලයෙන් මා ආරක්ෂා කිරීමටත් කරුණා කළ මැනව. මාගේ සියලු කල්පනා, වචන, ක්‍රියා සහ දුක් කරදර ඔබවහන්සේට කැපකිරීමට මම ආශා වෙමි. එසේ කොට මෙතැන් සිට ඔබ ගැන පමණක් සිතීමටත්, ඔබ ගැන පමණක් කතා කිරීමටත්, මාගේ සියලු ක්‍රියා ඔබවහන්සේ ගේ මහිමයට බාර දීමටත්, ඔබ අභිමත වන ඕනෑම වේදනාවක් විඳීමටත් මට අනුග්‍රහය ලබා දුන මැනව."

3. ආධ්‍යාත්මිකත්වය සහ මනුෂ්‍යත්වය  (Spirituality and humanity):  ආධ්‍යාත්මිකත්වය යනු සභාවේ සහ කිතුනු ජීවිතයේ සියලු සේවාවල කොඳු නාරටියයි. අපගේ වැඩ කටයුතු පෝෂණය කොට මිනිස් දුවලකම් හා දුර්පරීක්ෂාවලින්  ආරක්ෂා කොට ඒවා නොනැසී පවත්වා ගන්නේ මෙම ගුණාංගයයි. අනෙක් පසින්, අපගේ ඇදහිල්ලේ සත්‍යතාවය හා සද්භාවය මුර්තිමත් කරන්නේ මනුෂ්‍යත්වය විසිනි. ස්වකීය මිනිස්කම අත්හැරදමන්නෝ සියල්ල අත්හැර දමති. කිසිවක් නොහැඟෙන, නොදැනෙන, කිසිවකින් සලිත නොවන රොබෝ වැනි යන්ත්‍ර වලින් අප වෙනස් වන්නේ මනුෂ්‍යත්වය නිසා ය. වේදනාවෙන් හඬන්නටත් හිත පුරා සිනාසෙන්නටත් අපට නොහැකි බව වැටහුණු දාට, "මනුෂ්‍යයන්"ගේ සිට වෙනත් යමක් දක්වා අප පරිවර්තනය වීම ආරම්භ වී ඇති බව අප තේරුම් ගත යුතු ය. මනුෂ්‍යත්වය යනු සියල්ලන් වෙත මෘදු බවත්, විශ්වාසවන්ත කමත්, ආචාරශිලිත්වයත් පෙන්වීමට දැනගෙන සිටීමයි. ආධ්‍යාත්මිකත්වය හා මනුෂ්‍යත්වය සහජ ගති ලක්ෂණ වන අතර, අප තුළ එම ද්වි ශක්තිය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කොට, මුළුමනින් අත්පත් කොටගෙන  දිනපතා ජීවත් කිරීමට අප ක්‍රියා කල යුතුය.

4. ආදර්ශය සහ විශ්වාසවන්තකම  Example and fidelity:
 "ජනතාවට ආදර්ශයක් වීමට ක්‍යුරියාව කැඳවනු ලැබ ඇතැ"යි භාග්‍යවන්ත සවැනි පාවුළු පාප් වහන්සේ සිහිපත් කළහ. එය, ආත්මයන්ට හිංසා කොට අපගේ සාක්ෂි දැරීමට හානිකරන ආකාරයේ අපචාර හා නින්දිත හැසිරීම් වලින් වැළකෙන ආකාරයේ ආදර්ශයකි. එම ආදර්ශය අපගේ කැපවීමටත් කැඳවීමටත්  විශ්වාසවන්ත වන එකකි. එසේම එය, "අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැන ද වංචනික දෙයි" (ලූක් 16:10)  යන ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම ගැනත් " මා කෙරෙහි අදහා ගත් මේ බාලයන්ගෙන් එක් අයකුටවත් බාධාවක් වන යමෙක් වේ ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම්  ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ඔහු ගිල්වා දැමීම ඔහුට යහපත. බාධා ඇතිකරන ලෝකයට වන විපතක මහත! යමකු නිසා බාධා ඇතිවේ ද , ඒ තැනැත්තාට වන විපතක මහත!" (මතෙව් 18:6-7) යන ඉගැන්වීම ගැනත් සැලකිල්ලෙන් සිටින ආකාරයේ ආදර්ශයකි.  

5. තාර්කිකත්වය සහ මෘදු බව  Rationality and gentleness:
 තාර්කිකත්වය හෙවත් බුද්ධිමත් බව පමණ ඉක්මවා ආවේගාත්මක වීමෙන් අප වලක්වයි. අනෙක් පසින් මෘදු බව සීමාව ඉක්මවූ නිලධාරිවාදයෙන්, වැඩසටහන් හා සැලසුම්වලින් අප වැලකීමට අපට උදව් වෙයි. සමතුළිත පෞරුෂත්වයක් සඳහා මෙම ගුණාංග යුගල අත්‍යවශ්‍ය ය. "ආත්මයක් රළු පරුෂ ද නැතහොත් දුර්වල හෝ සියුමැළි ද යන කරුණ කෙරෙහි සතුරා සිය අවධානය පරෙස්සමින් යොමුකරයි. ආත්මය සියුමැලි නම්, ඊට වඩා වැඩි දුක් පීඩාවලටත්  අවුලටත් පත් කිරීම සඳහා එය වඩාත් සියුමැලි  කිරීමට සතුරා මාන උත්සාහ කරයි."

6.වරදක් සිදුනොවන බව සහ අධිෂ්ඨානශීලී බව  Innocuousness and determination: 
වරදක් සිදුනොවන බව යන්නෙන් අදහස් කෙරෙන්නේ අපගේ විනිශ්චයන් හා  තීරණ ගැනීමේ දී පරීක්ෂාකාරී වීමටත් ආවේගශීලි හා ඉක්මන් තීරණ වලට එළඹීමෙන් වැලකීමටත් ඇති හැකියාවයි. එය, පරෙස්සමින් හා අවධානයෙන් ක්‍රියාකරමින් සියලු අවස්ථා හා සිද්ධි වලදී  අප තුළත් සෙසු අය  තුළත්  ඇති විශිෂ්ටතම දේ පිටතට ගැනීමට ඇති හැකියාවයි.  අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුනට කරන්න යන රන් ආඥාව ද මෙයට අඩංගු ය.( මතෙව් 7:12 සහ ලූක් 6:31) අධිෂ්ඨානශීලීබව යනු තිර අදිටනින්,පැහැදිලි දැක්මෙන් හා දෙවියන් වහන්ස්ට කීකරු කමින් පමණක් නොතර ක්‍රියා කිරීමයි.

7. දයාව සහ සත්‍යය Charity and truth:
ක්‍රිස්තියානි ජීවිතයේ වෙන් කල නොහැකි ගුණධර්ම  දෙකක් වන්නේ "දයාවෙන් සත්‍යය කතා කිරීමත් සත්‍යයෙන් දයාව ජීවත්කිරීම ය." (එපීස 4:15) සත්‍යයෙන් තොර දයාව විනාශකාරී ආචාරශිලීත්වයක් වන අතර දයාවෙන් තොර සත්‍යය දුර නොපෙනෙන  නීතිගරුකත්වයක් වෙයි.

8. අවංකකම සහ පරිනතබව Honesty and maturity :
අවංකකම යනු රිජුබව හා අකුටිල බවයි. එසේම අවංකකම යනු ස්ථිර හා අචපලබවයි. අපටත් දෙවියන් වහන්සේටත් සම්පූර්ණයෙන් අවංක වීමයි. අවංක පුද්ගලයෙක් තමා දෙස වෙනත් අය  බලා සිටියදී පමණක් දැහැමිව, යහපත්ව හා ගුණවත්ව ක්‍රියා නොකරයි. තමා කිසිවෙකුට හෝ හසුවේ යැයි බියක් අවංක පුද්ගලයකු තුළ නොමැත. මන්ද ඔහු  තමා කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිවිටෙකත් පාවා නොදෙන බැවිනි. අවංක පුද්ගලයකු කිසිවිටෙකත් සුබ අස්නේ එන "නපුරු සේවකයා" සේ (මතෙව් 4:48-51) තමන් වෙත  පවරන ලද පුද්ගලයන් හෝ කාර්යභාරයන් තමන් සිතැඟි ලෙස පාලනය  කරන්නේ නැත. අවංකකම යනු  සෙසු සියලු ගුණධර්ම  සවි වී ඇති පදනමයි. පරිනතබව යනු අපගේ ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික තිළිණයන් අතර සමතුළිත බව හා සුසංයෝගය ඇතිකර ගැනීමට අප තුළ ඇති උත්සාහයයි. එය, වයස කිසිසේත් අදාළ නොවන, කිසිදාකත් අවසන් නොවන සංවර්ධන ක්‍රියාවලියක ඉලක්කය හා ඵලයයි.


9. ගෞරවාන්විතබව හා බැහැපත්කම Respectfulness and humility : ගෞරවාන්විතබව යනු, සෙසු අය වෙතත්, ස්වකීය වැඩ කටයුතු වෙතත්, තම ශ්‍රේෂ්ඨයන්  හා තමන් යටතේ වැඩකරන්නන් වෙතත්, තම ලිපි ලේඛන හා ලිපි ගොනු වෙතත්, පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය වෙතත්  අව්‍යාජ ගෞරවයක් දැක්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන,  උතුම් සහ විදග්ධ පුද්ගලයන් තුළ ඇති අමිල උරුමයකි.  මෙම උරුමය ඇති පුද්ගලයෝ සියල්ලට පරෙස්සමින් සවන් දෙති; විනීතව කතා කරති. බැහැපත්කම යනු තමා ශුන්‍ය බවත්, දෙවියන් වහන්සේගෙන් තොරව තමන්ට කිසිවක් කල නොහැකි බවත් අවබෝධ වූ විට සෙසු සියල්ලන්ට වඩා වැදගත් පුද්ගලයන් බවට පත්වන සාන්තුවරුන්  සහ දෙවිවරුන් බඳු මිනිසුන් තුළ ඇති ධර්මගුනයයි.

10. අනලස් බව (උද්‍යෝගය ) සහ සැලකිල්ල  Diligence and attentiveness :
අප දෙවියන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ ගේ සංරක්ෂණය කෙරෙහිත් විශ්වාස කරන තරමට, අපවම ත්‍යාජ  කිරීමට තරම්  උද්යෝගයකින් හා සුදානමකින් අපි වර්ධනය  වෙමු.  මෙම වර්ධනය සිදුවන්නේ වැඩියෙන් දෙන තරමට වැඩියෙන් අප ලබන්නේය යන දැනුම තුළය. අපගේ හද දොරටු ප්‍රේම කිරීමට වැසී ඇත්නම්, අපගේ දෑත් දීමට වැසී ඇත්නම්, අපගේ නිවෙස් ආගන්තුක සත්කාරයට වැසී ඇත්නම්, අපගේ දෙව්මැදුරු (පුද්ගලයන්) ආදරයෙන්  පිලිගැනීමටත් භාර ගැනීමටත් වැසී ඇත්නම්,  ලොවපුරා සියලු බැසිලිකාවල ඇති  ශුද්ධ දොරටු සියලල විවෘත කලත් එයින් අත්වන යහපත කුමක් ද? සැලකිල්ල හෙවත් අවධානය යනු ඉතා කුඩා දේ සඳහා ඇති සැලකිල්ලයි. සැලකිල්ල යනු, අපගේ දුසිරිත්, අසාර්ථකත්වයන් හෝ බැරිකම් වලට  යටපත් නොවී අපට් හැකි උපරිම ශක්තියෙන් කටයුතු කිරීමයි.ශුද්ධ වූ වින්සන්ට් ද පාවුලා තුමා මෙසේ යාච්ඥා කිරීමට පුරුදුව සිටියේ ය: "ස්වාමීනි, මට නිතරම මා අවට සිටින්නන් ගැන සලකිල්ලෙන් උදව් වුව මැනව . කනස්සල්ලෙන් සහ නොසතුටින් සිටින්නන් ගැනද, නිහඬව වේදනා විඳින්නන් ගැන ද, තමන් තනි වී හෝ අත්හැර දමන ලද ය අය යයි සිතන අය කෙරෙහි ද සැලකිල්ල දැක්වීමට මට සහාය වුව මැනව. 

11. නිර්භීතකමසහ  සුපරීක්ෂාකාරීබව Intrepidness and alertness :
නිර්භීතකම යනුවෙන් අදහස් කෙරෙන්නේ සිංහ ලෙන තුළ සිටි දානියෙල් සහ ගොලායත් ඉදිරිපිට සිටි දාවිත් සේ කරදර, හිරිහැර හා අවහිර ඉදිරියේ නිර්භයව සිටීමයි. ස්ථිර අරමුණකින් යුතුව, එඩිතරකමින්, අධිෂ්ඨානයෙන් යුතුව "හොඳ සෙබලෙකු සේ " (2 තිමති 2:3-4) ක්‍රියා කිරීම ද එයින් අදහස් කෙරේ. එසේම, ආබ්‍රහම් සහ මරියතුමිය සේ වහාම ප්‍රථම පියවර ගැනීමට සුදාමින් සිටීම ද මෙහි තවත් අර්ථයකි. අනෙක් අතින්, සුපරීක්ෂාකාරීබව යනු, අස්ථිරවූත් ක්ෂණික වූත් භෞතික දේවලට ඇලී ගැලී නොසිට, නිදහසේ සහ පහසුවෙන් ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. ගීතාවලිය පොතේ 61(62)  වන තෙහිලි ගීය මෙසේ කියයි: "වස්තුව වැඩිවුනත් ඊට ඇලුම් නොවන්න." මේ නිසා, සුපරීක්ෂාවෙන් සිටීම යනු, අනවශ්‍ය දේ එක් රැස් කරගනිමින් බර වැඩි කරගනිමින් නොසිට, නිතර ගමනේ යෙදීමයි. එසේම  නිතර තමාගේ අවශ්‍යතා සහ පටු අභිලාෂයන් හඹා යමින් නොසිට ගමනේ යෙදීමයි.

12. විශ්වාසවන්තකම සහ සන්සුන් කම  Trustworthiness and sobriety:
විශ්වාසවන්ත පුද්ගලයකු යනු කවුද?  කිසිවකු තමන් ගේ වැඩ සුපරීක්ෂා කරන වෙලාවලදීත්, ඊටත් වඩා, තමන් තනිව කටයුතු කරන වෙලාවලදීත්, ස්වකීය වගකීම් බැරෑරුම්ව සහ වගකීමෙන් යුතුව ඉටුකරන අය විශ්වාසවන්ත පුද්ගලයෝය. ඔවුන් තුළින් විහිදෙන්නේ ශාන්තිමත් බවකි. මන්ද ඔවුන් කිසිදිනෙකත් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පාවා නොදෙන නිසාය. සන්සුන්කම යනු වැඩිමනත් දේ ත්‍යාජ කිරීමටත්, වර්තමානයේ ප්‍රමුඛව ගෞරවයට පාත්‍ර වන පාරිභෝගිකවාදී මානසිකත්වයට එරෙහි වීමටත් ඇති හැකියාවයි. සන්සුන් කම යනු ලෝකය දෙවියන් වන්සේගේ දෑසිනුත් දුප්පතුන් ගේ පැත්තෙනුත් දැකීමයි. සන්සුන්කම යනු ජීවිත ශෛලියකි.   කෙනෙකු සෙසු අය වෙත යොමුකරන සැලකිල්ල සහ  ඉටුකරන සේවාව තුළින්   එය ප්‍රදර්ශනය වේ. සන්සුන් පුද්ගලයා සියලු කාරනා වලදී ස්ථීරසාරය. අවංකය. මන්ද එවැනි පුද්ගලයකුට තමා 'අඩු'කරගැනීමට, යළි සොයාගැනීමට, ප්‍රතිචක්‍රණය කර ගැනීමට හා මධ්‍යස්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇති නිසාය.

 පාප් වහන්සේ රෝම ක්‍යුරියාවේ නිලධාරි මණ්ඩලයට දුන් මෙම දේශනය නිමා කලේ භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා කියන්නට පුරුදු වී සිටි කවියකිනි. මෙය මුලින් ජෝන් ඩියර්ඩන් කාදිනල් තුමන් විසින් ඉදිරිපත් කරන ලද්දකි.

එය අතිශය සොඳුරු අර්ථාන්විත කවියකි. එයින් කියවෙන්නේ වර්තමානයේ ජීවත්වන කතෝලික පුජක, පැවිදි, ගිහි අප, මේ සභාව නමැති ආයතනයේ "පරම ප්‍රධානීන්" නොවන බවයි. අප කරන්නේ , නොහොත් කල යුතු වන්නේ සභාවේ පරම ස්වාමියාණන් අප වෙත පවරා ඇති වැඩ කොටසයි. අප අද පැල කරන බීජ  වැඩෙනු දකින්නට හෝ සාත්තු කරන පැල මහා ගස් වනු දකින්නට අප ජීවත් නොවනු ඇත. මන්ද අනාගතය අයිති වන්නේ අපගේ ස්වාමියානන්ට නිසා ය. එහෙත් අප කරන සේවාව මුලින් කී ගුනධර්ම අනුව "උන්වහන්සේ ගේ නැගීමත් - මගේ බැසීමත්" අරමුණු කරගනිමින් කලොත්, එය ස්වාමියාණන්ට ප්‍රසන්න වනු ඇත යන්න එහි දල අදහසයි. දීර්ඝ කවියක් වන එහි අවසන් කොටස මෙසේය:

"අප අද පැල කරන්නේ  දිනෙක පැල වන බීජ ය.
දිනෙක පැල කල බීජ වලට අප අද වතුර දමන්නේ,
සෙසු අය ඒවා බලා ගන්නා බව අප දන්නා නිසාය. 
අප අද පදනම් දමන්නේ දිනෙක ගොඩ නැගෙන යම් දෙයකට ය.
අප මුහුන් දමන්නේ අපගේ හැකියාවන් වර්ධනය කරන දෙයකටය.
අපට සියල්ල කල නොහැකිය.
එහෙත් මුලපිරීම විමුක්තිය ලබා දෙන්නේ ය. 
ඇතැම් විට එය අසම්පුර්ණව පවතිනු ඇත; එහෙත් එය ආරම්භයකි, දිගු ගමනක එක් පියවරකි. 
දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයට ඇතුළු වී ඉතිරිය ඉටුකිරීමට, එය අවස්ථාවකි. 
ඇතැම් විට එය  සම්පුර්ණවීම අපට කවදාවත් දැකගත නොහැකි වනු ඇත. 
එහෙත්, ඇත්තෙන්ම, ස්වාමියාණන් හා කම්කරුවන් අතර ඇති වෙනස මෙයයි.
අප කම්කරුවෝය. ප්‍රධාන ගොඩනගන්නා නොවෙමු. 
අප සේවකයෝ ය. විමුක්ති දායකයා නොවෙමු. 
අපි අපට හිමි නැති අනාගතයක දිවැසිවරුන් පමණි."

(NCR/RV. Picture from RV)





Comments