මිනිසා හා පරිසරය ආරක්ෂා කිරීම එකම කාසියේ පැති දෙකක් - ජගත් සංවිධානයේ රැව් දුන් සුදොතුම් පිය දිවැසිවර හඬ

Man's twine obligation of Human and Environmental dignity - Pope's prophetic voice heard in the UN 



(2015 සැප්තැම්බර් 28)
"පරිසරය ආරක්ෂා කිරීමත් මානවයා සහ මානව ගෞරවය ආරක්ෂා කිරීමත් එකිනෙකින් වෙන් කළ  නොහැකි ලෙස එකිනෙකට බැඳී පවතියි. ජීවීන්ගෙන් සමන්විත පරිසරයට ද අයිතිවාසිකම් තිබේ. එබැවින් පරිසරයේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීමට එම පරිසරයේ කොටසක් වන මානව අපි බැඳී සිටිමු. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද පරිසරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද එකම කාසියේ දෙපැත්ත සේ ය. මෙම අයිතිවාසිකම් දෙකෙන් එකක් හෝ කඩ කිරීමෙන් හානි වන්නේ සමස්ත මානව සංහතිය ට ය. කනගාටුදායක ලෙස ලෝකය අද මුහුණ දෙන ප්‍රශ්නවලට හේතුව මිනිසා පරිසර අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් කෙලෙසීමය."

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් 24 දා එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය අමතමින් කළ විශිෂ්ට දේශනයේ සාරාංශය එලෙස කැටි කළ හැකිය. මේ තත්වය සැලකිල්ලට ගත් කළ ධරණීය සංවර්ධනය පිලිබඳ එ.ජා. 2030 න්‍යාය පත්‍රය ඉතිහාසයේ "අතිශය වැදගත් බලාපොරොත්තුවේ සංකේතයක් " බව එතුමා අවධාරණය කෙළේය. දුප්පත්කම තුරන් කිරීම, අධ්‍යාපනය හා ලිංගික අයිතිවාසිකම් ප්‍රවර්ධනය, ජලය හා ධරණීය බලශක්තිය පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇති කිරීම හා පරිසරය උණුසුම් වීමේ ගැටලුවට තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් අරමුණු 17කින් හා ඉලක්ක 169කින් යුත් එම න්‍යාය පත්‍රය පාප්වහන්සේ ගේ දේශනයෙන් සුළු වෙලාවකට පසුව සම්මත කර ගැණින.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දේශනය පාප් වහන්සේ නමක් එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත් කල පස් වන කතාවයි. මහා මණ්ඩලය ඇමැතූ ප්‍රථම පාප් වහන්සේ, සවැනි පාවුළු පාප් වහන්සේ යි. ඉන් පසුව දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ දෙවරක් ද සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ එක වරක් ද එම එ. ජා අමතා තිබේ.

කෙසේ නමුත් බොහෝ සිද්ධි වල ප්‍රථමයා වන ප්‍රැන්සිස් පාප් වහන්සේ එ. ජා. මහා මණ්ඩලයේ ආරම්භක දේශනය කල ප්‍රථම පාප්වහන්සේ ලෙස ඉතිහාසයට එක් වෙයි.

නූතන ලෝකය මුහුණ දෙන ප්‍රධාන අර්බුද 

ලෝකය මවිත කරමින් සහ ලෝකයේ තීරණ ගැනීම භාරව සිටින  දේශපාලන නායකයිනට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් නුතන ලෝකය මුහුණ දෙන සියලු ප්‍රධාන අර්බුද සිය දේශනය මගින් පාප් වහන්සේ ආවරණය කළහ. මේ සම්බන්ධයෙන් CNN රූපවාහිනියට අදහස් දැක්වූ වතිකානයේ සිටින ඇමෙරිකානු තානාපතිවරයා කියා සිටියේ එතුමන් ගේ අවධානය යොමු නොවූ ප්‍රශ්නයක් නොමැති බවයි. දුප්පත්කම හා ඊට හේතු, පරිසරය උණුසුම් වීම, පවුල රැකගැනීම හා සුරක්ෂිත  කිරීම එතුමන් ගේ සිත් ගත මාතෘකා වුවද ඊට අමතරව, මව් කුසේ සිට ස්වාභාවික මරණය තෙක් ජීවිතවලට ගරු කොට ඒවා ආරක්ෂා කිරීම, කලාප කිහිපයක දැනට පවතින යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා, සරණාගත ගැටලුව, න්‍යෂ්ටික අවී  තරගය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ඊට ඈඳුණු යුද අවි වෙළෙඳාම, නීති විරෝධීව  මිනිසුන්  ප්‍රවාහනය කිරීම, ආගමේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අර්බුද ද  මෙම දේශනයෙන් ආවරණ විය.

මෙම සමස්ත කතාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  තුළින් විද්‍යමාන වූයේ, දෙවිඳුන් මත පමණක් විශ්වාසය තබා උන්වහන්සේ වෙතින්  පමණක් යැපෙන, අභීත දිවැසිවරයකු ගේ හඬයි.



මානව ගෞරවය හා පරිසර ගෞරවය

පරිසරය අපහරණය කිරීම,අකාරුණික ලෙස දුර්වල මානව ජනකොටස් කොන් කිරීම හෙවත් බැහැර කිරීම හා බැඳී ඇති බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ." මානවයාගේ ප්‍රයෝජනය සඳහා ඇති ස්වාභාවික සම්පත් අපහරණයත් දුර්වලයන් හා වරප්‍රසාද නොලද්දන් කොන් කිරීමත් (බැහැර කිරීමත්) යන කාරනා දෙකම  හටගෙන ඇත්තේ බලය හා  භෞතික සෞභාග්‍යය සඳහා මිනිස් සිත් තුළ පැන නගින ස්වාර්ථකාමීවූත්  අසීමාන්තිකවූත්  පිපාසයේ ප්‍රතිඵල ලෙසය. "

"ආර්ථික හා සමාජීය වශයෙන් කොන්කරනු ලැබීම (බැහැර කරනු ලැබීම) මානව සහෝදරත්වය ප්‍රතික්ෂේප කිරීමකි.එබැවින් එය මානව අයිතිවාසිකම් හා පරිසරයට එරෙහි බරපතල අපරාධයකි" යි එතුමා අවධාරණය කළේය.

"Laudato Si " හෙවත් "වේ ප්‍රශංසා" නමැති සිය පරිසර විශ්ව ලේඛනය උපුටා දැක්වූ පාප් වහන්සේ ගෝලීය උණුසුම් වීම නැවැත්වීමේ පියවර ගැනීමේ අවශ්‍යතාව  අවධාරණය කළහ.  එහෙත් අප සැමගේ "පොදු නිවස " වන මිහිතල රැකගැනීම හා මානව විෂමතා දුරුකිරීම අතර සම්බන්ධතාවක් ඇති බව එතුමා පෙන්වා දුන්නේය.

"විශ්වීය මානව සහෝදරත්වය  හා සෑම මානව ජීවිතයකම පුජනීය බව, පිලිබඳ නිසි අවබෝධය නමැති පදනම මත සියලු ගැහැණියකගේම හා මිනිසකුගේ ම පොදු නිවස වැඩිදියුණු විය යුතු ය. 'සෑම මානව ජීවිතයක' යනුවෙන් පවසන විට, සාම මිනිසකු හා ගැහැනියක්, දුප්පතුන්, වයස් ගතවූවන්, ළමයින්,රෝගීන්, නූපන් දරුවන්, රැකියා විරහිත වුවන්, අත්හැර දමන ලද්දවුන්, හුදෙක් සංඛ්‍යා ලේඛන සඳහා පමණක් තබා ගන්නා බැවින් "විස්කරණ ලද්දන් ලෙස සැලකෙන පුද්ගලයන් ආදී සියලු ජන කොටස් ඇතුලත් වෙයි."

එසේම පවුල් ඇතිකිරීමටත්, පවුල්  ශක්තිමත් කොට පෝෂණය කිරීමටත් අවශ්‍ය සෑම භෞතික හා ආධ්‍යාත්මික පහසුකමක්ම ලබා දීමට ආණ්ඩු නායකයන් බැඳී සිටින බව ප්‍රැන්සිස් සුදතුම් පියතුමා අවධාරණය කළේය. ඕනෑම සමාජ සංවර්ධනයක මූලික සෛලය පවුලයි. "පවුල ශක්තිමත් කිරීම සඳහාත් පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අවශ්‍ය අවම ආධ්‍යාත්මික හා භෞතික පහසුකම් ආණ්ඩු විසින් ලබා දිය යුතු ය. ප්‍රායෝගික වචනයෙන් පවසන්නේ නම් මෙම අවම පහසුකම් වචන තුනකින් ව්ස්තර කල හැකි ය. ඒවා නම් , නවාතැන, ශ්‍රමය හා භුමිය යි. මේවා එක ආධ්‍යාත්මික වචනයකින් විස්තර කල හැකිය. එනම් ආධ්‍යාත්මික නිදහසයි. ආධ්‍යාත්මික නිදහසට , ආගමික නිදහස, අධ්‍යාපනය ලැබීමේ නිදහස හා වෙනත් සිවිල් අයිතිවාසිකම් ඇතුලත් වේ. "

වෙනත් වචනවලින් කියන්නේ නම් ආධ්‍යාත්මික නිදහස සුරක්ෂිත කිරීමෙන් මානව සමාජයේ විෂමතා දුරු කරන අතර පරිසරය සුරකෙමේ ඉලක්කය ද ජය ගත හැකිය. මෙයින් අදහස් කෙරෙන්නේ "ඵලදායි ලෙසත්, ප්‍රායෝගික ලෙසත් සෑම පුද්ගලයකුටම නිවාස, ගෞරවනීය හා නිසි වැටුපක් ලැබෙන රැකියාවක්, ප්‍රමාණවත් තරම් ආහාර හා පානීය ජලය, අධ්‍යාපන හා ආගමික නිදහස කඩිනමින් ලබා ගැනීමේ පහසුකම් සැලසිය යුතු" යැයි පාප් වහන්සේ අවධාරණය කළහ.

"දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් සඵල වන්නේ, ඒවාට  සමාජ සාධාරණත්වයේ හා යුක්තියේ සංකල්පවල මගපෙන්වීම ලැබෙන විට ය. එබැවින් සියලු වැඩසටහන් හා සැලසුම් වලට ඉහලින් අප කටයුතු කරන්නේ ලේ මස් නහර වලින් සෑදුනු, සටන් කරන හා දුක්විඳින, බොහෝ ඊට දුප්පත්කමින් බැට කන, සිය හිමිකම් අහිමි හරණ ලද   සැබෑ මිනිසුන් හා ගැහැනුන් සම්න්ධයෙන් බව නායකයන් වටහා ගත යුතු ය. "



යුද්ධය 

"යුද්ධය වූ කලී සියලු අයිතිවාසිකම් අහිමි කිරීමකි. එය පරිසරයට එල්ලකරන දැවැන්තම ප්‍රහාරයක් ද වන්නේ යැ" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ එ. ජා. සමුළුව අමතමින් කියා සිටියහ. එබැවින් ජාතීන්  අතරත් ජනතාවන් අතරත් යුද්ධ ඇතිවීම වැලක්වීමට වෙහෙස නොබලා සියලු පියවර ගත යුතු යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

" මේ අරමුණින්, එ. ජා. ප්‍රඥප්තියේ සඳහන් අයුරින්, නීතියේ ආධිපත්‍යය සහතික කිරීමටත්, අර්බුද පන නැගෙන විට සෑම  විටම  වෙහෙස නොබලා සාකච්ඡාව, මැදිහත්වීම, බේරුම් කිරීම හා සමථ කිරීම යන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් පවතියි. ගත වූ 70 වසර තුළ එ. ජා. සංවිධාන ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ, මෙම ජාත්‍යන්තර නීති හා ප්‍රතිමානයන් සම්පුර්ණයෙන් අනුගමනය කිරීම නිසා ඒවා ඵලදායි වූ ආකාරය  සේ ම  ඒවා නී ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඵලදායි ප්‍රතිඵල නොලැබුණු ආකාරය ගැන ද නිදර්ශන තිබේ. එ. ජා. ප්‍රඥප්තී වලට ගරුකොට, සැඟවුණු  අරමුණු වලින් තොරව, සාධාරණය ඉටු කිරීමේ අත්‍යවශ්‍ය පදනමක් ලෙස අවංක භාවයෙන් හා පාරදෘශ්‍ය භාවයෙන් යුතුව ඒවා ක්‍රියාත්මක කල විට සාමකාමී ප්‍රතිඵල ලබා ගත හැකි ය. ඊට ප්‍රති විරුද්ධව, එම ප්‍රඥප්තීන්, වාසි සහගත අවස්ථාවේ දී භාවිත  කර එසේ නැති විට ඒවා වසා තබන්නේ නම්, එමගින් මුදා හැරෙන විනාශකාරී, පාලනය කල නොහැකි බලවේගයන් ගෙන් අනාරක්ෂිත දුර්වල ජනතාවටත් ජීවී පරිසරයටත් බරපතල හානි සිදුවිය හැකි " යයි පාප් වහන්සේ පෙන්වා දුන්හ.

 න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැලැක්වීම 

එ.ජා සංවිධානයේ මූලික හා පදනම් පරමාර්ථය වූයේ සාමය, ජාතින් අතර ආරාවුල් සාමකාමී ලෙස විසඳීම හා ජාතීන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිවේය. එහෙත් කනගාටුදායක ලෙස ඊට පටහැනිව මිනිසුන් සමුල ඝාතනය කල හැකි ආයුධ - විශේෂයෙන් න්‍යෂ්ටික අවි - අද ලොව පුරා පැතිරෙමින් පවතින බව එතුමා පෙන්වා දුන්නේ ය. "සමස්ත මානව සංහතියම විනාශ වී යා හැකි මෙම ආයුධ ව්‍යාප්තිය ජගත් සංවිධාන අරමුණු වලට පටහැනි ය. එබැවින් ලෝකය න්‍යෂ්ටික අවිවලින් නිදහස් කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතියි. එහි අවසන් අරමුණ විය යුත්තේ මෙම අවි සපුරා තහනම් කිරීම" යයි එතුමා අවධාරණය කළේය.

මේ නයින් න්‍යෂ්ටික අවි වැළක්වීමේ අරමුණින් ඉරානය හා එක්සත් ජනපදය අතර අත්සන්  තැබුණු ගිවිසුම පාප් වහන්සේ ගේ පැසසුමට ලක් විය.

ආගමික හා වාර්ගික ප්‍රචණ්ඩත්වයන් 

මැදපෙරදිග, අප්‍රිකාව හා යුක්රෙනයේ දැනට  නරක අතට හැරෙමින්  පවතින යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පාප් වහන්සේ අදහස් දැක්වුයේ ආදී දොම්නසකිනි. මෙම ඇතැම් ප්‍රචණ්ඩ තත්වයන් ආගමික මුහුණුවරක් ගැනීම එතුමා ගේ දැඩි දොම්නසට හේතු වී තිබුනේ ය. මෙම ප්‍රදේශ වල ජීවත් වන කිතුනුවන් සේම වෙනත් ආගමික කණ්ඩායම් පමණකුත් නොව ඒ ඒ රටවල බහුතර ආගමික කණ්ඩායම් පවා මෙම වෛරයේ  හා මුග්ධ බවේ ගොදුරු බවට පත්වීමට කිසිදු කැමැත්තක් නැති බව එතුමා අවධාරණය කලේ ය.

එවැනි සාමකාමී ජනකොටස්වලට "ඔවුන් ගේ ආගමික වන්දනා ස්ථාන, ඔවුන් ගේ සංස්කෘතික හා ආගමික උරුමයන් සේම ගේ දොර වතු පිටි පවා ප්‍රචන්ඩකාරීන් විනාශ කරන අයුරු බලා සිටින්නට සිදු වී තිබේ. විකල්පයක් ලෙස ඔවුනට ඉතිරිව ඇත්තේ මෙම කලාප වලින් පලා යාමයි. නැතහොත් ජීවිතයෙන් වන්දි ගෙවීමයි"

මෙහි දී පාප් වහන්සේ ලෝක නායකයිනට - විශේෂයෙන් මහ බලවතුනට - දැඩි අභියෝගයක් එල්ල කළහ.

එතුමා පෙන්වා දුන්නේ ඔවුන් සතුව ඇති "නිශේධ බලය " මගින් තම මිත්‍ර පාර්ශව වලට සහය දැක්වීමට මහ බලවතුන්  උත්සාහ කිරීම නිසා මෙතෙක් මෙම ගැටුම් වල  අවසානයක් දැකිය නොහැකි වී  ඇති බවයි. එබැවින් "ලෝකයේ තීරණ ගැනීමේ බලය සහිත" රටවල නායකයන් සිය හර්දය සාක්ෂි පරීක්ෂා කල යුතු යයි එතුමා අවධාරණය කලේ ය.

"කාලය දැන් ය "

ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය දේශනය නිම කලේ 1965 දී ජගත් සංවිධානය අමතමින් සවැනි පාවුළු පාප් වහන්සේ කල ප්‍රකාශයකිනි.

"මොහොතක් නැවැතී , මෙනෙහි කරන්නට, ආපසු හැරී බලන්නට, යාඥා කරන්නට කාලය පැමිණ තිබේ. අපේ පොදු ආරම්භය, ඉතිහාසය හා ඉරණම ගැන සිතන්නට කාලය පැමිණ තිබේ. අද මෙන් මානව හර්ද සාක්ෂියට එබී බලන්නට අත්‍යවශ්‍ය වූ යුගයක් නැති තරම් ය. මේ මොහොත අපි සාධනීයව භාවිත කළහොත් මානව වර්ගයාට බලපෑ ඇති බොහෝ අර්බුද වලට විසඳුම් අපට සොයා ගත හැකි වනු ඇත. "




Comments