"සරණාගතයන් දෙවියන් වහන්සේ ගේ දරුවෝ; අනුල්ලංඝනීය ගරුත්වයක් ඔවුන් සතුව තිබේ" - සරණාගත සරණය ගැන සුදොතුම් පියතුමන් ගේ නොසැලෙන ස්ථාවරය

"Refugees are God's Children" Pope re-confirms Church's standing on refugee crisis 

මේ විරෝධතා පෙළපාලියක් නොවේ. ඔස්ට්‍රියා දේශ සීමාවට ඇතුළු වූ සරණාගත පෙරහරයි

(2015 නොවැම්බර  18)
ප්‍රංශයේ පැරිස් නුවරට  ඉකුත් සිකුරාදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සිරියාවෙන් හා අප්‍රිකානු රටවලින් පලා එන සරණාගතයන් පිළිගැනීම සම්බන්ධයෙන් වූ යුරෝපා රටවල ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවන ලකුණු පහල වී තිබේ. පැරිස් ප්‍රහාරයෙන් යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධ බරපතල ගැටළු පැන  නැගුණ අතර , ඒ සමගම ISIS ත්‍රස්තවාදීන් ගේ 'බලකොටුව' වන සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් කෙරෙහි බරපතල  සක සංකා මතු වී තිබේ. අවම වශයෙන් කෙතරම් වේගයෙන් ඔවුන් යුරෝපා රටවලට අන්තර්ග්‍රහණය කරගත හැකිද යන්න ප්‍රශ්නය ද මතු වී ඇත. තම රටට සිරියානු සරණාගතයන් 10,000ක් පිළිගන්නා බවට  ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කල ප්‍රකාශයටත්  සිරියා සරණාගතයන් 25,000ක් දෙසැම්බර 31ට  පෙර කැනඩාවට ගෙන්වා ගන්නා බවට  නව අගමැති ජස්ටින් ටෘඩෝ දී ඇති ප්‍රතිඥාවත්,  විරුද්ධ පාක්ෂියන් ගේ අභියෝගයට ලක් වී තිබේ. මේ නිසා සමස්ත සරණාගත රැකවරණ වැඩපිළිවෙල ගැන අලුත් වාද විවාද හට ගෙන ඇත.

මේ අතර, ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ සරණාගතයන් හුදෙක් සංඛාලේඛන පමණක් නොවන බවයි. සරණාගතයන් එකිනෙකාට තමන් සතු නිසග මානව ගරුත්වයක් ඇති අතර "සරණාගතයන් දෙවියන් වහන්සේ ගේ දරුවෝ යැයි" උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ වනවිට සරණාගතයන් ලක්ෂ ගණනින් සිය උපන් බිම් හැර වෙනත් දේශවල රැකවරණ සොයා යන බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. "මේ සංඛ්‍යාලේඛන පසුබිමේ සිටින්නේ මිනිස් ජනතාවයි. ඔවුන් එකිනෙකාට නමක්, මුහුණක්, කතාන්තරයක් තිබෙනවා. එසේම, ඔවුන් දෙවියන් වහන්සේ ගේ දරුවන් නිසා අන්සන්තක කල නොහැකි ගරුත්වයක් ඔවුන් සතුව තිබෙනවා" යි  එතුමා කියා සිටියේ ය.   උන්වහන්සේ මෙසේ කියා සිටියේ රෝමයේ දී ඉකුත් නොවැම්බර 14 වන සෙනසුරාදා පැවැති සුවිශේෂී සංවත්සර උත්සවයක් දිය.  ජේසු නිකායික සරණාගත සේවාවේ (JRS ) 35 වැනි ජන්ම සංවත්සරය සැමරීම සඳහා මෙම හමුව සංවිධාන කර තිබිණි.

ජේසු නිකායික සරණාගත සේවාව ආරම්භ කරන ලද්දේ එම නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිවරයකු වූ ගරු පෙද්‍රෝ අරුප්පේ පියතුමන් විසිනි. එම පියතුමන් ගේ බලාපොරොත්තු අනුව යමින් සරණාගත සේවාව සරනාගතයන්ගේ මානව මෙන්ම ආධ්‍යාත්මික අවශ්‍යතා ද ඉටුකළ යුතුව ඇතැයි ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දුන්නේ ය. මෙම ප්‍රයත්නයේ දී අවධානය යොමු විය යුත්තේ හුදෙක් ඔවුන් ගේ ආහාර සහ නිවාස අවශ්‍යතා කෙරෙහි පමණක් නොවේ. ඔවුන් ගේ මානව ගරුත්වය ආරක්ෂා කිරීම, ඔවුනට සවන් දීම සහ ඔවුන් සැනසීම ද කල යුතුය."

"ඔවුන් එකිනෙකාට නමක්, මුහුණක්, කතාන්තරයක් තිබෙනවා..."


අප්‍රිකාව ආසියාව සහ මැද පෙරදිග රටවලින් පලා එන සරණාගතයන් ගේ කැපී පෙනෙන වර්ධනයක් මේ වන විට දැකිය හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් සිදු වූ දැවැන්තම පලා යාමයි.

ජේසු නිකායික සරණාගත සේවාව ලෝකයේ ගැටුම් ඇති ප්‍රදේශ වල සේම පශ්චාත්-ගැටුම් අවස්ථාවල පවතින රටවලත් සිය සේවා ඉටුකරන බව පාප් වහන්සේ පැවසූහ.  එම සේවාවේ දූත මෙහෙවර, "කැටුව යාම, සේවය කිරීම සහ සරණාගතයන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම" බව එතුමා සිහිපත් කළේය.

"මෙම දූත මෙහෙවර සිහි තබා ගෙන සිරියාව,ඇෆ්ගනිස්තානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ නැගෙනහිර දිග ප්‍රදේශ වල සේවා කරන ඔබගේ සහන සේවකයන් ගැන මා බොහෝ විට සිතනවා. එම ප්‍රදේශ වල මෙම සේවාව සඳහා බඳවා ගැනෙන්නේ විවිධ ආගමික විශ්වාස සහිත කාන්තාවන් හා පිරිමින් වීම විශේෂත්වයක්' යයි එතුමා කීවේය.

සරණාගතයන්ට සහන සැලසීමේ දී අධ්‍යාපනයේ ඇති වැදගත්කම ද පාප් වහන්සේ පහදා දුන්හ. "හුදෙක් ජීවිතය ගැට ගසා ගන්නවාට වඩා සරණාගතයන්ට සම්පතක් වන්නේ අධ්‍යාපනයයි. ඔවුන් තුළ බලාපොරොත්තුවේ පහන දල්වන්නේ ද අනාගතය ගැන විශ්වාසයක් ඇති කරන්නේ ද අධ්‍යාපනයයි. විශ්ෂයෙන් සිය රටවලින් පලා යාමට සිදු වූ දරුවන්ට පාසල් නිදහසේ කෙම් බිම් වන" බව ද එතුමා පෙන්වා දුන්නේ ය.

1980 දී ජේසු නිකායික සරණාගත සේවාව ආරම්භ කරන ලද්දේ එවකට එම නිකායේ ප්‍රාදේශාධිපති ගරු පෙද්‍රෝ අරුප්පේ පියතුමන් විසිනි. එතුමා 1945 හිරෝෂිමා පරමාණු බෝම්බයෙන් ජීවිතය ගලවා ගත් කෙනෙකි. අරුප්පේ පියතුමා එම ඛේදවාචකය නිසා සිදු වූ දැවැන්ත මානව අවතැන් වීම හා අසරණ වීම අත්දුටු බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.

සරණාගතයනට සරණ වන්නන්ට දේව කරුණාව බහුලව ලැබෙන බව එතුමා කීවේය. මන්ද " කරුණාව දක්වන්නෝ භාග්‍යවන්තයෝය; මන්ද ඔවුනට කරුණාව ලබෙන්නේ" යැයි ජේසු සමිඳුන් ම පැවසු නිසා යැයි එතුමා සඳහන් කලේ ය.


විවිධ සැක සංකා නොතකා  සරණාගතයනට සරණ විය යුතු ය යන්න කිතුණු විශ්වාසයයි. පැරිසියට අල්ල වූ ප්‍රහාරය එරට ජනාධිපති ප්‍රන්ශුවා හොලොන්ඩ් හැඳින්වුයේ, සියවස් ගණන තිස්සේ ප්‍රංශය සුරකින සාරධර්ම වලට එල්ල කල ප්‍රහාරයක් ලෙසයි. ISIS ත්‍රස්තවාදීන් ගේ අරමුණ වී ඇත්තේ ද ප්‍රජාතන්ත්‍රවාදය හා දියුණු සංස්කෘතිය විනාශ කිරීමයි. සිරියාවේ කිතුනුවන් ISIS ත්‍රස්තවාදයේ ප්‍රථම ගොදුර වූ අතර, එම ත්‍රස්තවාදීහු තම විශ්වාසයට අයත් නොවන වෙනත් මුස්ලිම් විශ්වාසයන්ට අයත් ජනතාව ද ඝාතනය කරමින් සිටිති. මේ නිසා එම ත්‍රස්තවාදයෙන් හා සිරියාවේ ආණ්ඩුව හා කැරලිකරුවන් අතර යුද්ධයේ බිහිසුණු ආදීනව වලින් ගැලවී යුරෝපයට  පලා එන සරණාගතයන්ගෙන්  අති බහුතරයක් මුස්ලිම් ජනතාවය. ඔවුන් පිළිගතහොත් සමස්ත යුරෝපයේම ජන සංයුතිය වෙනස් වනු ඇති බවට ඇතැම් කොටස් මත පල කර තිබේ.

මෙවැනි තත්වයක් තුළ වුව ද ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දීමට උත්සාහ කරන්නේ සභාවේ වෙනස් කල නොහැකි 'පනත' වන සියල්ලනට ප්‍රේමකිරීමෙන් ඉවත් වීමට කිතුවනට නොහැකි බවයි. ජේසු සමිඳුන් "අවසාන තීන්දුව' ගැන කල දේශනයේදී (මම පිපාසාව සිටියෙමි; ඔබ මගේ පවසා නිවූහ . මම කුසගිනිව සිටියෙමි......ආදී වශයෙන්) තමන් වහන්සේ සමාන කර ගත්තේ සමස්ත මානව ප්‍රජාවටය. එබැවින් අයුක්තියට ලක් වන්නේ කවුරුන් ද, සරණාගතයන් වන්නේ කවුරුන් ද, කුසගින්නෙන්, පිපාසයෙන්, බියෙන් පසුවන්නේ කවුරුන් ද ඔවුන් ගේ ජාති කුල මල ආගම් නොතකා ඔවුනට අත දීමට කිතුනුවෝ බැඳී සිටිති.

එය බටහිර කිතුනුවන් ඉටු කරමින් සිටින බව පෙනේ. බහුතර මුස්ලිම් ජනතාවකගෙන් සැදුනු මෙම සරණාගතයන් පිළිගැනීමට ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ කිතුනු දේශපාලන පක්ෂයක් (ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) බලයේ සිටින, කතෝලිකයන් නායකත්වයේ සිටින ජර්මානු ආණ්ඩුව විසිනි. කැනඩාවට සරණාගතයන් 25,000ක් ගන්න බව කියන නව අගමැති ජස්ටින් ටෘඩෝ  ක්විබෙක් ප්‍රාන්තයට අයත් කතෝලිකයෙකි.

විශ්ව කතෝලික සභාව මෙවැනි ස්ථාවරයක සිටින විට ශ්‍රී ලංකාවේ උතුරේ දෙමල ජනයාට එරෙහිව ආණ්ඩුව දියත් කල අමානුෂික යුද්ධය සාධාරිණිකරණය කරන කතෝලිකයෝ රැසක් ද තවමත් සිටිති. ඒ අතර කතෝලික නායකයෝ ද වෙති. දෙමල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට එරෙහි වන කතෝලිකයෝ ද සිටිති. "පිපාසයට  පිරිසිදු පානීය ජලය" ඉල්ලා සිටි   සහෝදර ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දීම සාධාරිණිකරණය කරන්නේ ද ඔවුන් ය. ඔවුන් මෙවැනි තීරණාත්මක මොහොතක පවා ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉගැන්වීම් වලට් සවන් දී, මතෙව් සුබ අස්නේ එන "අවසාන තීන්දුව" ගැන ජේසු සමිඳුන් කල දේශනයේ කැඩපත ඉදිරියට ගොස් සිය "සැබෑ කිතුනුකම" වටහා ගැනීම හොඳය. 





Comments