සුදොතුම් පියාණන් සිරකරුවන් සමග දිවා කෑම මේසයක:" සිර මැදිරි වල යකඩ දඬු වලට වඩා දෙවිඳුන්ගේ ප්‍රේමය ප්‍රබල යි. " - ඔවුන්ට පණිවිඩයක්

Pope lunches with prisoners in Naples 

(2015 මාර්තු 22)
සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් සෙනසුරාදා ඉතාලියේ නාපොලි නුවර සිර ගෙදරක සිරකරුවන් පිරිසක් සමග දීවා අහාරය ගත්තා. එය බොහෝ හැඟුම් බර අවස්ථාවක් වූ බව වතිකාන වාර්තා පවසනවා. උන්වහන්සේ නාපොලියේ පොග්ගියෝරියාලේ සිරගෙදරට ගියේ නාපොලියේ  අපෝස්තලික සංචාරයක යෙදෙන  අතරතුරයි. 

මේ කතාව කියන්නට කලින් එහි ආධ්‍යාත්මික පසුබිම ගැන කෙටියෙන් කිව යුතුයි කියා හිතෙනව. කතාවට ආලෝකයක් ලැබෙන්නෙ එවිටයි.

2013 මාර්තු 19 දා ශු. ජුසේ මුනිඳුන්ගේ දිනයේ සිය "පේදුරු මෙහෙවර" (Peterine Ministry) ආරම්භ කළ ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් සභාවත් ලෝකයත් කතෝලික ජනතාවත් මුහුණ දෙන ගැටළු, අර්බුද  සහ අභියෝග දෙස බැලු  විට පාප්වහන්සේ ගේ මෙහෙවර යුගෝචිතව කවරාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු දැයි විස්තර කළා. උන්වහන්සේ මෙහි දී ඉදිරිපත් කලේ  කළේ ශු. ජුසේ මුනිඳුන් සේ දේව කැමැත්තට අනුව සිය පවුල සුරක්ෂිත කරන පියකුගේ චිත්‍රය සහ නැති වූ, තුවාල වූ, රැලෙන් 'පලා ගිය', රැලෙන් 'එලවා දැමුණු', අතරමං වූ, මං මුලා වූ, බැටළුවන් සොයා යන බැටළු එඬේරකු  ගේ චිත්‍රයයි. නුතන සභාවේ එඬේරික මෙහෙවර මෙය විය යුතු බව උන්වහන්සේ පහදා දුන්නා. මේ දැක්ම තුළ සභාව මෙතෙක් කළ සේ   තමන් වෙතින්, තමන් වෙනුවෙන්, තම සුඛ විහරණ තුළ  ජීවත් නොවී,සිය ආරක්‍ෂිත කලාපයෙන් (Comfort Zone)  බැහැරව "බැටළුවන් සොයා" ඈත දුර බැහැරට හෙවත් පර්යන්ත ප්‍රදේශ වලට  (To Peripheries) ගමන් කළ යුතු බවයි සුදොතුම් පියාණන් අවධාරණය කළේ.
උන්වහන්සේ දැන් මේ කරන්නේ එසේ "පර්යන්ත ප්‍රදේශ " කරා ගමන් කිරීම ආදර්ශයෙන් පෙන්නුම් කිරීමයි. එසේ ගොස් දේව දයාවට එම 'ප්‍රදේශ  වාසීන් ගේ' හදවත් ස්පර්ශ කිරීමට තමන් උපකරණයක් වීමයි. 

දැන් සිද්ධියට එමු. 

පාප්වහන්සේ රැගත් "පෝප්මොබයිල්" රථය සිරගෙදරට ලඟා වන විට වෙලාව දහවල් 1 ට ආසන්නයි. බන්ධනාගාර අධිකාරීන් විසින් පිළිගනු ලැබූ උන්වහන්සේ රැඳවියන් ගේ හමුවට කැඳවාගෙන  යනු ලැබුවා.
උන්වහන්සේ අමතා කතා කිරීමට රැඳවියන් දෙදෙනකු තෝරාගෙන තිබුණා . ඔවුන් දෙදෙනාම සිය "ලියාගත් කතා" වලින් බැහැරවයි කතා කලේ.

පාප්වහන්සේ රැඳවියන් සමග දිවා කෑමට  වාඩි  වුනේ ඉන් පසුවයි. ආහාර පිළියෙළ කර තිබුනේ රැඳවියන් ගේ කුස්සියේ කණ්ඩායම විසින් මයි. බේක් කරන ලද   මැකරෝනි ,රෝස කරන ලද මස් සහ අල ,සහ නපොලිටානෝ රසකැවිලි දිවා ආහාරයට ඇතුලත් වී තිබුනා.

සිරකරුවන් අතරින් පාප්වහන්සේ සමග ආහාර ගන්නා 90 දෙනා තෝරා ගන්නා ලද්දේ කුසපත් ඇදීම වැනි ක්‍රමයකට. ඒ පිරිස පාප් වහන්සේ සමග එකම ශාලාවක සිට ආහාර ගත්තා. ශාලාව මැද පාප් වහන්සේ සිටි මේසයේ 12 දෙනකු සිටියා. පාප් වහන්සේත් බන්ධනාගාර අධිකාරි වරයාත් හැරුණු කොට ඒ මේසයේ සෙසු පිරිස රැඳවියන්. පාප් වහන්සේ අසලම වාදී වීමට 'භාග්‍යය' ලැබී තිබුනේ ආජන්ටීනියානු ජාතික සිරකරුවකුටයි. 

තවත් වැදගත් කරුණක් අවධාරණය කල යුතුයි. පාප් වහන්සේ සමග දිවා කෑමට වාඩිවූ අය  අතර සභාව තුළ පවා තරමක් මත භේදයට පත් පිරිසක් සිටියා. ඒ තමයි සමලිංගික නැමියාව සහිත සහ ඒඩ්ස් හෝ HIV ආසාදනය වූ සිරකරුවන්. 



මේ පිරිසට පාප් වහන්සේ දුන් පණිවිඩයෙන් මේ සුන්දර ක්‍රිස්තු කේන්ද්‍රීය හමුවේ ආධ්‍යාත්මිකත්වය තේරුම් ගන්න පුළුවන්.

ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් සිය කතාව ආරම්භ කලේ මෙහෙමයි:

" මේ හමුව ඔබට පෙන්වන්නේ මා ඔබට කෙතරම් සමීපද කියායි. මා මෙසේ ඔබ හමුවන්නට ආවේ අපේ බලාපොරොත්තුව පුර්ණ කිරීම සඳහා මිහි මතට පැමිණ අප සෑම කෙනකුගේ ම විමුක්තිය සඳහා කුරුසිය මත දිවි පිදූ ජේසු සමිඳුන් ගේ ප්‍රේමයත් වචනයත් රැගෙනයි." 

තවදුරටත් එය ගැඹුරට විග්‍රහ කරමින් උන්වහන්සේ මෙසේ කීවා:

"ජීවිතයේ සමහර අවස්ථාවල අපි  අධෛර්යවත් වෙමු; අසහනයට පත්වෙන්නමු.  සියල්ලන් විසින් අප ඇත හැර දමා ඇතැයි අපට සිතේ.එහෙත් දෙවියන්වහන්සේ කිසි දා සිය දරුවන් අමතක කරන්නේ නැත. උන්වහන්සේ කිසි දා ඔවුන් අත්හැර දමන්නේ නැත. උන්වහන්සේ සෑම විටම විශේෂයෙන් අර්බුද අවස්ථාවල අප සමග සිටිති. උන්වහන්සේ නිරන්තරයෙන් සිය ශාන්තිමත් සහ දයාවන්ත බැල්මෙන් අප දෙස බලා සිටින "සමාවෙන් පුර්ණ" පියෙකි. .....අප ජීවිතයේ වරදක් කලත් යළිත් යහපත් මාර්ගයට හැරී උන්වහන්සේ හමුවීමට ඉඩ දීමෙන් උන්වහන්සේ කවරදාකවත් වෙහෙසට පත් නොවෙති. සිර මැදිරි වල  යකඩ දඬු වලට වඩා දෙවිඳුන්ගේ ප්‍රේමය ප්‍රබල යි. " 

සිරගතවුවන් ගේ තනිකම සහ සන්තාපය තමන් තේරුම් ගෙන ඇති බව පාප් වහන්සේ කියා සිටියා. තමාගේ වේදනාව කියමින් ලෝකයේ විවිධ ප්‍රදේශවල සිරගතවුවන්ගෙන් තමන්ට ලිපි රැසක් ලැබෙන බව උන්වහන්සේ මේ පිරිසට හෙළි කළා. එවායින් කියවෙන් කරුණු අනුව සිරගතවුවන් අසහනකාරී ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවයි සුදොතුම් පියාණන් පෙන්වා දුන්නේ. ලෝකයේ අවධානය ද එදෙසට යොමු කරමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කලා.

" බොහෝ විට සිරකරුවන් රඳවා  තිබෙන්නේ මානව පුද්ගලයකුට කිසිසේත් නොගැලපෙන අයපත් තත්ත්ව වලයි. ඊටත් වඩා , එම කාලයෙන් පසුව ඔවුන් යලි යහපත්  ලෙස සමාජ ගත කිරීමට බන්ධනාගාර අසමත් වී තිබෙනවා." 
කෙසේනමුත් කතෝලික සභාවේ දුත සේවා මගින් යම් තාක් දුරට මෙම අඩු පාඩුව මගහැරගෙන, සිරකරුවන් සාර්ථකව සමාජයට අන්තර් ග්‍රහණය කල  අවස්ථා  ගැන සුබාරංචි ද තිබෙන බව උන්වහසේ පෙන්වා දුන්නා . 
"අපගේ විශ්වාසය විය යුත්තේ ප්‍රේමය මගින් මානව පුද්ගලයා වෙනස් කල හැකිය යන්නයි." සුදොතුම් පියාණන් අවසානයේ දී කියා සිටියා. 

සුදොතුම් පියාණන් මෙම සංචාර මගින් ලෝකයේ සභාවට තේරුම් කර දෙන්නේ යුගයේ සලකුණු අනුව ධර්මදානය සඳහා සභාව වෙනස් විය යුතු  ආකාරයයි. තමන් 'පර්යන්තයේ' සිටින්නන් යනුවෙන් අදහස් කරන්නේ කවුරුන් ද යන්නත් මේ උදාහරන  මගින් උන්වහන්සේ පෙන්වා දෙනවා. පර්යන්තයේ  සිටින්නන් දේව වචනයෙන් ස්පර්ශ කිරීම ප්‍රැන්සිස් පාප්වහන්සේට අලුත් දෙය නොවෙයි. බුවනෝස් අයරෙස් අගරදගුරුතුමන්ව සිටින සමයේ බස් එකේ, කෝච්චියේ හෝ පයින් හෝ යමින්, කම්කරුවන්, පැල්පත්වාසීන් පමණක් නොව ගනිකාවනටත් දේව වචනය ගෙනයමින්,  තනි මා-පියන්  (single parents) සහ ඔවුන් ගේ දරුවන් සක්‍රමේන්තු ජීවිතයට ගෙනෙමින් එය ප්‍රායෝගිකව කළ හැකි ආකාරය උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

එසේ නම් ශ්‍රී ලංකාවේ 'පර්යන්ත' මොනවාදැයි කතෝලික අප විසින් හඳුනා ගතයුතු  කාලය පැමිණ තිබෙනවා.  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සේවාව මගින් දෙවී  සමිඳුන් අභියෝග කරන්නේ  නොවාන, සුව මෙහෙයන්, සමාජයේ තරගකාරීත්වය රිංගවා ගනු ලැබූ දහම් පාසල් යනාදී  හුදු භක්ති ප්‍රදර්ශන වලින් ඔබ්බට ගොස්, මෙම උමතු තරගකාරීත්වයත් අයුක්තිය  හා අසාධාරණයත් ප්‍රේමය නොලැබීමත්  නිසා අසරණ වූ  බැටළුවන් සොයා යාමටය. මෙහි දී කාදිනල් හොර්හේ බොර්ගොග්ලියෝ අගරදගුරුතුමන් ගේ (ප්‍රැන්සිස් සසුන් පියාණන් ගේ) ජීවිත සාක්ෂිය හැරුණු කොට මේ කියමන් මග පෙන් වීමක් වනු ඇත:

  • "මට සභාව වීදී වලට ගෙනයන්නට අවශ්‍යයි"
  • "මම සභාව දකින්නේ යුද්ධයකින් පසු යුද බිමේ ඉදිවන ක්ෂේත්‍ර රෝහලක් වගෙයි"
  • "තම බිත්ති හතරට කොටුවීමත් තමන් ගේ ම ආරක්ෂාව මත එල්ලී සිටීමත් නිසා රෝගී වූ සභාවකට වඩා වීදි වලට බැසීම නිසා තුවාල වූ, රිදුම් ඇති වූ , කිලිටි වූ සභාවකට මම වඩාත් කැමතියි"
  • "පුජකවරුන්  බැටළුවන් ගේ සුවඳ හමන බැටළු  එඬේරුන් විය යුතුයි."

Comments