පිලිපීනයේ දැරිය ඇසූ ප්‍රශ්නය: "අහිංසක දරුවන් දුක් විඳින්නේ ඇයි ?"


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ පිලිපීන සංචාරයේ එක් සංවේදී අවස්ථාවක්  වූයේ 12 හැවිරිදි ජූන් නමැති දැරිය කඳුළු සලමින් එතුමාගෙන් ප්‍රශ්නනයක් ඇසු මොහොතයි. 

"අහිංසක ළමයිනට අයහපත් දේ සිදුවන්නට දෙවියන් වහන්සේ ඉඩහරින්නේ ඇයි?" මේ දැරිය විමසුවාය. 

2014 පිලිපීනය හරහා හමා ගිය දැඩි චණ්ඩ මාරුතයෙන් ජූන් බඳු සියක් සංඛ්‍යාත දරුවෝ විපතට පත්වුහ. ඒ සිද්ධිය සහිපත් කල ඇය ඊට තවත් දේ එකතු කළාය: "තමන් ගේ දෙමාපියන් විසින් නොසලකා හරිනු ලබන දරු දැරියෝ හුඟාක් ඉන්නවා. ඒ වගේ ම මත්ද්‍රව්‍ය, ළමා ගණිකා වෘත්තීය වගේ මහ භයානක දේවල ගොදුරු බවට පත්වෙන අක්කලා අයියලා නංගිලා මල්ලිලා හුඟ දෙනෙකුත් ඉන්නවා. මේවා ළමයින් ගේ වැරදි නොවී තිබෙද්දීත් ඇයි දෙවියන් වහන්සේ මේ වගේ දේවල් අපට සිදුවෙන්නට ඉඩ හරින්නේ? ඇයි මේ වගේ ඉන්න අපට උදව් කරන්න හුඟ දෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ? " දෝතින් තම මුහුණ වසාගෙන ඉකි බිඳිමින් ජූන් සුදොතුම් පියතුමාගෙන් විමසුවාය. 

මේ දැරිය සැනසීමට සුදොතුම් පියතුමා ඇයට තමා වැළඳගෙන හඬන්නට ඉඩ හැරියේය. 

මේ ප්‍රශ්නය සුදොතුම් පියතුමා සූදානම් වී සිටි එකක් වූයේ නැත. මේ නිසා එතුමා ඉතා සංවේදීව තමාට පුරුදු ස්පාඥ්ඥ බසින් ඊට පිළිතුරු දුන්නේ ය. 

මේ සිද්ධිය සිදුවූයේ මැනිලා නුවර ඓතිහාසික සාන්ත තෝමස් විශ්ව විද්‍යාල භුමියේ පැවැති දැවැන්ත යොවුන් රැලියේදීය. 

ජූන් ගේ හද පාරන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එහි රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත යොවුන් පිරිස ඇමතූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රශ්නය අසන්නට ඇය තුළ වූ ධෛර්යය ගැන ප්‍රශංසාව පළ  කළේය. 

"මේ ප්‍රශ්නයට ඔබ හැමෝම අවධානය යොමු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. මන්ද මේ දුව ඇසුවේ පිළිතුරක් නොමැති ප්‍රශ්නයක්" සිය පිළිතුරට පිවිසෙමින් එතුමා කීවේය. මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස "නපුරේ අබිරහස" ගැන දේව ධර්ම ශාස්ත්‍රීය පිළිතුරක් දෙනවා වෙනුවට එතුමා කලේ දැරියගේ කඳුළු පිළිගැනීමය; තහවුරු කිරීමය. හදවතට සමීප පිළිතුරක් දීමය. 

"අප හැම දෙනෙකුගේ ම හද දවන ප්‍රශ්නය: දරුවන් දුක් විඳින්නේ ඇයි ? දරුවන් දුක් විඳින්නේ ඇයි ? අපට මේ ගැන යමක් තේරුම් ගත හැක්කේ හදවතින්  මේ ප්‍රශ්නය අසා කඳුලක් සලන විටයි. ආපදා සහ ඛේදවාචකවලදී ඒවායින් විපතට පත්වුවනට ලෝකය ආධාර කල යුතුයි. ජේසු සමිඳුනුත් රෝගීන් සුවපත් කළා. සාගින්නෙන් සිටි ජනයාට ආහාර දුන්නා. අපත් එසේ විය යුතුයි"

එහෙත් ඊටත් වඩා වැදගත් දෙයක් ද ඇති බව සුදොතුම් පියතුමා කීවේය. 

"අප කඳුළු සලන්නට හඬන්නට පුරුදු විය යුතුයි. ජේසු සමිඳුනට අප විඳින දුක් වේදනා වටහා ගත හැකිවුණේ උන්වහන්සේ කඳුළු සැලූ විටයි. උන්වහන්සේටත් වැලපෙන්නට හැකි වූ විටයි." 

"අද ලෝකයට අන් අයගේ හැඩීම ගැන හැගීමක් දැනීමක් නැහැ. දුප්පත් ජනතාව වැලපෙනවා.කොන් වූ අය අඬනවා.පීඩිත වුවන් අඬනවා . ඒත් මූලික අවශ්‍යතා නැති කමින් වැලපෙන අයගේ හැඩීම අපට දැනෙන්නේ නැහැ. යථාර්ථය දකින්නට කඳුළින් නෙත් පිරිසිදු විය යුතුයි. දයාබර තරුණ දරු දැරියනි, මේ ප්‍රශ්නය ඔබේ හදවතින් අහන්න: මම අන් අය වෙනුවෙන් හඬන්නට ඉගෙන ගෙන ගෙන තිබෙනවා ද? දුප්පත් යාළුවකු වෙනුවෙන් , මත්ද්‍රව්‍යයට පෙළඹුණු යාළුවකු වෙනුවෙන් ඔබට අඩන්නට පුළුවන් ද? ජේසු තම මිතුරා වූ ලාසරස් වෙනුවෙන් ඇඩුවා."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 


"ඔබ ඔබෙන් මේ ප්‍රශ්නය අහන්න. 'මම හඬන්නට පුරුදු වී සිටිනවාද? මත් ද්‍රව්‍යවලට  ඇබ්බැහි වූ දරුවෙකු, දෙමාපියන් විසින් අත්හැර දමන ලද දරුවෙකු, තනි වූ කොන්කරන ලද ළමයෙකු, අපයෝජනයට ලක් වූ ළමයකු, දුප්පත් අගහිඟ කමින් පෙලෙන දරුවකු හමුවූ විට ඔබට මට කඳුළු සලන්නට පුළුවන් ද?' සෙස අයගේ විපතේදී කඳුළු සැලිය නොහැකි නම් ඔබ කිතුනුවකු නොවේ. "

Comments