ප්‍රැන්සිස් පාප් වහන්සේ භාවනා කළ ප්‍රැන්සිස් අසීසි තුමාගේ පරිසර අනිමිසලෝචනය

Pope Francis' meditation on St. Francis' intimate relationship with the nature 




(2015 දෙසැම්බර 31)

2016  උදා විය.

නව වසරක උදාව අපට මතක් කර දෙන්නේ අපේ සුන්දර සොබා දහම හා එහි අසමසම මැවුම් කාරයාණන්වහන්සේ ය. එසේම  මේ සුන්දර නිර්මල සොබා දහම ආරක්ෂා කිරීමේ වගකීම එහි මැවුම්කරු දෙවියන් වහන්සේ විසින් අපට පවරා දී ඇති බව නව වසර අපට මතක් කර දෙයි.

සොබා දහම ආරක්ෂා කිරීම අරමුණු කරගත් අතිශය වැදගත් සිද්ධි දෙකක් ඉකුත් වසරේ දී සිදුවිය. ඉන් පළමුවැන්න පාප් වහන්සේ නමක් විසින් ලියන ලද පරිසර විශ්ව ලේඛනය "Laudato Si" හෙවත් "ප්‍රශංසා වේ",  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු ලැබීමය.

එය කිතුනු නායකත්වය සහිත රටවලට බලපෑම් කල ලේඛනයක් විය. පැරිස් නුවර පැවැති ජගත් සංවිධාන කාලගුණ සමුළුවේදී පරිසර දූෂණය පාලනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ සම්මුතියකට ඒමට ලෝක නායකයන් පෙළඹවීමට එය සමත් විය.

පාප් වහන්සේ  සිය  "වේ ප්‍රසංසා"  විශ්ව ලේඛනය මගින් පෙන්වා දුන්නේ පරිසර ගරුත්වය හා මානව ගරුත්වය එකම කාසියේ දෙපැත්ත බවයි. මානවයා නොරැක,පරිසරය රැකිය නොහැකිය. මානවයා රක බලා  නොගෙන, පරිසරය රැක බලා ගත නොහැකි බව උන්වහන්සේ අවධාරණය කළහ. සමස්ත ලෝකයම මිනිසා ආරක්ෂා කිරීමට, මිනිස් අයිතිවාසිකම රැකීමට පියවර ගන්න විට පරිසරයේ අයිතිවාසිකම් ද රැකෙන බව එතුමා ගේ මතය විය.

ස්වකීය පාප් ධුරයේ  නාමය තෝරාගත් අසීසියේ ප්‍රැන්සිස් තුමා මෙම මතය තහවුරු කරන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එතුමා මේ බව සඳහන් කරන්නේ "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයේ ය.  පරිසරයේ හා සාමයේ සාන්තුවරයා වන අසීසියේ ප්‍රැන්සිස් තුමා ගැන ප්‍රැන්සිස් පාප් වහන්සේ "වේ ප්‍රශංසා " විශ්ව ලේඛනයේ කරන ප්‍රකාශය මෙවැනි දිනෙක  භාවනා කිරීම වැදගත් ය.

"සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා බෙහෙවින් දුර්වල ජනතාව රැක බලා ගැනීම හා පුර්ණ පරිසර විද්‍යාව පිලිබඳව අපට ඇති  අති උසස්ම හා  විශිෂ්ටතම නිදර්ශනයයි. එතුමා ඉතා ප්‍රීතිමත්ව හා විශ්වසනීයව එම ජීවිතය ජීවත් කළේය.

කිතුනු නොවන ජනතාව විසින් ද මහත් ආදරයෙන් සලකනු ලබන එතුමා පරිසර ක්ෂේත්‍රය තුළ වැඩ කරන්නන්  හා පරිසර විද්‍යාව  අධ්‍යයනය කරන්නන් ගේ  ආරක්ෂක සාන්තුවරයා ය. සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා දෙවියන් වහන්සේ ගේ මැවිල්ල පිළිබඳවත්, දුප්පතුන් හා සමාජයෙන් බැහැර කරන ලද අය කෙරෙහිත් විශේෂ සැලකිල්ලකින් හා ප්‍රේමයකින් ක්‍රියා කලේ ය. එතුමා සියල්ලනට  ආදරය  කලේය. එසේම, එතුමා තුළ වූ ප්‍රීතිය, එතුමා ගේ තමන්ව ම පරිත්‍යාග කරන ත්‍යාගශීලිභාවය හා විවෘත හදවතකින් ජීවත් වීමේ විශේෂ ගුණය නිසා ජනතාව ද එතුමාට ආදරය කළහ. භාවනානුයෝගියකු සේ ම වන්දනාකරුවකු ද වූ ප්‍රැන්සිස් තුමා සරල, චාම් ජීවිතයක් ගත කරමින් දෙවියන් වහන්සේ සමග ද සහෝදර ජනතාව සමග ද සොබා දහම හා තමන් සමග ද සංහිඳියාවෙන් යුත් සුසංස්වර ජීවිතයක් ගත කළේය.එතුමා අපට පෙන්වා දෙන වැදගත් සාධයක් තිබේ. එනම්, සොබා දහම කෙරෙහි ඇති සැලකිල්ලත්, දුප්පතුන් හා කොන් කරන ලද්දවුනට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමත්, මානව සමාජය කෙරෙහි කැපවීමත් ස්වකීය ඇතුලාන්ත සාමයත් යන සාධක අතර වෙන් කල නොහැකි බැඳීමක් ඇති බවයි.

පරිපූර්ණ පරිසර විද්‍යාවක් දැකීමට අපට උපකාර කරන අසීසියේ සාන්ත ප්‍රැන්සිස් තුමා, ගණිතයේ සහ ජීව විද්‍යාවේ භාෂාව ඉක්මවා යන ප්‍රභේදයන් වෙත විවෘත  වීමට අපට ආරාධනා කරයි. එසේ කොට මනුෂ්‍යයකු වීමේ හදවත වෙත එතුමා අප රැගෙන යයි. අප කිසිවකු සමග ප්‍රේමයෙන් වෙලුනු විට අපට සිදුවන්නේ යම් සේ ද ප්‍රැන්සිස් තුමා පරිසරය දුටු විට ද එසේම සිදු වෙයි. එතුමා හිරු දෙස බලන විට සඳු හෝ සියොතුන් හෝ කුඩාම සතුන් දෙස බලන විට, සියලු සෙසු මැවිලි ප්‍රශංසාවට ඇද  ගනිමින් එතුමන් ගේ හදවත ගීතයෙන් උතුරා යයි. එතුමා මැවිල්ල සමග කතා බහ කළේය; මල් වලට දේශනා කළේය. තුරු ලිය මල් ඵල වලට බුද්ධිය ආරෝපණය කරමින් "දෙවියන් වහන්සේට පසස ගී ගයන්න පැමිණෙන්නැයි " ඒවාට ආරාධනා කළේය. ප්‍රැන්සිස් තුමන් එතුමන් වටා  තිබූ  ලෝකයට ප්‍රතිචාර දැක්වීම වූ කලී බුද්ධිමය රසාස්වාදනයක් හෝ ආර්ථික ගණනය කිරීමක් හෝ නොව ඒවායින් ඔබ්බට යන්නකි. එතුමාට සෑම මැවිල්ලක් ම සෙනෙහසින් බැඳුනු ස්වකීය සොහොයුරකු හෝ සොයුරියක විය.  ප්‍රවර්තනය වන සියල්ල රක බලා ගැනීම සඳහා තමාට කැඳවීමක් ලැබී ඇතැයි එතුමන් විශ්වාස කලේ  ඒ නිසාය. එතුමා ගේ ගෝලයකු වූ සාන්ත බොනවැන්චර් තුමා ඒ ගැන මෙසේ පවසයි: "සියල්ලේ මූලික ප්‍රභවය ගැන භාවනා කිරීමෙන් පසුව, විපුල වූ ශ්‍රද්ධාවකින් යුතුව, කෙතරම් කුඩා වූ මැවිල්ලක් වුව ද එතුමා හැඳින්වුයේ විය සොයුරකු හෝ සොයුරියක ලෙසය."


මෙය හුදු බොළඳ රෝමැන්ටිකවාදය නොවේ. මන්ද අප යම් යම් දේ දකින ආකාරය ජීවිතයේ අපගේ මනාපයන් තීරණය කිරීමෙහිලා බලපාන නිසාය. මෙම විවෘත භාවයෙන්,විශ්මයෙන් හා ගෞරවයෙන් යුතුව සොබා දහම හා පරිසරය වෙත අප ප්‍රවේශ නොවන්නේ නම්, ලෝකය සමග අපගේ ඇති සම්බන්ධතාවයේ දී සහෝදරත්වයේ සහ සෞන්දර්යයේ භාෂාව අප යොදා නොගන්නේ නම්, එම පරිසරය, සොබා දහම හා ලෝකය වෙත අපගේ ආකල්පය විය හැක්කේ ස්වාමිවරුන්, පාරිභෝගිකයන් හා අකාරුණික සූරාකන්නන් ආදී වශයෙනි. ඊට පරස්පරව, ප්‍රවර්තනය වන සියල්ල සමග අප ආත්මීය වශයෙන් නොහොත් හර්දයාංගම ලෙන්ගතුකමකින් එකමුතු වන්නේ නම්, සසුන්බවත් රැක  බලා ගැනීමත් නිරායාසයෙන්ම දිය උල්පතකි සේ ගලා එනු ඇත. සාන්ත ප්‍රැන්සිස් තුමන් ගේ දුප්පත්කමත් තාපසගුණයත් ව්‍යාජ එකක් නොවේ. එය වඩාත් රැඩිකල් ආකාරයේ තාපස ගුණයකි. එනම් යතාර්ථය ස්වකීය අරමුණු සඳහා අවභාවිත කරන හෝ පාලනය කරන හෝ වස්තුවක් බවට පරිවර්තනය කිරීම ප්‍රතික්ෂේප කරන ජීවිත ශෛලියකි.

එතෙකින් අවසන් නොවේ. ශුද්ධ ලියැවිල්ලට විශ්වාසවන්ත වූ සාන්ත ප්‍රැන්සිස් තුමා අපට තවත් වැදගත් දෙයකට ඇරැයුම් කරයි. එනම්, දෙවියන් වහන්සේ අපට කතා කිරීමටත්, සිය  අනන්ත වූ සුන්දරත්වය, අලංකාරය හා යහපත්කමෙන් අංශු මාත්‍රයක් දැකගැනීමටත් අපට වරම් සලසන්නා වූ විභූතිමත් ග්‍රන්ථයක් ලෙස සොබා දහම දකින ලෙස එතුමා අපට ඇරැයුම් කරයි. එතුමා ගේ මෙම දැක්ම ශුද්ධ ලියවිල්ල තුළ දක්නට ලැබේ.  'මැවිල්ලේ  තේජස හා ශෝභානත්වය සසඳා එහි කර්තෘවරයාණන් ගැන අවබෝධ කරගත හැකි ' බව සලමොන්ගේ ප්‍රඥාව පොතෙහි සඳහන් වේ. (ප්‍රඥාව 13:5) පාවුළු තුමා රෝම වරුනට ලියමින් මෙසේ කීවේය: 'ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන්වහන්සේ ගේ දිව්‍ය ලක්ෂණය වන උන්වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන් ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේ ගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත.' (රෝම: 1:20) මේ හේතුව නිසා සිය තාපසාරාම වත්තේ එක කොටසක නිදහසේ වල් පැලෑටි වැඩීමටත් වල් මල් පිපීමටත් ඉඩ දීම සඳහා එම කොටසට  අතවත් නොතබන්නැයි ප්‍රැන්සිස් අසීසි තුමා සිය සහෝදරවරුන්ගෙන් ඉල්ලා තිබිණ. එතුමා එසේ කලේ එය දකින අයට ඒවා දෙස බලා, එම සුන්දරත්වයේ කර්තෘවරයාණන් වෙත සිය සිත් යොමි කිරීමට හැකි වනු පිණිසය.

ලෝකය වූ කලී විසඳීමට ඇති ප්‍රශ්නයකට වඩා ප්‍රීතියෙන් හා ප්‍රශංසාවෙන්  භාවනා කල යුතු ප්‍රීතිමත් අබිරහසකි. "

"Laudato Si " හෙවත් "වේ ප්‍රශංසා: විශ්ව ලේඛනයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත ප්‍රැන්සිස් අසිසි තුමා ගේ පරිසර දැක්ම හා කැපවීම ගැන සඳහන් කරන්නේ එසේය.

වෙනත් වචන වලින් කියන්නේ නම් සාන්ත ප්‍රැන්සිස් තුමා සොබා දහම දෙස අනිමිසලෝචනයෙන් බලා සිටි හෙයින් එතුමාට  ඒ තුල ගැබ්ව ඇති එහි මැවුම්කාර දෙවිඳුන් ගේ මහා තේජස ඇත දැකීමට හැකිවිය. ඒ භාවනාව තුළ පරිසරය හා මානවයා අතර ඇති "ලේ " සම්බන්ධතාව - හෙවත් සහෝදරත්වය එතුමා අත්දැක්කේ ය. සතුන්, සියොතුන් හා ගස් වැල් සමග කතා කරමින් ඒවා සමග සුසංගත වීමට එතුමාට හැකිවුයේ මේ නිසාය. පරිසරය නසනු වෙනුවට ඊට ආදරය කොට එය රක බලා ගැනීමට එතුමන් යොමුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙස බව පාප් වහන්සේ සිය විශ්ව ලේඛනයේ පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රැන්සිස් අසීසි තුමාගේ සොබා දම් අනිමිසලෝචනය ගැන කී මේ කතාව නව වසරක් ඇරැඹීමට කෙතරම් යහපත් සිතිවිල්ලක් ද?

(මෙම ලිපිය පල කරන ලදදේ  කැනඩාවේ 2015 දෙසැම්බර 31 වන දා නමුදු ඒ වන විට ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවලට 2016 උදා වී තිබුනේ ය.)

Comments