"කතෝලික සභාවට වෙනස් විය හැකියි. සභාව වෙනස් විය යුතුයි." ෆ්ලොරන්ස් නුවරදී පාප්වහන්සේ සභාවට දුන් අභියෝගය

"Catholicism can and must change. ....This is a change era...." Pope's strong message in Florence 

පාප්වහන්සේ ෆ්ලොරන්ස් නුවර සම්මන්ත්‍රණය අමතමින් 

(2015 නොවැම්බර  12)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව සඳහා පුළුල් නව දැක්මක් ප්‍රබල වචන වලින් ඉදිරිපත් කරති. අපගේ යුගයට අවශ්‍ය වන්නේ වෙනස් වීමට බිය නොමැති, දයා-කරුණාබර සභාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති. ආර්ථික සුරාකෑම , බලයෙන් මත්  වූ පූජකවරුන්, උදාසීනකමින් අක්‍රීය වූ තරුණයන් හා ක්‍රිස්තුන් වහන්සේ තමන් සමග සිටින බව අමතක කරන බියගුළු  සීතල සභාවක් යන සාධක වලට නැවතීමේ තිත තැබිය යුතු යයි උන්වහන්සේ අවධාරණය කරති.

"මේ යුගය අපෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්න, බාධක ලෙස නොව   අභියෝග ලෙස අත්දකින ලෙසයි. කිතු සමිඳුන් ලොව තුළ ක්‍රියාකාරීව සිටින අතර උන්වහන්සේ ක්‍රියාත්මක වන" බව ද පාප් වහන්සේ සඳහන් කරති. රදගුරු  හිමිවරුන්  "ජනතාවගේ එඬේරුන් - එඬේරුන් පමණක් විය යුතු" බව ද එතුමා අවධාරණය  කරයි. රදගුරු හිමිවරුන් සිය ජනතාව ගේත් යාච්ඥාවේත් රුකුල ලබන විට ඔවුනට   නොවැටී කෙලින් සිටිය හැකි යයි ද විනාඩි 49ක් වූ දීර්ඝ කතාවක් කරමින් පාප් වහන්සේ කියා සිටිති.

"ජේසු ගේ කරුණාබර නෙතින් බලා,දයාබර හදින් පෙම් කරන සභාවක්" යන දැක්ම යලිත් අවධාරණය කරමින් පාප්වහන්සේ මේ බව කියා සිටියේ නොවැම්බර 10 වන අඟහරුවාදා  ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර පැවැති සභා සම්මන්ත්‍රණයක දී ය. එය සම්මන්ත්‍රණයේ දෙවන දිනය විය.ඉතාලියේ සමස්ත කතෝලික සභාව වසර දහයකට වරක් පවත්වන මෙම ආධ්‍යාත්මික සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වූයේ "ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ නව මානවීයවාදයක්" යන්නයි. පුනරුදයේ ප්‍රබල සංකේතයක් බඳු ඉපැරණි ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් හා බිතු සිතුවම් වලින් සුන්දර වූ ෆ්ලොරන්ස් නුවර සාන්තා මරියා ආසන දෙව්මැදුරේ දී සම්මන්ත්‍රණය ආරම්භ විය. ඉතාලිය පුරා කාදිනල් හිමිවරුන්, රදගුරු හා පුජකවරුන්, ගිහි නියෝජිතයන් ඇතුළු 2200ක් දෙනා මීට සහභාගී වී සිටියහ.

ඉතාලියේ කතෝලික සභාව ඉදිරි දශකය සැලසුම් කරන මෙම සම්මන්ත්‍රණයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ කල මෙම දේශනය "ජේසු නමැති පුද්ගලයා " තුළ වෙනස්වන්නැයි සමස්ත කතෝලික සභාවටම කල කැඳවීමකි; අභියෝගයකි. එබැවින් සමස්ත කතෝලික සභාවම සිය බුලටින, පුවත්පත් යනාදී සියලු මාධ්‍යවල එය පලකොට, ගිහියාගේ සිට, කාදිනල් හිමිවරුන් දක්වා එය භාවනා කර, සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීම වටියි.
"අප සිටින්නේ වෙනස්වන යුගයක නොව 'යුගය වෙනස් කිරීමක' "  යැයි පාප් වහන්සේ කියා සිටියහ.

"සභාව ඉදිරියේ ඇති ප්‍රශ්න හමුවේ  අප විසඳුම් සෙවිය යුත්තේ, අභාවයට ගිය චර්යාවන් යළි ප්‍රතිෂ්ඨාපනය කරන්නාවූ ද සංස්කෘතික වශයෙන් තවදුරටත් වැදගත්කමක් නොමැති රාමු සහිත වූ ද සංස්ථිතිකවාදය තුළ හෝ මුලධර්මවාදය තුළ හෝ නොවේ. ක්‍රිස්තු ධර්මය වූ කලි ප්‍රශ්න, සැක සංකා, ප්‍රශ්නවාචක ජනිත කිරීමට අසමත් ඉගැන්වීමක් නොවේ. එය තමන් අස්ථායී කරනු ලබන බවත්, කළඹනු ලබන බවත්, ප්‍රබෝධවත් කරනු ලබන බවත් දන්නා සජීවී ඉගැන්වීමකි. එහි වත මඬල පහසුවෙන් නොනැමෙන දෘඩ වතක් නොවේ.  ඒ සතුව ඇත්තේ චලනය වන , වර්ධනය වන සිරුරකි. එහි නාමය ජේසුස් ක්‍රිස්තුස් ය" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"සභාව නිරන්තරයෙන් වෙනස් වන සභාවකි. (The church is semper reformanda) . එබැවින්, සභා ප්‍රතිසංස්කරණ, එහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේ සැලසුම් වලින් නොනවතියි. ඒ වෙනුවට, එහි සැබෑ අර්ථය වන්නේ අප අපව ක්‍රිස්තුන් වහන්සේ තුළ ආබද්ධ කර ගැනීමයි; උන්වහන්සේ තුළ ගැඹුරින් මුල් ඇද ගැනීමයි; එසේම, ශුද්ධාත්මයානන් විසින් අපට මග පෙන්වනු ලැබීමට අප ඉඩ හැරීමයි. එසේ කල විට ඉහළම  නිර්මාණාත්මක බවින් හා  ප්‍රඥාවකින් සියල්ල කිරීමට අපට හැකි වනු" ඇතැයි පාප් වහන්සේ කියා සිටියහ.



හිස්වීම - පහත්  වීම


ලෝකයේ තෙවන විශාලතම දෙව්මැදුර වන ෆ්ලොරන්ස් නුවර ආසන දෙව්මැදුරේ ශිඛර ගෝලාර්ධය සරසන්නේ  පුනරුද යුගයේ 'අන්තිම විනිශ්චය" සිතුවමකි. ප්‍රැන්සිස් පාප් වහන්සේ කිහිප වතාවක් එම චිත්‍රය සිය දේශනයට පාදක කර ගත්හ.

"ජේසු සමිඳු ගේ වත මඬල දෙස බලන විට අපට පෙනෙන්නේ කුමක් ද?" එතුමා විමසුවේ ය. "මුලින්ම අපට පෙනෙන්නේ තමන්ව හිස් කර ගත් දෙවිඳාණන් ගේ වත මඬලයි. මරණය දක්වා නිහතමානි වූත්, කීකරු වූත්, සේවකයකු ගේ ස්වරූපය වැළඳගත්, දෙවියන් වහන්සේ ගේ මුහුණයි."

"ජේසු සමිඳුන් ගේ මුහුණ, නින්දාවටත් හිස්කිරීමටත් ලක් කරන ලද අපේ සහෝදර සහෝදරියන් ගේ මුහුණු වලට සමාන ය. දෙවියන් වහන්සේ ඔවුන් ගේ ස්වරූපය ආරෝපණය කරගෙන තිබේ. ඒ මුහුණ අප දෙස බලා සිටියි" සුදොතුම් පියතුමා පැවසුවේ ය.

"අපි අපව පහත් කර නොගන්නේ නම්, උන්වහන්සේ ගේ වත මඬල  අපට නොපෙනේ. දෙවියන් වහන්සේ ස්වකීය ස්වරූපය හිස් කරගත් බව අප  නොපිළිගන්නේ නම්, උන්වහන්සේ ගේ පුර්ණත්වයෙන් කිසිවක් අපට නොපෙනෙනු ඇත. එවැනි තත්වයක් තුළ කිතුනු මානවීයවාදය ගැන පවසන වදන් බොහෝ සුන්දර වූවත්, එහි අරුත පිලිබඳ කිසිවක් අපට තේරුම් නොයනු ඇත.ඒවා විශ්වාසයේ වදන් නොවනු ඇත. ඒවා හුදෙක් හිස් බවින් දෝංකාර දෙන වචන පමණක් වනු ඇත. "


"දිව්‍යමය ක්‍රිස්තුන් වහන්සේ පිළිබිඹු කරන්නේ බැහැපත්කමේ සහ ස්වත්‍යාජයේ මානව බැල්මයි. තම අනුගාමිකයන් ද තමන් සේ එය අනුගමනය කරනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙයි.."

මෙම ක්‍රියාකාරීත්වයේ දී සේවාවට මිස බලයට අවකාශයක් නැති බවද එතුමා පෙන්වා දුන්නේ ය. "අප කිසි විටෙකත් බලයෙන් ආවේශ නොවිය යුතු ය. එය ඇතැම් විට යමක් ඉටු කර ගත හැකි වරදක් නැති දෙයක් ලෙස පෙනෙන්නට තිබුනත්, බලය නිසා සභාවට සිය මාර්ගයත් සිය අරුතත් අහිමි වනු ඇත."



දුර්පරීක්ෂා:  පෙලේගියන්වාදය සහ ඥානවාදය ( Pelagianism and Gnosticism)

වාර ගණනාවක් අසන දෙව්මැදුර ගිගුම් දෙන අත්පොලසන් හඬින් අනුමැතිය ලැබූ එම කතාව, ප්‍රැන්සිස් සුදොතුම් පියාණන්ට හුරු  හාස්‍ය රසය නිසා සිනා හඬින් ද ඔපවත් වී තිබුනේ ය.

මෙම කාරණයේ දී සභාව දුර්පරීක්ෂා කිහිපයකට ද මුහුණ දෙන බව එතුමා කීවේය.

"මම මෙතැනදී දුර්පරීක්ෂා දෙකක් ගැන පමණක් කියන්නම්. ගිය අවුරුද්දේ නත්තලට පෙර කීවා වගේ දුර්පරීක්ෂා හෝ රෝග 15ක දීර්ඝ ලැයිස්තුවක් අද කියවන්නේ නැහැ" යි රැස්ව සිටියවුන් ගේ දැවැන්ත සිනා හඬ හා අත්පොලසන් හඬ මැද පාප් වහන්සේ පැවසුහ. (ගිය වසරේ රෝම  කියුරියාවේ කාදිනල් හා අගරදගුරු හිමිවරුන් පාප්වහන්සේට නත්තල් කතා කිරීමට ගිය අවස්ථාවේ රෝම කියුරියාවට 'වැළඳී' ඇති 'රෝග' 15ක් පිලිබඳව පාප්වහන්සේ කතා කළහ.)

එම දුර්පරීක්ෂා නම් පෙලේගියන්වාදය සහ ඥානවාදයයි.( Pelagianism and Gnosticism)

පෙලේගියන්වාදය යනු  දෙවියන්වහන්සේ ගේ ආධාරය නොමැතිව මානවයාට තමාගේ ගැළවීම සලසා ගත හැකිය යන දර්ශනයයි. මෙය නුතන සභාවේ සන්දර්භය හා සංසන්දනය කල පාප් වහන්සේ කියා සිටියේ " ව්‍යුහ, පරිපුර්ණ සැලසුම්  සහ සංවිධාන කෙතරම් භාවසූචක හෝ විසංයුක්ත (Abstract ) වූවත් අප ඒවා කෙරෙහි විශ්වාසය තැබීමට පෙළඹෙන " බවයි. "පාලන කිරීමේ, හැසිරවීමේ, දෘඪ බවේ සහ සාමාන්‍යයේ ශෛලියක් ආරෝපණය කර ගැනීමට මෙය අප පොළඹවයි. මෙම සම්මතය, තමා සෙස්සන්ට වඩා උසස්ය ශ්‍රේෂ්ඨය යන හැඟීමක් හා තමාගේ දිශානතිය ගැන නිශ්චිත බවේ හැඟීමක් පෙලේගියන්වාදියාට ලබාදෙයි. පෙලේගියන්වාදියාට බලය ලැබෙන්නේ මෙම හැඟීමෙනි; ශුද්ධාත්මයාණන් ගේ සැහැල්ලු සුසුම තුළින් නොවේ."

"සභාව තමන් රැගෙන යාමට  ශුද්ධාත්මයානන් ගේ ප්‍රාණ වායුවට ඉඩ හැරිය යුතු ය. මේ තුළ ඇතැම් විට සභාවට සංහිඳිය හැකි ය" යි සුදොතුම් පියතුමා කීවේ ය. "පුරාන දේශ ගවේෂකයන් ගේ චෛතසිකය නිතරම ආරෝපණය කරගන්න. නාවික චාරිකාවලට මහත් සේ ප්‍රිය කල ඔව්හු මුහුදට පිවිසුන කල දේශ සීමාවලට හෝ කුණාටුවලට හෝ බිය නොවුහ" යි එතුමා පෙන්වා දුන්නේය. " එසේම සභාව ද නිදහස් සභාවක් විය යුතුය. වර්තමාන අභියෝග වලට විවෘත වන්නා වූ ද , කිසියම් දෙයක් නැති වේ යැයි බියෙන් තමාව  ආරක්ෂා කිරීමට උත්සාහ නොකරන්නා වූ ද  සභාවක් විය යුතුය."

ඥානවාදය යන්නෙන් අදහස් කරන්නේ ආධ්‍යාත්මික ලෝකය දිනා ගැනීම සඳහා ජනතාව ද්‍රව්‍යමය ලෝකයෙන් මුළුමනින් ම බැහැර විය යුතු ය යන දර්ශනය යි. එය නූතන තත්වයට හා ගලපන කල, එවැන්නන් නිතර තාර්කික හා පැහැදිලි ආපෝහණය  කෙරෙහි විශ්වාසය තබති. එහෙත්  සහෝදර ජනතාව ගේ මෘදු හදවත ගැන ඔවුනට වැටහීමක් නොමැති බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"කිතුනු අනුභූතිය (transcendence) සහ ඥානවාදී ආධ්‍යාත්මිකත්වය අතර වෙනස රැඳී ඇත්තේ මාංශගතවීමේ අබිරහස තුළ යි. එය ජීවත් නොකිරීම, 'දේව වචනය' සැබෑවක්  බවට පත් නොකිරීම යනු වැල්ලේ ගෙවල් සෑදීමකි.එය ඵල නොදරන අදහසක් ලෙස පමණක් පවතියි. ඒ මගින් දිව්‍ය ක්‍රියාකාරීත්වය නිෂ්ඵල කරනු ලබයි."

ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම හා සභා සැලැස්ම

ෆ්ලොරන්ස් ආසන දෙව් මැදුරේ සීලිමේ ඇති ජේසු සමිඳුන් ගේ සිතුවම දෙස බලා ඉතාලි සභාවේ  ජාතික සැලැස්ම කුමක් විය යුතු දැයි විමසන ලෙස සුදොතුම් පියතුමා සියලු 'ජනතාවගෙන් හා පුජකවරුන් ගෙන්' ඉල්ලා සිටියහ.

මෙම දේශනයේ දී මතෙව් තුමා ගේ සුබ අස්න කිහිප වතාවක් උපුටා දැක්වූ පාප් වහන්සේ මෙතන දී ද එම සුබ අස්නෙන්ම පණිවිඩය උපුටා ගත්හ.

"සමිඳුන් මෙහිදී භාවිත කරන්නේ වාක්‍ය දෙකකින් එකක් පමණයි. එනම්, 'මම පිපාසව සිටියෙමි. ඔබ මට බොන්නට යමක් දුන්හ' හෝ 'මම පිපාසව සිටියෙමි. ඔබ මට   බොන්නට කිසිවක් නොදුන්හ' යන්නයි. එබැවින් අවසන් විශ්ව විනිශ්චය ගැන අප මේ මෙනෙහි කල භාග්‍ය අට පිලිබඳ සමිඳු වදන්  සාන්තුවරයකුට තරම් වන ජීවිතයක් ගත කිරීම සඳහා අපට සහය වේවා. එම වදන් ඇත්තේ ටිකකි. ඉතා සරලය. ප්‍රායෝගිකය. ඉටුකිරීම පහසු ය." යි පාප් වහන්සේ සඳහන් කළහ.

මතු සම්බන්ධයි .
(මෙම දීර්ඝ දේශනයේ දී සුදොතුම් පියතුමා නුතන සභාව ගත යුතු මග ගැන තවත් වැදගත් අදහස් පල කලේ ය. ඒවා තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.)


Comments